අම්පාර 2007 - P-1

ඔන්න බර්ටියා ආපහු ආවා අලුත් අවුරුදු මාසේ අළුත් බ්ලොග් සටහනකුත් අරගෙනම. පහුගිය ටිකේම ප්‍රශ්න පත්තර එක්ක ඔට්ටු වෙලා බර්ටියාට එපා වෙලා හිටියේ. බ්ලොග් සටහනක් ලියන්න තරම් විවේකයක් තිබ්බේ නෑ හිතටත් ගතටත්. මේක ඇත්තටම දිග සටහනක් අඩුම ගානේ කොටස් තුනක් හාේ හතරක් ලියන්න වේවි කියලා තමයි බර්ටියා හිතාගෙන ඉන්නේ. පාසල් නිවාඩු කාලේ පටන් ගන්න නිසා බර්ටියාට කරදරයක් නැතුව බ්ලොග් සටහන් ටික ලියන්න පුළුවන් වේවි කියලා බර්ටියා හිතනවා. පහුගිය දවස් වල බර්ටියාගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නොකර සෑහෙන දුකක් වින්දා. ඒ් මදිවට දැන් සමහර සිංහල අකුරු Sinhala Typing Tools වලින් ලියන්නත් බෑ. ඒක හරි කරදරයක් අප්පා. හරි හරි දැන් ඉතින් අපේ කතාවට බහිමුකෝ. වැල් බයිලා ගැහුවා මදැ, නේද?

2007 සැප්තැම්බර් මාසෙදී බර්ටියා අම්පාරේ ගියේ දෙවෙනි පාරට. (මුස්ලිම් ඉස්කෝල මේ කාලෙදි වහලා නොම්බි අල්ලන කාලේ නිසා) මේ ගමනට බර්ටියා හිතුවට වඩා පිරිසක් සහභාගී වුනා. අපිත් එක්ක දෙමටගොඩ ඉස්කෝලේ ඉගන්නුව විවෘතයේ ජුන්ඩත් මලිතගේ අක්කා මොරිනුත් අක්කගේ ළමයි දෙන්නත් දුව නෞචලී පුතා මිතුන් එක්ක මිතුන්ගේ යාළුවෙකුත් මලිතයගේ නෑ කෙනෙක් වෙන ඩැනී අයියත් මේ ගමනට සහභාගී වුනා. ගමන ගොඩක් දවසක ඉදලා කතා කරගෙන් තිබ්බත් බර්ටියාට බොහොම අවුල් සහගත තත්වයක් ඇතිවුනා මුදල් සම්බන්ධව. දෙමටගොඩ ඉස්කෝලේ වැඩ කරන කාලේ බර්ටියා ඇතුළු කට්ටියට තිබ්බ ලොකුම සහ එකම ගැටළුව වෙලාවට වැටුප් නොලැබීම. ඒ් දවස් වල ඒ ආයතනයේ අයිතිකරුට මුදල් සම්බන්ධව ගැටළු බර තොගයක් තිබ්බා. ඒ නිසා අපේ වැටුප වෙලාවට ලැබුණේ නෑ ගොඩක් මාස වල. මේ දවස් වෙනකාෙට බර්ටියාට මාස දෙකකම සල්ලි හම්බවෙන්න තිබ්බා.

අම්පාරේ යන්න පෙරුම් පුරාගෙන හිටියට සල්ලි නෑ. අම්පාරේ යන්න තිබ්බ දවසට දවස් දෙකකට කළින් බර්ටියා කැම්පස් ඒකේ හිටියේ මලිතයත් එක්ක කතාවක් දාගෙන. මම විස්තරේ මලිතයට කිවුවා. මලිතය කිවුවා අපි ඉස්කෝලේ පැත්තේ ගිහින් බලමු කියලා. ඒ පාර 10.00 ට විතර මලිතයත් එක්ක බයික් එකේ ගියා දෙමටගොඩ ඉස්කෝෙල් පැත්තේ. වෙලාවට වගේ යනකොට විදුහල්පතිවරයා හිටියා. ලේසියට හා පුරුද්දට පිනා කියමුකෝ. ඉස්කෝලේ අයිතිකාරයත් පිනාම තමයි. අපි සෑහෙන වෙලාවක් කතා කරකර හිටියා. මිනිහා මිනිහගේ ගැටළුව කිව්වා. බර්ටියා බර්ටියගේ ගැටළුව කිව්වා. අන්තිමට පොරගේ අතේ ඉතුරු වෙලා තිබ්බා රු 5000 බර්ටියාට දුන්නා. කොච්චර වුනත් හාෙද මනුස්සයා. බර්ටියා මාර සන්තෝෂෙන් ඒකත් අරන් මලිතයා එක්ක කැම්පස් එකට ගිය. දැන් ගමන යන එක ගැන ගැටළුවක් නෑ‍. බර්ටියා ඉතින් බොහොම සතුටින් ගෙදර ගියා.

අපි රෑ දහයට විතර පිටකොටුවෙන් තිබ්බ අම්පාරේ බස් එකේ යන්න හිතාගෙන හිටියේ. උදේ බර්ටියට මලිතය කතා කරලා කිවුවා කෝකටත් කියල බර්ටියා එනකොට පිටකොටුවට ගිහිල්ලා දහයේ බස් එකේ ෂීට් දෙකක් බූක් කරලා එන්න කියලා. බර්ටියා ඉතින් පිටකොටුවට ගිහිල්ලා ටිකටුත් අරගෙන් හවස හතරට විතර මලිතලගේ බෝඩිමට ගියා. අපි දෙන්න හවස විජේරාම හන්දියට ගිහිල්ලා රතු කැකුලෙන් කට්ටියටම බතුත් අරගෙන ආවා. අටට විතර මලිතය අයියත් එක්ක දෙහිවලට ගිය අක්කලව අරගෙන එන්න. ඒ කට්ටියව ගෙනත් දාලා මලිතයා ආපහු ගිය ජුන්ඩව එක්ක ගෙන එන්න. ඒකව ගෙනාවට පස්සේ අපි කාලා බීලා ඇදුම් බෑග් ටිකත් උස්සගෙන විජේරාම හන්දියට ඇවිල්ලා පිටකොටුවට බස් එකක් අල්ලගෙන 9.45 විතර වෙනකොට පිටකොටුවට ආවා. බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. අපි ඔක්කොටම වැඩිවෙලා යන්න ෂීට් තිබ්බට බස් එකේ කොන්දා ගුලක් කෙලපු නිසා බර්ටියාටයි මලිතයාටයි මාරුවෙන් මාරුවට හිටගෙන යන්න වුනා. කොහොමහරි ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට උදේ 8.00 විතර අපි නාමල් ඔයෙන් බස් එකෙන් බැහැ ගත්තා. අම්මෝ මේ වෙනකොට හැමෝගෙම පස්චාත් බාගය රිදුම් දෙමින් ඇදුම් කමින් තමයි තිබ්බේ. ඉතින් අපිට මාරම සනීපයක් දෙනුනා.

මේ ෆොටෝ එක ගත්තේ නාමල් ඔයෙන් බැහැලා තරමක් දුරට කහටගස්යාය පැත්තට ඇවිල්ලා‍. මනතුංග එනකම් අපි වාඩිවෙලා හිටියා. ඒත් මිනිහා කොහාට හරි අතුරුදහන් වෙලා අත් ට්‍රැක්ටරයක් එක්ක. මනයා අපිව ගන්න ඇවිල්ලා ඒත් වෙච්ච දෙයක් නෑ. අපි ඒ පාර මළු ටිකත් පොදි ගහගෙන අැවිදන් යන්න තීරණය කළා මනයව කොහෙදි හරි හම්බවෙනකම්.

ඒත් මනයව හම්බවුනේ නෑ ඒකගේ ගෙවල් ළඟට එනකම්ම. උගේ ගෙදරටත් ගියාට පස්සේ තමයි ඒකා ආවේ. ඊට පස්සේ අත් ට්‍රක්ටරේ නැගලා ගියා ඉන්දිකලගේ ගෙදරට (ඉන්දික තමයි මනයගේ නෝනගේ නංගිව බැදලා ඉන්නේ). ඉන්දිකලගේ දිහායින් උදේටයි දවල්ටයි දෙකටම කාලා මනයලගේ ගෙදරට ඇවිල්ලා අපි පොඩි විවේකයක් ගන්න තීරණය කලා. මේ අතර ජයතිලක එහෙම ඒ පැත්තට ඇවිල්ලා හිටියා. ජයා හොද වෙඩික්කාරයෙක්. පොරත් අපිත් එක්ක කන්දේ යන්න ලෑස්ති වෙලා හිටියේ. ඉන්දිකයි මහතුන් අයියයි (මහතුන් අයියත් හොද වෙඩික්කාරයෙක්) තව ගමේ බර්ටියා නොදන්න කීප දෙනෙකුයි ලෑස්ති වෙලා හිටියා. කදු නගින්න කළින් අපිට ඕන කරන බඩු ගන්න මලිතයා මනයත් එක්ක උහනට ගියා. හාල්, පොල්, නූඩ්ල්ස්, පරිප්පු, සැමන්, පාන් පිටි, සිනී, තේ කොළ, මිරිස් කුඩු වගේම අපිට ඕනෙම කරන වාත තෙල් බෝතල් කීපයක් ඒ ලැයිස්තුවේ තිබ්බා. කොහොමත් පැය දෙකකින් විතර මලිතයා බඩු අරගෙන ආවා. ඒ අතර Ritz බ්‍රෑන්ඩ් වාත තෙල් බෝතල් තුනකුක් තිබ්බා බර්ටියාට මතක විදිහට.

බඩු ටිකත් පරෙස්සමින් බෑග් වලට අහුරලා 3.30 විතර අපි කන්ද නගින්න පටන් ගත්තා. තරමක් දුරට ගම දිගේ ඇවිදගෙන ගිහින් එතන ඉදලා කන්ද නගින්න තමයි තියෙන්නේ. බර්ටියාට මතකයි මනයා සද්ද නැතුව ඉන්න කියල කොළ අත්තක් කඩලා ගහක එල්ලුවා. ෆිල්ම් වල නාට්‍ය වල ඒ වගේ දේවල් දැකලා තිබ්බට ඇත්තට එහෙම දෙයක් දැක්කේ එදා තමයි. අපිත් ඒකම කරන්න කියලා මනයා කිව්වා. එතන ඉදන් නැග්මක් තමයි තිබ්බේ. බර්ටියත් හති දදා නැවති නැවති කන්ද නැග්ගා ඉතින්. අතර මඟ එක තැනක් තියෙනවා එතනින් උඩට නගින්න තියෙන්නේ මුලක් දිගේ. එතනට නැග්ගට පස්සේ ගල් අතරින් පෙරිලා එන දිය පාරක් තියෙනවා. වතුර අයිස් වගේ සීතලයි එතන. එතනින් වතුර බීලා චුට්ටක් වාඩිවෙලා ඉදලා ආපහු කන්ද නගින්න පටන් ගත්තා. වැඩිවෙලා විවේක නොගන්න හේතුව තමයි කරුවල වැටුනොත් කැලේ ඇතුලේ පාර හොයාගන්න බැරුව යන එක. ඔය විදිහට තව සෑහෙන වෙලාවක් දුක් විදලා බොහොම අමාරුවෙන් ඉතුරු ටිකත් නැගලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න කියලා අපි කන්ද මුදුනට නැගගත්තා‍.

කන්ද මුදුන තනි ගල් තලාවක්. ගලේ පොඩි පොකුණු දෙකක් තියෙනවා වතුර කොළ පාට වෙච්ච. ඒ වතුර තමයි අපේ පාවිච්චියට තියෙන්නේ. වතුරේ පාට හරි නෑ ගෙම්බෝ ඉන්නවා කියලා වතුර පාවිච්චි නොකර සිටීමේ හැකියාවක් අපිට තිබ්බේ නෑ. බර්ටියාට ඒක මුලින්ම පොඩ්ඩක් අවුල වගේ වුනාට පස්සේ ඒක මහ දෙයක් වුනේ නෑ. කන්ද උඩට නැග්ග බර්ටියා ගල උඩ පෙරළිලා සෑහෙන විවේකයක් ගත්තා. ඒ්ත් මනයට වජිරට (මනයගේ නෝනා - බර්ටියයි මලිතයයි සෝමා කියලත් කියනවා විහිළුවට) විවේක ගන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ. එයාලට කරන්න ගොඩක් වැඩ තිබ්බා. සෝමා තේ හදන්නයි රෑට උයන්නයි ලෑස්ති වුනා‍. මනයයි අනිත් කට්ටියයි දර හොයන්න කැළේට ගියා. දර ගොඩක් ඕන කරනවා ගිනි මැලයට. මොකද පාන්දර වෙනකොට කන්ද උඩ පට්ට හීතලයිලු. ඒක බර්ටියාට අත්දැකීමෙන්ම විදගන්න ලැබුණා පැයි කීපයකට පස්සේ. රෑට උයන්නත් දර ඕනේ. බර්ටියත් රෙස්ට් එකක් අරන් ජුන්ඩත් එක්ක වටේ පිටේ ඇවිදලා බැලුවා.

පට්ට ලස්සනයි කන්ද උඩ ඉදගෙන පල්ලෙහා බලනකොට. කහටගස්යාය ගමම පේනවා. ඈතින් අම්පාර ටවුන් එක පේනවා මාර ලස්සනට. හවස 6.30 වෙනකොට හතර වටින්ම කරුවල වෙලා ආවා. තේ බීලා ඉවර වෙලා ගෙනාව දර වලින් අපි ගිනි මැලයක් ගැහුවා. 7.30 විතර වෙනකොට සෝමා මොරින් අක්කත් එක්ක එකතු වෙලා උයලා ඉවර කළා. රෑ කෑමට පරිප්පුයි බතුයි සැමනුයි. මාර රහයි. ගෙදර දී නම් මෙහෙම කන්නෙත් අමාරුවෙන්. ප්ලාස්ටික් පිගානකට කෑම එක බෙදා ගෙන ගල උඩ වාඩි වෙලා අපි රෑ කෑම අවසන් කරලා වාත තෙල් ටිකක් පාවිච්චි කරන්න ලෑස්ති වුනා.

බර්ටියා කොච්චර වාත තෙල් පාවිච්චි කරලා තිබ්බත් කට්ටියක් වටේට ඉදගෙන තනි ඇළුමිනියම් කොප්පයක් එක්ක වාත තෙල් බෝතලය අතින් අතට යෑම අළුත් අත්දැකීමක් වුනා. වාත තෙල් වැඩේ ඉවර කරලා අපි නිදා ගන්න ලෑස්ති වුනහම මනයයි මලිතයයි කිව්වා උඩින් තිබ්බ ගල් තැල්ලේ නිදා ගන්න එපා කියලා. එක සැරයක් උන් ඒ ගල් තැල්ලේ නිදාගෙන ඉන්න කොට කාට ද අස්සයෙක් පිටේ ආපු මිනිහෙක් හෙල්ලයක් දික්කරලා එතන නිදා ගන්න එපා කියලා. කතාවේ හැටියට එතන නිදා ගත්තොත් සමහර විට පහුවදා උදේට කන්ද පාමුලින් නැගිටින්න තිබ්බා. කන්ද උඩ ඉදන් බලන කොට අම්පාර ටවුන් එක බොහොම ලස්සනට පේනවා. ඒක බොහොම සුන්දර දර්ශනයක්.

බර්ටියා තාමත් දුක් වෙනවා බර්ටියා ගාට කැමරාවක් නොතිබ්බ එක ගැන ඒ සුන්දර දර්ශන හැමදාටම තියාගන්න. කැමරා ගැන කතා කරනවා බර්ටියා ඒ දවස් වල පාවිච්චි කළෙත් Nokia 1100 ෆාේන් එකක්. තව කොහෙද ඉතින්? මෙතන උඩින් තියෙන ෆොටෝ එක මිතුන් ගත්ත එකක් කන්ද නගින කොට. මිතුනුත් පැපරාසියා වගේ ෆාේන් එක මානගෙන ෆොටෝ ගන්න එකමයි කළේ. මේ ෆොටෝ එකේ බර්ටියාට ඉස්සරහින් ඉන්නේ ජුන්ඩා හෙවත් දිමුතු. බර්ටියාට පිටිපස්සෙන් ඉන්නේ මහතුන් අයියා.

කොහොම හරි මලිතයාගේ සරමකුත් පෙරවගෙන බර්ටියා ගිනි මැලේ කිට්ටුවටම වෙලා නිදා ගත්තා. අම්මට සිරි වෙන්න පාන්දර දෙකට විතර පට්ට හිතලයි ඉන්න හිටින්න බෑ. බලන කොට ගිනි මැලේ නිමිලා ගිහිල්ලා දරත් ඉවර වෙලා. හීතලත් එක්ක පට්ට සුළඟකුත් එනවා අම්මෝ ඇඟ හිරි වැටිලා යනවා. මලිතයත් නැගිටලා බලලා ජුන්ඩවයි මනයවයි ඇහැරවගෙන ජයතිලකවත් අඩගහගෙන ටොච් කෑල්ලකුත් අරගෙන දර හොයන්න ගියා.

කැලේ ඇතුලෙදි ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නෑ. ජයතිලක පරිස්සමින් අඩිය තියන්නත් කිව්වා සර්පයෝ ඉන්නවා කියලා. මොනවා වුනත් අපිට වැඩි දුරක් යන්න වුනේ නෑ. උස්සන් එන්න පුළුවන් සයිස් එකේ හොද දර කොට වගයක් හම්බවුනා. කට්ට කරුවලේ ටොච් පාර දිගේ පාර හොයාගෙන ගල් උඩින් පැන පැන බොහොම අමාරුවෙන් අපි කට්ටිය දර කොට ටික ගිනි මැලය ගහපු තැනට අරගෙන ආවා. අඟුරු ඉතුරු වෙලා තිබ්බ නිසා අපිට ආපහු මැලේ අවුල ගන්න මහ වෙලාවක් ගියේ නෑ. ඔය වැඩේ ඉවර කරලා අපි කට්ටිය පැයක් දෙකක් විතර අපහු නිදාගත්තා. ඇත්තම කිව්වොත් බර්ටියාට නින්දක් නම් ගියේම නෑ. කොහොම හරි පාන්දර 4.00 විතර වජිරද කොහෙද ඇවිල්ලා වතුර මුට්ටියක් තියලා ගියා මැලේ උඩින් තේ ටිකක් හදන්න කියලා.

අපි තුන් හතර දෙනත් කෙලින් වෙලා පොඩි චැට් එකක් දා ගත්තා කෝපි හදනකම්. බර්ටියා එදා යන්න තියෙන තැන ගැන විස්තර ඇහුවා. තව කදු දෙකක් නැගලා කන්ද දිගේ ඇවිදගෙන ගිහිල්ලා ආපහු පහළට බහින්න ඕන කියලා මනයා කිව්වා. කොහොමත් එදා හවස තුන හතර වෙනකම් ඇවිදන්න තියෙනවා කියලා මනයා කිව්වේ. ඇවිදින එක නම් ඕන මඟුලක්. ඒත් කදු නගින්න ගියහමනේ අහවල් එක ඉරෙන්නේ බරත් උස්සගෙන. මොනවා කරන්නද? මෙච්චර දුර ආපු එකේ නොයා ඉන්න යෑ.

තේ බීලා ඉවර වුනා විතරයි වජිරලා ආපහු උයන්න ලෑස්ති වුනා. උදේට බත් උයන්න තමයි කට්ටිය තීරණය කළේ. මොකද ගමන පිටත් වුනාට පස්සේ උයන්න කන්න බොන්න වෙන්නේ නැති නිසා. ටිකෙන් ටික එළිය වැටීගෙන ආවා බොහොම සුන්දර දර්ශනක් මවමින්. කළින් දවසේ කරුවලට හෙවනැලි වගේ දැක්ක දේවල් දැන් තමයි පැහැදිළි වෙලා පෙන්නේ. බර්ටියා ඇදගෙන හිටපු සරම යාපනේ වැලක වනල තිබ්බ එකක් වගේ වෙලා. රෑ තිස්සේ ගිණි මැලෙන් විසිවේච්ච අඟුරු කෑලි වලට. තව පැය භාගෙකට විතර පස්සේ අපි තුන් හතර දෙනා අපි හිටපු තැනට පහළින් තියෙන කැලේ පැත්තට ගියා එන්ජිම පොඩ්ඩක් පාත් කරලා මූණ හෝදගෙන නාගෙන එහෙම එන්න. පල්ලෙහා තියෙනවා ගලේ හැදිච්ච ලිදක් වගේ එකක් සෑහෙන්න ගැඹුරු. කට්ටිය නම් කියන්නේ අඩි 40 කටත් වඩා ගැඹුරුයි කියලා. හැබැයි කවදාවත් වතුර හිදෙන්නේ නෑ. මෙතනින් එහාට විස්තර ටික බර්ටියා අම්පාර 2007 - P-2 කොටසෙන් ලියන්නම්. අදට බර්ටියා ගිහිල්ලා එන්නම්.

No comments: