අඳුරේ දඩයම්කරු 01 - පහරදීම

     ස්වර්ගයේ වැඩ සිටිනා සර්ව බලධාරි පියාණෙනි, අප ආරක්ෂා කළ      මැන.

      කට වහපන් ගැණියේ, එලාගේ යාදිනි හඩ වියැකී යන්නටත් මත්තෙන්      ක්ලයිඩ් එලාගේ කණට කෙදිරුවා. උඹගේ වැලපිල්ල එළියේ ඉන්න      එවුන්ට ඇහුනොත් එහෙම අපි ඔක්කොටම වළපල්ලට තමයි යන්න      වෙන්නේ. ඔය පොඩි එකීට අඩන්න දෙන්න එපා.

     නිට්වික් ස්කොට්ලන්තයේ කෙළවරකට වෙන්න පිහිටි කුඩා සුන්දර      ගම්මානයක්. ගොවිතැනින්, මසුන් ඇල්ලීමෙන් ජීවිකාව ගෙනගිය පවුල්      තිහක් තිස්පහක් විතර මේ ගමේ පදිංචිවෙලා හිටියා. ඒත් සති කීපයක      ඉදලා මේ සුන්දර බව ගිලිහිලා ගිහිල්ලා තිබ්බා. ගම්මානය මරණීය සළු      පටක පැටලිලා හිටියේ. මේ වන විටත් ගම්වැසියන් කීප දෙනෙක්ම ඉතාමත් භයානක විදිහට මරලා දාලා තිබ්බා. ඔවුන්ගේ සිරුරු කීතු කීතු කරලා තිබ්බත්, ඒ මරණ වලට වග කියන්න ඕන කවුද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. මළ සිරුරුවල අවශේෂ වු කොටස් පමණයි ගම්වැසියන්ට හොයාගන්න ලැබුණේ. මේ හින්දා මුළු ගම්මානයම භීතියට පත්වෙලා හිටියේ.

සෑදෑ අදුර වැටෙන කොටම ගෙවල් ඇතුලට වී දොර ජනේල් වසාගන්නා ගම්වැසියන්ට රැයේ අඳුර මකන්න එළියක් වත් දල්වන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ජනේල් පියන් වසා දමා ඒවායේ අමතර ආරක්ෂාවට හරස් අතර ලෑලී පටි සවිකර තිබ්බා ගමේ හැම ගෙදරකම. දොරවල් වලට අඟුල් කීපයක්ම දමා වසා තිබ්බත් පහුගිය ගිය දිනෙක් නිවස ඇතුලේ ජෙකොබ්ව මරා දමා තිබුණ නිසා ඒ ගැනත් වැඩි විශ්වාසයක් තියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. මේ හින්දා ගෙදර තියෙන කබඩ් එකක් වගේ බර දෙයක් ගෙදර දොරටුව වැහෙන්න තියන්න බොහෝ ගම්වැසියන් මේ වෙනකොට පෙළඹී සිටියා.

මේ අයුරින් දොර ජනෙල් ආරක්ෂා කරගන්නා ගම්වැසියන් සවස හය පමණ වනවිට, බොහෝවිට නිවසේ ඇති එකම කාමරයට ගුලිවී මුළු රැයම නොනිදා පහන් කළා.

සශ්‍රිකව වැඩීගෙන ආ තිරිඟු පැල මේ වන විට වියැළී යමින් තිබ්බා. ඒ කිසිවෙකුටත් නිසි පරිදි ගොවිතැන් කටයුතු වලට අවධානයක් ලබාදෙන්න හැකියාවක් නොලැබුණ නිසයි. ගමට තිබ්බ කුඩා පල්ලියට එකතු වු ගම්මුන් මේ ගැන සාකච්ඡා කළත් පල්ලියේ පියතුමන්ටවත් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් තිබ්බේ නෑ. මුළු ගම්මානයම මේ වෙනකොට අමිහිරි නිහඩ බවක ගිලිලා තිබ්බේ. දිනෙන් දින සිදුවන මරණයන් ඒ අමිහිරි නිහඩ බව තවත් ත්‍රීවුර කලා.

ස්කොට්ලන්තයේ අයින්හොලොව් පල්ලිය
ෆාදර්, අපි මොකක්ද දැන් කරන්නේ. අපේ වගාවන් දවසින් දවස පාළුවෙලා යනවා. මාළුවෙක් අල්ලගන්න විලට යන්න විදිහක් නෑ. අපි අපේ දරුවන්ට මොනවද කන්න දෙන්නේ? රෑ එළිවෙනකම් නින්දක් නෑ. අපේ පොඩි එකා පොඩි සද්දෙකටත් ගැස්සෙනවා. ෆාදර්, මේවා කියන්න අපිට වෙනකෙනෙක් නෑ ඔබ ඇරෙන්න. ඒ ගම්පතියා වු කැලන්.

අපිට මේ ගම අත ඇරලා දාලා යන්න තමයි වෙන්නේ මේ විදිහට ගියොත්. ඒත් ඒකට වත් ඉඩක් තියෙනවද කියලා මම දන්නේ නෑ ෆාදර්.

ඒත්, කැලන් ගිය සතියේ එබ්‍රහම්ව මරලා දාලා හිටියෙත් ගම්මානෙන් එළියට යන පාරේ. අපිට මේ ගමෙන් පිටවෙලා යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නෑ.

දරුවා එස්තර්, මට තේරෙනවා ඔබලා කියන දේ. මමත් කිසිම දවසක මේ වගේ දෙයක් අහලා නෑ. මට මේකට කරන්නේ මොකක්ද කියලා කිසිම අදහසක් නෑ.

අපේ ජිවිත බේරගන්න අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද ෆාදර්?

එක දෙයක් තියෙනවා ඇලන්. මම මේ පල්ලියේ තිබ්බ පරණ සටහන්, පොත් එකින් එක කියෙව්වා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයන්න. මට උදව්වක් ගන්න පුළුවන් මාර්ගක් ගැන දැන ගන්න ලැබුණා. හැබැයි ඒක හරියටම හරිද කියන එක ගැන මට ගැටළුවක් තියෙනවා දරුවා. ෆාදර්, අපිට දැන් කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවනේ. අපි මේ දේත් කරලා බලමු ෆාදර්.

හොදයි කැලන්, මේ එක පොතක තිබිලා මට දැනගන්න ලැබුණා මේ වගේ නොදන්න අඳුරු බලවේගවලට එරෙහිව වැඩකරන සංවිධානයක් ගැන. ඒ ගැන වැඩි විස්තරයක් තිබ්බේ නෑ ඒ පොතේ. ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ මේ සංවිධානයෙන් උදව් ඉල්ලනවා ඇරෙන්න. ඒත් මේ සංවිධානේ ගැන තාමත් තියෙනවාද කියලා මම හරියටම දන්නේ නෑ.

ෆාදර්, මොකක්ද ඔය කියන සංවිධානේ?

අඳුරේ දඩයක්කරුවන් කියලා තමයි ඒ සංවිධානය ගැන මම කියවපු පොතේ හදුන්වලා දීලා තිබ්බේ.

කොහොමද අපි මේ සංවිධානේ හොයාගන්නේ ෆාදර්? අපි කොහොමද මේ සංවිධානෙන් උදව් ඉල්ලන්නේ?

ඒ ගැනත් ඒ පොතේ සදහන් වෙලා තිබ්බා. මෙතන ඉදන් දවස් දෙකක දුරින් තියෙනවා නගරයක් ඕර්ක්නේ (Orkney) කියලා. ඒ නගරයේ ඉපැරණි පල්ලියක් තියෙනවා අයින්හොලොව් (Eynhallow) කියලා. අන්න ඒ පල්ලියෙන් තමයි අපි උදව් ඉල්ලන්න ඕන. මම ආයෙත් කියනවා මේ කියන දේ ගැන මට සියයට සියයක විශ්වාසයක් නෑ.

      ෆාදර් දවස් දෙකක් දුරින් තියෙන්නේ ඔය නගරය. මේ ගමෙන් එළියට යන පාර      වැටිලා තියෙන්නේ මරු කටක් හරහා. අපි කොහොමද ඕර්ක්නේ නගරයට යන්නේ?      කවුද මේ දේ කරන්නේ. ගමේ නායකයා හැටියට මට කාටවත් කියන්න බෑ මේ      ගමන යන්න කියලා.

     පල්ලියම තප්පර කීපයක් නිහඩතාවයේ ගිලුනා. හරිම ගුප්ත අවිනිශ්තබවක් පල්ලිය      පුරාම පැතිරිලා ගියා.

     මම යන්නම්. නිහඩ තාවය බිදගෙන මැතිව්ගේ කටහඩ පල්ලිය පුරාම පිළිරැව් දුන්නා.

     මැතිව් ගමේ සිටි බොහොම නිශ්ශබ්ද ඒ වගේම බොහොම නිර්භීත පුද්ගලයෙක්. තම      වසර කීපයකට පෙර සිදුවු සිය බිරිදගේ මරණයෙන් පසු ඔහු ගම්මානයේ කෙළවරක      වු තම නිවහනේ බොහොම නිහඩ ජීවිතයක් ගතකලා. ගම්වැසියන්ට හැමවිටම හැකි       පමණින් උදව්කළ අයෙකු ඔහුගේ මේ ඉදිරිපත්වීම ගම්වැසියන්ට ඉමහත්      අස්වැසිල්ලක් වුනා.

     මම කළයුත්තේ කුමක්ද? මැතිව් ෆාදර් කැන්බිගෙන් අසා සිටියා. පුතා, හෙට      උදෑසනින්නම ඔබ මේ ගමන පිටත් වෙන්න ඕන. මම යා යතු මාර්ගය සටහන් කරලා      දෙන්නම්. ඒ වගේම අයින්හාෙලොව් පල්ලියේ පූජකවරයාට දෙන්න ලියුමකුත් ඔබට      ලබාදෙන්නම්.

කැලම්, ගමනට අවශ්‍ය කරන කළමනා ලෑස්ති කරලා දෙන වගකීම ඔබ බාරගත යුතුයි. ඒ වගේම ඔහුට ආයුධයකුත් ලබාදෙන්න බලන්න.

හොදයි ෆාදර්, මම ඕන කරන වැඩ ටික කරලා දෙන්නම්, හෙට උදේ වෙනකම් ජීවත් වුනොත්. අපි දැන් ගෙවල් වලට යමු. අඳුර වැටෙන්න කලින් ගෙදරට රිංග ගත්තේ නැත්නම් අපේ මළකදවත් ඉතුරු වෙන්නේ නෑ. මැතිව් හෙට උදේ හය විතර වෙනකොට පල්ලිය ගාවට එන්න ගමනට ලෑස්තිවෙලා. ඊට වඩා උදෙන් යන්න තියෙනවානම් හොදයි. ඒත් දැන් තියෙන තත්වේ හැටියට ටිකක් එළිය වැටිලා ගමන ආරම්භ කරන එක හොදයි මැතිව්. දැන් අපි ගෙවල් වලට යමු ඉක්මනින්.

රාත්‍රිය අවිනිශ්චිතව ගලා ගියා. රාත්‍රියේ ගමේ ගෙදරකින් මරහඩක් ඇසුනත් ඒ ගැන සොයා බලන්න කවුරුවත් එඩිතර වුනේ නෑ. පසුදා උදැසන හයවෙනකොට මැතිව් පල්ලිය අසලට ආවා. ඒ වෙනකොටත් කැලන් සහ ෆාදර් කැන්බි ඇවිල්ලා එතනට ඇවිල්ලා හිටියා.

කවුද ඊයේ ගොදුර? මැතිව් කැලන්ගෙන් විමසා සිටියත් එයට පිළිතුරක් දුන්නේ ෆාදර් කැන්බි. අර වයසක රිචඩ්. රාත්‍රියේ කටහඩක් ඇහිලා එළියට ගිහිල්ලා. හරිම බිහිසුණු දර්ශනයක්. දෙවියන්වහන්සේ ඔහුගේ ආත්මය රැකදේවා, යයි පැවසූ ෆාදර් කැන්බි සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

මැතිව්, මේ මල්ලේ ගමනට අවශ්‍ය ආහාර පාන ටිකත් වතුර බෝතලයකුත් තියෙනවා. හැකිතරම් වේගයෙන් ගමන් කරන්න. අඩුවෙන් විවේක ගන්න. හැකිතරම් ඉක්මනින් කැලෙන් පිටවෙන්න. මේ පිස්තෝලෙත් තියාගන්න. මේ නොදන්නා දෙයට එරෙහිව ඒක කොච්චරක් දුරට සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ.

ගමන් මාර්ගය සටහන් කල කඩදාසි කොළයක් වගෙම, ෆාදර් කැන්බිගේ ලිපියත් ගමන් බෑගයේ ලා ගත් මැතිව් කැලන්ගෙන් ලැබුණ පිස්තෝලෙයත් ඉනේ ගසාගෙන තමන් ගෙදරින් රැගෙන ආ අසිපතත් දකුණතින් අරගෙන කැලන් හා ෆාදර් කැන්බි දිහා බැල්මක් හෙලපු මැතිව් මේ අවිනිශ්චිත, බොහෝ විට මරණයෙන් කෙළවර විය හැකි ගමන පිටත් වුනා.

KB 2020.11.22

No comments: