අඳුරේ දඩයම්කරු 12 – නව තාක්ෂනික අංශය

බෙන්ජමින්, ලෝගන් හා සෙඩ්රික් කැටුව ගියේ, අසිපතේ මාළිගයේ පහත මාලයේ මෙවැනි භෝජන සංග්‍රයන්ටම වෙන්ව තිබූ තරමක් විශාල ප්‍රමාණයේ ශාලාවකටයි. එම ශාලාවේ මධ්‍යට වන්නට දිගු මේසයක් තබා තිබුණා. ඒ වට තබා තිබු ආසන වල විසි පස්දෙනෙකුට පමණ කිසිදු අපහසුවකින් තොරව අසුන් ගැනීමේ හැකියාව තිබුණා. ඒ වන විටත් සේවකයන් විසින් ඒ මේසය භෝජන සංග්‍රයට සුදානම් කරමින් පැවතුනා.

ලෝගන්ට සහ සෙඩ්රික්ට ශාලාව දක්වා එහි ඇතුල්වන ලෙස අතින් සන් කළ බෙන්ජමින් ඔවුන් දෙදෙනාට ආචාර කර එතැනින් පිටවී ගියා. ඔවුන් දෙදෙනා එහි ඇතුල්වනවිටත් ශාලාව තුළ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාත් ඇතුළුව දස දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් රැදී සිටියා. ලෝගන් සහ සෙඩ්රික් එහි ඇතුළු වන දුටු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා මොහොතකින් ඔවුන් දෙදෙනා අසලට පැමිණියා.

ලෝගන්, අඳුනගන්තත් බැහැනේ. ඔබ නියම ප්‍රංශ රදළයෙක්ගේ විලාශය තමයි පෙන්නුම් කරන්නේ. එන්න මාත් එක්ක. ඔබ දෙදෙනා හදුන්වා දිය යුතු කීප දෙනෙක්ම මෙහි පැමිණ සිටිනවා. සමහරු ඔබ එනකම් බොහෝ කාලයක් බලා සිටිය අයවලුන්. ඔබ මෙහි පැමිණ සිටීම ඔවුන්ට ලොකු පුදුමයක් වේවි. ඒ වගේම ලොකු සතුටක් වේවි.

ඔවුන් දෙදෙනා කැටුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ගමන් කලේ, ශාලාවේ කෑම මේසයට ආසන්නයේම සිටගෙන සාමීචියේ යෙදී සිටින පිරිසක් වෙතයි.

මිතුරනි, සමාවෙන්න ඔබේ කතා බහට පොඩි බාධාවක් කරන්න සිදුවුනාට. මට අවසර දෙන්න අපේ මාළිගයට, මේ භෝජන සංග්‍රයට පිටතින් පැමිණි අමුත්තන් දෙදෙනෙකු හදුන්වා දෙන්න. පළමුවෙන්ම මා ඔබට හදුන්වා දෙන්නේ මේ තරුණයා සෙඩ්රික්. ඔහු අපේ සංවිධානයේ ස්කොට්ලන්ත ශාඛාවේ ප්‍රධානියා වන, ඇන්ගස් ඩී. ප්ලීමීයන් බැරන්වරයා යටතේ නයිට්වරයෙක්වීමට පුහුණුවන්නා වු නිර්භීත, දක්ෂ තරුණයෙක්.

මම ඊළගට හදුන්වා දෙන්න යන කෙනා ඔබ කවුරුත් දන්නවා. ඒ ඔහු ගැන කියවී ඇති ලියවී ඇති පුරාවෘත්තවලින්. මම දන්වා ඔබ සියල්ලන්ම ඔහුව දැකගන්න බොහොම කාලයක් බලා සිටියා. ඒ බලා සිටිම අවසානයි අදින්. ඒකට හේතුව ඔහු අද අප අසලම සිටිම. මේ ඉන්නේ අපේ සංවිධානයේ ඉන්න අත්දැකීම් බහුල, ඒ වගේම නිර්භීතම දඩයක්කරුවා, ලෝගන්.

     මොනවා? මේ ඔහුමද?

     තමන් ඇසූ දෙය අදහාගත නොහැකිව සිටි එතැන සිට සුරෑපී තරුණියක් පැවසුවා.

     මම හිතුවා මේ ප්‍රංශයේ කුමාරයෙක් කියලා.

     හා හා කැතලීනා හදිස්සිවෙන්න එපා. මම කැතලීනා ගෙන්ම පටන්ගන්නම් කෝ. මේ      ඉන්න සුන්දර තරුණිය කැතලීනා. ඇය තමයි අපේ සංවිධානයේ නව තාක්ෂනික      අංශයේ ප්‍රධානියා. මට බොහොම කාලයක ඉදලා ඔබට මෙහෙට කැදවන්න කියලා      කරදර කරන එක්කෙනෙක් තමයි මේ කැතලීනා. ඇය බොහොම දක්ෂ නව      නිර්මාණ කරන්නියක්.

     මෙම හදුන්වාදීම ඇසූ තරුණියගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වී ගියා. ඇය දෙස බැලූ      ලෝගන් මද සිනාවක් පළකලා.

     මේ ඉන්නේ ඇඩ්ලීන් ලෙනොරා මගේ ප්‍රිය බිරිඳ. එතැන් සිටි තවත් සුරුපී කාන්තාවක්      පෙන්වමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පැවසුවා.

     මගේ බිරිදත් ඔබගේ හොඳ රසිකාවියක් කිවුවොත් නිවැරදියි ලෝගන්. ඇය ඔබ ගැන      සියලු විස්තර කියවා තිබෙනවා.

     ලෝගන් මෙන්ම සෙඩ්රික්ද ඇයට හිස නමා ආචාර කළා.

මේ ඉන්නේ අප සංවිධානයේ ලේඛන අංශයේ භාරකරු ජෙරාඩ් සිංක්ලෙයාර්. ජෙරාඩ්ගෙන් තමයි මට වැඩිම කරදරයක් තිබ්බේ ඔබව මෙහි ගෙන්වා දෙන ලෙස. ඊළගට ඉන්නේ ජේඩ් අන්ඩ්‍රියා. ඊළගට මා(ර්)ටින් බ්‍රැසීන්. මේ දෙදෙනා තමයි අපේ පුහුණු පාසලේ භාරකරුවන් වෙන්නේ. ඊළගට ඉන්නේ මගේ ලේකම්වරයා ෆැන්ක්ලීන් ටී. කොවෙල්. සෙඩ්රික් මෙන්ම ලෝගන්ද මේ සියළු දෙනාටම අතට අතදී ආචාර කළා.

මට බොහොම දේවල් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න. ඉස්සෙල්ලාම මට දැනගන්න ඕන

පොඩ්ඩක් ඉන්න ජෙරාඩ්. මේ ඒකට වෙලාව නෙවෙයි. ඔබේ ප්‍රශ්න වලට වෙලාවක් ලැබෙනවා ලෝගන් මෙහේ ඉන්න කාලෙදි. ඒක නිසා පොඩ්ඩක් ඉවසන්න වෙනවා ඔබට. දැන් අපි මේ සංග්‍රහය බුක්ති විදිමු, එන්න හැමෝම.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ශාලාවේ රැස්ව සිටි ඉතිරි කීපදෙනාටත් කෑම මේසයේ අසුන්ගන්නා ලෙස ඇරයුම් කරමින් කෑම මේසයේ අසුන් ගත්තා. සංවිධානය පිළිවදව තවදුරටත් කතා කිරීමෙන් වැළකුණු ඔවුන් සමාන්‍ය කතා බහක නිරත වුනා. ලෝගන් කෑම මේසයේදී හැසිරුණේ නියම ප්‍රංශ රදළයෙක් ලෙසයි. එය සෙඩ්රික්ගේ විමතියට හේතුවක් වුනා. රාත්‍රී භෝජනයෙන් අනතුරව මදක් වෙලා සතුටු සාමීචියේ යෙදී සිටි ඔවුන් විසිර ගියා.

අළුත් දවසකට ඉඟි කරමින් හිරු කිරණ, අසිපතේ මාළිගය සිප ගනිද්දි ලෝගන් නිදි ගැට හැර නැගී සිටියා. කොහේ කොතනක රැදී සිටියත් උදෑසනින්ම නැගී සිටීම දීර්ඝ කාලයක් තිස්සේ අනුගත වු ඔහුගේ එක් පුරුද්දක්. උදෑසනින්ම ස්නානය කිරීමෙන් අනතුරව ප්‍රංශ රදළ ඇඳුම පසෙකින් තබා සිය සුපුරුදු කළු පැහැති ඇඳුමින් සැරසුණු ඔහු හෙමින් සැරේ මාළිගයේ පහළ මහළට පිවිසියා.

ඒ වන විටත් මාළිගයේ එදිනෙදා කටයුතු ආරම්භවෙමින් පැවතුණා. එහි මෙහෙකරුවන් සිය එදිනෙදා කටයුතු වල නිරත වෙමින් සිටියා. පහළ මහළට පිවිසෙනවාත් සමඟම ඔහුව සොයා ආවේ බෙන්ජමින්.

උතුමාණන් ඔබව බලාපොරොත්තුවෙන් සිටිනවා.

කිසිවක් නොපැවසූ ලෝගන් බෙන්ජමින් පිටිපසින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ කාමරයට ඇතුල්වුනා.

ලෝගන්, මම හිතනවා ඔබ සුව නින්දක් ලබන්න ඇතියි කියලා.

ලෝගන් එය මඳ සිනහවකින් හිස සලා පිළිතුරු දුන්නා.

මට අද පැරීසියට යන්න තියෙනවා. මම ආපහු එන්න දවස් දෙකක් විතර යාවී. මගේ බිරිඳ, ඔබලාව අදාල කටයුතු වලට රැගෙන යන්න කියලා දැනුවත් කරලා තියෙන්නේ. ඇයත් අපේ සංවිධානයේ සමාජිකාවක්. දැන්නම් ඇය දඩයම්කාරියක් විදිහට කටයුතු කරන්නේ නෑ. උදෑසන ආහාරයෙන් අනතුරුව අපට අපේ කටයුතු පිටත්වෙලා යන්න පුළුවන්. ඔබ කොහෙන්ද වැඩ කටයුතු පටන්ගන්න කැමති ලෝගන්?

මම හිතනවා ඉස්සෙල්ලාම නව තාක්ෂනික අංශයට ගියොත් හොදයි කියලා.

මම හිතුවා, ඔබ කටයුතු එතනින් පටන් ගනිවී කියලා. හොදයි ලෝගන්. ඔබට කැමති විදිහකට මේ මාළිගය ඇතුලේ ඕනම තැනකට යන්න අවසර තියෙනවා.

ස්තූතියි ඔබට. “එහෙනම් අපි උදෑසන ආහාරය ගන්න යමු” යැයි පැවසූ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ලෝගන් සමඟ පෙර දින රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ ශාලාව අසල වු වෙනත් කුඩා ප්‍රමාණයේ ශාලාවකට පිවිසියා. ඒ වන විටත් සෙඩ්රික් සහ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ බිරිද හා ඔහුගේ ලේකම්වරයාත් එහි රැදී සිටියා.

උදෑසන ආහාරයෙන් පසුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා ඔහුගේ ලේකම්වරයා පැරිස් නුවර බලා පිටත් වී ගියා. එයින් අනතුරුව සෙඩ්රික්ට හා ලෝගන්ට අමතරව එහි ඉතිරි වුයේ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ බිරිඳ වන ඇඩ්ලීන් ලෙනොරා මැතිණිය පමණයි.

ලෝගන් ඔබ සුදානම්ද අපේ කුඩා සංචාරයට මේ මාළිගය වටා?

ඔව් මැතිණිය.

ලෝගන් පිළිතුරු දුන්නා.

ලෝගන් මට ලෙනොරා කියා ඇමතුවහම ඇති. මම කොහොමවත් කැමති නෑ මාව මැතිණිය කියා අමතනවට. සෙඩ්රික්, ඔබටත් එක්කයි මම මේ දේ කියන්නේ. ඒ නිසා ඉදිරියේදි මාව එලෙස අමතන්න. මට පැය බාගයක් දෙන්න. මම ගමනට සූදානම් වී පැමිනෙන්නම්.

මෙසේ පැවසූ ලෙනොරා, මේසය මත තබා තිබූ කුඩා සීනුවක් නාද කලා.

මොහොතකින් එහි සේවිකාවක් පැමිණ ඇයට ආචාර කළා.

ජූලියා, දැන් ඔබට පුළුවන් කෑම මේසය පිරිසිදු කරන්න. ඒ වගේම බෙන්ජමින්ට කියන්න තව පැය බාගයකින් අපේ ගමනට අස්සයෝ තුන්දෙනෙක් ලෑස්ති කරලා තියන්න කියලා.

ඇයට ආචාර කළ ජූලියා ඉන් පිටවී ගියා. අනතුරුව ලෝගන් දෙසට හැරුණු ඇය, “මට පැය පැය භාගයක් දෙන්න. මම ගමනට සූදානම් වී පැමිණෙන්නම්” යැයි, පැවසූ ලෙනෝරා එම ස්ථානයෙන් පිටවී ගියා. ඇය පිටවී ගිය පසු, ලෝගන් දෙසට හැරුණු සෙඩ්රික්,

අපි කොහාටද යන්නේ?

ඉස්සෙල්ලාම නව තාක්ෂණික අංශයට. ඊට පස්සේ පුහුණු පාසලට. ඉතිරිය වෙලාව අනුව.

පැය බාගයකට පමණ පසු එහි පැමිණි ලෙනොරා

අපි යමු ලෝගන්, මාත් සමඟ එන්න.

ඊළඟ මොහොතේ සෙඩ්රික් හා ලෝගන් ඇය පිටුපසින් සිය ගමන ඇරඹුවා. ඔවුන් උදෑසන ආහාරය ගත් කුඩා ශාලාවෙන් පිටතට පැමිණි මේ තිදෙනා මාළිගයේ දකුණු පසට වන්නට පිහිටා තිබූ දොරටුවකින් පිටතට පැමිණියා. එසේ පිටතට පැමිණි ඔවුන්ට දක්නට ලැබූනේ අසුන් තිදෙනෙක් සමඟ එහි රැදී සිටින බෙන්ජමින්. අනතුරුව අසුන් පිටට නැගුණු ඔවුන් තිදෙනා එතනින් පිටවී ගියා.

අපි නව තාක්ෂනික අංශය, මාළිගයෙන් තරමක් එහාට ගෙනියන්න තීරණය කළා. සමහරවිට එයින් නැගෙන ශබ්ද මාළිගයට පැමිණෙන අමුත්තන් කළබළ කරන්න, ඒ වගේම අනවශ්‍ය කුතුහලයක් ඇති කරන්න පුළුවන්. එය අපේ සංවිධානයේ වැඩවලට බාධාවෙන්න පුළුවන් කියලා අපි තීරණය කළා. ඒ නිසා නව තාක්ෂනික අංශය වගේම, අපේ පුහුණු පාසලත් වතු යායේ කැලෑව ආසන්න පෙදෙසට ගෙනයන්න. එයින් අපේ වැඩ කටයුතුවල රහසිගතභාවය ආරක්ෂා කරගන්න පුළුවන්.

ලෙනොරා මෙසේ පැවසූයේ ඔවුන් අතර තිබූ නිශ්ශබ්දතාවය බිඳලමින්.

මම හිතන්නේ ඔබ අවසාන වතාවට මෙහි පැමිණියාට වඩා දේවල් වෙනස්, එහෙම නේද ලෝගන්?

ඔව් ලෙනොරා. දේවල් ගොඩක් දුරට වෙනස්වෙලා.

ලේඛනාගාරය නම් තියෙන්නේ කළින් තිබ්බ තැනමයි. ඒත් අපි එය ප්‍රමාණයෙන් විශාල කළා. විවිධ රටවල, විවිධ භාෂා වලින් අද්භූත දේවල් ගැන ලියවෙච්ච පොත් පත් එහි තියෙනවා. අපි බොහෝ පොත් ප්‍රංශ වගේම ඉංශ්‍රිසි භාෂාවටත් පරිවර්තනය කළා ඒවා ඉගෙන ගැනීමේ පහසුව පිණිස.

ඒක නම් බොහොම වැදගත් දෙයක් මැතිණිය. මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි සෙඩ්රික් පැවසුවා.

ඔබ ඉස්සෙල්ලාම, නව තාක්ෂනික අංශයට යන්න කැමතියි කියලා මගේ සැමියා මට කිවුවා. ඒ නිසා අපි ඉස්සෙල්ලම එහාට යමු.

විනාඩි විස්සක පමණ කාලයක් අසු පිටින් ගමන් කළ ඔවුන් වතු යායේ කෙළවරක කෑලෑවට ආසන්න පෙදෙසක නිර්මාණය කර තිබූ විශාල ගොඩනැඟිලි දෙකක් අසලට පැමිණියා.

ලෝගන්, ගොඩනැඟිලි වලින් තනි තට්ටුවේ ගොඩනැඟිල්ල තමයි නව තාක්ෂනික අංශයට අයත්වන්නේ. අනිත් ගොඩනැගිල්ල පුහුණු පාසල. මේ දවස්වල අළුත් දඩයක්කරුවන් දහදෙනෙක් පමණ පුහුණුවෙනවා එහි නේවාසිකව. ඔවුන්ට ඔබෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියේවි.

ලෝගන් එය මඳ සිනහවකින් පිළිතුරු දුන්නා.

මම හිතන්නේ කැතලීනා ඔබ එහි එනකම් බලා ඉන්නවා. ඇයට අළුත් නිර්මාණ කිරීමට ඇති හැකියාව නම් විශ්මිතයි. ඇය යටතේ තවත් පස් දෙනෙක් එහි නිර්මාණ කරනයේ යෙදෙනවා. ඔබට ඇයගේ හැකියාව ඔබේ දෑසින්ම බලාගන්න පුළුවන් අද.

මෙසේ පැවසූ ලෙනොරා සිය අසු එම තනි තට්ටුවේ ගොඩනැඟිල්ල දිශාවට යොමු කළා. විනාඩි කිහිපයකට පසු එහි ළඟ වු ඔවුන් සිය අසුන් පිටින් බැස අසුන් නියමිත ස්ථානයේ ගැට ගසා දමා දොරටුව වෙතට ගමන් කරන විටම පරීක්ෂනාගාරය තුළින් යමක් මහ හඩින් පිපිරී ගියා.

මම කිවුවේ. පේනවනේ? මේ වගේ ශබ්දයක් අමුත්තෝ ඉන්න වෙලාවක මාළිගාව අසලින් ඇසුණා නම් මොකද වෙන්නේ කියලා ඔබලාට හිතාගන්න පුළුවන්නේ යැයි පවසමින් ලෙනොරා පරික්ෂනාගාරයේ දොර විවර කළා.

එතුළින් ඇතුළට පැමිණි ඔවුන් තිදෙනාට දැකගන්න ලැබුණේ දුමින් පිරී ගිය පරීක්ෂනාගාරයක්. මදින් මද දුම පහව යද්දී ඔවුන්ට දැකගන්නට ලැබුණේ ආරක්ෂිත උපැස් යුවලක් පැළද ඔවුන් වෙත එන කැතලීනා.

මොකද කැතලීනා කරන්නේ? අපි ඇතුලට එන්නත් කළින් අපිට ආපහු එළවන්නත් හදනවද?

සමාවෙන්න මැතිනිය, අපි පොඩි පරීක්ෂණයක් කළා. එය සිතූ පරිදි සාර්ථක වුනේ නෑ.

මොකක්ද ඔබ කරන්න හැදුවේ? එසේ විමසුවේ සෙඩ්රික්.

අපි කුඩා පිපුරුමක් ඇති කරන්න පුළුවන් කුඩා බෝම්බයක් නිර්මාණය කරන්න හැදුවේ. ඒ වැඩේ අසාර්ථකයි කියලා හිතනවා. අපි හිතුව තරම් පිපුරුමක් ඇති වුනේ නෑ. දුම නම් හිතුවාටත් වඩා වැඩියි. මම හිතන්නේ අපිට මේකට යොදාගත්ත රසායනික මිශ්‍රණය වෙනස් කරන්න වෙනවා. කමක් නෑ. ආයෙත් උත්සාහ කරලා බලනවා. මම හිතන්නේ ලෝගන් ඇවිල්ලා තියෙන්නේ අළුත්ම අවි ආයුධ ටිකක් බලන්න වෙන්න ඇති.

ඔබ එය දන්නවනේ කැතලීනා. ඔබමනේ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට කරදර කලේ ලෝගන්ව ගෙන්වා දෙන ලෙස.

ලෙනොරාගේ එම වදන් ඇසූ කැතලීනාගේ දෙකොපුල් ලැජ්ජාවෙන් රතුවී ගියා.

“එන්න මැතිණිය, එන්න ලෝගන් අපි අලුත් නිර්මාණ ටික බලන්න යමු” යැයි කැතලීනා පැවසුයේ ලෝගන් දෙසවත් නොබලායි.

කැතලීනා, මම කී සැරයක් ඔබට කියලා තියෙනවාද මට මැතිණිය කියා අමතන්න එපා කියලා. මම අනිත් දවසේ ඔබට දඩුවම් කරනවා.

හොදමයි මැතිණිය යයි නැවත ඇය පැවසූයේ මද සිනහවක් නගමින්.

කැතලීනා, මම කැමතියි ඔබේ නිර්මාණයට. එසේ පැවසූයේ ලෝගන්

ඔබ මට විහිළු කරනවද? අපි තාම නිර්මාණය කරපු දේවල් බැලුවෙත් නෑනේ.

මම කියන්නේ ඔබේ පිපුරුම් උපකරණය ගැන. එයින් නැගෙන දුම අපිට පාවිච්චි කරන්න පුළුවන් සතුරාව අන්දමන්ද කරන්න. ඒ වගේම ඔවුන්ට නොපෙනී අතුරුදහන් වෙන්න. එයින් පිටවන දුම් ප්‍රමාණය තව ටිකක් වැඩිවුනත් කමක් නෑ. ඔබට පුළුවන්ද ඔය උපකරණය යමක තදින් ගැටුණහම පුපුරණ විදිහට නිර්මාණය කරන්න? ඒ වගේම අපේ ඇඳුමේ සාක්කුවක වගේ දමාගෙන යන්න පුළුවන් විදිහට ආරක්ෂිතව ඇසුරුම් කරන්න?

ලෝගන්ගේ මේ කියමනෙන් කැතලීනා පමණක් නොව ලෙනොරා හා සෙඩ්රික්ද පුදුමයට පත්වුනා.

මම ඇත්තටම එහෙම හිතුවේ නෑ. මම හිතන්නේ එහෙම කරන්න අපිට පුළුවන් වේවි. ඔබට හොද අදහස් තියෙනවනේ. මට ඔබට මීට කළින් මෙහි ගෙන්න ගන්න තිබ්බේ. මට මොහොතක් දෙන්න. මම ඔබේ යෝජනාව ගැන කටයුතු කරන්න කෙනෙක් දැන්ම යොදවා එන්නම් යැයි පැවසූ කැතලීනා එතනින් පිටවී ගියා.

විනාඩි කිහිපයකට පසුව එහි පැමිණි ඇය ඔවුන් තිදෙනා කැදවාගෙන පරික්ෂනාගාරයේ එහා කෙළවර වු තවත් කොටසකට ඇතුල් වුනා. එහි තබා තිබුනේ විවිධ වර්ගයේ ආයුධ. ඒ වගේම දඩයම් කටයුතු සඳහා යොදාගත හැකි විවිධ වර්ගයේ උපකරණත් එහි තබා තිබුණා.

එහි වු එක් කබඩයක් විවෘත කළ කැතලීනා එයින් රයිෆලයක් අතට ගත්තා.

     මේක මගේ අළුත්ම නිර්මාණය. කේ-35 රයිෆලය.

     ඇයි ඒකට කේ-35 කියන්නේ? එසේ විමසුවේ ලෙනෝරා

     එයට මදක් සිනාසුණු කැතලීනා මෙසේ පැවසුවා.

     කේ තියෙන්නේ කැතලීනා වෙනුවෙන්. මේ මගේ තිස් පස්වෙනි      උත්සාහය. එච්චර ප්‍රමාණයක් මම අසාර්ථක වුනා. මේ හේතු හින්දා      මම මේ රයිෆලය කේ-35 කියලා නම් කලා.

මොකක්ද මේකේ විශේෂත්වය කැතලීනා. එසේ ඇසුවේ සෙඩ්රික්.

අපි මේක ලෝගන්ට දීලා ලෝගන්ගෙන්ම අහමු විශේෂත්වය.

රයිෆලය අතට ගත් ලෝගන් එය මනාව පරීක්ෂා කර බැලුවා. අනතුරුව එය උරහිසට තබා ඈතට ඉලක්ක කර බැලුවා.

ලීවර ක්‍රියාකාරීත්වය සහිත කාර්බයින් වර්ගයේ රයිෆලයක්. බර රාත්තල් 9 විතර වෙනවා. බැරල තුනයි. පහළින් තියෙන බැරල් දෙක එකම ප්‍රමාණයේ. ඉහළ බැරලය අනිත් දෙකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒ කියන්නේ ප්‍රමාණ දෙකක උණ්ඩ දාන්ඩ පුළුවන්. බැරලයක දිග අඟල් 24 ක් පමණ වෙනවා. රයිෆලයේ සම්පූර්ණ දිග අඟල් 50 විතර. රයිෆලයයේ බර හොදින් සමපාත කරලා තියෙනවා. අඩු බර නිසා රයිෆලය හසුරවන්න ලේසියි.

විශිෂ්ඨයි ලෝගන්, තනිවම අත්පොලොසන් දෙමින් කැතලීනා පැවසුවා.

ඊට අමතරව මෙහි බද කොටස ඕක් ලියෙන් නිර්මාණය කරලා තියෙන්නේ. පතොරොම් කුටිය කුඩා කැලිබරයේ උණ්ඩ 20 ක් ගබඩා කරලා තියන්න පුළුවන්. ඉහල කැලිබරයේ උණ්ඩ නම් වරකට එකයි. අඩු බර ඉක්මන් හැසිරවීම.

කේ-35 රයිෆලය ගැන තව දුරටත් විස්තර කලේ කැතලීනා.

මේක මට එක ආව එක සිතිවිල්ලක් නිසා නිර්මාණය කලේ. සමහර වෙලාවට අපිට වඩා වැඩි වෙඩි බලයක් අවශ්‍ය කරනවා. සමහර වෙලාවට සාමාන්‍ය ප්‍රමාණය. ඔය දෙකටම හරියන්න තුවක්කු දෙක තුනක් තැනින් තැන අරන් යන්න අපිට අමාරුයිනේ. අන්න ඒකට පිළියමක් විදිහට තමයි මම මේ කේ-35 රයිෆලය නිර්මාණය කළේ. පහළ තියෙන බැරල් දෙකට සමාන්‍ය කැලිබරයේ ඒ කියන්නේ .22 පමණ ප්‍රමාණයේ උණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. උඩ තියෙන බැරල් එකකට කැලිබර් .50 ප්‍රමාණයේ හෝ ඊට මදක් විශාල ප්‍රමාණයේ උණ්ඩ පාවිච්චි කරන්න පාවිච්චි කරන්න පුළුවන් වඩා විශාල සතුන් හෝ අනිකුත් දේවල් සඳහා.

මට මේකෙන් වෙඩි තියලා බලන්න පුළුවන්ද කැතලීනා?

පුළුවන් ලෝගන්. එන්න මාත් එක්ක.

කැතලීනා මදක් එහායින් වු තවත් කබඩයක් විවෘත කර එයින් උණ්ඩ
දමා තිබු කුඩා පෙට්ටි දෙකක් ගෙන ලොගන් අතට දුන්නා. අනතුරුව
ඔවුන් එතනින් පිටතට පැමිණ මදක් එහායින් වු එළිමහන් බිමකට පැමිණියා.
එහි තැනින් තැන විවිධ දුරවල් වලින් විවිධ ඉලක්ක තබා තිබුණා.

මෙතන තමයි අපි වෙඩි තියන්න පුරුදුවෙන්නේ. බලන්න වෙඩිල්ලක් දෙකක් තියලා. මේ යතුරු දෙක පාවිච්චි කරලා ඔබට පුළුවන් කොයි ප්‍රමාණයේ උණ්ඩද පිටවෙන්නේ කියලා තීරණය කරන්න. කැතලීනා රයිෆලයේ වු කුඩා යතුරු දෙකක් පෙන්වමින් පැවසුවා.

කුඩා කැලිබරයේ පතොරම් දමා තිබ්බ පෙට්ටිය විවෘත කළ ලෝගන් එහි
වූ උණ්ඩ එකින් එක රයිෆලයට පිරෙව්වා. අනතුරව විශාල ප්‍රමාණයේ උණ්ඩයක් එහි ඉහළින් පිහිටි බැරලයට ඇතුල් කලා. අනතුරුව වෙඩි පිටියේ වෙඩි තබන සීමාවට පැමිණි ඔහු රයිෆලය කුඩා ප්‍රමාණයේ උණ්ඩ පිටවන ලෙස සකසා රයිෆලය ඔසවා වෙඩි පිටියේ ඈත කෙළවර වු ඉලක්කයකට එල්ල කලා.

ඩෑන් ..................

මොහොතකින් රයිෆලයෙන් පිටවු උණ්ඩය ලෝගන්ගේ ඉලක්කය සුණු විසුණු කර දැම්මා. ඊළඟ මොහොතේ දෙවන උණ්ඩයත් එහි ඉලක්කය කරා ගමන් කළා.

“ෂා නියමයි” ඒ වදන් රැවු දුන්නේ දඩයක්කරුවාගේ මනස ඇතුලේ.

ලෝගන්, විශාල ප්‍රමාණයේ බැරලයක් පාවිච්චි කරලා බලන්න.

රයිෆලය විහාල ප්‍රමාණයේ උණ්ඩ ලෙස සැකසූ දඩයක්කරුවා පෙර පරිදිම කිසිදු වැරදීමකින් තොරවම නියමිත ඉලක්කයට වෙඩි තැබුවා.

ඉතාමත් හොඳ නිර්මාණයක් කැතලීනා. ඇත්තටම විශිෂ්ඨයි. කියන්න වචන නෑ.

කැතලීනාගේ මුහුණ නැවතත් ලැජ්ජාවෙන් රතුවී ගියා.

ස්තූතියි ලෝගන්. ඔබෙන් එහෙම වදනක් අහන්න ලැබීම ලොකු ගෞරවයක් මට.

අපි යමු. ඔබට පෙන්විය යුතු තවත් දේවල් කීපයක් තිබෙනවා මට.
___________________________________________________________________________________

KB 2021.01.29

No comments: