|
බත්තලංගුණ්ඩුව ගූගල් මැප් වල |
ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ කුඩා ප්‍රමාණයේ දූපත් ගණනාවක් පිහිටලා තියෙනවා. අන්තර්ජාලයේ සමහර වෙබ් පිටුවලට අනුව දූපත් 14 ක්. පල්ලිය වත්ත, උච්චිමුණේ, ඉප්පන්තිව්, බත්තලංගුන්ඩුව ඒ අතරින් කීපයක්. බර්ටියා අද කියන්න යන්නේ පහුගිය දවසක මේ බත්තලංගුන්ඩුවට ගියපු චාරිකාවක් ගැන. කට්ටියම දන්නවනේ බර්ටියා ඇවිදින්න බොහොම කැමති කෙනෙක් කියලා. මේ ගමන ගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. බර්ටියා බත්තලංගුන්ඩුව ගැන දෙසැම්බර් වෙනකම් අහලා තිබ්බෙත් නෑ.
බත්තලංගුන්ඩුව දූපත පිහිටලා තියෙන්නේ කල්පිටියේ ඉදලා නාවික සැතපුම් 20 ක් එහෙම නැත්නම් කිලෝමීටර් 38 විතර දුරින් මුහුදේ. මේ දුපතේ වර්ග ඵලය හෙක්ටයාර 145.53 ක් වෙනවා. ජනගහණය සාමාන්‍යයෙන් 3000 ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ඒ හැමදෙනෙක්ම තමන්ගේ ජීවිකාව වශයෙන් කරන්නේ මාළු අල්ලලා වෙලදාම් කරන එක තමයි.
කල්පියේ නාවික වරායේ ඉදලා උදේ 8.30 එක යාත්‍රාවක් පිටත් වෙනවා බත්තලංගුන්ඩුවට. බෝට්ටුවට රුපියල් 270 ක් ගෙවන්න ඕන ගමන් වාරයකට. දූපතට අවශ්‍ය කරන සියලුම දේවල්, මගීන් ප්‍රවාහන කටයුත සිද්ධ කරන්නේ මේ යාත්‍රාව හරහා. ඒ ඇරුණහම ඉරිදා දවසට මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ බෝට්ටු ගමනට පැය තුනක විතර කාලයක් ගත වෙනවා. හැබැයි මෝටර් බෝට්ටුවකට නම් මේ දුර විනාඩි 45 පැයක් වගේ කාලයක් ඇතුලත ඉවර කරන්න පුළුවන්.
|
කල්පිය වරාය බෝට්ටුවේ සිට |
දුපතේ පොලිස් මුර පොලක්, නාවික හමුදා මුර පොලක්, කුඩා පල්ලියක් හා පල්ලිය මගින් පවත්වාගෙන යන කුඩා පාසලක් තියෙනවා. මේවා තමයි මේ දුපතේ තියෙන ස්ථිර ගොඩනැගිලි. අනිත් හැම ගෙයක්ම පොල් අතු වලින් ගොඩ නැගිච්ච නිවාස තමයි. බර්ටියට මතක විදිහට එකම එක පොඩි කඩ කෑල්ලක් තියෙනවා දූපතේ.
දූපතේ වෙසෙන වැඩි පිරිසක් කතෝලිකයෝ. ඒ අය අනිවාර්යයෙන් ඉරිදා පූජාවට සහභාගී වෙන්න ඕන. ඒක නිසා ඉරිදට මාළු අල්ලන්න යන එක තහනම් දූපත් වාසීන්ට. බත්තලංගූණ්ඩුව කදවුරු භූමියක් ලෙස බොහොම ප්‍රසිද්ධයි. කාලයකට කලින් දූපත පිරෙන්න වන ගහණයක් තිබ්බත් අද වෙනකොට බොහොම අඩු ගහ කොළ ප්‍රමාණයක් තමයි දූපතේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අතරින් ගස් කොළන් වලින් වට වෙච්ච එක ඉඩ ප්‍රමාණයක් තියෙනවා කදවුරු ගැසීම සදහාම වෙන්වෙච්ච.
බත්තලංගුන්ඩුවට යන එක ගැන බර්ටියට ඉස්සෙල්ලම කිව්වේ බර්ටියගේ ගමන් සගයා වන මලිතයා. මලිතයා ඒ ගැන විස්තර හොයාලා ගමන යන්න සෙට් වෙච්ච කීප දෙනෙක් කරලා වට්ස්ඇප් ගෲප් එකකුත් හැදුවා. මේකට මලිතයගේ ඉස්කෝලේ යාළුවෝ කීප දෙනෙක් ඇතුලුව අට දෙනෙක් විතර සෙට් වෙලා හිටියා. ලක්මාල් නැත්නම් පුයිමා, අමල් මලිතයගේ ඉස්කෝලේ කාලේ ඉදන්ම යාළුවෝ. බර්ටියා මේ දෙන්නා ගැන අහලා තිබ්බට කතා බහ කරලා අදුරගෙන හිටියේ නෑ. ඊලඟට නිලූක බර්ටියත් හොදට දන්න මලිතයත් එක්ක එකට ජාත්‍යාන්තර පාසලක වැඩ කරපු ගුරුවරයෙක්. ඒ ඇරනහම බර්ටියා නොදන්න රගුත්, සමීරත්, බානුත් මේ ගමනට එකතු වුනා.
පුයිමයි මලිතයයි ගමන සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වුනා. ගමනට ඕන කරන බඩු අරගන්න මේ කට්ටිය තමයි මහන්සි වුනේ. බර්ටියට ගමනට සෙට් වෙන්න තමයි තිබ්බේ. අපිට ආපු ලොකුම ගැටලුව නිවාඩු. මොකද මලිතට, බර්ටිට, නිලූකට නිවාඩු තිබ්බට අනිත් සෙට් එකට නිවාඩු තිබ්බේ නෑ. කොහොම හරි අපි දෙසැම්බර් මාසේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් මේ වැඩේට වෙන්කර ගත්තා. හරියටම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ 21, 22 දවස් දෙක.
|
බත්තලංගුන්ඩුව මුහුද වෙරල බෝට්ටුවේ සිට |
ඊළඟ ප්‍රශ්නේ වුනේ ඉරිදට ආපහු එන්න බොට්ටුවක් නැති වීම. අපේ බජට් එකත් එක්ක බෝට්ටුවක් හොයා ගැනීම ලොකු ගැටළුවක් වුනා. මොකද ප්‍රයිවෙට් ගමනකට රුපියල් 40,000 විතර ගන්නවා. අපේ ඉන්නේත් 8 දෙනයි. අන්තිම යන්තම් තවත් කට්ටියකටත් එක්ක බොට්ටු රයිඩ් එක 40,000 වෙන් කරවා ගන්න අපිට පුළුවන් වුනා. ඒත් අපේ වෙලාව කියන්නේ අන්තිම මොහොතේ ඒ සෙට් එක එයාලගේ ටුවර් එක කැන්සල් කලා. අපේ එවුන් දෙන්නා නාහෙන් අඩලා අඩලා අන්තිමට බෝට්ටුවේ ගාන 25,000 ට බස්ස ගත්තා. දැන් ඒ වැඩෙත් හරි.
ඊළගට තිබ්බ ගැටළුව ඒ දවස් වලා තිබ්බ වැසි සහිත කාලගූණය. ඒ මදිවට බත්තලංගුන්ඩුවටත් දෙසැම්බර් මාසේ වැහි කාලේ වුනා. මලිතයගේ තිබ්බ කුඩාරම් තුනටයි පුයිමා ගාවද කොහෙද තිබ්බ කුඩාරමයි එක්ක අපි වැස්සට මුහුණ දෙන්න තීරණය කලා.
දැන් මූලිකව සිද්ධ වෙන්න ඕන වැඩ ටික ඔක්කොම සිද්ධ කරලා ඉවරයි. මුලින්ම පාන්දර එකට විතර කොළඹින් ගමන පිටත් වෙන්න තීරණය කරලා තිබ්බත් පස්සේ රෑ 11 ට විතර හෙමින් සැරේ ගමන යන්න කට්ටිය තීරණය කලා. ගමන යන්න තිබ්බේ මලිතයගෙයි අමල්ගෙයි (බර්ටියට මතක විදිහට) වාහන දෙකේ.
දෙසැම්බර් 20 සිකුරාදා හවස 7 ට විතර බර්ටියා ඕන කරන කලමනා ටිකත් පොදි බැදගෙන 9.30 විතර වෙනකොට මලිතයගේ ගෙදර ගියා. මලිතයගේ ගෙදරින් 10 ට විතර ආපු අපි දෙන්නා නිලූකලගේ ගෙදර ගිහින් නිලූකවත් දාගෙන කොල්ලුපිටිය පැත්තට ආවා. ඒ ඇවිල්ලා කොල්ලුපිටියේ කඩෙකින් කොත්තුවකුත් කාලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා අමල්ලා කට්ටිය ඉන්න තැනට ගියා. ටිකක් වෙලා කතා කර කර ඉදලා අපි ගමන යන්න පිටත් වුනා. දැන් වෙලාව රෑ 12.00 විතර ඇති. අපි ඉස්සෙල්ලම හයිවේ යන්න හිතුවත් ඒ වෙලාවේ පාරේ වාහන නැති නිසා අපි කොළඹ මීගමු පාරෙන් කල්පිටියට යන්න පිටත් වුනා. මීගමුව පහු වෙලා ටිකක් දුර ගිහිල්ලා කඩයක් ගාව නවත්තලා කට්ටිය කෑම කන අතරේ අපි තුන්දෙනා ප්ලේන්ටියක් ගැහුවා නිදිමත යන්නත් එක්ක.
|
බෝට්ටුවට බඩු පටවන ගමන් |
එතනින් පස්සේ වාහනේ අරගෙන ගියේ නිලූක. පුත්තලම ටවුන් එකට කිලෝමීටර් ගාණක් මෙහායින් තමයි කල්පිටියට යන පාර තිබ්බේ. ඒකේ යන කොටත් වැහැපු වැස්සට සමහර තැන් යට වෙලා තිබ්බා. මේ සීන් එක හින්දා අපි ටිකක් බයෙන් තමයි ගියේ. කොහොමත් කිසිම කරදරයක් නැතුව පාන්දර 4.00 ට විතර අපි කල්පිටියට ආවා. ඒ ඇවිල්ලා ධීවර වරායට යන පාර හොයාගන්න පොඩි කට්ටක් කන්න වුනා. කොහොම හරි ඒ වැඩෙත් කරගෙන අපි කට්ටිය වරාය ගාව වාහනේ නවත්තලා එළියට බැස්සා.
ඊළගට කරන්න තිබ්බේ අපි යන බෝට්ටුවේ අයිතිකාරයට කතා කරලා අපි ඇවිල්ලා ඉන්නවා කියලා කියන එක. ඒකත් හරි. ඊට පස්සේ අපි බෝට්ටුවේ අයිතිකාරයා එනකම් පැයක් විතර බලන් හිටියා. පොර ආවට පොරත් එක්ක කතා කරලා පස්සේ අවශ්‍ය කරන අනිත් කටයුතු ටිකත් කරගත්තා. වාහන දෙක ධීවර වරාය ඇතුලේ නවත්තලා යන්න පුළුවන්. ඒකට දවසකට රුපියල් 50 ක් ද කොහෙද ගෙවන්න ඕන. ඊළඟට වරාය ඇතුලේ තියෙන වෙරළ ආරක්ෂක මුර පොලට අපේ නම් ලැස්තුවයි ජාතික හැදුනුම්පත් අංකයි දීලා අවසර ගන්න ඕන. ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕන.
උදේ කෑමයි තව ඕන කරන වතුරයි වරායේ තියෙන කැන්ටිමෙන් ගන්න පුළුවන්. වතුර බෝතලේට (ලීටර් 5 ලොකු බෝතල්) වලට පොඩි ඩිපොසිට් එකක් තියන්න ඕන.
ඔය වැඩ ටික කරගන්න අස්සේ වරායේ ඈතින් නවත්තලා තිබ්බ අපි ගමන යන බෝට්ටුව වරායේ ජැටියට අරගෙන ආවා. අපේ වාහන දෙකත් වරාය ඇතුලට දාලා වාහන වල තිබ්බ අපේ බඩු මුට්ටු ටික බෝට්ටුවට පටව ගන්න එක තමයි අපිට ඊළගට කරන්න තිබ්බේ. මෙතන ඉදලා පැය තුනක ගමනක් තිබ්බා බත්තලංගුන්ඩුවට. තාම අහසේ වැහි බර ගතිය දකින්න තිබ්බා. අපේ එකම ප්‍රාර්ථනාව වුනේ වහින්න එපා කියන එක. කොහොම හරි උදේ 6.45 ට 7.00 විතර අපි කල්පිටිය ධීවර වරායෙන් පිටත් වුනා බත්තලංගුන්ඩුව කරා. ඉතුරු ටික අනිත් දවසේ කියන්නම්.
|
බර්ටියා සහ අමල් |
|
|
මුහුදු ගමන |
|
|
මලිතගෙන් තවත් නයෙක් |
|
No comments:
Post a Comment