අඳුරේ දඩයම්කරු 05 - ලුහුබැදීම

රාත්‍රියේ ඇසූණු ඒ භීෂණාත්මක මර හඩ සමඟින් නිට්වික් ගම්මානය වෙලාගෙන තිබූ නිසසල බව තප්පර කිහිපයකට ගිලිහී ගිය නමුදු එ සැණින් නැවතත් එය සුපුරුදු ගුප්ත නිසසල බවේ ගිලී ගියා. එයට හේතුවූයේ ගම්මානයේ කිසිවකුටත් ඒ හඩ නැගිණේ කුමකින්ද යනු සෙවීමට තරම් ශක්තියක් හෝ ධෛර්ය්‍යයක් නොතිබූ බැවිණි. වෙනදා මෙන්ම තවත් සිය දරු දැරියන් තදින් තුරුල්ලට ගත් නිට්වික් ගම්වැසියන් කිසිදු ශබ්දයක් නොනගාම සිය නිහඩබව තුල තවත් ගිලී ගියා. නමුත් මේ නිහඩ බවට නතු නොවු එක් විශේෂිත පුද්ගලයෙක් එදා ඒ ගම්මානය තුල සිටියා. ඒ ලෝගන්, අඳුරේ දඩයම්කරු.

අහෝ තවත් එක් ජීවිතයක්, යැයි කෙදිරු ෆාදර් කැන්බි සුපුරුදු ලෙස සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

සමහර විට අපි තවමත් පරක්කු නැතිවෙයි. ෆාද්රේ මට පන්දමක් දෙන්න, සිය ගමන් බෑගය පසෙකට දමමින් ලෝගන් පැවසුවා.

ඔබ එළියට යන්නද හදන්නේ? මේ නොදන්නා බලවේගය එළියට ඇවිල්ලා ඉන්න වෙලාවේ?

ඉක්මන් කරන්න ෆාද්රේ, මට ඔබට විස්තර කිය කිය ඉන්න වෙලාවක් නෑ. රයිෆලය පසෙක තැබූ ලෝගන්, සිය අසිපත අතට ගත්තා.

මෙන්න පුතා මේක ගන්න, ඉක්මන් ගමනින් ලෝගන් අසලට පැමිණි ෆාදර් කැන්බි දැල්වෙන පන්දමක් ඔහුට ලබාදුන්නා.

ෆාද්රේ, මම එළියට ගිය ගමන් ඔබ මේ දොරට අඟුල් දාගන්න. මම ඇවිල්ලා තුන් සැරයක් දොරට තට්ටු කළොත් විතරක් දොර අරින්න. ඒ අරුනහම කිසිම දෙයකට, අඩු ගානේ මම කතා කරන සද්දෙටවත් දොර අරන්න එපා යැයි පූජකයාට පැවසූ අඳුරේ දඩයක්කරු සිය අසිපතෙන් හා ඉණ දෙපසින් රැදවූ පිස්තෝල දෙකෙනුන් සන්නද්ධව පන්දමත් රැගෙන ශබ්දය ආ දෙසට ඉක්මනින් පිටවී ගියා.

දෙවියන්වහන්සේ, ඔහුව ආරක්ෂා කරත්වා, දෙවියන්වහන්සේ මේ ගම්මානයම ආරක්ෂා කරත්වා යැයි නිසලවම දෙවියන්ගෙන් අයදූ පූජකවරයා ඒ අසල වූ පුටුවක අසුන් ගත්තා.

     පල්ලියේ දොරටුවෙන් පිටතට ආ දඩයම්කරු වේගයෙන් ශබ්දය ආ දෙසට සිය ගමන      ආරම්භ කළා. කෙතරම් වේගවත් වුවත් ඔහු සිට අවට පරිසරය ගැන ලොකු අවදානයකින්      සිටියා. ඒ කාලාන්තරයක් තිස්සේ මෙවැනි අඳුරු බලවේගයන් දඩයම් කිරීමෙන් ඔහු      ලබාගත් අත්දැකීම්. ඒවා ඔහුට සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතු බව කියා දී තිබුණා.      එසේ නොකළ එසේත් නැති නම් එය කිරීමට අතපසුවු සිය සඟයන් එම වැරදි සමගම      මිහිදන්වන අයුරුත් ඔහු දැක තිබුණා.

     සාමාන්‍ය මිනිසෙකුට වඩා තියුණු දෑසක් මෙන්ම ශ්‍රවණ ඉන්ද්‍රීයන්ද ඔහුට හිමිවුනා. ඒ      වගේම සාමාන්‍ය මිනිසෙකුට වඩා ඔහු කිහිප ගුණයක් වේගවත් වුනා. එයට හේතු වුයේ      ඔහු සිය ජිවිත කාලය තුලදී ලත් සමහර විශේෂිත වු දයාදයන්.

     ගම්මානයේ විදී පසුකරමින් දිගටම ඉදිරියට ගමන්කළ ඔහු ගම්මානය හා වනය අතර වු      කුඩා මායිමට පිවිසියා. ඔහු වඩාත් විමසිලිමත්වෙමින් සිය ගමන් වේගය අඩු කළ      දඩයක්කරුවා එක මොහොතක් එහි රැදී සිටියා. අනතුරුව ක්ෂයෙකින් පන්දම පසෙකට      දමා වනයට තුලට පැනගත් ඔහු අඳුරේම වේගයෙන් නිහඩවම ඉදිරියට ඇදුනා.

     ඔහුගේ ගමන් වේගවත් වුවත් එය කිසිම ශබ්දයක් නම් ඇති කලේ නෑ. වියළි කොළයක්      පෑගීමෙන් හෝ වියළි කෝටු කැබැල්ලක් බිදියාමෙන් හෝ කිසිදු ශබ්දයක්      නොනැගෙන්නට ඔහු වග බලාගත්තා. එසේ මදක් දුර ඉදිරියට ගමන් ගත් ඔහු විදුලි      කෙටීමක් තරම් වේගයෙන් සිට ඉනෙහි දකුණු පැත්තෙහි එල්ලාගෙන සිටි පිස්තෝලය එළියට ඇද එය ඉදිරියෙන් වු අඳුරු ගොනුවට ඉලක්කකර වෙඩි තැබුවා.

පිස්තෝලයේ කෙළවරින් මිදුණු රිදියෙන් නිමකළ රත්වූ උණ්ඩය කෙස් ගහක වැරදීමක්වත් නොමැතිව වේගයෙන් සිය ඉල්ලකයේ පසු පසින් ඇතුළුව එහි ඉදිරි පසට ගමන් කලේ එයට කළ හැකි උපරිම හානිය සිදුකරමිනුයි. උණ්ඩයෙන් සිදුවු හානියෙන් ජීවය සුන්වී ගිය එය කරගසාගෙන සිටි සිරුරත් සමඟම බිම ඇද වැටුණා. උණ්ඩය පිටවු සැණෙකින් එම අදුරු පොදියෙන් මිදුණු තවත් අඳුරු පැහැති උස්වු යමක් වේගයෙන් වනයේ අභ්‍යන්තරයට පළා ගියා.

වහා බිම ඇද වැටුණු අද්භූත අඳුරු පොදිය වෙතට ගිය ලෝගන් එය කරමත තබාගෙන සිටි සිරුර පරීක්ෂා කළා. ඒ වෙනුවෙන් තප්පර කීපයක කාලයක් ගතවෙන්න ඇති. තවම හුස්ම වැටෙනවා, ඒත් තුවාල වලින් ලේ ගලනවා. මේ ලේ යෑම නැවැත්තුවේ නැත්නම් ඇය ඉක්මනින්ම මිය යාවි. ඊළඟ මොහොතේ එම කාන්තා සිරුර සිය දෑතට ගත් ලෝගන් වේගයෙන් පල්ලිය බලා ගමන් කලා.

තෙවරක් වේගයෙන් දොරට පහරදීමත් සමඟම පල්ලියේ දොර විවර වුනා. වහා පල්ලිය ඇතුළු වු ලෝගන් රැගෙන ආ සිරුර පල්ලියේ වු බංකුවක දිගා කලා.

ෆාද්රේ, මට රෙදි කැබලි ටිකකුයි වතුර ටිකකුයි ගේන්න, යැයි පුජකවරයාට පැවසූ දඩයක්කරු වහාම තම ගමන් බෑගය දමා තිබූ තැනට ගොස් එය තුලින් කුඩා මල්ලක් අරගෙන ආවා.

මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු අවස්තාවක් නොවන බව වටහා ගත් පූජකවරයා වහාම වතුර බේසමක් හා පිරිසිදු රෙදි කැබලි කීපයක් රැගෙන ආවා.

තරුණියගේ හිසේ හා උරහිසෙහි වූ ලේ ගලන තුවාල පරික්ෂා කළ ලෝගන් එය ජලයෙන් පිරිසිදු කලා. අනතුරව තම කුඩා මල්ලෙන් වු බෝතලකින් යම් කිසි කුඩක් අතට ගත් ඔහු ප්‍රවේසමින් තුවාලවල ආලේප කර තුවාල හොදින් වෙලා දැම්මා. මේ සියල්ල අවසන් කළ ඔහු පුජකවරයා වෙත හැරුණා.

මම තව එක මොහොතක් ප්‍රමාද වුනා නම් සියල්ලම හමාරවෙනවා. මට කැලය ඇතුලට යන්න වුනා ඇයව බේරගන්න. මට ගම්මානය කෙළවරේදී මට අමුතු අඩි සලකුණු කීපයක් දැකගන්න ලැබුනා. එක අඩි සලකුණක් වඩා ගැඹුරට සටහන් වෙලා තිබ්බ එකෙන් මට තේරුණා ඒ සලකුණුවල අයිති කරුවන් යමක් උස්සාගෙන යනවා කියලා. පන්දම් එළිය දැක්කා නම් එම සතුන් සැගවෙන්න ඉඩ තිබ්බ නිසා පන්දම පැත්තකට දාපූ මම ඒ සලකුණු පස්සෙන් ගියා.

පන්දමක් නැතුව ඔබ කොහොමද ඒවා සොයාගත්තේ? එහෙනම් ඇයි ඔබ මගෙන් පන්දමක් ඉල්ලුවේ?

පන්දම එක්තරා දුරකට උදව්වුනා. ගම්මානය ඇතුලෙදි ඒක ගොඩක් වැදගත් වුනා. ඒත් කැළය ඊට වඩා වෙනස්. අනික සැමවිටම එළියක් අවශ්‍යවෙන්නේ නෑ ඔබට කරුණු අවබෝධ කරගන්න. ඇසෙන කුඩා ශබ්දයක් සුවදක් පවා ඔබට අවශ්‍යකරන ඉඟි පවසනවා. ඔබට තියෙන්නේ ඒ කරුණු හරියට අවබෝධකර ගැනීම පමණයි. අනික මම එවේලේ පන්දමක් නොඉල්ලුවානම් ෆාද්රේට තව ප්‍රශ්න ඇතිවෙනවා ඒ වෙලාවේ. ඒ ප්‍රශ්න මගේ ගමන පමා කරනවා පමණයි.

ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මොක්කුද ඒ? මොක්කුද මෙච්චර දවස් අපිට කරදර කරලා තියෙන්නේ?

හෙට තමක් ෆාද්රේ ඒක හරියටම බලාගන්න වෙන්නේ. හෙට උදේට ගිහිල්ලා ඒ සිරුර අරගෙන එන්න ඕන. මට මේ තරුණිය අරගෙන එන්න සිද්ධවුන නිසා ඒක කරන්න විදිහක් නැතිවුනා.

ඔබ එම සතුන්ව දඩයම් කළාද? ඔව්චර ඉක්මනට? අපිට කිසිම දවසක දැකගන්න නොලැබුණු මේ අඳුරු බලවේගයන් විනාශ කරලා දැම්මද? මට සිද්ධවේචච දේ කියන්න දරුවා.

     ෆාද්රේ කළබල වෙන්න එපා. අඩි සලකුණු ඔස්සේ මම ඒ අඳුරු සෙවණැලි      දෙක ලුහු බැදගෙන ගියා. එතකොට මම දැනගෙන හිටියේ නෑ මේ තරුණිය      ජීවතුන් අතරද නැද්ද යන වග. ගම්මානයෙන් මදක් ඈතට යනකොටම මට      තේරුණා වැඩිදුර ගියොත් අනවශ්‍ය තරමේ අවදානමක් ගන්න සිද්ධවෙන      බව මගේ ජීවිතය ගැන. ඒකෙන් ඔබටවත් මටවත් හොදක් සිද්ධවෙන්නේ නෑ.      ඒ නිසා යන්තම් ජායාවන් දෙක පෙනෙන මානයට එන්න මට පුළුවන්කම      ලැබුණු ගමන්ම මේ තරුණිය ඔසවාගෙන ගිය ජායාවට පිස්තෝලය එල්ල      කරලා කොකා ගැස්සුවා. සුපුරුදු විදිහටම වෙඩි පහර නියමිත ඉලක්කයට ගියා      එපමණයි.

     මේ කරදරය මෙතනින් ඉවරද දරුවා?

     නෑ ෆාදර්. ඒ සත්තු සම්පූර්ණයෙන් විනාශ කරලා දානකම් මේ කරදරය      ඉවරයක් වෙන්නේ නෑ. අපි දැනුවත්ව තව එක සතෙක් ඉන්නවා. ඒ      ඇරුණහම තව සතුන් ඉන්න පුළුවන්. මට මේ මොකෙක්ද කියන එක ගැන      යම් අනුමානයක් තියෙනවා. ඒත් ඒක හරියටම කියන්නේ වෙන්නේ හෙට,      අර මැරුණු සතාගේ සිරුර පරීක්ෂා කළ පසුයි. මේ සියල්ල ඉවරවෙනකම්      ඔබේ ගම්මානය තියෙන්නේ අනතුරක ෆාද්රේ.

ඉතින් අපි ගමේ අයවත් එකතු කරගෙන ගමේ තියෙන ආයුධත් අරගෙන අපි මේ සතුන් හොයාගෙන විනාශ කරලා දාමු.

ඔබලාගේ සාමාන්‍ය ආයුධවලින් ඔවුන්ට හානියක් කරන්න බෑ ෆාද්රේ. මම පාවිච්චි කරන්නේ මේ දඩයම් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද උණ්ඩ. රිදියෙන් නිමවා රසදියෙන් උණ්ඩයේ අග පිරියම් කර ඇති විශේෂිත උණ්ඩ ඒවා. ඒවා ඔබලා පාවිච්චි කරන සාමන්‍ය උණ්ඩවලට වඩා බලගතුයි. ඒ වගේම වැඩි හානියක් කරනවා. අනික ඔබලා දඩයම්කරුවොත් නෙවෙයි, ඒ වගේ කාර්යයක යෙදෙන්න.

මේ සාකච්ඡාවෙන් අනතුරව මුහුණට මුහුණ බලාගත් ඔවුන් දෙදෙනාම නිශ්ශබ්ද වුනා. එහෙත් මොහොතකින් ඒ නිශ්ශබ්දතාවය බිදගෙන තරුණියගේ කෙදිරිය ඔවුන් දෙදෙනාගේම සවනට වැටුණා. ඒ දෙස බැලූ ඔවුනට දක්නට ලැබූනේ තරුණිය අපහසුවෙන් ඇස් අරිමින් යමක් මුමුණන අයුරුයි.

එමිලියා, බයවෙන්න එපා. ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ නිවහන තුලයි. ඔබ මෙහි ආරක්ෂිතයි.

ෆාදර් ? ෆාදර් කැන්බි ........ බිරාන්තව සිටි තරුණිය අපහසුවෙන් වචන ගොනු කලා. මට
මොකද වුනේ?

ඔබ අනතුරකට මුහුණ දුන්නා එමිලියා. මේ තරුණයා ඔබව බේරගත්තා. පූජකයා පසෙකින්
සිටි ලොගන්ව දක්වමින් පැවසුවා. ඔබේ තුවාලවලට බෙහෙත් දැම්මෙත් ඔහුයි. ඔබට මොනවද මතක දරුවා?

ෆාදර්, මගේ කුඩා සොයුරිය, ඇය හවස සෙල්ලම් කරමින් ඉදලා බෝනික්කව එළියේ දාලා ඇවිල්ලා. රෑ අපි කාමරේ හැංගිලා ඉන්නකොට ඇයට බෝනික්කාව මතක්වෙලා ඒක ඉල්ලලා අඩන්න ගත්තා. ඇයව නලවා ගන්න වෙන විදිහක් තිබ්බේ නෑ ෆාදර්. අම්මා කියන දෙයක් අහන්නේ නැතුව මම එලියට ආවා බෝනික්කාව අරගෙන යන්න. බොනික්කාව හොයාගෙන එනකොටම මගේ පිටිපස්සෙන් ගෙරවිල්ලක සද්දයක් ඇහුණා. මම හැරෙනකොටම හිසට තද පාරක් වැදුණා. මගේ ඇස් දෙක නිලංකාරවෙලා ගියා. ඊට පස්සේ පල්ලියේදි ඇස් අරින්කම් වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ ෆාදර්.

ෆාදර්, ඒ මොකෙක්ද? මොකෙක්ද මාව අරන් ගියේ? මගේ අම්මයි නංගියි කොහෙද? මට කියන්න ෆාදර්.

එමිලියා කළබලවෙන්න එපා. අපි උදේට බලමු ඒ අයට මොකද වුනේ කියලා. ඔබේ මවටයි සොයුරියටයි කරදරයක් නැති බව මට විශ්වාසයි. දැන් ඔබ මදක් විවේක ගන්න. මෙතන අපි දෙන්නම ඉන්නවා ඔබේ ආරක්ෂාවට. ඒ සතුන් මෙතනට එන්නේ නැති බව මට විශ්වාසයි දරුවා. දැන් ඔබ නිදාගන්න.

උන් ආපහු ආවොත් පණ පිටින්නම් කැළයට යන්නේ නැති බව නම් මටත් විස්වාශයි ෆාද්රේ, තිරසාර හඩකින් එසේ පැවසු දඩයක්කරු නිහඩවුනා.

KB 2020.12.13

No comments: