ආදරය සහ අරමුදල

     පහුගිය දවස් වල සමාජ මාධ්‍ය හරහා වෙන වංචා ගැන පොඩි කතිකාවක් ඇවිල්ලා තිබ්බ හින්දා      බර්ටියත් හිතුවා බර්ටියට මේ ගැන ලැබුණු අත්දැකීමක් ලියන්න ඕන කියලා. බර්ටියට මේ එකම      විදිහේ අත්දැකීම කීප සැරයක්ම ලැබිලා තියෙන නිසා තව කෙනෙක්ට දැනගන්නත් එක්ක ඒ      ගැන ලියන්න හිතුවා.

     බර්ටියට මේ අත්දැකීම පළවෙනි පාරටම ලැබෙන්නේ මීට අවුරුදු හතකට අටකට විතර උඩදී.      ඒ බර්ටියගේ ඊ-තැපෑලට ලැබුණු ලිපියක් එක්ක. ඊට පස්සෙත් කීප විටක්ම බර්ටියගේ විවිධ      සමාජ ජාලා ගිණුම් වලට ඒ වගේ ආරාධනා ලැබිලා තිබ්බා. කීප සැරයක්ම බර්ටියගේ ඊ-මේල්      ලිපිනයට, ඊළඟට බර්ටියගේ ටිචිටර් ගිණුමට මේ වගේ ආරාධනා ලැබිලා තිබ්බා. එහෙම බර්ටියට      ලැබුණු ආරාධනා වලින් තාමත් මකා නොදමා ඉතුරුවෙලා තියෙන සාක්ෂි කීපයක් මේ සටහනට      අමුණනනවා.

     බර්ටියට එක සැරයක් ඊ-මේල් එකක් ලැබුණා සිම්බාබ්බේ රටේ හිටපු ගෑණු ළමයෙක්ගෙන්.      ඒ ගෑණු ළමයගේ ලස්සන පින්තූර කීපයකුත් එක්ක බර්ටියට විස්තර එවලා තිබ්බා. ඒ දවස් වල      මේක මහ කූට ව්‍යාපාරයක් කියලා නොදන්න තනිකඩ බර්ටියත් තකහනියක්ම මේ ගෑණු ළමයට      බර්ටියගේ විස්තර කියලා ඊ-මේල් එකක් යැව්වා. ඊට පස්සේ තව පින්තූර කීපයකුත් එක්කම      බර්ටියට ඒ ගෑණු ළමයගෙන් පහුවදාම විස්තරයක් ඇවිල්ලා තිබ්බා.

ඒකේ කියලා තිබ්බ විස්තරේ හැටියට ඒ ගෑණු ළමයගේ අම්මයි තාත්තයි දෙන්නවම සිම්බාබ්බේ රටේ තිබ්බ සිවිල් යුද්ධ තත්වය දී රජයෙන් මරලා දාලා තියෙනවා. ඒ ගෑණු ළමයත් ජීවත්වෙන්නේ අනාථ කඳවුරක කියලා තමයි බර්ටියට ලියලා එවලා තිබ්බේ. බර්ටියට ඔය දේවල් හොයලා බලන්න තරම් දැනුම මුහුකූරා ගිහිල්ලා තිබ්බේ නෑ ඒ දවස් වල.

විස්තරේ එතනින් ඉවර නෑ. ඒක තව දුරට යනවා. ගෑණු ළමයා දෙවෙනි ඊ-මේල් එක එවන්නේ බර්ටියට කැමතියි කියලා. ඒ ගෑණු ළමයා කියන විදිහට එයාගේ තාත්තා බොහොම ලොකු ධනවතෙක්. එයාගේ සල්ලි මැරෙන්න කලින් මොකක් හරි විශේෂ අරමුදලකට බැර කරලා තියෙනවා. කියන විදිහට ඒ සල්ලි ගන්න පුළුවන් වෙන්නේ මේ ගෑණු ළමයව විවාහ කරගන්න කෙනාටයි. ඉතින් බර්ටියට කරන්න තියෙන්නේ අර ගෑණු ළමයව විවාහ කරගෙන මේ සල්ලි අරන් ලොකු ධනවතෙක් වෙන්න. කවුද ඉතින් අකැමැති ඔය වගේ ලස්සන සල්ලි තියෙන ගෑණු ළමයෙක්ව විවාහ කරගන්න. බර්ටියත් කැමති වුනා. ආයේ මොනවද? මේ තියෙන්නේ බර්ටියට මේ ලිපිය ලියන්න කරුණු හොයාගන්න ඕන නිසා ඔය වගේ ඊ-මේල් එකකට යවලා ගෙන්න ගත්ත උත්තරයක්. බර්ටියා එකේ වැදගත් ටික මෙතන උපුටා දක්වනවා. බර්ටියා ඒක පරිවර්තනය කරන්න යන්නේ නෑ. බර්ටියා මේක ගෙඩි පිටින්ම මෙතනට දානවා. අකුරක්වත් වෙනස් කරලා නෑ.

“When my Father was alive he never hide anything from me
as his only child, after the death of my father i was able to
get my late father's documents including the certificate of deposit were he Deposited his money, my uncle later got to know about it, that was his reason he was threatening me so that he can be able to claim the money too. It contains 2.8 million British pounds and as the only child i am the next of kin, i am giving you all this information due to the trust
I have deposed on you. Dear at this moment i want to come out of this camp to live my normal life as a woman, i want
you to help so that i could be able to get this money, i have already contacted the bank and i found out and i was also informed by the bank that my father have an agreement with the bank that in case of dismay the money should be release to me with an appointed trustee who could stand on my behalf to help me get the money.

So i will like you to help me transfer this money to your account Or in the alternative, if you can help me to get the Camp Clearance and international Passport to come to join you in your country then on my arrival i will apply directly to bank myself so that they will transfer the money into your bank account.

It is now left for you to choose which option you prefer to help me. (1.) Either to agree to represent me at the bank so that I can give you the contact of the bank in London and all information for you to contact them directly so that they can transfer the money into your bank account. (2). Or to help me come over to your country so that the bank can transfer the money into your bank account.

If you want to marry me, We are going to invest the money together or if you wish not to, I will give you 34% percent of the total amount of the money for your kind assistance. I believe I can trust you on this issue and if you think I can't please do let me know and if you can be trusted with this small secret between us please send me your Real Names and Country of origin for me to use your name and write to the bank to introduced you as my partner to stand on my behalf for the transfer. I hope to hear from you soon and take care of yourself for now bye.”

     ඊට පස්සේ ඔය ගෑණු ළමයා තව විස්තර ටිකක් එවනවා. ඒකේ තියෙන්නේ      බැංකුවේ තියෙන එයාගේ අරමුදල සම්බන්ධව බැංකු කටයුතු කරන      පුද්ගලයගේ විස්තර. සම්බන්ධ කරගන්න පුළුවන් ඊ-මේල් ලිපිනයක්, ඒ      වගේම දුරකථන අංකයක්. කියන විදිහට මේ පුද්ගලයා එංගලන්තයේ තියෙන      බැංකුවකට සම්බන්ධ පුද්ගලයෙක්. බර්ටියත් ඉතින් ඔය තිබ්බ ඊ-මේල්      ලිපිනයට ඊ-මේල් එකක් දාලා මේ සම්බන්ධව විස්තර හොයලා බැලුවා.      දවස් දෙකකට විතර පස්සේ මේ කියන බැංකුකරුවගෙන් ලිපිනයක් ආවා. ඒ      අරමුදලේ තියෙන මුදල් ප්‍රමාණය පවුම් වලින් සඳහන් කරලා. ඒ ගාණ      දශමස්ථානෙට එහා පැත්තේ තියෙන බින්දු දෙක නැතුව ඉලක්කම් 7කට වැඩි      අගයක්. හරියටම කිවුවොත් පවුම් මිලියන 2.8. ඒ ඇරුණහම මේ සම්බන්ධව      කටයුතු කරන්න අවශ්‍ය කරන නීතිමය ලියකියවිලි වගයක විස්තර. ඒවා නම්      මොනවද කියලා කියන්න බර්ටියට දැන් මතකයක් නෑ.

     ඊළඟට වුණේ මේ ගණුදෙනුව කටයුත්ත කරන්න ඕන කරන ලිපි ලේඛන වලට      මෙච්චර මුදලක් අවශ්‍ය වෙනවා. අන්න ඒ මුදල එවලා තිබ්බ ගිණුමක තැම්පත්      කරන්න කියපු එක. ඒක ඇවිල්ලා රුපියක් 80,000 විතර මුදලක්. ඔන්න ඔය      ඊ-මේල් එකත් එක්ක බර්ටියගේ මොළේ ගැස්සිලා ඇහැරුණා. බර්ටියට මීටර්      වුනා මේක ගාණක් කපන්න කරන වැඩක් කියලා. එතනින් එහාට බර්ටියා ඒ      ගෑණු ළමයට ඊ-මේල් කරන්න ගියේ නෑ. වැඩේ එහෙමම අත ඇරලා දැම්මා.      ඔන්න ඉතින් බර්ටියට ඊ-මේල් කෙල්ලයි සල්ලියි දෙකම නැතුව ගියා.

     ඊට පස්සෙත් බර්ටියට කීප සැරයක්ම මේ වගේ ඊ-මේල් ලැබුනා. ටිවිටර්      ගිණුමටත් පණිවිඩක් ලැබුණා. ටිවිටර් එකට ලැබුණු මැසේජ් එක එවලා තිබ්බේ      ඇමෙරිකානු හමුදා සෙබළියක් විදිහට. වැඩි ඈතක නෙවෙයි ගිය අවුරුද්දේ      තමයි ඒක ලැබුණේ. බර්ටියා නිකමට එවලා තිබ්බ ෆොටෝ එක අරන් ඉමේජ්      සර්ච් එකක් කරලා බැලුවා ගූගල් සහෝදරයාගෙන්. බලනකොට ඒ ඇමරිකන්      මේජර් ජෙනරාල්වරියකගේ ෆොටෝ එකක්. විකිපීඩියා වලත් විස්තර      තියෙනවා ඇත්ත පුද්ගලයා ගැන.

මේක ඇවිල්ලා කවුරු හරි පිරිසක් කරන සංවිධානාත්මක වංචාවක්. මේ වගේ ඊ-මේල් යැව්වහම ඒ වට රුවටිලා සල්ලි දානා එකෙක් දෙන්නෙක් හරි ඇතිනේ මේ ලොකේ. අනිවා ලංකාවෙත් ඇති මේවට අහුවෙන් එවුන්. බර්ටියට හිතෙන විදිහට අන්තර්ජාලෙන් ලබාගන්නා ෆොටෝ පාචිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. හැම දෙයකම තියෙන්නේ එක හා සමාන කතාවක්. අම්මා, තාත්තා යුද්දෙන් මැරිලා. පවුලේ එකම දරුවා. තාත්තා කෝටිපතියෙක්. සල්ලි තියෙන්නේ අරමුදලක. බදින්න කැමතියි. සල්ලි ගන්න උදව් කරන්න. ඕක තමයි සරල සාරංශය. මේක තනිකරම බොරුවක්. මහාම මහා හොර වැඩක්. අහුවෙන්න නම් එපා කියලා තමයි බර්ටියට කියන්න තියෙන්නේ.

ඔය කළු පාට ඇදුම ඇදන් ඉන්නේ බර්ටියව බදින්න කැමති අලුත්ම ගෑණු ළමයා. වයස අවුරුදු 24. අඩි පහයි අඟල් 9 උසයි. තනිකඩයි. බැදලා නෑ එයා කියන විදිහට. දකුණු අප්‍රිකානු සම්භවය. ඉන්නේ සෙනගාල් වල අනාථ කඳවුරක. එකම කතාව තමයි. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි වෙනස්. මිනිස්සු අහුවෙනවා තමයි මේවට සිහිකල්පනාවෙන් වැඩ කළේ නැත්නම්. __________________________________________

KB 2021.08.03

පමා වූ ආදරය . . . . .


නීල් නෙතු අගින් ඇද හැලෙන
නිලුපුල් නෙතු කැල්මන්
බලා ඉවසා හිදින්නද
සැමදාම මා දුරින් හිද
රත් පැහැකළ දෙතොල් පෙති
රෝස පැහැවු සියමැළි දෙකොපුල්
උතුරවයි මා සිත ඔබට බැදි සෙනෙහස
ඇසට අසුවන මායිමක සිට
හිනැහුණත් නුඹ මෙලෙස
ඇයි නොමවුයේ වරම් ළංවෙන්න ඔය සිතට
පරතරය ඇති අප අතර
ළංවෙන්න නොමදෙයි ඉඩකඩක්
මන්ද පමා වුයේ මා මෙතරම්
එළි දකින්නට මෙලොව
හසුව රුදු සරදමට දෛවයේ . . . . . ! ___________________________________________________________________
KB 2021.06.22

ගුරු වෘත්තියේ අත්දැකීම් 04

     බර්ටියට, පහුගිය දවසක අළුත් විදිහේ ආරාධනාවක් එක්ක අළුත් අත්දැකීමක්      විදගන්න අවස්ථාවක් ලැබුණා. හැමෝම මේ දවස්වල කොරොනා වසංගතය හින්දා      පීඩා විදිනවා. ගුරුවරුන්ට හා ළමයින්ට ඒක වැඩිපුරම දැනෙනවා ඉස්කෝලවල      අධ්‍යාපන කටයතු කරගෙන යන්න විදිහක් නැති නිසා. අපි මාර්ග ගත ඉගැන්වීම්      කටයුතුවලට යොමුවුනත් ඒක එච්චරම ඵලදායි නෑ කියලා දැනිච්ච වෙලාවල්      අනන්තයි අප්‍රමාණයි. බර්ටියා ඒ ගැන නම් නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.

     බර්ටියා කලිනුත් කිව්වා කොරොනා වසංගතය ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන      කටයුතු වලට අනිසි විදිහට බලපෑවා. ඔය කාරණය බලපෑවා මේ මැයි හා ජූනි මාස      වල පවත්වන්නට යෙදුණු කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ (Cambridge O Level)      විභාගයටත්. ඒක ඇත්තටම අප්‍රේල් මාසේ අග හරියේ වෙන්න පටන් ගත්තා. විෂයන්      කීපයකට අදාලව විභාගෙත් තිබ්බා. ඒත් කොරොනා වසංගතය ලංකාව පුරාම වගේම පැතිරෙන්න පටන් අරන් තිබ්බ හින්දා හදිස්සියේම විභාගය නවත්තලා දාන්න බලධාරීන් තීරණය කළා. ඒක එක්තරා දුරකට හොද තීරණයක් කියලා බර්ටියා හිතනවා.

ඔය තීරණයත් එක්ක මේ භාගෙට විභාගේ ලියපු ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණයෙදි කේම්බ්‍රිජ් බලධාරීන් අවස්ථා දෙකක් ලබා දුන්නා. එකක් තමයි ළමයින්ට ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට සහභාගී වෙන්න අවස්ථාව ලබාදීම. අනිත් එක ගිය අවුරුද්දේ කලා වගේ පහුගිය විභාගවල ලකුණු විමර්ශනය කරලා ඒ හරහා ළමයින්ට ප්‍රථිඵල ලබාදීම (මෙතන ඇතිවුන තත්වය මීට වඩා බොහොම සංකීර්ණයි). අපි ඕකට කියලා ශ්‍රේණිගත කරනවා (Grading) කියලා. බර්ටියා ඒ ගැන විස්තර කතා කරන්න යන්නේ නෑ. මේ විස්තර කිව්වේ බර්ටියා ඊළගට කියන්න යන දේ ගැන තේරුම් ගන්න මේ විස්තර පහසුවක් වෙන නිසා.

සති දෙකකට විතර කළින් බර්ටියාගේ හිතවත් ගුරුවරයෙක් කතා කළා බර්ටියට. කතා කරලා බර්ටියට පොඩි යෝජනාවක් කළා. ඒ ගුරුවරයා පන්ති කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවත් මේ කියන කේම්බ්‍රිජ් විභාගය කරන්නේ. ඒ දරුවා ඉගෙන ගන්න පාසල තීරණය කරලා ඔක්තොම්බර් නොවැම්බර් වාරයකට නොයා ළමයින්ව ඒ පාසලේ තියෙන මාර්ග ගත විභාගයක් තියලා ඒකෙන් ලැබෙන ප්‍රථිඵල වලින් ළමයින්ව ශ්‍රේණිගත කරන්න. සරලව කිවුවොත් Grading කරන්න.

ඒ ගුරුවරයා බර්ටියට කතා කරලා කරලා බර්ටියාගෙන් මේකට උදව්වක් ඉල්ලුවා. බර්ටියා හිතුවේ ඒ ළමයට පුනරීක්ෂන මොනවා හරි කරන්න වෙන්න ඇති කියලා. ඒ ඇත්ත සිද්ධිය වෙනම එකක්. මාර්ග ගත විභාගය යන අතර සූම් (Zoom) තාක්ෂනය හරහා සම්බන්ධවෙන ඒ පාසලේම ගුරුවරයෙක් විභාගය අධික්ෂනය කරනවා. බර්ටියට කරන්න තිබ්බේ විභාගේ වෙලාවෙදි ඒ ගුරුවරයාගේ කැමරාවට නොපෙනෙන තැනක ඉදගෙන ඒ ළමයට විභාගෙට උදව් කරන්න. සරලව කිවුවොත් විභාගය වෙලාවට දරුවට උත්තර කියලා දෙන්න. බර්ටියා අන්දුන් කුන්දුන් වෙලා ගියා, මොකක්ද මේ කියන්නේ කියලා. මේ කාරණය බර්ටියාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යන හින්දා බර්ටියා එක හෙළාම බෑ කියලා කිවුවා. සල්ලි කොච්චර දුන්නත් බර්ටියාට නම් ඒ විදිහේ වැඩක් කරන්න හිත හදාගන්න බෑ.

     බර්ටියා මේකට එකට නොවිච්ච නිසා අර ගුරුවරයා තව කාරණා කීපයක් කිවුවා      බර්ටියා ඒවා අහපුවහම හා කියයි කියලා හිතලා වෙන්න ඇති. ඒ වෙනකොට ඒ      ගුරුවරයත් ඒදේම කරලා තිබ්බා. ඒ ගුරුවරයා නම් කිව්වේ තමන් සල්ලි      බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ දේ කළේ කියලා. ඒ දරුවා ඒ ගුරුවරයා උගන්නපු      ළමයෙක් නිසයි කියලයි බර්ටියා එක්ක කිවුවේ. ඒ ළමයා වැඩ බැරි ළමයෙක්      නෙවෙයිලු. ඒත් ඒ පාසලේ ළමයගේ ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට එන      ළමයින්ට වේලාසනින් අර ප්‍රශ්න පත්තරේ දෙනවලු. ඒ ළමයින්ට වැඩි වාසිය      ලැබෙනවා ඒ කාරණය උඩ. සමහර ගුරුවරු තමන්ගේ ප්‍රශ්න පත්තරය මේ ගාණයි      කියලා ප්‍රසිද්ධියේම කියලත් තියෙනවලු. ඕවා තමයි බර්ටියට දැනගන්න ලැබුණු කාරණා. ඒවා කොච්චර දුරකට ඇත්තද කියන්න බර්ටියා දන්නේ නෑ. ඒත් වෙච්ච දෙයක් එක්ක ඒ කාරණා වල යම් ඇත්තක් ඇති කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා.

අවසානයේ බර්ටියා කිව්වේ, තරහා වෙන්න එපා. මට නම් මේ දේ කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති වලට මේක විරුද්ධයි. ඒක නිසා එහෙම කරන්න කැමති කෙනෙක් හොයාගන්න කියලා බර්ටියා කතාව අවසාන කළා.

බර්ටියට හිතාගන්න බෑ මෙහෙම කරන්න පුළුවන් ගුරුවරු ඉන්නවද කියලා. බර්ටියා හැම තිස්සෙම හිතන්නේ ගුරුකම කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක් කියලා. බර්ටියගේ ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් කිව්වේ “Teaching is a holy job” කියලා. බර්ටියත් ඒක ඉහළින්ම පිළිගන්න කාරණයක්. තමන්ගේ බත් පත කන්න නැති දරුවන්ට දෙන, තමන්ගේ අතේ තියෙන තුට්ටු දෙක දරුවෙක්ගේ උවමනාවලට වියදම් කරන, තමන්ගේ ගෙදර ගෙනල්ලා තියාගෙන දරුවන්ට උගන්නන ගුරුවරු අනන්ත දැකලා තියෙන බර්ටියාට මේ වගේ මිනිස්සුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. කීයක් හරි හොයාගන්න ටියුෂන් එකක් කරන එක කමක් නෑ. මොකද ගුරුවරයෙක්ට මහලොකු වැටුපක් ලැබෙන්නේ නැති නිසා. ඒත් තමන් රැකියාව කරන තැන වෙනුවෙන් හදන ප්‍රශ්න පත්‍රය විභාගයට කළින් 50,000 හරි 60,000 හරි කියලා විකුණනවා ඒ කෙනා ගුරුවරයෙක් නෙවෙයි නරුමයෙක්. ඒක හරිම ඛේදවාචකයක්. ඒත් හැමදෙයක්ම මුදලින් තීරණය කරන සමාජයක මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්.

මගේ දුවේ

මා දයාබර දියණියට

මගේ දුවේ නුඹ අවදියෙන්
දකින්න කටුක බව මේ ජීවිතේ
සේද සලුවෙන් වැසුණු - මල් සුවඳින් පිරුණු
සුන්දරත්වයට මතින්
සැඟවුණු කුරිරු බව දැනෙයි එවිට නුඹහට

බැටළු හම පොරවාගත් වෘකයින්ද
ලේ සුවඳට ඉවකරන පිසාචයින්ද
ගැවසෙයි නුඹ අසලම
ගිලගන්නට ඔය සොඳුරු දිවිය

මේ දිවි මඟ දෙපස පිපී දිලෙන්නේ
සිනා මල් පමණක්ම නොවන බවද
ඒ නෙලූ මලින් ගලන්නේ රක්ත වු රුධිරය බවද
වැටහේවි දිනෙක නුඹහට

සැමවිටම පසුවෙයන් විමසුමෙන්, අවදියෙන්
මඟහැරෙන එක් මොහොත
ගෙනෙයි යම් අනතුරක්
නුවණැස අවදියෙන් බලන් නුඹ පෙරමඟ
කෙම්බිමක් ඇත්තේද අත ළඟය සැමකළ
මංමුලා නොවී කිසිදා දිරියෙන් බලන් ඉදිරිය
ජවය ඔබ සතුය හැමවිටම
දිනන්නට නුඹ සිහින ___________________________________________________________________
KB 2021.05.29

සෙනෙහස් මල් කැකුළ

ආදරයක සොඳුරු වු අරුමය ඇරඹුමට මොදු වන සෙනෙහස් මල් කැකුළ

තොල් පෙති මත මිමිණූ
සුන්දරම කවියක්ව
රැදෙන්නට ඉඩදෙන්න
ඔය සවන් පත් අතර

පිපෙන්නට වෙරදරණ
සෙනෙහසේ මල් කැකුළ
පිපෙන්නට ඉඩදෙන්න
ප්‍රේමයේ පිණි පොදක් ඉස

පුදන්නට හිත පිරුණ
සෙනෙහසට ඉඩදෙන්න
සැමදාම රැදෙන්නට
ඔය සොඳුරු සිත් මඩල

දෙන්න ඔය සිනා පොද
රැදෙන රතු දෙතොල් මත
තරුවක්ව පායන්න
ඔය සොඳුරු සිත් අහස
මියෙන තුරු ආදරෙන්
___________________________________________________________________
KB 2021.03.25

එරෙහි වූ දෛවය

අපේ ජීවිත තුළ අප පතන ආදරය බොහෝවිට ලැබෙන්නේ නැත. විවිධාකර වු හේතුන් නිසා එය අපට නොලැබී යා හැක. ආගම, කුලය, ධනය, බලය, වයස, හඳහන්, දෙමව්පියන් වැනි කුමන හෝ හේතුවක් නිසා එය සිදුවී යා හැක. බොහොවිට දෙදෙනෙක් අතර ගොඩනැගෙන ආදරයට මෙවැනි දෑ බාධක නිසා බිදී යයි. එ කෙතරම් කණගාටුදායකද? එය කෙතරම් අවාසනාවන්තද? ශක්තිමත් සිත් ඇත්තවුන් කලාතුරකින් මේ බාධක ජයගෙන ඉදිරියට ගමන් කරයි.

තනිවුණු හදකට‍
බිදුණු සිතකට
සුවපත් සිතුවිලි
එක්කළ ඔබයි විහඟිය
පිරුණු ආදරය
ඔබේ සිත තුළ
දැනෙයි මට
බිදෙන් බිද දිනෙන් දින
එහෙත් එරෙහිය
අපට අප දෛවය
සිදුවේද දුරස් වී හිදිනට
කිසිදා යා නොවන
මාවත් දෙකක් අද්දර
කඳුළු පිරි නෙත් කෙවෙණි
රිදී ගිය සිතුවිලිත්
දරන් මා සිත තුළ
කෙළෙස යන්නද මා
නුඹ දමා දුරට
___________________________________________________________________
KB 2021.01.06

රැදවේද සෙනෙහසක්?

ආදරය කියන්නේ බොහොම සුන්දර දෙයක්. හැමෝම ආදරය විදින්න කැමතියි. ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන ආදරය වෙනත්ම ආරක් ගන්නවා. එය සුන්දර හැඟීම් වලින් ඒ දෙදෙනාගේ ජීවිතය පුරවනවා. ඒ වගේම ඒ ආදරය බිදිලා ගිය තැන එකතුවෙන්නේ දුක. සමහර විට වෛරය. බොහෝ විට අපි පතන ආදරේ අපට නොලැබෙන්න පුළුවන්. බර්ටියගේ ජීවිතය ඇතුලේ නම් ඒක එහෙමයි. සමහර වෙලාවට ආදරේ හිතේ තියාගෙන නිශ්ශබ්දව ඒක නොකියා ඉන්න වෙන වෙලාවලුත් තියෙනවා. අපි ආදරය කරන කෙනා වෙන කෙනෙකුට ආදරය කරන වෙලාවට ඒක එහෙමයි. ඒ වෙලාවට නිහඩව දුරින් ඉන්න එක තමයි සුදුසුම දේ වෙන්නේ. ඒ කෙනාගේ හොයාගෙන ගිය ආදරය බිදිලා ගිහිල්ලා නැවත තනිවුනත් අපේ ආදරය ඒ කෙනාට කියන්න බැරි අවස්තාවක් එන්න පුළුවන්. මේ එහෙම දෙයක්.

ජීවිතේ පිටු අතර හැදිනගත් හිතවතිය
බිඳීගිය දිවි මඟක අරුතක් සෙව් යුවතිය
නිවීගිය ගිනි දැල් මතින් රැ
පියමං කළා දුරකට
පිසලමින් කඳුළු සිය නෙත රැදුණු
සොඳුරු වූ ඔබ හද මඩල
විගස මා හැදිනගත්
බැඳුණා ඔබ සිතට මහද
ළංවුවත් දිනෙන් දින
නුඹ වෙතට මා තවත්
වෙනතක ගිහින් නුඹ
සොයා තව සෙනෙහසක්
රැඳුණා දුරින් මම
ඔබ තුටින් සිටිනු දැක
නොමවීය මට වරම් රැදෙන්නට නුඹ අසල
දෛවයේ සරදමට හසුවී යළිත් නුඹ
බිඳීගිය සෙනෙහසක දුක් සුසුම් රිදුම් මැද
සෙනෙහෙ බැදි ඔය සිතට
පෙර ලෙසම අපමණයි
හැකිය මට නවතින්න නුඹ ළඟින් හැමදාම
කියනු මැන මට ඉතින්
පිසදා ඔය නෙතු පියන්
රැදවේද ඔය සිතේ සෙනෙහසක් . . . . .
___________________________________________________________________
KB 2021.02.08

කම්මුල් පාර

     බර්ටියා මීට අවුරුදු පහකට විතර කළින් ටියුෂන් එකක් කලා කෝට්ටේ.      සෙනසුරාදා දවසක උදේ වරුවේ තමයි මේ ක්ලාස් එක තිබ්බේ. මේ      කියන්න යන්නේ ක්ලාස් එක ගැන කතාවක් නෙවෙයි ක්ලාස් එකට      යන අතර මඟදී වෙච්ච සිද්ධියක් ගැන.

     බර්ටියා ඉතින් 180 බස් එකක ඇවිල්ලා ආමර් විදිය ගාවින් බැහැලා,      එතනින් පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා 176 නුගේගොඩ හරි      කරගම්පිටිය හරි බස් එකක නැගලා රාජගිරියෙන් බැහැලා තමයි ක්ලාස්      එකට යන්නේ. ආමර් විදීයේ තියෙන පන්සල ඉස්සරහට වෙන්න      (බර්ටියට මතක විදිහට ජේතවනාරාමය) කඩ පේළියේ තෝස කඩ      දෙකක් තිබ්බා. දැනුත් තියෙනවා ඉතින්. හැබැයි දැන් පරණ කට්ටිය නෙවෙයි ඉන්නේ. ඔය කඩ දෙකින් එකකට රිංගලා උදේට බඩට මොනවා හරි දාගන්නවා, ආයේ දවල් වෙනකම්ම කන්න ලැබෙන්නේ නැති නිසා.

ඔන්න දවසක් බර්ටියා උදේ 8.00 ට විතර ඔතනින් බැහැලා එක තෝස කඩේකට රිංගුවා මොනවා හරි බඩට දාගන්න කියලා. කඩේ මුදලාලා ටිකක් වයසක හොද උස මහත කෙනෙක්. ඒ දවස් වල හොද කස්ටමර් සර්විස් එකක් තිබ්බා ඒ කඩේ. පොඩ්ඩ පරක්කු වුනොත් මුදලාලිම ඇවිල්ලා බලනවා. සතියකට දෙකකට සැරයක් බර්ටියා ඕකට රිංගන හින්දා පොරට බර්ටියව මතකයි. බර්ටියව ඉතින් ලේසියෙන් කාටවත් අමතකවෙන්නේ නෑනේ.

බර්ටියා කඩේට රිංගන කොටම මුදලාලි දත් තිස් දෙකෙන් තිහක් විතරම පෙන්නලා හිනාවෙලා "මාත්තියා වාඩිවෙන්න" කිවුවා. බර්ටියත් ඉතින් කඩේ මුදලාලිට හිනාවක් එහෙම දාලා වාඩිවෙන්න යනකොට දැක්කා කපල් එකක් ඉන්නවා එක මේසෙක වාඩිවෙලා කෑම කකා. ගෑනු ළමයා නම් පිස්සු බෝල බෝල වෙන තරමට ලස්සන ගෑනු ළමයෙක්. හැබැයි බොහොම වැදගත් විදිහට ඇදලා කරලා තමයි හිටියේ.

බර්ටියත් ඉතින් අයිනකින් වාඩිවෙලා තෝසේ පාරක් ඕඩර් කළා. බර්ටියට ඉතින් තෝසේ කන ගමන් ඉඳ හිටිලා අර ඉටි කිරිස් ගෑණු ළමයා දිහාත් බලනවා, "හිත හීලෑ නෑ" කියලා. ඒ මදිවට ලස්සනට දේකට ඇස් ඇදිලා යයි සිරිබර විසිතුරු ලොවේ" කියලත් සින්දුවක් තියෙනවානේ. ටිකකින් ඒ ජෝඩුව කාලා ඉවරවුනා. බිලත් ගෙවුවා වේටර් කොලුවට. යන ගමන් කොල්ලා මුදලාලිට මොනවද කියලා ගියේ. බර්ටියත් ඉතින් තෝසේ ගිලින ගමන් සීන් එක බලාගෙන ඉන්නවා හිමින් සැරේ. මේ වෙනකොට කොහොමත් කඩේ තව හතර පස් දෙනෙක් හිටියා.

     අර ජෝඩුව ගියා විතරයි මුදලාලි නැගිට්ටා කැෂියර් කූඩුවෙන්. වෙසමුණි රජ්ජුරුවෝ      වගේ ආවා මේස තිබ්බ පැත්තට. එතකොට අර ජෝඩුව හිටිය මේසේ සුද්ද කරනවා      ඒකට කෑම ගෙනාපු වේටර් කොලුවා. මේසේ ගාව නැවතිච්ච මුදලාලි අත දිග ඇරලා      කම්මුල් පාරක් දුන්නා වේටර් කොලුවට නිකම් අරවින්ද, ග්ලෙන් මැක්ග්‍රාත්ට හයේ      පාරක් ගහනවා වගේ. තව පොඩ්ඩෙන් කකා හිටපු වඩේ කෑල්ලත් හිරවෙලා බර්ටියත්      මැරෙනවා එතනම.

     ඊට පස්සේ මුදලාලිය සුද්ද සිංහලෙන්ම බැන්නා අර වේටර් කොලුවට. ඇත්තටම      මුදලාලි සිංහලෙන් තමයි බැන්නේ. සමහරවිට වේටර් සිංහල කොල්ලෙක් වෙන්න      ඇති. “යකෝ, කඩේට එන මිනිස්සුන්ට ගාව හරියට හැසිරෙන්න ඉගෙන ගනින්”,      ඔන්න ඔය වගේ දෙයක් කියලා තමයි මුදලාලි වේටර් කොලුවට බැන්නේ. බර්ටියට      හරියට මතක නෑ ඉතින්

     දැන් බර්ටියටත් මාර ප්‍රශ්නේ මොකක්ද මේ සීන් එක කියලා. පස්සේ මුදලාලිම      විස්තරේ කිවුවා. වේටර් කොලුවා අර ජොඩුවේ කොලුවා පොඩ්ඩක් එහාට මෙහාට      වෙනකම් ඉදලා අර ගෑනු ළමයට ටෙලිෆොන් නම්බර් එක දීලා කෝල් කරන්න කියලා. කෙල්ල ඒක කොල්ලට දීලා. කොල්ලත් මෝඩයා වගේ එතන රණ්ඩු කරගන්නේ නැතුව කඩේ මුදලාලිට විස්තරෙත් කියලා කොළ කෑල්ලත් දීලා. ඔන්න ඕකයි සීන් කෝන් එක. ඊළඟ සතියේ බර්ටියා කඩේට යනකොට අර වේටර් කොලුවා මිසින්. ___________________________________________________________________________________

KB 2021.01.12