අඳුරේ දඩයම්කරු 06 - වෙන්ඩිගෝ

     අඳුරු රාත්‍රිය අවසන් වී යන බව කියාපාමින් ළා හිරු කිරණ ගස් අතරින්      නිට්විට් ගම්මානය වෙත පතිත වෙන්න පටන් ගත්තා. ගම්මානය පුරා      පැවති මූසල ඇඳිරිය බිදෙන් බිද පලවා හරින්න ඒ උදා හිරු කිරණ      සමත්වුනා. වෙනදා මේ වන විට ගම්මානයම අවදිවී සිය එදානෙදා      ජීවන කටයුතු වල නිරත වූවත් මෑතක සිට ඇතිවූ මේ නම නොදන්නා      උවදුර නිසා ගම්වැසියන් සම්පුර්ණයෙන්ම ගම්මානයේ අඳුර      මැකෙනකම් සිය නිවෙස්වලින් එළියට බැසීමෙන් වැළකී සිටියා.      එහෙත් එදා වෙනදාට වඩා යම් වෙනසක් දක්නට ලැබුණා.

     පල්ලියේ පූජකවරයා හා දඩයම්කරු එමීලියා අසලම නින්දට වැටී      සිටියා. එකවරම ෆාදර්, ෆාදර් යනුවෙන් නැගුණු හඩත්, පල්ලියේ ප්‍රධාන      දොරටුවට යමෙක් වැරෙන් පහර දෙන ශබ්දයත් සමඟම දඩයක්කරු හා පූජකවරයා පමණත් නොව දැඩි නින්දේ සිටි එමීලියාද තිගැස්සී අවදිවුනා.

දොර විවර කර බැලූ පූජකයවරයාට දැකගත හැකිවුයේ එමීලියාගේ මව වන ඈන් මේරි හා ඇය පසෙකින් සිටි ඇගේ බාලම දියණිය ඇලීසියායි. ඔවුන් දෙදෙනාට පසු පසින් සිටි ගම්පති කැලන් හා මැතිව්ද පූජකවරයාගේ නෙත ගැටුණා.

අනේ ෆාදර් මගේ දරුවා, මගේ දරුවා නෑ. රතු වු ඇගේ ඇසින් බේරී ආ කදුළු කැට ඈන්ගේ දෙකොපුල් මතට ඇද වැටුණා. රෑ තිස්සේ බයේ ගැහි ගැහී නින්දක් නැතුව හිටියේ ෆාදර්. අනේ ඔය මැතිව්, නගරයෙන් අරන් ආපු මනුස්සයට කියන්න මගේ දරුවව බේරලා දෙන්න කියලා. ඇය ෆාදර් කැන්බිගේ දෙපා මුල ඇද වැටෙමින් හඩා වැටුණා.

දරුවා ඈන්, කලබලවෙන්න එපා. එමීලියා ආරක්ෂිතයි. ඇය මෙහි ඉන්නවා.

ඒ වචන කීපය ෆාදර් කැන්බිගේ මුවෙන් ගිලිහෙනවාත් සමඟින් ඈන් පූජකවරයා පසකට කරමින් පල්ලිය ඇතුලට දිවගියා.

මේ දෙස පුදුමයෙන් බලා සිටි කැලන්, ෆාදර් මොකද වුනේ? ඔබතුමා කොහොමද එමීලියාව බේරගත්තේ?

කැලන් දෙස බලා මද සිනාවක් පෑ පූජකවරයා, මට ඒ තරම් ලොකු දෙයක් කරන්න දෙවියන් වහන්සේ හයියක් දීලා නෑ දරුවෝ. ඒත් මැතිව් ඊයේ නගරයේ සිට එක්කගෙන ආපු ලෝගන්ට නම් දෙවියන් වහන්සේ ඒ ආශිර්වාදය ඕනවටත් වඩා දීලා තියෙනවා.

මොනවා?

ඔව් කැලන්, ඊයේ එමීලියා කෑගසන ශබ්දය ඇසුණු වෙලේම ලෝගන් මෙතනින් පිටවුනා. ඇයව රැගෙන ගිය අද්භූත සෙවණැලි දෙක ලුහුබැදගෙන වනාන්තරය ඇතුලට ගිය ලෝගන් එමීලියාව ඔවුන්ගෙන් බේරගෙන පල්ලියට අරගෙන ආවා. ඇගේ තුවාලවලට අවශ්‍ය ප්‍රතිකාර කර ඇයව තනි නොකර අප දෙදෙනාම ඇය අසලම රැදී සිටියා.

මහ රෑ ඔහු තනියෙන් කැලයට ගියා? අපි නම් දවාලටවත් දැන් කැලයට යන්නේ නෑ. විශ්වාස කරන්නත් බෑ ෆාදර් මේ කියන්නේ ඇත්තද කියලා.

ඔබ මා දුටු දේවල් දුටුවා නම් ඔහොම කියන්නේ නෑ කැලන්. අපි එනකොට පාර හරහා සිටි වෘකයා ඔහු මෙල්ල කලේ ඉනේ තියෙන පිස්තෝලෙටවත් අත නොතියා. ඒ නිසා මේ කියන දේ ගැන මට නම් කිසිම අවිශ්වාසයක් නෑ. ෆාදර්, මම හිතන්නේ අපිට සුදුසු පුද්ගලයාම ලැබිලා තියෙනවා.

අපි ඇතුලට යමු. මම ඔබට ඔහුව අදුන්වා දෙන්නම්. ෆාදර් කැන්බි මැතිව්ටත් කැලන්ටත් පල්ලියේ දොරටුව දක්වා සිටියා.

පල්ලිය ඇතුලට ගිය ඔවුන්ට දකින්න ලැබුණේ එමීලියාව තදින් වැළදගෙන කඳුළු සලමින් සිටි ඈන් මේරියි.

ෆාදර් මම හිතුවා මගේ දරුවා මට සදහටම නැති වුනා කියලා. අනේ මම කොහොම ස්තුති කරන්නද මන්දා ඔබතුමාට‍.

ඒ ස්තුතිය මට බාරගන්න බෑ ඈන්. ඒ හැම ස්තුතියකම අයිතිකාරයා මේ ලෝගන්. ෆාදර් කැන්බි මදක් එහායින් අසුන්ගෙන සිටි දඩයක්කරුව දක්වා සිටියා.

අනේ පුතා ඔබට බොහොම ස්තූතියි. මට ඒ ගැන කියන්න වචන නෑ. මගේ දරුවව බේරගත්තට ඔබට දෙවියන්ගේ ආශිර්වාදයම ලැබෙන්න ඕන.

ලෝගන් පුතා, මේ ඉන්නේ ගමේ නායකයා කැලන්. මැතිව්ව නම් ඔබ දන්නවානේ දැනටමත්. මේ එමීලියාගේ අම්මා ඈන් මේරි. මේ ඉන්න පොඩි දඟ කෙල්ල තමයි බොනික්කව ඉල්ලලා අඩපු ඇලීසියා.

සුපුරුදු ලෙසම දඩක්කරුවා කළේ සියල්ල දෙසම බලා හිස සලා මදහසක් පෑම පමණයි.

ලෝගන් පුතා කියපු විදිහට, අපිට මෙච්චර දවස් කරදර කලේ කවුද කියලා අපිට අද හරියටම දැන්ගන්න පුළුවන්.

ඒ කොහොමද ෆාදර්?

පුතා මැතිව්, මට ලෝගන් කියපු විදිහට ඒ අපි නොදන්නා බලවේගයට ඊයේ කැලේ ඇතුලෙදි ඔහු වෙඩිතබා තිබෙනවා, ආයේ නොනැගිටින්නම.

ෆාදර්? ඊයේ රෑ? අර අඳුරු මූසල කැලය ඇතුලෙදි? මට විශ්වාස කරන්නත් බෑ ෆාදර්. ඔබ එච්චරම දක්ෂයෙක්ද? කැලන් දඩක්කරුගෙන් විමසා සිටියා.

වසර ගණනක පුහුණුව හා පළපුරුද්ද කැලන්. ඔබට මා අවිශ්වාස නම් මා සමඟ එන්න. ඔබට පුළුවන් ඒ දේ ඇහින්ම දැකගන්න. මා දැන් එතනට යනවා. මට තියෙනවා යමක් තහවුරු කරගන්න.

කෑළයට?

ඔව් කැළයට තමයි. මැතිව් ඔබ එනවාද මාත් සමඟ?

අනිවාර්‍යයෙන් ලෝගන්. මා ඔබත් සමඟ එනවා.

එසේනම් ගින්නක් දැල්වීමට අවශ්‍ය දේවල් සමඟ පොරොවක් රැගෙන් ගම්මානය කෙළවර මායිමේදී මා මුණගැසෙන්න තව පොඩි වෙලාවකින්.

මෙසේ පැවසූ දඩයක්කරුවා වාඩිවී සිටි අසුනෙන් නැගී සිට තමන්ගේ ගමන් බෑගය තබා තිබූ කුටිය දෙසට පිටත් වුනා,

ලෝගන් පුතා, පිටුපසින් නැගුණු ඈන්ගේ කටහඩ ඔහුව මොහොතකට නතර කලා.

උදේ ආහාරය ගන්න අපේ නිවසට එන්න. මැතිව්, ඔය වැඩ ටික ඉවර වුනහම ඔහුව එක්කන් එන්න අපේ නිවසට. ඔබ දෙදෙනාටත් අපේ ගෙදරින්ම උදේ ආහාරය ගන්න පුළුවන්. ෆාදර්, මම ඔබටත් උදේ ආහාර වේල එවන්නම් ජෝශෆ් අතේ.

හිස සලා එය පිළිගත් ලොගන් එම ස්ථානයෙන් පිටවී ගියා. මැතිව්ද පූජකවරයාට ආචාරකොට පිටවී ගියේ දඩයක්කරු පැවසූ කළමනා ටික ඉක්මනින්ම එකතු කර ගැනීමට අවශ්‍ය වු නිසයි.

ෆාදර්, මම එමීලියාව එක්කන් යනවා ගෙදර. මම හිතනවා ඇය තව ටිකක් විවේක ගත යුතුයි කියා. පරක්කු වෙන්නේ නැතුව උදේ කෑම ටික ලෑස්ති කරන්න ඕනේ. අද අපිට අමුත්තෝ දෙන්නෙක්ම ඉන්නවා.

අම්මා, මට එහෙම අමාරුවක් නෑ. බයවෙන්න එපා. මම ඔබට උදව් කරන්නම්.

පූජකවරයාට හා කැලන්ට ආචාර කළ ඈන්, එමීලියා හා ඇලීසියා සමග එතනින් පිටවුනා.

ෆාදර්, අපිට ඔහුව විශ්වාස කරන්න පුළුවන්ද? ඔහු කොහෙන් ආ කෙනෙක්ද කියලාවත් අපි දන්නේ නෑනේ ෆාදර්.

කැලන්, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න ලෑස්ති වෙන්න එපා. ඔහුට ඕන වෙලාවක මෙයින් පිටවී යා හැකියි. ඒත් අපිට එය කරන්න බෑ. මේ අපේ ගම. මේක දාලා අපිට වෙන යන්න තැනක් නෑ. ඔහුගේ උදව් නැතුව මේ කරදරයෙන් අපිට ගැලවෙන්න බෑ.

ඒක නම් ඇත්ත තමයි ෆාදර්.

මොහොතකට පසුව දඩයක්කරුවා හා කැලන් පල්ලියෙන් පිටවී ගියා. ඔවුන් ගම්මානය මායිමටවිත් මැතිව් පැමිණෙනතෙක් එහි මදක් රැදී සිටියා. වැඩි වේලාවක් ගතවීමට මත්තෙන් අවශ්‍ය කරන කළමනා රැගත් මැතිව් තවත් කොලු ගැටයෙක්ද සමඟින් එහි පැමිණියා.

මේ ජෝශප්, එමිලියාගේ මල්ලි. මට ගැලවීමක් නැතිවුනා ඔහුගෙන් මේ විස්තරය දැනගත්තහම. ඒ නිසා මා ඔහුත් සමඟම මෙහි පැමිණියා.

ඔහු දෙස එක් දැඩි බැල්මක් හෙලු දඩයක්කරු, ආවට කමක් නෑ. කිසිම සද්දයක් කරන්න බෑ. මම කියන හැමදෙයක්ම ඒ විදහටම වෙන්න ඕන. කොයිම වෙලාවකවත් මඟ නතර වෙන්න එපා. කණ්ඩායමෙන් මඟ හැරෙන්න එපා. හැමවිටම කිට්ටුවෙන් මට කිට්ටුවෙන් සිටින්න. මට ඉස්සරවෙලා යන්නත් එපා යැයි පැවසූ දඩයක්කරු වනාන්තරය තුළට යාමට ඇති කුඩා අඩි පාරට පිවිසුණා.

මේ දහවල් කාලය කියා දඩයක්කරු සිය අවදානය කිසිම ලෙසකින් අඩුවක් කලේ නෑ. සැතපුම් කීපයක් වනය ඔස්සේ ගමන් කළ මේ පිරිසට බිම වැටී තිබු සිරුර දක්නට ලැබූණා.

ඔබ මෙතරම් දුරක් ඊයේ රෑ කැලය ඇතුලට ආවද? හිතාගන්නත් බෑ. අවවාදය අමතක කළ ජෝශප් සිය මුව විවර කළා.

ජොශප් දෙස රවා බැලූ කැලන් ඔහුට නිහඩවන ලෙස අතින් සන් කළා.

මුණින් අතට වැටී තිබුණු සිරුර අසලට ගිය දඩයම්කරු සිරුර ප්‍රවේශමින් අනිත් පසට හැරෙව්වා. දඩයක්කරුගේ උණ්ඩය සිරුරේ පපු පෙදෙසට දැඩි හානියක් කර තිබ්බා. එයින් ගලා ගිය කළු පැහැති රුධිරය ඒ අවට බිම තෙත් කර වේලී යමින් තිබ්බා.

මියගොස් තිබුණ සත්වයාගේ සිරුර ඉතාමත් සිහින් එකක්. එනමුදු සත්වයා බොහෝ ශක්තිමත් බවක් දක්නට ලැබුණා. ඇටසැකිල්ලක් වැනි සිරුරේ අළු පැහැති මමියක මෙන් ඇකිලුණු සමකින් ඒ සිරුර වැසි තිබුණා. උරහිස තෙක් පමණ දිගුවු කොණ්ඩයක්ද ඇඟේ තැනින් තැන වැඩුණු දික්වු රෝමද, උල් වු නියපොතු වලින් වූ දික්වු ඇගිලිද සතෙක්ගේ මෙන් දික්ව වැඩුණු කන් දෙකක්ද ලැබුණා. මුවේ උල් දත් එළියට නෙරාවිත් තිබූ අතර එය නෙතට අතිශයින්ම අප්‍රියජනක දර්ශනයක් වුනා.

මම හිතුවා හරියටම හරි, තමාටම පවසාගත් දඩයක්කරු නැගී සිටියා.

ලෝගන්, මොකෙක්ද මේ? මගේ ජීවිතේට මෙහෙම දෙයක් අහලා දැකලා නෑ. මේ දර්ශනයෙන් භීතියට පත්ව සිටි ගම්පතියා පසෙකින් වාඩිවෙමින් පැවසුවා.

මේ වෙන්ඩිගෝ (Wendigo) කෙනෙක්. මම එකම එක පාරක් මේ ජාතියේ සතෙක්ව දඩයම් කළා.

“වෙන්ඩිගෝ” ඒ මොකෙක්ද? කිසිවෙකුටත් පෙර ජෝශප් සිය මුව විවර කළා.

මම විස්තර පස්සේ කියන්නම්. දර ටිකක් එකතු කරන්න. මේක එහාට ඇදලා දාලා ගිනි තියලා දාන්න ඕන වැඩි ආරක්ෂාවට. මැතිව්, ඔය තෙල් ටික මට දෙන්න. කැලන් ඔය වේලිච්ච කොට කීපයක් කපලා ගන්න. ඒකටයි මම පොරොව ගෙන්න කිවුවේ. ජෝශෆ් ඔය ලේසියෙන් ගිනි ඇවිලෙන වේලිච්ච කොළ ටිකක් එකතු කරලා ගන්න.

සුළු වෙලාවක් ඇතුලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික එකතු කරගත් ඔවුන් මිය ගිය වෙන්ඩිගෝ සිරුර ගිනිබත් කලා. ගින්න හොදින් ඇවිලෙනකම් මදක් වෙලා රැදී සිට ඔවුන් අනතුරුව එයින් පිටවී ගියා. මඳක් එහායින් සැඟව සිටි කිසිවෙක් නොදුටු රෞද්‍ර දෑසක් මේ සම්පූර්ණ කාලය තුළම ඔවුන් වෙත එල්ල වී තිබුණා.

     ගම්මානයේ මායිමට එන විට ඔවුන්ට එහි රැදී සිටින ඇලන් දැකගන්න ලැබුණා.

     මොකද ඇලන් මෙතන කරන්නේ?

     කැලන්, ෆාදර් කැන්බි කිවුවා ඔබලාට ඈන්ගේ ගෙදරට එන්න කියලා. මම ඒ පණිවිඩය      කියන්නයි හිටියේ.

     හරි ඇලන්, බොහොම ස්තූතියි.

     ලෝගන් අපි එහෙනම් කෙළින්ම ඈන්ගේ ගෙදරට යමු. අපිට කොහොමත් උදේ ආහාරය      ගන්න එහාට එන්න කිවුවනේ.

     හිස සලා එය අනුමත කළ ලෝගන් කැලන්, මැතිව් හා ජෝශෆ් සමඟින් ඈන්ගේ නිවහන      වෙත ගමන් කළා. ඔවුන් එහි යන විට ෆාදර් කැන්බිද එහි පැමිණි සිටියා.

     ආයේ මොනවද කරදර වෙන්නේ කියලා, මම ඈන් දරුවගේ ගෙදරටම ආවා. මොනවාද      ඔබලාට දැකගන්න ලැබුණේ. ෆාදර් කැන්බි පිරිසගෙන් විමසා සිටියා.

     ෆාදර් අපි ආහාර ගන්න ගමන් කතා කරමු නේද? අපිට බොහොම බඩගිනියි මහන්සියි      නේද ලෝගන්, කැන්බි පවසා සිටියා.

     හරි දරුවෝ, මේ උනන්දුව හන්දා මට ඒ දේවලුත් අමතක වෙනවා. පැවසූ පුජකවරයා, සියලුදෙනා සමඟින් කෑම මේසයට වාඩිවුනා. ඔවුන් ආහාර ගන්නා තුරු ඈන් මේරි සහ එමීලියා ඒ අසලම රැදී සිටියා.

ෆාද්රේ, ලෝගන් සිට හඩ අවදි කළා.

ෆාද්රේ මේ ගමට මේච්චර දවස් විණ කරලා තියෙන්නේ අද්භූත සත්ත්ව කොට්ඨාශයක් විදිහට අපි හදුන්වන වින්ඩිගෝ කියන සතුන්. අර මැරිච්ච සතාගේ සිරුර දැක්කහම මට ඒක හොදටම තහවුරු වුනා. උන් කෙට්ටුයි, ඒත් හිතාගන්න බැරි විදිහට උන් ශක්තිමත්, ඒ වගේම බොහොම වේගවත්. ඒකයි ඔබලා කාටවත් ඔවුන්ව දැකගන්න ලැබුනේ නැත්තේ. රාත්‍රි කාලයෙත් හොදින් ඇස් පේනවා මේ සත්තුන්ට. බොහොම දරුණුයි. ඒ වගේම හරිම කෲර සත්ත්ව කොට්ඨාශයක්. මිනිස්සුන්ව ආහාරයට ගන්නවා. කොච්චර කෑවත් ඇතිවෙන්නේ නෑ. හරිම බිහිසුණුයි.

දෙවියනි යැයි පැවසු පූජකවරයා සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

ඒක තමයි අපිට ගමේ මැරිච්ච අයගේ සිරුරුවල කොටස් පමණක් දැකගන්නට ලැබුණේ.

මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි ෆාද්රේ, මේ සත්තු සාමාන්‍යයෙන් ඉන්නේ උතුරු ඇමරිකානු ප්‍රදේශවල. මට තියෙන ප්‍රශ්නේ ඒ සත්තු කොහොමද මේ ස්කොට්ලන්තයට ආවේ කියන එක.

මොනවා?

ඔවු ෆාද්රේ, මේ සත්ත්ව කොට්ඨාශය ගැන පැරණිම විස්තර තියෙන්නේ ඇල්ගොන්කුවෙන් (Algonquin) භාෂාවෙන්. ඒ කියන්නේ කැනඩාවේ ඔටාවා ගඟ අසබඩ හා උතුරු ඇමරිකානු ප්‍රදේශවල ජීවත්වු පාරම්පරික ජනතාව භාවිතා කළ භාෂාවෙන්. ඔවුන්ගේ පුරාවෘත්ත වල කියන විදිහට කෙනෙක් අතිශයින් මසුරකමෙන් ජීවත්වෙලා මිය ගියාම හරි වෙනස් මනුස්සයෙක්ගේ මස් ආහාරයට අරගෙන මිය ගියාට පස්සේ ඔවුන් මේ කියන භයංකර වෙන්ඩිගෝ කියන සතුන් බවට පත්වෙනවා කියලයි.

මේවා වෙන්න පුළුවන් දේවල්ද ලෝගන්?

කැලන්, ඔබත් මේ සතාගේ සිරුර දැක්කනේ? ඔබට වෙන අදහසක් තියෙනවද? කැලන් වෙත අප්‍රසාදජනක බැල්මක් හෙලමින් ලෝගන් කැලන්ගෙන් විමසුවා. ඔබලාට මාව අවශ්‍ය නැත්නම් මම අදම මේ ගමින් පිටවී යන්නම් යැයි පැවසු ලෝගන් සිය පුටුව පසෙකට කරමින් නැගී සිටියා.

සමාවෙන්න ලෝගන්, මට මේවා ඇහින් දැකලත් විශ්වාස කරන්න බෑ.

කලබලවෙන්න එපා පුතා, ඉවසන්න. කැලන්ට විතරක් නෙවෙයි අපිටත් මේක විශ්වාස කරන්න අමාරුයි. ඔබට මේවා හුරුපුරුදු දේවල් වුනාට අපිට එහෙම නෑනේ දරුවෝ.

අපිට උදව් කරන්නේ නැතුව ඔබ යන්නද හදන්නේ ලෝගන්, ලෝගන් දෙස දුක්මුසු දෑසින් බලාසිටි එමීලියා විමසුවා.

මේ සියලු ඉල්ලීම්වලින් පසු නැවතත් අසුන්ගත් දඩයක්කරු සිය කතාව ආරම්භ කලා.

     උපන් හැටියේම මේ ජීවිත් එතරම් ශක්තිමත් නෑ. හම රැළි වැටිලා. ඒත් දඩයම් කරන්න කරන්න      ඔවුන් ශක්තිමත් වෙනවා. හමේ තියෙන රැළිගතිය අඩු වෙන්න ගන්නවා. මගෙන් වෙඩි පහර කාපු      එකා සම්පූර්ණයෙන්ම වැඩුණු වෙන්ඩිගෝ කෙනෙක් නෙවෙයි. ඒක හම දිහා බලපුවහම කියන්න      පුළුවන්. සාමාන්‍යයෙන් මිනිසෙකුට වඩා උසයි. ඒකත් අපි අද දැක්කා. මේ සත්තු මිනිහෙක්ගේ හා      සතෙක්ගේ දෙමුහුමක් කියලා හදුන්වන්නත් පුළුවන්. වැඩෙන්න වැඩෙන්න මේ සත්තුන්ගේ මරන්න,      ඒ වගේම මිනී මසට තියෙන ආසාව වැඩිවෙනවා. ඒ වගේම තව තවත් ශක්තිමත් ඒ වගේම වේගවත්      වෙන්න ගන්නවා.

     මගේ දෙවියනේ, සියල්ල මෙතෙක් වෙලා නිශ්ශබ්දව අසා සිටි ඈන් මේරී ලොකු හුස්මක් ගත්තා.

     සමහර කතා වල තියෙනවා මේ සතුන්ට අං තට්ටුවක් තියෙනවා කියලා. ඒත් මම තවම එහෙම අං      තට්ටුවක් තියෙන එකෙක් දැකලා නෑ. ඒ වගේම අපි පුච්චලා දැම්ම සතාටත් අං තට්ටුවක් තිබ්බේ නෑ.      ඒ වගේම මේ සත්තුන්ට අඟුරු වගේ කළු පාට ගිලුණු ඇස් තියෙනවා කියනවා. සමහරු කියනවා මේ      සත්තුන්ට අයිස් වගේ සීතල හදවත් තියෙනවා කියලත්. මේ ගමට හානිකරපු එක සතෙක් මට මරලා      දාන්න පුළුවන් වුනා. එකෙක් පැනලා ගියා. පැනලා ගිය සතා මැරිච්ච සතාට වඩා වැඩිච්ච එකෙක්      මම දැක්ක තරමට. ඒ ඇරෙන්න තව සත්තු කීයක් ඉන්නවද කියන්න දන්නේ නෑ මම තාමත්. ඒ      වගේම මේ සතුන් මෙහාට ආවේ කොහොමද කියන එක මට ලොකු ප්‍රේහේලිකාවක් ෆාදර් යනුවෙන්      පැවසූ ලෝගන් මදක් නිහඩ වුනා.

     අපි මොකක්ද ලෝගන් කරන්නේ? එමීලියා දඩයක්කරුගෙන් විමසා සිටියා.

කරන්න දේවල් දෙකක් තියෙනවා එමීලියා, ලෝගන් එමීලියාගේ සුන්දර නිල් පැහැති දෑස් දෙස බලමින් පැවසුවා. එකක් මම ගමේ රාත්‍රී කාලයට සැඟවී මේ සතුන් අපි වෙත එනකම් ඉන්න ඕන. නැතිනම් වනාන්තරය පීරා මේ සතුන් සොයන්න ඕන. මේ දෙකම එක වගේ භයානකයි. මම තවම තීරණය කරලා නෑ මොකක්ද කරන්න ඕන කියලා.

වනාන්තරය සෝදිසි කරනවා නම් අපිට පුළුවන් ඔබට උදව් කරන්න. අපි මේ වනාන්තරය ගැන ඔබට වඩා දන්නවා. අනික අපිටත් පුළුවන් වෙඩිල්ලක් දෙකක් තියාගන්න, එහෙම නේද කැලන්, මැතිව් කැලන්ගෙන් විමසුවා.

ඔව් ඇත්තටම, අපි කැමතියි ඔබට උදව් කරන්න.

ඔබලාගේ සාමාන්‍ය ආයුධ වලින් මේ සතුන්ට යාන්තමට පරක්කු කරන එක තමා කරන්න පුළුවන්. මා පාවිච්චි කරන්නේ ඔබලා භාවිතා කරන සාමාන්‍ය ගිනි අවිවත් සාමන්‍ය උණ්ඩත් නෙවෙයි. බලන්න, සිය පිස්තෝලයෙන් එළියට ගත් රිදී පැහැති උණ්ඩයක් මැතිව් අතට දෙමින් දඩයක්කරුවා පැවසුවා.

රිදී? මේ උණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ රිදී වලින්. මැතිව් උණ්ඩය කැලන් අතට දෙමින් පැවසුවා.

ඔව්, රිදී උණ්ඩ. ඒ වගේම රීදී උණ්ඩ වල කෙළවරට රසදිය බිදුවක් පුරවා තිබෙනවා. ඒවා ඉලක්කය මත පතිත වුනහම විශාල ප්‍රමාණයේ පිපිරීමක් කරනවා. ඒ නිසා මේ උණ්ඩවලින් වෙන හානිය වැඩියි. මේ වගේ බොහොමයක් අද්භූත සතුන්ව විනාශ කරන්න පුළුවන් හොදම ‍දේවල් වලින් එකක් තමයි රීදී කියන්නේ. ඒ වගේම අසිපතක් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්, දඩයක්කරුවා පසකින් තබා තිබූ තම අසිපත දක්වමින් පැවසුවා. සමහරු කියනවා මුන්ගේ සීතල හදවත ගලවලා හොදින් දැල්වෙන ගින්නකට දාන්න ඕන කියලත්. නමුත් මට නම් මගේ අසිපත හැමවිටම විශ්වාසයි.

මේ සත්තු දවල්ට එන්නේ නැද්ද ලෝගන්.

දැනුවත්වනම් නැහැ. ඔවුන් දවල් කාලයට දඩයම් කරනවා කියලා කිසිම සටහනක් අපේ මුලාශ්‍ර වල සටහන් වෙලා නෑ ජෝශෆ්. ඒත් කියන්න බෑ. අපි හැමවිටම කල්පනාවෙන් පරිස්සමින් ඉන්න එක හොදයි. ඒක නිසා කිසිම කෙනෙකුට කැළට පැත්තට යන්න දෙන්න එපා.

ඒක නම් යන්න කිවුවත් කවුරුවත් කරන්නේ නෑ. අපේ අය හොදටම බයවෙලයි ඉන්නේ. මඳහසක් නංවමින් කැලන් ප්‍රකාශ කළා.

දරුවා, ලෝගන් දැන් අපි මොකක්ද කරන්නේ? පූජකවරයා දඩයක්කරුවාගෙන් විමසුවා.

ඊයේ ගොදුර වැරදුණ නිසා අද රෑට ආයෙමත් මෙහාට එන්න පුළුවන්. ඒක නිසා මම මේ ගෙදර අවට සැඟවී ඉන්නම්. ෆාද්රේ මේ කට්ටියව අද රෑට පල්ලියේ නවත්ත ගන්න පුළුවන්ද? මැතිව් ඔබටත් පුළුවන් නම් පල්ලියේ නවතින්න. හැමෝගෙම ආරක්ෂාවට. ඔබට මගේ රයිෆලය පාවිච්චි කරන ආකාරය කියලා දෙන්නම්. කැලන්, හැමෝටම කියන්න කිසිම හේතුවකටවත් අද රෑ එළියට බහින්න එපා කියලා.

හරි ලෝගන් පුතා, මම ඈන්ගේ පවුල අද පල්ලියේ නවත්තගන්නම්. මැතිව් ඔබ අපිත් එක්ක එකතු වෙනවද?

ඔව් ෆාදර්, මම එනවා. මම ඕනම දේකට ලෑස්තියි.

හරි, එහෙනම් අපි පල්ලියට යමු. ඈන් සියල්ල සුදානම් කරගෙන ඇතුව හවස පහ විතර වෙනකොට පල්ලියට එන්න. මතක ඇතුව ඇලීසියාගේ බෝනික්කා අරගෙන එන්න, යැයි පැවසූ දඩක්කරුවා සිය අසුනින් නෑගී සිටියා.

KB 2020.12.23

No comments: