අම්පාර 2007 - P-3

අළුත් අවුරුද්දට කළින් තුන්වෙනි කොටස දානවා කිව්වනේ. පොරොන්දුවක් දුන්නහම කඩන්න හොද නැති නිසා බර්ටියා නොනගතය වෙලාවේ " අම්පාර 2007 - P-3" බ්ලොග් සටහන ලියන්න ගත්තා.

මේ දාලා තියෙන ෆොටෝ එකේ තියෙන තැන තියෙන්නේ නාමල් ඔයට යන අතර මඟ මහ කැලෑව තුලේ. මේක විශේෂ තැනක් වෙන්නේ එක්තරා හේතුවක් නිසා. මෙතන එක සීමාවක තියෙන ගල් ඔක්කොම එකට ඇලිලා තියෙන්නේ. හරියට කජු කෑල්ලක තියෙන රට කජු වගේ. එතන තියෙන තිරුවානා, කළුගල් වගේ දේවල් එකට ඇලවිලා එක ලොකු ගල් කීපයක් වෙලා (පහලින් දාලා තියෙන ෆොටෝ එක බලන්න). මමත් මලිතයාගෙන් අහලා බැලුවා මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මලිතයා විස්තර කරපු විදිහට බොහොම කාලයකට ඉස්සරවෙලා (සමහර විට වසර මිලියන ගාණක් වෙන්නත් පුළුවන්) මෙතන ගිනි කන්දක් (කුඩා පරිමාණයේ) තිබිලා තියෙනවා, එහෙමත් නැත්නම් පෘතුවි කුහරය දක්වා දිවෙන පැල්මක්. අන්න ඒ ගිනි කන්දෙන් හරි පැල්මෙන් හරි ගලා ආපු ලෝදියක් එක්ක ඒ අවට පරිසරයේ තිබ්බ ලොකු කුඩා ගල් එකට කලවම් වෙලා කාලයකදි නිමිලා ගිහින් තියෙනවා. ඒවායින් ඉතුරු වෙච්ච පාෂාණ කොටස් තමයි මේ දකින්න ලැබෙන්නේ. අපි කුඩා හෝ පාෂාණ කොටසක් ගලවගන්න උත්සාහයක් දැම්මා Dr. රොහාන්ට ඒක පෙන්නන්න කියලා හිතාගෙන. එතකොට හරියටම විස්තරය දැනගන්න පුළුවන්නේ. ඒත් වැඩේ හරි ගියේ නෑ. අපිට වැඩේ කරගන්න සුදුසු ආයුධයක් තිබ්බේ නෑ.

මේ වෙනකොට වෙලාව හවස තුනට විතර ඇති. දැන්නම් හොදටම බඩගිනියි, මහන්සියි. ඒත් තාම ගමනේ ඉවරයක් නෑ. පොඩි විවේකයක් අරන් ඉස්සරහට යනකොට ජයතිලකලව හම්බවුනා. ජයාලව දැක්කහම අපිට මාර සැනසීමක් දැනුනේ. අපි පරක්කු හන්දා මහතුන් අයියයි ජයතිලකයි අපිව හොයන්න ඇවිල්ලා. වැඩියෙන්ම මහතුන් අයිය තමා හොයන්න යමු කියලා තියෙන්නේ. ජයතිලකලා තලගොයෙක් දඩයම් කරගෙන. ඒකත් ජයසිරි මංගලම්. කොහාම හරි තවත් විනාඩි 45ක විතර ගමනකින් පස්සේ අපි කට්ටිය කැළැව කෙළවර කරලා නාමල් ඔය වැව් පිටියට පය තිබ්බා. අම්මෝ පැය ගාණක අතිශයින්ම දුෂ්කර ගමනක අවසානය‍. පායන කාලේ හින්දා වැවේ වතුර මට්ටම හොදටම අඩුවෙලා. ඇත්තම කිව්වොත් අපි වැවේ තමයි ඇවිදගෙන ගියේ. අපිට තව ටික දුරයි අපි කදවුරු ගහන්න තීරණය කරලා තිබ්බ තැනට යන්න තිබ්බේ. කරුමේ කොච්චර අපේ පස්සෙන් එළවනද මන්දා? තනි අලියා වැච් පිටියේ එහා කෙළවරේ. දැන් ඉතින් මේකා යනකම් ඉන්න වෙනවා. අපි සද්ද නැතුව හිටියා හිටියා හරිගියේ නෑ. මළ කෙළියයි කෙළ බාල්දියයි කියන්න මේකා වැව් පිටියේ එහා පැත්තේ තියෙන කැලෑවට වැදුනා. හරි නම් වෙන්න ඕන අලියා අපිව පහුකරගෙන ගිහිල්ලා ආපහු අපි ආව කන්ද පැත්තේ කැලෑවට වදින එක. ඒකත් අපේ වෙලාව.

මොනා කරන්න අපිට ආපහු යන්නත් බෑනේ. අපි කඳවුර ගහන තැන වෙනස් කරලා වැවේ තව ටිකක් ඉස්සරහට ගියා. ජයතිලකත් කිව්වා රෑට තුවක්කුවත් තියන් ඇහැරගෙන ඉන්නම් මුකුත් අවුලක් වෙන එකක් නෑ කියලා. අපිත් ඉතින් ජයාව විශ්වාශ කරලා හිටියා. (මේ අපි අලියා යනකම් බලන් ඉන්නකොට ගත්ත ඡායා රූපයක්). දවල්ට උයන්නත් පරක්කු වැඩියි. ඒත් හොදටම බඩගිනියි. ඉතින් අපි තීරණය කලා අපි ගෙනාව මැගී නුඩ්ල්ස් ටික ලෑස්ති කරලා ගන්න.

මොරින් අක්කලා ඒක හදනකම් අපි ගියා දර ටිකක් එකතු කරගෙන් එන්න. රෑට ගිනි මැල දෙකක් වත් ගහන්න වෙනවා. මොකද කොයි පැත්තකින් වත් ආවරණයක් නැති නිසා. අනික අපි කූඩාරම් මොකුත්ම ගෙනල්ලා නෑ.

සෑහෙන්න මහන්සි වෙලා අපි සෑහෙන දර තොගයක් එකතු කරගත්තා. ලාෙකු සයිස් කොට තුන හතරකුත් එකතු කරගත්තා. කොට නැත්තම් මැලේ නිවිලා යනවා ඉක්මනටම වැව පැත්තෙන් එන හුළං පාරට. අපි දර හොයගෙන එනකොට නුඩ්ල්ස් ටික ලෑස්ති වෙලා ඉවරයි.බර්ටියයි මලිතයයි ජුන්ඩයි අපේ පංගුව ගලක් උඩ බත් ඔතන කොළයක් එළලා ඒකට බෙදා ගත්තා. අපිට කොහොමත් එහෙම කාලා පුරුදුයි ඉස්කෝලේ යන කාලේ ඉදලම. මලිතයා කටක් කාලා ලුණු ඩිංගක් මදියි කියලා අක්කගේ දුවට කිව්වා ලුණු පොඩ්ඩක් අරගෙන එන්න. ඒක ඕනේ නම් විනාඩියක් යන වැඩක්. අපි කොච්චර ඉක්මනට කෑවද කිව්වොත් ලුණු ටික අරන් දුව එනකොට අපේ නුඩ්ල්ස් ටික ඉවරයි. සෙල්ලම් නෑ. ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කාන්තා පාර්ශවය (මොරින් අක්කා, නෞචලී, වජිරා, සුදූ -වජිරගේ නංගි) උයන්න ගත්තා. මොකද අඳුර වැටුනහම වැඩ කරගන්න අමාරුයි. මනයලා පොල් ගාන්න ලී කෑල්ලකින් හිරමනයක් හදලා හිතාගන්නවත් බෑ. ගාණට හිරමනේක වගේ ලී කෑල්ලේ කට්ට කපලා. ජයත් දුම් ගහලා තිබ්බ තලගොයාව සුද්ද කරලා උයන්න ලෑස්ති කලා.

නාමල් ඔයේ ලස්සන විස්තර කරන්න බර්ටියාට වචන නෑ. ඇත්තටම ඒක වචන වලින් කියන්න බෑ. ඇහැට දකින්නම ඕන. බර්ටියා කලින් කිව්වා වගේ ඒක කීප දෙනෙකුට විතරක් ලැබෙන අවස්තාවක්. බලන්නකෝ නාමල් ඔයේදී ගත්ත මේ ෆොටෝ එක. ඇත්තටම ලස්සනයි නේද? වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. බර්ටියාටත් වැව දැක්කහම ඉන්න බෑ. පනින්නමයි හිතෙන්නේ. දවසම ඇවිදලා දාඩිය දාලා කැලේ රිංගලා ඇඟ පුරාම ජරාව.

බර්ටියා වැවට පනින්න ඉස්සරවෙලා බර්ටියා අහලා බැලුවා මේකේ කිඹුල්ලු ඉන්නවාද කියලා? මනයා ගත් කටටම කිව්වා ඉන්නවා කියලා. කෙළියා තාප්පෙට කියහන්කෝ. අනිත් පැත්තට මනයා ඉදන් කිව්වා බය නැතුව බැහැලා නාපන් කියලා. මේක හතර බීරි කතාවක්නේ. කිඹුල්ලුත් ඉන්නවලු බය නැතුව නාපන් ලු. බර්ටියා මනයට සුද්ද සිංහලෙන් අමතන්න හදනකොට මනය විස්තරේ කිව්වා බර්ටියත් එක්ක. වැවේ කිඹුල්ලු හිටියට මිනිස්සුන්ට කිඹුල්ලු බයලු. මේකයි හේතුව නාමල් ඔය මිරිදිය ධීවර කර්මාන්තය කරන වැවක්. මිනිස්සු ඇවිල්ලා දැල් ගහලා මාළු අල්ලනවා. කිඹුල්ලු දැල් වල පැටලෙනවලු සැරින් සැරේ. එහෙම පැටලිච්ච වෙලාවට මිනිස්සු කරන්නේ පැටලිච්ච කිඹුලා පිටින්ම දැළ බදිනවලු ඔරු කදේ. බැදලා හබල අරන් සබ්බුව දෙනවලු කිඹුලට තරු විසික් වෙනකම්. ඔය හේතුව නිසා කිඹුල්ලු බයයි මිනිස්සුන්ගේ සද්දෙට. කතාව ඇත්ත කියලා බර්ටියා හිතන්නෙත්. මොකද බර්ටියා නාමල් ඔයේ බැහැලා නාලා පීනලා තියෙනවා ඇති තරම් උදේ, දවල්, රූ දොළහට එකට, පාන්දර කියලා වෙනසක් නැතුව‍. කවදාවත් අපිට කිඹුලෙක්ගෙන් කරදරයක් වෙලා නෑ. මොකද බර්ටියාගේ ඇඟේ මස් නැති එකක් යෑ කිඹුලට කන්න. කොහොම හරි ඔය කතාවෙන් පස්සේ කට්ටියම නාමල් ඔයට බැහැලා නා ගත්තා. අපිට බොන්න, උයන්න වතුරත් නාමල් ඔයෙන්ම තමයි ගත්තේ. මේ දක්වාම අපිට බඩේ කැක්කුමක තරම් දෙයක්වත් හැදිලා නෑ කැලේ වතුර පාවිච්චි කලා කියලා. නාමල් ඔයේ වතුරත් එහෙමම තමයි.

ඔය අවු අස්සේ අපි දැක්කා තඩි හාවෙක් අපි ඉන්න තැන කිට්ටුවෙන් තිබ්බ පඳුරු අස්සේ සෙල්ලම් දානවා. අපි වහාම මේ ගැන මහතුන් අයියව දැනුවත් කලා. මහතුන් අයියා කිව්වා දැන් බෑ අපි රෑ වෙලා බලමු කියලා. අපි නාලා කරලා 7.00 - 7.30 වෙනකොට කෑවා. තලගොයි මසුස් පරිප්පුයි බතුයි. තලගොයාගෙයි කුකුළගෙයි වෙනසක් කියන්න බෑ. ඊට පස්සේ වාත තෙල් සාත්තුව. කොහොම හරි අපි ගෙනාපු වාත තෙල් බෝතල් වලින් එකක් බිදිලා තිබ්බා. එකක් ඉවර වුනා කළින් දවසේ රූ ඇඟේ පතේ අමාරුවට පාවිච්චි කරලා. ඉතුරු එක අපි අවසාන කළා එදා රෑ කළින් වගේම. ඔය වැඩේ ඉවර වෙනකොට 10.00 විතර ඇති. ඊට පස්සේ අපි ටොච් කෑල්ලකුත් අරන් හාවව හොයන්න ගියා. ඉන්නවා ඉන්නවා හාවා කොහෙවත් ගිහිල්ලා නෑ. මහතුන් අයියා වන් ෂාෙට්ම වැඩේ දුන්නා. ඒ වෙලාවෙම හාවව සුද්ද කරලා ඉව්වා. තව විනාඩි දහයක් යනකොට හාවෙක් හිටියද කියලත් නෑ.

ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි නිදියන්න තීරණය කළා. ගිනි මැලේට දර දාලා මැලේටම කිට්ටු වෙලා අපි නිදා ගත්තා. බර්ටිලා නිදාගන්න කොට බිමට එලන්න දෙයක් ගෙනිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් බර්ටියයි ජුන්ඩයි මලිතයි තුන්දෙනා තණකොළ ගොඩේම නිදාගන්න තීරණය කළා.

අවුලකට වුනේ වැව් පිටියේ වැලි මැක්කෝ හිටපු එකයි. මැක්කෝ සෙට් එක සැරින් සැරේ අපිට ෂොට් එක දෙන්න ගත්තා. අපිට තිබ්බ මහන්සියට නින්ද ගිය නිසා ඒ වෙලාවේ ඒක දැනුනේ නැතිවුනාට පහුවදා කහලා කහලා බිබිලි දාලා ආවා කට්ටයගෙම ඇඟ පුරාම. ඒ විතරක් නම් මදෑ උන් ඇලිලත් ඉන්නවා හමට. පාන්දරට වැව් පිටිය හීතලයි කළින් දවසේ හිටපු ගල් තලාවටත් වඩා. කිසිම ආවරණයක් නැතුව වැව් පිටියේ නිදියන්න ඇත්තටම අමාරුයි. පාන්දර දෙකට විතර බර්ටියා ඇහැරලා බලනකොට ගිනි මැළේ නිමිලා ගිහිල්ලා. ඒ මදිවට මුරට ඉන්නවා කියපු ජයත් හොදටම නිදි. තනි අලියා ආවා නම් එහෙම අපිට දුවන්න පාරවලුත් නෑ. එහෙම නැත්තම් කට්ටියට ස්ටිකර් ගැහුවා වගේ වැව් පිටියේ ඇළිලා ඉන්න තිබ්බා. බර්ටියා වට පිට බලනකොට ජුන්ඩත් ඇහැරිලා ඉන්නවා දැක්කා. පස්සේ අපි දෙන්නා ජයාව හොයගෙන ගිහින් මිනිහට ඇහැරෙව්වා. අලියා ආවොත් එහෙම අපි දෙන්නා අතින් වෙඩි තියන්න යෑ. ඊට පස්සේ ගිනි මැළෙත් අවුලොලා අපි ආයෙත් පොඩ්ඩක් නිදා ගත්තා.

ඉතුරු විස්තර අම්පාර 2007 - P-4 කොටසින් කියවමු. එහෙනම් සුභ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් වේවා කියලා බර්ටියා යනවා.

No comments: