අම්පාර 2007 - P-4

තුන්වෙනි දවසේ උදේ නැඟිටලා බැලුවහම තමයි නාමල් ඔයේ හොදම ලස්සන දැක්කේ. ඈතින් පේන කඳු වැටියට උදෑසන හිරු එළිය පතිත වෙලා අතිශයින් චමත්කාර දසුනක් මවනවා. නාමල් ඔය උදෑසන මීදුම අස්සේ ලස්සනට හිනා වෙනවා. ඒ දසුන වචන වලින් විස්තර කරන්න අමාරුයි. බර්ටියා කියන මේ කතාවට ඒ දර්ශනය දැක්ක ඕනම කෙනෙක් එකඟ වෙනවා කිසිම කතාවක් නැතුව.

බර්ටියාට මේක බොහොම නැවුම් අත්දැකීමක් වුනා. අපි කට්ටිය හෙමින් සැරේ උදේ කිරි එක බොන ගමන් අද දවසේ වැඩසටහන ප්ලෑන් කළා. අද අපි ආපහු කහටගස්යායට යන්න ඕන. මොකද මලිතගේ අක්කට හෙට ආපහු ගාළු යන්න වෙලා තිබ්බා. ආපු පාර දිගෙම තමයි ආයේ අපිට යන්න තිබ්බේ. අපිට තිබ්බේ උදේට කෑම කාලා ආපහු කන්ද නගින්න පටන් ගන්න. බර්ටියා ඔය කඳු නගින වැඩ වලට හරි අකමැතියි. ඒත් කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකෝ නාමල් ඔයේ නවතින්න යෑ. වජිරා ඇතුළු කාන්තා පාර්ශවය උදේට කන්න ලෑස්ති කලා. බර්ටියාට මතක විදිහට උදේට කෑවේ බත්. අපි ඉතින් පෝලිමේ ඉන්නේ නැතුව විවෘත වැසිකිලියකට ගිහිල්ලා හුළං වැදි වැදී ඒ කටයුත්තත් ඉෂ්ඨ කරගෙන මූණ කට එහෙම හෝදගෙන ගමනට ලෑස්ති වුනා. මලිතයා කිව්ව විදිහට ගෑනු කට්ටිය හිටියේ නැත්තම් කට්ටිය රෙදිත් නැතුව තමයි ඉන්නේ. ඊළඟට ඉතුරු වුනේ උදේට කෑම කන එක තමයි. බත් තමයි අපි උදේට කෑවේ ආයේ දවල් වෙනකම් කන්න නැති නිසා.

උදේට කාලා ඉවර වෙලා අපි ඒ අවට අස්පස් කලා. දර අඟුරු ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් (ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල්) වැරදිලාවත් ඒ පරිසරයේ ඉතුරු නොකර යන්න අපි වග බලා ගත්තා. මොකද ඒ පරිසරය එච්චරටම වටිනවා‍. කිසිම කතාවක් නැතුව අපි ඒ පරිසරය අනාගත පරපුරට ඉතුරු කරන්න ඕන. ඒක අපේ යුතුකමක් වගේම වගකීමත් වෙනවා.

අපිට ආයිත් ආපු පාරෙම කැලේ මැද්දෙන් දැවැන්ත කඳු නැගිල්ලක් ඉතුරු වෙලා තිබ්බා. දවස් ගාණක් මහන්සිවෙලා හිටපු අපේ කකුල් වලට නම් මේක ලේසි පාසු වැඩක් වුනේ නෑ. ඇත්තටම ඒ නැග්ම නම් බර්ටියාට සෑහෙන්න අමාරු වුනා‍. බර්ටියාගේ කකුලේ ලොකු මස් පෙරලිල්ලක් ඇතිවෙලා බැන්ඩෙජ් එකක් දාන්න වුනා. බැන්ඩේජ් එකකින් දකුණු කකුලත් වෙලාගෙන හැරමිටියකුත් අරගෙන තමයි බර්ටියාට ගමනේ ඉතුරු ටික නගින්න වුනේ. මිතුන් පැපරාසි වැඩේ තව දුරටත් සාර්ථකව කරගෙන යන නිසා වෙච්ච දේවල් සෑහෙන ප්‍රමාණයක් කැමරා කාචේ සටහන් කරගන්න මිතුන්ට අවකාශ ලැබුනා. එහෙම ගත්ත ෆොටොස් තමා බර්ටියා බ්ලොග් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ජුන්ඩත් කැමරාවක් ගෙනිච්චත් මුළු ගමනටම ඒ කැමරාවෙන් ෆොටෝස් තුන හතරකට වඩා ගන්න බැරිවුනා. බර්ටියා හිතන්නේ ජුන්ඩාගේ කැමරාව කැලේ ගලක ගැහුවා නම් වඩාත් හොදයි කියලා. අඩු ගානේ උස්සන් යන බර හරි අඩු වෙනවා නේ.
ඔය විදිහට කොහොමත් අපි කට්ටිය පැය දෙකකට වැඩි කාලයක් කන්ද නැගලා ආපහු ගමට බහින තැනට ලඟා වුනා. කියලා වැඩක් නෑ. ඒකත් පට්ටම බැස්මක් තමයි ඒකත්. එක දිගටම කිලෝමීටර තුන හතරක් බහින්න ඕන. සමහර තැන් වලදි ඉළුක් ගාලවල් තියෙනවා. සමහර තැන්වල පඳුරු වැල් එහෙම අල්ලන් බහින්න වුනා. ඒත් සමහර තැන්වල දී අල්ල ගන්න වැලක් වත් තිබ්බේ නෑ. ඒ මදිවට බහින පාරේ තැනින් තැන ගලුත් ගැලවිලා. බොහොම පරිස්සමින් අමාරුවෙන් ඉතාමත් දුෂ්කර බැහැල්ලක් තමයි බහින්න තියෙන්නේ. සමහර තැන්වල පාර වේලිච්ච කොළ වලින් වැහිලා. ඒවා ලිස්සනවා මාරෙට. වැරදියට අඩියක් තිබ්බොත් ගලක් ගැලවුනොත් එහෙම සෑහෙන දුරක් රූටලා පහලට යන්න නොමිලේ අවස්තාවක් ලැබෙනවා කිසිම කරදරයක් නැතුව. ඊට පස්සේ නොමැරී ඉතුරු වුනොත් මූණ අත පය ලෙලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ. බර්ටියා පස්ස බිම තියලා හිමින් සැරේ රූටලා ගිය තැනුත් තිබ්බා. එක තැනක පාර හරහට ගහක් වැටිලා තිබ්බා. අර බෑවුමේ ගහ උඩට නැගලා ආයේ බහින්නත් වුනා. හොද වෙලාවට ගහ සෑහෙන්න ලොකු එකක්. බැරිවෙලා හරි කව්රු හරි ගහ උඩ ඉන්න වෙලාවක ඒක පෙරලුනා නම් හිටපු එකාව ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ. වාසනාවට අපේ කාටවත් එහෙම අනතුරක් සිද්ධ වුනේ නෑ. ඔය විදිහට සෑහෙන වෙලාවක් කට්ටිය හෙමින් සැරේ පහලට බැස්සා. අනතුර වැඩි වුනත් මේ බැහිල්ල බර්ටියාට අමාරු වුනේ නෑ. නගින කොට වගේ හති දැමීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.

ඔහොම පැයක් දෙකක් කන්ද බැස්සට පස්සේ ගමට එන පාරට එන්න අපිට පුළුවන් වුනා. දැන් නම් පාන් කියාගන්නවත් බෑ. මෙහෙම බැහැලා ඉවර වුනාට අපේ ගමන නම් ඉවර වෙලා තිබ්බේ නෑ. මෙතන ඉදගෙන තව සෑහෙන දුරක් යන්න තියෙනවා මනයලගේ ගෙදරට. ඒ වේලාවේ නම් තව අඩියක්වත් ඇවිදගන්න බැරි සයිස් එකේ තමයි අපි වැඩිහරියක් හිටියේ. අත පය රිදෙනවා. බර්ටියගේ කකුල් දෙකත් නොසෑහෙන්න රිදෙනවා. කන්ද නගිනකොට කෙණ්ඩ පෙරළුනත් එක්කනේ. තාමත් බැන්ඩේජ් එක දාගෙන තමයි බර්ටියා හිටියේ.

මෙතන ඉදගෙනත් මනයලගේ ගෙදරට තව සෑහෙන දුරක් යන්න ඕන. දැන්නම් හොදටම බඩගිනියි. ප්ලෙන්ටියක් බොන්න තිබ්බා නම් මරු. ඒත් මනයගේ ගෙදරට යන්න තියෙන දුර මතක් වෙනකොට ඇඟ දනවා. ඒ වෙලාවේ තමයි බර්ටියා දැනගත්තේ දවල්ට කන්න අපි යන්නේ මනයලාගේ ගෙදරට නෙමෙයි කියලා. බර්ටියාලා දවල්ට කන්න ගියේ සුබේලගේ ගෙදරට. බර්ටියා සුබේලගේ ගෙදරට ගිිහිල්ලා ඉස්සෙල්ලාම කලේ වතුර කළයක් විතර බීපු එක. ඊට පස්සේ කුරුම්බා ගෙඩියක් බීලා එහෙම තමයි බර්ටියා ඇතුළු පිරිස මූණ කට හෝදගන්න ගියේ. ඊට පස්සේ මිදුලේ පුටු තියාගෙන වාඩි වෙලා කෑම ලෑස්ති වෙනකම් කතා කර කර හිටපු එක. අම්මො කකුල් දෙකත් උඩ තියන් ඉන්න කොට දැනුන සනීපේ. ඔය අස්සේ ජයතිලකත් ආවා සුබේලගේ ගෙදරට. ටිකකින් කෑම බෙදලා අරන් ආවා. බර්ටියාට හොදට මතකයි වැව් මාළු තිබ්බා කියලා කෑම එකට මොකද බර්ටියා එදා තමයි ඉස්සෙල්ලාම වැව් මාළු කෑවේ. තම පිපිඤ්ඤා සම්බෝලෙකුයි පපඩමුයි පරිප්පුයි තිබ්බා. දවස් දෙකකට විතර පස්සේ තමයි මෙහෙම පිළිවෙලකට කෑමක් කන්නේ. බර්ටියයි මලිතයයි කෑවා හුස්ම ගන්න බැරිවෙනකම්ම. වැව් මාළු එක නම් මාර රසයි. ගෑවිච්ච තැන කන්න පුළුවන්. බර්ටියා නම් හිතන්නේ බර්ටියා වැව් මාළු එකට සියළු යුතුකම් ඉෂ්ඨ කලා කියලා.

දවල්ට කෑම කාලා පුටුව උඩට වෙලා ඉන්න ගමන් මලිතයා නිකමට වගේ ඇහුවා T-56 නැද්ද කියලා. බඩු හෑව්. බර්ටියාගේ කට කණ ගාවටම ගියා ඒක දැනගත්ත ගමන්. අපි ජයත් එක්ක ආයුදෙත් අරගෙන සුබේලගේ වත්තේ එහා කොනට (කන්ද පැත්තට වෙන්න) ගියා. ජයා T-56 ගලවලා අපිට විස්තර කරලා දුන්නා ඒක ගැන. ආපහු ඒක හයි කරලා අපි කීප දෙනෙකුට වෙඩිල්ලක් දෙකක් තියන්න අවස්තාවක් දුන්නා. ආයුදෙන් ඉලක්කේ අල්ලන විදිහ එහෙම ජයා අපිට විස්තර කලා. එහෙම කරලා ඈතින් තිබ්බ නුග ගහක උඩ කරුව අපේ ඉලක්කේ විදිහට සටහන් කළා. අවස්තා දෙක තුනකට පස්සේ බර්ටියාගේ අවස්තාවත් ආවා. බර්ටියා ගාණට තිතට නුග ගහේ උඩ කරුවට එක පාරින්ම ෂොට් එක තිබ්බා. කාටද ආඩම්බර. බර්ටියාට නේ වෙන මොකාටද? ඊට පස්සේ පඳුරු අස්සේ හොයලා හොයලා යන්තම හිස් පතොෙරොම් කොපුව හොයා ගත්තා. බර්ටියාට මතක විදිහට මිතුන්ගේ යාළුවා තමයි ඒක හොයලා දුන්නේ.

ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කට්ටිය ආපහු මනතුංගගේ ගෙදර එන්න පිටත් වුනා. මනයගේ ගෙදර ඇවිල්ලා ටික වෙලවක් ඉදලා බර්ටියයි ගියා දඹේ ඇලට ජුන්ඩයි මලිතයි එක්ක නාගන්න. දඹේ ඇලෙත් වතුර හිදිලා ඒ දවස් වල. තරමක් උඩහට වෙන්න වතුර පිරිච්ච වලක් තියෙනවා. එතනට ගියහම ගිලිලා නාගන්න පුළුවන්. අම්මෝ වතුරේ ගිලිලා ඉන්නකොට දැනෙන සනීපේ, කියලා වැඩක් නෑ.

ඔය අස්සේ රන්ජත් ඇවිල්ලා හිටියා මනයගේ ගෙදරට. අපි ඉතින් පොඩි චැට් එකක් දාලා තීරණය කළා හවසට උහන පැත්තේ ගිහිල්ලා තෙල් බෝතලයකුත් අරගෙන නවගිරියාවේ වැවට ගිහිල්ලා පොඩි ජොලියක් දාන්න කියලා. මලිතගේ අක්කට ගොනාගොල්ලට යන්න ඕන වුනා කාවද බලන්න. රන්ජගේ ත්‍රීවීල් එකෙයි මනයගේ බයික් එකෙයි කට්ටිය ගොනාගොල්ලට ගියා. මලිතයි රන්ජයි අක්කලාව දාලා ආපහු එනවා කිව්වා. මනයලා ආපහු ආවහම අපි සෙට් එකත් අර ත්‍රීවීල් එකටම නැගලා නවගිරියාව යන්න පිටත් වුනා. ඒ ගිය ගමන අවසාන වෙන්නේ කව්රුවත් හිතුවේ නැති විදිහට. ජීවිතයේ වැඩියෙන්ම බය දැනිච්ච දවසක් තමයි එදා. මේ වැඩේ දී අන්තිමට හිතපුවත් නැති මරාලයක් කඩා වැටුණා. අම්මෝ ඒක ගැන මතක් වෙනකොටත බර්ටියාගේ ඇඟ හිරිවැටෙනවා‍. එ ගැන දැනගන්න ඕනේ නම් අම්පාර 2007 - P-5 කියවන්න.

No comments: