අඳුරේ දඩයම්කරු 09 - කැඳවීම

     පැය කිහිපයක වෙහෙසකර වු ගමනකින් පසුව ඇල්කැස්      වනාන්තරයෙන් පිටතට ආ දඩයක්කරුවා මඳක් විවේක ගත්තා.      තමන්ටත් නොදැනීම යම් කිසි දුක් බර හැගීමක් තම සිතේ මෝදූ වී ඇති      බව ඔහුටත් දැනුනා. ඒත් ඒ ගැන වැඩිදුර නොසිතු ඔහු ඔර්ක්නේ නගරය      වෙත පියමන් කලා. පෙර දිනක රාත්‍රියට නවාතැන්ගත් රූස්ස ගස යට      එදත් නතර වු ඔහු ඔර්ක්නේ නගරයට පා තැබුවේ පසුදින දහවල්      කාලයත් ඉක්ම ගිය පසුයි. තමන්ට කවදත් සුපුරුදු තැනක් වු ඕර්ක්නේ      නගරයේ “ඩ්‍රන්ක්” නම් තැබෑරුමට ගොඩ වැදුණු ඔහු එහි අඳුරු මුල්ලක      වූ මේසයක් අසල අසුන් ගත්තේ එහි අලෙවි කරන “ඕක්” වර්ගයේ බියර්      බදුනක් ඇණුවුම් කරමින්.

      සිය මත්පැන් බඳුන බිදෙන් බිද පානය කරමින් තමන්ගේ ඊළග      ගමනාන්තය කොහොදැයි කල්පනා කරමින් සිටින විට එක්වරම එහි      පැමිණි අමුත්තෙක් ලෝගන් අසලින් අසුන් ගත්තා.

ඔබ ලෝගන්ද?

කාටද දැන ගන්න ඕන? යයි අමුත්තා දෙසවත් නොබැලූ දඩයක්කරු විමසා සිටියා.

මම සෙඩ්රික්. මූලස්ථානෙන්. දවස් තුනක් තිස්සේ බලාගෙන ඉන්නේ ඔබ එනකම්. මූලස්ථානයෙන් කැදවීමක් තිබෙනවා ඔබට යැයි පැවසූ අමුත්තා එය කබායේ ඇතුල් සාක්කුවකට අත දමා එයින් ගත් ලිපියක් දඩයක්කරුවා වෙත දික්කලා.

මදක් වේලා අමුත්තා දෙස බලා සිටි දඩයක්කරුවා ලිපි කවරයේ ඇති දඩක්කරුවන්ගේ සංවිධානයේ නිල මුද්‍රාව හොදින් පරික්ෂා කර, කවරය ඉරා එයින් පිටතට ගත් ලිපිය කියවීමට පටන් ගත්තා.

ඔබව හැකි ඉක්මනින් මූලස්ථානයට එක්කන් එන්න කිව්වා, ඇන්ගස් ඩී ප්ලීමීයන් බැරන්වරයා. අපි දැන්ම පිටත්විය යුතුයි.

සිය මත්පැන් බඳුන අමුත්තාට දැක්වු දඩයක්කරුවා, මේක ඉවර කරලා තමයි කොහේ ගියත් යැයි පවසා ලිපිය නවා සිය කබායේ ඇතුළු සාක්කුවකට දමා ගත්තා.

මට එතරම් වෙලා බලාගෙන ඉන්න බෑ. දැනටත් දවස් තුනක් මා මේ ජරා ගොඩේ ලැගගෙන සිටියා. තමුන්ට යන්න බැරිනම් බලෙන් හරි රැගෙන යන්න වෙනවා යැයි පැවසූ අමුත්තා, සිය දිගු කබාය ඇතුලට අත දැම්මා.

සිය ඉණෙහි තිබූ පිස්තෝලය අහුවෙනවා වෙනුවට තමා ගුවනින් පියාඹා යන ගතියක් ක්ෂණයකින් අමුත්තාට දැනුනා. මොහොතකින් අසල වු මේසයක් හා පුටු කිහිපයක් පෙරළාගෙන අමුත්තා පොළොව සිපගත්තා. අමුත්තා නැවත හිස එසවුයේ දඩයක්කරුවාගේ ඉණෙහි වූ පිස්තෝල දෙකම තමන්ගේ පපු පෙදෙසට එල්ලවී තිබෙනු දැකීමටයි.

තමුන් කවුද කියන්න මම දන්නේ නෑ. හැබැයි අනවශ්‍ය සෙල්ලම් දාන්න ලෑස්තිවෙන්න එපා, තමුන් මූලස්ථානෙන් නෙමෙයි දිවියලෝකේ ඉදන් ආවත් මට වැඩක් නෑ යැයි පැවසූ දඩයක්කරුවා නැවතත් සිය මත්පැන් බඳුන වෙත හැරුණා.

සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් නොහැකි වු තරුණ අමුත්තා සිය ඇදුම් වල තිබූ දුවිලි පිසදමමින් නැගී සිට නැවත දඩයක්කරුවා අසලින් වාඩිවුනා. තැබෑරුමේ අයට නම් මෙවන් දේවල් බොහෝ හුරුපුරුදු ඒවා වූ නිසා ඔවුන් නැවත සිය කටයුතු වලට යොමු වුනා.

සිය දෙවන මත්පැන් බඳුනද අවසාන කළ දඩයක්කරුවා නැගී සිට සිය ගමන් බෑගය අතට ගත්තා. දඩයක්කරුවා ගමනට සූදානම් බව හැගූණු අමුත්තාද ඔහු සමඟ තැබෑරුමෙන් එළියට පැමිණියා.

අපිට දුෂ්කර ගමනක් තියෙන්නේ ග්ලාස්ගොව් වලට. මම අස්සයෝ ලෑස්ති කරලා තියෙනවා. අපිට සමහර තැන්වලදී බොට්ටුවෙනුත් යන්න වෙනවා. ගිල්ස් බේ වල අපිට යන්න අස්ව කරත්තේ ලෑස්ති කරලා තියෙන්නේ. අද අපේ නැවතුම වෙන්නේ හොල්ම්. හෙට දවල්ට අපිට එතනින් ලෑම්බ් හොල්ම් වලට යන්න බොට්ටුවක් ලෑස්ති කරලා තියෙනවා යැයි පැවසු අමුත්තා, නගර වැසියෙක් ඔවුන් දෙසට දක්කන් එමින් සිටි අසුන් දෙදෙනෙක් වෙතට සිට අත දිගු කලා.

ඔය මම අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන් අසුන් දෙදෙනා. අපි යමු.

     ඊළඟ මිනිත්තු කීපයේදී අසුන් පිටට නැගීගත් ඔවුන් දෙදෙනා ඔර්ක්නේ      නගරයෙන් පිටවී ගියා. පැය කීපයක දීර්ඝ ගමනකින් පසු ඔවුන් හොල්ම්      නගරයට ළගා වුනා. එහි එදින රාත්‍රිය ගත කළ ඔවුන් දෙදෙනා පසු දින      බොට්ටුවකින් ලෑම්බ් හොල්ම් කරාත් එතැන් සිට ගිල්ස් කරාද වු එතැන්      සිට ග්ලාස්ගොව් නගරය කරාද වු සැතපුම් 250 ක පමණ දුරක් දින      කීපයක වෙහෙසකර ගමනකින් පසු සැන්දෑ කාලයක ග්ලාස්ගොව්      නගරයට මදක් එහායින් පිහිටියාවු ඇලින්ටන් මන්දිරය වෙතට      පැමිණියා.

     ඇලින්ටන් මන්දිරය අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ      මූලස්ථානය බවට පත්ව තිබුණේ මීට වසර 75කට පමණ පෙරයි. ඒ එහි      වර්තමාන හිමිකරු වන ඇන්ගස් ඩී ප්ලීමීයන් බැරන්වරයාගේ පියාගේ කාලයේ සිටයි. එහි පැමිණි පසු සෙඩ්රික්, ලෝගන්ව රැගෙන ගියේ බැරන්වරයාගේ රාජාකාරී කාමරය වෙතයි. හිස නමා බැරන්වරයාට ආචාර කළ සෙඩ්රික්, දඩයක්කරුවාව බැරන්වරයාට හදුන්වා දුන්නා.

උතුමාණෙනි, මේ ලෝගන් නයිට්වරයා

ඔබට වැරදීමක් වෙලා, මා නයිට්වරයෙක් නෙවෙයි.

සිනාමුසු මුහුණින් දඩයක්කරු වෙතට ආ බැරන්වරයා, අතට අත දී ලෝගන්ව පිළිගත්තා.

මම හිතන්නේ අපි සැරයක් මුණ ගැහැලා තියෙනවා.

ඔව්, බැරන්තුමනි බොහොම කාලයකට පෙර.

අනතුරුව සෙඩ්රික් දෙස බැලූ බැරන්වරයා, කොහොමද ලෝගන්ව හොයාගත්තේ?

දවස් තුනක් තිස්සේ අර ඕර්ක්නේ නගරයේ කාලකණ්නි තැබෑරුමට වෙලා බලාගෙන ඉන්න වුනා උතුමාණෙනි. මම නම් ආයේ කිසි දවසක ඒ තැනට යන්නේ නෑ.

     අපේ ජීවිතයේදී අපි යන්න කැමති නැති තැන්වලට යන්න වෙනවා. ඒ      වගේම අකැමැති දේවල් කරන්න වෙනවා. ඒක තමයි ස්භාවය. ඒකට      ඔච්චර නාගෙන් අඩන්න දෙයක් නෑ. ඔබ නයිට්වරයෙක් වීමට නේද      කල්පනා කරන්නේ? එහෙම නම් ඔය දේවල් කරන්න සිද්ධ වෙනවා      ඔබට. එහෙම නම් ඔබ ගිහිල්ලා ලෝගන්ට නතර වීමට කාමරයක්      සුදානම් කරන්න.

     නැවත වරක් බැරන්වරයාට හිස නමා ආචාර කළ සෙඩ්රික් එම      ස්ථානයෙන් පිටවී ගියා.

     අනතුරුව තමාගේ අසුන කරා ගිය බැරන්වරයා, ලෝගන්ටත් තමා      ඉදිරියෙන් අසුන් ගන්නා ලෙස සන්කලා.

     ඔබ කල්පනා කරනවා ඇති ඔබව එක පාරටම මෙහාට කැදෙව්වේ ඇයි      කියලා.

ඒක ගැන මට විශාල ගැටළුවක් නෑ බැරන්තුමනි. කොතනක හරි අස්වාභාවික දෙයක් සිදුවෙලා ඇති. ඒකයි. ඒත් මාව මෙච්චර දුරක ඉදලා ගෙන්නුවේ ඇයි කියන එකයි ගැටළුව.

මදක් නිහඩව සිටි බැරන්වරයා, ඇත්තම කිව්වොත් ලෝගන් ඔබව කැදෙව්වේ මම නෙමෙයි. ඔබව කැදෙව්වේ ප්‍රංශයේ අපේ ප්‍රධාන මූලස්ථානයෙන්. ඔවුන් තමයි ඔබව ඉල්ලා සිටියේ.

ප්‍රංශයෙන් ! මාව ! මදක් මවිත වු හඩින් දඩයක්කරුවා පවසා සිටියා.

ඔව් ප්‍රංශයෙන් තමයි. ග්‍රෑන්ඩ් මාස්ටර් රොබට් ඩී ලුකස් නයිට්වරයා ඔබව නමින්ම ඉල්ලා සිටියා. මේ බලන්න එතුමා එවු ලිපිය.

සිය මේස ලාච්චුවෙන් ගත් ලිපියක් බැරන්වරයා ලෝගන් වෙත දික් කලා.

ලිපිය අතට ගත් දඩයක්කරුවා එය කියවා අවසන් කර නැවතත් එය බැරන්වරයා අතට ලබා දුන්නා.

මමත් මේ ගැන වැඩි විස්තර කියන්න දන්නේ නෑ. මම දන්න ටික කියන්නම්. ග්‍රෑන්ඩ් මාස්ටර් රොබට් ඩී ලුකස් නයිට්වරයා විශ්වාස කරනවා යම් කිසි අස්වාභාවික සංසිද්ධියක් මේ වෙලාවේ ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින බව. ඒත් ඔවුන් ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. එතුමාට ඒ ගැන යම් යම් ඉඟි කීපයක් ලැබිලා තියෙන බව එතුමා දන්වලා තිබ්බට ඒ මොනවාද කියලා විස්තර කරලා නෑ.

ඉතින් ඇයි මාවම? ඔවුන්ට පුළුවන්නේ ප්‍රංශයේ ඉන්න සංවිධානයට අයිති කෙනෙක් මේ සඳහා යොදාගන්න. මෙච්චර දුරක ඉදන් මාව ගෙන්නන එක තේරුමක් නෑනේ.

ඒකට හේතු දෙකක් තියෙනවා ලෝගන්. එකක් තමා ග්‍රෑන්ඩ් මාස්ටර් රොබට් ඩී ලුකස් නයිට්වරයා විශ්වාශ කරනවා ප්‍රංශ සංවිධානය ඇතුලේ ඔත්තුකරුවෙක් ඉන්න බව. ඒක තමයි ප්‍රධානම හේතුව පිටින් කෙනෙක් යොදාගන්න. දෙවෙනි කාරණය ඔබේ දක්ෂතාවය ගැන ප්‍රංශය දක්වාම පැතිරිලා තියෙන එක. ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා කැමතියි ඔබවම මේ කාරණයට යොදාගන්න. ඒ නිසයි ඔහු ඔබවම ඉල්ලා එවලා තියෙන්නේ. මොකද කියන්නේ?

මදක් වෙලා නිහඩව සිටි ලෝගන්, මගේ ප්‍රංශ භාෂාව මළකඩ කාලා තියෙන්නේ. මළකඩ ඇරලා ගන්න වෙනවා.

එයට මහ හඩින් හිනාවුනු බැරන්වරයා, මම සෙඩ්රික්ව එවුන්නම් ඔබ සමඟ. ඔහුට හොදින් ප්‍රංශ කතා කරන්න පුළුවන්.

එයට මඳ සිනාවක් පෑ දඩයක්කරුවා නිහඩ වුනා.

ඔබ දෙදෙනා අතර මොකක්ද සිදුවුයේ? ඔහුගේ මුහුණේ තියෙන තැළුම් පාර බෝට්ටුවේ ඇවිල්ලා හරි අසු පිට ගිහිල්ලා හරි වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා මට දැක්ක ගමන්ම තේරුණා.

ඔහු බොහොම අහංකාර විදිහට හැසිරුණා. ඉතින් මට සිද්ධ වුනා ඔහුට පාඩමක් කියලා දෙන්න.

කමක් නෑ. සමහර දේවල් අමාරුවෙන් ඉගෙනගන්න වෙනවා. ප්‍රංශ ගමනට අවශ්‍ය කරන සියළුම කටයුත් ලෑස්ති කරලා තියෙන්නේ. මෙතන ඉදන් ඩොවර් වරායට සැතැප්ම 450 පමණ තියෙනවා. තව දවස් දහයකින් එතනින් යාත්‍රාවක් තියෙනවා කැලෙයි (kAE-lat) වරායට. එතන ඉදන් නැවතත් ගොඩබිමින්. කැලෙයි වල ඉදන් ප්‍රංශයට සැතැප්ම 480 විතර තියෙනවා. හෙටම ගමන ආරම්භ කලොත් දවස් හත අටකින් ඩෝවර් වලට යන්න පුළුවන්. මොකද ඔබ කියන්නේ ලෝගන්?

කොහොමටත් ප්‍රංශය පැත්තේ ඇවිදින්න මට ආසාවක් තිබ්බා බැරන්තුමනි. මේ ඒකට අවස්තාව වෙන්න පුළුවන්. මට අළුත් රයිෆලයක් අවශ්‍යයි.

ඒ ගැන කරදර වෙන්න එපා. ඔබ කැමතිවෙන විදිහේ අළුත්ම ආයුධ ටිකක් ප්‍රංශයේ තියෙනවා කියලයි ආරංචිය. ඔබට පුළුවන් ඒවා අත්හදා බලන්න. එහෙනම් හෙට උදේම පිටත් වෙන්න අවශ්‍ය කටයුතු සුදානම් මම සුදානම් කරන්නම්. දැන් ඔබ රාත්‍රී ආහාරය අරන් විවේකගන්න.

මේසේ පැවසූ බැරන්වරයා තම මේසයේ තබා තිබූ සීනුවක් ගෙන නාද කලා. සුළුවෙලාවකට පසු එහි පැමිණි මෙහෙකරුවෙක් බැරන්වරයාට ආචාර කළා.

ඇල්වින්, මේ මහතාව කෑම කන කාමරයට එක්කන් යන්න. ඔබ යන අතර වාරයේ සෙඩ්රික්ට එන්න කියන්න.

හිස නමා ආචාර කළ ඇල්වින් දඩයක්කරුවා සමඟ පිටව ගියා.

ඊට ස්වල්ප වේලාවකට පසුව සෙඩ්රික් බැරන්වරයාගේ කාමරයට පිවිසියා.

සෙඩ්රික්, ඔබත් ලෝගන් සමඟ ප්‍රංශයට යායුතුයි.

මම? අර වනචාරී මිනිහා එක්ක?

ඔබට ඔහුගෙන් ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා. ඔහු හා සමකරන්න පුළුවන් සටන්කරුවෙක් මේ ස්කොට්ලන්තයේම නෑ. ප්‍රංශයේවත් ඉන්නවද කියන්න මම දන්නේ නෑ. මම හිතන්නේ දැනටමත් ඔබ ඔහුගේ හැකියාවන් ගැන යමක් දන්නවා යැයි සෙඩ්රික්ගේ මුහුණේ වු තැල්ම පෙන්වමින් බැරන්වරයා පවසා සිටියා.

මේක අවස්තාවක් කරගන්න, ඔහුගෙන් යමක් ඉගෙන යන්න. මේ ක්ෂේත්‍රයේ කෙළ පැමිනියෙක් ඔහු. ඔහුගේ අත්දැකීම් ප්‍රමාණය අතිමහත්. එමෙන්ම ඉම්පීරියුම් අසිපත අත දරන්නෙන් ඔහුයි. ඒක ලේසියෙන් කෙනෙකුට ලැබෙන අවස්තාවක් නෙවෙයි.

ඉම්පීයුම් අසිපත? එය බොහොම බලවත් අසිපතක් කියා මා අසා තිබෙනවා.

     ඇත්තට ඔව්. එය ඕනෑම අඳුරේ හෝ එළියේ බලවේගයකට එරෙහිව      යොදාගන්න පුළුවන්. එයට ඔරොත්තු දෙන්න පුළුවන් කිසිම      බලවේගයක් තියෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ. එහි ගුප්ත වු      බලයක් තිබෙනවා. අසිපත දරා ගැනීමට හැමෝටම හැකියාවක් නෑ.      අසිපත ගැන කියවෙන පුරාවෘත්ත කීපයක්ම තියෙනවා.

     බැරන්තුමනි, පුරාවෘත්ත?

     ඔව්. එක පුරාවෘත්තයකින් කියවෙනවා, ග්‍රීක කතාවල එන සියුස්ගේ      කම්මල්කරුවා වන හෙපස්ටස්ගේ අතින් මේ අසිපත නිර්මාණය වුනයි කියලා. සමහරු කියනවා නොරිස් පුරාවෘත්ත වල එන ඕඩින්ගේ කම්මල්කරුවා වන තෝර්ගේ මිටිය නිර්මාණය කළ එයිත්‍රි (Eitri) කියන කුරුමිටි රජා අතින් නිර්මාණය වුනයි කියලත්. කොහොම නමුත් එය කොහොවත් හොයාගන්න බැරි නම නොදන්නා ලෝහයකින් නිර්මාණය වෙලා තියෙන්නේ. එය මහත්වු ගුප්ත බලයක් සහිත බොහොම බලවත් අසිපතක්.

ඒ අසිපත කොහොමද ලෝගන් අතට ආවේ?

අසිපත සැම විටම එය දරන්නා තෝරාගන්නවා කියලයි පුරාවෘත්ත වල තියෙන්නේ. අපේ සටහන් වල නම් තියෙන්නේ වරක් ඔහු හා සටන් වැදුණු අඳුරට හැරුණු සුරයෙක් ඔහු අතින් මැරුම් කෑවට පස්සේ අසිපත ඔහුව තෝරාගත්තා කියලයි. කොහොමටත් ඇත්ත දන්නේ ඔහුම පමණයි.

හෙට ගමනට අවශ්‍ය කරන කටයුතු සුදානම් කරගන්න සෙඩ්රික්. උදෑසන හය පමණ වන ඔබලා මෙහෙන් පිටත් විය යුතුයි. කැලෙයි වලට යාත්‍රාව තියෙන්නේ තව දවස් දහයකින්. ඒක වරදගන්න බෑ. වේලාසින් එහි ගිහිල්ලා ඉන්න එක හොදයි. සෑහෙන දුරක් යන්න තියෙනවා. අස්ස කරත්තය ලෑස්ති කරලා තියන්න. අසුන් මාරු කරන ස්ථාන වල අපි දැනටමත් පණිවිඩ යවලනේ තියෙන්නේ?

ඔව් බැරන්තුමනි.

එසේ නම් ඔබට යන්න පුළුවන් සෙඩ්රික්.

බැරන්වරයාට ආචාරකළ සෙඩ්රික් එයින් පිටව ගියා. රාත්‍රිය හිතුවාටත්
වඩා වේගයෙන් ගලා ගියා. පසුදා උදෑසන ගමනට සූදානම් වු දඩයක්කරුවා වගේම සෙඩ්රික්ටත් සමුදීමට මන්දිරයේ ද්වාරය අසලට බැරන්වරයා පැමිණ සිටියා. බැරන්වරයාට මදක් හිස නමා ආචාර කළ දඩයක්කරුවා සෙඩ්රික් සමඟ නිහඩවම පිටවී ගියා. __________________________________________________________________________________

KB 2021.01.08

1 comment:

Anonymous said...

👍👍superb story😍