අඳුරේ දඩයම්කරු 11 - ප්‍රංශය

තවමත් සම්පූර්ණයෙන්ම අඳුර පහවී නොගියත් කැලෙයි වරාය දවසේ කටයුතුවලට පණ ගසමින් නැගී සිටින බව යාත්‍රාවේ සිට නගරය දෙස බලන ඕන කෙනෙක්ට පෙනුනා. ඈතින් දිස්වුණු කැලෙයි වරාය දුටු ලෝගන්ගේ හිතට යම්කිසි අවිනිශ්චිත බවක් දැනුනත් ඔහු එහි කිසිම සලකුණක් සිය මුහුණෙන් දැක්වුයේ නෑ.

අපිට රැගෙන යන්න අස්ස කරත්තයක් එවලා ඇති මූලස්ථානයෙන්.

සෙඩ්රික්ගේ හඩින් ලෝගන්ගේ සිතුවිලි පියවි ලොවට පිවිසුණා. සෙඩ්රික් දෙස බලා හිස සැලූ ලෝගන් නැවතත් තම කුටිය වෙත හැරී ගියේ සිය ගමන් බෑගය රැගෙන ඒමටයි. තවත් පැයක පමණ කාලයකින් අනතුරුව යාත්‍රාව කැලෙයි නාවික වරායේ නැංගුරම් ලෑවා. ලෝගන් හා සෙඩ්රික් රැගෙන යාමට දඩයක්කරුවන්ගේ මුලස්ථානයෙන් එවා තිබූ අශ්ව කරත්තය ඒ වෙන විටත් පැමිණ තිබුණා. අසල වු අවන්හලකින් සිය උදෑසන ආහාරය ලබාගත් ඔවුන් දෙදෙනා කරත්තයට නැගුණේ ප්‍රංශය බලා පිටත්වීමටයි. එය දින කීපයක් දිගු ගමනක්.

අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා
තිබුණේ පැරිස් නගරයට සැතපුම් තිස් පහක් පමණ එපිටින් වූ විල්පාන්ට් (Villepinte) හි වු ප්‍රංශ බසින් චැටු දේ ඉපී (Chateau de épée) ලෙසින් හදුන්වනු ලැබූ විශාල මාළිගාවක. එහි තේරුම වුයේ අසිපතේ මාළිගය (Castle of Sword) යන්නයි. එය මාළිගාවකට වඩා බලකොටුවක් කියන්නත් පුළුවන්. අසිපතේ මාළිගයේ මුල් අයිතිකරුවා වුයේ අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ පළමු ග්‍රෑන්ඩ් මාස්ටර් තනතුරු හෙබවු විලියම් දි ගොඩ්ෆ්‍රි. ඔහුගෙන් අනතුරුව එය සංවිධානයේ අයිතියට
පැවරුණු අතර එය එදා සිට මේ දක්වාම සංවිධානයේ මූලස්ථානය ලෙස පැවතුණා.

මේ වන විට මෙහි පාලන කටයුතු සිදුකරන්නේ රොබට් ඩී ලුකස් නයිට්වරයා. පිටතට ප්‍රංශයේ ප්‍රභූ පැළැන්තියේ රදළයෙකුට අයත් මාළිගාවක් ලෙස පෙනුනත් එහි ඇතුලත කටයුතු නම් ඊට ඉදුරාම වෙනස්. අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ නව තාක්ෂණික අංශය, ලේඛනාගාරය මෙන්ම පුහුණු පාසලද පිහිටා තිබුණේ මෙහියි. එම මාළිගයට අයත් වු අක්කර සියයක පමණ වපසරිය හේතුවෙන් පිටත කිසිවෙකුගේ ඇසට නොපෙනී සංවිධානයේ වැඩකටයතු කරගෙන යෑමට හැකි වුනා. ඊට අමතරව රොබට් ඩී ලූකස් නයිට්වරයා ප්‍රංශයේ ඉහළ සමාජයේ කැපී පෙනෙන බලවත් චරිතයක් වූ නිසාත් සංවිධානයට සිය කටයුතු රහසේ කරගෙන යෑමට මහත් රුකුළක් වුනා.

දින කිහිපයක වෙහෙසකර ගමනකින් පසු එක් දිනෙක සවස් කාලයේදි දඩයක්කරුවා හා සෙඩ්රික් අසිපතේ මාළිගාවට ලඟාවුනා. අශ්ව රථයෙන් බිමට පය තිබ්බ සෙඩ්රික් මාළිගය දැක විශ්මයට පත් වුවත් දඩයක්කරුවා එසේ වුණේ නෑ.

මෙය මා සිතුවාට වඩා බොහෝ විශාලයිනේ?

දඩයක්කරුවා එයට සුපුරුදු ලෙස සිනාසුනා හැරෙන්නට කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නෑ.

මොහොතකින් ඔවුන් දෙදෙනා අසලට පැමිණි සේවකයෙක්,

මේ මහත්වරු දෙදෙනාද ස්කොට්ලන්තයේ සිට පැමිණියේ?

ප්‍රංශ බසින් ඇසූ ඒ පැනයට උත්තර දුන්නේ සෙඩ්රික්.

එන්න මා සමඟින්, රොබට් ඩී ලූකස් උතුමාණන් බලා සිටිනවා ඔබ එනතුරු.

     මෙහෙකරු පසු පසින් මන්දිරය තුළට ගමන් කළ ඔවුන් දෙදෙනා      මන්දිරයේ මඳක් ඇතුලටවන්නට පිහිටා තිබූ කාමරයකට ඇතුළු වුනා.      ඇත්තෙන්ම එය රොබට් ඩී ලුකස් නයිට්වරයා සිය රාජකාරී      කටයුතුවලට යොදාගන්නා කාමරයයි. එහි ඇතුළු වූ මෙහෙකරුවා සිය      හිස නමා නයිට්වරයාට ආචාර කර ලෝගන් හා සෙඩ්රික්ව      නයිට්වරයාට හදුන්වා දුන්නා.

     උතුමාණෙනි, මේ ස්කොට්ලන්තයේ සිට පැමිණි අමුත්තන් දෙදෙනා.

     එසේ පැවසු සේවකයා නැවත වරක් නයිට්වරයාට ආචාර කොට පිටවී      ගියා.

     සිය අසුනින් නැගිට ආ නයිට්වරයා ප්‍රථමයෙන් සෙඩ්රික්ට අතට අත දී ආචාර කළා. අනතුරුව නයිට්වරයා බොහොම පැහැදිලි ඉංශ්‍රිසි භාෂාවෙන් ඔවුන්ව ඇමතුවා.

ඔබ සෙඩ්රික් විය යුතුයි.

බැරන්වරයා ඔබත් එන බව දන්වා තිබුණා. මේක ඔබට හොද අවස්ථාවක් අළුත් දේවල් ඉගෙනගන්න.

එසේය උතුමාණනි.

අනතුරුව නයිට්වරයා දඩයක්කරුවා දෙසට හැරුණා. මොහොතක් දඩයක්කරුවා දෙස නිසොල්මන්ව බලා සිටි නයිට්වරයා සිය සුරත දඩයක්කරුවා වෙත දික් කළා.

ලෝගන්, සුප්‍රසිද්ධ අඳුරේ දඩයක්කරුවා. ඔබේ කීර්තිය පැතිරිලා තියෙන්නේ ස්කොට්ලන්තයේ විතරක්ම නොවෙයි. එය මේ වෙනකොට ප්‍රංශය දක්වාම පැතිරිලා ඇවිල්ලා. සමහරවිට ලෝකය පුරාමත් වෙන්න ඇති. බොහෝ කාලයක් බලා සිටියා ඔබව මුණ ගැහෙන්න. දැකගන්න ලැබීම බොහොම සතුටක් ලෝගන්.

මදක් සිනාසුණ දඩයක්කරුවා, නයිට්වරයාට අතට අතදී ආචාර කළා.

මම හිතන්නේ නෑ මම ලෝකය පුරාම ප්‍රසිද්ධවෙන්න තරම් දක්ෂයෙක් කියලා. මම අසරණ මිනිසුන් වෙනුවෙන් යම් දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ.

මම දන්නවා ලෝගන්, ඔබ, තමන් ගැනවත් තමන්ගේ කීර්තිය ගැනවත් කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා. ඒක තමයි බොහෝ දෙනෙක් ඔබව ප්‍රිය කරන්නේ. ඔබ මේ අසිපතේ මන්දීරයට පැමිණි පළමුවෙනි අවස්ථාව නෙවෙයි නේද?

නෑ නයිට්තුමනි, මීට පෙර දෙසරයක් මම මෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබතුමා හිටියේ නැහැ.

හ්ම්ම්ම්, මට යාන්තමට මතකයි ඔබ ගැන මගේ පියා කියනවා. ඒ ගැන අපි පසුව කතා කරමු. කොහොමද සෙඩ්රික් ගමන?

දුෂ්කරයි, ඒ වගේම සුන්දරයි නයිට්තුමනි.

කෙනෙක් ඔය වගේ දෙයක් කියනවා මම ඇහුවමයි. හැමෝම කියන්නේ දුෂ්කරයි කියලා. වාඩිවෙන්න, ඔබ දෙදෙනාම, අපිට බොහොම දේවල් තියෙනවා කතා කරන්න.

නයිට්වරයා සිය අසුන කරා යමින් තම මේසය ඉදිරියෙන් තබා තිබු අසුන් දෙක දක්වමින් පැවසුවා.

මම ඔබලාට විවේකයක් ගන්නවත් දෙන්නේ නෑ නේද? අපි සවස තේ පානය කරන ගමන් කතා කරමු යැයි පැවසු නයිට්වරයා සිය මේසය උඩ තබා තිබූ සීනුවක් නාද කලා.

මොහොතකින් නට්වරයාගේ සේවකයෙක් එහි පෙනී සිටියා.

බෙන්ජමින්, අපිට තේ අරන් එන්න. ඒ එක්කම සැන්ඩ්විචස් වගේ යමක් රැගෙන එන්න.

නයිට්වරයාට ආචාර කළ සේවකයා පිටවී ගියා.

මම දන්නවා ලෝගන් ඔබ අහන්න යන්නේ කුමක්ද කියලා.

දඩයක්කරුවා කිසිවක් විමසීමටත් පෙරම නයිට්වරයා පැවසුවා.

ඔබ ඔය අහන්න හදන්නේ ස්කොට්ලන්තය වගේ දුරක ඉදලා ඔබව මෙහාට ගෙන්නුවේ ඇයි කියනලනේ?

ඔව් නයිට්තුමනි. එය මට ලොකු ප්‍රහේලිකාවක්. මම හොදටම දන්නවා ඔබතුමා මාව ගෙන්නුවේ බැලේ නැටුමකට නම් නෙවෙයි කියලා. මද සිනහවක් නගමින් දඩයක්කරුවා පැවසුවා. ඔබට බැලේ නටන්නත් පුළුවන්ද? කලබලයට පත්වු සෙඩ්රික් මහත් පුදුමයෙන් දඩයක්කරුවාගෙන් විමසුවා

එයට පිළිතුරක් නොදුන් දඩයක්කරුවා මෙන්ම නයිට්වරයාද මහ හඩින් සිනාසුනා.

ලෝගන්, ඔබව කැදවීමට හේතු කිහිපයක්ම තියෙනවා. මම ඒවා එකින් එක ඔබට පැහැදිලි කරන්නම්. මම මේ කියන්න යන සමහර දේවල් දන්නේ මම විතරයි. ඒක නිසා කිසිම අවස්ථාවක නොදන්නා කෙනෙක් සමඟ මේ දේවල් කියන්න යන්න එපා. මම මේ කාරණය විශේෂයෙන්ම කියන්නේ ඔබටයි සෙඩ්රික්. ඹබට තේරුණාද?

එහෙමයි නයිට්තුමනි.

මෙවිටම නයිට්වරයාගේ සේවකයන් දෙදෙනෙක් ඔවුනට තේ පානයට අවශ්‍ය දේවල් රැගෙන කාමරයට ඇතුල් වුනා.

අතන මේසෙන් තියන්න බෙන්ජමින්. නයිට්වරයා මදක් එහායින් වූ මේසයක් දක්වමින් පැවසුවා.

සේවකයින් දෙදෙනා තේ මේසය සූදානම් කරන අතර නැගී සිටි නයිට්වරයා, එන්න ලෝගන්, සෙඩ්රික් අපි තේ පානය කරන ගමන් මේ ගැන කතා කරමු යැයි පවසමින් ඔවුන් දෙදෙනා තේ මේසය වෙත කැදවාගෙන ගියා.

තිදෙනාම එහි අසුන්ගත් පසුව සිය සේවකයා ඇමතූ නයිට්වරයා, හරි ඔබට යන්න පුළුවන් බෙන්ජමින්. ඔබ යන ගමන් කාමරයේ දොර වසා යන්න. ඒ වගේම මේ මහත්තුරු දෙන්නාට ඉන්න කාමර දෙකක් ලෑස්ති කරන්න. අනික මේ කතාව ඉවරවෙනකම් මේ කාමරයේ දොර අසල රැදී සිටින ලෙස මගේ මගේ ආරක්ෂකයාට කියන්න. ඒ වගේම කාටවත් මේ කාමරයට ඇතුල්වෙන්න දෙන්න එපා කියලා ඔහුට දන්වන්න.

හිස නවා නයිට්වරයාට ආචාර කළ බෙන්ජමින් හා අනිත් සේවකයා එතනින් පිටවී ගියේ නයිට්වරයා පැවසු ලෙසම කාමරයේ දොරත් වසාගෙනමයි.

නයිට්තුමනි මම හොදටම බඩගින්නේ ඉන්නේ. ඒ නිසා මේ ඉහළ පැලැන්තියේ කෑම මේසයේ ආචාර ධර්ම නම් මගෙන් ඉටුවෙන එකක් නෑ යැයි පැවසූ ලෝගන් පැවසූවේ එම මේසයේ තබා තිබූ සැන්ඩ්විච් එකක් අතට ගනිමින්.

හා හා. ඒ ගැන කරදරවෙන්න එපා ලෝගන්. ඔබ ඔබේ නිදහස ඔබ කැමති විදිහට පාවිච්චි කරන්න. මේ ඉහළ සමාජයේ ආචාර ධර්මත් එක්ක කටයුතු කිරීම මටත් වෙලාවකට හරිම කරදරයක් වෙලා තියෙන්නේ. මමත් කැමතියි නිදහසේ ඉන්න. ඒත් මේ ඉහළ සමාජය අපේ සමහර
කටයුතුවලට හරිම වැදගත්වෙනවා. අන්න ඒ හේතුව නිසාම මටත් ඒවාට අනුගත වෙලා ඉන්න වෙනවා. ඔබ ඒ ගැන වද වෙන්න එපා ලෝගන්. මේ මන්දිරය ඔබේ නිවස කියලා හිතාගන්න.

නයිට්තුමනි, ඔබතුමා මට විහිළු කරනවා. මට නිවසක් කියා දෙයක් තිබ්බ කාලයක් මතක නෑ.

මම දන්නවා ලෝගන් ඒ ගැන‍ ඒකට කමක් නෑ ඔබ මේ ඔබේ නිවස කියලා හිතාගන්න. මේ මන්දිරයේ දොර ඔබට හැමදාම ඇරිලා, මම හිටියත් නැතත්.

සුපුරුදු ලෙසම කිසිවක් නොකී දඩයක්කරුවා එයටත් සිය සුපුරුදු සිනාවෙන්ම පිළිතුරු දුන්නා.

ලෝගන්, ඔබට මෙහි එන්න කියන්න හේතුවුනු කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමා ඔබේ දඩයම් අත්දැකීම් ලේඛන ගත කරන්න. ඔබ තරම් අඳුරේ බලවේග සමඟ සටන් වැදුණු කෙනෙක් දැනට ජීවතුන් අතර නෑ. මම හිතන්නේ ඔබ තමා ඉන්න අත්දැකීම් බහුලම දඩයම්කරුවා. ඒ අත්දැකීම් අපේ සංවිධානයට අලුතින් එකතුවන අයට වගේම දැනට සංවිධානයට හවුල්වෙලා ඉන්න අයටත් බොහොම වැදගත්. සමහර විට ඔබේ එක අත්දැකීමක් ඔවුන් මරණයෙන් මුදවලා ජීවිතය රැකගන්න අවස්තාව ලබාදේවි. ඒ නිසා ඔබේ අත්දැකීම් ලේඛන ගත කරන එක අතිශයින්ම වැදගත්. ඒ විතරක් නෙවෙයි, අපේ ලේඛනාගාරයේ භාරකරුගෙන් මට හරිම කරදරයි ඔබව ගෙන්වා දෙන්න කියලා. ඔහු දැනටමත් සිය සැරයක් විතර මෙම ඉල්ලිම කරලා තියෙනවා. මේ පාර මම ඒක ඉෂ්ඨ කරනවා අපි හැමෝම වෙනුවෙන්.

දෙවෙනි කාරණේ ඔබට වැදගත්වන දෙයක්. තාක්ෂනික අංශයේ ප්‍රධානියා අළුතින් නිර්මාණය කරපු ආයුධ වගයක් තියෙනවා ඔබ ලවා පරීක්ෂාකරවා ගැනීමට. මම හිතන්නේ ඔහු ඔබ වෙනුවෙන්ම අළුතින් රයිෆලයක් ඇතුළු තවත් ආයුධ කීපයක් නිර්මාණය කරලා තියෙනවා.

     තුන්වෙනි කාරණය, පැරිස් නුවර යම්කිසි අද්භූත මරණ කීපයක් සිදුවුනා පහුගිය      දවස්වල. අපේ දඩයක්කරුවන් දෙදෙනෙක්ම මම යැවුවත් කිසිම හෝඩුවාවක්      ලබාගන්න බැරිවුනා. එයට ඔබේ උපකාරය ලබාගැනීමටත් මම කැමතියි. පැරිස්      නගරයත් එක්ක අපට නැත්නම් අපේ සංවිධානය බොහොම වැදගත් සම්බන්ධතා      රාශියක්ම තියෙන නිසා මම කැමතියි ඒ කටයුත්ත ඔබ භාරගන්නවා නම්.

     හතරවෙනි කරුණ. මේක තමයි බොහොම වැදගත්ම කාරණය වෙන්නේ. සිය      අසුනෙන් නැගිටිමින් නයිට්වරයා පැවසුවා. නිහඩවම මඳක් කාමරය තුළ එහාට      මෙහාට ගිය ඔහු සිය කටහඩ අවදි කළා.

     අපේ සංවිධානයට යම් අනතුරක් තියෙනවා කියලා කාලයක සිට මට දැනී      ගිහිල්ලා තියෙනවා. මෙය බොහෝ විට අපේ සංවිධානයට අඳුරේ බලවේගවල      කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මම මෙහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා.      ඒත් මට පැහැදිලි සාක්ෂි නෑ.

     පහුගිය කාළ වකවානුව තුළ අපේ සංවිධානයේ ප්‍රංශය ඇතුලත ක්‍රියාත්මක වුණු      දඩයක්කරුවන් කිහිප දෙනෙක්ම අස්වාභාවික විදිහට මියගිහිල්ලා තියෙනවා.      මියගිහිල්ලා කියනවටත් වඩා ඔවුන් මරා දමලා කිවුවොත් වැඩියම හරි කියලා මම      හිතන්නේ. මේවා බොහො දුරට උපක්‍රමිකව කළ පහරදීම් වලින් සිද්ධවෙච්ච දේවල්      කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒවා හරියටම ඔවුන් ඉලක්ක කරලා කරපු දේවල් වගේ. ඔවුන් යන එන තැන දැනගෙන සිටියේ සංවිධානය පමණයි. ඒ නිසා මට සැකයක් තියෙනවා සංවිධානය ඇතුලේ අඳුරට උදව්කරන ඔත්තුකරුවෙක් ඉන්නවා කියලා. මතක තියාගන්න ලෝගන් මේක සැකයක් පමණයි. මට තාමත් ඒක ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි නෑ.

මෙසේ පැවසූ නයිට්වරයා මඳක් නිහඩ වුනා. අනතුරුව නැවතත් ලෝගන් දෙසට හැරුණු ඔහු,

මේ කාරණා නිසා මම කැමතියි මේ ගැන පිටින් ආපු කෙනෙක් පරික්ෂා කරලා බලනවට. එතකොට ඔහුට අළුත් ඇහැකින් මේ ගැන බලන්න ලැබෙයි.

ඒ කාරණය නම් බැරෑරුම් නයිට්තුමනි. මෙතෙක් වෙලා නිශ්ශබ්දව නයිට්වරයාට ඇහුම්කන් දුන්නු දඩයක්කරුවා පැවසුවා.

ඔබ කොහොමද කියන්නේ මම ඒ කුමන්ත්‍රණයට හවුල් නෑ කියලා?

ඊළඟ මොහොතේ දඩයක්කරුවා නයිට්වරයාගෙන් විමසුවා.

ඔබ ගැන මා දැනගන්නේ මගේ පියාගෙන් සහ මගේ මාමාගෙන්. ඒ මීට බොහොම කාලයකට පෙර. මගේ මාමා තමයි මට කලින් මේ සංවිධානේ ග්‍රැන්ඩ් මාස්ටර් වෙලා හිටපු ෆ්‍රෑන්ක්ලින් විලියම් වොලස්. මගේ තාත්තා කැමැත්තක් දැක්වුයේ නෑ මේ සංවිධානයට එකතු වෙන්න. මම දන්න තරමට මගේ සීයා ජීන් ඩී බැල්ඩ්වින් (Jean de Baldwin) ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඔබේ ළගම හිතවතෙක්. ඔබලා දෙදෙනා එකට සටන් කරලත් තියෙනවා සටන් කිහිපයකදීම. ඒ බවට සටහන් තියෙනවා අපේ ලේඛණාගාරයේ. ඔබේ අතීතය ගැන ඔබේ හැකියාවන් ගැන මම හොදටම දන්නවා ලෝගන්. ඒ නිසා කිසිම අඳුරේ බලවේගයකට ඔබ සහය නොදෙන බවට මට සියයට සීයක්ම විශ්වාසයි.

ස්තූතියි නයිට්තුමනි ඒ විශ්වාසය ගැන. මම පළවෙනි කරුණට ඇරෙන්න අනිත් ඒවට නම් එකඟයි. එක තැනකට වෙලා කියවා කියවා ඉන්න එක මම ප්‍රියකරන දෙයක් නෙවෙයි.

මම දන්නවා ඒ ගැන. ඒත් ඒ දේත් කරන්න අවශ්‍යයි. ඔහු බොහොම කැමැත්තෙන් ඉන්නේ ඔබත් එක්ක කතා කරන්න. මා දන්නා තරමට ඔබ ඔබේ අත්දැකීම් ගැන සටහන් තබාගන්නවා නේද? එය මෙහි සිටින කාලය ඇතුලත ඔහුට ලබා දෙන්න. පැය කිහිපයක් ඔහුත් සමඟ කතා කරන්න.

හොදයි නයිට්තුමනි. මම බලන්නම් මට ඒ ගැන මොනවද කරන්න පුළුවන් කියලා.

ඒක හොදයි ලෝගන්. තව දින කිහිපයකින් මම ඔබට ඔබේ කණ්ඩායම හදුන්වලා දෙන්නම්.

කණ්ඩායම? ඒ මොනවටද? ඔබතුමා හොදටම දන්නවා මම කණ්ඩායම් සමඟ වැඩකරන්නේ නෑ කියලා. මම තනියම වැඩ කරන්නේ. එතකොට වැරදීම්වලට තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම ඒක හරිම පහසුයි.

මා එය දන්නවා ලෝගන්. ඒත් මේ කාරණය කෙතරම් දුරට කෙතරම් ගැඹුරට විහිදිලා තියෙනවද කියන්න අපි දන්නේ නෑ. ඒ නිසා ඔබට මේ කාරණයේදී කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. සමහර විට සංවිධානය ඇතුලෙන්ම සමහරු ඉන්න පුළුවන් ඔබට විරුද්ධව. ඒ නිසා ඔබට උදව් අවශ්‍යයි.

දඩයක්කරුවා ඒ කාරණයට කැමත්තක් දක්වන්නේ නැති වග නයිට්වරයාට පමණක් නොව ඔහුගේ මුහුණ දෙස බැලූ සෙඩ්රික්ටත් වැටහී ගියා.

මේ කාරණයේදී ඔබට බෑ මට විරුද්ධවෙන්න. ඒත් මා කැමති නෑ ඔබට අණ කරන්න. ලෝගන් දෙස බැලු නයිට්වරයා පැවසුවා.

අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට ලෝගන් එහි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ අණ පිළිපැදීමට බැදී සිටිනවා. මිනිත්තු කීපයක් කල්පනා කළ දඩයක්කරුවා හිස සැලුවා.

හොදයි නයිට්තුමනි. මම මේ වතාවට ඔබ කියන දෙයට මා එකඟවෙන්නම්. හැබැයි මේ කාරණයට විතරයි. ප්‍රංශයේ ගැටළුව ගැන හොයා බලන්න අවශ්‍ය නම් මම එය තනිවම කරන්න කැමතියි. මම සෙඩ්රික්ව අරගෙන යන්නම් ප්‍රංශ භාෂාවෙන් කියන සමහර දේ තේරුම් ගැනීමට මට අපහසු නිසා. ඒත් සෙඩ්රික් කැමති නම් විතරයි.

දඩයක්කරුවා පමණක් නොව නයිට්වරයාද එක වරම සෙඩ්රික් දෙස බැලුවා.

“ඒ ගැන මගේ අකමැත්තක් නෑ, ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා” ඒ බැල්මෙන් කලබලව ගිය සෙඩ්රික් අපහසුවෙන් පැවසුවා.

මෙතෙක් වේලා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ සහ දඩයක්කරුවාගේ කතාව අසාගෙන සිටි සෙඩ්රික්ගේ සිතේ විට විට පැන නැගි එකම එක ප්‍රශ්නයකින් ඔහු පීඩා විදිමින් සිටියා. කීප විටක් එය අසා සිටිමට ඔහුට සිතුනත් එය යටපත් කරගෙන සිටියේ මොවුන් දෙදෙන අතර දෙබස වඩා වැදගත් ලෙස හැඟුණු හෙයිනි.

මොකක්ද ප්‍රශ්නේ සෙඩ්රික්, නයිට්වරයා විමසා සිටියා.

“ඔබට කෙතරම් වයසද ලෝගන්?” සෙඩ්රික් එක එල්ලේම දඩයක්කරුගෙන් විමසා සිටියා.

ඔබ මෙතනට මීට කලින් දෙසරයක් ඇවිල්ලා තියෙන විත්තිය ඔබ උතුමාණන් සමඟ පැවැසුවා. ඒ වගේම ඔබ මෙතුමගේ පියා හා මාමා දැන සිටියා. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් මාස්ටර් ෆ්‍රෑන්ක්ලින් විලියම් වොලස් වත් ඔබට මුණ ගැහිලා තියෙනවා. එතුමා මිය ගිහිල්ලත්, මෙතුමා මේ තනතුරට පත්වෙලත් අවුරුදු පහළොවක් පමණ වෙනවා. එතකොට ඔබ ඊට පෙර හිටපු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාව මුණ ගැහැලා තියෙනවා නම්, ඔහුත් එක්ක සටන් කරලත් තියෙනවා නම් ඒ සෑහෙන කාලයකට පෙර. අඩුම ගානේ අවුරුදු පනහකට හැටකට පෙර. නමුත් ඔබ දිහා බැලුවහම ඔබට වයස තිස් පහකට වඩා කියන්න බෑ. ඉතින් ඔබ දෙදෙනාගේ කතාව කල්පනාවෙන් අසා සිටින ඕනම කෙනෙක්ට ඇතිවන ගැටළුවක් මටත් ඇති වුනා. ඒ ඔබේ වයස ගැන ලෝගන්. ඔබේ වයස තිස් පහයි හෝ හතලියි කියා නම් මට කියන්න එපා.

හ්ම්ම් . . . . . . ඔබ හොද ඇහුම්කන් දෙන්නෙක් වගෙයි පෙනෙන්නේ. ඒක හොඳ ලක්ෂණයක්. ඒත් ඔබේ ප්‍රශ්නෙට උත්තරය දැනගන්න නම් ලැබෙන්නේ නෑ මේ වෙලාවේ. ඒක ගැන ඔබ කරදර වෙන්න එපා. සමහර විට පසුවට එය ඔබට දැනගන්න ලැබෙයි. ලෝගන් කැමති නම් විතරයි ඒක ඔබට දැන ගන්න ලැබෙන්නේ. ඔබ පැමිණ සිටින්නෙත් යමක් ඉගෙන ගන්නනේ නිසා ප්‍රංශ නගරයේ අද්භූත සිදුවීම සෙවීමේ කටයුත්තට ඔබ සම්බන්ධවීම ගැන මගේ අකැමත්තක් නෑ ලෝගන්.

අනිත් කාරණය, ඔබට කටයුතු කරන්න තියෙන කණ්ඩායමේ සාමාජිකයන් කිසිවකුත් මේ ප්‍රංශය තුළ ක්‍රියාත්මක වු අය හෝ ප්‍රංශ ජාතිකයන් නෙවෙයි. මා එසේ කළේ මෙහි රහසිගතභාවය රැක ගැනීම සදහායි. මේ කුමන්ත්‍රණ සිද්ධිය ගැන දන්නේ බොහොම ටික දෙනයි. අපි හැකි තරම් මෙය රහසක්ව තියාගන්න ඕන.

තවත් කරුණක්, ඔබේ කණ්ඩායම ක්‍රියාත්මකවෙන්නේ, එකතුවන්නේ, සැලසුම්කරන්නේ මේ ස්ථානයේ සිට නෙවෙයි. ඒකට මම වෙනම රහසිගත ස්ථානයක් සූදානම් කලා. එය වඩාත් ආරක්ෂිතයි කියා මා සිතනවා. එම කණ්ඩායමේ සාමාජිකයන් මා ඔබ දෙදෙනාට ඉදිරියේදී හදුන්වා දෙන්නම්. ඔවුන් ප්‍රංශයට එන්න තව දින කීපයක් යාවී. එතකන් ඔබ මෙහි ඇති කටයුතු අවසන් කරන්න පුළුවන්. එහෙම හොදයි නේද ලෝගන්?

ඔව් නයිට්තුමනි. එහෙම හොදයි.

එහෙම නම්, මම ඔබට ලේඛනාගාරයේ භාරකරු හා නව නිපැයුම් අංශයේ ප්‍රධානියා රාත්‍රී භෝජන සංග්‍රයෙදි හදුන්වා දෙන්නම්. ඔවුන් දෙ‍දෙනාත් අද එයට සහභාගී වෙනවා. ඒත් ඔවුන් දන්නේ නෑ ඔබ අද රාත්‍රී භෝජනයට සහභාගී වෙනවා කියලා. ඔවුන් දෙදෙනාට ඒක ලොකු පුදුමයක් වේවි.

හොදයි, මම තවත් ඔබ දෙදෙනාව තවත් මෙතන රදවා ගන්නේ නෑ. මම දන්නවා ඔබ දෙදෙනාම මේ ගමනෙන් බොහෝ වෙහෙසට පත්වෙලා ඉන්නේ කියලා. දැන් ඔබ දෙදෙනාට ඔබේ කාමර වලට යන්න පුළුවන්. රෑ කෑමට අපිට නැවත එකතුවෙන්න පුළුවන්. ඒ වෙලාවට මම මෙහි සිටින පිරිස් ඔබ දෙදෙනාට අදුන්වා දෙන්නම්. එහෙනම් රෑ කෑම වෙලාවට හමුවෙමු යැයි පැවසු නයිට්වරයා නැවත සිය රාජකාරී මේසය මත තීබු සීනුව නාද කළා.

මොහොතකට පසුව කාමරයේ විවර වී ගිය දොරින් ඇතුලට පැමිණියේ බෙන්ජමින්.

බෙන්ජමින් මේ මහත්තුරු දෙදෙනාට ඔවුන්ගේ කාමර පෙන්වන්න. දැන් වෙලාව 7.30 යි. මේ මහත්තුරු දෙන්නා 8.30 ට කෑමට එක්කන් එන්න. ඒ වෙලාවට කෑම ලෑස්ති කරලා තියලා කියන්න කියලා කුස්සියටත් දැනුම් දෙන්න. එසේ නම් අපි පසුව හමුවෙමු පැවැසූ නයිට්වරයා සිට රාජකාරී මේසයෙන් අසුන් ගත්තා.

හිස නවා නයිට්වරයාට ආචාර කළ බෙන්ජමින් “මා පසු පස එන්න” යැයි අමුත්තන් දෙදෙනාට පවසා නයිට්වරයාගේ රාජකාරී කාමරයෙන් පිටවුනා. වචනයක්වත් නොපැසු දඩයක්කරු සිය ගමන් බෑගයත් රැගෙන සේවකයා පිටුපසින් ඔහුත් සමඟම පිටවුනා.

බෙන්ජමින් පිටුපසින් මන්දිරයේ ඉහල මාළිගය දක්වා ඔවුන් දෙදෙනා ගමන් කළා. එහි වූ කොරිඩෝරයක් දිගේ ගමන් කළ බෙන්ජමින් එහි කෙළවර වු කාමර දෙකක් අසල නැවතුණා.

මහත්වරුනි, මේ ඔබ දෙදෙනාගේ කාමර. ඔබට අවශ්‍ය කරන හැමදෙයක්ම එහි තිබෙනවා. මොනවා හරි දෙයක් අවශ්‍ය වුනොත් එහි ඇති සීනුව නාද කරන්න. මම හරියටම 8.25 ට මෙහි පැමිණෙනවා ඔබ දෙදෙනා රාත්‍රී භෝජනය සඳහා කැදවාගෙන යන්න. මේ ඔබේ යතුරු. එහෙනම් හරියටම 8.25 මහත්වරුනි.

කිසිවක් නොපැවසූ ලෝගන් යතුරින් දොර විවර කරගෙන සිය කාමරයට ඇතුල්වුනා. සිය ගමන් මල්ල පසෙකින් තැබූ ඔහු එහි වු පුටුවක අසුන්ගත්තා. කිව නොහැකි වූ යමකින්
ඔහුගේ සිත තුළ යම් පෙරළියක් ඇති කළා. කණ්ඩායමක් සමඟ වැඩ කිරීම ඔහු කිසිසේත්ම ප්‍රිය නොකළ දෙයක්. එය ප්‍රශ්නවලට, පාවාදීම් වලට අත වැනීමක් ලෙස ඔහු සැමවිටම
සිතුවා. ඒත් මේ අවස්තාවේ එයින් මිදිමට ඔහුට හැකියාවක් තිබ්බේ නෑ.

මොහොතකින් සිය අසුනින් නැගී සිට ලෝගන් “එන විදිහටකට බලමු” යැයි තමන්ටම පවසාගෙන නාන කාමරයට වැදුණා.

ස්නානය කිරීමෙන් අනතුරව ලෝගන් රාත්‍රී ආහාරයට යෑමට සැරසුණා. මෙවැනි රාත්‍රී භෝජාන සංග්‍රහ වලට ඔහු වැඩි කැමැත්තක් නොදැක්වුවත් ඒ ගැන ඔහුට හොද
අවබෝධයක් තිබුනා. ඒ නිසා ඔහු ඊට සුදුසු ඇදුමකින් සැරසුනා. එ වැනි ඇඳුම් කිහිපයක්ම ඔහුගේ කාමරයේ වු අල්මාරියේ තබා තිබුනා.

හරිමටම අටයි විසිපහට කාමරයේ දොරට තට්ටු කරන හඩ ඇසීමෙන් ලෝගන් එහි දොර
විවර කරගෙන එළියට පැමිණියා. දොරටුව අසලම බෙන්ජමින් හා සෙඩ්රික් රැදී සිටියා. ප්‍රභූ ඇඳුමෙන් සැරසුණු ලෝගන් දුටු බෙන්ජමින් පමණක් නොව සෙඩ්රික්ද පුදුමයට පත්වුයේ ලෝගන් ප්‍රංශ ඉහළ සමාජයේ ප්‍රභූවරයෙක් ලෙස දිස්වූ නිසයි. ඔහුගේ උරහිස තෙක් දික්වූ කොණ්ඩය ඔහු පිළිවෙළකට ගැට ගසා තිබුණා. ඔහුගේ කළු පැහැති එඩිතර යුගැස
දීප්තිමත්ම බැබලුණා.

මහත්වරුණි, එන්න මා සමඟ, අපහසුවෙන් සිය විස්මය මැඩගත් බෙන්ජමින් පෙරමග ගනිමින් එසේ පැවසුවා.
___________________________________________________________________________________

KB 2021.02.13

No comments: