අප්‍රකාශිත ප්‍රේමය

මේක ඇවිල්ලා බර්ටියගේ අප්‍රකාශිත ප්‍රේමය ගැන ලියවෙච්ච සටහනක්. මේ සිද්ධිය වුනේ බර්ටියා දෙමටගොඩ පැත්තේ තිබ්බ ජාත්‍යාන්තර පාසලක වැඩ කරන කාලේ. හරියටම කිව්වොත් 2007 අවුරුද්දෙදි.

මේක තමා බර්ටියා ඉස්සෙල්ලම උගන්නපු ඉස්කොලේ. විවෘතයේ හෙණ සෙට් එකක් ඒ කාලේ මේ ඉස්කෝලේ ඉගැන්නුවා. ඒක හින්දා පාළුවක් තනිකමක් දැනුනේ නම් නෑ. ඒ දවස් වල දැන් වගේ කඩ්ඩත් බෑ. ඒ කාලේ බොහොම අමාරුවෙන් ශබ්දකෝෂය එහෙම පෙරලලා පාඩම් පොත දහ දොළොස් පාරක් බලලා කඩ්ඩ පොලිශ් කරගෙන උගන්නපු එක තමයි කළේ. ළමයි අනම් මනම් ඇහුවට උත්තර දෙන්නත් දන්නෙත් නෑ. සිංහලෙන් දැනගත්තට ඉංශ්‍රීසියෙන් විස්තර කරලා කියන්නත් අමාරුයි ඉතින්. සමහර වෙලාවට හොරෙන් සිංහලෙන් කියලා දීපු වෙලාවලුත් තිබ්බා සිංහල තේරෙන ළමයින්ට. බොහොම දුක්ඛිත පටන් ගැනීමක් ඒක. ඒ ගැන විස්තර පස්සේ ලියන්නම්.

ඔය ඉස්කෝලෙට ගිහිල්ලා මාස හයකට විතර පස්සේ තමයි බර්ටියා මේ කියන ගෑණු ළමයා ඔය ඉස්කෝලෙට ආවේ. එයයි එයාගේ යාළුවයි දෙන්නම පොඩි පන්ති වලට තමයි උගන්නන්න ආවේ. දෙන්නම සුන්දර මුස්ලිම් යුවතියන්. එකේ හිටපු ගොඩක් මුස්ලිම් ටීචර්ලා අපිත් එක්ක වැඩි කතා බහක් තිබ්බේ නෑ.

අපිත් ඉතින් ඔය කාවත් ගණන් ගත්තේ නෑ. විවෘතයේ එකට හිටපු සෙට් එක ගොඩක් එකේ හිටිය නිසා අපිට පාළුවක් දැනුනේ නෑ. මේ ගෑණු ළමයගේ යාළුවගේ නම සමීරා (ඇත්ත නම් නෙමෙයි මම පාවිච්චි කරන්නේ).

සමීරා තමයි අපිත් එක්ක ඉක්මනටම පිට් වුනේ. සමීරාගෙන් තමයි බර්ටියා ගේ හිත ගිය ලස්සන සුදු ගෑනු ළමයගේ නම දැනගත්තේ. එයාගේ නම සීනා කියලා කියමුකෝ. සමීරා කළු පාට ලෝගුව ඇන්දට සීනා ඇන්දේ සල්වාර් එක. එයා මූණ වහගෙන හිටියා සාළුවක් පාවිච්චි කරලා.

සීනා වචන පාවිච්චි කළේ හරිම අඩුවෙන්. එයා අපි කට්ටිය කියන පිස්සු කතා වලට හිනා වෙවි හිටියා මිසක් වැඩිය මුකුත් කිව්වේ නෑ. ඒ නිශ්ශබ්දතාවයට මම ගොඩක් ආසා කලා. මුල් දවස්වල අපි අතරේ හිනාවකට වැඩියෙන් දෙයක් තිබ්බේ නෑ. ඒවුනාට පහුවෙන කොට අපි අතර තිබ්බ හිනාව දුර දිග ගිහිල්ලා අපි ඇස් වලින් කතා කරන්න පටන් අරගෙන තිබ්බා. ඒ කතා හරිම සුන්දරයි. හැමොටම ඇස් වලින් කතා කරන්න බෑ කියලයි බර්ටියා හිතන්නේ.

සීනා අපේ ස්ටාෆ් රෑම් එක ගාව තිබ්බ පන්තියට ඉගැන්නුවා මට මතක විදිහට ඉංශ්‍රීසි. ස්ටාෆ් රෑම් එක කිව්වට ඒක නිකම් මේසයක් වටේ බන්කු ටිකක් දාලා තිබ්බ තැනක්. අපිට බොන්න වතුර ටිකක් වත් ගන්න තැනක් තිබ්බේ නෑ එකේ. මට ෆ්‍රී පිරියඩ් දෙකක්ම තියෙනවා සීනා ඒ ක්ලාස් එකට උගන්නන වෙලාවට. මම ඉතින් ඒ පන්තිය පැත්තට හැරිලා වාඩිවෙලා සීනා දිහා බලාගෙන ඉන්නවා.

එහෙම ඉන්න කොට අපේ ඇස් එකිනෙක ගැටෙනවා. ඒ වෙලාවට තමයි අපි ඇස් වලින් කතා කරන්න ගන්නේ. දහසක් දේ කියවෙන ඒ ඇස් දෙක හරිම සුන්දරයි. ඒ ඇස් දෙකට තමයි මම ඉස්සෙල්ලාම ආදරේ කරන්න ගත්තේ. සමහර වෙලාවට එයාට උගන්නන දේ අමතක වෙලත් යනවා. ඒ වෙලාවට හීන් හිනාවක් එනවා අපි දෙන්නටම. හෙමින් සැරේ මේ ඇස් වලින් දෙඩිල්ල ඉදිරියට යනකොට ඔය වැඩේ අපේ මලිතයට මාට්ටු වුනා.

ඊට පස්සේ මලිතයා තමයි සමීරාගෙන් සීනා ගැන විස්තර අහලා දැනගත්තේ. ඒ විස්තර අනුව සීනට දැනටමත් බදින්න වෙලා තිබ්බේ. ගෙදරින් කතා කරපු දෙයක්. සීනාගේ කැමැත්තක් නැති වුනත් එයාට කරන්න දෙයක් තිබ්බේ නෑ ඒ ගැන. තව මාස කීපයකින් එයාට බැදලා රට යන්න තිබ්බේ. මම ඔය දේවල් දැන ගත්තා කියලා එයාට තිබ්බ ආදරේ වෙනස් වුනේ නෑ. ඒත් මගේ ආදරය එයාට කියන්න මට හයියක් තිබ්බේ නෑ. එයා දැනගෙන හිටියා මම එයාට ආදරේ කරනවා කියලා. සමීරා සමහර වෙලාවට කරපු විහිළුත් එක්ක මටත් තේරුණා සීනගේ හිතෙන් ආදරක් තියෙනවා කියලා. ඒත් ඒ දවස් වල ඒ ආදරයට මාර්ගයක් තිබ්බේ නෑ. අද වගේ කාලෙක ඒක වුනා නම් කරන්න දේවල් ගොඩක් තිබ්බා.

මාස කීපයක් ඔය විදිහට ගතවෙලා ගියා. දවසක් සීනා අපේ කට්ටිය ඉන්න තැනට ආවා. ඒ සීනා ඉස්කෝලේ ආපු අවසන් දවස. අපි කට්ටියටම යනවා කියලා ගියා. මට යනවා කියන කොට ඇස්වල තිබ්බ කදුළු කැට මම හොදටම දැක්කා. ඒ තමයි මම එයාව දැක්ක අන්තිම දවස. මේ වෙනකොට එයා මේ ලොකේ කොහෙද කියන්න මම දන්නේ නෑ. අද වෙනකොට ළමයි හතර පස්දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න ඇති. ඒත් ඒ නොකියූ ආදරය හරිම සුන්දරයි. එයා වෙනුවෙන්මයි මම මේ නිසදැස ලිව්වේ. ඔන්න ඔහොමයි ඒ නොකියූ ප්‍රේමය නිමාවෙලා ගියේ. බර්ටියගේ ජීවිතයට තිබ්බ එකම ඇස්වල කරපු ආදරය.

රෝස කුසුම ඔබය
පිපුණු එක් උදෑසනක
එනමුත් .....
හිරුවත් නොසිඹින දෙකොපුල්
වසාගෙන සුන්දරත්වය රෙදි පටින් .....
දෙවියන්ගේ නියමයට ද?
අනුන්ගේ බහකටද?
ඉරන්න කඩ තුරාව බිදින්න බාධකය
ඉඩ දෙන්න කෙස් රොදට
නිදහසේ සැලෙන්න හමන පවනේ
ඉඩදෙන්න හිරුට
සිඹින්න ඔය දෙකොපුල්
ඉඩදෙන්න වැසි දියට
සිත් සේ තෙමන්න ඔය සොඳුරු වත
ජීවිතය සුන්දර බව
ඔබටම දැනේවි .... එවිට

No comments: