ඉස්කෝලේ කාලේ මං 4 - කතා හතරක්

ආයුබෝවන් හැමොටම. ඉස්කොලේ කාලේ වෙච්ච සිදුවිම් කීපයක විස්තරත් අරගෙන බර්ටියා අප්‍රේල් මාසේ ලියන අවසාන බ්ලොග් සටහන අරගෙන ආවා කියමුකෝ. පරණ දේවල් ගැන විස්තර ලියන කොට තියෙන අමාරුව තමයි මේ දේවල් බර්ටියාගේ සහ ඒවට මුහුණ දීපු යාළුවන්ගේ මතකයේ ඇරෙන්න වෙන කොහෙවත් සටහන් වෙලා නොතීබීම. ඉතින් අර පරණ මතක ගබඩාව අවුස්සලා මේ මතකයන් එළියට ගන්න එක තරමක් අමාරු වැඩක්. මොකද වෙච්ච දේවල් ඒ විදිහටම මතක නෑ සමහර විට. සමහර වෙලාවට කොහොම ආරම්භවුනාද කියන්නත් මතක නෑ. අවසානය නම් බොහොවිට මතකයි. මේ එහෙම සිද්ධ වෙච්ච දේවල් කීපයක්.

හැමෝටම මතක ඇති බර්ටියා ඇතුළු පහේ කල්ලිය බර්ටියාලගේ ඉස්කෝලේ ප්‍රථමාධාර කණ්ඩායමේ ප්‍රභල සමාජිකයින් බව. ඒ දවස් වල ප්‍රථමාධාර කාමරය තිබ්බේ බොහොම අබල දුබල තත්වයේ පරණ ගොඩනැඟිල්ලක. මේකේ අබල දුබල තත්වය සලකලාමද කොහෙද පාසලේ පරිපාලනය තීරණය කළා මේ තට්ටු තුනේ ගොඩනැඟිල්ල තට්ටු දෙක කරලා ලොකු අළුත් වැඩියාවක් කරන්න. ඉතින් අපිට අපේ කාමෙරන් එළියට දාලා අළුත් වැඩියා කටයුතු බාර දුන්නා කොන්තරත් බුවෙකුට. කොන්තරත් බුවාට අපි කිව්වේ සායි බබා කියලා. මොකද පොරගේ කොන්ඩේ ඒ වගේමයි. මාස කීපයකට පස්සේ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වුනේ නැතත් අපේ කාමරේ අපිට ලැබුණ එක ඉහේ මලක් පිපුණා වගේ දෙයක් වුනාට අපිට. මොකද හදිස්සියකට පීරියඩ් එකක් කට් කරන්න පොත් බෑග් එක දාලා ගෙදර යන්න තැනක් නැතුව බර්ටියා ඇතුළු පහේ කල්ලිය සෑහෙන දුකක් වින්දා මේ දවස් වල. ඒ මදිවට සතියකට දෙකකට සැරයක් ඉස්පිරිතාලේ පැත්තේ කැරකිලා එන්න තිබ්බ අවස්තාවත් මේ වෙනකොට නැතිවෙලා තිබ්බේ. වවුලයි බර්ටියයි දවසක් හැන්දාවක පොඩි එවුන් ටිකත් අල්ලගෙන අපේ ප්‍රථමාධාර කාමරය හෝදලා සුද්ද කරලා ගත්තා. පොඩි පොඩි අළුත්වැඩියා කිරීම් කීපයක් විතරයි මේ වෙනකොට ඉතුරු වෙලා තිබ්බේ.

පහේ කල්ලියේ සාමාජිකයෙක් තමයි පොකයා කියන්නේ. ඇත්තටම පාෙකයා කියන්නේ උගේ කාඩ් එක නැත්තම් සුරතල් නාමය. හැබැයි ඉතින් ඔය නම පාවිච්චි කළහම ඒකා සුරතල් වුනේ නම් නෑ අත පය ඉස්සුවා මිසක්. පොකයව එක දිගට බයිට් කරන්න පටන් ගත්තහම ඒකට අම්බානකට මළ පනිනවා. ඒ වෙලාවට සුද්ධ ඒ වගේම සංස්තණය නොකළ සිංහල තමයි ඒ කටින් එලියට පනින්නේ. ඒත් පොඩි අවුලක් තිබ්බා. මේකට හොදටම කේන්ති ගියහම සමහර වචන වල ඉස්පිලි, පාපිලි, හල් කිරීම් වගේ ඒවා නැතුව යනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එක සැරයක් ගමයත් එක්ක මළ පැනලා (හැමොටම ගමයව මතක ඇති කියලා හිතනවා) "හත්තෝ, හකනවාද?" කියලා ගමයගෙන් ඇහුවා. අපිට වගේම ගමයටත් සිද්ධ වුනේ රණ්ඩුව පැත්තකින් තියලා බඩවල් අල්ලගෙන හිනාවෙන්න. සමහර වෙලාවට පොකයා දරුණුවට අත පයත් උස්සනවා. ගොඩාක් වෙලාවට පොකයා වලි දාගන්නේ ගමයා එක්ක තමයි. මොකද ගමයාටත් ඒකගේ බොක්කු කට පියාගෙන ඉන්න බැරි නිසා. බර්ටියා කියන මේ සිද්ධිය වුනේ අපේ ප්‍රථමාධාර කාමරය අළුත්වැඩියා කරලා අප සතු කළ දවස් වලමයි.

ඔන්න දවසක් ප්‍රථමාධාර කාමරය ඇතුලේදීම සුපුරුදු පරිදි ගමයා සහ පොකයා රණ්ඩුවක් පටන් ගත්තා. සුපුරුදු විදිහට ගමයා තමයි වැඩේ පටන් ගත්තේ. වවුලා, කොමනා සහ බර්ටියා නරඹන්නන් වුනා පමණයි වැඩසටහනට සහභාගීවුනේ නෑ. අන්තිමට ගමයා මොකක් හරි කියලා පැනලා දිව්වා සුසන්තිකා ජයසිංහ වගේ. පොකයත් ආයේ නෑ හුසේන් බොල්ට් වගේ පස්සෙන් එලෙව්වා. ප්‍රථමාධාර කාමරය ඇතුලේ තිරයක් ඇදලා ආවරණය කරපු කාමරයක් වගේ කෑල්ලක් තියෙනවා. ඔතන තමයි අපේ අමරණීය ඇඳ තියලා තියන්නේ. කොළ පාට තිර රෙද්දක් දමයි දාලා තියෙන්නේ‍. ඒකෙන් එළිය පෙන්නේ නෑ. වෙන දේ බලන්න නම් ඔළුව දාලාම බලන්න ඕන. අපිත් ඉතින් මේ වෙලාවෙදි ඔළුව දාන්න ගියේ නෑ. දුවලා එන්නැතැ කියලා හිතලා. ඒත් අපේ ඒ අවිහිංසක ප්‍රාර්ථනය බොඳකරගෙන සලාං ගාන සද්දයක් ඇහුණා. අපි තුන්දෙනා දුවලා ගියා එළියට. බලනකොට ඉස්සරහ පැත්තේ තිබ්බ ජනේලයක වීදුරුව කුඩු. අපරාදේ කියන්න බෑ ජනේල් වලට අළුතෙන් වීදුරු දාලා සතියක්වත් නෑ ජනේලයක් ඉවරයි. දැන් ඉතින් වුනේ මොකක්ද කියලත් හාෙයලා බලන්නත් එපායෑ.

නැත්තම් අපේ කවය බාර සර් (අපේ සර්ගේ සුරතල් නාමය වුනේ ලැවොසියර්. අපි කෙටියට ලැවා කියලත් කිව්වා) අහයි මේකේ ජනේල් කුඩු කරලා යනකම් අපි නිදාගෙන හිටියද කියලා (ඇත්තටම අපි නිදා ගන්න තමයි හැදුවේ). ඊට පස්සේ අපි යන්තම් පොකයවයි ගමයවයි අල්ලගෙන විස්තරය ඇහුවා. බලනකොට පොකයා ගමයව අල්ලගෙන උස්සලා වීදුරුවේ ඇනලා. ගමයගේ වැලමිට තමයි වීදුරුවේ වැදීලා කුඩුවෙලා තියෙන්නේ. වාසනාවකට ගමයට තුවාලයක් නොවී බේරුණා. ටිකකින් ජයසේකර සර් ආවා. වීදුරුව දැක්කා. වවුලගෙන් ඇහුවා "මොකද වරුණ වුනේ?" කියලා. වවුලා ඉතින් කට හදලා කිව්වා "සර්, ගමගේයි දුලිපුයි රණ්ඩුවක්". ඔච්චරමයි වවුලට කියන්න වුනේ සර් ඉතුරු ටික හිතාගත්තා කිරි ගහට මන්න පිහියෙන් කෙටුවා වගේ. "ආ ගමගේයි දුලිපුයිද? මං අළුතින් වීදුරුවක් දාන්න කියන්නම්" . එච්චරයි. ඒ වැඩේ සාමකාමීව එතනින්ම අවසන් වුනා. හැබැයි මුන් දෙන්නා රණ්ඩු නොවී නම් හිටියේ නෑ.

තව දවසක් අපිට කොහෙන් හරි ඉත්තෑකුරු වගයක් හම්බවෙලා තිබ්බා. අපේ යාළුවෙක් ඉත්තෑවෙක් වෙලා හිටියද කියන්න නම් බර්ටියාට හරියට මතකයක් නෑ‍. කොහොම වුනත් ඉස්කොලේ ඇරෙන්න කිට්ටුව වවුලයි ගමයයි අත් පොරයක් ගියා (Hand fight). පොකයා ඕක අස්සේ ඉත්තෑ කූරක් කෙළින් කරගෙන ඉදලා. (මුට කෙළින් කරන් ඉන්න වෙන දේවල් තිබ්බේ නැද්ද මන්දා) බර්ටියා පොඩ්ඩක් එහායින් පොතක් බල බලා හිටියේ. ගමයා වවුලගේ අත බිමට පාත් කරන කොට ජරස් ගාලා ඉත්තෑකූර බැස්සා වවුලගේ අත දිගේ ඇටේට වෙනකම්. මළ කෙලියයි කෙළ බාල්දියයි කියලා ප්‍රථමාධාරවල වැදගත්ම නීතියක් අමතක කරලා වවුලම ඉත්තෑ කූර ගලවලා අයින් කලා. ඉත්තෑ කූරු ඇත්තටම විසයි. ඒක නිසා අපි කලේ සහිද ලුණු (potassium carbonate) ප්ලේවින් (flavin) එක්ක මිශ්‍ර කරලා තුවාලෙට තියන එක. ඒක විසට හොද ප්‍රතිකර්මයක්. ඒ මිශ්‍රණය තියලා තද කරන් ඉන්නකොට අතට දැනෙනවා විස ඇදිලා එනවා වගේ. ඊළඟට කොමනා එක්කද කොහොද වවුලව ඉස්පිරිතාලෙට යැව්වා පටස් ගාලා. දොස්තර අහලා කොහොමද ඉත්තෑ කූර ඇනුනේ කියලා. වවුලා කියලා යාළුවෙක්ගේ අතේ තිබිලා කියලා‍. දොස්තරයත් ගත් කටටම අහලා යාළුවා ඉත්තෑවෙක්ද කියලා. වවුලා නොමැරී ඒ කතාවත් එතනින් අවසන් වුනා.
එක සැරයක් අපි ගම්පහ අස්ගිරිය පන්සලේ තුන් දින නේවාසික පුහුණු කඳවුරක් කළා. මේකට ප්‍රථමාධාර කණ්ඩායෙම් අපිට වඩා ජේෂ්ඨ වගේම කනිෂ්ඨ සාමාජිකයිනුත් මේ පුහුණු කදවුරට සහභාගී වුනා. බර්ටියාගේ පියතුමාගේ තද බල නීතිරීති නිසා බර්ටියට නේවාසික වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් බර්ටියා නහයෙන් අඩ අඩ උදේ කඳවුරට ඇවිල්ලා හවස පහට විතර ගෙදර යන එක තමයි කලේ. තවමත් බර්ටියා කණගාටු වෙනවා බර්ටියාට ඒ අවස්තාව නොලැබිම ගැන. කවදා හරි දවසක බර්ටියාට දරුවෝ හිටියොත් ඒ දරවන්ට මේ වගේ වැදගත් දේකට සහබාගි වෙන්න තියෙන අවස්තාව අහිමි කරන්නේ නෑ කියලා බර්ටියා තද බල විදිහට හිතාගෙන ඉන්නේ. හරි ඒක පැත්තකින් තියමුකෝ. ගමයත් කකුළ මොකක් හරි කරගෙන එක් තැන් වෙලා හිටයා කියලා මතකයි මෙ දවස් වල. ඒත් ඒකා කදවුරට ඇවිල්ලා හිටියා. දවසක් බර්ටියා උදේ පාන්දරින්ම කඳවුරට එනකොට කට්ටිය කන්න ලෑස්ති වෙනවා. බර්ටියත් ටක් ගාලා පාන් කෑල්ලකුත් අරන් කොමනයි වවුලයි කකා හිටපු පරිප්පු පිඟානට සෙට්වුනා. බර්ටියා එක කටයි කෑවේ. අනේ අම්මෝ ඊට වඩා ලුණු අඩු ඇති ලුණු පොල් කට්ටෙත්. මොන විදිහකට වත් කන්න බෑ එච්චරටම ලුණු. බර්ටියා ඒ පාර වවුලාගෙන් ඇහුවා මොකද බන් මේ කියලා. "බලපන් බන් කුක්ලා වැඩි වුනහම මුකුත් කරන්න බෑනේ. මේ හු....... තරගෙට ලුණු දාලා පරිප්පු එකට". ඒ වවුලගේ උත්තරය. බලනකොට වෙලා තියෙන්නේ මේකයි. බලන කොට එදා උදේට උයන්න ඉදලා තියෙන්නේ පොකයයි, දිගයි, වැද්දයි. කට්ටිය පරිප්පු හෝදලා පොල් ගාලා කිරි මිරිකලා ළූනු මිරිස් තුනපහ එහෙම ගාණට මිම්මට දාලා පරිප්පු එක ලිපේ තියලා. ඒත කට්ටිය අතර පොඩි ගැටුවක් ඇතිවෙලා තියෙනවා ලුණු දානකොට පරිප්පු එකට.

"උඔලා කොහොද බන් මට ලුණු දාන්න උගන්නනේ? මම මඟුල් ගෙවල් වලත් උයන එකනේ" කියලා රණසිංහ
ඉස්සෙල්ලාම පරිප්පු එකට ලුණු දාලා. ඊළඟට අපේ පොකයා ඇවිල්ලා.
"උඔ කොහොමද රණසිංහ අයියේ එහෙම කියන්නේ? මම අපේ මුත්තත් එක්ක කී සැරයක් මඟුල් ගෙවල් වල
උයලා තියෙනවාද? මේ ලුණු මදි බන්" කියලා පොකයත් ලුණු දාලා පරිප්පු එකට.
අන්තිමට වැද්දා ඇවිල්ලා "අනේ පලයන් තොපි දෙන්නාම යන්න. මම ගිය වෙසක් එකට අපේ දන්සැලෙත්
පරිප්පු ඉව්වා" කියලා වැද්දත් ලුණු පොල් කට්ට හළලා පරිප්පු එකට. අපි නිකන් යෑ ඒකට වැද්දා කියන්නේ.

ඔන්න ඕක තමයි වෙලා තියෙන සන්තෑසිය. අන්තිමට මම කලින් කිව්වා වගේ පරිප්පු එකට වඩා ලුණු අඩුයි ලුණු පොල්කට්ටේ. ඒ පාර බර්ටියයි කොමනයි වවුලයි කලින්දා රෑ ඉතුරු වෙච්ච සොයා මීට් ඇතිලියකයි ලුනු ගෙඩි දෙක තුනක පිහිටෙනුයි පාන් කෑල්ල කාලා ඉවර කලා.

දෙවෙනි දවසේ උදේට බොන්න කිරි වෙනුවට කැඳ හදලා කට්ටිය. බර්ටියා ඉතින් කැඳ බොන මනුස්සයෙක් යෑ. ගමයත් ඒ ජාතියේම තමයි. අපේ සර්ගේ කරදරෙන් බෙරෙන්න බැරිකමට රට ඉදි ඇටයක් කාලා කැඳ උගුරක් බිව්වා සර්ට පේන්න. පස්සේ කට්ටියම අස්ගිරියේ කන්දේ පන්සලට නැග්ගා ශ්‍රමදානේ වැඩවලට. ගමයත් අණ්ඩ කචල් හන්දා ගියේ නෑ. බර්ටියත් හිටියා ගමයගේ තනියට. සරුයි අනිත් කට්ටියයි අපිට කඳවුර බලාගන්න කියලා ගියා. අපි දෙන්නට ඉතින් උදේට කිරි එකක් බීමේ දැඩි අවශ්‍යතාවය ඇති වෙච්ච නිසා අපි කිරි හදන්න තීරණය කළා. ඕන කරන ඔක්කොම ජාති හොයගත්තත් අපේ කරුමෙටමමද කොහෙද සීනී ඉවරවෙලා. ගමයා අණ්ඩ කචල් කරගෙන නිසා ඒකට කඩේ යන්න බෑ. අනික සීනි ටිකක් ගන්න අපි බුලත් කඩේ හන්දියටම යන්න ඕන. මොකද ඒ දවස් වල පන්සල අහල පහල කඩවල් තිබ්බේ නෑ.

බුලත් කඩේ හන්දියට යනවා නම් විනාඩි 20 ක විතර දුරක් පයින් යන්න එන්න තියෙනවා. අපේම කව්රු හරි කෑම්ප් එකට ගෙනාව බයිසිකල් කටුවකුත් අරගෙන බර්ටියා ගියා කඩේට සීනී 100 ගේන්න මොකද වැඩිය ගේන්න සල්ලි නෑ. පන්සලේ ඉදන් බුලත් කඩේ හන්දියට යනකොට දාර පල්ලමක් තියෙනවා. පල්ලම ඉවර වෙන්නෙ ප්‍රධාන පාරෙන් තමයි. බර්ටියා පල්ලමේ බාගයක් විතර ඇවිල්ලා ගැහුවා බ්‍රේක් පාරක්. බ්‍රේක් පාර ගැහුව ගමන් බර්ටියාට හීන් දාඩියයි මහ දාඩියයි එක පාරම දැම්මා. බ්‍රේක් අහුවෙන්නේ නෑ. දැන් බයිසිකලේ විදලා යනවා ප්‍රධාන පාර පැත්තට. බර්ටියට මැවිලා පේනවා ගොක් අතු, කැරම් බාෙඩ්, කාඩ් කුට්ටම්, සුදු කොඩි එහෙම. යන්තම් බ්‍රේක් උපරිමේටම අල්ලලා කකුල් දෙකතු බිම ගහලා යන්තම් මහ පාරට නොගිහින් වාහනේකට අඩයක් නොතබා බිම නොවැටී කාටවත් නොන්ඩිත් නොවී බර්ටියා බයිසිකලය නවත්ත ගත්තා.

ඊළගට බර්ටියා බයිසිකලෙත් තල්ලු කරන් පාරෙන් එහා පැත්තේ තිබ්බ කඩේට ගිහිල්ලා සීනී 100 ක් ගත්තා. කඩේ මුදලාලි බර්ටියා දිහා අමුතු විදිහට බලලා හිනා වුනා. බර්ටියා ඕවා ගණන් ගන්න මනුස්සයෙක්යැ. බර්ටියත් සීනි 100 අරන් ආපහු පන්සලට ගියා. පන්සලට ගියාට පස්සේ තමයි බර්ටියාට මුදලාලියා හිනාවුනේ මොකද කියලා තෙරුම් ගියේ. බර්ටියා කඩේට ගියේ කාගේ හරි අව් කණ්නාඩි දෙකක් (Sun Glass) දාගෙන. අද වගේ නෙමෙයි ඒ කාලේ අව් කණ්නාඩි දාන්නේ හරි කලාතුරිකින්. ඒකතු සල්ලි තියෙන පොරවල්.‍ අව් කණ්නාඩි දෙකකුත් දාගෙන කඩේකට ගිහින් සීනි 100 ගන්නවා කියන එක ඒ කාලේ විහිළුවක් වගේ දෙයක්. බර්ටියා දාන් හිටපු කළු කන්නාඩි දෙකටයි සීනි 100 ටයි තමා කඩේ මුදලාලියා කින්ඩිය වගේ හිනාවෙලා තියෙන්නේ. අනේ බර්ටියාට මොකද? බර්ටියාට ඉතින් ලැජ්ජාවක් කියලා එකක් තියෙන එකක් යෑ. සීනිත් අරන් ඇවිල්ලා අපි දෙන්නා ලොකුවයින් කිරි දෙකක් හදාගෙන බීලා පන්සලේ ධර්ම ශාලාවේ තිබ්බ බන්කු දෙකක දිග ඇදිලා බර්ටියයි ගමයයි හොද නින්දක් දැම්මා.

සෑහෙන වෙලාවකට පස්සේ සර් වෙන කෙනෙක්ව එවලා තිබ්බා අපි දෙන්නට කන්ද පැත්තේ එන්න කියලා. ගමයගේ කැඩිච්ච අණ්ඩත් තිබ්බ නිසා, අපි දෙන්න හෙමින් සැරේ කන්ද නැඟලා කන්ද උඩ පන්සලට ගියා.

2 comments:

Anonymous said...

නියමයි

Anonymous said...

Good