අඳුරේ දඩයම්කරු 10 - ශර්මලී

     වනපෙත්, කඳු බෑවුම්, ජල තටාක අතරින් ඇදී ගිය දීර්ඝ ගමනක      අවසානය සනිටුහන් කරමින් දඩයක්කරුවා හා සෙඩ්රික් ඩෝවර් වරාය      නගරයට ළගා වුනා. ඒ වන විට දින අටක් ගෙවීගොස් අවසන්.      දඩයක්කරුවා ස්භාවයෙන්ම නිහඩ පුද්ගලයෙක්. සෙඩ්රික් කියවීමට      දක්ෂයෙක් වුනත් දෙදෙනා අතර වු අමනාපය නිසා මේ දීර්ඝ කාලය තුළ      ඔවුන් කතා කර තිබුණේ බොහොම අල්ප වු වචන ගණනක් පමණයි.

     ඩෝවර් නගරයට පිවිසි මේ දෙදෙනා ඉතිරි දින දෙකට නවාතැන්      ගැනීමට වෙන්කර තිබු කුඩා තානායම කරා ළගා වුනා. නගරයේ ඒ මේ      අත ඇවිද යමින් හා තැබෑරුමකට වැදී බියර් පානය කරමින් කල්      මැරුවා. නෞකාව පිටත් වීමට පැය කිහිපයකට පෙර දඩයක්කරුවා      සමඟ වරායට පැමිණි සෙඩ්රික් නෞකාවේ කටයුතු බාර ලිපිකරුවා      හමුවී තමන්ට වෙන්කර තිබු කාමර දෙක අවශ්‍ය මුදල් ගෙවා      ලබාගත්තා.

“මරීනා” ලෙස නම් කර තිබූ එම යාත්‍රාව මඳක් කුඩා එහෙත් සුඛෝපභෝගී මගීන් ගෙන යෑමට නිර්මාණය කර තිබූ යාත්‍රාවක්. එය කිලෝමීටර 54 පමණ දුරක් මුහුද මතින් ඇදී යාමට නියමිතව තිබුණා. ඒ සඳහා සාමාන්‍යයෙක් දිනක පමණ කාලයක් ගතවුවත් මුහුදේ ස්භාවය අනුව ඒ කාලය වෙනස් වුනා. සියලු කටයුතු අවසන්වීමෙන් අනතුරුව සවස දෙකට පමණ “මරීනා” නෞකාව සිය නැංගුරම් මුදවා කැලෙයි නගරය වෙතට ගමන ආරම්භ කලා.

තමන් වෙනුවෙන් වෙන්කර තිබූ කුටියට වැදුණු දඩයක්කරුවා කම්මැලිකමින් කාලය ගෙවා දැම්මා. ඔහුගේ සිත තුළ පැහැදිලි කළ නොහැකි වු දුකකින් පිරී තිබුණා. වරින් වර එමීලියාගේ සුන්දර මුහුණ ඔහුගේ සිතේ ඇදී ගියා. ඇගේ නිල් පැහැති දිගැති ඇස්, තමා සිප ගත් ඒ රත් පැහැති කුඩා දෙතොල්, කළු පැහැති දිගු කෙස් කළඹ හා හැමවිටම සුන්දර සිනාවකින් පිරී ගිය ඇගේ වත වරින් වර ඔහුගේ සිහියට නැගුණා.

සිය කුටියෙහි වු ඇදේ වැතිරුණු ලෝගන්ගේ සිත බොහෝ දුර ඈත අතීතයක් කරා දිව ගියා. සමහරක් මතකයක් සදහටම අමතක වී ගොස්ය. කාළය එතරම් ගෙවී ගොස් ඇත. ඒත් සමහර මිහිරි මෙන්ම අමිහිරි මතකයන්ද තවමත් ඉදහිට සිත තුල කරක් ගසයි. ඒ දඩයක්කරුවා වෙනත් ජීවිතයක් ගත කළ අවධියයි. දඩයක්කරුවා දඩයක්කරුවෙක් නොවු අවධියයි.

ඉන්දියන් සාගරයේ පිහිටා තිබූ කුඩා දූපතක් වු සිය මවු බිමේ සිට වෙළද කටයුත්තකට ඉන්දියාවට ගිය අයුරු දඩයක්කරුවාගේ මනසේ ඇදී ගියා. ඉන්දියාව අද මෙන්ම එදත් ජනාකීර්ණ වු රාජ්‍යයක්. එහි මදුරෙයි සිට බෙංගාලය දක්වා ගැල් පෙළකින් ගිය ගමන ඔහුගේ සිහියට නැගුණා. ඒ යන අතර මගදි බෙංගාලය ආසන්න ගම්බද කෑලෑ පෙදෙසක දුටු ඒ සුන්දර යුවතියගේ රුව එදා ලෙසම අදත් දඩයක්කරුගේ සිතේ මැවුණා. නීල වර්ණ දිගු කෙස් කළඹත්, කළු පැහැති නෙත් යුවලටත් තමා එදා වශී වී ගිය බව මතක් වන විට දඩයක්කරුගේ මුහුණේ සියුම් සිනහවක් ඇදී ගියා.

ගැල් කණ්ඩායමේ කීපදෙනෙක් හදිස්සියේම අසනීප වු බැවින් ඔවුනට ඒ ගම්මානයේ දින කීපයක් නතර වීමට සිදුවුයේ දඩයක්කරුවාගේ සිතේ ඇදී ගිය ඒ රුව ඔහුට ඇත්තටම සමීප කරවමින්. අනතුරුව බෙංගාලය බලා ඔහු පිටත්වී ගියේ සිය වෙළද කටයුතු නිමවුණු වහාම ඇය දැකීමට එන බවට ඒ සුන්දර යුවතියට පොරොන්දුවීමෙන් අනතුරුවයි.

     සිය කටයුතු අවසන් කිරීමෙන් අනතුරව නැවතත් මව්බිමට යනවා වෙනුවට      ඒ කෑළෑබද ගම්මානයට ඔහු ගියේ තමන් එනතුරු බලා සිටින ඒ සුන්දර      යුවතිය දැකීමටමයි. සිය මව්බිමට යෑම කලකට අමතක කර දැමූ ඔහු      ඇයගේ දෙමව්පියන්ගේ අවසරය ගෙන ඒ යුවතිය හා විවාහ වුයේ පසු      කළෙක ඇයත් සමඟම සිය මව්බිම කරා යන චේතනාවෙන්.

     ඇය හා ගෙවු ඒ සුන්දර කාල පරිච්ඡේදය කෙළවර වුයේ හදිස්සියේම      ගම්මානයේ බොහොමයක් වැසියන් නොදන්නා වු අසනීපයකින්      පෙළෙන්නට ගැනීමත් සමඟින්. අසනීපයත් සමඟම ගම්වැසියන් එකා      දෙන්නා මිය දෙන්නට පටන් ගත්තේ සිතා ගැනීමටත් නොහැකි වු      අයුරකින්. කිසිදු බෙහෙතකින් හෝ ඔවුන්ගේ කිසිදු යාග හෝමයකින්      පිහිටක් නොවු තැන එකා එකා ගම හැර යන්නට ගත්තේ කාටත් හොරෙන්.      ශර්මලීගේ මව හා පියාද මේ රෝගයට ගොදුරු වුනේ එක වරමයි. සතියක්      යන්නටත් මත්තෙන් ඔවුන් දෙදෙනාම අවසන් ගමන් ගියේ ශර්මලී සදහටම      ලෝගන්ට බාර කරමින්.

     තව දුරටත් මේ ගමේ වාසය කිරීම නුදුසුසුබව තේරුම් ගත් දඩයක්කරුවා,      නැවත සිය මව්බිම බලා යෑමට තීරණය කලා. කෙසේ නමුත් නගරයට      යෑමත් ලේසි පහසු කටයුත්තක් වුනේ නෑ. කෙසේ නමුත් ප්‍රථමයෙන්      ශර්මලී සමඟ බෙංගාලයට යෑමට ලෝගන් තීරණය කළා. අනතුරුව දිනක් උදෑසනම ඔවුන් ගම්මානයෙන් පිටවුනා. මේ වන විට ගම්මානයේ කිසිදු ජීවී අයෙක් ඉතුරු වී සිටියේ නෑ. අවසන්වරට ගම්මානයෙන් පිටවූයේ ඔවුන් දෙදෙනායි.

පහුගිය දින කීහිපයේම රෑයක් දවාලක් නොබලා සිය දෙමව්පියන්ට උවටැන් කිරීමෙනුත් ඔවුන්ගේ මරණයේ කටයුතු නිසා ශර්මලී සිටියේ තරමක් දුර්වලව සිටි නිසා ඔවුන් දෙදෙනාට එදින සිතූ තරම් දුරක් ගමන් කිරීමට හැකියාවක් ලැබුණේ නෑ. මේ හේතුව නිසා ලෝගන් බලාපොරොත්තු වු ලෙස වනාන්තරයෙන් එහා පිහිටා තිබූ ගම්මානයට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුවත් වනාන්තරේ වු ගල් තලාවක් අසල නවාතැන් ගැනීමට ඔවුන් දෙදෙනා තීරණය කළා.

ලෝගන් අවට තිබූ අතු ඉති යොදාගෙන ගිනි මැළයක් දල්වා ගත්තේ එය රාත්‍රියේ සීතල මැකීමට මෙන්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීමටත් එක්ක. ඊටත් වඩා ශර්මලී අඳුරේ සිටිමට මහත් බියක් දැක්වූවා. ඇය මේ වන විට සිරුරින් පමණයක් නොව මනසින්ද දුර්වල වී සිටියා. ගිනි මැළය දල්වා අවසන ලෝගන් ඇය අසලින් වාඩිවු විට ඇය ලෝගන්ට තදින් තුරුල් වුනේ ඒ මේ ලෝකයේ තමාගේ කියන්නට සිටි එකම පුද්ගලයා නිසා.

රාත්‍රිය කෙමෙන් කෙමෙන් දැඩි වුනා. වනාන්තරයේ වු අඳුර යන්තමින් හෝ මැකි ගියේ ගිනි මැළයෙන් ලැබුණු එළියෙන්. ඒත් මේ වන විටත් ඔවුන් දෙදෙනා දෙස නෙත් හෙළාගෙන සිටි අඳුරේ ඡායාවන් පළවා හරින්න නම් ඒ එළියට හැකියාවක් ලැබුණේ නෑ. ඔවුන්ගේ ගමට වින කළ, ගමේ බොහොමයක් දෙනෙක් මරු තුරුළට යැවු ඒ අඳුරු ඡායාවන් කීපයක් ගමේ සිටම ඔවුන් හඹා ඇවිත් තිබුණා ඔවුන් දෙදෙනාම නොදැනුවත්වම. ඒ ඡායාවන් කල් මරමින් සිටියේ දඩයමට නිසි වෙලාව එළඹෙන තුරු. ලෝගන් හා ශර්මලී නොදැනුවත්වම දඩයමට නිසි වෙලාව උදාවී තිබුණා

එක වරම ඔවුන් සිටි ගල් තලාව පිටු පසින් නැගුණු භයානක ශබ්දයකින් ඔවුන් දෙදෙනාම ගැල් ගැසී ගියා. බයෙන් සලිත වී ගිය ශර්මලී ලෝගන්ගේ ඇගේ එල්ලීගෙනම නැගී සිටියා. සිය ඉණේ ගසාගෙන සිටි පිහිය එක අතකින්ද අනිත් අතින් අතින් ගිනි මැලයෙන් ඇදගත් දැල්වෙන දර කැබැල්ලකින්ද සන්නද්ධ වු ලෝගන් බියෙන් වට පිට බැලුවා. ඒ වන විටත් අදුරු බිහිසුණු ලෙස හඩ නැගූ අඳුරු ඡායාවන් ඔවුන් වටකර හමාරයි.

ඉදිරියෙන් මතුවු ඡායා දෙක දැල්වෙන දර කැබැල්ල යොදාගෙන පළවා හරින්න හැදුවත් එය කිරීමට ලෝගන්ට හැකියාවක් ලැබුණේ නෑ. නිශ්ශබ්දවම ඔවුන්ගේ පිටුපසින් මතුවු තුන්වන ඡායාව ශර්මලීගේ ගෙලෙන්ම ග්‍රහණය කරගෙන ඇයව ඇදගෙන ගියේ ලෝගන්ට හැරෙන්නටවත් ඉඩක් නොතබා. ඒ සමඟම ඇය නැගූ හඩින් අවට වනයම කම්පාවී ගියා.

ශර්මලී ............... යනුවෙන් හැඩ නැගූ ලෝගන් ඒ දෙසට හැරෙනවාත් සමඟම ඔහු ඉදිරියෙන් වු අඳුරු ජායාවන් දෙක ලෝගන් වෙත පැන ඔහුව බිම පෙරළා ගත්තා. එක ඡායාවකගේ මුවින් ඇදී ආ දිගු දත් පෙළ මොහොතකින් ලෝගන්ගේ ගෙලට ළං වුනා. තම අවසාන මොහොත යදිමින් ඇස් පියා ගත් ලෝගන්ට ශර්මලීගේ රුව පෙනී නොපෙනී ගියා.

මොහොතකින් ලෝගන්ගේ ගෙළ ග්‍රහණය කරගෙන වුන් අඳුරු රුව මහත් වු බිහිසුණු හඩක් නගමින් මීදූමක් මෙන් බිදී විසීරී ගියා. ඒ සමඟම ලෝගන්ගේ හිස අසලින් දිලිසෙන වානේ තලයක් පිටුපසට ඇදී ගියා. ලෝගන්ගේ කකුල් දෙක මෙතෙක් වෙලා ග්‍රහණය කරගෙන සිටි අඳුරු රුව වෙත එම වානේ තලය නැවතත් ළගා වුනා. මර හඩක් නැගූ දෙවන රුවත් පළමු රුව ලෙසින්ම බිදී විසිරී ගිය අතර ලෝගන් හිස ඔසවා බලන විට කලු පැහැති කබායක් පැළදගත් අඳුරු රුවක් අසිපතක්ද රැගෙන ඔහු අසල සිටගෙන සිටියා.

මගේ බිරිඳ ඔවුන් ඇයව ඇදගෙන ගියා අර පැත්තට යයි ගල් තලාව දක්වා අපහසුවෙන් පැවසූ ලෝගන් සිහිසන්ව ඇද වැටුණා.

පැය කිහිපයකට පසුව ලෝගන් ඇස් ඇර බලන විට ඔහු දුටුවේ තමන් ඉදිරිපිටින් ගිනි මැලය අසල වාඩි වී සිටින අද්භූත ආගන්තුකයා. එහෙත් ඔහුට ශර්මලීව දක්නට ලැබුණේ නෑ. අපහසුවෙන් වචන ගොනු කළ ලෝගන් ශර්මලී යැයි හඩ නැගුවා.

ඔබට සිහිය ඇවිත් වගේ. ඔබ පැය ගාණක් ඔහොම වැතිර සිටියා, ඒ හඩ ලෝගන්ව මරු කටින් ගලවා ගත් අද්භූත ආගන්තුකයාගේ.

මගේ ශර්මලීට මොකද වුනේ?

මොහොතක් නිශ්ශබ්දව ලෝගන් දෙස බලා සිටි අද්භූත රුව ඔහුගේ හිස සැලුවා.

කණගාටුයි මිත්‍රයා, මට ඇයව ගලවා ගන්න හැකියාවක් ලැබුණේ නෑ. මා එතනට යන විටත් උන් ඇයව දඩයම්කර හමාරයි.

ශෝකයෙන් බරිත වී ගිය ලෝගන්ගේ ඇස් වලින් කඳුළු කැට ගලාගෙන එන්නට වුනා.

මට ඇයව බලන්න ඕන.

මිත්‍රයා, ඒක කෙනෙක් දකින්න ඕන දසුනක් නම් නෙවෙයි.

කමක් නෑ. මට අන්තිම වතාවට ඇයව දකින්න ඕන. මගේ ජීවිතයට වුනේ ශර්මලී.

ඊළඟ මොහොතේ නැගී සිටි අද්භූත ආගන්තුකයා ලෝගන් වෙත සිය සුරත දිගු කළා.

එන්න මිත්‍රයා.

අද්භූත ආගන්තුකයාගේ උදව්වෙන් නැගී සිටි ලෝගන් ඔහුගේ උදව්වෙන් ගල් තලාව පිටිපසට ගමන් කළා. එහි ශර්මලීගේ ලේ වැකි සිරුර දක්නට ලැබුණා. ආගන්තුකයා කිවුවාක් මෙන් එය ඇත්තටම කෙනෙක් දැකිය යුතු දර්ශනයක් නම් නෙවෙයි. ඇගේ පපුව පෙදෙස දැඩි පහරකින් ඉරිගොස් තිබුණා. ගෙළ පසෙකට අඹරවා දමා තිබුණා. ඒ සුන්දර කළු පැහැති ඇස් පියවී තිබුණේ නැවත කිසිදාක නොඇරෙන ලෙසයි.

ශර්මලීගේ ලේ වැකි සිරුර අසල බිම වාඩි වුන ලෝගන් ඇයගේ සිරුර තමා වෙත ඇදගත්තා. ඇගේ හිස සිය උකුලේ තබාගෙන ඇගේ හිස ආදරයෙන් පිරි මදින්නට වුයේ කඳුළු වගුරවමින්. තවත් බොහෝ වෙලාවක් එලෙස සිටි ඔහු ඇයගේ නළලත ආදරයෙන් සිඹ නැගී සිටියා.

මට උදව් කරන්න මිත්‍රයා, ඇයව මෙහෙම අත ඇරලා දාලා යන්න මට බෑ. ශර්මිලාගේ දහමට අනුව ඇගේ අවසන් කටයුතු කරන්න මට උදව් වෙන්න, කරුණාකරලා.

කිසිවක් නොපැවසූ ආගන්තුකයා වියළී ගිය දර කැබලි එකතු කරන්නට පටන්ගත්තා. ටික වෙලාවකට පසුව ඇති තරමට වියළි දර කැබලි එකතු කරගත් ඔවුන් දෙදෙනා එයින් චිතකයක් සාදා

ශර්මලීගේ සිරුර ආදාහනය කළා. මේ වන විට රාත්‍රිය ගෙවී අවසන්ව යමින් තිබුණා.

ඔබ කවුද? මොක්කුද ඒ? සියල්ල අවසන් වු පසුව ගිනිගෙන දැවෙන ශර්මලීගේ චිතකය දෙස සොවින් බලාගෙන සිටි ලෝගන් අද්භූත ආගන්තුකයාගෙන් විමසුවා.

මම අර්ජුන්. මම දඩයක්කාරයෙක්. මම දඩයම් කරන්නේ ඔබ ටිකකට පෙර දුටුවා වගේ අද්භූත දේවල්. ඔබ අර වනාන්තරයේ එහා කෙළවර තියෙන ගමෙන් වෙන්න ඕන. මට ආරංචිය ලැබුණා ඔබේ ගම ගැන. මම එහාට යන අතර මඟ තමයි ඔබ දෙදෙනාගේ කෑ ගැසීම ඇසුණේ.

මොක්කුද ඒ? මගේ ජීවිතේට මම එහෙම දෙයක් දැකලාවත් අහලා වත් නෑ.

මේ අද්භූත බලවේගවලට කියන්නේ පිශාචයෝ (Pishachas) කියලා

පිශාචයෝ?

ඔව්. වේදික මිත්‍යා (Vedic myth) මත වලට අනුව බ්‍රහ්මයා විසින් මවපු භයානකම යක්ෂයෝ කොටස විදිහට පිශාචයෝ හදුන්වන්න පුළුවන්. මුන් මීනි මස් කාලා ජීවත්වෙන යක්ෂයෝ කොට්ඨාශයක්. පණ පිටින් ඉන්න මිනිහෙක් විතරක් නෙවෙයි මළ මිනියක්වත් මුන්ගෙන් බේරෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මේ යක්ෂයෝ ඉන්නේ සොහොන් පිටි වල එහෙමත් නැත්නම් භයානක විදිහට මිනිස්සු මැරුණු තැන්වල. සමහර වෙලාවට කැළැවල තැන තැන යනවා මුන්. මේ යක්ෂයින්ට පුළුවන් ලෙඩ නැත්නම් වසංගත බෝ කරන්න. මම හිතන්නේ ඔබේ ගමටත් සිදුවුනේ ඒකයි. ඒ ඇරුණහම මිනිස්සුව පිස්සු වට්ටන්නත් මුන්ට පුළුවන්. සමහර වෙලාවට තනිවෙච්ච ගම්වලට වදිනවා මුන්. ඔබේ ගමටත් වෙලා තියෙන්නේ ඒකයි

තව දුරටත් ගමේ කවුරුවත් ඉතුරු වෙලා නෑ අර්ජුන්. මමයි ශර්මලියි තමයි අන්තිමටම ගමෙන් පිටවෙලා ආවේ. කොහොමද ඔබ මුන්ව විනාශ කළේ?

එහෙනම් මම ඔබේ ගමට යන එක තේරුමක් නෑ දැන්. මගේ අසිපත විශේෂ එකක්. එය දක්ෂ ඒ වගේම බලසම්පන්න මන්ත්‍රාචාර්යවරයෙක් විසින් බලගන්නවා තිබෙනවා. එයින් පුළුවන් මේ වගේ බොහොමයක් යක්ෂයින් විනාශ කරන්න.

බොහොමයක්? ඒ කියන්නේ තවත් මේ වගේ අඳුරු බලවේග තියෙනවාද?

නොගිනිය හැකි තරම් අඳුරු බලවේග තියෙනවා මිත්‍රයා. ඒවා බොහෝවිට තියෙන්නේ අඳුරු කඩතිරෙන් වැහිලා. ඒත් ඒ බලවේග තමන්ට අවශ්‍යකරන වෙලාවට ගොදුරු හොයන්න එලියට එනවා. සමහරවිට ගොදුරු හොයන්න. එහෙමත් නැත්නම් විනාශය ගෙන එන්න. ඔබ කවුද මිත්‍රයා?

මම ඉන්ද්‍ර. අර දැවෙන්නේ මගේ බිරිඳ ශර්මලී. මගෙයි කියන්න පුළුවන් මේ ඉන්දියාවේ ඉතිරිවෙලා තිබ්බ එකම කෙනා.

ඉන්ද්‍ර කියන්නේ දෙවි කෙනෙක් මම දන්න තරමට. මොකක්ද ඔබ දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම ආවේ බෙංගාලයට යන්න. එතනින් මගේ මව් රටට යන්න මගේ බිරිදත් සමඟ. ඒ හැම දෙයක්ම දැන් විනාශ වෙලා ගිහිල්ලා. මට තෙරෙන්නේ නෑ දැන් මම මොනවද කරන්නේ කියලා?

මම දැන් කොහොමත් බෙංගාලයට යනවා. ඔබට පුළුවන් මාත් එක්ක බෙංගාලයට යන්න ඔබ කැමති නම්. එතනින් මම වරණාසි වලට යනවා අපේ සංවිධානයේ මූලස්ථානයට.

සංවිධානය? මූලස්ථානය?

ඔබ හිතුවද මේ වගේ අද්භූත දේවල් වෙන්නේ මේ ඉන්දියාවේ විතරයි කියලා. නෑ මේ ලොකේ හැම තැනම මේ වගේ බලවේග තියෙනවා. මම සම්බන්ධවෙලා ඉන්න සංවිධානය ඒ බලවේග වලට විරුද්ධව වැඩ කරනවා. ඒක දැනට රටවල් ගණනාවකම විහිදිලා තියෙනවා. ඒ සංවිධානය හදුන්වන්නේ අඳුරේ දඩයක්කරුවන් ලෙස.

මාත් කැමතියි ඒ සංවිධානයට එකතුවෙන්න. මට ඕන ශර්මලීට වෙච්ච දේ තවත් කෙනෙකුට වෙන එක නවත්තන්න.

ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉන්ද්‍ර. ඒකට දීර්ඝ කාලයක් පුහුණුවෙන්න ඕන. මරණයෙන් කෙළවර වෙන්න පුළුවන් වැඩක් මේක.

මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මිත්‍රයා. මම කැමතියි.

අපි බලමු. අපි එහෙනම් බෙංගාලයට ගිහිල්ලා වරණාසි වලට යමු. එතනදී මම ඔබව අපේ නායකයාට හදුන්වලා දෙන්නම්. එතනින් එහාට හැමදෙයක්ම තියෙන්නේ ඔහු අතේ.

     ලෝගන් ....... ලෝගන් ........ අපි කැලෙයි වලට ළගාවෙලා.

     කුටියේ දොරට තට්ටු කරමින් ඇසුණු ශබ්දයත් සමඟම ලෝගන්ගේ      සිතුවිලි නැවතත් වර්තමානයට පැමිණියා. මොහොතකින් ඔහු කුටියේ      දොර ඇරගෙන පිටතට පැමිණියා.

     කුණාටු මුකුත් නොතිබුණු නිසායි හොද සුළගක් තිබ්බ නිසාත් අපි      හිතුවාටත් වඩා කළින් කැලෙයි නගරයට ළගාවෙලා යැයි පැවසූ      සෙඩ්රික් අත දිගුකර කැලෙයි නගරය දැක්වූවා.

     බලන්න .........................

     උදෑසන ආලෝක කිරණ මත්තෙන් කැලෙයි නගරය හා වරාය      පිබිදෙමින් තිබෙන අයුරු ඔවුනට ඈතින් දක්නට ලැබුණා.

___________________________________________________________________________________

KB 2021.01.11

No comments: