සුපුන් සරා සඳ

බර්ටියා කාළයක් මීගමුවේ ජාත්‍යාන්තර පාසලක ඉගැන්නුවා. නෑ නෑ දැන් ඉන්න එක නෙවෙයි. බර්ටියට මතක විදිහට 2010 අවුරුද්දේ. ඔය ඉස්කෝලෙට ආවා විද්‍යාව උගන්නන්න අළුත් ගුරුතුමියක්. මේ ගුරුතුමිය ගැන බර්ටියට ආදර සිතක් පහල වුනා. ඇස් වලින් දොඩවපු ප්‍රේමයක් නම් තිබ්බේ නෑ. ඒත් ඒක පාර්ශවික ආදරයක් ඇති වුනා බර්ටියගේ සිතේ. බර්ටියගේ යාළුවෙක් වෙච්ච කල්හාරිට මේ ගැන කිවුවහම කල්හාරි කිව්වේ එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔය හේතුව නිසා බර්ටියගේ ආදරය සදාකාලයටම අප්‍රකාශිත ප්‍රේමයක් බවට පත්වෙලා ගියා.

බර්ටියා ඒ ජාත්‍යාන්තර පාසලෙන් අයින් වෙන්න කලීන් මේ ගුරුතුමී අයින් වෙලා ගියා. දැන්නම් මේ ගුරුතුමිය රජයේ පාසලක උගන්නනවා. කළාතුරින් දවසක බර්ටියා දකිනවා මේ ගුරුතුමී එයාගේ ඉස්කෝලෙට ඇවිදගෙන යනවා. බර්ටියට දැන්නම් ඉස්සර තිබ්බ ආදරණීය හැඟීම් නැතිවෙලා ගිහිල්ලා. මේ බර්ටියා ඒ දවස් වල තිබ්බ ඒ ආදරය වෙනුවෙන් ලියපු නිසදැසක්.

අඳුරු අහස් කුසට පෑයූ
සුපුන් සරා සඳ ඔබය
වියළී ඉරි තැලුණු බිමට
ඇද හැළුණු වැසි දියද ඔබය
ගමන් වෙහෙස නිමා කළ
සුවිසල් තුරු හිසද ඔබය
සුවිසල් තටාකෙක පිපි
එකම සියපතද නුඹය
හඳපානේ වැලි තලාවල
මල් සැලූ අප්සරාවියද ඔබමය
වේදනාවෙන් පිරි මහද
සුවපත් කරනට ගලා ආ
සිහිල් පවන් පොදත්
ඔබමය දයාබරිය
මහද එකළු කළ සඳවතිය
අවසර දෙන්න මට
දිවි ඇති තුරාවටම
ඔබ හා සිනහවන්නට
ඉඩදෙන්න ඔබ හා සැප දුක
එක්ව උසුලන්නට
___________________________________________________________________
KB 2010.06.26

1 comment:

Unknown said...

Lassanai ... good luck..