අඳුරේ දඩයම්කරු 04 - ඇරඹුම

පූජකවරයා සමඟ මදක් වෙලා පිළිසදරේ යෙදී සිටි මැතිව් වැඩි දුරටත් ප්‍රමාද නොවී සිය නිවස කරා පිටත් වී ගියේ දඩයක්කරුටත් තම නිවසේ රාත්‍රිය ගත කිරීමට එන ලෙස ආරාධනා කරමින්. තමන් පල්ලියේ රාත්‍රිය ගතකරන බව පවසමින් ඔහු එම ආරාධනාව ප්‍රතික්ෂේප කලා. ෆාදර් කැන්බි සමඟ රාත්‍රී ආහාරය බුක්ති විදීමෙන් අනතුරුව නින්දට යෑමට පෙර ෆාදර් කැන්බි ගෙන ආ හොදම වර්ගයේ වයින් බෝතලයක් පානය කරන්න ගත්තා.

ඉස්තරම් වර්ගයේ වයින් බෝතලයක් ෆාද්රේ, ඔබට බොහොම ස්තූතියි කෑම වලට සහ වයින් වලට.

     ඒක බොහොම සුළු දෙයක් පුතා. ඔබ අප වෙනුවෙන් මෙහි පැමිණීමම වචනයෙන් කියා      නිමකළ නොහැකි උපකාරයක්. මම ඔය වයින් බෝතලය මේ ගමට එනකොට අරගෙන      ආපු බෝතල් වලින් එකක්. විශේෂ අවස්තාවක් සඳහා තියාගත්තේ.

     මම තාම කිසිවක් කළේ නෑ ෆාද්රේ.

     ආගන්තුකයින්ට හොදින් සැලකීම අපේ යුතුකමක් දරුවා. ඔබ කැමති නම් මට කියනවද      මේ අඳුරේ දඩයම්කරුවන් කියන සංවිධානය ගැන විස්තර ටිකක්.

     ෆාද්රේ, ඔබ කොහොමද අපේ සංවිධානය ගැන දැනගත්තේ?

     මේ පල්ලියේ හිටපු පූජකවරයෙක්ගේ සටහනකින් තමයි මම ඔබලාගේ මේ සංවිධානය      ගැන විස්තරයක් දැනගත්තේ. ඒත් ඒ සටහනේ ඔබ අයිති සංවිධානය ගැන වැඩි      විස්තරයක් දක්වන්නේ නැහැ. අඳුරු අද්භූත බලවේගවලට එරෙහිව සටන් කරන වැඩ      පිළිවෙළක් ලෙස තමයි ඔබලාගේ සංවිධානය හදුන්වා දී තිබුණේ. ඊට අමතරව තිබුනේ      ඔර්ක්නේ නගරයේ අයින්හොලොව් පල්ලිය හරහා ඔබලාගේ සංවිධානයෙන් උදව්      ඉල්ලිය හැකි බව. එපමණයි.

     අයින්හොලොව් පල්ලියේ හිටපු පූජකවරයා ෆාදර් ඉයන් අයිවන්තේ අප සංවිධානයේ      හොද හිතවතෙක්. එතුමා හරහා තමයි අපි අයින්හොලොව් පල්ලියට සම්බන්ධවෙන්නේ.      ෆාදර් නිකොලොස් අපේ සංවිධානය ගැන දන්නවා.

ඔබලා පල්ලියට සම්බන්ධ වන්නේ කෙසේද?

ඇත්තටම ෆාද්රේ, අප පල්ලිය හා සෘජු සම්බන්ධයක් නෑ. බොහොමයක් පූජකයන් එළිපිට අපිට සහය දක්වන්න කැමති නෑ. කෙසේ නමුත් ස්කොට්ලන්තය පුරා ඇති පල්ලි ගණනාවක් සමඟම අපි හොර රහසේ සෘජු සම්බන්ධකම් පවත්වනවා, යැයි පැවසූ දඩයක්කරුවා සිය හඩ නිහඩ කළා.

දරුවා, ඔබ මා හා පවසන දේවල් වෙන කිසිකෙනෙක් දැනගන්නේ නෑ. එය මා ඔබට දෙවියන්වහන්සේ ඉදිරියේ දෙන ප්‍රතිඥාවක්. මේ රහස් මම හැම විටකම සුරකිනවා. දඩයක්කරුවා වැඩි විස්තර පැවසීමට මැළිවන බව වැටහී ගිය පූජකවරයා එලෙස පැවසුවා.

හොදයි ෆාද්රේ, මා ඔබව විශ්වාස කරනවා. ඒ නිසා මා ඔබට විස්තර කියන්නම්, යැයි පැවසූ දඩයක්කරුවා තම වයින් වීදුරුව අන්තිම බිදුව දක්වා පානය කර, එය නැවත පුරවා ගත්තා.

අපේ සංවිධානය බොහොම රහසිගත අතීතයකට උරුමකම් කියන ඉතාමත් පැරණි සංවිධානයක්. සංවිධානය පවත්වාගෙන යන ඓතිහාසික සටහන්වලට අනුව, සංවිධානයේ ආරම්භය පල්ලියේ නයිට්වරුන් (Knights Templar) ලෙස හදුන්වන ක්‍රිස්තියානි ආගමික සංවිධානය හා සම්බන්ධයි. පළමු කුරුස යුද්ධයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1120 විතර ජෙරුසමෙදි පල්ලියේ නයිට්වරුන් සංවිධානය ක්‍රිස්තියානි පල්ලියේ අනුදැනුම ඇතිව බිහිවෙනවා. එය ආරම්භවෙන්නේ ශුද්ධ භූමිය වන්දනා කිරීමට එන වන්දනාකරුවන්ව ආරක්ෂා කරන්න.

පල්ලියේ නයිට්වරුන්ගේ සංවිධානය ගැන මා අසා තිබෙනවා. ඒ පිළිබද
මා කියවා තිබෙනවා. මගේ මතකය නිවැරදි නම් එහි පළමු ග්‍රැන්ඩ් මාස්ටර් විදිහට කටයුතු කලේ හියුගස් ඩි පෙයින්ස් (Hugues de Payens) නම් පූජකවරයා.

ඔව්, ඔබ හරි ෆාද්රේ. ඔය ආරම්භයෙන් වසර ගණනාවකට පස්සේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1195 ඒ කියන්නේ තුන්වෙනි කුරුස යුද්ධ කාලවකවානුවේදී ටෙම්ප්ලර් නයිට්වරුන් හත්දෙනෙක් ඇතුළු තවත් පිරිසක් වැලි කුණාටුවකට අහුවෙලා ජූඩියන් කාන්තාරයේ (Judaean Desert) අතරමන් වෙනවා. තමන් සතුව තිබූ ජලයත් ආහාරත් ඉවර
වෙන ඔවුන් යායුතු මාර්ගයක් සොයා ගැනීමට බැරුව ඒ මේ අත ඇවිදන කොට අහම්බෙන් වගේ බොහොම සශ්‍රික වු ක්ෂේම භූමියකට පැමිණෙනවා. සටහන් වල නම් තියෙන්නේ ඔවුන්ව කා විසින් හරි ඒ දෙසට තල්ලු කලා වගේ දැනුනා කියලයි.

හරිම පුදුමයි දරුවා. මෙහෙම කතාවක් මා කවරදාකවත් අසා නෑ.

භූමියේ තිබෙන සශ්‍රිකත්වයට වසඟවන ඔවුන් එයින් පිටවී යෑමට කිසිදු උත්සාහයක් දරන්නේ නෑ. ඒත් ප්‍රශ්නය මතුවන්නේ ඔවුන් ඒ භූමියට ඇවිල්ලා දවස් කීපයකට පස්සේ. එක් දිනක් රාත්‍රි කාලයේ ඔවුන්ගෙන් කෙනෙක් අතුරුදහන්වෙනවා. මුළු භූමිය පුරාම හෙව්වත් ඔහු ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඊළඟ රාත්‍රියේ තවත් අයෙක් අතුරුදහන්වෙනවා. පෙර පරිදිමයි. කිසිම හෝඩුවාවක් නෑ ඔහුට වුනේ කුමක්ද කියා. ඊළඟ රාත්‍රියේ තවත් අයෙක්.

නිසැකයෙන්ම ඔවුන් භීතියට පත්වන්නට ඇති.

     ඇත්තටම ඔව් ෆාද්රේ. සටහන්වල තියෙන්නේ ඔවුන් සිහිවිකල්වන තරමට භීතියට      පත්වෙනවා කියලා. කෙසේ නමුත් එක් නයිට්වරයෙක් අහම්බෙන් සොයාගන්නවා පොළොව      යට තිබෙන උමං මාර්ගයක්. මේ අඳුරු උමං මාර්ගය පරික්ෂා කරන්න යන නයිට්වරුන්ට      හමුවෙනවා එහි වාසය කරන අද්භූත සත්ත්ව කොට්ඨාශයක්. මේ අද්භූත සත්තු තමයි අර      අතුරුදහන් වෙච්ච පිරිස රාත්‍රී කාලෙයේදි ගොදුරු විදිහට රැගෙන ගොස් තිබෙන්නේ. ඉතුරු      වෙලා හිටපු පිරිසයි මේ අද්භූත සත්තුයි අතර දරුණු සටනක් ඇතිවෙලා තියෙනවා උමං      මාර්ගයේදීම. ජීවිත බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට      විතරයි. ඒ අවස්තාව ලැබිලා තියෙන්නෙත් මේ සත්තුන්ට දවල් කාලයේදි උමං මාර්ගයෙන්      එළියට එන්න බැරි හින්දා. ඉර එළිය මේ සතුන්ව දුර්වල කරනවා.

     ඇඟ හිරිවැටෙන කතාවක්. පුතා, මොන විදිහක සත්ත්ව කොට්ඨාශයක්ද ඒ?

     ඒක කියන්න කවුරුවත් දන්නේ නෑ ෆාදර්. මේ සිදුවීමට පස්සේ කිසිම දවසක කාටවත් ඒ      සතුන් ගැන දැනගන්න ලැබුණා කියලා කොහොවත් සටහන් නෑ. දැනගන්න ලැබුණත් ඒ ගැන      කියන්න කිසිම කෙනෙක් ජීවත් වෙන්න නැතුව ඇති සමහරවිට.

     ඒක වෙන්න පුළුවන් දරුවා.

     කාන්තාරය තරණය කරලා පාර හොයාගෙන නැවතත් මනුස්ස වාසයක් කරා යන්න පුළුවන්      වෙලා තියෙන්නේ ඉතිරි වෙච්ච පිරිසගෙන් තුන්දෙනෙකුට විතරයි. මේ තුන්දෙනාම පල්ලියේ      නයිට්වරුන්. ටෙම්පල් මූලස්ථානය ගිය ඔවුන් කිව්ව විස්තරය කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. හැමෝම හිතුවේ ඔවන්ගේ සිහිය විකල් වෙලා කියලා. ඔවුන් අනිත් නයිට්වරුන්ගේ සිනහවට ලක්වෙනවා. මේ දේවල් ගැන බොහොමත්ම කළකිරෙන මේ නිර්භීත නයිට්වරුන් තිදෙනා පල්ලියේ නයිට්වරුන්ගෙන් ඉවත්වෙලා නැවත සිය රට වු ප්‍රංශය කරා යාත්‍රා කරනවා.

ප්‍රංශයට ආපු ඔවුන් වැඩිදුර කරුණු හොයනවා මේ අද්භූත සත්ත්ව කොට්ඨාශය ගැන. ඔවුන්ට ඒ ගැන කිසිම විස්තරයක් හමුවුනේ නැතත් ලොකෙන් සැඟවිලා අඳුරේ ඉන්නේ ඔවුන්ට හම්බවෙච්ච සත්ත්ව කොට්ඨාශය විතරක්ම නොවන බව ඔවුන්ට ටිකෙන් ටික අවබෝධ වෙනවා. අද්භූත සතුන්ට අමතරව සාමාන්‍ය මනසට ගෝචර නොවන ගුප්ත හා අද්භූත බලවේග, හදි හූනියම්, මායාකරුවන්, මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වගේ දේවලුත් තියෙන බව ඔවුන් තේරුම් ගන්නවා. ඒ වගේම මේ අද්භූත බලවේගයන් නිසා අසරණවෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න කිසිවෙකුත් නැති බවත් ඔවුන්ට වැටහෙන්න ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ සංවිධානය මූලික අඩිතාලම වැටෙන්නේ.

ක්‍රිස්තු වර්ශ 1120 දී සර් විලියම් ඩි ගොඩ්ෆ්‍රි, සර් ඇලින්ඩ් වැල්මියර් සහ සර් ෆ්‍රැන්සිස් ඩිගොල් කියන හිටපු පල්ලියේ නයිට්වරුන් තිදෙනාගේ මූලිකත්වයෙන් අඳුරේ දඩයම්කරුවන් කියන සංවිධානය බිහිවෙනවා. සර් විලියම් දි ගොඩ්ෆ්‍රි තමයි අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ පළවෙනි ග්‍රැන්ඩ් මාස්ටර් වරයා බවට පත්වෙන්නේ. මොවුන් තිදෙනා සිය ධනය, කාලය වගේම ජීවිතත් ඔවුන් ගොඩනැගු සංවිධානය වෙනුවෙන් කැප කරනවා. “අඳුරේ සිට අඳුරට එරෙහිව” කියන තේමාව ඔවුන් සංවිධානයට යොදාගන්නවා. එකට හේතුව බොහෝ දෙනෙක් මේ අඳුරු ගුප්ත දේවල් විශ්වාස නොකිරීම. ඒක නිසා ඔවුන් මේ සංවිධානය ගොඩනගන්නේ රහසිගත සංවිධානයක් විදිහට. මේ හේතු නිසා අඳුරේ දඩයක්කරුවන් සංවිධානයේ පැතිරීම ඉතා සෙමින් සිදුවන්නේ.

මේ කරුණු ප්‍රසිද්ධ කලා නම් සංවිධානයට මීට වඩා වැඩි පිරිසකට උදව් කරන්න තිබ්බනේ දරුවා.

එහෙම කරන්න බෑ ෆාද්රේ. එදා අච්චර නිර්භීත නයිට්වරුන් කියන දේ කිසිවෙක් පිළිගත්තේ නෑ. ඔබතුමා හිතනවාද සාමාන්‍ය මිනිස්සු මේවා පිළිගනී කියලා. එහෙම වෙන්නේ නෑ ෆාද්රේ. එහෙම වුනොත් අපේ සාමාජිකයන්ට නිකරුණේ මැරෙන්න තමයි වෙන්නේ. නැත්නම් ඔවුනුත් යක්දෙස්සන් යක්දෙස්සියන් කියලා ගිනිබත් වෙන්න හරි දියේ ගිලිලා මැරෙන්න හරි තමයි වෙන්නේ. ඔබ වුනත් මේ අද්භූත බලවේගය මුහුණු දුන්නේ නැත්නම් අපි ගැන විශ්වාස කරන්නේ නෑනේ ෆාද්රේ?

ඒක නම් ඇත්ත තමයි පුතා. එහෙම වෙන්න ඉඩ තිබ්බා.

කාලයත් එක්ක සංවිධානය ටිකෙන් ටික පැතිරිලා යනවා. ප්‍රංශයෙන් පටන් අරන් එංගලන්තය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් වල පැතිර යනවා. තවත් කාලෙකට පස්සේ ආසියාතිකරේටත්, අපි විහිදී යනවා. ඉන්දියාව, සෙරන්ඩිබ් වැනි රටවලත් අපේ සාමාජිකයින් ඉන්නවා.

ආසියාවට? එතරම් ඈතට?

නැත්නම් ෆාද්රේ මම මෙතන ඉන්නේ කොහොමද? මම ඈත ආසියාවෙන් ආ කෙනෙක්.

ආ . . . . . විශ්වාස කරන්නත් බෑ. එතනින් එහාට මොකද වෙන්නේ?

සැඟවිලා හිටියට අපි විශාල සංවිධානයක් ෆාද්රේ. සංවිධානයේ කොටස් කීපයක් තියෙනවා.
එකක් තමයි නව තාක්ෂණික අංශය. එයින් තමයි අපි පාවිච්චි කරන අවි ආයුධ නිර්මාණය කරන්නේ. මා ගාව තියෙන මේ රයිෆලය හා පිස්තෝල එයින් නිර්මාණය කරපුවා. ඔබලා පාවිච්චි කරන ආයුධවලට වඩා ඒ තාක්ෂනයෙන් දියුණුයි. තවත් පිරිසක් ඉන්නවා සංවිධානයේ ඉතිහාසය, ඒ වගේම අපි මුහුණ දෙන අත්දැකීම්, ලේඛන ගත කරන්න. එවිට අපේ තවත් අයෙක් එවැනිම අද්භූත සතෙක්ට හරි බලවේගයකට හරි මුහුණ දෙනකොට කරන්න ඕන මොනවද කියලා දන්නවා. සාමාජිකයන් පුහුණ කරන්න වෙනම පුහුණු පාසලක් තියෙනවා. මේ වන විට අපේ සංවිධානයේ ග්‍රෑන්ඩ් මාස්ටර් තනතුර දරන්නේ රොබට් ඩී ලුකස් නයිට්වරයා.

මුල් කාලයේදී පල්ලිය අපිට එරෙහි වෙනවා. අපේ සමහරක් සාමාජිකයින් මන්තරකරුවන් කියා මරා දමන අවස්ථාත් තිබ්බා. ක්‍රමයෙන් අපි පල්ලියත් එක්ක රහසිගත මිතුදමක් ගොඩනගා ගන්නවා. එය අපේ වැඩ කටයුතු පහසු කරනවා. අදටත් පල්ලිය අපිව පල්ලිය එරෙහි සංවිධානයක් විදිහට තමයි නම් කරලා හංවඩු ගහලා තියෙන්නේ. එහෙම වුනත් අපි අඳුරේ සිට අඳුරේ බලවේග වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් කොහෙන්ද? මම හිතන විදිහට ඔබලා මේ කරන උතුම් කටයුතුවලට මුදල් අයකරන්නේ නැහැනේ?

     නෑ ෆාද්රේ කිසිම වෙලාවට මේ පීඩිතවෙලා ඉන්න මිනිස්සුන්ගේන් අපි      මුදල් ගන්නේ නෑ. ලෝකය පුරාම අපේ මේ කටයුත්ත වෙනුවෙන් මුදල්      ලබාදෙන දානපතියෝ ඉන්නවා. ඒ මුදල් වලින් තමයි අපි මේ කටයුතු      සිද්ධ කරන්නේ. ඒ ඇරුණහම අපේ ආරම්භක සාමාජිකයන් බොහොම      ධනවත් නයිට්වරුන්. ඔවුන් ඒ ධනය නිසිවිදිහට යොදවා තිබෙනවා සිය      සංවිධානයේ උන්තතිය හා නඩත්තුව වෙනුවෙන්. මේ හේතුන් හින්දා      තමයි අපිට එදා සිට අද දක්වාම අසරණයින්ට උදව් කරන්න හැකියාව      ලැබිලා තියෙන්නේ

     පුතා, මේ සංවිධානයට සම්බන්ධවෙන්නේ කොහොමද?

     ඒක තවත් දවසකට අයිති කතාවක් ෆාද්රේ. ඒ ගැන මා ඔබට පසුව      කියන්නම්. දැන් මම නින්දට ගියොත් හොදයි ෆාද්රේ.

     හරි පුතා. එන්න මම ඔබේ කුටිය පෙන්වන්නම්. පළවෙනි වතාවට තමයි      මේ පල්ලිය ඇතුලට ආයුධයක් රැගෙන එන්න අවසරය ලැබෙන්නේ. ෆාදර් කැන්බි දඩක්කරුවාගේ රයිෆලය දක්වමින් පැවසුවා.

මදක් සිනාසි සිය ගමන් මල්ල සහ පසෙක තබා තිබූ රයිෆලය අතට ගත්ත දඩයක්කරුවා ෆාදර් කැන්බි පසු පසින් ගමන් කලා.

මේ තමයි ඔබේ කුටිය. විවේක ගන්න. ඔබට සුබ රාත්‍රියක් ලෝගන්.

සුබ රාත්‍රියක් ෆාදර්.

ලෝගන් කුටියට ඇතුළු වෙනවාත් සමඟම නැගුණු මර හඩකින් නිට්වික් ගම්මානයම සලිත වී ගල් ගැසී ගියා.

KB 2020.12.06

No comments: