අඳුරේ දඩයම්කරු 08 - පළිගැනීම

අඳුර බිදින්නට දැල්වී තිබු පන්දම් එළි මැඩගෙන අද්භූත වු මීදුමක් ගල් අල්තාරය හරහා ගලා එමින් පරිසරය තව දුරටත් ගුප්ත බවක ගිල්වමින් තිබුණා. මදින් මද ගලා ආ මීදුම අතරින් අල්තාරය දෙසට ඇදෙන දඩයක්කරුවාගේ රුව දෙස මැතිව් බලාගෙන සිටියේ කුමකින් කුමක් වේදැයි නොදැන. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට ගත්තා. මැතිව්ට හැගී ගියේ සිය උගුරකට වියළී ගිය අයුරකුයි. දිගු හුස්මක් ඉහලට ගෙන

ඔහු මදකට ඇස් පියාගත්තේ බිදෙන් බිදෙන් සිය සිරුර පුරා පැතිරී යන භීතිය මදකට සමනය කරගැනීමටයි. දැඩිව “වෘකයා” සිය අත්ලට ග්‍රහණය කරගත් ඔහු එය දඩයක්කරුවා සෙමින් ඇවිද යන මාර්ගය දෙසට එල්ල කළා.

පරිසරයේ වු අද්භූතකර වෙනස්වීම් සිය තියුණු ඇසට ග්‍රහණය කරගනිමින් දඩයක්කරුවා අල්තාරය දෙසට ඇදුණා. ඉදිරියෙන් කාල වර්ණ ඇඳුමෙන් සැරසුණු ජායාවන් දෙකක් රැදී සිටියත් ඔවුන් දඩයක්කරුවාගේ ගමනට බාධා කළේ නෑ. අල්තාරයේ බාහිර සීමාව පසුකරමින් ඇතුලට ගමන් කළ ඔහු අල්තාරයේ බැද දමා තිබූ එමීලියාගේ සිරුරේ ඉදිරි පසින්, හරියටම එහි වූ අඳුරු රුවට මුහුණට මුහුණලා නැවතුනා. දඩයක්කරුවාගේ උරහිස තෙක් දික්වූ කෙස් වනාන්තරය සිසාරා ආ සීතල සුළඟින් සැලී ගියා.

තප්පර කිහිපයක් දිගු නිහඩතාවයක් වනාන්තරය පුරාම පැතිර ගියේ එහි වු භයංකරවූ අවිනිශ්චිතභාවය තව දුරටත් ගැඹුරට ඇද දමමිනුයි. මොහොතකට පසුව, දඩක්කරුවා ඉදිරියෙන් වු මිනිස් රුව සිය හිස නිරාවරණය කළා. එයින් දිස්වුයේ සුන්දර යුවතියකගේ රුවක්. එහෙත් ඒ සුන්දරත්වය තුළ ගුප්ත භයංකර බවක් දක්නට ලැබුණා. ඇගේ ඇඟිලි වල දිගට වැඩුණු නිය එම භයංකරත්වය දෙගුණ තෙගුණ කළා. දිගුට වැඩුණු ඇගේ රත් පැහැවූ කෙස් වැටිය ඇගේ සිරුරට අද්භූත ආකර්ශනයක් එකතු කළා.

මේ වන විට අවට සිටි පිරිස තමා වටා රොක් වන බව දඩයක්කරුවා තේරුම් අරන් සිටියා. දඩක්කරුවාගේ පිටු පසින් දෙදෙනෙක් රුදී සිටියා.
ඒ ඔහු පළා යෑමට තැත් කළොත් එය ව්‍යර්ත කිරීමට. ගුප්ත තරුණියගේ අසලින්ම තවත් පුද්ගලයෙක් රැදී සිටියා. ඔහු බොහොවිට ඇගේ ආරක්ෂකයෙක් හෝ මෙහෙකරුවෙක් විය හැක. අල්තාරය දෙපසින් තරමක් දුරට වන්නට වෙන්ඩිගෝ සත්ත්වයන් දෙදෙනා රැදී සිටියා. එයින් එක සත්වයෙක් ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩුණු එකෙක්. අල්තාරයේ සීමාවට පිටුපසින් තවත් පුද්ගලයින් තිදෙනෙක් රැදී සිටින බව ලෝගන්ගේ තියුණු නිරික්ෂනය අසුවුනා.

තව මොහොතකින් මෙම ස්ථානයේ දරුණු සටනක් ඇති වන බවට පෙරනිමිති දැනටත් දිස්වුනා. එය කෙළවරවන්නේ මේ පිරිසගේ හෝ තමන්ගේ අවසානයෙන් බව දඩයක්කරුවා වටහාගෙන සිටියා. සටන කිරීම, එය දඩයක්කරුවා බොහොම ප්‍රිය කළ දෙයක්.

උඹ තමයි එහෙනම් මම අවුරුදු ගාණක් බොහොම අමාරුවෙන් කළ සැලැස්ම විනාශ කරලා දාන්න ආපු දඩයක්කාරයා.

අද්භූත තරුණිය එසේ සිය හඩ අවදි කළා. එම හඩ අසා සිටි ඕනෑම කෙනෙක් භීතියට පත්වන බව නම් නොඅනුමානයි.

දඩයක්කරුවා සුපුරුදු ලෙස මඳ සිනාවක් පළ කළා.

තාමත් එදා වගේමයි. තමන්ගේ හැකියාව අන් අයගේ යහපත වෙනුවෙන් යොදා නොගෙන අඳුරේ බලවේග සමඟ එක්වී අන් අයගේ විනාශය දකින්න හදන්නේ ඇයි? උඹ අතීතයෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? එදා සිදුවූ දෙයින් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද?

අද්භූත තරුණිය දඩයක්කරුවාගේ පිළිතුර කෙසේවත් අපේක්ෂා නොකළ බව ඇගේ මුහුණේ වු තිගැස්මෙන් පෙනී ගියා.

උඹ? උඹ කොහොමද ඒ ගැන දන්නේ?

දඩයක්කරුවා නැවත වරක් මඳ සිනාවක් පළකළා.

මම වෙන්ඩිගෝ සතාව දැක්ක වෙලාවේ මට යම් සැකයක් ඇතිවුනා මේ සිදුවීම් ගැන. ස්කොට්ලන්තයේ වෙන්ඩිගෝ සතුන් නෑ කියලා මම හොදින්ම දැනගෙන සිටියා. කැනඩාවෙන් මෙතරම් ඈතට වෙන්ඩිගෝ සතුන් පැමිණීමට කාගේ හරි වුවමනාවක් තියෙන්න ඕන. අනික වෙන්ඩිගෝ කියන්නේ මහ කෑදර සතුන් ජාතියක්. උන් කොයිම වෙලාවකවත් සිය ගොදුර නොමරා, ආහාරයට නොගෙන අරගෙන යන්නේ නෑ. මේ සත්තු දෙවතාවක්ම ඒ දේ කලා. ඒ වගේම අද හවස මම දොළ පාර ගාව පරීක්ෂා කරන වෙලවේ මම අනිත් අය නොදැකපු මිනිස් පාවහනක අඩි සලකුණක් දැක්කා. මම අන්න එතනදී හරියටම තීරණය කළා මේ ගමට වෙච්ච පහරදීම් යටින් මිනිස් හස්තයක් තියෙන බව.

වෙන්ඩිගෝ සතුන් පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ කාටද? එහෙම පුළුවන් එකම එක කොට්ඨාශයකට විතරයි. මම දොළ ගාව පරික්ෂා කරලා ආපු ගමන් කලේ, නිට්වික් වල ඉතිහාසය ගැන ලියවුණු ලේඛන ටික කියවලා බලපු එක. අන්න ඒ ඉතිහාසේ එක තැනක තියෙනවා. නිට්වික් ගමේ හිටපු එක් යක්දෙස්සියක් ගමෙන් පන්නා දමපු බව. නපුරේ යක්දෙස්සියන්ට තමන්ගේ ආත්මය අඳුරට බිළිකරලා බොහෝ කාළයක් ජිවත් විය හැකි ක්‍රම තියෙන බව මම දැනගෙන හිටියා. ඉතුරු ටික මම ගලප ගත්තා. උඹ තමයි, අවුරුදු සීයයකට විතර කළින් මේ නිට්වික් ගමෙන් එළවලා දාපූ අඳුරු මන්තරකාරිය, එලීනා. තාමත් උඹ අඳුරේ ඇලී ගැලී අඳුරටම සේවය කරනවා.

ඔව්, මම එලීනා. මම තමයි, මොර්ගැනා රැජිණගෙන් පස්සේ මේ ලෝකෙට බිහිවෙච්ච දක්ෂම අඳුරේ බලවේගය. දක්ෂතම මන්තරකාරිය. මාව පරාද කරන්න කාටවත් බෑ, අඩු ගානේ උඹටවත් බෑ.

එදා ඒ ගම්මු මාව ගමෙන් එළවලා දැම්මා. මාව සතෙක් වගේ එළවලා දැම්මා. මම අවුරුදු ගාණක් දුක් වින්දා. මාව ජීවත් කළේ එකම එක දෙයයි. ඒ කවදා හරි ආපහු ඇවිල්ලා මේ ගමම භීතියෙන් පිස්සු වට්ටලා විනාස කරලා දානවා කියන බලාපොරොත්තුවයි මාව අද දක්වාම ජීවත් කළේ. මම කාලාන්තරයක් තිස්සේ බොහොම දුක් විදලා අඳුරේ විද්‍යාවන් ප්‍රගුණ කළේ ඒ පළිගැනීමටමයි. අද. ඔව්, අද හරියටම අවුරුදු සීයකට පස්සේ අද තමයි මම, මගේ බලාපොරොත්තුව ඉටු කරගන්න දවස. අද තමයි මම පළිගන්නා දවස. ඒ ගම්මානයේ නොයිදුල් තරුණියකගේ ලෙයින් අඳුරේ අධිපතිට කරන පුජාවක්. මගේ බලයේ සිය ගුණයක වැඩිවීමක්. මම ඒ බලය පාවිච්චිකරලා, ඒ ගම්මානය ලෙයින් පොඟවලා සමතලා කරලා දානවා.

උඹව එළවලා දැම්මේ උඹ ගමේ මිනිස්සුන්ට කරපු දුෂ්ඨ වැඩ නිසා. අනික උඹව ගමෙන් එළවලා දාපු මිනිස්සු කවුරුවත් අද ජීවතුන් අතර නෑ මෝඩ ගෑනියේ !

ඒත් උන්ගේ ලේ තියෙනවා ඒ ගමේ. උන්ගේ පරම්පරාව. එදා අම්මලා තාත්තලා කරපු වැරැද්දට උන්ගේ දරුවන් අද ලෙයින් වන්දි ගෙවනවා. උඹ තමයි ඒකට ඇතිවෙච්ච එකම බාධාව, තව පොඩ්ඩකින් උඹත් ඉවරයි, මගේ පළිගැනීමත් සම්පූර්ණයි දඩයක්කරුවා දෙස රුදුරු ලෙසින් බලමින් එලීනා පැවසුවා.

උඹව එදා ගමෙන් එළවලා නොදා ගිනි තියලා දාන්නයි තිබ්බේ, අනික් යක්දෙස්සියන්ට කරනවා වගේ. මේ ගමේ මිනිස්සු උඹට කරුණාව දක්වලා තියෙනවා වැඩියි. මම ඉන්නකම් උඹට මේ ගම විනාශ කරන්න දෙන්නේ නෑ. උඹේ එක හුරතලෙක් මම දැනටමත් වල පල්ලට යවලා තියෙනවා. මේ ඉන්න අනිත් එවුන් වගේම, ඔය කියවන උඹත් තව ටිකකින් ඌට එකතු වේවි.

උඹ තර්ජන මට පෑගෙන දූවිල්ලක් වගේ දඩයක්කාරයෝ. මාව උඹලගේ තියෙන ආයුධ වලින් විනාශ කරන්න බෑ. උඹ පාවිච්චි කරන රිදී උණ්ඩ පාවිච්චි කරලාවත් මාව මරන්න බෑ යනුවෙන් පැවසූ යක්දෙක්සිය වනය දෙදරවා දමමින් බිහිසුණු හඩින් සිනාසුණා.

ඊළඟ මොහොතේ සිය ඉණෙහි රදවා තිබූ බිළි පූජාවට යොදා ගන්නා සත්ත්ව දළයකින් නිමැවූ මීට පෙර බොහෝ වාරයක් කන්‍යාවියන්ගේ රුධිරයේ රස විද තිබූ පිහිය එළියට ගත් ඈ එය ලෝගන් වෙතට එල්ල කළා.

     ඩෑන්.......

     ඒ සමඟම ලෝගන්ගේ පිටුපසින් වු එක් අඳුරු රුවක් මර හඩ නගාගෙන      ඇදගෙන වැටුණා. මැතිව් වෙඩි තැබිය යුතු හරිම වේලාව තොරාගෙන      තිබුණා. ඒ සමඟම තවත් වරක් වෘකයාගේ හඩ ගෑවා. ඒ හඩත්      අල්තාරය හා අවට වනය සිසාරා පැතිර ගියා. නැවත වරක් මර හඩක්.      තවත් සාර්ථක ඉලක්කයක් මැතිව්ගෙන්.

     ඊළඟ තප්පරයෙන් දශම කීපයක් වු කාලයකදී සිය අසිපත කොපුවෙන්      මුදාගත් ලෝගන් එය ක්ෂණයකින් යක්දෙක්සිය වෙත දමා ගැසුවා. ඒ      සමඟම ඔහු සිය පිස්තෝල දෙක එළියට ඇදගත්තා. තමාගේ ඉදිරිපසින්      එල්ලවෙමින් තිබූ අඳුරු රුවගේ ප්‍රහාරය මදක් දකුණු පසට වී මඟ      හරවමින් එක් වෙන්ඩිගෝ සතෙක්ගේ හිසටම පිස්තෝලය එල්ලකළ දඩයක්කරු එහි කොකා ගැස්සුවා. ඉදිරියට පනිමින් සිටි වෙන්ඩිගෝ සත්ත්වයා එක තැන මොහොතක් නතර වී ඊළඟ මොහොතේ පොළොව සිප ගත්තා.

තමන්ගේ පිටුපසින් ආ මුෂ්ටි පහර හිස නමා වළකාගත් ලෝගන්ගේ ඊළඟ ඉලක්කය වුනේ යක්දෙස්සිය ළගින්ම සිටි ඇගේ මෙහෙකරුවා නැත්නම් ආරක්ෂකයා. මොහොතකින් හිස සුන්වී ගිය ඒ සිරුර අල්තාරය අසලම ඇද වැටුණා.

ඊළඟ මොහොතේ දැවන්ත වින්ඩිගෝ සත්ත්වයාගෙන් එල්ලවු අනපේක්ෂිත ප්‍රහාරයෙන් දඩයක්කරුවා විසිවී ගොස් ගල් අල්තාරයේ වැදී ඇද වැටුණා. ඒ ප්‍රහාරය නිසා ඔහු අතේ වූ පිස්තෝල දෙකම ගිලිහී ගොස් තිබූණා. වෙන්ඩිගෝ සත්ත්වයාගේ ඊළග පහරට පෙර සිය ඉණේ රදවා තිබූ රිදියෙන් නිම කළ කිනිස්ස ඇදගත් ලෝගන් ගල් අල්තාරය මත නැගී ගුවනට කරණමක් ගසා බිමට පාත් වන අතරතුරම සිය කිනිස්ස වින්ඩිගෝ සත්ත්වයාගේ හිස් කබල මුදුනට ගිලා බැස්සුවා. එය සත්ත්වයාගේ නිකට අසලින් කළු පැහැති රුධිර ධාරා පිට කරමින් එළියට පැමිණියේ එම සත්ත්වයාව මොහොතකින් අවසන් ගමන් යවමින්.

බිමට පතිත වූ දඩයක්කරුවා ක්ෂණකින් නැගී සිටියේ ඉතිරීවී සිටි අඳුරු රුවවල් දෙකට මුහුණ දීමටයි. ඒ වන විට මැතිව් තවත් අඳුරු රුවක් සාර්ථක ලෙස අවසන් ගමන් යවා තිබුණා. ඔහු මේ වන විට සිය රයිෆලයත් රැගෙන අල්තාරය වෙත දිව එමින් සිටියා ලෝගන්ගේ සහයට. ආත්මාරක්ෂක සටන් ක්‍රම කීපයක්ම හදාරා ඒවායේ කෙළ පැමිණියෙක්ව සිටි දඩයක්කරුවා කිසිදු ආයුධයක් අතේ නොමැතිවම ඉතිරි වී සිටි අඳුරු මිනිසුන් දෙදෙනාට මුහුණ දුන්නා.

එක් අඳුරු රුවක් එල්ල කළ පිහිපහර වලකමින් දඩයක්කරු ඔහුට පා පහරක් දුන්නේ ඈතට විසිවී යන අයුරින්. ඊළග තප්පරයේදී බිම දිගේ ලිස්සා ගිය ලෝගන් ඉතිරි අඳුරු රුව පිටුපසින් මතු වුනේ ඔහුගේ ගෙල වටා සිය දකුණු අත යවමින්. ක්ෂණයකින් ස්වාසනාලය කැඩී යන පරිද්දෙන් ඔහුගේ ගෙළ අඹරා දැමූ ලෝගන් ඒ අසලම වැටී තිබූ සිය ගිනි අවිය ගෙන ඉතිරි වූ අඳුරු රුවේ පපුවටම එල්ල කර එහි කෝකා ගැස්සුවා. ඉතිරි පිස්තෝලයක් අහුලාගත් ලෝගන් පිස්තෝල දෙකම සිය ඉණෙහි සුරක්ෂිතව රැදවූවා. මේ වන විට මැතිව් අල්තාරය වෙත පැමිණ සිටියත් ඔහුට කිරීමට වෙන කිසිවක් ඉතිරී වී තිබුනේ නෑ.

දඩයක්කරු ඊළඟ මොහොතෙදී ලඟා වුයේ අල්තාරය ඉදිරිපස දණින් වැටී සිටි යක්දෙස්සිය වෙතටයි. ලෝගන් දමා ගැසූ අසිපත ඇයගේ හෘදයට මදක් පහළින් සිරුර විනිවිද ගොස් තිබුණා. එම තුවාලයෙන් ගලා ගිය රුධිරයෙන් අල්තාරය අවට බිම තෙත්වී ගියා. ලෝගන් දණ ගසා යක්දෙස්සිය වෙත නැඹුරු වුනා.

මුවින් ගලා ආ රුධිරයෙන් යුතුව ඇය අපහසුවෙන් තොල් සෙලෙව්වා.

කොහොමද එහෙම වෙන්නේ? කිසිම ආයුධයකින් මාව මරන්න බෑ. කොහොමද එහෙම වෙන්නේ? ඉතාමත් අපහසුවෙන් තොල් මිමිණු ඇය දඩයක්කරු දෙස බැලුවා.

උඹට වැරදුණේ එතනයි එලීනා. මේක සාමාන්‍ය අසිපතක් නෙවෙයි. උඹ මේ අසිපත ගැන අහලත් ඇති සමහරවිට. මේකට තමයි “ඉම්පීරියුම් අසිපත” (Imperium Sword) කියන්නේ. ඒ ගැන උඹ අහලා තියෙනවා නම් උඹ දන්නවා ඒක මොකක්ද කියලා, යැයි පැවසූ ලෝගන් සිය අසිපත ඇගේ සිරුරින් ඉවතට ඇද ගත්තා.

     අනතුරුව යක්දෙස්සියගේ සිරුරේ පැත්තකට වෙන්න සිටගත්      දඩයක්කරුවා, “එලීනා, උඹ අපායට ගියහම ලුසිෆර්ට කියපන් ලෝගන්      උඹව එවුවා කියලා” යැයි පැවසූ දඩයක්කරු අසිපත සිය හිසට ඉහළින්      ඔසවා එය වේගයෙන් යක්දෙස්සියගේ ගෙලට පතිත කළා.      ක්ෂණයකින් හිස සිදී ගිය කඳ මහ පොළොව සිප ගත්දී හිස අල්තාරය      අසළට රෝල්වී ගියා. අසිපත එහි කොපුවේ ලා ගත් දඩයක්කරුවා      අල්තාරය දෙසට හැරෙන විට ඔහුට දක්නට ලැබුණේ පුදුමයෙන් සිය      මුව විවර කරගෙන ඔහු දෙස බලා සිටින මැතිව්.

     මේ වන විට අල්තාරය පුරා පැතිය තිබූ අද්භූත මිහිදුම් පටලය වියැකී      ගොස් තිබුණා. සිය කිනිස්ස අතට ගත් ලෝගන් එමීලියා බැද තිබූ බැදුම්      කපා දමා දමා නිදහස් කරන විටත් ඇය සිටියේ භීතියෙන් මුසපත්වෙලා. ලෝගන්ගේ ගෙල වටා සිය අත් දෙක දැමූ ඇය ඔහුගේ පපුවට හිස තබාගෙන හඩන්නට ගත්තා. දඩයක්කරුවා ඇයට විනාඩි කීපයක් එලෙස හඩන්නට ඉඩ හැරියා. වනාන්තරයෙන් එකතු කරගත් වියළි දර හා යක්දෙස්සියගේ සහකරුවන් ගෙනවිත් තිබූ තෙල් යොදාගෙන වෙන්ඩිගෝ සිරුරු දෙක ගිනිබත් කර දැමූ ඔවුන් ගම්මානයට කරා පිටත් වුනා.

නිට්වික් දේවස්ථානය සිසාරා පැතිර තිබූ නිහඩ බව බිදී ගියේ එහි දොරට තෙවරක් වැරෙන් තට්ටු කිරීමත් සමඟ. ඒ සමඟම පල්ලියේ රැදී සිටි සමහරක්ගේ සිත් භීතියෙන් පිරී ගියත් ඇන් මේරිගේ ඇස් බලාපොරාත්තුවකින් දැල්වුනා.

සිය නිවසට නොගොස් සිය පවුලත් සමඟින් එහි රැදී සිටි ගම්පති කැලන් විවර කළ පල්ලියේ දොරින් ඇතුල්වු එමීලියා දුටු ඇයගේ මව හා සොහොයුරා සතුටින් මත්වී ගියා. වහා ඇය වෙත දිව ආ ඔවුන් දෙදෙනා ඇයව වැළඳ ගත්තා. එමීලියාට පිටුපසින් මැතිව් සහ අවසානයේ දඩයක්කරුවා පල්ලියට ඇතුල් වුනා.

දඩක්කරුවා අසලට ආ පූජකවරයා ඔහුගේ අත් දෙක අල්ලා ගත්තා. ඔහුට කිසිවක් පැවසීමට ඉඩක් නොතැබූ දඩයක්කරු,

ෆාද්රේ, සියල්ලම අවසානයි. හැමදේම කෙළවරක් වුනා.

තමන් සිටින්නේ කොතැනදැයි අමතක වු පල්ලියේ රැදී සිටි පිරිස ප්‍රිතී ඝෝශා නගන්නට පටන් ගත්තා. කැලන් තමන් අසලම සිටි මැතිව්ව තදින් වැළඳ ගත්තා. ඔහුගේ ඇස් වලින් ගලා ආ කදුළු වල සීතල තෙත් ගතිය මැතිව්ට දැණුනා.

ඒත්, මොකක්ද සිද්ධ වුනේ? පූජකවරයා දඩයක්කරුගෙන් විමසා සිටියා.

වාඩිවෙන්න ෆාද්රේ, අපි හැමදේම කියන්නම්.

ෆාදර්, මම වතුර ගේන්න දොළ ළගිට ගිය වෙලාවේ තමයි අර භයානක සතා ඇවිල්ලා මාව අල්ලගත්තේ. ඒ සතත් එක්ක මිනිහෙකුත් හිටියා. ඒකා මගේ මූණට කුඩක් පිම්බා විතරයි මට සිහිය නැතුව ගියා. මට කෑගන්නවත් වෙලාවක් ලැබූනේ නෑ. මට සිහිය එනකොට අර කැලේ මැද්දේ තියෙන ගල් තැල්ලක මාව ගැටගහලා තිබ්බේ. ඊට පස්සේ තමයි ලෝගන් ඇවිල්ලා මාව බේරගත්තේ.

ප්‍රථමයෙන්ම තමන්ට සිදුවූ දෙය එසේ පැවසුවේ එමීලියා.

පිරිස වටකරගත් දඩයක්කරු හා මැතිව් ඉතිරි සියල්ල පවසා සිටියා. පළිගැනීමක් ! අවුරුදු සීයයකට කලින් සිද්ධවෙච්ච දෙයකට කරපු පළිගැනීමක්. විශ්වාස කරන්නත් බෑ. ඔච්චර කාලයක් ඔය පළිගැනීම හිතේ තියාගෙන ඉන්නවා කිව්වවහම. ගමට හොද මිනිසුන් දහදෙනෙක් පමණ අහිමි වුනා මේ පළිගැනීම නිසා. මොනවා වුනත් ඒක මීට වඩා හොද විදිහකට කෙළවර වෙන්න බෑ. එහෙම නේද ලෝගන්?

කිසිවක් නොකියූ දඩයක්කරුවා සුපුරුදු විදිහට සිය හිස සැලුවා.

කැලන්, ගමේ හැමෝටම කියන්න හෙට උදේම අපි පල්ලියේ දේව මෙහෙය තියනවා කියලා. මේ ප්‍රශ්නේ හින්දා අපිට අපිට දේව මෙහෙය තියන්න බැරිවුනා ගොඩ දවසකින්. අපිට මේ සුබ ආරංචිය හෙට උදේම ගමට දෙන්න පුළුවන්. හෙට ඉදලා අපේ වැඩ කටයුතු පුරුදු විදිහට කරන් යන්න පුළුවන් කියලා හැමෝටම කියන්න ඕන. ලෝගන් පුතා, ඔබත් එකතු වෙන්න ඕන අපේ දේව මෙහෙයට. එතකොට මට පුළුවන් ඔබව ගමටම අඳුන්වලා දෙන්න. මේ ගම බේර ගත්තු වීරයා විදිහට.

ෆාද්රේ, මේක මම විතරක් කරපු දෙයක් නෙවෙයි. මැතිව් මේකේ ලොකු කොටස් කරුවෙක්. අනික ෆාද්රේ මම හෙට උදෙන්ම මෙහෙන් පිටවෙලා යනවා. මගේ කටයුතු අවසානයි. තවදුරටත් මෙහේ රැදෙන්න බෑ මට.

මේ වදන් ඇසුණු එමීලියාගේ ඇස් මොහොතකින් කඳුළුන් බරව ගියා. ඇය දුක්මුසු බැල්මක් දඩයක්කරුවා වෙතට හෙලුවා.

පුතා, එහෙම කරන්න බෑ.

නෑ ෆාද්රේ, ඒක ඒ විදිහට තමයි වෙන්නේ.

පසුදා උදෑසන නිට්වික් ගමට හිරු එළිය උදාවුනේ අඳුරු කාල පරිච්ඡේදය නිමා කරමින්. උදෑසන හය පමණ වන විට ගමනට සුදානම්ව සිටි ලෝගන් සිට ගමන් මල්ලත් උරහිසේ රදවාගෙන ෆාදර් කැන්බිත් සමඟ පල්ලියෙන් පිටතට පැමිණියා. ඒ වන විටත් එතන මැතිව්, කැලන්, ජෝශෆ්, ඈන් මේරි සහ එමීලියා රැදී සිටියා. එමීලියාගේ ඇස් ඒ වන විට විටත් කඳුලින් තෙත්ව තිබුණා. පල්ලියෙන් පිටතට පැමිණ ෆාදර් කැන්බි ඇතුළු පිරිසට ආචාර කළ දඩයක්කරුවා සිය අතේ තිබූ රයිෆලය මැතිව්ට දික්කළා.

මේක ලබන්න ඔබ සුදුස්සෙක් මැතිව්. එය සැම විටම ඔබව ආරක්ෂා කරාවි. අපේ සේවය නැවත ලබාගන්න අවස්තාවක් නොලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බැරිවෙලාවත් එහෙම වුනොත් ඔබ දන්නවා කොහොටද එන්න ඕන කියලා.

මෙසේ පැවසූ දඩයක්කරුවා එමීලියාගේ කදුළින් පිරි මුහුණ බලා ගම්මානයෙන් පිටවී යන ගමන ඇරඹුවා. ඔහු එසේ මදක් දුර යන විට ලෝගන්, ලෝගන් යැයි හඩ නගමින් එමීලියා ඔහු වෙත දිව ආවා. ක්ෂනයකින් ඔහුගේ ගෙල වටා දෑත් දැමූ ඇය දඩයක්කරුව තදින් වැළඳගත්තා.

ආපහු එන්න ලෝගන්. මම ඔබ එනකම් හැමදාම බලාගෙන ඉන්නවා යැයි පැවසූ ඇය ඔහුගේ මුව මොහොතකට සිපගත්තා. මොහොතකින් සිය තොල් මුදාගත් එමීලියා කඳුළු පිරි නෙතින් ආපසු හැරුණා. දඩයක්කරුවා ඇය දෙස මොහොතක් බලා සිට නැවත සිය ආපසු ගමන ඇරඹුවා. ___________________________________________________________________________________

KB 2021.01.10

No comments: