අනියා

මේ කියන්නේ බර්ටියත් එක්ක එකම ගුරු මණ්ඩලයේ ඉන්න ගුරුතුමියක් ගැන. ඇත්ත නම කියන්න යන්නේ නැ. අපි ආදරේට කියන්නේ අනියා කියලා. අනියට සිද්ධ වෙච්ච වැඩ කීපයක් තමයි අද බර්ටියා කියන්න යන්නේ. අනියටම හරියන යාළුවෙකුත් ඉන්නවා ඉතින්. ඒ සමානම ටියුබ් ලයිට් එකක්. මේවා ඉතින් විහිළුවට හරි ලිව්වා කියලා අනියා දැනගත්තොත් බර්ටියා වසලා හමාරයි. මේ කව්රුවත් මුහුණු පොතේ නැති එක බර්ටියගේ ලක් එක. අනිත් එක හොඳ වෙලාවට ඉස්කෝල නිවාඩු දීලා තියෙන්නේ.

පළවෙනි කතාව

මේක වෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලීන්. අපේ ගුරු මණ්ඩලයේ හිටපු තවත් ගුරුතුමියක් තමයි සිතාරා කියන්නේ. සිතාරා ටීචර්ගේ තාත්තා නැතිවුනා අවුරුදු දෙකකට විතර කලීන්. අපි කට්ටිය ඔක්කොම මළ ගෙදරත් ගිහිල්ලා අවසන් කටයුතු කරන කනත්තටත් ගියා. මේ ගමන් වලට යන්න අපිට වත්තලින් බස් එකත් ලැබුණා. මළ ගෙදරට අපි ගියේ ඕකීඩ් වලින් හදපු මල් වඩමකුත් අරගෙන. මේ ගමනට අපේ විදුහල්පතිතුමියත් සහබාගී වුනා. ඕන බස් එකෙන් අරන් බහින්න වුනෙත් බර්ටියාටම තමයි. බර්ටියා ඕකත් අරන් බිමට බැහැලා අනිත් කට්ටිය බස් එකෙන් බැහැලා එනකම් ඉන්නවා.

බර්ටියටත් කට කියන එක පියාගෙනම ඉන්න බෑනේ. බර්ටියා මල් වඩමත් උස්සගෙන එහා පැත්තේ හිටපු ටීචර් කෙනෙක්ට කිව්වා බර්ටියගේ මළ ගෙදර එනකොටත් ඒ ජාතියේම මල වඩමක් අරගෙන එන්න කියලා. එතකොට බර්ටියගේ පිටපස්සෙන් සද්දයක් ඇහුණා.

“මොනවද උමේස් සර් ඔය කියන්නේ? පිස්සුද?” අම්මට සිරි වෙන්න අපේ ප්‍රින්සිපල් මැඩම් ඒක අහගෙන ඉදලා. "ඕවා නම් මොනවද මැඩම්, පණ නම් තන අග කිරි බිදු වැන්නේ" කියලා හිතපු බර්ටියා හෙමින්ම සද්ද වහගත්තා.

හරි හරි දැන් කියන්න ගිය කතාවට එමුකෝ. කොහොම හරි මළ ගෙදර වෙලා අපි ආපහු ගියේ බස් එකේම තමයි. ඒක වත්තලට යන නිසා බර්ටියත් ජා ඇලින් බැහැගන්න හිතාගෙන ඒකේම ගියා. අනියත් කොප්පරා හන්දියට එන්න ඒකේ ආවා. කොප්පරා හන්දිට කිට්ටුවෙලා අනියා ෂීට් එකක් උඩ දාලා තිබ්බ බෑග් එක ගන්න කොටම ඒක අස්සෙන් බියර් කෑන් දෙකක් එළියට වැටුණා කියහන්කෝ.

ඕක අල්ල ගත්ත බර්ටියා අනියව බයිට් එකට ගත්තා මාසයක් විතර. මොනවද අනි...... ටීචර් ඔයා ස්කොලේ ගෙනල්ලත් බොනවද අරකයි මෙකයි කියලා බර්ටියා කතා ගොඩක් කිව්වා. අනියා නම් බැන්නෙම බර්ටියා ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා. ඇත්තටම ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් තමයි ඉතින්. බර්ටියට නිකන් ඉන්නත් බෑනේ. කනත්තට වෙලා ඉන්න බැරි එකේ ලක්කික සර්ත් එක්ක බර්ටියා බස් එකට ආවා. ඒ වෙලාවේ බස් එකේ කව්රුවත් නෑ. අපි දෙන්නා කලේ පාරේ තලලා දාලා තිබ්බ බියර් කෑන් දෙකක් අරගෙන අනියගේ බෑග් එකට දාපු එක. අපි ඕක ගෙදරම යවන්න ප්ලෑන් කලේ. ඒත් අපේ වෙලාවට බෑග් එක පෙරලිලා බියර් කෑන් දෙක එළියට ආපු එකෙන් වැඩේ අවුල් ගියා.

දෙවෙනි කතාව

දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවේ බර්ටියා තුන්වෙනි තට්ටුවේ ඉදන් පහලට බැහැලා පොඩි රස්තියාදුවක් ගහලා අනියගේ පන්තිය පැත්තෙන් යනකොට අනියා පන්තියට වෙලා අහස පොලොව ගැටලන්න කල්පනාව. ඒ වෙනකොට අනියලගේ පන්ති ඉවරවෙලා ළමයිනුත් ගෙවල් වලට ගිහිල්ලා. බර්ටියත් ඉතින් අනියගේ පන්තියට ගිහිල්ලා “මොකද බන්?” කියලා ඇහුවා. “බලන්ඩ උමේෂ් සර්, මට මේ සයන්ස් පාඩමක් උගන්නන්න තියෙනවා. ඒත් මම මේ වීට් කියන්නේ මොනවද කියලා පෙන්නන්න විදිහක් නැතිව ඉන්නේ” ඒකයි මං මේ කල්පනා කලේ කියලා උත්තර දුන්නා. බර්ටියත් ඉතින් පොඩි සපොට් එකක් දෙන්න හිතාගෙන විද්‍යාව පොත දිහා බැලුවා.

ඒ පිටුවේ මැද හරියට වෙන්න පින්තූර තුනක් දාලා තිබ්බා. ඒ එකක් වීට් (තිරිඟු) පඳුරක පින්තූරයක්. බර්ටියා ආපු හිනාව බොහොම අමාරුවෙන් නතර කරගත්ත බර්ටියා “ඇයි බන් ඔය ගෙඩි පිටින්ම තිරිඟු පඳුරක් තියෙන්නේ? ඇයි ඇස් කටේ දාගෙනද පොත බලන්නේ කියලා ඇහුවා. ඔන්න එතකොට තමයි අනියටත් මීටර් වුනේ මෙච්චර වෙලා බලන් ඉදලා තියෙන්නේ තමන්ට ඕන කරන රූපේ දිහා කියලා. බර්ටියා ඉතින් හෙණ නෝන්ඩියක් දාලා එතනින් එන්න ආවා.

තුන්වෙනි කතාව

අනියට ක්ලාස් එකක් සෙට්වෙලා තිබ්බා කිඹුලා පිටිය පැත්තට වෙන්න. බර්ටියා ප්‍රින්සිපල් මැඩම් එක්ක යන්නෙත් ඒ පාරේ. ඉතින් දවසක් අනියත් අපිත් එක්ක එන්න සෙට්වුනා. එදා ප්‍රියත් හිටියා බර්ටියට මතක විදිහට. අපි ඉතින් කිඹුලාපිටිය පැත්තට එන ගමන් අනියගෙන් ඇහුවා කොහෙන්ද බහින්නේ කියලා. අනියා ඉතින් කිව්වා බෝධිය ගාවින් තමයි බහින්නේ කියලා. යකෝ මාසෙකට දවස් 20 විතර එන ඔය පාරේ ඔය කියන හරියේ බෝධියක් තියෙනවා කියලා බර්ටියට කිසිම මතකයක් නෑ. බෝධියක් නැතත් බෝ ගහක් ගාවින් හරි අනියව බස්සන්න හිතන් අපිත් ගියා දිගටම. අනේ දෙයියනේ ඉස්සරහින් තිබ්බ පොඩි බුදු පිළිමයක් පෙන්නලා අනියා කියනවා ඔන්න ඔය බෝධිය ගාවින් නවත්තන්න කියලා. අපි තුන්දෙනාම බඩවල් අල්ලන් හිනාවෙන්න ගත්තා අනියගේ බෝධිය දැකලා. අපි ඉතින් අනියව ඒ පෙන්නුව බෝධිය ගාවින් බස්සලා හිනාවෙවීම ගෙදර ගියා.

ඔන්න ඔය විදිහටයි අනියගේ කතා ටික ඉවර වෙන්නේ ඉතින්. තව හොද කතාව තියෙනවා අනියයි යාළුවයි බෑග් එකක් හොයන්න ගිය. බර්ටියට ඒක මතක නෑ හරියට. පස්සේ දවසක වෙන කතාවක් අරන් ආයේ දවසක එන්නම් ඉතින්.

P.S: අනියාගෙන් තර්ජනයක් ආවා අද (2020.04.20). බර්ටියට මොනවා හරි වුනොත් අනියා තමයි.

No comments: