අඳුරේ දඩයම්කරු 19 – ආලෝකයේ මං පෙත

“ස්ලෑන්ගාර්ඩ්” කියන්නේ බොහොම දක්ෂ සටන්කරුවෙක්. ඔහු බොහෝ කාලයකට පෙර සඳ රැජිනියගේ ප්‍රධාන ආරක්ෂකයා වෙලා සිටියා. ඒ ඈත අතීතයේ සිට ඇත්තේ අද අපි කතා කරණ දයාවෙන් පිරුණු, තම යටත් වැසියාගේ දුකට පිහිටවෙන රැජිණියක නොවෙයි. අතීතයේ ඇය බලයෙන් මත්වෙලා හිටපු බවක් තමයි කියවෙන්නේ. තමන්ට එරෙහිවෙන අයෙක්ට ඇය කිසිදු අනුකම්පාවක් දක්වලා නෑ. ඒ සියළු අය ඇයගේ වධකාගාරවල දරුණු වද හිංසාවලට ලක්වෙලා තමයි අවසන් ගමන් යන්නවෙලා තියෙන්නේ.

මෙසේ පැවසූ නයෝමිගේ මිත්තණිය මඳක් නිහඩවුනා. දිවා ආහාරයෙන් අනතුරුව ලෝගන්, නිකොලස්, නයෝමි හා ඇයගේ මිත්තණිය අතර වු කතා බහකදී නයෝමිගේ මිත්තණිය වු එසිල්ඩා මේ තොරතුරු ලෝගන් ඇතුළු පිරිසට පවසා සිටියා.

ඇයගේ මේ කුරුරිකම් තව දුරටත් දරාගෙන සිටින්නට බැරිවුණු ඇයගේ ප්‍රධාන ආරක්ෂකයා ඇයව බලයෙන් පහකිරීමට රහසිගතව කැරැල්ලක් ආරම්භ කළා. ඔහු දැනගෙන හිටියා ඇයගේ ශක්ති ප්‍රභවය ගැන. ඒ වගේම ඇයට සැම විටම පක්ෂපාතී වු “සයිරන්” භට පිරිස ගැන. අන්න ඒ නිසා ඔහු ඇයට විරුද්ධව, ඇයව බලයෙන් පහකරන්න යොදාගන්න පුළුවන් යම් අද්භූත බලයක් සෙව්වා.

ඔහුට එහෙම දෙයක් සොයාගන්න පුළුවන් වුනාද?

ඔව්, නිකොලස් පුතා. එහෙම විශේෂිත වු බලයක් සහිත වස්තුවක් තිබ්බා. එය නිල් මැණිකක්. එය සඟවා තිබුණේ රැජිනගේ මාළිගයේ පොළොව යට වු විශේෂිත කුටියක් තුළ. ඒ ගැන කිසිවෙක් දැනගෙන සිටියේ නෑ. අඩුම ගානේ රැජිණවත් මේ විශේෂිත වු නිල් මැණික ගැන දැනගෙන හිටියේ නෑ. එය සියලුදෙනාගේම මතකයන් අතරින් අමතකව ගොස් කාලයේ සුසාන භූමියේ සඳහටම වැළලිලා ගොස් තිබුණා. ඒත්, වාසනාවකට හෝ අවාසනාවකට එය ගැන සඳහන් කර තිබූ පැරණි පුස්තකයක් ස්ලෑන්ගාර්ඩ් හට සොයාගන්න හැකියාව ලැබුණා.

එහි තිබු උපදෙස් අනුව “එන්ඩ්‍රින්” (Endring) නමින් හඳුන්වනු ලැබූ මේ නිල් මැණික රැගෙන එන්නට මාළිගාවේ පොළොව මට්ටමට පහතින් වු කොටසට ඇතුල් වු ප්‍රධාන ආරක්ෂකයා ඇතූළු පිරිසෙන් ජීවිත බේරාගෙන එන්නට ලැබුණේ ප්‍රධාන ආරක්ෂකයාට විතරයි. අනිත් හැමදෙනාම මැණික සොරකම් කිරීමට එන්නන් වැළැක්වීමට යොදා තිබූ සියුම් උගුල් වලට හසුවී මියගියා. කෙසේ නමුත් ස්ලෑන්ගාර්ඩ් තමන්ගේ ජීවිතය බේරාගෙන මැණික රැගෙන එන්න හැකියාව ලැබී තිබුණා. එය ඔහු කෙසේ කළාද කියන්න කවුරුවත් දන්නේ නෑ. සමහරු කියනවා එයට ඔහු අඳුරු මායාවන් යොදාගත්තා කියලා. ඇත්ත මොකක්ද කියන්න කවුරුවත් දන්නේ නෑ.

     ඊළඟට මොකද වුනේ ආච්චි අම්මේ?

     නොයිවසිලිමත් වු නයෝමි සිය මිත්තණියගෙන් විමසා සිටියා.

     මේ සිදුවීමෙන් දින කීපයකට පසුව ස්ලෑන්ගාර්ඩ් හා ඔහුට පක්ෂතපාතී      සොල්දාදුවන් හා රැජිනට පක්ෂපාතී සොල්දාදුවන් අතර සටන ආරම්භ      වුනා. එහි උච්ච වූ අවස්ථාවක එනම් රැජිනට ජය හිමිවෙමින් පැවති      අවස්ථාවක ස්ලෑන්ගාර්ඩ් එන්ඩ්‍රීන් මාණික්‍යයේ බලය රැජිනට විරුද්ධව      යොදාගත්තා. එහෙත් එයින් සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ දෙයක්.

     ඒ මොකක්ද?

     මෙතෙක් වෙලා නිහඩව සිටි ලෝගන් එසිල්ඩාගෙන් විමසා සිටියා.

     ස්ලෑන්ගාර්ඩ්ට හමුවු පුස්තකයේ මේ එන්ඩ්‍රීන් මාණික්‍ය සතු බලය      කුමන විදිහේ එකක් දැයි පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ නෑ. ඒ මැණිකේ බලය බොහොම අද්භූත, නොසිතූ ආකාරයකට ක්‍රියාත්මක වුනා. එයට හැකියාව තිබ්බා හොඳ මිනිසුන් නරකට හරවන්නත් ඒ වගේම නරක මිනිසුන් හොඳ බවට පත් කරන්නටත්. හිතාගන්න පුළුවන් නේද වෙච්ච දේ? මැණිකේ බලයෙන් එය දරා සිටි ස්ලෑන්ගාර්ඩ් නම් වු ප්‍රධාන ආරක්ෂකයා අඳුරට නතු කළා. ඒ වගේම අඳුරට නතූවී සිට සිටි සඳ රාජිණියව ආලෝකයට නතු වුනා. මේ සටනේ අවසානයේ රැජින තම හිටපු ප්‍රධාන ආරක්ෂකයාගේ පිරිස පරාද කරලා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ඒත් රැජින සම්පූර්ණයෙන් වෙනස් අයෙකු බවට පත්ව සිටියා.

ඒ මොන විදිහටද?

ඒක සිතා ගැනීමට නොහැකි වෙනස් කරමක් ලෝගන්. ඇය කාලාන්තරයක් තිස්සේ ඇය සතුව තිබ්බ බල ලෝභය, ක්‍රෝධය, උඩඟුකම වගේ ලක්ෂණ තව දුරටත් ඇය සතුව තිබ්බේ නෑ. ඇය සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක් වෙලා තිබ්බා. ඇය තුළින් පහළවුයේ නැණවත්, ප්‍රතාපවත් රැජිණකගේ ලක්ෂණ. ඒ වගේම ඇයගේ හිටපු ආරක්ෂයා සම්පුර්ණයෙන්ම කණපිට පෙරලිච්ච පුද්ගලයෙක් වුනා. හරියට ඔහුයි රැජිණයි තමන්ගේ චරිත ලක්ෂණ මාරු කරගෙන තිබ්බා වගේ. රැජිනට තමන්ගේ හිටපු ආරක්ෂකයාට ජීවිත දානය දුන්නා. ඒත් ඔහුව සදාකාලයටම හිරකරලා තියන්න අණ කළා. ඒ වගේම ආයෙත් මෙවැනි දෙයක් නොවෙන්නට රැජින තමන්ගේ බලගතු යෂ්ටිය පාවිච්චි කරලා “ඒන්ඩ්‍රීන්” මාණික්‍ය විනාශ කරලා දැම්මා.

ආච්චි, ඔයා කොහොමද මේ හැමදෙයක්ම දන්නේ?

දරුවෝ, අපේ මුතුන් මිත්තෝ තමයි කාලාන්තරයක් තිස්සේ රැජිනගේ උපදේශකයෝ විදිහට කටයුතු කළේ. ඔවුනුත් මේ කැරැල්ලට සහයෝගය දුන්නා. ඒකට රැජින සමාව දීලා තවදුරටත් උපදේශකයන් විදිහට කටයුතු කරන්න ලෙස ඉල්ලා සිටියත් අපේ මුතුන් මිත්තෝ නැවත වරක් ඇයගේ උපදේශකයින් විදිහට කටයුතු කරන්නට කැමත්තක් දැක්වුයේ නෑ. ඔවුන් රැජිනගේ සේවයෙන් ඉවත්වෙලා මේ ගම්මානයට ආවා. පැරඩීස් ගම්මානය ගොඩ නැගුවේ ඔවුන්. ඒ තමයි එක් යුගයක අවසානය වගේම තවත් යුගයක ආරම්භය.

එතකොට දැන් මොකක්ද වෙන්නේ? ඔබ කොහොමද අපේ පැමිණීම දැනගෙන සිටියේ?

නිකොලස් සිය හඩ අවදිකරමින් එසිල්ඩාගෙන් අසා සිටියා.

මගේ සිහින අතරට ඇය පැමිණියා. ඇය තමයි මට ඔබලාගේ ආගමනය දන්වා සිටියේ. අප ඇයගෙන් ඉවත්ව සිටි කාලය අවසානයි කියා ඇය පැවසුවා.

ආච්චි අම්මා, ඔබට වයසයි. ඔබට පුළුවන්ද ඕවා කරන්න?

නෑ මම නෙවෙයි මේ කාර්යයට උරුමකම් කියන්නේ.

එහෙනම්? අපේ අම්මද? අම්මට මේවා ගැන කිසිම හැඟීමක් නෑනේ.

නෑ දරුවෝ. ඔබේ දෛවය තුළයි එය ලියවී ඇත්තේ. ඒ නිසයි ඔබේ සිහින අතරට ඇය පැමිණියේ.

මේ සමඟම පුදුමයෙන් පුදුමයට පත්වු නයෝමිට කිසිවත් සිතා ගැනීමට නොහැකිව ගියා.

මම කළින් කිව්වා රැජින “ස්ලෑන්ගාර්ඩ්” නම් වු තම ප්‍රධාන ආරක්ෂයාව සදාකාළයටම හිරකරන්න අණ කළා කියලා. ඒත් ඔහුව එහෙම හිර කරලා තියන්න පුළුවන් වුණේ ටික කාලයකටයි. ඔහු එක වරම අතුරුදහන් වුනා ඔහුගේ සිර කුටියෙන්. බොහෝ විට ඔහුත් සමඟ කැරැල්ලට එක්ව සිටි මාළිගාවේ සේවකයෙක්ගේ සහයෙන් වෙන්න පුළුවන්. ජන ප්‍රවාද වල තියෙන්නේ ඔහු තවදුරටත් අඳුරු මායාවන්හි පිහිට පැතු බව. අඳුරු මායාවන් තුළින් ඔහු තව දුරටත් සිය බලය වර්ධනය කරගත්තා කියලා තමයි පැවසෙන්නේ. මේ අඳුරු බලයන්ගේ පිහිටෙන් ඔහුට සිය ශරීරය පියාඹීමට හැකි හැකි පියාපත් යුගලක් සහිත සර්පයෙක් විදිහට වෙනස් කරගන්න පුළුවන් වගේම ඒ ස්වරූපයෙන් ඉතාමත් විෂ සහිත දූමයක් පිඹිමට ඔහුට හැකියාව තියෙනවා. රැජිනගේ නව දැක්මට ඇයගේ ආරක්ෂකයින් “සයිරන්” ජීවී කොට්ඨාශය එතරම් කැමත්තක් දැක්වූයේ නෑ. ඒ නිසා ඔවුන් අතර බෙදීමක් ඇති වුනා. ඔවුන්ගෙන් කොටසක් තවදුරටත් රැජිනට පක්ෂපතිත්වය දැක් වුවත් කොටසක් ඇයට කැමත්තක් දැක්වූයේ නෑ.

මට හිතාගන්න පුළුවන් මොකද වුනේ කියලා.

ඔබ හරි ලෝගන්. වසර සියගණනකට පසු නැවත වරක් ස්ලෑන්ගාර්ඩ් පැමිණියා. ඒ ඔහුගේ අඳුරු මායාවලින් අතිශයින්ම ශක්තිමත්වී. ඔහු රැජිනට අකමැත්තක් දැක්වු සයිරන්වරුන්ගේ සහයෝගය සහිතව ඇයගේ බල යෂ්ටිය සොරාගත්තා. සිය බලය බිදී ගිය රැජිනව ඔවුන් අල්ලා සිරගත කළා. ඇගේ ඉතිරිව ඇති බලයද බිදෙන් බිද උරාගන්නවා ස්ලෑන්ගාර්ඩ්ගේ අඳුරු මායාවන් තුලින්. ඇය සතු අන්තිම බල බිඳද උරාගත් පසුව ඔවුන් නිසැකයෙන්ම
ඇයව මරා දමනවා.

මම හිතන්නේ නෑ සමාන්‍ය ආයුධයකින් ඔහුව විනාශ කරදමන්න පුළුවන් කියලා. මට තේරෙන විදිහට ඔහු අඳුරු මායාවලින් ආරක්ෂිතයි. එම නිසා අපේ සාමාන්‍ය ආයුධ වලින් ඔහුට හානියක් කරන්න බෑ.

නැවත වරක් ඔබ හරි ලෝගන්. ඔහුව සාමාන්‍ය ආයුධයකින් විනාශ කරන්න බෑ. ඒ සඳහා විශේෂිත ආයුධයක් පාවිච්චි කරන්න ඕන. බොහොම කාලයකට පෙර ඕඩින්ගේ කම්මල්කරුවා වු එයිත්‍රි හා සියුස්ගේ කම්මල්කරුවා වන හෙපෙස්ටස් කියන දෙදෙනාව එකතු වෙලා අසිපතක් නිර්මාණය කරනවා කිසිවෙක් නොදන්නා නමක් නොමැති ලෝහයකින්. එය මේ විශ්වයේ ඈත කෙළවරකින් ලැබුණු ලෝහ කොටසක්. ඒ බොහොම ශක්තිමත් වගේම බලවත් ලෝහයක්. එම අසිපතේ මිට නිර්මාණක කිරීමට ඔවුන් කඟවේනෙක්ගේ අඟක් යොදාගන්නවා. අසිපතේ මිටේ කෙළවරට හා මිටට මදක් ඉහළින්
වු කොටසට සියස්ගෙන් ලැබුණු දම් පැහැති මැණික් කැට දෙකක් සවිකරනවා. ප්‍රවාද වල කියවෙන විදිහට මේ මැණික් කැට දෙක සියුස් හා සටන් වැදිලා මියගිය ටයිටන්වරයෙක්ගේ ඇස් දෙක.

මේ ඔක්කොම එකතු කරලා නිර්මාණය කරපු මේ බොහොම බලගතු අසිපතට ඔවුන් නමක් දෙනවා “ඉම්ෆීරියුම්” යනුවෙන්. මේ අසිපත අත දරන්නෙකුට විනාශ කළ නොහැකි අඳුරේ බලවේගයක් නෑ. සමහරු කියනවා එයින් ඕනෑම එළියේ හා අඳුරේ බලවේගයක් විනාශ කරන්න පුළුවන් කියලා. ඒත් ඒක සත්‍යයක් නෙවෙයි. මේ අසිපත කිසිදු එළියේ බලවේගයකට විරුද්ධව යොදාගත නොහැකියි. ඒ වගේම කිසිදු අඳුරේ බලවේගයකට එය අත දැරීමේ හැකියාවක් නෑ. ඒ වගේම සමාන්‍ය මිනිසෙක්ට එය අත දැරීමේ හැකියාවක් නෑ. එය අත දැරීමට හැකියාවක් ඇත්තේ විශේෂ තොරාගත් අයෙකුට.

දැන් කො‍හොද ඔය අසිපත තියෙන්නේ?

     ඔය අසිපත තිබ්බේ අවසානයට තිබ්බේ සෙලීනා රැජින ගාව. ඒක      තෑග්ගක් විදිහට ඇයගේ පියාට ලැබිලා තිබ්බා බො‍හොම කාලයකට      පෙර. දැන් ඒක කොහෙද කියන්න කවුරුවත් දන්නේ නෑ මගේ රෝස      මල.

     ඒ කියන්නේ දැන් ඔය අසිපත කොහේ තියෙනවාද කියන්න කවුරුවත්      දන්නේ නෑ. දැනගත්තත් වැඩක් නෑ. අපිට ඒක පාවිච්චි කරන්න      හැකියාවක් නෑ.

     අන්න එතන නම් ඔබ වැරදියි නිකොලස්. ඔබ හිතනවද මේ තරම් දුරක      ඉඳලා ඔබලාව මෙහාට එන විදිහට වැඩ කටයුතු යෙදුණේ අහම්බයකින්      කියලා? නෑ එහෙම නෑ. එය ඔබට ඉදිරියට දැනගත හැකිවේවි. අසිපත      නියමිත වෙලාවට එය අත දරන්නා වෙතට පැමිණේවි. එය වැළැක්විය      හැකි කිසිම බලවේගයක් මේ ලෝකයේ නෑ.

මේ සාකච්ඡාවට බොහෝ වේලාවක් ගතවී රාත්‍රියද එළඹ තිබූ බැවින් ඔවුන් මේ කතාව එතැනින් අවසාන කොට විවේකයක් ගැනීමට තීරණය කළේ පසු දින උදෑසනම ඔවුන්ට අලෝකයේ මං පෙත කරා පිටත්වීමට තිබු බැවිනි.

පසු දින උදෑසනින්ම ලෝගන්, නිකොලස් හා නයෝමි ආලෝකයේ මං පෙතට වු සිය තීරණාත්මක ගමන පිටත්වුයේ නයෝමිගේ මිත්තණියගේ ආශිර්වාදයත් සමඟයි. නයෝමිගේ මව හෝ පියා මේ ගමනට කිසිදු කැමත්තක් දැක්වුවේ නැතත් ඔවුන්ට සිය මවගේ කැමත්තට හිස නමන්නට සිදුවුනා. ආලෝකයේ මං පෙත පිහිටා තිබුණේ “පැරඩිස්” ගම්මානයේ සිට පැය කිහිපයක දුරින්.

පැය දෙක හමාරකට පමණ පසුව ලෝගන් ඇතුළු පිරිස ආලෝකයේ මං පෙතට ඇතුළු වන තැනට පැමිණියා. එය ආරම්භ වුයේ කඳු වැටි දෙකක් මැද්දෙන් දිවෙන කුඩා මාර්ගයකින්.

ලෝගන්, මෙතනින් තමයි ආලෝකයේ මං පෙතට ඇතුල්වෙන්නේ. මෙතනින් එහාට මොනවා තියෙනවාද කියන්න මම දන්නේ නෑ. ඔබ තාමත් පරක්කු නෑ. ඔබට කැමති නෑ ආපසු යන්න පුළුවන්.

එතකොට ඔබ?

මට ආපහු යන්න බෑ නිකොලස්. මට දැනෙනවා මේක මම යා යුතුම ගමනක් කියා. ඒක නිසා මට ආපසු හැරෙන්න හැකියාවක් නෑ. මම මේ ගමන යා යුතුමයි.

මටත් එහෙම තමයි නයෝමි. මම දැනෙන්නෙත් ඒ විදිහටමයි. සමහරවිට මම ආපසු නොඑන්නත් පුළුවන්. නිකොලස්, ඔබ මේ කිසිම දේකට සම්බන්ධ නෑ. ඔබට ආපසු යන්නට පුළුවන්.

මෙච්චර දුරක් ඇවිල්ලා ආපහු හැරිලා යන්න. ඒක නම් කීයටවත් වෙන්නේ නෑ. අනික දැන් තමයි අපි හොදම හරියට ඇවිල්ලා තියෙන්නේ.

නිකොලස් හා ලෝගන් දෙස නැවත වරක් හැරී බැලූ නයෝමි සිය අසු ආලෝකයේ මං පෙත වෙතට මෙහෙයවුවා. කිසිවක් නොදෙඩු ලෝගන් හා නිකොලස් ඇය පිටුපසින් සිය ගමන් කරන ලෙස සිය අසුන් මෙහෙයවන්නනට වුනා. පැය දෙකක පමණ කාලයක් ඔවුන් එක දිගටම මේ කඳු වැටි දෙක අතරින් වැටී තිබෙන මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ගමන් කරන්නට වුනා. තවත් පැයකට පමණ පසු කඳු වැටි අතරින් වු මාර්ගය නිමා කරමින් කුඩා තණ බිමකට ඔවුන් එළඹියා. එය කෙළවර වුයේ මහා වනාන්තරයක් අද්දරින් වැටුණු කුඩා අඩි පාරක්.

කිසිවක් කතා බහකින් තොරවම තණ බිම පසු කළ ඔවුන් තිදෙනා වනාන්තරය හරහා වැටුණු කුඩා මං පෙත මැදින් ඉදිරියට ගමන් කරන්නට වුනා. එම මාර්ගය දිගේ විනාඩි පහළොවක් පමණ ඉදිරියට ගිය ඔවුන් එකවරම නැවතුනේ ඔවුන්ගේ ගමනට බාධා කරමින් මාර්ගය මැද සිටගෙන සිටි මිනිස් රුවක් දැකීමෙන්.

නයෝමිට පෙර සිය අසු පිටින් බැසගත් ලෝගන්, අනිත් අයට එලෙසම සිටින ලෙස සිය අතින් සංඥා කරමින් මාර්ගය මැද සිටින මිනිස් රුව වෙතට ගමන් කළේ ඕනෑම දෙයකට සුදානමින්. ලෝගන් මේ මිනිස් රුවට ඉදිරියට ගොස් රුවට අඩි දෙකක් පමණ දුරින් නැවතී දැඩි බැල්මක් ඒ අද්භූත රුව වෙතට හෙලුවා. ඊළඟ මොහොතේ බිමට නැඹුරු කරගෙන සිටි හිස එසවූ මේ රුව හිස ආවරණය කරගෙන සිටි දුහුල් පටලය මුදා හැර එක එල්ලේම ලෝගන්ගේ දෑස වෙත සිය දෑස යොමුකළා.

ලෝගන් ඉදිරියේ වුයේ රූමත් තරුණියක්. ඇගේ ශරීරය වැසී තිබුණේ විනිවද පෙනෙන තරමේ දුහුල් සළුවකින්. ඇගේ සුදු පැහැති සම අමුතු දිස්නයකින් බැබලුණා. ඇය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් වෙනස් වුයේ ඇගේ ශරීරය පිටුපසින් දක්නට ලැබු වලිගයකින්. ඇගේ කහ පැහැති කෙස් වැටිය දණ හිස් දක්වාම දික්වුනා. ඇය හිසේ මල් වලින් තැනූ ඔටුන්නක් පැළැද සිටියා. තවත් මොහොතක් ලෝගන් දෙස බලා සිටි ඇය සිය හඩ අවදි කළා.

එසේ නම් ගැළවුම්කරුවා පැමිණියා අවසානයේදී ආරක්ෂකයාත් සමඟින්ම !

     එවර ඇය සිය බැල්ම යොමු කළේ නයෝමි වෙතට. මෙයින් තිගැස්සී ගිය      නයෝමි අසුපිටින් බසිමින් ඔබ කවුදැයි විමසා සිටියා.

     මේ මා ගැන කීමට වෙලාව නෙවෙයි. එන්න මා පසුපස. අප සැම      අනාරක්ෂිතයි. අප මෙතනින් ඉක්මනින් පිටවිය යුතුයි.

     ඊළඟ මොහොතේ පටු මාවත හරහා නොව කැළය අතරින් ඇවිද යන්නට වු      ඇය පසු පසින් ලෝගන් ඇතුළු පිරිස ගමන් කරන්නට වුනා. සාමාන්‍ය      මිනිසෙකුට වඩා වැඩි වේගයකින් කැළය අතරින් ඇවිද ගිය ඇය ඔවුන්ව      වනාන්තරයේ අභ්‍යන්තරයට ගෙන ගියා. එයින් අනතුරුව නැවත වරක් සිය      ගමන් මාර්ගය වෙනස් කරමින් දකුණු දිසාවට ගමන් කරන්නට වුනා. මෙසේ      එක දිගට පැය කීපයක් ගමන් කළ ඔවුන් ගංඟාවක් අසල වූ ගල් තලාවක්      වෙතට ළඟා වුනා.

     මෙතන ආරක්ෂිතයි. අපිට අද මෙතන විවේක ගන්න පුළුවන්.

     ඔබ කවුද? කොහාටද අපිව එක්කගෙන ආවේ?

     නැවත වරක් නයෝමි ඇගෙන් විමසා සිටියා.

     උත්තමාවිය, මම එලීෂා. මා අප රැජිනියගේ යටහත් සේවිකාවක්. හරියටම කිවහොත් ඇයට පක්ෂපාතී, ඇය වෙනුවෙන් ජීවිතය දෙන්න පවා සුදානම් සේවිකාවක්. මම අයත් වන්නේ “හුල්ඩ්‍රා” යනුවෙන් හදුන්වන විශේෂිත වු සත්ත්ව කොට්ඨාශයට. අප සැම විටම ජීවයේ හා මරණයේ දේවතාවියගේ යටහත් සේවිකාවන්. මම ඔබලා වෙතට පැමිණියේ අප රැජිනගේ අණ පරිදි ඔබලා ඇයව සිරකර තබා සිටින තැනට ගෙන යාමටයි. එවිට ඔබලාට හැකිවේවි ඇයව මේ කරදරයෙන් මුදාගෙන අපේ බිමට නැවත වරක් සාමය ගෙන ඒමට.

ඇයි ඔබ මට උත්තමාවිය කියන්නේ? මම සාමාන්‍ය කෙනෙක්.

නෑ උත්තමාවිය. ඔබ තමයි අප රැජිනගේ අනාගත උපදේශකවරිය වගේම ප්‍රධාන ආරක්ෂිකාව වෙන්නෙත්. ඒ ගැන ඔබට ඉදිරියේදි දැනගන්නට ලැබෙයි. ඔබේ මිත්තණියගේ නම අප හැම අතරේ ප්‍රසිද්ධයි.

ඒකත් එහෙමද? මේ කොහෙද?

මේ මගේ නවාතැන. මම පමණයි මේ ගැන දන්නේ. ඒ නිසා ඔබ මෙතන ආරක්ෂිතයි උත්තමාවිය.

කරුණාකරලා මට උත්තමාවිය නොකියා නයෝමි කියා අමතන්න

මට එසේ කළ නොහැකියි.

ඔබ මා දෙන අණ පිළිගන්න බැදී සිටිනවා නේද?

එසේමයි.

එහෙමනම් මා අමතනකොට නයෝමි කියා අමතන්න. එය අණක්.

හොදමයි. ඔබලා මෙතන විවේක ගන්න. මම ඉක්මනින්ම ආපසු එන්නම්. ඔබලා කැමති නම් ගිනි මැළයක් දල්වා ගන්න. කිසිවෙකුට ඔබලාව සොයගත නොහැකියි.

කවුද අපව සොයන්නේ?

ඔබලාගේ පැමිණීම ගැන දැනටමත් ස්ලෑන්ගාර්ඩ් හට ඉව වැටී තිබෙනවා. අප අතරම ඔත්තුකරුවෙකු සිටින බව පෙනී යනවා. ඒ නිසාමයි මම තනියම ආවේ පෙර මඟට. ඔබලා ගැන දන්නේ මා පමණයි.

මේසේ පැවසු අඳුරු වනය අතරින් නොපෙණී ගියා. ඇය නොපෙනී ගිය පසු ගල් තලාව මත අසුන් ගත් නයෝමි,

නිකොලස් මොනවද දන්නේ මේ “හුල්ඩ්‍රා” කියන ජීවින් ගැන?

“හුල්ඩ්‍රා” ගැන කතා කරන්නේ නොරිස්, ස්විඩන් ජන හා මිත්‍යා කතා වල. මේ විශේෂයේ ඉන්නේ කාන්තාවන් හා පිරිමින් යන දෙගොල්ලම දකින්න පුළුවන්. වැඩිපුරම කියවෙන්නේ කාන්තාවන් ගැන. වලිගෙන් ඇරෙන්න අනිත් හැම දෙයකින්ම මිනිසුන්ට සමානයි. සමහර තැන්වල තියෙනවා ඔවුන්හට පිරිමින්ව මුළා කිරීමේ හැකියාව තියෙනවා කියලා. සමහර තැන්වල ඔවුන් වනයේ ආත්මයන් ලෙසත් දක්වලා තියෙනවා. තමන්ට ලැබෙන ගෞරවය, සැළකිල්ල ඔවුන් බොහොම වැදගත් කොට සලකනවා කියලා තමයි පොත් වල තියෙන්නේ.

නයෝමි, නිකොලස්, අපි එලීෂා ගැන වැඩි විස්තර දන්නේ නැති නිසා හැම විටම කල්පනාවෙන් ඉන්න එක හොදයි. අපි දන්නේ නෑ ඇය ඇත්තටම රැජිනටද එහෙම නැත්නම් ස්ලෑන්ගාර්ඩ්ටද වැඩ කරන්නේ කියලා.

ඒක හරි ලෝගන්. අපි කිසිම අවිශ්වාසයක් පෙන්වන්න හොද නෑ. එහෙම නේද උත්තමාවිය?

නිකොලස්, ඒ පාර ඔබත් පටන්ගත්තද මට උත්තමාවිය කියන්න?

එයට කිසිවක් නොකියා සිනාසුණු නිකොලස් මෙන්ම ලෝගන්ද ගල් තලාවේ අසුන්ගත්තා.

පැයකට පමණ පසු වනය අතරින් ඇදී එන අඳුරු රුවක් ඔවුන්ගේ නෙත ගැටුණා. අසිපත අතට අතට අරගත් ලෝගන් නැගී සිටියා. අඳුරු අතරින් ඇදී එන්නේ එලීසාගේ පමණක්ම බව තහවුරු කරගත් ඔහු නැවත වරක් ගල් තලාව මත අසුන් ගත්තා.

විනාඩි කීපයකට පසු ඔවුන් පෙතට පැමිණි ඇය ලෝගන් ඉදිරියේ දණ ගසාගෙන් ඔහුට යමක් පිළිගන්වා සිටියා. ඇගේ අතේ වුයේ අඩි තුන හතරක් පමණ දිගකින් හා අඟල් පහක පමණ පළලින් වුත් ලී පෙට්ටියක්.

මේ මොකක්ද? වහා නැගී සිටිමින් ලෝගන් ඇයගෙන් විමසා සිටියා.

කිසිවක් නොපැවසූ ඇය එලෙසින්ම නිසොල්මන්ව සිටියා.

නැගී සිටින්න. ඔබට මා ඉදිරියේ දණ ගසා සිටිමට කිසිදු අවශ්‍යතාවයක් නෑ.

ලෝගන් තමාට පිළිගැන්වු ලී පෙට්ටිය එක් අතකට ගනිමින් අනිත් අතින් ඇයව නැගී සිටවමින් පවසා සිටියා.

මා දන්නේ නෑ. මට මෙය අපේ රැජිනිය ඔබ වෙතට ලබාදෙන ලෙස පවසමින් මට ලබාදුන්නේ. එය අපේ ඉදිරි වැඩ කටයුතු වලට අත්‍යාවශ්‍ය දෙයක් වන බව පමණක් මා හට පවසා සිටියා.

හරි. දැන් ඔබ මෙතනින් වාඩිවෙලා විවේක ගන්න. අපි ගෙනාපු කෑම තියෙනවා. ඔබට කුසගිනිත් ඇති. හැබැයි අපි දන්නේ ඔබ අපේ ආහාර අනුභව කරනවද කියලා.

ස්තූතියි උතුමාණෙනි.

නයෝමි කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ. මම ලෝගන්. මේ නිකොලස්. අර නයෝමි. ඔබට අපිව ඒ විදිහට අමතන්න පුළුවන්. මෙතන උතුමාණන්ලා හෝ උත්තමාවියන් නෑ. එපමණයි.

එයට ඇගේ දිලිසෙන දැස් බබළමින් සිනාසුණු ඇය ලෝගන් අසුන්ගෙන සිටි තැන අසලින්ම අසුන්ගෙන ආහාර ගන්නට පටන් ගත්තා. නැවතන් තමා කළින් අසුන්ගෙන සිටි තැනින්ම අසුන්ගත් ලෝගන් තමා අතේ වු ලී පෙට්ටිය විවිර කළා. එය වෙතට දෑස් කළ හැමෝටම දක්නට ලැබුණේ රෙදි කඩකින් ඔතා තිබු දිගු අසිපතක්. එය ඔතා තිබු රෙදි කඩ ඉවත් කළ ලෝගන් ඇතුළු පිරිසට දැකගන්නට ලැබුණේ පෙර දිනයේදි නයෝමිගේ මිත්තණිය විස්තර කළ “ඉන්ෆීරියුම්” අසිපතයි.

නැවත වරක් නැගී සිටි ලෝගන් අසිපත එය දමා තිබු පෙට්ටියෙන් එළියට ගත්තා. අසිපත දවටා තිබ රෙදි කඩ ඉවත් කළ ඔහු අසිපත එය බහා තිබූ හමින් නිමකළ කොපුවෙන් මුදවා ගත්තා. අසිපත නිසි පරිදි සිය දෑතින්ම අල්ලා ගත් ඔහු එයින් ගුවනට පහරවල් කීපයක් එල්ල කළා. ඔහු එය දකුණු අතින් වම් අතටද වම් අතින් දකුණු අතටද මාරු කරමින් සිය ශරීරය වටා කර කවන විට එහි මිටේ ආසන්නයේ ඔබ්බවා තිබූ මැණික් කැට යුගලය දම් පාටින් දිලිසෙන්නට පටන් ගත්තා. අනතුරුව අසිපත නැවතත් එහි කොපුවට දැමු ලෝගන් එය රෙදි කඩෙන් ඔතා ගල් තලාව මත තැබුවා.

මතකද නයෝමිගේ මිත්තණිය කියපු දේ?

ඒ මොකක්ද?

එසේ නිකොලස්ගෙන් විමසා සිටියේ මෙතෙක් වෙලා එක තප්පරයකටවත් ලෝගන් වෙතින් සිට දෑස් ඉවතට නොගත් එළීෂා.

මගේ ආච්චි කිවුවේ මේ අසිපත නිසි වෙලාවට එය අත දරන්නා වෙතට පැමිණේවි කියලා. මට පේන්නේ ඒක ඒ විදිහටම වෙලා කියලා. ලෝගන්, ඔබට මොනවද දැනුනේ අසිපත අතේ තියෙන විට?

අසිපත මගේම කොටසක් කියලා තමයි දැනුණේ. එය මටම කියලා හදපු එකක් වගේ. අසිපත හරියටම සමබර කරලා තියෙනවා. වේගයෙන් හා පහසුවෙන් හසුරවන්න පුළුවන්.

එහෙම වෙන්න ඕනනේ. දෙවිවරු දෙදෙනෙක්ගේ කම්මල්කරුවන් එකතු වෙලා නිර්මාණය කරපු අසිපතක්නේ මේක.

ඒක හරි නිකොලස්. එළීෂා, අපේ ඉදිරි වැඩ කටයතු ගැන අදහසක් තියෙනවද ඔබට?

ලෝගන් නැවත වරක් ගල් තලාවේ අසුන් ගනිමින් එළීෂාගෙන් විමසා සිටියා.

ඔව්.

සිය ආහාර ගැනීම නිමාකර සිටි එළීෂා ලෝගන්ට තවත් ළං වෙමින් පවසා සිටියා. ඇගේ කොළ පැහැති ඇති දිදුලන්නට වුනේ කුමක් නිසාදැයි කාටවත් සිතාගන්නට කිසිවෙකුටත් නොහැකි වුනා.

හෙට රාත්‍රියේදී මගේ රැජිනව මරා දමන්නට නියමිතයි. ඇය සතු බලය සම්පූර්ණයෙන්ම වාගේ ස්ලෑන්ගාර්ඩ් විසින් අත් කරගෙන අවසානයි. හෙට රාත්‍රීය වන විට මේ කටයුත්ත සම්පූර්ණ වෙන බව තමයි දැනගන්නට තියෙන්නේ. රැජින ජීවත්ව ඉදීම ඉදිරියට ලොකු තර්ජනයක් විය හැකි නිසා එය අවසාන වු විගසම ඇයව මරා දමන්නට තමයි ස්ලෑන්ගාර්ඩ් අණ දී තිබෙන්නේ. අපිට හෙට දහවල් වන විට “ආත්මයන් නිදන විල” වෙත ළඟාවෙන්න පුළුවන්. ඒ විලේ මැද තියෙන දූපතේ තමයි රැජිනව හිරකරලා තියෙන්නේ. දූපතට යන්න අවශ්‍ය දේවල් අපි ලෑස්ති කරලා තියෙන්නේ. අපිට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මාළිගයේ ඉහළම අටල්ලේ රදවලා තියෙන බල යෂ්ටිය ලබාගන්න එක. එතන ආරක්ෂාවට සයිරන්ලා සිටිනවා. මාළිගයේ ඉහළ අටල්ලට යන්න රහස් පාරක් තියෙනවා. අපි කීප දෙනෙක් පමණක් දන්න. බල යෂ්ටිය රැගෙන අපි රැජිනව බේරගන්න සිර මැදිරියට යන්න ඕන. අපිට සහය දෙන්න පිරිසක් මාළිගය තුළ සිටිනවා. මේක තමයි අපේ සැලැස්ම. මොකද ලෝගන් ඒ ගැන කියන්නේ?

සැලැස්ම නම් හොදයි. ඒත් ගතවෙන කාලය වැඩියි. මම හිතන්නේ අපි දෙකට බෙදිලා ගිහිල්ලා එක තැනකදී එකතු වුනොත් හොදයි. නැත්නම් මේ සැලැස්ම සාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. කොතනද ආරක්ෂාව වැඩි?

ඉහළ අටල්ල තුළ ආරක්ෂාව වැඩියි. එතන ආරක්ෂාවට සයිරන්ලා දස දෙනෙක් පමණ යොදවා තිබෙනවා. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. සිරකුටිවල නම් එතරම් ආරක්ෂාවක් නෑ. මොකද රැජින බලයෙන් පිරිහිලා තියෙන නිසා ඔවුන් ඒ ගැන වැඩි අවදානයක් යොමු කරලා නෑ.

තව ඔබට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද එළීෂා? විශේෂයෙන් සිර කුටියට යන පාර දන්න කෙනෙක්?

ඔව්. මගේ සහෝදරිය සිටිනවා.

හරි. අපි කාණ්ඩායම් දෙකකට බෙදෙමු. නිකොලොස්, ඔබ නයෝමි හා එළීෂාගේ සහෝදරිය සමඟ සිර කුටියට ගොස් රැජිනව මුදාගන්න. මම එළීෂත් සමඟ ඉහළ අටල්ලට යන්නම්.

එතන ඉන්න ආරක්ෂකයන් ප්‍රමාණය වැඩියි ලෝගන්. අපිට තව කට්ටිය අවශ්‍ය වේවි.

එළීෂා, ඔබ ඒ ගැන වද වෙන්න එපා. ලෝගන් ඒ ගැන බලා ගනීවි. අපි එකතු වෙන්න ඕන කොතනදිද?

හොදම තැන රාජකීය මණ්ඩපය. එතන තමයි රැජිනගේ පාලන මධ්‍යස්ථානය. එතනට එන්න රහස් මාර්ග තිබෙනවා අටල්ලේ සිට වගේම සිරකුටිවල සිටත්.

මේ වෙලාවට ස්ලෑන්ගාර්ඩ් කොතනද ඉන්නේ?

ඔහු අනිවර්යයෙන්ම එළියේ දඩුවම් දෙන තැන තමයි ඉන්නේ. ඔහුට අවශ්‍යයි හැමදෙනාටම රැජිනගේ අවසානය දැක ගැනීමට සලස්වන්න. එය ඔහුට එරෙහි වෙන ඕනෑම කෙනෙක්ට වෙන දේ කියලා දන්වන්නයි ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ.

ඔහුට තියෙන සහයෝගය කොහොමද? කවුද ඔහුට උදව් කරන්නේ?

සයිරන්වරුන්ගෙන් කුඩා කොටසක් තමයි ඔහුට සහයෝගය දක්වන්නේ. බොහෝ දෙනෙක් තම ජීවිතය බේරා ගැනීමට ඔහුට සහය දෙනවා. රැජින නැවත පැමිණියොත් ඔවුන් නැවත වරක් රැජිනට සහයෝගය දේවි.

එහෙම වුනොත් හොදයි. අපි හිතමු මේ දේ අපිට මේ කාර්යය සාර්ථකව කරගන්න ඉඩ ලැබේවි කියලා. එහෙම නැති වුනොත් හැමෝටම මැරෙන්න තමයි වෙන්නේ.

අපි සාර්ථක වේයි කියලා පතමු. ඒ අතරම නරකම දේටත් සූදානම් වෙමු.

අපි උදෑසනින්ම ගමන ආරම්භ කරමු. ඒ නිසා දැන් අපි නින්දට ගියොත් හොඳයි. මම පළමුවෙන්ම අවදිව සිටින්නම්.

අවදිව සිටින්නට අවශ්‍ය නෑ ලෝගන්. මම මේ අවට ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට කිසිම කරදරයක් වෙන්න ඉඩක් නෑ. බය නැතුව නින්දට යන්න. කවුරු හරි ආවොත් කල් ඇතුව මට දැනෙනවා.

ඔබ හරිම දක්ෂයෙක්නේ එළීෂා.

ස්තූතියි උත්තමාවිය.

නයෝමිගේ ප්‍රශංසාවෙන් මඳක් ලැජ්ජාවට පත් එළීෂා පැවසුවා.

මම දැන් සැරයක් කිවුවා නේද මට උත්තමාවිය කියන්න එපා කියලා. ඊළඟ පාර මම දෙනවා දඩුවමක්.

එය සිනහවෙන් පිළිගත් ඇය ගල් තලාව අසල බිම දිගාවී නින්දට යන්නට සූදානම් වුනා. අනිත් අයත් එලෙසම ගිනි මැළය වටා නින්දට පිවිසියා. අවට පරිසරයම ගැඹුරු නිහඩතාවයක ගිලී යන්නට ගතවුයේ විනාඩි කීපයක් පමණයි. ඒ නිහඩතාවය මදකින් හෝ බිදී ගියේ ගිනි මැළයේ වු දර පුපුරු බිදී යන ශබ්දයෙන් පමණයි.

පැය කිහිපයකට පසු නින්දෙන් පිබිදුණු එළීෂා අඳුර මැදින් සිය දිලිසෙන කොළ පැහැති දැස් විදහා බැලුවා. අනතුරුව තමන් නැගී සිටි තැනින් නැගිටගත් ඇය ලෝගන් අසලට පැමිණ ලෝගන් දෙස මොහොතක් බලා සිටියා. අනතුරුව ඒ අසලින්ම දිගාවූ ඇය ලෝගන්ට තුරුළු වී නින්දට පිවිසියා.
___________________________________________________________________________________

KB 2021.04.11

No comments: