අම්පාර 2007 - P-2

අම්පාර 2007 - P-2 එක්ක බර්ටියා ඉක්මනටම ආවා. සමහරු බර්ටියට මරණීය තර්ජන එල්ල කරනවා දෙවෙනි කොටස ඉක්මනට ඕන කියලා. ඒක නිසා බර්ටියා දෙවෙනි කොටස ඉක්මනටම ලිව්වා හොදේ. අනික කල්ගියහම කතාවේ රසෙත් නැතිව යනවා. පළමු කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක ඉස්සෙල්ලාම කියවලා ඉන්න මොකද කතාව පටන් ගන්නේ අම්පාර 2007 - P-1 කොටසින්. හරි එහෙම නම් කතාවට බහිමු.

මේ තියෙන්නේ කන්ද උඩ ඉදන් දැක්ක අතිශයින් මනස්කාන්ත දර්ශනයක් (දැන් වචන වලින් කියනවා නම් සුපිරිම දර්ශනයක්). අම්පාරට හිරු උදාව. මේ වගේ ලස්සන දර්ශනයක් බලන්න ලැබෙන්නේ පින් කරලා තියෙන අයට විතරයි කියන එකයි බර්ටියාගේ වගේම මලිතයගෙත් හැඟීම. තවත් ලස්සන දර්ශන තියෙනවා. ඒවා ඉස්සරහට දාන්නම් හොදද? ඔක්කොම එක පාර දාන්න බෑ නේ.

ඇත්තටම දශමෙන් දශමේ ඉරේ වෙනස් වීම දැකීමේ හැකියාව බර්ටියාට මෙතනදී ලැබුණා. ඊට පස්සේ මලිතගේ ඉල්ලීම උඩ ජයතිලක (ජයා) එයා ගේ තනි උණ්ඩේ තුවක්කුව කෑලි වලට ගලවලා පෙන්නුවා. බර්ටියා කොහොමත් තුවක්කු වලට ආසා නිසා මේක බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්න බර්ටියා අමතක කළේ නෑ.

අපි හිටියේ කන්ද උඩ නිසා වෙඩි තියලා අත්හදා බැලිීම් කරන්න ගියේ නෑ. ටිකකින් ජයායි මහතුන් අයියයි දඩයෙම් යන්න පිටත් වුනා අපිට හෙමින් සැරේ නාමල් ඔයට එන්න කියලා. කට්ටිය උයනකම් බර්ටියයි මලිතයයි ජුන්ඩයි ගියා ගලේ පහල කැළෑව පැත්තට විවෘත වැසිකිලියක් හොයාගෙන. වතුර පාරක් හොයාගෙන ඒ වැඩෙත් සිද්ධ කරගෙන ඒ ළඟම තිබ්බ ගල් පොකුණ ගාවට ගියා නා ගන්න කියලා.. ඒ ගල් පොකුණ අඩි 40ක් විතර ගැඹුරුයි කියලා මලිතයා කිව්වා.

ඒ වගේම කිසිම දවසක් වතුර හිදෙන්නෙත් නෑ කියලා මලිතයා කිව්වා. සාමාන්‍යයෙන් මලිතලා කරන්නේ ලිදලා බැහැලා හරස් අතර ලී පොල්ලක් දෙකක් රදවනවා පොකුණේ අඩි 5ක් විතර පහලින් තියෙන කට්ටෙක. එතකොට කරදරයක් නැතුව ඒ ලී පොළු වලින් හිටගෙන නාන්න පුළුවන්. ඒත් මේ පාර ඒ පොළු තිබ්බේ නෑ‍. ඉතින් බර්ටියටයි මලිතයටයි සිද්ධවුනා කෙළින්ම පොකුණට බැහැලා නාගන්න. අම්මෝ දැන් නම් ඒක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා‍. ජුන්ඩා නම් නෑවද නැද්ද කියලා මතක නෑ (ජුන්ඩා ඉතින් කොහොමත් නාන කරන මනුස්සයෙක් නෙමෙයිනේ). මේ පහලින් දාලා තියෙන්නේ ඒ ගල් පොකුණේ පින්තූරයක්.

ඔය වැඩ ඉවර කරගෙන උදේට කාලා බීලා ඉතුරු වෙලා තිබ්බ බත් ටිකත් මුට්ටියේම තියාගෙන ඒක පෝර උරයක දාගෙන අපි කට්ටිය නාමල් ඔයට යන ගමන පටන් ගත්තා. මේ ගමන යනකොට මූලිකත්වය ගත්තේ මනයා නෙමෙයි වෙන ගමේ පොරක්. අපිටත් ඕක ගාණක් වුනේ නෑ. ඇයි ඉතින් ගමේ ඒකානේ. කොහොම හරි අපි දැන් ගල් උඩින් පැන ගෙන බොහොම දුෂ්කර ගමනක් නාමල් ඔය දක්වා යන්න පටන් ගත්තා. ඇත්තටම මේ යාම බොහොම අමාරු වැඩක් වුනා. සමහර තැන් වලදී පාර හොයාගන්නත් අමාරු වුනා. රතු ගල, නිල් ගල වගේ නම් වගයක් කියවුනා කියලා නම් අදටත් බර්ටියාට මතකයි. කොහොම හරි අපි ගමන් කරලා තියෙන්නේ ගල් ඔය කඳු වැටිය දිගේ. කොහොම හරි ඔහොම ගිහිල්ලා අපි කන්දක් මුදුනට ආවා. මේ වෙන කොට බර්ටියාට පාන් කියාගන්නත් බැරි සයිස්. හොදටම මහන්සියි. ඇයි යකෝ පැය ගාණක් තිස්සේ ඇවිදිනවානේ දැන්. හැබැයි කන්ද මුදුනේ ඉදලා බලන කොට පේන දර්ශනේ නම් මරු. එතනට පේන ලස්සන දර්ශනෙත් බලාගෙන අපි ටිකක් වෙලා මහන්සි ඇරියා.

දැන් ඉතින් නැග්ග හරිය ආපහු බහින්නත් එපායැ කියලා ආපහු කටු පදුරු, ගල් මුල්, දෙබොක්කාවල් අස්සෙන් අපි පහලට බැස්සා. දැන් වෙලාව 1 ත් පහුවෙලා. ඒත් අපේ ගයිඩ් කාරයට පාර හොයාගන්න බැරි වෙලා. අපි එහාට යනවයි මෙහාට යනවයි. ගිහිල්ලා ගිහිල්ලා මාර අමාරුයි. බඩත්ගිනියි. ගෙනාපු වතුරත් ඉවර වෙලා. මිනිහා නම් කියනවා පාර හොයාගන්න බැරි මං මුලා වැල් පෑගිලා කියලා. මනය ඉදන් කියලා මෙතනින් පහලට බැස්සා නම් හරි කියලා. බර්ටියා කට ඇරන් හති දදා බලන් ඉන්නවා. මොකද ඒකා පාර දන්නේ නෑ නේ. දුක තමයි. අන්තිමයට අපි තීරණය කළා වතුර ටිකක් හොයාගෙන තේ ටිකක් හදාගෙන බොන්න. මොකද මේ වෙනකොට කට්ටියටම හොදටම මහන්සියි. විජලනය වෙන්නත් ඇවිල්ලා. වතුරත් නෑ. ඒ මදිවට රස්නෙත් එක්ක. වතුර හොයාගන්න ඇවිදන් යනකොට අපිට ගස් කපන මිනිස්සු ගහපු වාඩියක තිබිලා අහක දාපු ප්ලාස්ටික් කෑන් එකක් හම්බවුනා. එතන ඉදලා වැඩිදුරක් යන්න වුනේ නෑ දෙයියනේ කියලා අපිට වතුර වලක් සෙට්වුනා. ඒකේ තිබ්බ වතුර අපිට අමෘතය වගේ වුනා ඒ වෙලවේ. වතුර මෙච්චර රසවත් වේවි කියලා කවුද හිතන්නේ?. මනයා නම් අර දාගෙන ආපු බත් ටිකක් කෑවා කිසිම මාළුවක් පින්නක් නැතුව. බර්ටියාට නම් ඒ හපන්කම කරන්න බැරිවුනා. තේ ටික හදනකම් බර්ටියා ඇතුළු කීප දෙනෙක් එහෙම්මම බිම දිගාවෙලා නිදා ගත්තා. ගෙදරදී නිදා ගන්න කොට අපි කීයක් දේවල් බලනවාද? කැලේදී ඒවා මුකුත් නෑ. වැටුණා නිදාගත්තා.

තේ එක කට්ටියම අළුත් පණක් දුන්නා. ආයෙත් බඩු ටික එල්ල ගත්ත අපි කට්ටිය පල්ලම් බැස්සා. ඒ පාර නම් අපේ ගයිඩ් බුවාට හරි පාර අහුවෙලා තිබ්බා. අයෙත් ඉතින් ගමනේ යා තමයි. හැබැයි ඒ ගමන තරමක් ලේසි වුනා මොකද කඳු තිබ්බේ නෑ අපිට නගින්න. ගොඩක් දුරට තැනිතලා බිම්ක්. බර්ටියාට කොහොමටත් තැනිතලා බිමේ යන්න අමාරුවක් තිබ්බේ නෑ. මේ යන පාරේ සමහර තැන් විනාඩි කීපයකට කලින් වල් ඌරෝ හාරලා දාලා තිබ්බා. එක තැනකට අපි එන්න විනාඩි කීපයකට කළින් ගෝනනු දෙන්නෙක් ලැගලා ඉදලා තියෙනවා. එතන තනි මඩ වලක්. අපි කැලේ ඇතුලේ කතා කර කර ආපු සද්දේ නිසා අපිට සත්තු බලාගැනීමේ හැකියාව නම් ලැබුනේ නෑ. ඒත් සත්තු විනාඩි කීපයකට කළින් ඉදලා ගිය සලකුණු තිබ්බා. අපේ සද්දෙට කොහෙද සත්තු ඉන්නේ? මේ හේතුව නිසා සත්තු බැලීමේ වාසනාව නම් අපිට තිබ්බේ නෑ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී අපි නාමල් ඔයට බහින්න තියෙන අවසාන බැස්මට ආවා. ඇත්තටම එතනට බැස්සහම දිය පාරක් දිගේ තමයි ගමන් කරන්න තියෙන්නේ. පායන කාලේ නිසා දියපාර බොහොම තැන් වලින් හිදිලා ගිහිල්ලා තිබ්බා.

මේ දිය පාර දිගේ ගමන් කරන කොට එක විශේෂ ස්ථානයකට එන්න පුළුවන්. මම ඒ විශේෂ ස්ථානය ගැන අම්පාර 2007 - P-3 කොටසින් කියන්නම්.

කොහොම හරි මේ ගමන යනකොට බර්ටියාට අළුත් විස්තරයක් දැන ගන්න ලැබුණා අපේ අතරමංවීම ගැන. අපේ ගයිඩි කාරයා වුවමනාවෙන්ම තමයි අපිව අතරමන් වුනා වගේ එහෙ මෙහේ අරන් ගිහිල්ලා තියෙන්නේ. මිනිහා අපි කොළඹින් ආපු නිසා අපිට රැග් එකක් දෙන්න හිතාගෙන තමයි බොරුවට අපිට කැළේ පුරා ඇවිද්දවලා තියෙන්නේ. මෝඩ යකා. කොහාෙම වුනත් අපි ඒ සිදුවීම එච්චර ගණන් ගත්තේ නෑ. අනික ගණන් ගත්තා කියලා නිකරුණේ ගමේ මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න පුළුයන් යෑ. අපි නම් වැඩේ ඉවර වෙලා ආපහු එනවා. ඒත මනයා ගමේ ඉන්න එපායෑ. ඒත් බර්ටියාට තාමත් පුදුමයි මලිතයා අපේ ගයිඩ් එක්ක පැටලිච්ච නැති එක ගැන.

නාමල් ඔයට යන අතර මගදී ජුන්ඩාගේ කලිසම මොකක හරි පැටලිලා ඉරිලා ගියා කියලා මතකයි. වෙන කලිසමක් ගෙනල්ලා තිබ්බේ නැති නිසා තරමක අවුලක් වුනත් මලිතගේ අක්කගේ දුව මොලේ පාවිච්චි කරලා ඉදිකටු නූල් ගෙනල්ලා තිබ්බ නිසා අපි ඔය ගලක් උඩ වාඩිවෙලා ජුන්ඩගේ කලිසම අලුත් වැඩියා කරගත්තා. ජුන්ඩා ගාව විතරක් නෙමෙයි බර්ටියා ගාවවත් මලිතයා ගාවවත් වැඩිපුර ඇඳුමක් තිබ්බේ නෑ. කැලේ හිටපු දවස් ගාණම එකම ඇඳුම පිටින් තමයි අපි හිටියේ. ඒ තියා කැලේ හිටපු දවස් ගාණටම මූණ හේදුවෙත් නෑ. කැලේ ඉන්න කොට කැලේ විදිහට ඉන්න තමයි අපි තීරණය කරලා තිබ්බේ. අනික ඔය දත් බුරුසු අමතර ඇඳුම් එහෙම උස්සන් ආවහම බර වැඩිවෙනවානේ.

අනික කාන්තා පාර්ශවය නැත්තම් අපිට ඇඳුම් ඇදගෙන ඉන්න උවමනාවක් ඇතිවෙන්නෙත් නෑ ඉතින්. ඇත්තටම කැළේ හිටපු ඒ දවස් ටික කිසිම බරක් පතලක් නැතුව නිදහසේ ගතකළා කිව්වොත් ඒක තමයි හරි. බාහිර ලොකේ වෙන දේවල් ගැන හොයන්න අපිට උවමනාවක් තිබ්බේ නෑ. එදා දවසේ ඒ වටපිටාවේ වෙන දේවල් විතරයි අපිට වැදගත් වුනේ.

කතාව කියවන අය comments දැමීම අඩුයි කියලයි බර්ටියා හිතන්නේ. කියවන කට්ටිය හොදයි කියලා හරි බැනලා හරි comment එකක් දානවා නම් ඒක බර්ටියාට ලොකු හයියක් වෙනවා. අවුරුදු ගාණක් ගතවෙලා නිසා වෙච්ච දේවල් 100% මතක නැතක් 95% මතක තියෙනවා. ඒක නිසා කතාවේ රසවත් බව නම් අඩුවක් වෙන එකක් නෑ කියලා බර්ටියා හිතනවා. එහෙනම් ඉතින් බර්ටියා ගිහිල්ලා අම්පාර 2007 - P-3 එක්ක එන්නම්. අළුත් අවුරුද්දට කලින් එන්න පුළුවන් වේචි කියලා බර්ටියා හිතනවා.

No comments: