අඳුරේ දඩයම්කරු 20 – එළීෂා (01 කොටස)

     කෙතරම් තද නින්දක සිටියත් සැමවිටම තමන් අවට සිදුවන්නා වු      වෙනස්වීම් ගැන අවධානයෙන් සිටින ලෝගන්ට එළීෂාගේ උණුසුම      දැනී ගියත් කුමක් හෝ හේතුවක් නිසා ඇයගේ උණුසුමෙන් මිදීමට      ඔහුට සිත් නොවීය. ඇයගේ තුරුල්ලේ සිටින විට ඔහුගේ මනස දිවගියේ      වසර දාහතක් පමණ වු අතීතයටයි. ඒ ඔහු ශර්මලී හා ගතකළා වු සුන්දර      අවදියයි. ලෝගන්ට එළීෂා තුලින් දැනුණේ ශර්මලීගෙන් ලද ආදරයේ      උණුසුමයි. ඔහු ඇත්තෙන්ම ඒ උණුසුමට ලොබ බැන්දා. තම උරහිස      හරහා වැටී තිබුණ එළීෂාගේ හස්තය ඔහු පිරිමදින්නට ගත්තේ ඒ නිසාම      විය හැකියි. ගතවූ තවත් එක් නිමේෂයකදී ඇගේ රත් පැහැති තොල්      පෙති ලෝගන්ගේ දෙතොල් සොයා පැමිණියේ කිසිදු ආයාසයකින්      තොරවයි. තම සුරත ඇගේ බඳ වටා යැවු ලෝගන් ඇයව තවත් තමන්      වෙත නතු කරගත්තේ ඒ උණුසුමෙන් මිදීමට ඔහු තුළ කිසිදු කැමත්තක්      නොවු නිසයි.

අඳුර බිද හෙළමින් හිරුගේ ලා රැස් කිරණ දඩයක්කරුවා ඇතුළු පිරිසගේ නවාතැන් පොළට පිවිසෙන්නට ගත්තේ ඔවුන්ගේ අවසරයක් නොපතාමයි. තමාට තදින් තුරුළු වී සුවසේ නිදන යුවතියගේ නින්දට බාධාවක් නොකර අපහසුවෙන් නැගී සිටි ලෝගන් තමන් පළදින දිගු කබාය ඇයගේ ශරීරය ආවරණව වන සේ පොරවා “ඉම්ෆීරියුම්” අසිපත අතට ගත්තා. එයත් රැගෙන ගල් තලාවෙන් මඳක් ඔබ්බට ගිය ලෝගන් අසිපතත් සමඟ තමන් සැමදා කරන පුහුණුවීම් කටයුතු වල යෙදුණා. තමන් සිතින් මවා ගන්නා සතුරන් සමඟ ඔහු කිහිප විටක්ම සටන් වැදුණේ තමන්ට ලැබුණු මේ බලගත් අසිපත තව දුරටත් තම දෑතට හුරු කරගන්නටයි. අද තමන්ට කරන්නට ඇති කටයුත්ත තුළදී කිසිදු අත පසුවීමකට ඉඩක් නොතැබිය යුතු යැයි ඔහුගේ සිත පුන පුනා ඔහුට කියා සිටියා. තමන්ගේ පුහුණු කටයුතු අවසන් කර දහඩිය පිරුණ ගතින් ගල් තලාව වෙත එන ඔහු දුටුවේ අනිත් අය ඒ වන විටත් අවදිව ඇති බවයි.

ලෝගන්, ඔබ පුහුණු වන ආකාරය නම් බලන්න ලස්සනයි.

ස්තුතියි නයෝමි. මම හිතනවා අද අපිට පුහුණුවීම් වලින් ඔබ්බට යන්න සිද්ධ වේවි කියලා.

අසිපත හොදින් පිරිසිදු කර නැවත වරක් එය කොපුවේ බහා එය රෙදි කඩින් ආවරණය කළ දඩයක්කරුවා එළීෂා දෙසට හැරුණේ තමන්ගේ ඊළඟ පියවර කුමක්දැයි කියා විමසීමටයි. ඇගේ ඇස් ආදරයෙන් වගේම ලැජ්ජාවෙනුත් පිරී තිබුණා.

එළීෂා, අපි කොහාටද යන්න ඕන?

අපි තව දුරටත් දකුණට යන්න ඕන. එය පැය කිහිපයක දුෂ්කර ගමනක් වනය මැදින්. කොහොමත් අපිට හවස හතර පමණ වන විට “ආත්මයන් නිදන විල” අසලට පැමිණිය හැකි වේවි. එතැන අපිට සැඟවී සිටින්නට වෙනවා අඳුර වැටෙනකම්. විල හරහා යෑමට අවශ්‍ය කටයුතුත් මම ලෑස්ති කරලා තියෙන්නේ.

මාළිගයේ ආරක්ෂයින් දකින්නේ නැද්ද අපි විල තරණය කරණකොට.

දකින්න නම් ඉඩ තියෙනවා නයෝමි. ඒත් එහෙම දකින්නේ අපේ කාර්යයට සම්බන්ධ එයට සහයෝගය දෙන ආරක්ෂකයින්. ඔවුන් තමන්ගේ රාජකාරී කටයුතු කරන පැත්තෙන් තමයි අපි දූපතට ඇතුල්වන්නේ. සටනක් ඇති වුනොත් ඔවුන් අපිට එකතු වේවි.

එහෙම හොදයි. අපි උදේ ආහාරය අවසන් කළ විගසම පිටත්වෙමු.

ඒක හරි. රැජිනව බේරා ගැනීමේ කටයුත්තට අපේ සම්පුර්ණ ශක්තියම යොදවන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා පැය කිහිපයක විවේකයක් අපිට වටිනවා. අපි ඉක්මනින්ම පිටත්වෙමු.

ඒක ඇත්ත ලෝගන්.

වැඩි වේලාවක් ගත නොකරම සිය උදෑසන ආහාරය අවසන් කළ දඩයක්කරුවා ඇතුළු පිරිස අසුන් පිටට නැගුණා. එළීෂා සුපුරුදු ලෙසින් අසුන් රහිතව තම ගමන යෑමට තැත් කළත් ලෝගන් ඇයව සිය අසු මතට නග්ගවා ගත්තා. වනය හරහා පැය කිහිපයක දුෂ්කර ගමනකින් අනතුරුව ඔවුන් විශාලව වැඩී තිබුණු වනස්පතියක් අසලට පැමිණියා.

මෙතන ඉදන් තව ටික දුරයි තියෙන්නේ “ආත්මයන් නිදන විල” වෙත. අපි අසුන්ව මෙතන බැදලා දාලා යමු. ඒක වඩාත් ආරක්ෂිතයි.

මේ කැලේ අස්සයෝ දාලා යන්න පුළුවන්ද එළීෂා?

ඒ ගැන කරදරවෙන්න එපා නයෝමි. මේ අසුන් මෙතනින් ඉවත් කර ආරක්ෂිත තැනකට ගෙන යෑමට මම කටයුතු යොදලා තියෙන්නේ.

ඔබ හැමදෙයක්ම හොදින් හිතලා බලලා කටයුතු කරලා එළීෂා.

මගේ රැජිනගේ නිදහස, ආරක්ෂාව වෙනුවෙන් මම හැමදෙයක්ම කරනවා නිකොලස්. අපි ඉස්සරහට යමු. විලට ආසන්නයේ අපිට සැඟවී සිටිය හැකි තැනක් තියෙනවා. අපි අඳුර වැටෙනකම් එතැන් ඉමු. එහෙම නම් අපි පිටත් වෙමු.

අසුන් ආරක්ෂිතව ගස් වල බැද දැමු ඔවුන් ඉතාමත් නිශ්ශබ්දව වනය හරහා තමන්ගේ ඉලක්කය කරා ගමන් කළා. පැයකට පමණ පසු ඔවුන් සිවුදෙනා සවස 4.30 පමණ වන විට කිසිදු උපද්‍රවයකින් හෝ කිසිවෙකුගේ ඇස ගැටීමකින් තොරව ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානයට පැමිණියා.

මෙතන ආරක්ෂිතයි. මේ ගස් හින්දා අපිව පෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මගේ මායා වලිනුත් මෙතන ආරක්ෂා කරලා තියෙන්නේ. අපිට අඳුර වැටෙනකම් මෙතන විවේක ගන්න පුළුවන්. මෙතන ඉදන් විලට තියෙන්නේ විනාඩි පහළොවක පමණ දුරක්. අපිට තියෙන්නේ මම සඟවලා තියෙන බෝට්ටුව අරන් විල තරණය කරලා දුපතට ගොඩවෙන්න.

වැඩි කතා බහකින් තොරවම පිරිස කාලය ගෙවා දැම්මේ තමන්ට පැවරී ඇති රාජකාරියේ බැරෑරුම් බව සියල්ලන්ගේම සිත්වලට දැනුණු නිසයි. පැය එක හමාරක් පමණ විවේක ගත් දඩයක්කරුවා ඉන් අනතුරුව තමන්ගේ පිස්තෝල දෙක හා මස්කට් වර්ගයට අයත් තමාගේ තුවක්කුව පිරිසුදු කොට එයට තෙල් දමා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලුවා. කිසිදා පිස්තෝලයක් නොදැක තිබූ එළීෂාට ලෝගන්ගේ මෙම ක්‍රියාවලිය ගැන මහත්වු කුතුහලක් ඇති වුනා.

ලෝගන්, මේ මොනවද?

ඔහුගේ ආයුධ වලට අත දිගුකරමින් ඇය විමසා සිටියා.

මේවා මගේ ආයුධ. අපි ඒවට ගිනි අවි කියලා කියනවා. මේ කුඩා ඒවට කියන්නේ පිස්තෝල කියලා. මේ දිග ආයුධයට කියන්නේ තුවක්කුව කියලා.

ඔහු සිය ආයුධ වලට වෙඩි බෙහෙත් පුරවන ගමන් පැවසුවා.

මොනවද මේවයින් කරන්න පුළුවන්?

ඔබ දුනු ඊතල ගැන දන්නවා නේද?

ඔව්.

මේවායින් දුනු ඊතල වලින් කරන කටයුත්ත කරන්න පුළුවන්. ඊට වඩා බලගතුයි. ඊට වඩා දුරට එල්ල කරන්න පුළුවන්.

මේ විස්තරයෙන් සෑහීමකට පත්වු එළීෂා නිහඩ ඒ දෙස බලා සිටියා. කාලය බිදෙන් බිද ගලා ගියා. පරිසරය මොහොතින් මොහොත අඳුරට නතු වෙමින් තිබුණා. දඩයක්කරු ඇතුළු පිරිසට සිය කාර්යය ඇරඹීමට සුදුසු කාලය ළඟාවෙමින් තිබුණා.

නිකෝලස්, නයෝමි, එළීෂා සුදානම් වෙන්න. හැකි තරම් සැහැල්ලුවෙන් ගමනට සුදානම්වෙන්න. අනවශ්‍ය දේවල් මුකුත් ගන්න එපා. ඒවා මෙතනම තබා යමු. වෙඩි තැබීමට අවශ්‍ය තරම් “කාටිරිජ්” අරගන්න.

     පළමුවෙන්ම තම දිගු කබාය ගලවා පසෙකින් තැබූ ලෝගන් තම      පිස්තෝල දෙකට අවශ්‍ය කාටිරිජ් සහිත බෑගය සිය උරහිස් හරහා      දමාගත්තා. අනතුරව තම අසිපත් දෙකද ඒ අයුරින්ම උරහිස් හරහා      දමාගත් ඔහු පිස්තෝල දෙක සිය ඉණ දෙපැත්තේ වු ඒවා රදවනයන්      තුළට දමාගත්තා. තමන් ළඟ සැම විටම ඇති “කුක්රි” නම් සටන් සඳහා      යොදාගන්නා පිහිය ඔහු, සිය ඉණ පිටුපසින් රඳවා ගත්තා. අනතුරව සිය      ගමන් බෑගය විවෘත කළ ඔය එය තුළින් එළියට ගත්තේ බටහිර සුමාත්‍රා      වැසියන් සටන් සඳහා යොදාගන්නා “කරම්බිට්” නමින් හඳුන්වන      භයංකර පෙනුමක් ඇති වක් වු පිහි දෙකක්. එයත් සමඟ ඔහු මෙම      කටයුත්තට සම්පුර්ණයෙන්ම සුදානම්ව සිටියා.

     ඔබ තිදෙනා ලෑස්තිද?

     ඔව්. අපි ලෑස්තියි.

ලෝගන්, ඔබ තුවක්කුව ගන්නේ නැද්ද?

නෑ නිකොලස්. එයින් එතරම් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. අවශ්‍ය වුනොත් ඔබේ තුවක්කුව පාවිච්චි කරමු. එළීෂා, පෙරමුණ ගන්න. පරෙස්සමින්. අපිට කිසිම එළියක් පාවිච්චි කරන්න විදිහක් නෑ. බොට්ටුවට ගොඩවන විට තුවක්කු හා “කාටිරිජ්” නොතෙමා ගැනීමට වග බලාගන්න. අත්‍යාවශ්‍යම දෙයකට හැරෙන්න කතා කරන්න එපා.

වැඩි වේලාවක් යාමට පෙර “ආත්මයන් නිදන විල” වෙතට පැමිණි ඔවුන් එළීෂා විසින් ආරක්ෂිතව සඟවා තැබු බෝට්ටුව එය සඟවා තැබු ස්ථානයෙන් එළියට ගෙන එය දියත් කළා. එළීෂාගේ මායා බලයේ ආධාරයෙන් යා යුතු වූ නිසි දිසානතිය සොයාගත් ඔවුන් පැයක පමණ කාලයකට පසුව සෙලීනා රාජිනියගේ මාළිඟය පිහිටියා වු “එවිග්” (Evig - සදාකාලික) නම් දූපතට පය ගැසුවා. ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් එහි රැදී සිටි එළීෂාගේ වැඩිමහල් සහෝදරිය වු නීසාගේ සහයෝගයෙන් ඔවුන් පැමිණි බොට්ටුව කිසිවෙකුටත් නොපෙනෙන ලෙස සැඟවු ඔවුන් රහස් දොරටුවක් හරහා මාළිගය තුළට පිවිසුණා.

මාළිඟය ඇතුලතදී කාණ්ඩායම් දෙකකට බෙදුණු ඔවුන් තම තමන්ගේ ඉලක්කයන් කර ගමන් ගත්තේ මාළිඟය ඇතුළත වු රහස් මාර්ගයන් හරහා. නිකොලස්, නයෝමි හා නීසා මාළිඟයේ පොළෝ මට්ටමින් යට ඇති සිරකුටි කරාද ලෝගන් හා එළීෂා මාළිගයේ ඉහළම මට්මේ බල යෂ්ටිය තබා තිබූ අට්ටල්ල කරාද ගමන් ගත්තා.

රහස් මාර්ගය හරහා මාළිඟයේ ඉහළමට මට්ටමට පැමිණි ලෝගන් හා එළීෂා නිශ්ශබ්දවම අටල්ලට වැටී තිබුණු පටු කොරිඩෝරයට පිවිසුණා. එහිදී ඔවුන් දෙදෙනා දුටුවේ ඔවුන් බලාපොරොත්තු නොවු දසුනක්. පටු කොරිඩෝරය කෙළවරවූ අටල්ලට පිවිසෙන දොරටුව ඇර දමා තිබුණා. පටු කොරිඩෝරයේ සිට අටල්ල දක්වාම ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මෙන් සයිරන්වරුන් රැදී සිටියා. ඒ මොහොතේ ලෝගන්ගේ අතින් අල්ලාගත් එළීෂා, අසල වු තිරයක් පසු පසින් සැඟවුනේ කිසිවෙකුත් ඔවුන්ව දැකීමට පෙරයි.

ලෝගන්, මේක වෙන්න බෑ. අටල්ලට ඇතුල්වෙන දොර වහලා තියෙන්න ඕන. ඒකේ ආරක්ෂාවට හිටපු සයිරන්ලා හිටියේ අටල්ල ඇතුලේ. මේක හරියට අපි එනවා
දැනගෙන සුදානම් වෙලා වගේ. මේක වෙන්න බෑ. කවුරු හරි අපිව පවා දීලා. ඒත් ඒ කවුද?

ඒ නයෝමිවත් නිකොලස්වත් නම් නෙවෙයි.

කොහොමද එහෙම වෙන්නේ ලෝගන්. මගේම සහෝදරී මට මෙහෙම දෙයක් කරයිද?

ඒ ගැන දැන් වදවෙන්න බෑ. අපි කරන්න ආපු දේ කරමු.

ලෝගන්. එතන ඉන්න ආරක්ෂකයින් ප්‍රමාණය වැඩියි. අපිට බෑ උන් ඔක්කොම එක්ක සටන් කරන්න.

එළීෂා. ඔබට මාව විශ්වාසද?

ඔව්. මගේ ජීවිතයටත් වැඩියෙන්.

එහෙනම් එන්න මා සමඟ.

තමන් සැඟවී සිටි තිරය යටින් එළියට ආ ලෝගන්, එළීෂාවත් රැගෙන පටු කොරිඩෝරය පය තිබ්බා. තමන්ව පිළිගන්නට මෙන් එහි රැදී සිටින රෞද්‍ර පෙනුමැති ආරක්ෂකයින් ඔවුන් දෙදෙනාට දැකගන්නට ලැබුණා. එහි වු පටු කොරිඩෝරය ආරම්භවන තැන එළීෂාව රැදවූ ලෝගන් සිය උරහිස හරහා පැළද සිටි අසිපත් දෙක ගලවා එළීෂා අතට දුන්නා. අනතුරව තම ඉණ රැදී “කරම්බිට්” පිහි දෙක දෑතට ගත් දඩයක්කරුවා වේගයෙන් ආරක්ෂකයින් දෙසට දිවයන්නට ගත්තේ එළීෂාගේ සිත භීතියෙන් භීතියට පත්කරමින්. එම දසුන එළීෂා පමණක් නොව අටල්ලේ ආරක්ෂාවට සිටි සයිරන්වරුන්ද භීතියට පත්කරන්නට හැකිවූ දසුනක් වුනා.

තප්පර කිහිපයකින් ඉදිරියෙන්ම සිටි සයිරන්වරුන් දෙදෙනා වෙතට ළඟ වු ලෝගන් ඔවුන් අතක් ඉස්සීමටත් පෙර එකවරම ඔවුන් දෙදෙනාගෙම උගුරු දණ්ඩවල් කපා දැම්මා. ගෙළින් ගලා ගිය රුහිරු දහරා මතින් ගෙළ අල්ලා ගත් ඔවුන් බිම ඇද වැටුණේ නැවත දෙපයින් නැගිටීමට නම් නොවේ. ඊළඟ මොහොතෙදී වක් පිහි දෙක ඉණේ රදවා ගත් ලෝගන් තමන් වෙතට එමින් සිටි සයිරන්වරයාගේ නළල මැදටම තම දකුණතේ වු ෆිලින්ට්ලොක් පිස්තෝලය එල්ල කොට වෙඩි තැබුවා. ඊට පිටුපසින් ඉදිරියට ආ සයිරන්වරුන් තිදෙනාටම සිදුවුයේ ද ලෝගන් එල්ල කළ වෙඩි පහරවල් කා අවසන් ගමන් යන්නටයි. ඒ පහරවල් සියල්ලම වැදී තිබුණේ ඔවුන්ගේ නළල මැදටයි. පිස්තෝලවලට නැවත පිරවීමටවත් නතර නොවූ ලෝගන් ඒවා එහිම බිම අතහැර දමා ඉදිරියට ගමන් කළා.

ඊළඟ මොහොතේදී තමන් ඉදිරියට පිනූ සයිරන්වරයා එල්ල කළ පහර වම් පසට ඇළවී මඟ හැරිය ලෝගන් ඔහුගේ ගෙළට මාරක පා පහරක් එල්ල කළා. තමන්ගේ පපු පෙදෙසට එල්ල වු පිහි පහර දී සිය දකුණු අත යොදා වැළැක්වු දඩයක්කරුවා ක්ෂණයකින් වේගවත් මුෂ්ටි පහරක් සයිරන්වරයාගේ මුහුණට එල්ල කළා. එයින් තම සමබරතාවය ගිලිහී ගොස් ඇද වැටෙමින් සිටි සයිරන්වරයාට ලෝගන් එල්ල කළ පා පහරේ වේගයට සයිරන්වරයාගේ සිරුර විසිවී ගොස් බිත්තියේ වැදුණේ කොඳු ඇට කිහිපයක්ම බිද දමමින්.

ලෝගන් අටල්ලට ඇතුළු වුයේ නැවත වරක් සිය වක් පිහිදෙක දෑතට ගනිමින්. මේ වන විට අටල්ලේ වු ඉතිරිව සිටි සයිරන්වරුන් ඉමහත් භීතියට පත්වී සිටියේ ඔවුනට කිසිම දිනෙක් ලෝගන් වැනි වේගවත් මෙන්ම භයානක වු සටන්කරුවෙකු මුණ නොගැසී තිබූ බැවින්ය. ස්භාවයෙන්ම සයිරන්වරන් ශක්තිමත් හා බිහිසුණු සටන්කරුවන් ලෙස මෙතෙක් කල් නම් දරා තිබුණත් ලෝගන් ඉදිරියේ ඒවා පුස්සක් වී ගියා.

     අටල්ල තුළදී ඉතිරි වූ සයිරන්වරුන් සටනට සුදානම්ව ලෝගන් වටා      කවයක ආකාරයෙන් පෙළ ගැසුනද එය ඉතාමත් කෙටි සටනක් වුනා.      භීතියෙන් සුදු මැළි වී ගිය එළීෂා ‍ අටල්ලට ඇතුල් වන විට ඇයට දක්නට      ලැබුණේ තැන තැන වැටී තිබුණු සයිරන්වරුන්ගේ අවසන් හුස්ම පොද ද      සිදී ගිය සිරුරයි. ලෝගන් අවසාන සයිරන්වරයාගේද ගෙළ අඹරවා දමා      සිය අතේ තැවරී තිබූ රුධිරය ඔහුගේ සිරුරින්ම පිසදා ගත්තා. අටල්ලේ      බිම සයිරන්වරුන්ගේ ගලා ගිය රතු පැහැති රුධියෙන් පෙඟී ගොස්      තිබුණා. මේ දසුන දුටු එළීෂා අපහසුවෙන් හුස්ම ගනිමින් ලෝගන්      දෙසට හැරුණා.

     ලෝගන්, ඔබගේ ඇඟ පුරාම ලේ.

     බයවෙන්න එපා. ඒ මගේ ලේ නෙවෙයි.

ඔබ කවුද ලෝගන්?

එළීෂා විමතියෙන් අසා සිටියා.

මම කිසිම දවසක මේ වගේ දෙයක් දැකලා නෑ ලෝගන්. සයිරන්වරුන් බිහිසුණු සටහන්කරුවන් විදිහටයි ප්‍රසිද්ධ. ඒත් ඔබ ඉදිරියේ ඔවුන්ට සිදුවු දේ මට හිතාගන්න බෑ. මට ඒ ගැන කියාගන්න වචන නෑ ලෝගන්.

ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඔබ ගිහිල්ලා බල යෂ්ටිය අතට ගන්න. අපි ඉක්මනින්ම පහළට යමු. අපේ අයට මොනවා වෙලාද කියන්න දන්නේ නෑ දැනටමත්. ඔබ කියන විදිහට කවුරුවත් හිතන්නේ නෑ අපි සයිරන්වරැන් සමඟ සටන ජය ගනී කියලා. අන්න ඒ නිසා අපිට තාමත් අවස්ථාවක් තියෙනවා. අපි ඉක්මන් කරමු.

එළීෂාගේ අතේ තිබු අසිපත් දෙක නැවත වරක් සිය උරහිස් හරහා දමා ගමින් ලෝගන් පවසා සිටියා. බල යෂ්ටිය තම අතට ගත් එළීෂා මොහොතකින් ලෝගන් වෙතට පැමිණියා.

දැන් අපි මොකද කරන්නේ ලෝගන්?

අපි යමු රැජිනව මරණයට පත්කරන්න සුදානම් කරලා තියෙන තැනට. හැමදෙනාම එතනට එන්න ඕන. ඔබ දන්නවද එතනට යන්න මාර්ගයක්.

ඔව් ලෝගන්. එන්න මාත් එක්ක.

පටු කොරිඩොව හරහා ඔවුන් නැවත ගමන් කරන අතර තුර නැවත වරක් සිට පිස්තෝල දෙක අහුලා ගත් ලෝගන් ඒවාට වෙඩි බෙහෙත් පුරවන ගමන්ම එළීෂා සමඟ ඉදිරියට ගමන් කළා. නැවත වරක් රහස් මාර්ගයකට පිවිසි ඔවුන් දෙදෙනා හිස ගසා දමන ස්ථානය ඉහළින් වු මහළට පැමිණියා. එහි සැඟවී සිට පහල බැලූ ඔවුන්ට දැක ගත වුයේ පහළ රැදී සිටින සියයක් පමණ වු පිරිසක්. එම පිරිසට ඉදිරියෙන් වු ස්ථනය රැජිනගේ හිස ගසා දැමීමට සුදානම් කර තිබුණා. එය වටා විසි පස්දෙනෙකු පමණ වු ආරක්ෂක පිරිසක් රැදී සිටියා. පහළ බිමෙහි වු අඳුර මැකීගොස් තිබුණේ තැනින් තැන දල්වා තිබූ පන්දම් වලින් නැඟුණු ආලෝක මඟිනි. ඉහල මාළය පුරාවටම දැල්වී තිබුණේ පන්දම් දෙකක් පමණක් බැවින් එය තරමක් අඳුරු ස්භාවයක් ගත්තා. එය ලෝගන්ගේ හා එළීෂාගේ කටයුතු වලට මහත් රුකුලක් වුනා.

මේ සෙනඟ කවුද?

ඔය රැජිනගේ සේවකයෝ, යටත් වැසියෝ. සෙබළු නෙවෙයි. ඔවුන්ට එන්න කියලා තියෙන්නේ රැජිනව මරා දමනවා බලන්න. එතකොට කවුරුවත් ඉදිරියට ස්ලෑන්ගාර්ඩ්ට විරුද්ධ වෙන්නේ නෑ කියලා ඔහු හිතනවා.

මේ සෙබළු පක්ෂපාත කාටද?

බොහෝ දෙනෙක් රැජිනට පක්ෂපාතයි. ඔවුන් ස්ලෑන්ගාර්ඩ්ට ඇති බිය නිසා ඔහුට පක්ෂපාත බව දක්වනවා. විශේෂයෙන් ඔහුගේ අඳුරු මායාවලට බයයි මොවුන්.

කොහෙන්ද රැජිනව මෙතනට අරගෙන එන්නේ?

අර පල්ලෙහා තියෙන ලොකු දොර පේනවා නේද ලෝගන්. අන්න ඒ දොරින්. එතනින් තමයි සිරකුටිවලට යන්න තියෙන්නේ.

සෙබළු ඔබ කියන දේ අහයිද?

මම මේ බල යෂ්ටිය අතේ තියන් ඉන්නවා දැක්කොත් බෙහෝ විට ඔවුන් මට ඇහුම් කන් දේවි. ඒත් ඔවුන් ස්ලෑන්ගාර්ඩ්ට එරෙහිව යන්න නම් ඉදිරිපත්වෙන එකක් නෑ. ලෝගන්, අපි දැන් මොකද කරන්නේ?

අර හිස ගසා දමන තැන පිටු පසට අපිට යන්න පුළුවන්ද?

ඔව් යන්න පුළුවන්. මාළිඟයේ මේ මහල නිර්මාණය කරලා තියෙන්නේ ඒක වටේටම ඇවිදන්න පුළුවන් විදිහට.

එළීෂා, ඔබට තියෙන්නේ රැජිනගේ හිස ගසා දමන්න සූදානම් වෙනකොටම මේ කෙටි තාප්පයට නැගලා ඔවුන්ගේ අවදානය වෙනස් වෙන්න යමක් කරන්න. ඔබට එය කරන්න පුළුවන්ද?

ලෝගන්, රැජිනගේ හිස ගසා දැමීමට සුදානම් කර තිබු ස්ථානයට ඉදිරියෙන්ම වාගේ ඇති කෙටි බිත්තියක් දක්වමින් පැවසුවා.
___________________________________________________________________________________

KB 2021.04.25

No comments: