අඳුරේ දඩයම්කරු 13 – සැඟවූ අසිපත

     වෙඩි පිටියෙන් පිටවූ ඔවුන් සිව්දෙනා නැවත වරක් පරික්ෂනාගාරයට      ඇතුල් වී ආයුධ ගබඩාවට පිවිසුනා. කේ-35 රයිෆලය දමා තිබූ කබඩය      නැවත වරක් විවෘත කළ කැතලීනා එයින් සාමාන්‍ය හරස් දුන්නකට වඩා      කුඩා ප්‍රමාණයේ හරස් දුන්නක් පිටතට ගත්තා.

     මේකත් මගේ අළුත් නිර්මාණයක්. සාමාන්‍යය හරස් දුන්නකට වඩා      මේක ප්‍රමාණයෙන් කුඩයි. ඒත් බලසම්පන්නයි. බොහොම පහසුවෙන්      ඒ වගේම අඩු බලයකින් හසුරවන්න පුළුවන් මේ හරස් දුන්න.

     ලෝගන්, හරස් දුන්නක් පාවිච්චි කරලා තියෙනවද මීට කළින්? එසේ      විමසුවේ ලෙනෝරා.

     ඔව්. බොහොම කාලෙකට කළින්.

     මේ හරස් දුන්න දිගින් අඟල් 17 වෙනවා. පළල අඟල් 20 ක්. බර      රාත්තල් 3.5 - 4 අතර වෙනවා. බොහොම සැහැල්ලු ඒත් හයිය ලී වර්ගයක් තමා දුන්න හදන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම රාත්තල් 80ක වගේ පොඩි තෙරපුමකින් දුන්න ක්‍රියාකරවන්න පුළුවන්. අඟල් 16 දිග ඊතල තමයි මේ දුන්නට පාචිච්චි කරන්න පුළුවන්. මේ ඊතල විශේෂයයි. එවායේ තලය නිර්මාණය කරලා තියෙන්නේ රිදී වලින්. ඒ වගේම ඒවාට කුරාරි (Curare) කියන විස යොදලා තියෙන්නේ.

කුරාරි කියන්නේ මධ්‍යම හා දකුණු ඇමරිකානු ප්‍රදේශවල ඉන්න ගෝත්‍රිකයෝ පාවිච්චි කරන විස වර්ගයක් නේද?

හරියටම හරි සෙඩ්රික්. ඒ ගෝත්‍රියෝ කුරාරි විස පාවිච්චි කරන්නේ තමන් දඩයම් කරන සතාව අඩපණ කරන්න. මෙතනත් වෙන්නේ ඒකමයි. කුරාරි හදන්නේ ටියුබ් කුරාරි (Tube Curare) කියන ශාකය ඇතුළු තවත් ශාක කීපයකින් ගන්නා විස වලින්. මේ කුඩා ලීයෙන් හදපු පෙට්ටියක තමයි මේ ඊතල දාලා තියෙන්නේ කබඩයෙන් එළියට ගත් ලී පෙට්ටියක් විවර කරමින් කැතලීනා පැවසුවා.

එහි ඊතල විස්සක පමණ ප්‍රමාණයක් ආරක්ෂිතව අසුරා තිබ්බා. එහි පෙට්ටියේම දම් පැහැති දියරයක් සහිත වීදුරු බෝතලයක් ආරක්ෂිතව නොබිදෙන ලෙස අසුරා තිබ්බා. මේ තියෙන්නේ ප්‍රති විෂ, ඊතල ඇසිරූ පෙට්ටියේ වු දම් පැහැති දියරය පිරුණු කුඩා වීදුරු බෝතලය අතට ගනිමින් කැතලීනා පැවැසුවා. හදිස්සියේ අවශ්‍ය වුවොත් ඔබට මෙය පාවිච්චි කරන්න පුළුවන්.

අනතුරුව මේ සියල්ලම මේසය මත තැබූ ඇය කබඩයෙන් අත්වැසුම් (gauntlet) දෙකක් ඉවතට ගත්තා. එය නිර්මාණය කර ඇති ආකාරයට එයින් ආවරණයවන්නේ අතේ මැණික් කටුව හා එයට පහළින් වු ප්‍රදේශයයි.

     මේක ඇවිල්ලා සැඟවිච්ච ආයුධයක්. කැතලීනා එය සිය අතේ පැළද ගනිමින් පැවසුවා. මේකේ මේ      ගාංචු තියෙන පැත්ත අතේ යට පැත්තට එන්න ඕන. ගාංචු අතට හරියට ගානට තද කරගන්න පුළුවන්.      ආයුධය එළියට ගන්න ඕන වෙලාවට කරන්න ඕන මෙන්න මේ යට පැත්තේ තියෙන අගුල නිදහස්      කරලා මෙහෙම අත මිට මොළවන එක, යැයි පැවසූ ඇය එහි වු අගුල නිදහස් කොට අත මිට      මෙළවුවා.

     මොහොතකින් කුඩා ශබ්දයක් නගමින්, අත් ආවරණයෙන් එළියට ඇදී ආවේ අඟල් හතක පමණ දිගු      වූ කෙළවර උල්වු මුවහත් අසිපත් තලයක්. එම තළයේ මිට මෙළවු ඇඟිලි දක්වා වූ කොටස යකඩ      කොපුවකින් ආවරණ වී තිබුණේ අතට කිසිලෙසකින් හානියක් සිදුනොවීමටයි.

     මේක මගේ විශේෂිතම ඔබ වෙනුවෙන්ම කළ නිර්මාණය. මේ අතේ පළදින හම් ආවරණය ඝනකම්,      ඒ වගේම බොහොම නම්‍යශිලියි. ඒ හින්දා අතේ නම්‍යශීලිභාවය එයින් අපහසුවක් ඇති වෙන්නේ නෑ.      මේ අගුල නිදහස් කලේ නැත්නම් අත මිට මෙලෙව්වට මේ අසිපත් එළියට ඇදිලා එන්නේ නෑ. ඒ      නිසා අතින් පයින් කරන සටනකදී මේක ගැටලුවක් වෙන්නේ නෑ. ඒ වගේම කවුරුවත් හිතන්නේ නෑ      මේ වගේ තැනක ආයුධයක් තියෙනවා කියලා. ඒ නිසා ඇසට පේන තැනකම ආයුධය හංගලා      තියෙන්නේ. කැමති නම් අත් දෙකේම පළදින්න පුළුවන්. නැත්නම් එක අතකට. ඒ වගේම මේ කුඩා      බොත්තම තද කළහම අසිපත් තලය නැවත ඇතුලට ඇදී යනවා.

     එසේ පැවසූ කැතලීනා, එම අත් ආවරණයේ ඉදිරිපස වු කුඩා බොත්තමක් තදකලා. ක්ෂණයකින්      අසිපත් තලය නැවත අත් ආවරණය ඇතුලට ඇදී ගියා.

ඒ අත් ආවරණයට නම් ලෝගන්ගේ සිත ඇදී ගිය බව නම් අනිත් තිදෙනාටම දැකගන්න ලැබුණා. ඒ ඔහු එය නිරීක්ෂනය කළ අයුරින්.

මොකක්ද මේකට කියන්නේ?

මේකට මම කියන්නේ අර්මි කෑෂී (arme cachée) කියලා. ඒකේ තේරුම සැඟවූ ආයුධය කියන එක.

ඒ නම නම් ආයුධයට නියමෙටම ගැලපෙනවා. ලෝගන් සිය සුපුරුදු ලෙස මද සිනාවක් සලමින් පැවසුවා.

තව මොනවද තියෙන්නේ ඔබගේ මැජික් ගබඩාවේ? ලෙනෝරා සිනහාසෙමින් කැතලීනාගෙන් විමසා සිටියා.

ආ තව එක දෙයක් තියෙනවා.

කැතලීනා කබඩයෙන් සිහින් කඹයක් එළියට ගත්තා.

මේක ඇවිල්ලා විශේෂිතව පදම් කරපු කෙන්දකින් නිර්මාණය කරපු කඹයක්. සාමාන්‍යා කඹයකට වඩා කිහිප ගුණයක් ශක්තිමත්. හැබැයි සැහැල්ලුයි. ඔබට ලේසියෙන්ම මේක ඔබගේ ගමන් බෑගයේ දාගෙන යන්න පුළුවන්. කෑලෑ ගමන් වලට, ඒ වගේම කඳු නැගීමකදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔය ටික තමයි ලෝගන් මට ඔබට පෙන්වන්න තිබ්බේ. මොකද හිතන්නේ මේවා ගැන?

ඔබ නම් දක්ෂ නිර්මාණකාරියක් කැතලීනා. සතුටුවෙනවා ඔබ අපිත් එක්ක වැඩ කරන එක ගැන.

ස්තූතියි ලෝගන්. මම මගේ සහායකයින්ට කියන්නම් මේ ටික ඔබට ගෙනියන්න පහසුවෙන්න අසුරලා තියන්න කියලා. ඔබ කැමති නම් ඕක දැන්මම පැළදගත්තත් කමක් නෑ. ලෝගන් මෙතෙක් වෙලා අතේ තබාගෙන සිටි අත් ආවරණය දක්වමින් කැතලීනා පැවසුවා.

ස්තුතිය ඔබට. මට මෙය අවශ්‍ය කරන්නේ දකුණු අතට පමණයි. අත් ආවරණය සිය සුරතේ පැළද ගනිමින් ලෝගන් පැවසුවා. අනතුරුව එහි ආරක්ෂිත අඟුල නිදහස් කළ ඔහු අසිපත් තලය නිදහස් කර බැලුවා. එය බොහොම හුරුබුහුටි අවියක් බවත් දඩයක්කරුට වැටහී ගියා. ඒ වගේම සටන ජයට සෘජුව බලපාන සාධකයක් බවට මෙය පත්කරගත හැකි බවත් ඔහුට හොදින්ම වැටහී ගියා.

ලෝගන්, කැතලීනාගේ මැජික් වැඩ ටික පෙන්නලා ඉවර නිසා අපි යමු නේද පුහුණු පාසල පැත්තේ?

ඔව් ලෙනෝරා එහෙම හොදයි. කැතලීනා, ඔබත් එනවද අපි සමඟ?

ඔව්, මාත් කැමතියි වෙනසකටත් එක්ක පුහුණු පාසල පැත්තේ ගිහිල්ලා එන්න.

එහෙනම් අපි යමු. අපිට අශ්වයන් මෙතනම තියලා යන්න පුළුවන්. ආයේ ඒ ගැන කරදරවෙන්න ඕන නෑ.

අනතුරුව ඔවුන් සිව්දෙනාම සටන් පුහුණු පාසල වෙත යන්න පිටත්වුනා.

මිනිත්තු කීපයක් පා ගමනකින් පසු ඔවුන් පුහුණු පාසලට ළගාවුනා. පාසල් ගොඩනැඟිල්ලේ දොර විවර කළ ලෙනෝරා පළමුවෙන්ම එහි ඇතුල් වු අතර ඊට පසු පසින් සෙඩ්රික්, කැතලීනා හා ලෝගන් ඇතුල් වුනා. ඒ වන විටත් එහි පුහුණුවන්නන් ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනා සමඟ පුහුණු සැසියක නිරත වී සිටියා. එහි පැමිණි ලෙනොරා ඇතුළු පිරිස දුටු ජේඩ් හා බ්‍රැසීන් ඔවුන් වෙත පැමිණියා.

මැතිණිය, ජේඩ් ප්‍රථමයෙන් සිය හඩ අවදි කලා. අපි හිතුවේ නෑ ඔබලා අද මෙහි පැමිණෙයි කියලා.

අපි හිතුවා කැතලීනා ලෝගන්ට මාසයක් විතර ඇගේ නව නිර්මාණ පෙන්නයි කියලා, හඩ නගා සිනාසෙමින් එසේ පැවසුවේ බ්‍රැසීන්. මේ වදන් වලින් කැතලීනා නැවත වරක් ලැජ්ජාවෙන් රතුවී ගියා.

නෑ නෑ. මම එච්චර වෙලා ලෝගන්ව තියාගන්න දුන්නේ නෑ. සිනාසෙමින් එසේ පැවසූවේ ලෙනෝරා.

කොහොමද ලෝගන්? ප්‍රංශය ඔබේ හිතට ඇල්ලුවද? ලෝගන්ට සිය සුරත දිගු කරමින් බ්‍රැසීන් විමසා සිටියා.

ඇත්තටම ඔව්. මම කොහොමත් ප්‍රංශයට කැමතියි.

“කොහොමද පුහුණුවීම් කටයුතු?”, ලෙනෝරා උපදේශකයින් දෙපලගෙන් විමසා සිටියා.

හොදින් කරගෙන යනවා මැතිණිය.

ලෝගන් ඇවිල්ලා ඉන්න එකේ අපි පොඩ්ඩක් බලමුකෝ ඔහුගේ හැකියාවන් කොහොමද කියලා? ඔච්චර විස්තර කිවුවට අපි කවුරුවත් දැකලා නෑනේ ඔහු සටන් කරනවා. මොකද ලෝගන් කියන්නේ?

ලෝගන් දෙස බලා සිටි ජේඩ් විමසා සිටියා. ලෝගන් යනු කිසිදු අවස්ථාවක සටනක් ප්‍රතික්ෂේප කරන අයෙක් නම් නොවේ. ඒ නිසා ඔහු හිස සලා එය පිළිගත්තා.

ඔබතුමියගේ අවසරය ලැබෙනවද මේ සඳහා?

ජේඩ් ඊළගට අවසරය ඉල්ලා සිටියේ ලෙනොරාගෙන්.

ලෝගන් කැමති නම් මට ප්‍රශ්නයක් නෑ, ජේඩ්. හැබැයි මොවුන්ට ලෝගන් ගැන වැඩි විස්තරයක් කියන්න යන්න එපා යැයි පැවසූ, ලොනෝරා එයට අවසර දුන්නා. එතැන පුහුණුවන්නන් දොළොස් දෙනෙක් රැදී සිටියා. එයින් තිදෙනෙක් තරුණියන්. ප්‍රධාන උපදේශකයන් දෙදෙනාට අමතරව තවත් පුහුණු කරන්නන් සිව්දෙනෙක් එහි රැදී සිටියා.

ළමයි, ජේඩ් පුහුණවන්නන් පිරිස ඇමතුවා. අද අපේ පාසලට ඇවිල්ලා ඉන්නවා අපේ සංවිධානයේ බොහොම පළපුරුදු, ඒ වගේම දක්ෂ සටන් කරුවෙක්. අපි කැමතියි ලෝගන්ව ඔබලාට හදුන්වා දෙන්න. ඒ වගේම ලෝගන්ගේ හැකියාවන් බලන්න පොඩි අවස්ථාවක් ලබාදෙන්නත් අපිට අද අවස්ථාව ලැබෙනවා. හැමෝම අසුන්ගන්න දැන්.

පුහුණුවන්නන් පිරිස එම ස්ථානයේ මදක් පසුපසට වී අඩ කවයක් ආකාරයට බිම අසුන්ගත්තේ ඉදිරි පිරිස ඔවුන්ගේ කටයුත්තට ඉතිරි කරමින්.

මොකද කියන්නේ ලෝගන්, අපි හය දෙනාට එදිරිව ඔබ?

ඔබ කැමති තරම් අය එකතු කරගත්තට මගේ අකමැත්තක් නෑ යැයි ලෝගන් පැවසූයේ ඔවුන් ඔවුන් මදක් විමතියට පත්කරමින්.

මොකද කියන්නේ සෙඩ්රික්? ඔබත් අපට එකතුවෙනවද?

බ්‍රැසීන් සෙඩ්රික්ගෙන් විමසා සිටියා.

හපොයි මට බෑ. ඔහුගේ හැකියාවන් මම අත්දැකිමෙන්ම දන්නවා යැයි පැවසූ සෙඩ්රික්, ලෙනොරා හා කැතලීනා අසලින් අසුන්ගත්තා.

ලෝගන්, තමා පැළද සිටි අසිපත පත හා පිස්තෝලෙ දෙක ගලවා කැතලීනා අතට දුන්නා. අනතුරව ඔහු ඉදිරියට පැමිණ පුහුණුවන්නන් වාඩිවී සිටි බිමට මදක් ඉදිරියෙන් සිටගත්තා. ඒ ළඟ මොහොතේ ජේඩ්, බ්‍රැසීන් හා අනෙක් පුහුණුකරුවන් තිදෙනා ඔහු වටා වළල්ලක් ආකාරයට සිටගත්තා.

තප්පරයකින් දහයකින් එකක පමණ කාලයක් ගෙවීගියා. මොහොතකින් ලෝගන් පිටිපසුන්ම සිටි පුහුණුකරුවා ඉදිරියට පැන්නේ ලෝගන්ව අල්ලා ගැනීමටයි. එහෙත් ඔහු අසුවුයේ හිස් අවකාශය පමණයි. එසේ පසෙකට පනිමින් තමන් දකුණු පසින් සිටි පුහුණුකරුවාගේ උදරයට ඔහු සිට දකුණු අතින් පහරක් එල්ල කළා. එම පහර දරාගත නොහැකි වු පුහුණුකරුවා බිම ඇදගෙන වැටුණා. ලෝගන්ගේ ඊළඟ පහර කෑ බ්‍රෑසින් විසිවී ගොස් නැවතුනේ නරඹන්නන් අතරයි. ඊළඟ මොහොතේ ඔහු ජේඩ් එල්ල කළ පා පහර මඟ හරවමින් ඉහළට පැන ගුවනේ මොහොතක් රැදෙමින් එකවරම පුහුණුකරුවන් දෙදෙනෙකුට බිම ඇද වැටෙන ලෙස වේගවත් පා පහරවල් දෙකක් දෙපයින්ම එල්ල කළා. ලෝගන් නැවත පොලොවේ සිට ගන්නා විට ඉතිරි වී සිටියේ ජේඩ් සහ තවත් එක උපදේශයෙක් පමණයි. ඊළඟ මොහොතේ ඔවුන් දෙදෙනාද පොළොව සිපගත්තේ තමන්ට පහර වැදුණේ කොයි ලෙසින්ද කියා සිතා ගැනීමටත් නොහැකි ලෙසයි. මේ සියල්ලම ඉවරවන්නට ගතවුයේ විනාඩි එකහමාරකටත් වඩා අඩු කාළයක්. පුහුණුවන්නන් හුස්ම ගැනීමටත් අමතකව මේ දෙස බලාසිටියේ ඔවුන් කිසිදාක මෙවැනි දසුනක් නොදුටු නිසයි. ඔවුන් ඇත්තටම සිතා සිටියේ තමන්ගේ පුහුණුකරුවන් ලෝකයේ සිටින හොදම සටන්කරුවන් ලෙසයි. එහෙත් ලෝගන් සමඟ ඔවුනට හැරෙන්නටවත් නොහැකි බව දුටු ඔවුන් පුදුමයටත් භීතියටත් පත්වුනා.

විශීෂ්ඨයි ලෝගන්.

අත් පොලොසන් දෙමින් එසේ පවසා නැගී සිටියේ ලෙනෝරා. කැතලීනා මෙන්ම සෙඩ්රික්ද අත් පො‍ළොසන් නැගී සිටියත් ඔවුන්ගේ මුහුණු වලින් ඔවුන් තුළ වූ විමතිය මොනවට පැහැදිලි වුනා.

හිතාගන්නත් බෑ ලෝගන්. ඔබ කොහොමද ඔච්චර වේගවත් වන්නේ?

කැතලීනා විමසා සිටියේ විශ්මයෙන්.

නිති පුහුණුව යැයි, පැවසූ ලෝගන් මදක් ඉදිරියට ගොස් ජේඩ්ට නැගී සිටීමට සිය අත දිගු කළා. ලෝගන්ගේ අතේ එල්ලී නෑගී සිටි ඇය අපහසුවෙන් සිට ගත්තා.

මගේ ජීවිතේට දැකලා නෑ ඔච්චර වේගෙන් සටන් කරන කෙනෙක්. ඔබ ඉදිරියේ අපි පොඩි ළමයි වගේ. මම හිතන්නේ ඔබෙන් ඉගෙන ගන්න දේවල් මට ගොඩක් තියෙනවා.

එයට මඳ සිනහවකින් පිළිතුරු දුන් ලෝගන් සිය අසිපත හා පිස්තෝල දෙක නැවත පැළද ගත්තා.

අපි දවල්ට කෑම කාලා, ලේඛනාගාරය පැත්තට යමු. එහෙම නම් අපි ආපහු යමු. ලෙනෝරා පවසා සිටියා.

අනතුරව පුහුණුකරුවන්ගෙන් සමුගත් ඔවුන් සිව්දෙනා කැතලීනාගේ පරික්ෂනාගාරය දෙසට සෙමින් ඇවිද ගියා. එතනදී කැතලීනාට සමුදුන් ඔවුන් තිදෙනා නැවත වරක් අසු පිටට නැගුණා.

ලෝගන්, ඔබේ ආයුධ ටික මම තව ටිකකින් මාළිගාවට එවන්නම්. ඔබට වෙන මොනවත් අවශ්‍යද? කැතලීනා ලෝගන්ගෙන් විමසා සිටියා.

මට රසදිය වලින් පිළියම් කළ රිදී උණ්ඩ අවශ්‍යයි කැතලීනා. ඔබ ගාව
ඒවා තියෙනවාද?

ඔව් ඔව්. මම තව පැය දෙකක් යනකොට ඔබට අවශ්‍ය කරන දේවල් එවන්නම් ලෝගන්.

ලෙනෝරාට හිස නමා අචාර කළ ඇය එතනින් පිටවී ගියා.

අසුන් තිදෙනා මාලිගාවට දෙසට යොමු කළ ඔවුන් තිදෙනා පැය
බාගයකින් පමණ මාළිගයට පැමිණියා.

ලෝගන්, අපි දවල් ආහාරය අරන් ඉමු, යැයි පැවසූ ලෙනෝරා දිවා
ආහාරය සුදානම් කරන ලෙස සිය සේවකයෙකුට දැන්වුවා.

උදෑසන ආහාරයගත් කාමරයේ සිටම සිය දවල් ආහාරයත් ගත් ඔවුන් තිදෙනා ලේඛනාගාරයට වෙතට පිටත් වුනා. ලේඛනාගාරය පිහිටා
තිබුනේ මාළිගයේ තුන්වෙනි මහලේ කෙළවරලක. ඔවුන් එහි යන විටත් ලේඛනාගාරයේ භාරකරුවූ ජෙරාඩ් විශාල ප්‍රමාණයේ පොතක යමක් සටහන් කරමින් සිටියා.

ඔවුන් එන සද්දය ඇසුණු විට හිස ඔසවා බැලූ ජෙරාඩ් ලෝගන්ව දැකීමෙන් ඉමහත් සතුටට පත්වුනා. වාඩිවී සිටි මේසය අසලින් නැගිට ඉදිරියට ගිය ඔහු ලෝගන්, ලෙනෝරා, සෙඩ්රික් ඇතුළු පිරිස ආචාර කරමින් පිළිගත්තා. අනතුරුව ලේඛනාගාරය වටා යමින් එහි විස්තර ලෝගන් හා සෙඩ්රික්ට පැවසා සිටියා.

ලේඛනාගාරය ප්‍රධාන කොටස් කීපයකින් සමන්විත වූවක්. එහි කොටසක් වෙන් වුයේ විවිධ දඩයක්කරුවන්ගේ අත්දැකීම් ඇතුලත්වූ සටහන් පොත් වලට. ඊට අමතරව විවිධ අද්භූත සතුන් හා අද්භූත බලවේග ගැන ලියවුණු පොත් ඇතුලත් කොටසක්ද, යන්ත්‍ර මන්ත්‍ර හා මායා වෙනුවෙන්ම වෙන්වූ කොටසක්ද වුනා. විවිධ භාෂා වලින් ලියූ පොත් විශාල ප්‍රමාණයක් මේ ලේඛනාගාරයේ තිබුණා.

     මේ සංචාරයෙන් අනතුරුව නැවත වරක් ඔවුන් ජෙරාඩ් සටහන් තබමින්      සිටි පොත සහිත වු මේසය වෙත පැමිණ එය වටා අසුන් ගත්තා.      ලෝගන්ගේ සටහන් පොත දුටු ඔහු ඉමහත් සතුටට පත්වුණා.

     බොහොම ලොකු ආසාවකින් හිටියේ ඔබේ සටහන් පොත කියවලා      බලන්න.

     මම මෙහේ ඉන්නකම් ඔබට පුළුවන් ඔය සටහන් ටික ඔබේ පොත් වලට      ඇතුල්කරන්න, ලෝගන් මදක් සිනාසෙමින් පවසා සිටියා.

     ඔවි ඒක ඇත්ත. ඒත් මට තියෙනවා ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න.

     ජෙරාඩ් එසේ පවසා නිවවෙනවාත් සමඟම ලේඛනාගාරයේ දොර විවර      කරගෙන සේවකයෙක් එයට ඇතුල් වුනා. කළබලයෙන් ලෙනොරා      වෙතට පැමිණි ඔහු ඇයට ආචාර කර ඇයට ලිපියක් ලබාදුන්නා. ලෙනොරා ලිපිය විවර කර එහි වු පණිවිඩය කියෙව්වා.

ලෝගන්, ඔබව දැන්මම පැරීසියට කැඳවා තිබෙනවා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා. ඔබ දැන්මම සෙඩ්රික් සමඟ එහි යන්න ඕන. අපි යමු. ජෙරාඩ් අපි පස්සේ කතා කරමු. ඊළඟ මොහොතේ ලෙනෝරා, ලෝගන් හා සෙඩ්රික් සමඟ ලේඛනාගාරයෙන් පිටවී ගියා.
___________________________________________________________________________________

KB 2021.02.18

No comments: