මේ ෆොටෝ එකේ තියෙන්නේ අපි පළවෙනි දවසේ නිදා ගත්ත ගල් පොත්ත. ගල් පොත්ත උඩ තියෙන පොකුණු දෙකත් එක්ක ගත්ත ෆොටෝ එකක් තිබ්බා නම් ගාෙඩක් වටිනවා (එක පොකුණක කෑල්ලක් මේ ෆොටෝ එකේ පේනවා). ඒත් 2007 ගමනේදි එහෙම ගත්ත ෆොටො එකක් නෑ. මොකද බර්ටියාට අනිත් අයගේ ෆොටොස් වලින් යැපෙන්න වුනා කැමරාවක් නැති නිසා. ෆොටොස් ගත්ත කට්ටියට ගොඩක් පින් ඉතින්. විශේෂයෙන්ම මොරින් අක්කගේ පුතා මිතුන්ට. මිතුන්ගේ තමයි මේ ෆොටෝස් ඔක්කොම. මේ ගල් පොත්ත උඩ පුරාණ කාලේ ගොඩනැඟිලි වල නටඹුන් කීපයක් තියෙනවා. සමහර විට පුරාණ පන්සල් වෙන්නත් පුළුවන්. නිධන් තියෙනවා කියලත් සමහරු කියනවා. එහෙම නිධානයක් රකින බලවේගයක් හීනෙන් පෙනිලද දන්නේ නෑ අපිට උඩින් තියෙන ගල් පොත්ත උඩ නිදා ගන්න එපා කිව්වේ. කව්රු දනී ද ඇත්ත නැත්ත හොයාගන්න විදිහක් නෑනේ.
මේ තියෙන්නේ අපි පළවෙනි දවසේ කන්ද නගින කොට කැලේ ගහක තිබ්බ දෙබර වදයක්. කොහොමද සයිස් එක. බැරි වෙලා හරි අපේ කටවල් වල සද්දෙට මේක ඇවිස්සිලා අපිට අනින්න ගත්තතා නම්? එහෙනම් අපි තාම ඒ කැලෑව ඇතුලේ පණ කඩා ගෙන දුවනවා. ස්භාදහමේ නිර්මාණ අති විශිෂ්ඨයි අපේ නිර්මාණ වලට වඩා. සෙල්ලම් නෑ නේද? මේ දෙබරෙට පොඩ්ඩක් උඩිහින් තිබ්බ මී වදයක් කඩන්න ගිහිල්ලා තමයි ඉන්දිකයා ඔළුව පලාගත්තේ. ඒ මී වදේ තිබ්බේ තරමක් උඩ. ගහට නගින්න විදිහක් තිබ්බෙත් නෑ. කඩාගන්න තියෙන ඕන කමට ගල් වලින් ගැහුවා. කරුමෙට එක ගලක් ඇවිල්ලා ඉන්දිකයගේ ඔළුවේ වැදුනා. හොද වෙලාවට ඒක දරුණු තුවාලයක් වුනේ නෑ. නැත්නම් කන්ද නැගිල්ල පැත්තකින් තියලා අපිට ඉස්පිරිතාලේ යන්න වෙනවා. මේ දෙවෙනි දවසේ අපි නාමල් ඔයට යන්න කන්දක් නගින ගමන් ගත්ත ඡායා රෑපයක්. ඔය හරිය නඟින කොට බර්ටියාට පාන් කියාග ගන්න බැරුව තමයි හිටියේ. එච්චරටම මහන්සියි. ඒ මහන්සිය ඔක්කොම නැතිවෙලා ගියා මෙතන හුළං පාරක් වැදි වැදි වාඩිවෙලා මේ පහළින් පේන දර්ශනය බලන් ඉන්න කොට. ගොඩක් ලොකු ගස් එහෙම අපිට දකින්න හම්බවුනේ නෑ මේ හරියෙදි. ගොඩක් තැන් තණකොළ වගේ පඳුරු ජාතියකින් වැහිලා තිබ්බේ. ෆොටෝ එකෙ ඒ තණකොළ වගේ පඳුරු වෙනවා මේක තවත් එක නැග්මක්. මෙවැනි නැග්මවල් සිය ගාණක් තිබ්බා. සමහර වෙලාවට එක දිගට මේ වගේ නැග්ම වල් 15 - 20 තියෙනවා. කොහොමද සනීපේ? ඔය තියෙන ඔක්කොම බාධාවල් තරණය කරගෙන පහුකරගෙන තමයි බර්ටියා ඇතුළු පිරිස මේ ගමන ගියේ. දැන්නම් පුදුමත් හිතෙනවා මෙච්චර සෙල්ලමක් අපි දැම්මාද කියලත්. සමහර තැන්වල ලොකු වැල් දිගේ ඇවිදගෙන යන්නත් තිබ්බා. සමහර තැන්වල බොහොම පොඩි ඉඩකඩක් තමයි තිබ්බේ කකුල තියාගන්න. දැන් නම් මේ සෙල්ලම් දාන්න බැරිවේවි කියලා හිතනවා. මේ තියෙන්නේ ගෝන්නු දෙන්නෙක් ලැගලා හිටපු තැනක්. අපි එන්න ටික වෙලාවකට කළින් තමයි උන් දෙන්නා මෙතනින් මාරු වෙලා තියෙන්නේ. බොහොවිට අපේ සද්දේ ඇහිලා වෙන්න ඇති. අපේ සද්දේ ඇහුන ගමන් ගෝන්නු දෙන්නට හිතෙන්න ඇති කමින් කලර් ඊස් නොට් ගුඩ් කියලා. හිටියොත් එන එවුන්ගේ බොක්කේ තමයි නවතින්න වෙන්නේ කියලා දෙන්නා ටක් ගාලා මෙතනින් මාරු වෙන්න ඇති. පොරවල් හැංගිලා බලාගෙන හිටියද යන්නේ නෑ අපිව කොචොක් කරන්න වගේ. කැළැව ඇතුලේ අපේ සද්දේ ගොඩක් දුරට ඇහෙනවා කිසිම අවුලක් නැතුව. තුවක්කුව පත්තු කරගන්න තිබ්බා නම් කෑම තමයි ඉතින්. වෙලාව තමයි බර්ටියගේ වගේම සත්තුන්ගෙත්. මොනා කරන්නද? මේ අපි කැලේ අතරමං වෙලා (අතරමං කරලා කිව්වොත් තමයි හරියටම හරි වෙන්නේ) ඉන්න කොට ගත්ත ෆොටෝ එකක්. මේ අපේ කට්ටිය බත් විතරක් කන වෙලාව බඩගින්න වැඩි කමට. මේ වෙනකොට දෙකට විතර ඇති. උදේ කෑවට පස්සේ එක දිගටම ඇවිද්ද (කඳු නැගීම හා බැසිම) එක තමයිනේ කළේ. බඩගිනි වෙන එක අහන්න දෙයක් යෑ. මෙතන ඉදලා අපි තේත් හදන් බීලා තමයි ආපහු වැව් පිටියට යන්න පටන් ගත්තේ. මේ ඇවිල්ලා මනතුංග පවුල. මනයයි මනයගේ නෝන වජිරයි (සෝමා) මනතුංගගේ පුතා සඳුයි. අනිත් කෙනා වජිරගේ බාලම නංගිද කොහෙද. කොහොමද නැගිල්ල? මේක නැගිල්ලට අපිට සෑහෙන වෙලාවක් ගියා. පේනවානේ කෙළවරක් පේන්නේ නෑ කියලා. සෑහෙන කාලයක් ශ්‍රමයක් මේ ගමනට ගත වුනා මේ වගේ නැග්මවල් ගොඩක් තිබ්බ නිසා. කකුල් වලට සෑහෙන්න සනීපයි. රෑට වින්ටෝජිනෝ ගාලා මසාජ් කරන්න වුනා පහුවදා ඇවිදින කොට කකුලේ මස් පෙරලෙන එක නවත්තන්න. ගමේ අයට නම් මේවා ගාණක් නෑ. ඒ කට්ටිය නිතර දෙවෙලේ මේ කන්ද නගිනවා එයාලගේ වැඩ වලට. අනික අපි වගේ නෙමෙයි ඇඟ මහන්සි කරලා වැඩ කරන කට්ටිය නේ. හැමෝම හේන් වැඩ කුඹුරු වැඩ කරන අය. ඊට අමතරව ගොඩක් කට්ටිය ඒ දවස් වල ග්‍රාම ආරක්ෂක බලකායේ (දැන් නම් සිවිල් ආරක්ෂක බලකායේ) වැඩ කලේ. ඒ කට්ටියට මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි. තවත් බැසීමක්. බර්ටියාට මතක විදිහට දෙවෙනි දවසේ නාමල් ඔයට යනකොට තමයි මේ හරිය පහුකලේ. නැගිලි වගේම තමයි බැසිලිත්. බහින්න වුනහමත් එක දිගට හැතැප්ම දෙක තුන බහින්න තියෙනවා. එත් බැහිලි නම් එච්චර දරුණු විදිහට ඇඟට දැනෙන්නේ නෑ. එත් ගල් උඩින් බැහැල්ල තරමක් වේදනාකාරියි. අනික පරෙස්සම වෙන්න වෙනවා. කල්පනාවෙන බැස්සේ නැත්නම් පිනුම් ගහන්න තමයි වෙන්නේ. ගැලැවිච්ච ගලකට අඩිය තිබ්බොත් දෙවියන්ගේම පිහිටයි.මේක ඇවිල්ලා ජුන්ඩයි බර්ටියයි එකට ගත්ත ෆොටෝ එකක්. අවසාන දවසේ නාමල් ඔය ඉදලා ගමට එන්න කන්ද නගින ගමන් මිතුන්ට කියලා ගත්තේ. බර්ටියාට කන්ද නගින කොට කකුලේ මස් පෙරලෙන්න අරගෙන ක්‍රෙප් බැන්ඩේජ් එකකුත් දාගෙන හෙමින් සැරේ තමයි කන්ද නගින්න වුනේ. සැරින් සැරේ ක්‍රෙප් බැන්ඩේජ් එක ලිහෙන කොට ඒක තද කරලා ආපහු බදින්නත් වුනා. ඒක නිසා කන්ද නගින බහින ගමන් කාට හරි ඇණයක් වෙන්න (බැන්ඩේජ් එක දාන්න කියන්න) බර්ටියාට සිද්ධ වුනා. ගමට පල්ලම් බහින්න මොහොතකට කළින් ගත්ත ෆොටෝ එකක් මේක. අපි බහින්න හදන කොටම ශාමිනී (අපේ කැම්පස් එකේ යාළුවෙක්) කතා කලා. කන්ද මොබයිල් එක කනේ තියාගෙන බහින්න පුළුවන් කමක් නැති නිසා අපි ෆෝන් එක ස්පීකර් දාලා ශාම්ට සෑහෙන බයිටක් දුන්නා. ම් ම් ම් විනාඩි විස්සක විතර බයිටක්. ඔය කතාව ඉවර වෙලා තමයි අපි ආපහු ගමට එන්න තියෙන අමාරුම බැහිල්ල බහින්න පටන් ගත්තේ. මේ කොටසත් එක්ක අම්පාරේ 2007 ගමන ගැන විස්තර ඉවර වෙනවා. ඊට පස්සේ කීප සැරයක් අම්පාරේ ගියත් කඳු නගින්න ගියේ නෑ. ආයේ 2010 දි තමයි කන්ද නැග්ගේ. ඒ පාර ගියේ මලිත උගන්නපු ඉස්කෝලේ ළමයි කට්ටියකුත් (YES Team) එක්ක. ඒකත් බොහොම රසවත් අත් දැකීමක්. ඒක ගැන පහුවෙලා ලියන්නම්. එක දිගටම අම්පාර ගැන ලිව්වොත් ඒක නීරස වෙවි කියලා හිතෙනවා. එහෙනම් බර්ටියා යන්න යනවා අදට.
No comments:
Post a Comment