බර්ටියගේ අතිජාත මිත්‍රයන් වෙන ගමයයි පොකයයි මේ වැඩසටහනට ආවා කියලා මතකයි. කොමනයි වවුලයි ගැන මතකයක් නෑ. ශ්‍රමදානය කරන්න තෝරගෙන තිබ්බේ ගම්පහ වතුරගම (205) බස් පාරේ බටේ පොල හන්දියේ තිබ්බ ළමා නිවාසයක්. මේ ළමා නිවාසේ හිටපු ළමයි අය සාමාන්‍ය අයට වඩා වෙනස්. ඒ අයට බුද්ධි වර්ධනයේ ගැටළුවක් තිබ්බා. අපි අර කට වහරේ කියන්නේ මන්ද බුද්ධික ළමයි කියලා. බර්ටියා ඒ ලෙවල් කරන කොට තමයි දැන ගත්තේ මේ ළමයි පෙලෙන්නේ ඩවුන්ස් සින්ඩ්‍රෝම් (Down’s syndrome) කියන තත්වයෙන් කියලා. සමහර වෙලාවට මේ තත්වය මොන්ගෝලීයතාවය කියලත් කියනවා. සමහරු කෙටියෙන් මොංගල් ළමයි කියලත් කියනවා.
ඩවුන්ස් සින්ඩ්‍රෝම් කියන්නේ ජාන විකෘතිමය තත්වයක් නිසා ඇති වන ජාන ගත රෝගයක්. ඒකට කිසිම පිළියමක් නෑ. මේ ජාන ගත රෝගයේ වර්ග තුනක් දකින්නට පුළුවන්. බුද්ධිය වර්ධනය වෙන්නේ ගොඩක් හෙමින්. මේ ඇරුණහම හෘද රෝග, ලිංගිකව පරිණත නොවීම, පැතලි නාසය වැනි ලක්ෂණ ගොඩක් දකින්න පුළුවන් මේ දරුවන්ගේ. ඒ ගැන බර්ටියා වැඩිදුර කතා කරන්න යන්නේ නෑ. මේ දෙවල් මොනවා වුනත් මේ දරුවනුත් මිනිස්සු කියන එක මතක තියාගන්න ඕන. බර්ටියා ඇතුළු කට්ටියටම ඒ දවස් වල මේ දේවල් ගැන අවබෝධය තිබ්බේ හරිම අඩුවෙන්.
ඔය මදෑ ඒ ගැන. දැන් ආයේ කතාවට එමු. කොහොම හරි ප්‍රථමාධාර කවයේ අපිට වඩා ජේෂ්ඨ සහෝදරයෝ වන මාලින්ද, මුතුගල, පීරිස්, වැද්දා රණසිංහ, සුරේෂ්, ලලිත් අයියලා එක්ක අපේ සෙට් එකයි අපිට වඩා බාල සෙට් එකකුයි ඒ කියන්නේ ඔක්කොම කට්ටිය 20 විතර මේ වැඩේට සෙට් වුනා. වතුරගම බස් එකේ ඇවිල්ලා බටේපොල හන්දියෙන් බහිනකොට පොකයත් එතනට ඇවිල්ලා හිටියා. මේ වැඩේට අපේ කවය බාර ගුරුතුමා වන ජයසේකර සරුත් සහබාගී වුනා. අපි ගෙට්ටුවෙන් ඇතුලට යනකොට මේ අය එක පාරටම මේ කට්ටිය අපිව වටකරගන්න කොට හිතට බයකුත් ආවේ නැතුවා නෙවෙයි.අපි එනවා කියලා කලින් දැනුම් දිලා තිබ්බ නිසා එතන හිටපු නිලධාරීතුමත්
එක්ක කතා කරලා අපිට කරන්න තියෙන වැඩකටයුතු ගැන දැනුවත් වෙන එක තමයි මුලින්ම කලේ. මේ වැඩේ කොටස් තුනක් තිබ්බා. එකක් ශ්‍රමදානය. දවල් කෑමෙන් පස්සේ දෙකට විතර පොඩි විවිධ ප්‍රසංගයක්. හවස 5 ට විතර පන්සලට යනවා බෝධි පූජාවකට. ඔය විදිහට තමයි වැඩසටහන තිබ්බේ. අපිට ඇදුම් මාරු කරගන්න කාමරයක් දුන්නා. අපිත් ඉතින් ලෑස්ති වෙලා එළියට බැස්සා ශ්‍රමදානෙට.
ඒ ළමා නිවාසේ තිබ්බේ අක්කර ගාණක පොල් වත්තක. අපිට ඒ වත්ත සුද්ද කරන්න තමයි තිබ්බේ. අපේ උදව්වට ඒ ළමා නිවාසේ ඉන්න ළමයි ටිකත් ආවා. එයාලටත් ඒ වැඩ කරන්න පුරුදු කරලා තිබ්බා. බර්ටියලගේ සෙට් එකට වඩා ඒ ළමයින්ට වැඩ පුළුවන්. අපේ එවුන් රජ හොරුනේ. ඉතින් ඒ ළමයි එක්ක කදේ දාගෙන අපිත් වැඩ කරන්න ගත්තා.
ඔය අතර හිටියා කැපී පෙනෙන චරිත කීපයක්. බර්ටියට එහෙම දෙන්නෙක් ගැන මතකයි. එක්කෙනෙක් හිටියා පොර වාහන පිස්සෙක්. ඇවිදින්නේ නෑ දුවනවා වාහනයක් වගේ. යනකොට එනකොට “බීප්” ගාලා හෝන් පාරක් වදිනවා. ඉස්සෙල්ලාම හොන් පාර වැදුනහම අපි උඩ ගිහිල්ලා බැලුවා මොකක්ද යකෝ මේ කන ගාවින් වැදුනේ කියලා. බලනකොට මේකා. පොර පොල් ගහකින් පොල් ගෙඩියක් වැටුණ ගමන් බීප් ගාලා දුවගෙන යනවා පොල් ගෙඩිය අහුලගන්න. හොදට කතා බහ කරනවා. එහෙම අඩුවක් තියෙනවා කියලත් කියන්න බැරි තරම්. අනිත් කෙනාව මතක තිබ්බේ නම් පොර දාර හස්ත කර්මාන්ත කාරයෙක් නිසා. කොයි වෙලාවේ බැලුවත් කෙළින් කරන් අත් කරත්තේ දක්කනවා.
කොහොම කොහොම හරි වත්ත සුද්ද කරලා ඉවර කරලා අපි මූණ කට හෝදගන්න ගියා. ඒ වෙලාවේ තමයි ඇත්තම මන්ද බුද්ධිකයෝ කවුද කියලා මාට්ටු වුනේ. බිම බැදපු ලොකු සිමෙන්ති ටැංකියකට වතුර පුරවලා තියෙනවා නාන රෙදි හෝදන වැඩ වලට. ඒකට බාල්දි දාලා වතුර ගන්න පුළුවන්. නිවාසේ ළමයි ටික බොහොම පිළිවෙළට බාල්දි වලින් වතුර අරන් නාලා කරලා බොහොම පිළිවෙළට ගියා. ඒවා ඔක්කොම පැත්තකට වෙලා බලන් හිටපු අපේ එවුන් ජබෝස් ගාලා අර වතුර ටැංකියට පැන්නා. නිවාසේ බාර කට්ටියට හිතෙන්න ඇති වැරදි මිනිස්සු තමයි ඒකේ තියන් ඉන්නේ කියලා.ඊට පස්සේ අපි දවල්ට කෑවා. අපිට කෑම එහෙන් ලෑස්ති කරලා තිබ්බා. අපේ එවුන්ටත් කන්නම බෑනේ. බුරිය උල්වෙනකම් කාපු අපේ එවුන් විවිධ ප්‍රසංගයට ලෑස්ති වුනා. එයාලත් ඒ වැඩේට ලෑස්ති වෙලා හිටියා. සංගීතය, නැටුම් වගේ දේවල් වලට ඒ ළමයි හරිම දක්ෂයි. එයාලා බොහොම ලස්සනට එයාලගේ ගායන වාදන නැටුම් ඉදිරිපත් කලා. අපේ එවුනුත් වැඩ දාන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් වරිගෙත් නහගන්නවා. තබ්බා ගහන්න බැරි සුරේෂයා තබ්ලා ගහන්න ගිහිල්ලා තබ්ලාවේ තිබ්බ බදාම හූරුපු විත්තිය ප්‍රසිද්ධ කතාවක් වෙලා තිබ්බා පහුකාලෙක. පිරිස් අයියා නම් පුරුදු විදිහට බට නලා පාරක් ගැහුවා කියලා මතකයි.
මේ වැඩ සටහන ඉවර වුනාට පස්සේ අපිට තිබ්බේ ඒ ළමයිනුත් එක්ක පන්සල් යන්න. පන්සලට කිලෝමීටරයක් විතර පයින් යන්න ඕන. අපිත් ඉතින් ඒ ළමයිනුත් එක්ක පේළි හැදිලා මල් හඳුන් කූරූ අතුලු අවශ්‍ය දේවල් අරන් පන්සලට යන්න පිටත් වුනා. බර්ටියයි ගමයයි සුරේෂ් අයියයි එක්ක තමයි අර වාහන පිස්සා ආවේ. පොර අපිත් එක්ක මාර විදිහට පිට් වුනා. පොරට පන්සලට එන ගෑණු ළමයෙක් ගැන පොරට සිතක් පහල වෙලා. ඉතින් අපේ ලව් විශාරදයෝ වෙච්ච ගමයයි සුරේෂ් අයියයි පොරට ලව් ලෙටර්ස් ලියන්න උගන්නනවා. සුරේෂ් අයියා තමයි වැඩේ පටන් ගත්තේ. උන් දෙන්නා කියපු විදිහට ලියුම ලියන්නේ මෙහෙම. මගේ සීනී බොලේ. හකුරු පලුව. මම ඔයාට බොක්කෙන්ම ලව්. මම ඔයාට පානුයි ලුකයි කවන්නම්. ඔය පාන් කතාව එකතු කලේ අපේ ගමයා. ඕකට තියෙන්නේම ඔය ජාතියේ මොංගල් අදහස් තමයි. පොරව හරි නම් එහේ තියලා එන්න තිබ්බා. අපරාදේ ඒ දවස් වලා ඕක මතක් නුනේ.
පන්සලට සෑහෙන දුරක් ඇවිදගෙන යන්න තිබ්බා. ගම ඇතුලේ තමයි පන්සල තියෙන්නේ. ඒක බොහොම පරණ ඒ වගේම ලස්සන පන්සලක්. අපි ඉතින් බොහොම සැදැහැවත් උපාසකයෝ වගේ බෝධි පුජාවට සහබාගී වුනා. බෝධි පුජාව ඉවර වෙනකොට හවස 6.30 විතර ඇති.ආපහු කරුවලේම ළමා නිවාසෙට ගියා කට්ටියම. නිවාසේ ළමයි ටිකටයි වැඩ කරන කට්ටියටයි ආයුබෝවන් කියලා එහෙන් පිටවෙලා එනකොට පොඩි දුකකුත් දැනුනා. ඒ මොකද කියන්න නම් දන්නේ නෑ.
ආයේ දවසක එන්නම් කියලා අපි කට්ටියම පිටත් වෙලා ආවා, ඒ වෙනකොටත් හොදටම අඳුර වැටිලා තිබ්බ නිසා.
ඒ ඇවිල්ලා සෑහෙන වෙලාවක් පාරට වෙලා ඉන්න සිද්ධ වුනා 205 පාරේ මාර කාර්යක්ෂම බස් සේවයක් තිබ්බ නිසා ඒ කාලේ. කොහොම
කොහොම හරි බර්ටියා සහබාගි වෙච්ච පළවෙනි සමාජ සේවා කටයුත්ත ඔහොම ඉවර වුනා. එදා හැදිච්ච ඒ උණ අද දක්වාම තියෙනවා. බර්ටියා මේ ළඟදි පොකයගෙන් ඇහුවා මේ තැන තාම තියෙනවද කියලා. ඒකයි වවුලයි දෙන්නම කිවුවේ තාම ඒ තැන තියෙනවා කියලා. එහෙනම් අදට ඇති. බර්ටියා ගිහින් එන්නම්.
KB 2020.10.04
No comments:
Post a Comment