අඳුරේ දඩයම්කරු 20 – එළීෂා (02 කොටස)

     මට ඒක කරන්න පුළුවන් ලෝගන්. මගේ රැජින වෙනුවෙන්, ඒ වගේම      ඔබ වෙනුවෙන්.

     අන්න එතකොට හැමදෙනාගෙම අවදානය ඔබ වෙතට යොමුවෙනවා.      විශේෂයෙන්ම ස්ලෑන්ගාර්ඩ්ගේ. අන්න ඒක තමයි මගේ අවස්ථාව.

     ඔබ මොකක්ද කරන්න හදන්නේ?

     ඔබට ඒක බලාගන්න පුළුවන්වේවි. ඔබට පුළුවන්ද බල යෂ්ටිය පාවිච්චි      කරන්න?

     බෑ. ඒක කරන්න තරම් මම ශක්තිමත් නෑ.

     කමක් නෑ. ඊළඟට ඔබට කරන්න තියෙන්නේ ‍බල යෂ්ටියත් රැගෙන      රැජින වෙත එන එක. මම හිතන්නේ ඔබට ඒකට ඔබේ හැකියාවන් යොදාගන්න වේවි. ඔබට පුළුවන්ද මේ ටික කරන්න.

පුළුවන් ලෝගන්. මගේ රැජිණිය වෙනුවෙන් මම මගේ ජීවිතය වුනත් දෙනවා.

ජීවිතය නම් අවශ්‍යවන්නේ නෑ එළීෂා. මේ ටික කළහම ඇති. එහෙම නම් මෙතන සැඟවී ඉන්න. මම යනවා එහා කෙළවරට.

ලෝගන්, වධක භූමියට ඉහළින් වු මාළිගාවේ පළමු මහළේ කොටස පෙන්වන්වමින් පවසා සිටියා.

හැමදේම හොදින් සිදුවේවි. මම යන්නම්.

ලෝගන් එළීෂාගෙන් වෙන්වීමට හදන විටම ලෝගන්ගේ දෙතොල් මත සිය දෙතොල් තැබූ එළීෂා ඔහුව ආදරයෙන් සිපගත්තා. ඒ කොළ පැහැති කාන්තිමත් ඇස්වලින් ඇය තුළ ඔහුට වූ ආදරය පිටාර ගලා යමින් තිබුණා.

පරිස්සම් වෙන්න ලෝගන්. මං ආදරෙයි ඔබට. ආපහු මා වෙතටම එන්න ලෝගන්.

එයට මඳ සිනහවක් නැගූ ලෝගන් කිසිදු ශබ්දයක් නොනගාම එම මහලේ විරුද්ධ කෙළවරට පිය නගන්නට පටන් ගත්තා. හෙමින් සීරුවේ එදෙසට ගිය ලෝගන්ට එහි රදවා සිටින ආරක්ෂක භටයින් දෙදෙනෙක් දක්නට ලැබුණා. කිසිදු ශබ්දයක් නොනගා තමන් ආසන්නයේම සිටින ආරක්ෂක භටයා වෙතට ළඟාවු වු ලෝගන් ඔහුගේ ගෙළ ඉදිරි පසින් සිට වමත දමා ආරක්ෂකයාගේ මුව වසා ගනිමින් අනිත් ආරක්ෂකයා වෙතට සිය කෙටි කබායේ ඇතුළු සාක්කුවකින් ඇදගත් කිණිස්සකින් දමා ගැසුවා. කිණිසි පහර වැදුණු ආරක්ෂකයා මොහොතකින් බිම ඇද වැටුණේ ශබ්ද නගමින් වුවත්, පහළින් වු ඝෝෂාවත් සමඟින් ඒ ශබ්දය කිසිවෙකුට නෑසී වියකී ගියා. ඊළඟ මොහොතේ දකුණතින් ගත් වක් පිහියෙන් ආරක්ෂකයාගේ ගෙළ සිදී ගියේ කිසිදු ශබ්දයක් නොනගායි. ඊළඟ මොහොතේ පහළින් වු ඝෝෂාව වියැකී ගියා.

තව අවධානය ඒ දෙසට යොමු කළ ලෝගන්ට දැකිය හැකි වුයේ, මොහොතකට පෙර එළීෂා පෙන්වු දොරටුව විවරවන බවයි. විවර වු දොරටුව තුළින් ඔහුට දැකගත හැකිවුයේ එළිය භට කණ්ඩායමක් පෙරටු කොටගෙන එන ස්ලෑන්ගාර්ඩ්. ඔහු පිටුපසින් රැජිනත්, ඔවුන් විසින් අල්ලාගෙන දෑත් පිටුපසට කොට ගැටගසා දමා සිටි නිකොලස් හා නයෝමිද දක්නට ලැබුණා. ඔවුන් පිටුපසින් වධකයාත්, එළීෂාගේ සොයුරිය වූ නීසාත් පැමිණියා. ඇගේ මුහුණේ දකින්නට ලැබුණේ ජයග්‍රාහී සිනහවක්.

ස්ලෑන්ගාර්ඩ් යනු අඩි හයක් පමණ උස්වූ එයටම සරිලන මහතකින් යුක්ත වු පුද්ගලයෙකි. ඉතාමත් රෞද්‍ර මුහුණකින් යුක්ත වු ඔහු රත්තරන් පැහැයෙන් යුතු වු කලිසමක් හා කබායක් පැළද සිටියා. එය ඔහුගේ සමේ අඳුරු පැහැයට මනාව ගැලපෙන්නක් වුනා. දිගු අසිපතක් ඉණේ වම් පස රදවාගෙන සිටි ඔහුගේ ඉණේ දකුණු පස කිරිච්චියක් රදවා තිබුණා. රත්තරන් පැහැයෙන්ම නිමවූ පාවහන් දෙකකින් ඔහුගේ දෙපා ආවරණ වුනා.

නීසාගේ දසුනින් එළීෂා මහත් වු කෝපයට පත්වුයේ එවැනි අත්දැකීමක් ඇය මින් පෙර කිසිම දිනෙක් විද නොතිබුණු නිසයි. තමන්ගේම සොයුරිය, තමන්ව හා තම මිතුරන්ව ස්ලෑන්ගාර්ඩ් හට පාවා දේවි යැයි ඇය කිසිවිටෙකත් සිතුවේ නෑ.

හිස ගසා දැමීමට සුදානම් කර තිබු වේදීකාවට නැගගත් ස්ලෑන්ගාර්ඩ් ඇතුළු පිරිස රැජනගේ හිස ගසා දැමීමට සූදානම් වුනා. ස්ලෑන්ගාර්ඩ්ගේ කටුක ගොරහැඩි හඩ භූමිය පුරා විහිදී ගියා.

සෙලීනාගේ කටුක කෲර පාලනය මම, ඔබේ නව රජු වන මම අදින් අවසන් කරනවා. ඔබලාව මෙතෙක් කල් බලහත්කාරයෙන් පාලනය කළා වු මේ දුෂ්ඨ රැජිනිය අද
සදහටම නිහඩවෙනවා.

තවත් මොහොතකින් මෙම අදහස්වලට විරුද්ධව රැස්ව සිටි පිරිස අතරින් යම්
හඩක් නැගී එන්නට පටන්ගත්තත් ඊළඟ මොහොතේ ඇසුණු කටුක වදනින් ඒ හඩවල් නැවත වරක් යටපත් වී ගියා.

තොපගේ ඔය නොහික්මුණු කටවල් වසා දමනු. කවර හේතුවකටවත් මාගේ කතා කිරීමට මගේ පාලනය යටතේ තොපට කිසිම ඉඩක් නෑ. එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් අන්න අතනින් ඔහුගේ විරුද්ධත්වය ඉවර වෙනවා.

ස්ලෑන්ගාර්ඩ් වේදිකාව මත තබා තිබු දම් ගෙඩිය වෙතට තම දකුණු අත දික්කරමින් පැවසුවා.

මේ ඉන්න පිටින් ආ ද්‍රෝහියෝ දෙන්නා උත්සාහ කළා රැජිනව බේරගන්න.

වේදිකාව මත අත් පසුපසට තබා බැද දණ ගස්වා තිබු නයෝමි හා නිකොලස්ව දක්වමින් ස්ලෑන්ගාර්ඩ් පැවසුවා.

ඒත් මගේ හිතේෂිවන්තිය මට ඒක කළින්ම දැනුම් දුන්නා.

ඔහු නීසාව දක්වමින් කියා තිබුණා.

ඒ නිසා ඒ කූට කුමණ්ත්‍රණය පරද්දලා මේ ද්‍රෝහීන් දෙන්නව පණ පිටින් අල්ලගන්න මට අවස්ථාව ලැබුණා. මුං දෙන්නා එක්ක ආපු අනිත් එවුන් මෙච්චර වාසනාවන්ත වුනේ නැ. උන් දැනටමත් පරලොව ගිහිල්ලා ඉවරයි මගේ සයිරන්වරුන් අතින්. රැජිනව බේරගන්න උත්සාහ කරපු මේ පණ පිටින් ඉන්න ද්‍රෝහීන්ටත් තව මොහොතකින් අත්වෙන්නේ රැජිනගේම ඉරණමයි.

මොහොතක් නිශ්ශබ්දව සිටි ඔහු සිය හිසෙන් ගහලයාට යම් ඉඟියක් කළා. මෙතෙක් වේලා එය බලාපොරොත්තුවෙන් සිටි ගහලයා ඉදිරියට පියවරක් තබා රැජිනගේ දකුණු උරහිසෙන් අල්ලා තමන් වෙතට ඇදගත්තා. දින ගාණක් සිරගතව වද වේදනා විදිමින් හරි හමන් ආහාරයක් නැතුව අප්‍රාණිකව සිටි ඇය පරඩැලක් මෙන් ගහලයා වෙතට ඇදී ආවා. අනතුරව ඇයගේ ගෙලෙන් අල්ලා ගත් ඔහු ඇයගේ ගෙල දම් ගෙඩිය මත තබා එයට තද වෙනසේ ගැට ගසා දැමුවා. අනතුරුව දම් ගෙඩියේ දකුණ පසට වු ඔහු හිස් ගසා දැමීමට විශාල ප්‍රමාණයේ වධක කඩුව තම හිසට ඉහලින් ඔසවා ස්ලෑන්ගාර්ඩ්ගේ අණ බලාපොරොත්තුවෙන් ඒ දෙස බැලුවා.

අවසාන වචනයක් කියන්න තියෙනවාද රැජිණියනි?

සමච්චල් සහගත සිනහවක් සිය මුවට නගාගත් ස්ලෑන්ගාර්ඩ් සඳ රැජිනියගෙන් විමසා සිටියා.

අඳුරු මායාවන්ට යටවෙලා උඹ මේ කියන්නේ බොරු බව මගේ වැසියෝ දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා මම තවදුරටත් ඒ අතීතයේ හිටපු දුෂ්ඨ රාජිනිය නොවන බව. ඒ ඇති මට සැනසිල්ලේ මැරෙන්න.

සැනසිල්ල කෙසේ වෙතත් නුඹට මරණය අත්වෙන බව නම් නිසැකයි.

මොහොතකින් ස්ලෑන්ගාර්ඩ් තම සුරත ඉහළට එසවුයේ ගහලයාට අවශ්‍ය සංඥාව ලබා දීමටයි. ඒ අත පහත වැටීමට මොහොතකට පෙර ඔවුන්ට එක එල්ලේම ඉදිරි පිටින් වු මාළිගයේ පළමු මහළින් මතු වු ආලෝකයක් බිම් මහළ සිසාරා ගමන් කළා. ඒ එක්කම එකම එක වදනක් බිම් මහලේ සිටි පිරිසගේ කණ වැකුණා.

“නවතිනු”

ආලෝකය මැදින් අපහසුවෙන් ඒ දෙස බැලූ පිරිසට දැකගත හැකිවුයේ එහි කෙටි බිත්තිය මතට නැග රැජිනගේ බල යෂ්ටිය සිය හිසට ඉහළින් අල්ලාගෙන සිටින එළීෂායි. බල යෂ්ටියෙන් නිකුත් වු ආලෝකය ඉහළ මහලේ අඳුර බිදගෙන අවට පරිසරය සිසාරා පැතිර ගියා.

ඒ සමඟින්ම ස්ලෑන්ගාර්ඩ්ගේ හා නීසාගේ මුහුණු වල බලාපොරොත්තු කඩවීමක සේයාවන් ඇදී ගියා.

“එය විය නොහැකියි”

ස්ලෑන්ගාර්ඩ් එය පවසා නිමවනවාත් සමඟ වේදිකාව සෙළවී ගියේ වෙඩි ශබ්දයකුත් සමඟයි. ක්ෂණයකින් ආපසු හැරී වේදිකාව දෙස බලන විට එය මැද සිටිගෙන සිටින ලෝගන්ගේ රුව ඔහුට දක්නට ලැබුණා. කිසිවක් සිතන්නටත් පෙර තමන්ට එල්ල වු දැවැන්ත පා පහරේ වේගයෙන් වේදිකාවෙන් ඉවතට විසිවී ගිය ස්ලෑන්ගාර්ඩ් පහළ වු වැලි පොළොව සිපගත්තා. ලෝගන්ගේ වෙඩි පහරට ගොදුරු වු ගහලයා ඒ වන විටත් අවසන් ගමන් ගොස් සිටියා. ඊළඟ නිමේෂයේදී තම ඉණෙන් පිටු පසින් ගත් පිහියෙන් නිකොලස්ගේ බැදුම් කපා හල ලෝගන් පිහිය හා එක් පිස්තෝලයක් ඔහු අතට දුන්නේ අනිත් අය නිදහස් කරන්න යැයි පවසමින්.

ඊළඟ මොහොතේ “ඉන්ෆීරියුම්” අසිපත අතට ගත් ඔහුගෙන් පහර කා අවසන් ගමන් ගියේ වේදිකාව මත ආරක්ෂාවට සිටි සයිරන්වරුන් දෙදෙනයි. ඒ සමඟින් මාළිගයේ මාළයේ සිටි එළීෂාගේ කටහඩ බිම් මහල පුරාම රැවු පිළි රැව් දී ගියා.

“සටන් කරන්න, අපගේ රැජින වෙනුවෙන් සටන් කරන්න. සෙබළුනි, ඔබලාගේ රැජින වෙනුවෙන් සටන් කරන්න. අපව පාගා දමන නායකයෙක් අපිට එපා”

මේ වදන් පෙළත් සමඟ බිම් මහලෙහි වු වැසියන් අතර මහත් වු උද්යෝගයක් පැතිර ගියා. බොහොමක් සෙබළු තම හිස වසා තිබු හිස් ආවරණය ඉවත්කොට සාමාන්‍ය ජනතාව සමඟ එකතු වුයේ ස්ලෑන්ගාර්ඩ්ට පක්ෂපාත සෙබළුන්ට එරෙහිවයි. නිකොලස්, පළමුවෙන්ම නයෝමිගේ බැමි කපා ඇයව නිදහස් කර දැමුවා. සිය උරහිස හරහා දමාගෙන තිබු කටානා අසිපත එයින් මුදවා ගත් ලෝගන් එය හා ඉතිරි පිස්තෝලයත්, “කාර්ටිරිජ්” දමා තිබූ කුඩා බෑගයත්ද සමඟින් නයෝමි අත තබා වේදිකාවෙන් බිමට පැන්නේ ස්ලෑන්ගාර්ඩ්ට මුහුණ දීමට. ඒ වන විටත් නැගී සිටි ස්ලෑන්ගාර්ඩ් තම සෙබළුන් මෙහෙයවන්නට පටන්ගෙන තිබුණා.

මේ වන විට එළීෂා ඉහළ මාළයේ සිට පහළට දිව එමින් සිටියේ තම අත රැදි බල යෂ්ටිය රැජිනට ලබාදීමේ අරමුණින්. රැජිනව දම් ගෙඩියට බැද දමා තිබී වරපට කපා දැමූ නිකොලස්, ඇයගේ දෑත් බැදි ලණු පොටද කපා දමා ඇයව තම සිරුරට වාරු කරගත්තේ ඇය නැගී සිටිමටවත් නොහැකි තරමට දුර්වලව සිටි නිසයි. පිස්තෝලෙන් හා කටාන අසිපතෙන් සන්නද්ධව සිටි නයෝමි නිකොලස්ට ඉදිරියෙන් සිටගත්තේ රැජිනගේ ආරක්ෂාව තහවුරු කිරීමටයි. ඒ වන විටත් වේදිකාවට පිවීසීමට තැත් කළ ස්ලෑන්ගාර්ඩ් හට පක්ෂ පාතී වු ආරක්ෂකයන් කීප දෙනෙකුටම ඇය වෙඩි තබා බිම හෙළා තිබුණා.

වේදිකාවෙන් බිමට පැනගත් ලෝගන් කෙළින්ම දිව ගියේ ස්ලෑන්ගාර්ඩ් හට මුහුණ දීමටයි. ස්ලෑන්ගාර්ඩ් ජීවත්ව සිටිනතාක් කල් මේ ප්‍රශ්නය අවසාන නොවන බව ලෝගන් මනාව වටහාගෙන් සිටියා. ඒ අතර තුර ඔහුට බාධා කළ ආරක්ෂකයින් තමන්ට සිදුවූයේ කුමක් දැයි කියන්නට ජීවත් වුයේ නම් නෑ. තමන් වෙත වේගයෙන් පැමිණෙන ලෝගන්ව දුටු ස්ලෑන්ගාර්ඩ්,

උඹද රැජිනගේ ගැලුවුම්කාරයා? අද තමයි උඹ ස්ලෑන්ගාර්ඩ්ගේ අසිපතේ රහ බලන්නේ, යැයි පවසමින් සිය අසිපතෙන් ලෝගන් වෙත මරු පහරක් එල්ල කළා. කිසිදු උපද්‍රවයකින් තොරව පහසුවෙන් එම පහර හිස නමා වලක්වාගත් ලෝගන් තම අසිපතින් පහරක් එල්ල කරමින් ඔහු හා සටනට වැදුණා. කිහිපවිටක්ම එකිනෙකා හා පොර වැටී සටන් කළ ඔවුන් දෙදෙනාම තේරුම් ගත්තේ තමන් සටන් වදින්නේ එසේ මෙසේ ප්‍රතිමල්ලවයන් සමඟ නොවන බවයි.

ඉහළ මහලෙන් පහළට බට එළීෂා, එහි පොදි කමින් සිටි පිරිස අතරින් දිව ආවේ තම රැජිනිය වෙතටයි. ස්ලෑන්ගාර්ඩ් හට පක්ෂපාත භටයෙක් ඇයට පහර දීමට තැත් කළත් රැජිනට පක්ෂපාත සෙබළුන් දෙදෙනෙක් එය වළක්වා එළීෂාට ආරක්ෂිතව රැජින රැදී සිටි වේදිකාවට යෑමට මඟ තනා දුන්නා.

වේදිකාවට නැගීමට තනා තිබූ පිය ගැට පෙළ ආරම්භයේදිම නීසා පිහියක් රැගෙන ඇගේ ඇඟට කඩා පැන්නා. බල යෂ්ටිය පසෙකට විසිවී ගියා. බිම වැටී සිටි එළීෂගේ සිරුරු මතට නැග ගත් ඇයගේ බෙල්ලෙන්ම අල්ලා ගත් නීසා, තම අතවු පිහිය එළීෂාගේ පපුවට කිදා බැස්ස වීමට මහත් වෙහෙසක් ගත්තා.

උඹ නිසා මට හැමදෙයක්ම නැති වුනා. මම උඹට ජීවත්වෙන්න ඉඩ තියන්නේ නෑ.

මම රැජිනගේ සේවිකාවක්. මම ඇයට සේවය කිරීමට කැපවී සිටිනවා. ඔබත් එහෙමයි.

නීසාගේ අත තදින් අල්ලාගත් එළීෂා අපහසුවෙන් පවසා සිටියා.

රැජිනට සේවය කරලා මට ලැබුණු දෙයක් නෑ. ලැබෙන්න තිබ්බ දේවලුත් නුඹ නැති කරලා දැම්මා.

ඊළඟ මොහොතේ මහත් වැර යොදා නීසාව පසෙකට තල්ලු කරදමමින් එළීෂා නැගී සිටියත් නීසා ඊළඟ මොහොතේ එල්ල කළ පිහි පහර මඟ හරවන්නට ඇයට හැකියාවක් ලැබුණේ නෑ. එය ඇගේ උදරයේ දකුණු ඇළපත කපාගෙන ඇතුළට බැස්සා. එළීෂාට තවත් පහරක් එල්ල කරන්නට නීසා ඉදිරියට පැන්නත් එළීෂාගේ උදව්වට පිය ගැට පෙළේ පහළට පැමිණ සිටි නයෝමි එල්ල කළ පා පහරින් පසෙකට විසිවී ගියා. ක්ෂණයකින් තමා අතවු ලෝගන්ගේ පිස්තෝලය නීසාගේ පපු පෙදෙසට එල්ල කර නයෝමි එහි කොකා ගැස්සුවා.

දකුණ අතින් තම ඇළපත අල්ලාගෙන සිටි එළිෂාගේ අතැඟිලි අතරින් රක්ත වර්ණ වු රුධිරය ගලා ගියා. ඊළඟ මොහොතේ නයෝමි ඇය වෙතට දිව ආවා.

නයෝමි, ඉක්මන් කරන්න, බල යෂ්ටිය රැජින වෙත ගෙන යන්න. ඇය බොහොම දුර්වලයි. එය නැතිව ඇය තව වැඩිවෙලාවක් ජීවත්වෙන එකක් නෑ.

පසෙක වැටී තිබුණු බල යෂ්ටිය තම අතට අරගත් නයෝමි වේගයෙන් පිය ගැට පෙළ ඔස්සේ වේදිකාව මතට දිව ගියා. රැජින ඉදිරියේ දණ ගසා ගත් ඇය තමන් අත තිබූ බල යෂ්ටිය දෑතින්ම තම හිසට ඉහළින් ඔසවා සිටියා. නිකොලස්ට වාරුවී ඉමහත් අපහසුවෙන් සිටි ඇයට එය තම අතට ගැනීමට දැඩි වෑයමක් යොදන්නට සිදුවුනා. බල යෂ්ටිය ඇයගේ අතට පත් මොහොතේම එහි ඉහළ කෙළවරට යොදා තිබූ කහ පැහැති මාණික්‍ය දිදුලන්නට පටන්ගත්තේ එහි එළියෙන් සැමගේ ඇස් නිලංකාර කරවමින්. මොහොතකින් එම එළියෙන් රැජින පමණක් නොව වේදිකාවම වැසී ගියා.

තවත් මොහොතකින් එම එළිය පහවී ගියෙන් සැමගේ ඇස් යොමුවුනේ වේදිකාව දෙසටයි. වේදිකාවේ කෙළවර තම බල යෂ්ටිය දකුණතින් දරමින් ප්‍රතාපවත් ලෙස සෙලීනා රැජින, ජීවයේ හා මරණයේ දේවතාවිය රැදී සිටියා. ඇගේ මුහුණු හා ශරීරයේ වු තුවාල කැළල් හා ලේ ගලමින් පැවති තුවාල තවදුරටත් දැකිය හැකිවුවේ නෑ. ඇය නැවතත් තම සුපුරුදු ස්වරූපය හා බලය ලබාගෙන සිටියා. ඇයට වම් පසින් නිකොලස් හා දකුණු පසින් නයෝමිත් රැදී සිටියා. මේ දර්ශනය සියළුදෙනාම මොහොතකින් දණින් වැටුණේ සිය රැජිනට ඇති පක්ෂපාතීබාවය ප්‍රදර්ශනය කිරීමටයි. ඒ අතර මෙතෙක් වේලා ඇයට විරුද්ධව ස්ලෑන්ගාර්ඩ් හට සහය පළ කළ ආරක්ෂකයින්ද වුනා.

මේ සියල්ලම සිදුවන අතර තුරත් ලෝගන් හා ස්ලෑන්ගාර්ඩ් පොර වැටී සටන් වදිමින් සිටියා. එකිනෙකාට එල්ල කරනා අසිපත් පහරවල් තම අසිපත් වලින් වළකමින් දිගින් දිගටම ඔවුන් දෙනාට සටනේ යෙදුණා. ස්ලෑන්ගාර්ඩ් කීප වරක්ම ලෝගන්ට විරුද්ධව තම අඳුරු මායාවන් යොදාගත්තත් ඒවා පළනොමැතිව ගියේ ඔහු අත දැරූ “ඉම්ෆීරියුම්” අසිපත නිසයි. පිටතට නොපෙන්නුවත් මෙය ස්ලෑන්ගාර්ඩ්ගේ සිත භීතියට පත්කළ කාරණයක් වුනා. ඊළඟ මොහොතේ ස්ලෑන්ගාර්ඩ් එල්ල කළ අසිපත් පහර තම අසිපත හිසට ඉහළින් ඔසවා නවත්වාගත් ලෝගන් තම අසිපතින් ස්ලෑන්ගාර්ඩ්ගේ අසිපත ඉවතට තල්ලු කරදමමින් ඔහුගේ පපුව ප්‍රදේශයට වැරෙන් පා පහරක් එල්ල කළා. එයින් තම සමබරතාවය බිදී ගිය ස්ලෑන්ගාර්ඩ් පසු පසට විසිවෙනවාත් සමඟම වේගයෙන් ඉදිරියට පිනූ ලෝගන් තම අසිපතින් ස්ලෑන්ගාර්ඩ්ගේ උදරය කැපී යන පරිදි මරු පහරක් එල්ල කළා. එම පහරත් කාගෙන නැවත වරක් සටනට ආ ස්ලෑන්ගාර්ඩ්ගේ අසිපත් පහර වලක්වා ගත් ලෝගන් තම අසිපතේ මිටෙන් ස්ලෑන්ගාර්ඩ්ගේ හිස පැළී යන පරිදි දැඩි පහරක් එල්ල කළා. ඒ පහර වැදුණු ස්ලෑන්ගාර්ඩ් පසෙකට වැටෙනවාත් සමඟම වහා ක්‍රියාකාරී වු ලෝගන් සිය අසිපතින් ඔහුගේ වම් කකුලේ බල නහරයට ඉහලින් වු කණ්ඩරාව සිද දැම්මේ ඔහුට නැවතත් නැගීටීමට ඉඩක් නොතබමින්.

දණින් වැටුණු ස්ලෑන්ගාර්ඩ් නැවත නැගිට ගැනීමට මහත් වීරියක් ගත්තද ඔහුට එය කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඊළඟ මොහොතේ ලෝගන් ස්ලෑන්ගාර්ඩ්ගේ දකුණු පසින් ස්ථානගත වුයේ සිය අවසන් පහරට සුදානම් වෙමින්.

ඔය සාමාන්‍ය අසිපතකින් මාව විනාශ කරන්නට බෑ මෝඩයෝ. මම එනවා ආපහු, අර දුෂ්ඨ රැජිනව විනාශ කරලා දාන්න.

තවත් කට මෑත දොඩවනවා. තාමත් උඩඟුකම. තමන්ගේ අඳුරු මායාවන් මට බලපෑවේ නැති වුනහමත් තමන්ට හිතුණේ නැද්ද මේක සාමාන්‍ය අසිපතක් නෙවෙයි කියලා? මම හිතන්නේ නෑ. එතරම්ම මානයෙන් උඩඟුවෙලානේ හිටියේ. මේක සාමාන්‍ය අසිපත් නෙවෙයි කියලා විතරක් මතක තියාගන්නවා. මේ පාර ආපහු එන්න වෙන්නේ නෑ. දැන් ආපු අපායකටම ආපහු පළයන්.

මෙසේ පැවසූ ලෝගන් “ඉන්ෆීරියුම්” අසිපතේ මිට තම සිරුරේ දකුණු පසින් හිස ආසන්නටම ඔසවා එය වේගයෙන් ස්ලෑන්ගාර්ඩ්ගේ ගෙළ වෙත පාත් කළා. හිස සිදුණු කවන්ධය පොළොව සිප ගන්නා අතරම එහි හිස පසෙකට පෙරළී ගියා.

අසිපතේ තැවරුණු රුධිරය ස්ලෑන්ගාර්ගේ වස්ත්‍රයෙන්ම පිසදාගත් ඔහු තම අසිපත කොපුවේ බහාගෙන ලෝගන් වේදිකාව දෙසට හැරුණේ නයෝමි ඔහුව අමතන හඩින්. වහා එදෙසට දිව ගිය ලෝගන්ට දැකිය හැකිවුයේ බිම දණ ඇණගෙන සිටි නයෝමිගේ සිරුරට හේත්තු වී සිටින එළීෂායි. මොහොතකින් එහි දණ ගසාගත් ලෝගන් එළීෂාව තම තුරුල්ලට ගත්තා. ඇගේ ඇළපතින් තව දුරටත් රුධිරය ගලා යමින් තිබුණා. ඔහු රැජිනිගේ මුහුණ දෙස බැලුවේ ඇයට යමක් කළ හැකිදැයි විමසන්නාක් මෙනි.

මම උත්සාහ කළා ලෝගන්. ඒත් මම පරක්කු වැඩියි.

ලෝගන්ගේ සිතේ ඇදි අදහස තේරුම්ගත්තාක් මෙන් රැජින පවසා සිටියා.

ලෝගන්, ඔබ අවසානයේ මා වෙත පැමිණියා.

එළීෂා අපහසුවෙන් පැවසුවා. ඇගේ දෑස්වලින් කඳුළු කැට ගලා ආවේ අවට සිටිය අයගේද දෑස් තෙත් කරමින්. ලෝගන් ඇගේ අත තදින් අල්ලා ගත්තා.

මගේ රැජින වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම මම කළා. ඒ ගැන මම සතුටු වෙනවා. මට යන්න කාලය හරි ලෝගන්. ඔබේ උණුසුමේ මිදිමට සිදුවීම තමයි මට ඇති එකම කණගාටුව. ඒත් එක අතකින් මම වාසනාවන්තයි. මට ඔබේ උණුසුමේම මියයන්නට පුළුවන් වුනා. ඒ නිසා මම සතුටින්.

එසේ පැවසූ එළීෂා නිහඩ වුනා. ලෝගන්ගේ අත තදින් අල්ලා ගත් එළීෂා ලෝගන්ගේ දෑස් දෙස බලමින්ම ඔහුගේ දෑත් මතම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියා. පහත් වී ඇගේ මුව සිපගත් ලෝගන් ඇයට තම තුරුල්ලට තද කරගත්තා. ඔහුගේ ඇස්වල ගලා ආ කඳුළු කැට වලින් එළීෂාගේ පියකරු මුහුණ තෙමී ගියා.
___________________________________________________________________________________

KB 2021.04.29

No comments: