බොනී සහ ක්ලයිඩ්

ලෝක ඉතිහාසය පුරාම විවිධ පුද්ගලයින් විවිධ ආකාරයේ දේවල් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එයින් කොටසක් මිනිසාට හෝ සමාජයට කරන ලද යහපත හේතුකොටගෙනත් තවත් කොටසක් මේ සමාජයට කරන ලද අයහපත හෝ හානිය හේතුවෙනුත් ප්‍රසිද්ධියට පත්ව ලෝක ඉතිහාසය තුල සිය නම් රන් අකුරෙන් හෝ කළු අකුරෙන් ලියවා ගැනීමට සමත්වෙනවා.

ඇමරිකානු ඉතිහාසය තුළ විටින් විට විවිධාකරයේ අපරාධකරුවන් ඉස්මතුවෙනවා. මේ අතරින් අල් කැෆොන් (Al Capone), ජොන් ඩිලින්ජර් (John Dilinger), බේබි ෆේස් නෙල්සන් (“Baby Face” Nelson), මා බේකර් (Ma Baker), මැෂීන් ගන් කෙලී (“Machine Gun” Kelly), බොනී සහ ක්ලයිඩ් (Bonnie & Clyde) මේ අතරින් මතකයේ රැදෙන නම් කිහිපයක්.

මේ නම් අතරින් බර්ටියා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසානය කියපු ඇමරිකාව බියෙන් සලිත කළ දාමරික යුවල ගැනයි. මොවුන් දෙදෙනා හා ඔවුන්ගේ සගයින් එක්ව කරගෙන ගිය මංකොල්ල කෑම් දාමය අවසන්වන්නේ 1934 මැයි මස 23 වෙනිදා සිදුකරන ලද රැක සිට පහර දීමකින්.

     බොනි එලිසබෙත් පාකර් (Bonnie Elizabeth Parker) වර්ෂ 1910 ඇමෙරිකාවේ      ටෙක්සස් ප්‍රාන්තයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනියා ලෙස      මෙළොව එළිය දකිනවා. බොනී දක්ෂ කිවිදියක් බව දන්නේ ඇයව ළගින්ම ඇසුරු      කරන්නන් පමණයි. ඇගේ වයස අවුරුදු හතරේදී ඇගේ පියා මිය යනවා. වයස අවුරුදු      16 ට දින හයකට පෙර ඇය ඇගේ පෙම්වතා වන රෝයි තොර්ටන් (Roy      Thornton) හා විවාහ වුවත් එම විවාහය කෙටි කළකට සීමා වෙනවා. ඔවුන්      කිසිවිටෙකත් දික්කසාද නොවුනත් ඔවුන් කිසිදා යළි මුණ ගැහෙන්නේ නෑ. ඇය මිය      යන මොහොත දක්වාම මේ විවාහයේ මුදුව ඇගේ අතේ දක්නට ලැබෙනවා.

     ක්ලයිඩ් චෙස්නට් බරෝ (Clyde Chestnut Barrow) වර්ෂ 1909 දී ටෙක්සස් වල      දූගී ගොවි පවුලක පස්වන දරුවා ලෙස උපත ලබනවා. මේ ගොවි පවුල 1920 ඩලස්      ප්‍රාන්තයේ පදිංචියට යනවා. ක්ලයිඩ් පළමු වතාවට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ      කූලී මෝටර් රථයක් නිසි වෙලාවට බාර නොදීමේ හේතුව නිසයි. සමහර      අවස්තාවලදි ඔහු නිත්‍යානුකූල රැකියා වල නියැලුනත් බොහෝ විට වාහන සොරකම්      කිරීම, සේප්පු විවෘත කිරීම, කඩ සාප්පු මංකොල්ල කෑම වැන නිතිවිරෝධි ක්‍රියා වල      ඔහු නියැලෙනවා

     මොවුන් දෙදෙනා පළමුවෙන් මුණ ගැහෙන්නේ ටෙක්සස් ප්‍රාන්තයේදී. ඒ 1930      ජනවාරි මාසයේ පස් වනදා (නිවැරදිම වාර්තා නොවේ). එකිනෙකා මුණ ගැහැණු      විටම ප්‍රේමයෙන් බැදුණු මොවුන් දෙදෙනාගේ ප්‍රේම සවාරිය නිමවන්නේ ක්ලයිඩ් රථ වාහන සොරකමකට වරදකරුවීමත් සමඟින්. මෙයට වරදකරු වන ක්ලයිඩ් සිරදඩුවම් ලබනවා.

වරක් බොනී විසින් රහසේ සඟවාගෙන ගිය ගිනි අවියක ආධාරයෙන් ඔහු සිර බාරයෙන් මිදි පලා යෑමට සමත් වුවත් මොවුන් දෙදෙනාම නැවත වරක් නීතියේ රැහැනට අසුවෙනවා. හිර දඩුවම් විහින අතර ක්ලයිඩ් විවිධ ලිංගික අඩත්තෙට්ටම්වලට අපහරණයන්ට ලක්වන අතර වරක් සිය අපයෝජකයාගේ හිසට යකඩ පයිපෙකින් පරදි දී ඔහුව මරාදමනවා. කෙසේ නමුත් මේ පිළිබඳ වගකීම මරණ දඩුවම ලබා සිටි වෙනත් සිරකරුවෙක් බාර ගැනීම නිසා ක්ලයිඩ් මරණ දඩුවමෙන් බේරෙනවා.

1932 පෙබරවාරි මාසයේදී ඇප පිට නිදහස්වන ඔහු සිය අපරාධ රැල්ල ආරම්භ
කරන්නේ ෆුල්ට්ස් (Fults) නම් සහායකයා සමඟ. සිරෙන් නිදහස් වන විට ඔහු අමුතුම පුද්ගලයෙක් බවට පත්ව සිටි බව ඔහුගේ සොයුරිය වන මේරි වරක් පවසනවා. මේ අපරාධ රැල්ලේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙන්නේ ගබඩා සහ ඉන්ධන පිරවුම් හල්. මාස කීපයකට පසුව සිරෙන් නිදහස් වන බොනී සිය පෙම්වතා සමඟ මේ අපරාධ
රැල්ලට එකතු වෙනවා.

1932 අග භාගය වන විට බොනී සහ ක්ලයිඩ් කල්ලිය හා එකතු වන්නේ රෙමන්ඩ් හැමිල්ටන් (Raymond Hamilton) නම් තරුණ තුවක්කුකරුවා. මාස කීපයකට පසුව මෙම කල්ලියෙන් ඔහු ඉවත්වෙනවා. ඒ වෙනුවට ඔවුනට එකතු වන්නේ විලියම් ඩැනියෙල් ජොන්ස් (William Daniel Jones) නම් පුද්ගලයා. පසුව මොවුන් තිදෙනා සමඟ ක්ලයිඩ්ගේ සොහොයුරෙක් හා ඔහුගේ බිරිද (Buck and Blanche Barrow) එක්වීමෙන් පස් දෙනෙක්ගෙන් සමන්විත කල්ලියක් බවට පත්වෙනවා.

මේ කල්ලියේ මංකොල්ලකෑම් හා මිනිමැරුම් වැඩි කලක් නොයාම පොලීසියට හා අනිකුත් නීති රකින් ආයතනවලට හිසරදයක් වන්න පටන් ගන්නවා. මොවුන් විසින් සිදුකරන මේ දරුණු මංකොල්ලකෑම් පුවත්පත් ගණනාවකම ප්‍රධාන සිරස්තල බවට පත්වෙන්නේ බොහොම කෙටි කාලයක් තුලයි. 1933 දී ඇති වන ගැටුමකදී බක් මාරාන්තික තුවාල ලබන අතර බ්ලන්ච් අත් අඩංගුවට පත්වනවා. ඉන් අනතුරව
ජොන්ස් අත් අඩංගුවට පත්වුවත් ක්ලයිඩ් යුවල අල්ලා ගැනීමට නීති නිලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.

     1933 නොවැම්බර් මස 22 ටෙක්සස් හී ෂේරීෆ් කාර්යයාලය මොවුන්      දෙදෙනා අල්ලා ගැනීමට උපක්‍රමක් යෙදුවත් එයත් සාර්ථක වෙන්නේ      නෑ. මෙහිදී ඇතිවන දරුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව මොවුන්      දෙදෙනා පලා යනවා. 1934 ජනවාරි මස 16 වන දින මොවුන් දෙදෙනා      රේමන්ඩ් හැමිල්ටන් ඇතුළු සිරකරුවන් පස්දෙනෙක් මුදාගන්නවා.      මෙහිදී පලායන සිරකරුවන්ට ආරක්ෂාව සපයන්නේ මැෂින්      තුවක්කුවක් අතින් ගත් බොනී විසිනි.

     1934 අප්‍රේල් 01 පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මොවුන් විසින් මරා      දමන අතර අප්‍රේල් මස 4 වෙනිදා පොලිස් කොස්තාපල්වරෙක්      මොවුන්ගේ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලබනවා. මීට අමතරව      මොවුන් විසින් පොලිස් ප්‍රධානියෙක් පැහැරගනු ලබනවා. මේ වන විට      නීති නිලධාරීන් මොවුන් අල්ලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටියත් ඒ සෑම දෙයක් මිදී පැනගැනීමට මෙම කල්ලියට හැකියාව ලැබෙනවා. රටපුරා මොවුන්ගේ ජායාරෑප ප්‍රදර්ශනය කර මොවුන් ගැන ඔත්තු සපයන්නන්ට මුදල් ත්‍යාග පිරිනැමීමමට කටයුතු කරනවා. ඒත් එයින් කිසිදු ප්‍රථිපලයක් ලැබෙන්නේ නෑ.

මොවුන්ගේ ප්‍රහාරකින් මේජර් ජෝ ක්‍රොව්සන් (Major Joe Crowson) මියයෑමෙන් අනතුරුව මෙම කල්ලිය නීතියේ රැහැනට හසුකරගැනීම නීති නිලධාරින් විසින් දැඩි ක්‍රියා මාර්ග වලට එළඹෙනවා. ටෙක්සස් හී නීති නිලධාරින් (The Texas Department of Corrections) විසින් හිටපු ටෙක්සස් රේන්ජර්වරයකු වන කැප්ටන් ෆ්‍රෑන්ක් හැමර් (Captain Francis Augustus Hamer) සහය ලබාගන්නවා. මොහු ඉතාමත් දක්ෂ නිලධාරියකු වන අතර මරණ 53 ඔහුගේ නම යටතේ සඳහන් වෙනවා. කැප්ටන් ෆ්‍රෑන්ක් හැමර් තම සහයකයා ලෙස තෝරා ගන්නේ විශ්‍රාමික ටෙක්සස් රේන්ජර් වරයකු වන බෙන්ජමින් “මැනී” ග්ල්ට් (Benjamin Maney Gault). මේ වන විට මොවුන් සේවය කළ ටෙක්සස් රේන්ජර්ස් නම් නීතී ආයතනය ටෙක්සස් හී නගරාධිපතිවරිය විසින් විසිරවා හැරයි තිබෙන්නේ.

     බොනී සහ ක්ලයිඩ් කල්ලියේ මංකොල්ලකෑම් දාමය හොදින් අධ්‍යනය කරන      ෆ්‍රැන්ක් එහි යම් කිසි රටාවක් හදුනාගන්නවා. මේ රටාව ඔස්සේ දිගටම මොවුන්      ලුහුබදින ෆ්‍රැන්ක් හා මැනී තවත් නීතී නිලධාරීන් හතර දෙනෙක් සමඟ ලුවිසියානා      ප්‍රදේශයේ දුෂ්කර ගම්බද පාරක සැඟව සිට කරන පහරදීමක් සැලැසුම් කරනවා.      මොවුන් දෙදෙනා ටෙක්සස් නීති නිලධාරීන් වු හින්ටොන් (Hinton), ඇල්ක්‍රොන්      (Alcorn) සහ ලුවිසියානා නීති නිලධාරීන් වු හෙන්ඩර්සන් ජොර්ඩන් (Henderson      Jordan) සහ ෆ්‍රෙන්ටිස් මොරේල් ඕක්ලි (Prentiss Morel Oakley) සමඟ මේ පාර      අසල වනයේ සැඟවී සිටිනවා.

     1934 මැයි මස 23 වෙනිදා උදෑසන 9.15 පමණ බොනී සහ ක්ලයිඩ් විසින්      පදවාගෙන යන ෆොර්ඩ් වී8 (Ford V8) වර්ගයේ මෝටර් රථයේ සද්දය මේ සැඟව      සිටින පිරිසගේ කන වැකෙනවා. ඉදිරිපසින් පාර හරස් කර වාහනයක් නවතා      තිබෙන්නේ මොවුන්ගේ පලායාව වැලක්වීමටයි. වාහනයේ අයිතිකරු බොනී සහ      ක්ලයිඩ් හොදින් හදුනන අයෙක්. වාහනයේ කාර්මික දෝෂයක් ඇති බව හගවන      මෙන් හැමර් කලින්ම මේ පුද්ගලයාට උපදෙස් දී තිබුණා.

     හැමර් සිතු ලෙසම බොනී සහ කලයිඩ් මේ උගුලට හසුවෙනවා. වාහනය නවත්වන      අවස්ථාවේ සැඟවී සිටින තැන්වලින් එළියට එන නීති නිලධාරීන් බොනී සහ ක්ලයිඩ්      යුවලට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඔවුන් සතු ගිනි අවිවල වෙඩි උණ්ඩ      ඉවරවන තුරු වට 130 පමණ එක දිගට වෙඩි පහරවල් එල්ල කරනවා. ඕක්ලි තබන වෙඩි පහරක් හිසටම වදින ක්ලයිඩ් ක්ෂණයකින් මියයනවා. ඔවුන් ලැබූ වෙඩි පහරවල් වලින් මොහොමයක් මාරාන්තික එවා වන බවට රජයේ වාර්තා වල සඳහන් වෙනවා.

හින්ටොන්ගේ හා ඇල්ක්‍රොන්ගේ වාර්තාවල සඳහන් වන පරිදි, සෑම නිලධාරියෙක් සතුවම ෂොට් ගන් එකක් ස්වයංක්‍රීය රයිෆලයක් හා පිස්තෝලයක් තිබී ඇත. ඔවුන් වෙඩි තැබීම ආරම්භ කර ඇත්තේ ස්වයංක්‍රීය රයිෆල්වලින්. ෆොඩ් රථය ඔවුන් කිට්ටුවට ඒමටත් පෙර ඒවායේ උණ්ඩ අවසන් වී ඇති අතර ඊළගට වෙඩි තැබීමට පාවිච්චි කරන්නේ ෂොට්ගන්. මේ වන විට මෝටර් රථය දුමින් පිරීගොස් ඇති අතර එය ගිනි ගනීවිදැයි සැකයක් ඔවුන්ට පහලවී තිබුණා. ෂොට්ගන් වල උණ්ඩ ඉවරවීමෙන් අනතුරුව තමන් සතු පිස්තෝල යොදාගෙන ඔවුන් දිගටම මොටර් රථයට පහර දෙනවා. මේ වන විට මෝටර් රථය ඔවුන් පසුකර ගොස් පාරේ ඇති අගලකට වැටී අවසානයි. වාහනය නැවතුණු පසුත් ඔවුන් දිගින් දිගටම එයට වෙඩි තබනවා. ඔවුන්ගේ වචනයෙන්ම පවසතොත් ඔවුන් එහිදී කිසිම අවස්තාවක් ගැනීමට සුදානම් (We weren't taking any chances) වී නෑ.

වාහනය සොදිසි කරන විට එය තුල තිබී සොරකම් කරන ලද ස්වයංක්‍රීය රයිෆල් (automatic rifles), අත් තුවක්කු (handguns), ස්වයංක්‍රීය ෂොට් ගන් (sawed-off semi-automatic shotguns) සමඟ උණ්ඩ වට 7000 පමණද විවිධ ප්‍රාන්ත වල වාහන නොම්බර තහඩු 15 ක් පමණද එහි තිබී ඇත.

මොවුන් දෙදෙනාගේ මරණයේ පුවත බොහෝ ඉක්මනින් නගරය අවට ජනතාව අතර පැතිර ගොස් ඇති අතර මොවුන්ගේ මළ සිරුරු නැරඹිමට දහස්ගණනක ජනතාවක් එම නගරයට එක්රොක්වී තිබෙනවා. මෙම ජනතාව අතරින් බොහෝ දෙනෙක් මොවුන් දෙදෙනාගේ සිරුරින් මතක සටහන් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර සමහරෙක් බොනීගේ ඇදුමේ රෙදි කැබලි මෙන්ම කොණ්ඩ කැබැලිත් කපාගෙන ගොස් තිබෙනවා. තවත් අයෙක් වාහනයේ වීදුරු කැබලි පවා සමරු සටහන් ලෙස එකතු කරගෙන තිබෙනවා.

බොනී සහ ක්ලයිගේ කැමත්ත වුයේ එක ළගම සමාදානයේ සැතපීමට වුවත් බොනීගේ මව මෙයට විරුද්ධ වී තිබෙනවා. බොනීව ප්‍රථමයෙන් මිහිදන් කරන ලද්දේ ෆිෂ්ට්‍රැප් සුසාන භූමියේ (Fishtrap Cemetery) වුවත් 1945 දී ඇයගේ සිරුර ඩලාස් හී නිව් ක්‍රවුන් හිල් සුසාන භූමියේ (New Crown Hill Cemetery) මිහිදන් කෙරෙනවා. මැයි මස 26 දින බොනීගේ අවසන් කටයුතු සිදු කරන ලද අතර එයට 20,000 පමණ පිරිසක් සහභාගී වි තිබෙන අතර සෑම අතින්ම මල් ඇගේ අවසාන ගමන සැරසීමට එවා තිබුණා. එලෙස මල් හා සමරු සටහන් එවු අය අතරින් විශේෂිත පුද්ගලයින් දෙදෙනෙකු ලෙස සටහන් වෙන්නේ ෆ්‍රිටී බොයි ෆ්ලොයිඩ් (Pretty Boy Floyd) හා ජොන් ඩිලින්ජර් (John Dilinger) නම් දාමරිකයින් දෙදෙනයි.

ක්ලයිඩ්ගේ අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ මැයි මස 25 දින සවස් කාලයේ ඩලාස් වල වෙස්ටර්න් හයිට්ස් (Western Heights Cemetery) සුසාන භුමියේ. මෙයට 15,000 පමණ පිරිසක් සහභාගී වී තිබෙනවා. ඔහුව මිහිදන් කර ඇත්තේ ඔහුගේ සොහොයුරෙක් වන මර්වින් අසලින්. ඔවුන් දෙදෙනා අදටත් එකම කළුගල් ස්මාරකයක් හිමිකර ගනිමින් අද දක්වාම එහි නිදනවා. එහි සඳහන් වන්නේ "Gone but not forgotten" ලෙසයි.

වර්ෂ 1935 දී ටෙක්සස් හි නගරාධිපතියගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව ටෙක්සස් රේන්ජර්ස් නීති ආයතනය නැවත වරක් සේවයේ පිහිටුවා තිබෙනවා. මැනී නැවත වරක් එහි රැකියාව ලබා 1947 දෙසැම්බර්බර් මස 14 වන දිය මියයනතෙක්ම එහි ටෙක්සස් රේන්ජර්වරයකු වශයෙන් සේවය කරනවා. ටෙක්සස් රේන්ජන්වරුන් අතර ග්‍රේෂ්ඨයෙක් ලෙස කැප්ටන් ෆ්‍රැන්ක් හැමර් අදටත් සලකනවා. නැවත සේවය එක නොවන ඔහු සිය බිරිද වන ගැලැඩිස් සමඟ නිහඩ ජීවතයක් ගත කරනවා. ඔහු 1955 ජූලි මස 10 වෙනිදා මිය යනවා. මොවුන් දෙදෙනාගෙම සිරුරු මිහිදන් කර ඇත්තේ ඔස්ටින් මතක උද්‍යාන සුසාන භූමියේ (Austin Memorial Park Cemetery).

බොනී සහ ක්ලයිඩ්ගේ ජීවිත කතාව චිත්‍රපට, රූපවාහීනි වෘතාන්ත, සින්දු, වේදිකා නාට්‍ය, පොත් පත් වලටත් පාදක වී තිබෙනවා. 1958 දී මොවුන් දෙදෙනගේ ජීවිත කතාව චිත්‍රපටයක් ලෙස එළි දකිනවා The Bonnie Parker Story ලෙසින්. නැවත 1967 දී Bonnie and Clyde ලෙසින් තවත් චිත්‍රපටයක් එළි දකිනවා. මොවුන් දෙදෙනා පසු පසු හඹා යෑමේ කතා පුවත 2019 වසරෙදි චිත්‍රපටියක් ලෙස එළි දකිනවා The Highwaymen ලෙසින්. එය නම් විශිෂ්ඨ චිත්‍රපටියක්. බලලා නැති කෙනෙක් බලන්න. මේ අවසාන වෙඩි තැබීමේ ජවනිකාව ඉතාමත් තාත්වික ආකාරයට එහි දක්වනවා.

ඡායාරෑප හා තොරතුරු ජාලයෙනි. සමහර නම්වල සිංහල පරිවර්තන නම් එතරම්ම නිවැරදි නැතිව ඇති.

KB 2020.10.08

No comments: