මේ කියන සිද්ධිය වෙන කොට බර්ටියා ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ. අතේ සතේ නැතුව වේලී වේලී ගෙදරින් කීයක් හරි ඉල්ලගෙන Sunday Observer පත්තරේ අරගෙන ඒකේ තියෙන පුරප්පාඩු වලට ඇෆ්ලිකේශන් දාලා ඉන්නවා ඔය දවස් වල. කලාතුරකින් සම්මුඛ පරීක්ෂනයකට අඩගනවා. ගියාට පස්සේ දන්වලා එවන්නම් කියනවා. බර්ටියත් ගෙදර ඇවිල්ලා දන්වනකම් බලාගෙන ඉන්නවා
ඔහොම ගෙදරට වෙලා ඉන්කොට දවසක් අපේ වවුලා (ඔව් ඔව් ගරුඩා කාපු එකා තමයි) කතා කරලා කිව්වා වරෙන් ජනිතගේ ගෙදර යන්න එහේ තීන්ත ගාන්න එන්න කියලා අපි කට්ටියට කතා කලා කියලා. මට මතක විදිහට ඒකා ඒ දවස් වල වැඩ කලේ ගිනි තියන හමුදාවේ. ගෙදර වේලි වේලි කම්මැලිකමේ ඉන්න එකේ මාත් තීන්ත ගානකොට අදින්න ඇදුමකුත් දාගෙන අම්මගෙන් කීයක් හරි වැදලා වගේ ඉල්ලගෙන ටක් ගාලා යක්කලට දිව්වා අපේ කට්ටිය එන 231 බස් එකට යක්කලින් නැගගන්න. බර්ටියට මතක විදිහට බස් එකේ වවුලත් එක්ක නාමල් මල්ලියි අපේ කෑම දාස චමීර මල්ලියිත් හිටියා. බර්ටියා මේ ඉස්සර වෙලාම තමයි ජනිත්ගේ ගෙදර යන්නේ.
අපි සෙට් එක රදාවාන පහුවෙලා ටිකක් දුර යනකොට තියෙන අල්ලියවත්ත ජන්ශන් එක ගාවින් බැහැලා හෙමින් සැරේ අල චැට් එකකුත් දාගෙන ජනිත්ලගේ ගෙදරට ගියා. ඒ යනකොටත් සමීර මල්ලියි අමිල මල්ලියි ඇවිල්ලා ජනිතත් එක්ක වැඩ පටන් අරගෙන. අපිත් මජං කිට් එක දාගෙන තීන්ත ගාන වැඩේට සෙට් වුනා. බර්ටියයි කෑමදාසයි එක පැත්තක වවුලයි නාමලයි එක පැත්තක. ඔහොම කට්ටියම තැන් තැන් වල වැඩ. අපි දෙන්නා තීන්ත ගානවා ගානවා ඒත් බිත්තිය ඉවර වෙන පාටක් නෑ. දෙන්නම කතා වෙලා බිත්තියේ ජරාවෙලා නැති හරියේ තීන්ත ගාන එක අත ඇරලා දාලා ඒ හරියෙත් තීන්ත ගෑවා වගේ හිටියා. අවුලක් නෑ. කාටවත් මාට්ටුත් නෑ. අපි දෙන්නා පොරවල් දෙක වගේ තීන්ත ගාන එක ඉවර කරලා අනිත් එවුන් ඉන්න පැත්තට ගියා.
ඔය වෙලාවේ අපි ප්ලෙන්ටියක් එහෙම ගහලා රෙස්ට් එකක් අරන් ආපහු වැඩ පටන් ගත්තා. ඔය අස්සේ කෑමදාස ඉනිමග දිගේ නැගලා බිත්තියේ තියෙන දිය සෙවල සුද්ද කරනවා. දිය සෙවල තලියක් ගලෝ ගත්ත කෑමදාස ඇහුවා මම මේක කනවා කීයක් ඔට්ටුද කියලා. කව්ද මන්දා හා කිව්වා. මේ යකා ගලෝ ගත්ත දිය සෙවෙල් තලිය ජර බර ගාලා කන්න පටන් ගත්තා. ඔට්ටුව දාපු එකා එතනම රුපියල් 50 කට කෙලෝ ගත්තා. කෑම දාස ගැන දන්න එකෙක් කෑම ගැන සම්බන්ධ ඔට්ටුවක් නම් දාන්නේ නෑ ඒකත් එක්ක.
එක සැරයක් අපි සෙට් එක සිරීපාදේ නගින කොට පෑගිලා ගල් එහෙම ඇලිච්ච චුවින්ගම් එකක් හම්බවුනා අපේ කෑමදාසට. ඕක අතට ගත්තු කෑමදාස ඇහුවා කීයක් ඔට්ටුද මේක කනවා කියලා. එහෙම එකක් කයි කියලා කාටවත් හිතන්න බැරි නිසා අපේ වවුලා ඔට්ටුවක් දැමුමා. පටස් ගාලා චුවින් ගම් එකේ ඉතිරි වෙලා තිබ්බ කොළ කෑල්ල ගලවලා දාපු චමීරයා අරක කටේ දාගෙන හපන්න ගත්තා. එදායින් පස්සේ අපි කවදාවත් කෑම ගැන කෑමදාස එක්ක ඔට්ටු දාන්නේ නෑ.
දැන් කෑමදාස ඉනිමගේ නැගගෙන බිත්තියේ තීන්ත ගානවා. ඒ අස්සේ වවුලා ඉනිමඟ දිගේ නැගලා කෑමදාසගේ කලිසම ගලවලා ගියා. පොරත් ඉතින් කලිසම මුගේ නෙමෙයි වගේ දිගටම තීන්ත ගානවා. කරුමේ කියන්නේ ඔය වෙලාවෙම ජනිත්ගේ අම්මත් අපිට කන්න කතා කරන්නද කොහෙද ඒ පැත්තට ආවා. කෑමදාස ඔහේ තීන්ත ගානවා "ගැලෙව්වා නම් අන්දපන්" කියලා. අන්තිමට සමීර මල්ලි ඉනිමඟ දිගේ නැගලා අරුගේ කලිසම ඇන්දුවා. යන්තම් ජනිත්ලගේ අම්මට නෝන්ඩිනොවී බේරුණා.
ඔය සිද්ධියෙන් දවස් දෙකකට විතර පස්සේ අපි කට්ටියම ජනිත්ගේ අක්කගේ වෙඩින් එකට ගියා. ඒක ඉවර වෙලා දවස් දෙකක් විතර ගියා විතරයි ජනිතයා ආයේ කෝල් කරලා කිව්වා හෝම් කමින් එකට යන්න එන්න කියලා. ඒකට යන්න තියෙන්නේ මතුගම පැත්තේ තැනකට. ඉතින් කට්ටියම කළින් දවසේ හැන්දෑවේ ජනිතලගේ ගෙදරට පාත් වුනා. ඔය අව් අස්සේ ජනිත්ට අපේ කොටාව (අමිල මල්ලිව) අමතක වෙලා. රෑ 11 විතර තමයි ජනිතට ඒකව මතක් වුනේ. කට්ටියම දඩ බඩස් ගාලා ජනිතගේ වෑන් එකට නැගලා කොස්කඳවල කොටාගේ ගෙදර ගියා.
මහ රෑ 12 ට විතර ගෙදරකට සෙට් එකක් කඩා පනින කොට කොහොමද කියලා හිතහන්කෝ? ගෙදරට ගියාට අමිලයා නෑ. අමිලයගේ අම්මා කඩා පැන්නා අපේ ඇඟට. ඒ අස්සේ අමිලයා එනවා අස්සක ඉදලා පොල්ලකුත් අරගෙන. මේකා හිතලා තියෙන්නේ ඒ දවස් වල ඒකා යාළු වෙලා ඉන්න කෙල්ලගේ තාත්තා ගේම ඉල්ලන්න ඇවිල්ලා කියලා. මේකා පොරට ගහන්න තමයි පොල්ල අරන් හැංගිලා ඉදලා තියෙන්නේ. දැන් නම් දෙන්නා පුල් සෙටල්. ඒ දවස් වල නයයි මුගටියයි වගේ.
පහුවදා උදේ අපි කට්ටිය ලෑස්ති වෙලා මතුගම යන්න බස් එකට නැග්ගා. දෙයියනේ කියලා අපි පිටිපස්සෙම සීට් එකට සෙට්වුනා. කරුමේ කියන්නේ ජනිතා එන්න කියලා තියෙන්නේ කොළඹ දෙල්ගොඩ දුවන බස් එකකට. ඒකා මී හරකා මතුගමටම ගියෙත් රූට් එකේ දුවන විදිහට කොට කොටා. අපිට තිත්ත වුනා මතුගමට යනකොට. ඒ මදිවට බස් එකේ කුණුහරුපයක්වත් කියන්න බෑ. ජනිතගේ අම්මයි අනිත් නෑදෑයොයි ඉන්නවනේ. මතුගමට ඇවිල්ලත් හෙන අස්සක තමයි හොම් කමින් එක තිබ්බේ. අපිට බස් එකෙන් බැහැලා වෙලක් දිගෙත් යන්න වුනා. ඒ අස්සේ කූඩැල්ලොත් ඉන්නවා. කොහොම කොහොම හරි කට්ටක් කාලා අපි එහාට ගියා. දැන් ඉතින් පිළි ගැනීමුයි අරවයි මේවයි ඉවර වෙලා අපි සෙට් එක එක මේසෙක වාඩිවුනා. අපි සෙට් එකක්ම හිටිය නිසා අපිට කම්මැලිකමක් තිබ්බේ නෑ. ෂොට් එකක් වත් දාගන්න විදිහක් නෑ ඉතින් ජනිතලගේ අම්මලා ඉන්න හන්දා. අනික ඒ දවස වල ගැහුවෙත් බර්ටියා විතරයි. ඒ දවස් වල ඉතින් දැන් වගේ හයි පයි බ්‍රෑන්ඩ් නෑ. අහුවෙන ඕන දෙයක් ගහනවා.
කොහොම හරි දවල්ට කාලා මංගල සභාව ඉවරවෙන්න ටිකකට කළින් පොඩි සංග්‍රහයකුත් හම්බවුනා. කේකුයි ආනමාළු කෙහෙල් ගෙඩියි. ඒවත් තඩි කෙහෙල් ගෙඩි. දඩ ඇවරි. ඕක බෙදනවා දැක්ක ගමන් ජනිතයා කිව්වා මුන් අපේ ගෙදර ඇවිල්ලා අයිස් ක්‍රීම් ලීටර් හතක් ඉවර කලා. ඒකට රීටන් එකක් දෙන්න ඕනයි කියලා.
ජිවිතය යනු අත්දැකීම් සමුදායක එකතුවකි. සතුට, සැප, දුක, වේදනාව, කළකිරීම යන සෑම දෙයකම එකතුවකි ජිවිිතය. මෙය මගේ ජීවන ගමන තුළ මා අත්දැකි සිදුවීම් සමුදායක එකතුවක් ලෙස දැක්විය හැක. එනමුත් මෙහි ඇත්තේ මාගේ අත්දැකීම් පමණක්ම නොවෙයි. මෙහි මාගේ නිර්මාණද අඩංගුයි. මෙම බ්ලොගය කියවීමෙන් ඔබ යම් සතුටක් ලබයි නම් එයයි මගේ සතුට. මෙහි ජිවිතයට එක කරගත හැකි එක් දෙයක් හෝ තිබේයැයි ඔබ සිතන්නේ නම් එයත් මගේ සතුටකි. කියවන ඔබට බෙහෙවින්ම ස්තුතියි. යන එක කට්ටිය වෙලාවක් තියෙනවා ගුණ දොස් කියලම යන්න.
ලේබලුත් ගැහුවා
- අඳුරේ දඩයක්කරු (25)
- කෙටි කතා (3)
- ගුරු වෘත්තිය (4)
- චාරිකා (9)
- දැනුම (9)
- නිසදැස් (17)
- නිහාරා (2)
තීන්ත සහ වෙඩින්
Location:
Yakkala, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment