බර්ටියා වෘත්තීයෙන් ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා බර්ටියගේ බ්ලොග් එක කියවන අය නම් දන්නවා. ජීව විද්‍යාවට අමතරව සාමාන්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂනය හා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයනුත් බර්ටියා වැඩ කරන ජාත්‍යාන්තර පාසලේ උගන්නනවා. අඩු ගානේ පීරියඩ් 30ක් වත් තියෙන්න ඕනනේ. ඒකයි ඔච්චර විෂයන් ගොඩක්. බර්ටියා වැඩිපුරම කැමති කෙම්බ්‍රිජ් විභාගය සඳහා ජීව විද්‍යාව උගන්නන්න. බර්ටියාට අද ඕනම පන්තියක් පාලනය කරගැනීමේ හැකියාව තිබ්බත් බර්ටියා උගන්නන් පටන් ගන්න කාලේ ඒක එහෙම වුනේ නෑ. අද කියන්න යන්නේ ඒ ගැන විස්තරයක්.
බර්ටියා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි. ඒත් රස්සාවක් නැතුව වේලි වේලි ඉන්න කොට ලකියා තමයි ඒ දවස් වල ලකියා උගන්නපු දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලක උගන්නන්න සෙට් කරලා දුන්නේ. ඒ උදව්ව බර්ටියට හැමදාටම මතක තියෙනවා. ලකියා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කතා කරලා විස්තරය කියලා බර්ටියට කිව්වා ගිහින් ප්‍රින්සිපල්ව හම්බවෙන්න කියලා. හැබැයි මැඩම් එක්ක කතා නොකර ප්‍රින්සිපල් සර්වම හම්බවෙන්න කියලා තමයි ලකියා වගේම ශාමිනිත් බර්ටිට උපදෙස් දුන්නේ. ඒ දවස් වල බර්ටියගේ විවෘතයේ යාලුවෝ 10 විතර එතන වැඩ කළා.
බර්ටියත් 2007 දෙසැම්බර් මාසේ සෙනසුරාදා දවසක උදේම සහතික ටිකත් උස්සගෙන දෙමටගොඩ තිබ්බ මේ කියන ජාත්‍යාන්තර පාසලට ගියා. ඒ තට්ටු තුනක ගොඩනැඟිල්ලක්. ගාමන්ට් එකක් ඉස්කෝලයක් කරලා. බර්ටියගේ වෙලාවට ප්‍රින්සිපල් සර්ම හිටියා. පරණ වාසනාවක් තිබිලා බර්ටියට රස්සාව හරි ගියා. මාසෙකට රුපියල් 9,000.00 දෙන්නම් කිවුවා, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් මුකුත් නැතුව. . බර්ටියත් හා කිවුවා කීයක් හරි ලැබෙනවානේ කියලා හිතලා. ජනවාරි මාසේ පළවෙනිදා ස්ටාෆ් මීටින් එකක් තියෙනවා ඒකට එන්න පිනා කිවුවා
බර්ටියත් ඉතින් ජනවාරි මාසේ පළවෙනිදා ගියා ස්ටාෆ් මීටින් එකට ගියා. අපේ කට්ටියෙන් ලකියා, හීරා අයියා, ලාංකි නංගි, ශාමිනී, චාමිනී, චින්තා කට්ටිය හිටියා. අවුරුද්දේ පළවෙනිදා නිසා පිනා හැමෝටම රුපියල් 100 ගානේ බෙදුවා. ඊට පස්සේ හැම ස්ටාෆ් මීටින් එකකම අද දක්වාම අහන බයිලා ටික කිවුවා. ඒ බයිලා සදාකාලිකවම සමානයි ඉතින්. මුළු මැනේජ්මන්ට් එකම පිනයි පිනාගේ වයිෆයි නිසා දැන් වගේ ටොප් මැනේජ්මන්ට් එකෙන් එන වැල් බයිලා නෑ. ඒක නිසා ස්ටාෆ් මීටින් එක වැඩිම වුනොත් පැය භාගයයි. දැන් වගේ වැල් දුවන්නේ නෑ.
බර්ටියට හම්බවුනේ හය, හත, අට, නවය පන්ති වලට විද්‍යාව උගන්නන්න. ඒ ඉස්කෝලේ මුස්ලිම් නිසා මුල් දවස් වල ගෑණු ළමයි පිරිමි ළමයි වෙන්කරලා තිබ්බේ. ඔන්න ඉතින් ගේම. ඒ දවස්වල දැන් වගේ කඩ්ඩත් බෑ. බර්ටියා හරිම අමාරුවෙන්
තමයි ගේම ගහගත්තේ. හරියට අච්චු පොතක් වත් තිබ්බේ නෑ ඉස්කෝලෙන් දීලා. ඉන්ටර්නෙට් එකත් නෑ අද වගේ. ඒ දවස් වල බර්ටියට කොම්පියුටර් එකකුත් තිබ්බේ නෑ.
විෂය කරුණු දැනගෙන හිටියට ඉංශ්‍රිසි දැනුම අඩු නිසා එක දිගටම උගන්නගෙන
යන්න බෑ. සැරෙන් සැරේ පොත බලන්න ඕන වචන මතක කරගන්න. ළමයි අමතර ප්‍රශ්න ඇහුවට උත්තර දී ගන්න බෑ. බර්ටියට හොදට මතකයි නවය වසරේ පන්තියේ (නවය වසරේ ගෑණු ළමයි ඉන්න පන්තිය බර්ටියට තිබ්බේ) ගෑණු ළමයින්ට සිංහලෙන් පාඩම විස්තර කරලා දුන්නා. එක ගෑණු ළමයෙක් හිටියා ඒ ළමයට සිංහලත් බෑ. හිතාගන්නකෝ බර්ටියා වැටිච්ච අමාරුව. ආරම්භය ලැජ්ජා සහගතයි තමයි. ඒත් ඒවා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.
ගෙදර ගිහිල්ලා පහුවදාට කරන්න තිබ්බ පාඩම දහ සැරයක් විතර බලනවා. සමහර වචන වල තේරුම ඉංශ්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙන් බලලා පැන්සලෙන් අච්චු පොතේ ලියාගන්නවා. හරියට සටහනක් දෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. අලුතෙන් දෙයක් දෙන්න වචන දන්නේ නෑ. හරියට ගලපලා ඉංශ්‍රීසි ටික ලියගන්න බෑ. අච්චු පොතේ තිබ්බ සටහනම යන්තම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි දෙන්නේ. අච්චු පොතක් නැති වුනොත් උගන්න ගන්න බෑ. හරිම දුක්බරයි ඉතින් ආරම්භය.
හතේ පන්තියට උගන්නන්න බර්ටියට අච්චු පොතක් තිබ්බේ නෑ. පන්තියේ ළමයෙක්ගේ අච්චු පොතකින් තමයි පාඩම කළේ. එක සැරයක් අමතර පන්තියක් දැම්මා හතේ පන්තියේ විෂය නිර්දේශය (Syllabus) එක ආවරණය කරගන්න. කරුමේ කියන්නේ එදාම අර අච්චු පොත තියෙන ළමයා ඉස්කෝලේ ආවේ නෑ. පන්තියටම එක අච්චු පොතයි තිබ්බේ. බර්ටියට ඉතින් අමතර පන්තිය කැන්සල් කරන්න සිද්ධ වුනා එදා. මෙන්න ටිකකින් පිනා එනවා බර්ටියව හොයාගෙන. ඇවිල්ලා බර්ටියට දෝස් මුරයක් දාලා ගියා එහෙම පන්ති කැන්සල් කරන්න බෑ කියලා.ඒ ළමයි පන්ති කියලා ආවහම පන්ති කැන්සල් කලොත් හවස් වෙනකම් යන්න විදිහක් නැහැයිලු. අපිට වගේ බස් වල ගිහිල්ලා පුරුද්දක් නෑ ඒ ළමයින්ට. වැඩි හරියක් ළමයි ඉස්කෝලේ ඉන්නේ ත්‍රී වීල් එකේ. අන්තිම ශෝචනීයයි ඒ දවස් වල තත්වය. කොහොම හරි පිනා ගිහිල්ලා විද්‍යාව කරන ගෞරි ටීචර්ට කියලා තිබ්බා බර්ටියට අච්චු පොතක් හොයලා දෙන්න කියලා. පහුවදා ගෞරි ටීචර් අච්චු පොතක් ගෙනල්ලා දුන්නා. යන්තම් අච්චු පොත් ප්‍රශ්නේ විසදිලා බර්ටියට හුස්මක් කටක් ගන්න පුළුවන් වුනා.
පිරිමි ළමයිගේ විනය අන්තිම සවුත්තුයි. පන්තියකට වේවැලක් අරන් යන්නේ නැතුව උගන්නන්න බෑ. අත දිග ඇරලා වේවැල පාවිච්චි කරන්න අපිට අවසර තිබ්බා. පොඩ්ඩක් එහා මෙහා බැලුවොත් වලියක්. බර්ටියට මුල් කාලේ පිරිමි ළමයින්ගේ පන්ති පාලනය කරගන්න බෑ. මාරම සද්දෙයි. අහල පහල පන්ති වල අයත් උගන්නන්නේ අමාරුවෙන්. බර්ටියා දෙතුන් සැරයක්ම බැනුම් අහලා තියෙනවා ප්‍රිනාගෙන් පන්තිය කොන්ට්‍රොල් නෑ කියලා.
එක සැරයක් පොර ස්ටාෆ් මීටින් එකකදිත් ඔය කතාව කියලා බර්ටියව නැති නාස්ති කරලම දැම්මා. එහෙම හිටපු බර්ටියා අද වෙනකොට ක්ලාස් කොන්ට්‍රොලින් වලින් හොදම තැනක ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ අර ලබපු අමිහිරි අත්දැකීම් වල ලද පන්නරය.
මොනවා වුනත් පිනා බර්ටිගේ උගැන්නිල්ලට වචනයක් කිව්වේ නෑ. පොර කිව්වේ බර්ටියා හොදට උගන්නනවා කියලා. පොර සමහර වෙලාවට ඇවිල්ලා උගන්නනවා බලන් ඉන්නවා. පොර කෙළින්ම කියනවා ළමයි අඩුවෙන් ළකුණු ගත්තට කමක් නෑ බර්ටියා උගන්නන විදිහ හොදයි කියලා. ඒ අතින් බර්ටියට යම් වාසනාවක් තිබ්බා.
පිනා නිතරම ලෙසන් ප්ලෑන් ලියන්න කිවුවත් අපි කවුරුවත් ඕවාලියන්න උනන්දු වුනේ නෑ. අපිට තිබිම ලොකුම ප්‍රශ්නේ තමයි වෙලාවට පඩි හම්බවෙච්ච නැති එක. දහවෙනිදට තමයි පඩි හම්බ වෙන්න තිබ්බේ. ඒත් ඕක ගන්න සෑහෙන දුකක් විදින්න වුනා. ළමයින්ගෙන් සල්ලි හරියට එකතු වුනේ නැතිවුනහම පඩි හම්බවෙන්න පරක්කුයි. පිනා තව එක එක බිස්නස් කරනවා. ඒවා නිතරම පාඩුයි. කෙළවෙන සීන් තමයි තියෙන්නේ. ඉතින් අපිට පඩි නෑ.
එක සැරයක් පොර මට්ටක්කුලියෙන් ඉඩම් අක්කර දෙකක් අරන් තිබ්බා ඉස්කෝලේ තිබ්බ බිල්ඩින් එක උගස් කරලා. අන්තිමට බලනකොට මට්ටක්කුලියේ ඉඩම ආණ්ඩුවේ එකක්. විකුණපු එකයි පිනාගේ ලෝයර්කාරයයි එකතු වෙලා පොරට ගේමක් දීලා. ඉතින් පඩි ලැබුණේ
නෑ අපිට වෙලාවට.
සමහර මාස වල රුපියල් 5000 විතර ලැබෙනවා. සමහර වෙලාවට චෙක් ලියලා දෙනවා. අපි ඉතින් ඉස්කෝලේ ඇරුණ ගමන් ළඟ තියෙන මහජන බැංකුවට දුවනවා චෙක් එකෙන් සල්ලි ටික ගන්න. පරක්කු වුනොත් එකවුන්ට් එකේ සල්ලි නැතිවෙන්න පුළුවන් නිසා. හැබැයි දැන් බර්ටියා වැඩ කරන ලොකු නමක් තියෙන ඉස්කෝලේ වගේ නෙවෙයි මිනිහා කවදාවත් අපිට හම්බවෙන තුට්ටු දෙකට විද්දේ නෑ එහෙම වුනා කියලා. අන්තිම සතේට සල්ලි බේරුවා පරක්කු වෙලා හරි. දැන් එවා ගැන කතා නොකර ඉමු ඉතින්.
එක ඇවිල්ලා මුස්ලිම් ඉස්කෝලයක්. සිංහල ස්ටාෆ් එක 15ක් විතර හිටියේ මුළු ඉස්කෝලෙටම. පොර සල්ලි හම්බවුනාහම ඉස්සෙල්ලම සල්ලි බේරුවේ සිංහල ස්ටාෆ් එකේ. පොර හැමදාම කියන්නේ සිංහල ටීචර්ස්ලා මුස්ලිම් අයට වඩා හොදට උගන්නනවා කියලා. පොරගේ කටේ හැම ස්ටාෆ් මීටින් එකකම කියන තව දෙයක් තිබ්බා. උගැන්වීම කියන්නේ ශුද්ධ වු රැකියාවක් (Teaching is a Holy Job) කියන එක. ඒක නම් බර්ටියා හැමදාටම පිළිගන්න දෙයක්.
වෙලාවට පඩි ගෙවන්නේ නැති නිසා අපි දෙයියනේ කියලා නිවාඩු ගත්තා. කැම්පස් එකේ විභාග වලට, ප්‍රැක්ටිකල් වලට යන්න, පරක්කු වෙලා ඉස්කෝලේ එන්න අපිට කිසිම කරදරයක් තිබ්බේ නෑ. සමහර වෙලාවට අපි කෝල් එකක්වත් දුන්නේ නෑ. අපෙත් වැරදි තමයි ඒවා. පොර ඉතින් ඒවට බර බරේ දැම්මට අපි ගණන් ගත්තේ නෑ. හැබැයි පොර කවදාවත් බර්ටියට වචනයක්වත් කිව්වේ නෑ නිවාඩු ගැන. බර්ටියා හවස පන්ති දාලා හරි විෂය නිර්දේශය ආවරණය කළා. පොර ඒක ගැන සැටිස්. පොර බර්ටියට කිව්වේ නිවාඩු ගත්තට ඔයා සිලබස් එක පන්ති දාලා කවර් කරන නිසා අවුලක් නෑ කියලා. ඔය නිවාඩු ප්‍රශ්නෙට වැඩිපුරම බැනුම් ඇහුවේ අපේ චින්තා තමයි.
ඉගැන්වීම ගැන බොහොම දේවල් දැනගත්තේ මේ ඉස්කෝලේ ගෙවුන අවුරුදු දෙක ඇතුලේ තමයි. අවුරුද්දක් විතර යනකොට ක්ලාස් කොන්ට්‍රොලින් හදාගෙන සුද්දා වගේ උගන්නන්න බර්ටියාට හැකියාවක් ලැබුණා. බර්ටියා ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි වුනා. එක සැරයක් 9 පන්තියේ රොෂානලා අපේ ශාමිනි එක්කද කොහෙද කියලා තිබ්බා බර්ටියා ඉංශ්‍රීසි කතා කරන්නේ සුද්දෙක් වගේ කියලා. ඒ වෙනකොට එක සිංහල වචනයක් පාවිච්චි කළේ නෑ බර්ටියා උගන්නන්න.අපිත් එක්ක උගන්නපු හිරා නැත්තම් හිරෝෂ් අයියා බර්ටියට ලොකු උදව්වක් වුනා උගන්නන වැඩ වලට. බර්ටියා විතරක් නෙවෙයි අනිත් සෙට් එකත් නොදන්න වචනයක් අහගන්න මොනවා හරි උදව්වක් ඉල්ලගන්න හිරා ගාවට තමයි දුවගෙන ගියේ. හිරා අපි හැමෝටම උදව් කලා, උපදෙස් දුන්නා. සමහර වෙලාවට ජීවිතෙත් කියලා දුන්නා. බර්ටි උඹ මෙහෙම කරපන් කියලා කිව්වේ හිරෝෂ් අයියා. ඒ දේවල් හැමදාටම මතකයි.
අද වෙනකොට බර්ටියා ඉන්ටර්විව් එකකට ගියොත් ඕනම තැනකින් පාඩමක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට එකම විනාඩියකවත් පෙර සුදානමක් අවශ්‍ය වෙන්නේ නෑ. එතනට එන්න බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. අද වෙනකොට නම් තත්වය ලේසියි. ඉන්ටර්නෙට් තියෙනවා. ඕන තරම් උගන්නන්න ඕන කරන විඩියෝස් නෝට්ස් හොයා ගන්න පුළුවන්. එක ලොකු වාසියක් වගේම පහසුවක්. කාලය ඉතුරු වීමක්.
ඔන්න ඔහොම දුක්බර, ශෝචනීය ආරම්භයක් තමයි බර්ටියට තිබ්බේ. බර්ටියා අද ඉන්න තත්වෙට ඉන්න ගොඩක් දුක් වින්දා. මහන්සි වුනා. තවත් ඉතින් දුක් කරදරවල නම් අඩුවක් කියලා නෑ. පටන් ගන්න කොට ප්‍රශ්න ඇති වෙනවා. ක්ලාස් එක කොන්ට්‍රොල් කරගන්න බැරිවෙනවා. උගන්නන්න අමාරුයි. සද්දේ වැඩියි. ඒවා අවුලක් කරගන්න එපා. ඒවා හදාගන්න පුළුවන් තමන්ගේ උත්සාහයෙන්. හැබැයි උගන්නන්න පටන් අරන් අවුරුද්දක් ගියාට පස්සෙත් ඒ දේවල් එහෙම්ම නම් අන්න එතන අවුලක් තියෙනවා. එතන තියෙන්නේ ඒ ගුරුවරයගේ වැරැද්දක්. ඒක හදාගන්න බැරි නම් එයා හොද ගුරුවරයෙක් වෙන්නේ නෑ.
අනික කවුරු හරි හිතනවා නම් මේක පැය හයේ රස්සාව. මාස තුනක් නිවාඩු. එක හන්දා උගන්නන එක මාර ලේසියි කියලා, ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා. ඒ පැය හය කවර් කරන්න වෙන මහන්සිය දන්නේ ගුරුවරු විතරයි. අනිත් එක සමහරු හිතනවා උපාධියක් තිබ්බ පළියට උගන්නන්න පුළුවන් කියලා. ඒකත් ලොකු වැරදීමක්. උපාධි නැති මිනිස්සු උපාධි තියෙන අයටත් වඩා හොදින් උගන්නනවා බර්ටියා අනන්තවත් දැකලා තියෙනවා. උගැන්වීම කියන්නේ උපතින්ම ගෙන එන්න ඕන හැකියාවක් (Born Talent) කියලයි බර්ටියා හිතන්නේ. උපාධිය එකට උදව්වක් වෙනවා.
KB 2020.10.12
No comments:
Post a Comment