බත්තලංගුන්ඩුව 02

කඳවුරු භූමිය
ගොඩ බිම ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. කල්පිටිය වරායත් අපෙන් ඈත් වෙනවා. හිතට පොඩි බයක් එක්කම අමුතු කික් එකකුත් ආවා. බර්ටියා ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම මුහුදු ගමනක් යන්නේ. තව ටිකක් දුර යනකොට බොට්ටුවේ වැඩ කරපු දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා අපිට දාගන්න කියලා ලයිෆ් ජැකට් දුන්නා. තව පොඩ්ඩක් ඉස්සරහින් නේවි එකෙන් සමහර වෙලාවට චෙක් කරලා බලනවලු ලයිෆ් ජැකට් දාලද කියලා. ඔය යන ගමන් අපි උදේට කෑම කෑවා. පරාටායි රෝල්ස් වගයකුයි පැටිස් වගයකුයි තමයි කන්න අපි අරගෙන තිබ්බේ.

ටික ටික මුහුදේ ගැස්සිල්ල වැඩිවෙනවා අපි ගැඹුරු මුහුදට යනකොට. අපේ පැත්තකින් විල්පත්තු පේනවා. අපි ටිකක් වෙලා කයිවාරුවක් ගහගෙන හිටියත් ඒකත් එපා වෙලා ගියා. යනවා යනවා ඉවරයක් නෑනේ. කට්ටිය බොට්ටුවේ ගහලා තිබ්බ බංකු උඩට වෙලා සැපට නිදි. බර්ටියත් බංකුවකට වෙලා පොඩි නින්දක් දැම්මා. ඔහොම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ අපිට මූද මැද්දෙන් සෙල් ටවර් එකක් පේන්න ගත්තා. ඔව් ඒ තමයි අපේ ගමනාන්තය වන බත්තලංගුන්ඩුව දූපත.

තවත් පැයක විතර ගමනකින් පස්සේ අපි බත්තලංගුන්ඩුවට කිට්ටු වුනා. කොහොමත් ඒ වෙනකොට දහයමාරට එකොළහට විතර ඇති. ඒ පැත්තේ කිසිම වරායක් ජැටියක් ඇත්තේ නැහැ. අපේ බෝට්ටුව වෙරලට බොහොම කිට්ටු කරලා නැංගුරම් දැම්මා. ඊළගට බෝට්ටුවේ වහලේ උඩ දාලා තිබ්බ ඉනිමඟක් අරන් බෝට්ටුවේ ඉස්සරහා පැත්තට සෙට් කලා. ඕක දිගේ බිමට බැහැලා තමයි අපිට දූපතට යන්න තිබ්බේ. බැහැලා ඉවර වෙලා බර්ටියා මලිත ඇතුලු තුන් හතර දෙනෙක් අපිට කෑම්ප් ගහන්න තියෙන තැන බලන්න ගියා. එතන ඒ වෙලාවෙත් කට්ටි දෙකක් හිටියා. ඒ දෙගොල්ලම ආපහු යන්න ලෑස්ති වෙනවා. මොකද තව ටික වෙලාවකින් සෙනග ගෙනියන බෝට්ටුව එනවා දූපතට.

දවල්ට උයන ගමන්

අපි ආපහු බොට්ටුව තියෙන තැනට ආවා. කට්ටියක් බඩු බාගන්න අතරේ කට්ටියක් ගියා අලුත් මාළු ටිකක් හෝයා ගන්න. පැයකට විතර පස්සේ මාළු හොයන්න ගිය සෙට් එක ආපහු ආවා. පුයිමා එනවා තඩි මාළුවෙකුත් උස්සන්. තව පොඩි මාළු වගේකුයි කකුළුවෝ වගේකුයි ඕඩර් කරලා කට්ටිය ඇවිල්ලා. අපි ඉතින් අපේ බඩු ටිකත් අරගෙන ගම අස්සෙන් කැම්ප් කරන්න තිබ්බ තැනට ගියා. මොන නැතත් අපේ එවුන් නාන්න තරම් සෝඩයි ස්ප්‍රටුයි ගෙනල්ලා තිබ්බා. එක වැට් 69 බෝතලයයි පරණ පඹයෝ හතර දෙනයි තමයි නැටුම් තෙල් වලට තිබ්බේ. අහස පැහැදිලියි මේ වෙනකොට. වහින ලකුණක් තිබ්බේ නෑ. කලින් දවස් වල දිගටම වැස්සා කියලා තමයි එහෙ මිනිස්සු කිව්වේ. අපේ වෙලාවට වහින එකක් නෑ කියලා තමයි අපේ හිත් කිව්වේ.

දූපතටම තිබ්බේ කලින් මම කියපු ගොඩනැගිලි ටික තමයි. ඒ අරුණහම වෙන ගලින් බැදපු ස්ථීර ගොඩනැගිල්ලකට තිබ්බේ ටොයිලට් තුනක් විතරයි. ඒකෙනුත් දෙකක්ම ඉබ්බෝ දාලා වහලා තිබ්බේ. බර්ටියා හිතන්නේ මෙහේ මිනිස්සුන්ට මෙහෙම ටොයිලට් ගිහිල්ලා පුරුද්දක් නෑ කියලා. මේ ටොයිලට් වලටත් වතුර වෙනම ගේන්න ඕන. ළඟ පාත වතුර ටිකක් ගන්න තැනක් නෑ. බත්තලංගුන්ඩුවට කෙනෙක් එන්න හිතාගෙන ඉන්නවානම් සැප පහසුකම් අමතක කරලා තමයි එන්න ඕන. නවතින්න හොටේල් තියා කාමරයක් ගන්නවත් තැනක් එහේ නෑ. වතුර අන්තිම අමාරුයි. ඒක නිසා ඇති වෙන්න වතුර ගේන්න මතක තියාගන්න ඕන. ගේන වතුර ටිකත් පරෙස්සමින් පාවිච්චි කරන්න ඕන. මේක ඇතුලේ බඩු ගන්න තැනක් නෑ. පොඩි කඩ කෑල්ලක් තිබ්බට ඒකේ ඇති දෙයක් නෑ කියලා තමයි ආරංචි වුනේ. බර්ටියාට නම් කඩේ පැත්තට යන්න අවස්තාවක් ලැබූණේ නෑ ඉතින්.

වැට් 69 යේ අවසානය

බර්ටියා උඩින් කියපු හේතු හින්දා දුෂ්කර පරිසරයක් ඉන්න පුළුවන් අයට විතරයි බත්තලංගුණ්ඩුවේ කෑම්ප් කරන්න පුළුවන්. සීනි බෝල වලට චරිත වලට නම් මේ වැඩේ කරන්න අමාරුයි. විදුලි බලය නෑ දූපතට. දන්න තරමින් පොලිස් මුරපොලටයි නේවි එකේ මුර පොලටයි ජෙනි දෙකක් තිබ්බා.

අපි බඩු ටිකත් අරන් ගියා කෑම්ප් ගහන තැනට. එතන එක පැත්තකින් පොඩි ගස් ජාතියකින් ආවරණය වෙලා. අනිත් පැත්තෙන් මුහුද. නාගන්න ඕන වුනහම දුවලා ගිහින් මුහුදට පනින්න තමයි තියෙන්නේ. ඊළගට තිබ්බේ අපි ගෙනිච්ච ටෙන්ට් ටික ගහලා ලෑස්ති කරන්න. මලිතයා තමයි වැඩේ දැනගෙන හිටියේ. බර්ටියත් එක සැරයක් ඔය ටේන්ට් ගහලා තියෙන නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපි ගෙනිච්ච ටෙන්ට් පහ ගහලා ඉවර කලා. ඊළගට දවල් කෑම. කෑම හදන වැඩේ වැඩි බරක් බාර අරන් වැඩ කලේ පුයිමා තමයි. අනිත් අයත් පුයිමට සපෝට් එක දුන්නා. ඔය වැඩේ යන අතරෙම වැට් 69 බෝතලය අවසන් කරන්න අපි තීරණය කලා.

ගමන් යන කොට එක එක පොරවල් සෙට් වෙනවනේ. මෙතනත් හිටියා සද්දේ විතරක් තියෙන යුද්දේ නැති පොරක්. රටේ තියෙන වැඩ කරන්න බාර ගත්තට අනිත් මිනිස්සුන්ට තමයි වැඩේ කරන්න සිද්ධ වුනේ. මොක නැතත් පොරගේ කයිවාරුව තියෙනවා. හැබැයි රුවල් ඔරුවක වැඩක් නෑ. පොර ඉතින් වැඩ ටික අනිත් මිනිස්සුන්ට පටවලා මාරු වෙනවා. බෝතලෙත් ඉවර වුනා. උයන වැඩෙත් යනවා. උයන අස්සේ කව්ද කලිසම් කෑල්ලක් ගහගත්ත මාළු අල්ලන පොරක් කිව්වා අපෙන් කව්රු හරි දෙන්නෙකුට පොලිස් පොස්ට් එකට එන්න කියලා පණිවිඩයක් දුන්නා. මලිතයයි නිලූකයි ඒ වැඩේට යන්න පිටත් වුනා. ගිනි ගහන අව්වේ යන්න තියෙන හින්දා බර්ටියා කෑම්ප් එකේම හිටියා. පැයක් විතර ගියා මුන් දෙන්නා නෑ. තවත් පැය බාගයකට විතර පස්සේ මුන් දෙන්නා එනවා දාඩිය පෙරාගෙන. පොලිස් පෝස්ට් එක තිබිලා තියෙන්නේ දූපතේ එහා කෙලවරේ. මුං දෙන්නට ගිනි අවුවේ පාරත් හොයාගෙන ඒකට බඩගාන්න වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි හොදම කතාව. අපේ කෑම්ප් එකට ඇවිල්ලා ගිය මාළු අල්ලන පොරක් කියලා හිතපු කෙනා එක පොලිස් කාරයෙක් එකේ ඉන්න. පොරවල් දෙකයි එතන පෝස්ට් එකේ ඉන්නේ. ඒ දෙන්නත් ඉන්නේ සිවිල් පිට. අපේ පොරවල් දෙක එකෙක්ගේ එඩ්රස් එකට අනිත් එකාගේ ටෙලිෆොන් නම්බර් එක දීලා ඇවිල්ලා.

කදවුරු බිමට ඉදිරි පසින් ඇති මුහුදු තීරය

පොලිසියෙන් ඩයලොග් නම්බර් එකක්ම ඉල්ලලා. මොකද මොබිටෙල් වලට සිග්නල් නෑ එහාට. එයාටෙල් වැඩ. එයාටෙල් වලට ඉන්දියාවේ සිග්නලුත් අහුවෙනවා. හුට් ගැන නම් කියන්න දන්නේ නෑ. ඕක නිසා නිලුකයගේ එඩ්රස් එකට මලිතයගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා මුන් දෙන්නා ඇවිල්ලා. ඒ අස්සේ අතුරුදහන් වෙච්ච බුවා ගිහිල්ලා ගමේ පොරක්ව සෙට් කරගෙන. පොර නොම්බර එකේ ඇණයක් වුනා රෑ කෑම්ප් එක අස්සේ රිංගලා.

දවල්ට කාලා බීලා ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් අරගෙන අපි වෙරළට ගියා සෙල්ලම් කරන්න. අපිට එහා පැත්තට අලුතෙන් සෙට් එකක් ඇවිල්ලා හිටියා. කොහේ හරි කැම්පස් එකක කෙල්ලෝ වගයක්. අපි පොඩි ෆුට්බෝල් පාරක් ගහලා පිස්සුවක් නටලා මුහුදේ නෑවා පැය ගාණක්. මූදේ නාන එක නම් හරිම සනීපයි. එකම අවුල් තිබ්බේ ඇඟ ඇලෙනවා ගොඩට ආවහම ලුණු නිසා. අපි ඉතින් හොද වතුර ටිකක් නාගන්න තැනක් හොයන් ගියා ඊට පස්සේ. එහේ වෙරළ කිට්ටුවට තැනින් තැන මිනිස්සු වලවල් හාරලා ඒවට එකතු වෙන වතුර තමයි බොන්න නාන්න ගන්නේ. ඒ වතුර කිවුල් නෑ. අඩිය දෙක හාරනකොට වතුර එකතු වෙනවා. පායන කාලෙට මේ හාරන වල වල් ගාන වැඩි වෙනවා. අපිත් ඉතින් වතුර වලක් හොයාගෙන එහාටයි මෙහාටයි ඇවිද්දා. නිලූක වතුර වලක් දැකලා තිබ්බා අපි හිටපු තැනට කිට්ටුවෙන් එයාලා පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා එනකොට. අපිත් ඒ පැත්තට ගියා.

ඔහොම යනකොට අපිට වතුර වලක් සෙට් වුනා. බෝතල් කෑල්ලක් කපාගෙන එකෙන් තමයි නාගන්න වතුර ගන්න වුනේ. එකෙන් වලේ පැත්තකට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බොහොම කටු වැඩක්. එකෙක් නාගෙන ඉවර වෙනකොට ගමේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ඔතනින් නාන්න එපා කියලා. එතන වතුර හොද නැහැයිලු. තව වතුර වලක් තව ඉස්සරහින් මූද පැත්තට වෙන්න තියෙනවා එතනට යන්න කිව්වා. දැන් අපි වතුර වල හොයාගෙන යනවා යනවා යනවා. ඔහේ නෑ. දැනටම කිලෝමීටරයක් දෙකක් විතර ඇවිදලා. ඒ අස්සේ අපේ ඉස්සරහින් ගිය දෙන්නට තව කව්ද හම්බවෙලා බාල්දිකුත් දීලා දැන් ඒ ගොල්ල හෑරුව වලක් තියෙනවා කියලා තව පොඩ්ඩක් ඉස්සරහින්. ඒ පාර ඒ පැත්තට යන්න පටන් ගත්තා. යනවා යනවා ඉවරයක් නෑ. දැන් නම් ඇතිවෙලා. බර්ටියාට නම් දැන් නෑවේ නැතත් කමක් නෑ. අව්වයි දාඩියයි හොදටම. නිලුකයි බර්ටියයි ටිකක් පහුවුනා වෙරලේ තිබ්බ සිප්පි කටු බෙල්ලෝ අහුල අහුල. මලිතයයි අනිත් සෙට් එකයි අපිට සෑහෙන්න ඉස්සරහින් දැන්. බර්ටියා නම් දැන් නාන අදහස අත ඇරලා දාලා තමයි තිබ්බේ. මේක කරන්න පුළුවන් වැඩක් යෑ.

ගිනි මැලය

කොහොම හරි අපේ ඉස්සරහින් ගිය සෙට් එකට වතුර වල හම්බවෙලා තිබ්බා. අපි දෙන්නත් හෙමින් සැරේ ඒ පැත්තට ගියා. එකෙක් වලට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බර්ටියත් වතුර බාල්දි පහ හයක් දාගෙන නෑම ඉවර කලා. සෙල්ලම් දදා නාන්න වතුර නෑ ඉතින් එහේ. අන්තිම හරියෙදි වල ටික ටික කඩා වැටුණා. ඒ හැටි ඉතින්. වැල්ල නිසා තියෙන්නේ නෑ. අපෙත් නෑම ඉවරවෙලා තිබ්බ හන්දා හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට එන්න පටන් ගත්තා. දැන් වෙලාව හවස පහත් පහුවෙලා.

දූපතේ මිනිස්සු කියපු විදිහට කාලෙකට කලින් දූපත පුරාම ගස් තිබිලා තියෙනවා. ඒත් කාලෙත් එක්ක එපා නැතිවෙලා ගිහින්. මිනිස්සු කපලා වෙන්නත් පුළුවන්. අපි කැම්පින් කරන තැන තමයි යන්තම් ගස් ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. වෙරළේ වැලි සමහර තැන්වල දුඹුරු පාටයි. ඒ කියන්නේ ඉල්මනයිට් තියෙනවා. සමහර විට ලොකු නිධියක් තියෙන්නත් පුළුවන්. දැක්ක නරකම දේ දූපතේ වෙරල පුරාම ප්ලාටික් බෝතල් පොලිතින් තියෙන එක. නැව්වලින් විසික් කරන බෝතල් හැම තැනට ගොඩ ගහලා. ඒ අස්සේ වීදුරු බෝතලුත් තියෙනවා සමහර තැන්වල. ඔන්න ඔහොමයි දූපතේ ඇතුලේ තත්වේ.

වෙරල පුරාම එක එක මාදිලියේ සිප්පි කටු, බෙල්ලෝ. ඇත්තටම ලස්සනයි. අපිත් ප්ලාස්ටික් බෝතල් දෙක තුනක් හොයාගෙන බෙල්ලෝ එකතු කර කර හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට ආවා. ඈතින් මුහුද පැත්තෙන් වැහි කලුවකුත් පේනවා. ඒ මේ පැත්තට ආවොත් අනිවා වහිනවා. එහෙම වුනොත් අපේ කූඩාරම් ඇති වෙන එකක් නෑ ඒ වැස්සට ඔරොත්තු දෙන්න. ඉතුරු ටික ඊළඟ කොටසින් කියන්නම්.

No comments: