අඳුරේ දඩයම්කරු 07 - පැහැරගැනීම

     දහවල් කාලය ගතවී ගියේ කිසිවෙකුත් සිතුවාටත් වඩා ඉක්මනින්. රිදී      උණ්ඩ වෙනුවට සාමාන්‍ය උණ්ඩ තම රයිෆලයට යෙදූ දඩයක්කරුවා      එයින් වෙඩි තියන අයුරු මැතිව්ට පුහුණු කළා. මැතිව් කිසිදු විටක      රයිෆලයකින් වෙඩි තබා නොතීබීම, ඔවුන්ගේ කාර්යයට බලනොපෑවේ      ඔහු ඉතා මහන්සිවී ලෝගන් පැවසූ සියල්ල සිතේ දරාගත් නිසයි. තමන්      මේ අත ගසා තිබෙන්නේ අතිශයින්ම භයානක කටයුත්තකට බව මැතිව්      මනාව වටහාගෙන සිටියා.

දඩයක්කරුවාගේ රයිෆලය ලීවර ක්‍රියාකාරීත්වය (Lever action) සහිත වෙනත් රයිෆලයකට වඩා මදක් බරින් අඩු වුවක්. එහි අඩු බර එය පාවිච්චි කරන්නාට රයිෆලය වේගයෙන් එක් ඉලක්කයකින් වෙනත් ඉලක්කයකට එල්ල කිරීමේ හැකියාව ලබා දුන්නා. බැරල් දෙකකින් සමන්විත මෙම අවියේ දිගු බැරලය අඟල් 24 ක දිගකින් යුක්ත වුනා. අනිකුත් කොටස් රිදියෙන් අනගි ලෙස අතින්ම නිමවා තිබූ එහි ඉලක්කය දක්ෂ වෙඩික්කරුවෙක්ගේ අතේදී හැම විටම නිවරදි වුනා. පතොරොම් යොදන කුටියේ පතොරොම් 15 රැදවිය හැකි ලෙස වැඩි දියුණු කර නිර්මාණය කර තිබූ අතර එහි උරහිසට තබා ගන්නා කොටස (Heel) ඕක් ලීයෙන් නිමකර වෘකයෙක්ගේ රුවක් සහිත අලංකාර කැටයමක් කොටා තිබුණා.

වට කීපයක් වෙඩිතබා අවසන් වන විට මැතිව් දඩයක්කරුවා “වෘකයා” ලෙසින් නම් කර තිබූ රයිෆලයේ ක්‍රියාකරීත්වය මනාව වටහාගෙන තිබුණා.

මැතිව්, ඔබ දක්ෂ වෙඩිකරුවෙක් වගේ. ඒ ලක්ෂණ මට ඔබෙන් දක්නට ලැබෙනවා.

ස්තූතිය ලෝගන්, මම මේ පළවෙනි පාරට තමයි මේ වගේ රයිෆලයකින් වෙඩි තියන්නේ. මේක හරිම හුරුබුහුටියි. බර අඩු නිසා ඉක්මනින් ඉලක්කයට එල්ල කරන්නත් පුළුවන්, ලෝගන් අතට රයිෆලය නැවත දෙමින් මැතිව් පැවසුවා.

දිවා කාලය ගෙවී ගොස් සැදෑව එළඹුණේ සිතුවාටත් වඩා ඉක්මනින්. ඇනා, එමීලියා ඇතුළු පිරිස දඩයක්කරු කියූ වෙලාව ඉක්මවීමට පෙර පල්ලිය පැමිණ සිටියා. මොවුන් කරන සියළුම දේවල් ඔවුන් නොදන්නා තවත් දෑසකට අසුවී තිබූ බව කිසිවෙකුත් දැනගෙන සිටියේ නෑ. සුපුරුදු පරිදි සවස හය පමණ විට ගම්මානයේ සියල්ලන්ම ගෙවල් තුළට වැදී ආරක්ෂිත වුනා. තවත් පැය එක හමාරකට පමණ පසු රිදී උණ්ඩ පිරවු රයිෆලය මැතිව් අතට දුන් ලෝගන් පල්ලියෙන් පිටව එමීලියාගේ නිවස අසල රැක සිටීමට ඒ දෙසට පියවර මැන්නා. ලෝගන් පල්ලියේ දොරින් පිටවීමට මොහොතකට මත්තෙන්, ඔහු වෙත දිව ආ එමීලියා, ලෝගන්ගේ දෑත් අල්ලාගෙන “ලෝගන්, පරිස්සමින් ආපසු එන්න” යැයි පැවසුවා. එමීලියා දෙස බලා මඳ සිනාවක් පෑ දඩයක්කරුවා පූජකවරයාට හා මැතිව්ට ආචාර කොට සිය අසිපතත් රැගෙන පිටවී ගියා. එමීලියාගේ නිවස අසල වූ ගසක දෙබලකට නැගගත් දඩයක්කරුවා තම ගොදුර එනතෙක් කල් මරන්නට වුනා.

යමක් බලාපොරොත්තුවෙන් සිටින විට රාත්‍රිය බොහෝ දිගුවේ. කෙසේ නමුත් මේ දිගු රාත්‍රී කාලය නිසොල්මන්වම ගෙවී ගියේ සැමගේ බලාපොරොත්තු සුන් කරමින්. පසුදා පාන්දරම පල්ලියට ආ දඩයක්කරුවා පැවසුවේ “වැරදිලා, අපිට කොතනක හරි වැරදිලා” යනුවෙන් පමණයි. එසේ පැවසූ දඩයක්කරුවා සිය කුටියට වැදී දොර වසාගත්තේ අන් සියල්ලන්ම පුදුමයට පත් කරවමින්.

නිශ්ශබ්දවම සිය කුටියේ බිම හිදගත් දඩයක්කරුවා සිදූවු සිදුවීම් සියල්ලම තම මනසින් පෙළ ගස්වන්නට වුනා. සිදුවූ සියල්ල මනසින් සමාලෝචනය කරගැනීමෙන් අනතුරුව, සිය සිත එකඟ කරගනිමින් දීර්ඝ වේලාවකට අවට පරිසරය සිය මනසින් වසා ඉවත්කර දැම්මේ ගැඹුරු වු භාවනාවකට සිත යොදවමින්. පැය ගාණනාකට පසුව දඩයක්කරුගේ මේ චිත්ත එකාග්‍රතාවය බිද වැටුනේ සිය කුටියේ දොරට තදින් වැදුණු පහරවල් රැසක් සමඟින්. වහා නැගී සිටි ලෝගන් සිය කුටියේ දොර විවර කලේ බොහොමත්ම කුතුහලය පිරි සිතකින්.

ලෝගන්, එමීලියා අතුරුදහන් වෙලා.

අතුරුදහන්වෙලා? ඒ කොහොමද මැතිව්? මොකක්ද සිද්ධ වුනේ?

එමීලියා, වතුර ගේන්න දොළ පාරට ගිහිල්ලා තියෙනවා. එතනින් එහාට වෙච්ච දෙයක් නෑ ලෝගන්. අපි ගිහිල්ලා බැලුවා. වෙන්ඩිගෝ කෙනෙක්ගේ අඩි සලකුණු තියෙනවා. එතනින් එහාට වෙන දෙයක් අපිට හොයාගන්න බැරිවුනා. අපි ඉක්මන් කරමු.

කලබලවෙන්න එපා මැතිව්. කලබලවුනොත් අපිට මුකුත් කරගන්න වෙන්නේ නෑ. අපි ගිහිල්ලා බලමු දොළ පාර ගාවට.

පල්ලියෙන් එළියට එන විටම ඔවුනට දක්නට ලැබුනේ කදුළු සලමින් හඩා වැලපෙන එමීලියාගේ මවයි. ෆාදර් කැන්බි හා කැලන් ඒ අසලම ඇයව අස්වසාලමින් සිටිනු දඩයක්කරුට දක්නට ලැබුණා.

මගේ දරුවා ලෝගන්, මගේ අහිංසක දරුවා. මගේ දරුවව හොයලා දෙන්න, ලෝගන් දුටුවිට ඇය මහ හඩින් වැළපෙමින් පැවසුවා.

කිසිදු වදනක් නොදෙඩු දඩයක්කරුවා මැතිව් සමඟ පිටවී ගියා. සුළු වේලාවකින් දොළ පාර අසලට පැමිණි ලෝගන් ඉතාමත් සීරුවෙන් ඒ වගේම කල්පනාවෙන් අවට පරීක්ෂා කලා. වෙන්ඩිගෝ සත්ත්වයාගේ බරට එරී ගිය අඩි සටහන් ඔහුට පහසුවෙන්ම දක්නට ලැබුණා. ගස්වලින් බිදවැටුණු අතු කැබැලි, පරිසරයේ වු වෙනත් ඉතා කුඩා වෙනස්වීම් ඔහුගේ තීක්ෂණ ඇසට දැකගන්නට ලැබුණා.

අපි යමු.

කොහාටද ලෝගන්, කිසිත් වටහා ගනු බැරිව බලා සිටි මැතිව් විමසා
සිටියා.

ඉස්සෙල්ලාම පල්ලියට, ඊළගට කැලයට.

මේ රෑ වෙන්න එන වෙලාවේ? කැළයට?

ඔව්. ඔබ කැමති නම් එන්න පුළුවන්. නැත්නම් මේ ගමේ අනිත් මිනිස්සු වගේ ගේ අස්සට රිංගගෙන බයේ වැළපි වැළපි ඉන්න පුළුවන්. තීරණය ඔබ අතේ. අද මොන විදිහට හරි මේ දේ ඉවරවෙනවා, යැයි පැවසු දඩයක්කරුවා නැවත පල්ලිය දෙසට යන්නට හැරුණා. ස්වල්ප
වේලාවකට පසුව පල්ලිය අසලට පැමිණි දඩයක්කරුවා,

ෆාද්රේ, ගමේ ඉතිහාසය ගැන ලියවුණ සටහන් මොනවත් තියෙනවාද?

ඔව් පුතා. ඇයි මේ හදිස්සියේ?

විස්තර කිය කිය ඉන්න වෙලාවක් නෑ ෆාද්රේ. ඉක්මන් කරන්න

පල්ලියේ වු කුඩා ලේඛනාගාරයට දඩයක්කරුවා රැගෙන ගිය පූජකවරයා එහි වු තරමක් විශාල පොතක් ලෝගන් අතට දුන්නා.

මේකේ තියෙනවා ගමේ සම්පූර්ණ ඉතිහාස කතාව.

දඩයක්කරුවාට එය නිදහසේ කියවීමට ඉඩහල පූජකවරයා පසෙකට වුනා.

සටහන් පොත පෙරලා යම් කිසිවක් සෙවු දඩයක්කරුවා, එය කියවා නිමකර කිසිදු වදනක් නොදොඩාම සිය කුටියට වැදුණා. ප්‍රථමයෙන් සිය පිස්තෝල දෙකට අතට ගත් දඩයක්කරුවා එය පරික්ෂා කොට සුපුරුදු පරිදි ඉණ දෙපසින් එල්ලා ගත්තා. අනතුරුව සිය දිගු කබාය අතට ගත් ඔහු එය පැළඳ ගත්තා. සුපුරුදු ලෙස කබායේ හිස වැසීමට ඇති කොටසින් හිසත් වසාගත් ඔහුගේ ස්වරූපය නම් භංයකාරයි. අනතුරුව සිය බෑගය අත දමා එයින් යමක් ගත් දඩයක්කරුවා එය සිය දිගු කබායේ සාක්කුවක දමා ගත්තා. අනතුරුව සිය කඩුව කොපුවෙන් එළියට ගත් දඩයක්කරුවා, මඳ සිනහවක් පා අද ඔබට වැඩ තියෙනවා යැයි පවසා නැවත කඩුව කොපුව තුල දමා එය සිය උරහිස හරහා දමා ගත්තා.

සිය කුටියෙන් නික්ම පල්ලියේ දේශන ශාලාවට එන විට එහි ෆාදර් කැන්බි හා එමීලියාගේ මව පමණක් නොව කැලන් ඇතුළු තවත් ගම්වැසියන් කීපදෙනෙක්ම එහි රැදී සිටිනු දක්නට ලැබුණා.

ෆාද්රේ, එමීලියාගේ පවුලේ අයව අදත් පල්ලියේ තියාගන්න. කිසිම දේකට එළියට යන්න එපා. මම යනවා.

කොහෙද ඔබ යන්න හදන්නේ?

කැළයට ෆාදරේ, අද මේ කාරණය සදහටම ඉවරයක් වෙනවා ෆාද්රේ. ඒක කොයි විදිහකට වේවිද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඒක ඉවරයක් වෙනවා. මම නැවත ආවොත් ඔබට සම්පූර්ණ විස්තරය කියන්නම්.

වෙනත් කිසිදු වදනක් නොපැසූ දඩක්කරු, එමීලියාගේ මව දෙස මොහොතක් බලා සිට පල්ලියෙන් පිටව ගියා.

ඔහුට දෙවියන්ගේ ගේ පිහිට, ආරක්ෂාව හා ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ පූජකවරයා සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

දඩයක්කරුට, පල්ලියෙන් එළියට බහින විටම දඩයක්කරුගේ රයිෆලයෙන් සන්නද්ධව පල්ලියේ දොරටුව අසල රැදී සිටි මැතිව් දක්නට ලැබුණා.

යමු ලෝගන්, මම ඔබත් එක්ක අපායට හරි යන්න එනවා.

සමහර විට අපිට එහාට යන්න වේවි මැතිව්. බයවෙන්න එපා, ලුසිෆර්ව මගේ හොද හිතවතෙක්. ඒ නිසා ඔබ අපාය ගැන වදවෙන්න එපා, යැයි පැවසු දඩයක්කරු මේක පැළදගන්නැයි පවසමින් මැතිව්ට කුඩා පස්කොන් තරුවක් රැදි මාලයක් වැනි යමක් ලබාදුන්නා

නැති කරගන්න එපා. එය ඔබේ ජීවිතය රැකදේවි යැයි තව දුරටත් පැවසූ ලෝගන් ගමන පිටත් වුනා.

ලෝගන් කෙලින්ම ගමන් කලේ දොළ පාර වෙතට. එහි වු ඇසට පෙනෙන නොපෙනෙන සලකුණු ඔස්සේ පාර සොයාගත් ඔහු අඳුරේම තම ඉලක්කය වෙත ගමන් කරන්නට පටන් ගත්තා. දෙවියනේ, මේ මොන ජාතියේ මනුස්සයෙක්ද? යක්ෂයාව හොදට දන්නවා කිවුව ‍කෙනෙක් මේ ඇහුවාමයි. මේ කැලේ අඳුරේ කොහොම පාර හොයාගෙන යනවද මන්දා? අද ආපහු ගමට යන්න වේවිද අපායට යන්න වේවිද මන්දා. කමක් නෑ. මං වෙනුවෙන් අඩන්න දොඩන්න කෙනෙක් නැති නිසා කරදර වෙන්න දෙයක් නෑ. අඳුරේ දඩයක්කරුවා පිටු පසින් ගමන් කරන මැතිව්ගේ සිත මෙවැනි සිතුවිලි වලින් පිරි යන්නට වුනා.

නිශ්ශබ්දව කැළය අතරින් ගමන් කළ ඔවුන්ට කිසිම සතෙක් සිව්පාවෙක් දක්නට ලැබුණේ නෑ. ගම්මානය පමණක් නොව මේ වනාන්තරද නිහඩ බවේ පත්ලටම කිමීදි තිබෙනු දක්නට ලැබුණා. බොහෝ වෙලාවක් වනාන්තරය මධ්‍යයට ගමන්කළ ඔවුන්ට ගිනි පන්දම් වලින් ආලොකමත් වු ගලින් නිමැවු අල්තාරයක් දක්නට ලැබුණා. එය යම් කිසි යාගයකට හෝ බිළි පුජාවක සුදානම් කර ඇති ලෙසකුයි ඈතට දිස්වුයේ.

ගල් අල්තාරය දෙකෙළවරටවන්නට විශාල ප්‍රමාණයේ වෙන්ඩිගෝ සත්ත්වයින් දෙදෙනෙක් රැදී සිටියා. අල්තාරය මත එමීලියාගේ විය හැකි සිරුර ගැට ගසා දමා තිබුණා. එහි එමීලියාගේ හිස පැත්තටවන්නට කළු පැහැති ඇඳුමෙන් සැරසී හිස වසාගත් අඳුරු රුවක් රැදී සිටියා. ඒ ඇරුණු කොට තවත් කාල වර්ණ ඇදුම් ඇදි දෙදෙනෙක් එහි සිටිනු ඔවුන්ගේ නෙත ගැටුණා.

මැතිව් සමඟ වහාම අසල වු දැවන්ත වෘක්ෂයකට මුවා වු දඩයක්කරුවා, මැතිව්ගේ කණට කොඳුරා මෙසේ පැවසුවා.

මම දැන් තනියම ඉදිරියට යනවා. කිසිම දේකට කලබල වෙන්න එපා. වෙඩි තියන්න ඕන වෙලාව ඕබට වැටහේවි. මෙතනින් කිසි කෙනෙක් පණ පිටින් යවන්න එපා. මම මළොත් කිසිම සද්දයක් නොකර මෙතනින් පිටවී ගමට යන්න. ගමට ගිහින් හැමදෙනාම අරගෙන මේ මොහොතෙම ගමින් පිටවෙන්න.

තමා පැළඳ සිටි දිගු කබාය ගලවා පසෙකින් තැබූ ලෝගන් අසිපත රැගෙන ගිනි පන්දමෙන් එළිය වු ගල් අල්තාරය දෙසට සෙමින් සෙමින් පිය නගන්නට පටන් ගත්තා. ___________________________________________________________________________________

KB 2021.01.06

No comments: