අඳුරේ දඩයම්කරු 15 - මැන්ටිකෝර් දඩයම

     පැරීසියට අළුත් දවසක් උදාවුයේ එහි පතිත වු හිරුගේ රැස් දහරත්      සමඟිනි. නගරයම නින්දෙන් පිබිදි සිය කටයුතු ආරම්භ කරන විටම      ලෝගන්ද අවදි වුයේ එදවස කෙසේ හමාරවේදැයි යන්න නොදැනයි.      සිය ජීවිත කාලය තුල කිසිම දිනක ඔහු මැක්ටිකෝර් සතෙක් දඩයම්කර      නොතිබිණි. කෙසේ නමුදු ඒ ගැන දශමයක හෝ පසුබෑමක් ඔහු සිත      තුළ නොවීය. ඔහුට වු එකම ගැටළුව වුයේ තමාට මේ සතා සොයාගත      නොහැකි වුවහොත් හෝ තමන්ගෙන් මිදී පළා ගියහොත් හෝ ඇතිවන      දරුණු තත්වයයි. ඒ ගැන සිතීමට තව දුරටත් කාලය මිඩංගු නොකළ ඔහු      ඉක්මනින්ම සුදානම් වී සිය කාමරයෙන් පිටතට පැමිණියේ ඉක්මනින්ම      තම කාර්යය සඳහා පිටත් වී යාමටයි.

     එසේ පිටතට පැමිණ නගරාධිපතිවරයා මුණ ගැහුණු ලෝගන් ඔහුගේ      විශේෂ අවසරයද සහිත ලිපියද රැගෙන සෙඩ්රික් සමඟ පැරිස් නගරයේ      පොලිස් ස්ථානය වෙත පිටත්වී ගියේ නගරාධිපතිවරයාගේම අශ්ව රථයකින්. පොලිස් ස්ථානය වෙත පැමිණි ලෝගන් හා සෙඩ්රික් එහි ප්‍රධානියා හමුවී තම අවශ්‍යතාවය දන්වා සිටියේ නගරාධිවරයාගේ ඉල්ලීම සහිත ලිපියත් සමඟයි

මම දන්නේ නෑ ඔබට මොනවද මේ ගැන කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙන දේවල් එක්ක මම යක්ෂයෙක්ගෙන් වුනත් ලැබෙන උදව්වක් භාර ගන්නවා. මම ඔබට මේ පිළිබඳව පරීක්ෂන කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයාගේ සහය ලබාදෙන්නම්. ඔහු ඔබට කැමත්තෙන්ම උදව් කරාවි කියා මම හිතනවා. ඔහුටත් මේ මරණ හිසරදයක් වෙලා තියෙන්නේ. කෙළවරක් නැති මරණ.

මෙසේ පැවසූ පැරිස් නගරයේ පොලිස් ප්‍රධානියා සිය මේසය මත වූ සීනුවක් නාද කරනු ලැබුවා. මොහොතකින් එහි ඇතුළු වු පොළිස් භටයෙක් පොලිස් ප්‍රධානියාට සීරුවෙන් සිට ආචාර කරනු ලැබුවා.

කොස්තාපල් පිරැන්සේ

සර්

අර මේ දවස් වල වෙන අද්භූත මිනිමැරුම් ගැන පරීක්ෂනය කරන ඒඩ්‍රියන්ට එන්න කියන්න

හරි සර්

නැවත වතාවක් සිය ප්‍රධානියාට ආචාර කළ කොස්තාපල්වරයා එතනින් පිටවී ගියා. විනාඩි කීහිපයකට පසු පොලිස් ප්‍රධානියාගේ කාමරයට ඇතුල්වුයේ තරුණ පොලිස් නිලධාරියෙක්.

ලෝගන්, මේ ඉන්නේ පොලිස් බ්‍රිගේඩියර් (Brigadier of police) ඒඩ්‍රියන් බේන්. ඒඩ්‍රියන් මේ ලෝගන් සහ සෙඩ්රික්

ලෝගන් හා සෙඩ්රික් දෙස බලා මද සිනහවක් පෑ ඔහු පොලිස් ප්‍රධානියා දෙසට සිය වික්ෂිතව ගිය දෙනෙත් යොමු කළා.

ඒඩ්‍රියන්, ලෝගන්ව එවලා තියෙන්නේ නගරාධිපතිවරයා. ඔහු මෙවැනි අද්භූත මරණ ගැන විශේෂ හැදෑරීමක් කරන කෙනෙක් කියලා නගරාධිපතිවරයා දන්වලා තියෙනවා. ඒ වගේම ඔහුගේ කටයුතු වලට උදව් කරන්න කියලත් ඉල්ලීමක් කරලත් තියෙනවා.

සර්, මේක පොලිස් රාජකාරියක්. මම කැමති නැහැ . . . . .

ඒඩ්‍රියන්ගේ කතාව නිමවීමට පෙරම ඔහුව නිහඩ කළ පොලිස් ප්‍රධානියා

ඒඩ්‍රියන්, ඔබේ කැමති අකමැතිකම් වලින් මට වැඩක් නෑ. මේක නගරාධිපතිවරයාගේ ඉල්ලීමක්. අනික මේ දක්වාම ඔබට හා ඔබේ කණ්ඩායමට කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා මේ ගැන. නගරයේ මිනිස්සු හොදටම බය වෙලා. ප්‍රභූන් ප්‍රශ්න කරන්නේ මගෙන්. අපිට මොන විදිහකට හරි බොහොම ඉක්මනින් මේ ප්‍රශ්නේ ඉවර කරන්න වෙනවා. මේ කෙටි කාලය ඇතුලත ගොඩ ගැහිච්ච මරණ ප්‍රමාණයහොදටම වැඩියි. ඔබ, ලෝගන්ට අවශ්‍ය හැම සහයෝගයක්ම දෙන්න ඕන මේ මොහොතේ පටන්. ඒක මගේ නියෝගයක්. පැහැදිලිද ඔබට?

ඒඩ්‍රියන් දෙසට දැඩි බැල්මක් හෙළමින් පොලිස් ප්‍රධානියා විමසා සිටියා. කරකියා ගැනීමට දෙයක් නොමැති වු පොලිස් බ්‍රිගේඩියර්වරයා,

“පැහැදිලියි සර්” යන්න අපහසුවෙන් පැවසුවා.

හරි එහෙම නම් තමුන් මේ දෙන්නව එක්ක යන්න. ඒ අයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන්න. කිසිම කරුණක් හංගන්න එපා. මේ ප්‍රශ්නේ මට කොහෙම හරි ඉවර කරන්නයි ඕන. දැන් තමුන්ට යන්න පුළුවන්.

පොලිස් ප්‍රධානියාට ආචාර කළ පොලිස් බ්‍රිගේඩියර්වරයා එතැනින් පිටවී යන විටම ලෝගන් සහ සෙඩ්රික්ද පොලිස් ප්‍රධානියාට මදක් හිස නමා ආචාර කරමින් බ්‍රිගේඩියර්වරයා පසුපසින් ගමන් කළා

ඒඩ්‍රියන් ඔවුන් දෙදෙනා කැටිව සිය රාජකාරී මේසය අසලට පිවිසියා. ඔහුගේ මේසය අසල වු ආසන වල
අසුන් ගන්නා මෙන් ලෝගන්ට හා සෙඩ්රික්ට සංඥා කරමින් ඔහුත් සිය අසුනේ අසුන් ගත්තා. මේ මැදහත්වීමට වු නොකැමැත්ත ඔහුගේ මුහුණේ බොහොම පැහැදිලිව දක්නට
ලැබුණා. ඒත් ඒ ගැන ඔහුට කළ හැකිවූ කිසිවක් තිබුණේ නෑ. ප්‍රධානියාගේ අණට ඉහළින් යෑම ඔහුට කිසිසේත්ම කළ නොහැකිවු දෙයක්.

මොනවද ඔබලාට දැන ගැනීමට අවශ්‍යය?

අපිට කියන්න මේ මරණ ගැන ඔබට දකින්නට ලැබුණු විශේෂ කරුණු?

විශේෂ කරුණු?

ලෝගන්ගේ මුහුණ දෙස බලමින් ඒඩ්‍රියන් විමසා සිටියා.

ඔව්. මොන වගේ අයද මරණයට පත්වෙලා තියෙන්නේ? හමුවූ සිරුරු වල ස්භාවය? ඒ වගේ කාරණා.

මරණයට පත් වූ අයගේ නම් විශේෂ දෙයක් කියන්න නෑ. ඔවුන් විවිධ තරාතිරම්වල විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින්. ඔවුන් අතර විශේෂ සම්බන්ධයක් නෑ. හැබැයි මේ සියළුම පහරදීම් සිදුවෙලා තියෙන්නේ රාත්‍රී කාලයේ. අවස්ථා කීහිපයකදී හැර අනිත් සියළුම අවස්ථා වලදී අපිට මේ සිරුරු වල කොටස් පමණයි දකින්නට ලැබුණේ. අනිත් ඒවා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ.

මේ මරණයන් සිදුවු තැන්වල විශේෂ මොනවත් දක්නට ලැබුනද?

ඔව්. මේ තැන් හැමවිටම හුදෙකලා පාළු තැන්. ඒ නිසා අපිට කිසිම ඇසින් දුටු සාක්ෂියක් මේවන තෙක් ලැබිලා නෑ. ඒ නිසා මේ ගැන අපිට තියෙන තොරතුරු ප්‍රමාණය අල්පයි.

මේ වන විට කී දෙනෙක් මරලා දාලා තියෙනවද මේ විදිහට?

අපිට සිරුරු කොටස් තමයි බොහෝවිට දැකගන්නට ලැබුණේ. ඒ නිසා යම් කිසි වැරදීමක් වෙන්නත් ඉඩ කඩ තියෙන්න පුළුවන්. මේ වෙනකොට අපිට සිරුරු .....

ඒඩ්‍රියන් හට ඒ වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුණේ එතැනට පැමිණි පොලිස් භටයෙක් ඔවුන්ගේ සාකච්ඡාවට බාධා කළ බැවිනි.

සර්, තවත් සිරුරු දෙකක් සොයාගන්න ලැබිලා අද උදේ

තවත් සිරුරු දෙකක්?

ඔව් සර්. මිනිස් හිස් දෙකක් හමුවෙලා තියෙනවා. සිරුරු කොටස් සමඟින්.

ඒ පාර කොහෙන්ද පිරැන්සේ?

අපිට පළවෙනි සිරුරු හමුවෙච්ච ස්ථානයට කිට්ටුවෙන්.

හරි. මම දැන් එනවා. කරත්තේ ලෑස්ති කරන්න කියන්න.

කොස්තාපල් පිරැන්සේ පිටව ගිය පසු ලෝගන් දෙස බැලූ ඒඩ්‍රීයන්,

ඔබගේ අවසාන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 17 ක්. මේ සිරුරු දෙකත් සමඟින්. මා දැන් එතැනට යන්න ඕන. ඔබ දෙදෙනාට කැමති නම් මාත් එක්ක එකතුවෙන්න පුළුවන්.

බොහොම ස්තූතියි. අපි ඔබේ රථය පිටුපසින් පැමිණෙන්නම්.

ඔබේ කැමැත්තක්

     විනාඩි දහයකට පමණ පසු ඔවුන් එම සිරුරු හමුවූ ස්ථානයට පැමිණියා.      ඒ වන විටත් එම ස්ථානයට පොලිස් භටයන් කීපදෙනෙකු පැමිණ තම      පරීක්ෂන කටයුතු සිදුකරමින් සිටියා. තමන් පැමිණි අශ්ව රථයෙන්      බැසගත් ලෝගන් සහ සෙඩ්රික් ඒඩ්‍රියන් පසු පස ගියා. එතැන      ඉදිරියෙන්ම රදවා සිටි පොලිස් භටයාට ලෝගන් හා සෙඩ්රික් දක්වා      ඔවුන් පැමිණ සිටින්නේ තමන් සමඟ බව දැන්වූ ඒඩ්‍රියන් ඔවුන් දෙදෙනා      සමඟ මළ සිරුරු හමුවූ ස්ථානයට ගමන් කළා.

     විශේෂ මොනවත් දක්නට ලැබෙනවද එඩ්වඩ්?

     එතැන පරීක්ෂන කටයුතුවල නිරතව සිටි පොලිස් භටයාගෙන් ඒඩ්‍රියන්      විමසා සිටියා.

     කිසිම දෙයක් නෑ සර්. කලින් විදිහමයි. හැම තැනම ලේ. සිරුරු කොටස් කීපයක් පමණක් ඉතිරි වෙලා තියෙනවා. හිස් වලින් පේන්නේ තරුණ වයසේ අය වගේ. ඒ වගේම මිනිස්සු දෙදෙනෙක්ගේ අඩි සටහන් තියෙනවා.

කවුද දැනුම් දුන්නේ?

උදේම අසලින් නගරයට යන්න ගිය වෙළෙන්දෙක්. ඔහුත් අහම්බෙන් වගේ තමයි මේ සිරුරු කොටස් දැක තිබෙන්නේ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ලෝගන් දෙසට හැරුණු ඒඩ්‍රියන්,

කළින් විදිහමයි. කිසිම සාක්කියක් නෑ. සිරුරු කොටස්, ලේ. හිතාගන්නවත් බෑ. ඔබ මේ ගැන විශේෂඥයෙක් කිවුවනේ. මොනවද ඔබට හොයාගන්න පුළුවන්?

ලෝගන් දෙස බලමින් සමච්චල්සහගත සිනහවක් පළකරමින් ඒඩ්‍රියන් විමසා සිටියා. ඔහු දෙස බලා සුපුරුදු ලෙස මඳ සිනහවක් පළ කළ ලෝගන්, විනාඩි කීපයක් අවට පරිසරයට සිය උකුසු ඇස යොමු කරමින් නිරීක්ෂනය කළා. ඒ නිරීක්ෂනට අවට පරිසරයේ වු කිසිවක් මග හැරීගියේ නෑ. අනතුරුව ඒඩ්‍රියන් දෙස බැලූ ඔහු,

ඉස්සෙල්ලාම කියන්න ඕන මෙතන දෙන්නෙක් නෙවෙයි තුන්දෙනෙක් ඉදලා තියෙනවා. මෙතන තියෙන අඩි සටහන් තුන්දෙනෙකුට අයිතියි. දෙකක් එකම ප්‍රමාණයේ. හැබැයි එක් අයෙක් අනෙකාට වඩා බරින් වැඩියි. බලන්න මේ අඩි සටහන් දෙක දිහා.

ඒ අසල බිමේ වු අඩි සටහන් දෙකක් දක්වමින් ලෝගන් ඒඩ්‍රියන්ට පැවසුවා. මේ කියු දෙයින් විශ්මයෙන් විශ්මයට පත්වී ගිය ඒඩ්‍රියන් පමණක් නොව පොලිස් කොස්තාපල් එඩ්වඩ්ද ඒ දෙස බැලුවා.

බැලූ බැල්මට මේ අඩි සටහන් දෙකම එක සමානයි. ඒ බලන්න ඒවා මේ බිමේ කා වැදී ඇති ආකාරය. මේ දෙකම එකම ප්‍රමාණයේ. ඒත් එකක් අනිකට වඩා යම් ප්‍රමාණයක් ගිලා බැහැලා. ඒ නිසා ඒ පුද්ගලයා අනිකාට වඩා බරින් වැඩියි. ඒ වගේම එක් අයෙක්ව මෙතන සිට අන්න අර පැත්තට ඇදගෙන ගිහිල්ලා තියෙනවා. අර පඳුරු තියෙන හරිය පරික්ෂා කළොත් ඔබලාට තවත් සිරුරක් හෝ සිරුරක කොටස් දක්නට ලැබෙයි.

ඒත් ඔබ ඔය කියන ඇදගෙන ගිය පාර යාර කීපයක්වත් නෑ. ඔබ කොහොමද කියන්නේ අර පඳුරු අස්සේ මළ සිරුරක් තියෙනවා කියලා.

බලන්න මේ ඇදගෙන යෑමේ පාර ඉවර වෙන තැනට එහායින් තියෙන පඳුර පොඩි වෙලා ගිහින්. ඒ අසල ලේ පැල්ලම් කීපයක් තියෙනවා. ආයේ යාර කීපයක් එහායින් ලේ පැල්ලම් තියෙනවා. ඒ ලේ පැල්ලම් ගමන් කරන්නේ අර පඳුරු තියෙන දිසාවට. බලන්න පොඩ්ඩක් සෝදිසි කරලා.

ඊළඟ මොහොතෙදී ඒඩ්‍රියන්ගෙන් ලැබුණු අණ අනුව පොලිස් භටයින්
මළ සිරුරු හමුවු තැනට මදක් ඈතින් වු පඳුරු සහිත පෙදෙස සෝදිසි කරන්න පටන් ගත්තා. විනාඩි කීපයකට විතර පසුව එහි දිව ආ පොලිස් බටයෙක්.

සර්, තවත් මළ සිරුරක හිසක් හම්බවුනා. සිරුරේ කොටස් කීපයකුත් තියෙනවා.

මොනවා?

ඔව් සර්.

යමු බලන්න.

ඒඩ්‍රියන්, ලෝගන් හා සෙඩ්රික් ඇතුළු පිරිස් ඒ ස්ථානයට යනවිට එඩ්මන් එහි පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබුණා. ඒඩ්‍රියන්ව දුටු ඔහු කළින් වගේමයි සර්. හිස සහ සිරුරේ කොටස් කීපයක්. වෙන කිසිම දෙයක් නෑ.

අනතුරුව ලෝගන් වෙතට හැරුණු ඔහු,

මම හිතුවට වඩා බොහෝ දක්ෂයෙක් ඔබ. මම ඔබව අවතක්සේරු කළා. මේ මීනි මැරීම සිදුකරන්නේ සාමාන්‍ය මිනිසෙක් නම් වෙන්න බෑ.

ඒ ගැන මට දැන්ම යමක් කියන්න බෑ. අපට හම්බවුණු මළ සිරුරු හා මේ සෙන් නදිය (Seine River) එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?

එයට පිළිතුරක් නොදී මදක් වෙලාවක් කල්පනා කළ පොලිස් බ්‍රිගේඩියර්වරයා,

ඔබ ඒ ගැන අසනකන් මම ඒ ගැන අවදානය යොමු කලේ නෑ. මේ හැම මරණයක්ම සිදුවෙලා තියෙන්නේ මේ සෙන් නදිය අවටින්. ඒ වගේම ඒ ස්ථාන ජනාකීර්ණ ස්ථාන නෙවෙයි. පාළුයි. මිනිස්සු වැඩිය යන්නේ එන්නේ නෑ. ඇත්තටම මොකෙක්ද මේ?

මම ඔබට මෙහෙම කියන්නම්. මම දන්නේ නෑ ඔබ එය කොයි ලෙසකින් බාරගනීද එහෙමත් නැත්නම් විශ්වාස කරයිද කියලා. මේ ඝාතන කරන මෘගයා ඔබ කිසි දිනෙක් දැක නැති ඔබ හිතනනවාටත් වඩා අතිශයින්ම භයංකර සතෙක්. ලේ පිපාසිතයෙක්. අපි ඉක්මන් නොකළොත් මේ පහරදීම් ජානාකීර්ණ නොවන ස්ථාන වලට පමණක් සීමාවෙන්නේ නෑ.

මට තේරෙන්නේ නෑ ඔබ කියන දේ. ඒත් මම ඔබව විශ්වාස කරනවා.

ඒ ගැන වද වෙන්න එපා. ඔබට පුළුවන්ද අද හවස හය වන විට නගරය සම්පූර්ණයෙන්ම වසා දමන්න?

මට එහෙම දෙයක් කරන්න හැකියාවක් නෑ. ඒක නගරාධිපතිවරයා හරහා මගේ ප්‍රධානියා වෙතට එන්න ඕන.

හරි. ඒක ගැන මට යමක් කරන්න පුළුවන් වේවි. අපි දැන් යන්න ඕන. හැකි ඉක්මනින් මේ ස්ථානයෙන් පිටවෙන්න. හැම දෙයක්ම හොදින් සිදුවේවි කියලා මම හිතනවා.

පොලිස් බ්‍රිගේඩියර්වරයාට ආචාර කළ ලෝගන්, සෙඩ්රික් සමඟ ඒ ස්ථානයෙන් පිටවී සිය අශ්ව රථය වෙත පැමිණියා. ඔවුන් නැවත වරක් ගාර්ඩියන් මන්දිරය වෙතට ගමන් කළා.

ලෝගන්, ඔබ නොකියපු දේවල් ටිකක් තියෙනවා නේද ඒඩ්‍රියන්ට?

ඔව් සෙඩ්රික්. ඒ අවට සිංහයෙක්ගේ පා සටහන් දකින්න ලැබුණා. ඒකේ තේරුම මම කළින් කිවුවා වගේම මැන්ටිකෝර් සතෙක් පැරීසියේ දඩයම් කරනවා කියන එක. අපේ වාසනාවකට එක සත්ත්වයයි. මට දකින්නට ලැබුණේ එකම ප්‍රමාණයක පා සටහන්. ඒ වගේ ඌ හොදින් වැඩුණු එකෙක් කියලා ඒ සටහන් වලින් කියන්න පුළුවන්. ඌ අර තුන්වෙනි සිරුර උස්සගෙන පැන පැන ගිහිල්ලා තියෙන්නේ. ඒකයි බිම දිගේ ඇදගෙන යන පාරක් දකින්න ලැබුණේ නැත්තේ. ඌ එන්න එන්නම ලේ පිපාසිත. දවසින් දවස පහර දීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දැක්කද අර ඈතින් තියෙන කුඩා වනාන්තරයක් වැනි බිම් පෙදෙස.

ඔව්. අර දකුණට වෙන්න පිහිටා තිබූ කෑලෑ රොද නේද ඔබ කියන්නේ?

ඔව්. මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් දහවල් කාලයේ ඔය සතා සැඟවිලා ඉන්නේ ඔතන කියලා. හැබැයි කැලේ ඇතුලට යනවට වඩා හොදම දේ මැන්ටිකෝර් සතාව කැලෙන් එළියට ගන්න එක. මේ වගේ මෘග සතෙක් එක්ක උගේ පරිසරයේ සටන් කරනවට වඩා ලේසියි ඒ පරිසරයෙන් එළියට ගන්න එක. ඒක අපිට වාසිදායකයි. නැතිනම් වාසිය මේ මෘගයාට.

     කොහොමද ඒ කරන්නේ අපි?

     ඒකට අපිට ඇමක් පාවිච්චි කරන්න වෙනවා.

     ඇමක්. ඒ කියන්නේ? . . . . ආ ඔබ කියන්නේ කවුරු හරි මනුස්සයෙක්ව      ගොදුරක් විදිහට පාවිච්චි කරමුයි කියන එකනේ. ඒ වගේ භයානක      දේකට එකඟ වෙන්නේ කවුද?

     කෙනෙක් නම් ඉන්නවා. ඒත් මට විශ්වාසයක් නෑ ඔහු මේකට එකඟ      වේවි කියලා.

     සිහිබුද්ධියකින් පසුවන කෙනෙක් නම් ඔය වගේ දේකට එකඟ      වෙන්නේ නම් නෑ තමයි. හැබැටම කවුද ඒ?

ලෝගන් කිසිවක් නොපවසා සෙඩ්රික් දෙස බැලුවා.

අනේ දෙවියනි. ඔබ කියන්නේ මා ගැනද?

වෙන කවුරුවත් නෑනේ. ඔබ අකමැති නම් මම ලෙනෝරට හරි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හරි කියන්නම් ඇමක් විදිහට ඉදිරිපත් වෙන්න කියලා.

නෑ නෑ. මම ඒක කරන්නම්. මම මොනවද කරන්න ඕන?

මම වේලාසනින් ගොස් ඒ අවට සැඟවී සිටින්නම්. ඔබට තියෙන්නේ ඇඳිරි වැටුණහම ඒ ඔය කෑළෑ රොද කිට්ටුවෙන් බීමත් අයෙක් මෙන් ශබ්ද නගමින් පොඩ්ඩක් එහාට මෙහාට ගමන් කරන්න. ඔබේ සද්දෙට අනිවාර්යයෙන්ම මැන්ටිකෝර් එළියට එනවා. ඉතුරු ටික මම බලා ගන්නම්.

වෙන කරන්න දෙයක් නෑනේ ලෝගන්. අපි මේක කරමු.

ගාර්ඩියන් මන්දිරය වෙතට ගිය ඔවුන් දෙදෙනා සිය සැලැස්ම නගරාධිපතිවරයාට, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හා ලෙනොරාට විස්තර කළා.

ලෝගන් මේක භයානක වැඩියි.

අපිට වෙන කරන්න දෙයක් නෑ ලෙනෝරා.

ලෝගන්, ලෙනෝරා දෙස බලමින් පැවසුවා.

මේ සතා එන්න එන්නම දරුණුවෙනවා. තව කල් අරින්න විදිහක් නෑ. අදම මේ දේ කරන්න වෙනවා. අපිට කළ හැකි වෙන කිසිවක් නෑ.

ලොනෝරා, ලෝගන් හරි. තත්වය අතිශයින්ම භයානකයි. මම ඔබට අවසර දෙනවා.

උතුමාණනි, සියල්ල හරි ගියොත් මේ සත්ත්වයාගේ සිරුර ඉවත් කරන්න හරි විනාශ කරලා දාන්න හරි කටයුතු යොදන්න වේවි. අපෙන් පිට කිසිවෙකුත් මේ දේවල් දැකගත යුතු නෑ. ඔබ හරි ලෝගන්. මම අවශ්‍ය කටයුතු සුදානම් කරන්නම්. මම හිතනවා මට ඔබේ සහය එයට ලැබෙයි කියලා. එහෙම නේද රෆායෙල්? අනිවාර්යෙන්ම. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. මම අද හවස නගරය වසා දැමීම ගැන නියෝගය පොලිස් ප්‍රධානියා වෙත දැන්මම යවන්නම්. මම හිතනවා හැමදෙයක්ම අද රාත්‍රියේදී අවසන් කරන්න පුළුවන් කියලා.

මමත් හිතනවා එහෙම වේවි කියලා. එහෙම නම් ඔක්කොම හරි. මම හවස පහවෙනකොට මෙතනින් පිටත් වෙනවා. සෙඩ්රික් ඔබට යාන්තමට ඇදිරි වැටෙන කොට එතනට ගිහිල්ලා මම කියපු විදිහට කරන්න. ඒ කියන්නේ හය හමාර පමණ වෙනකොට. කිසි දෙකට බය වෙන්න එපා. ඔබට නොපෙනුනත් මම ඔබ කිට්ටුවෙන්ම ඉන්නවා. හරි ලෝගන්.

මෙම කතා බහෙන් අනතුරුව තමා නවාතැන් ගෙන සිටින කාමරේට වැදුණු ලෝගන් කැතලීනාගෙන් ලැබුණු ආයුධ මල්ල විවෘත කර එයින් කේ-35 රයිෆලය පිටතට ගත්තා. අනතුරව එය කොටස් වලට ගලවා එය පිරිසිදු කර එහි මනා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන තුවක්කු තෙල් දමා නැවත එය නිස ලෙස සවිකර එයට නියමිත කැලිබරයේ අගට රසදිය යෙදු උණ්ඩ පිරෙව්වා. අනතුරුව සිය පිස්තෝල දෙකක් මේ අකාරයෙන්ම ගලවා තෙල් දමා එය ඒවා නිසි ලෙස සවි කළා. අනතුරව සිය අසිපත අතට ගෙන එය පරික්ෂා කර බැලුවා. එය සුපුරුදු ලෙසින් දිස්නය දෙමින් බැබලුණේ ඕනෑම අභියෝගකට සුදානම් ආකාරයෙන්. කැතලීනා ඔහුට නොකියාම බෑගයට දමා තිබූ උණ්ඩ රදවන පටිය අතට ගත් ලෝගන් එහි ඉහළ කැලිබරයේ වෙඩි උණ්ඩ රැදෙව්වා. මේ සියල්ලම සුදානම් කිරීමෙන් අමතරව පැයක් පමණ වේලා විවේක ගත් ලෝගන් ඉන් අනතුරව තම ගමනට සූදානම් වුනා.

වෙඩි උණ්ඩ රැදවූ පටිය සිය එක් උර හිසක් හරහා දමාගත් ඔහු අනිත් උරහිස හරහා සිය අසිපත රැදවුනු කොපුවේ පටිය දමා එය හොදින් තදකර ගත්තා. අනතුරව සිය ඉණ දෙපස පිස්තෝල දෙක රදවාගත් ඔහු සිය දිගු ලෝගුව පැළද ගත්තා. අනතුරව එහි ඇතුලු සාක්කුවකට තවත් වෙඩි උණ්ඩ කිහිපයක් දමා ගත් ඔහු පිහිය හා අනිකුත් කුඩා ආයුධ ඒවාට නියමිත තැන් වල රැදවූවා. අනතුරුව කැතලීනා ලබා දුන් කඹයද සිය උරහිස හරහා දමාගත් ඔහු සිය රයිෆලයද රැගෙන කිසිවෙකුටත් නොකියාම ගාර්ඩියන් මන්දිරයෙන් පිටවී ගියා.

සවස හයට පමණ පහයි තිහට පමණ ආයුධ සන්නද්ධව ගාර්ඩියන් මන්දිරයෙන් පිටවුණු සෙඩ්රික්, ලෙනොරා හා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා රැගත් අශ්ව රථය කෑලෑ රොදට සැතැප්ම කිහිපයක් මෙහායින් නැවතුනා.

අපි මෙතන ඉන්නවා සෙඩ්රික්. ලෝගන් කියපු විදහට අපිට මෙතනින් එහාට එන්න විදිහක් නෑ. ඔබ හෙමිහිට එතනට යන විට හොදටම අඳුර වැටෙයි. ඔබට දෙවි පිහිටයි දරුවෝ.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හා ලෙනෝරාට ආචාර කළ සෙඩ්රික් සෙමින් සෙමින් ඉදිරියට ඇදුණා. ඔහුගේ සිත විවිධාකාරයේ භයංකර සිතුවිලි වලින් පිරී යන්නට වුනා. තමන්ගේ සිරුරේ කොටස් ලේ විලක් මැද තිබෙනු ඔහුගේ මනසේ මැවී ගියා. තවත් අඩියක්වත් ඉදිරියට නොතියා මෙයින් පළායන්නට යැයි ඔහුගේ සිත ඔහුට කීපවරක්ම උපදෙස් දුන්නා. ඒත් ලෝගන් අවසානයට පැවසූ “කිසි දෙකට බය වෙන්න එපා. ඔබට නොපෙනුනත් මම ඔබ කිට්ටුවෙන්ම ඉන්නවා” යන වදන් පෙළ ඔහුට ඉදිරියට යන්නට අවශ්‍ය ශක්තිය ලබාදුන්නා.

අවට පරිසරය බිදෙන් බිද අඳුරෙන් පිරී යන්නට වුනා. පාළු පරිසරයේ ගුප්ත බව බිදෙන් බිද ඉහළ යමින් එය තව දුරටත් සෙඩ්රික්ගේ සිතට බියක් කාන්දු කළා. ඔහු මීට පෙර කිසිම දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණේ නෑ. ඔහු සිය ඉලක්කය වෙතට ළගාවන විට අවට පරිසරය අඳුර විසින් ගිලගෙන ලැබ තිබුණා. ලෝගන් පැවසූ ආකාරයට බේබද්දෙක් මෙන් ශබ්ද නගමින් එම කුඩා වන රොද අසලින් ගමන් කරන්නට වුනා.

අවට පරිසරයේ නිහඩ බව බිදී ගියේ සෙඩ්රික් නැගූ ශබ්දයෙන්ම පමණයි. කිසිදු හැල හොල්මනක් නොමැතිව කාලය ගෙවී ගියේ මේ කාරියෙන් ඇති පළක් නොවන බවක් ඇගවීමටයි. මොහොතකින් වනය තුළින් නැගී මහා ගෙරවුම් හඩකින් අවට පරිසරය දෙදරා ගියා. එම හඩ සෙඩ්රික්ගේ සිත භීතියෙන් පුරවා දැම්මා කිවුවොත් එය නිවැරදියි. ශබ්දය ආ දෙසට හිස හරවා බැලූ සෙඩ්රික්ට දැකගත හැකිවුයේ නිල් පැහැති ඇස් දෙකක් වන රොදින් එළියට පැමිණෙන අයුරුයි. ඊළඟ ගෙරවීම් හඩත් සමඟම ඒ නිල් පැහැති ඇස් දෙක සෙඩ්රික් දෙසට මහත් වු වේගයකින් ඇදී එන්නට වුනා.

     කරන්නේ මොනවා දැයි එකවරම සිතාගත නොහැකි වූ සෙඩ්රික් එක      වරම ආපසූ හැරී වන රොදින් ඉවතට දිව යන්නට පටන් ගත්තා. සතා      තමන් පසු පස එළවාගෙන එන බව ඔහු පිටු පසින් ඇසෙන ශබ්දයෙන්ම      සෙඩ්රික්ට වැටහී ගියා. තමාගේ වේගය මේ මෘගයාගේ වේගයට කිට්ටු      කිරීමටවත් නොහැකි බව ඔහුට ඊළග මොහොතේ දැනී ගියා.

     “ලෝගන් මොනවා කරනවාද මන්දා? තාමත් නෑ. මට මැරෙන්න තමයි      වෙන්නේ” තමාටම පවසාගත් සෙඩ්රික් තමන් මිය යනවා නම් සටනක් දී      මිය යා යුතු බවට අන්තිම තප්පරයේදි තීරණය කළා.

     ඊළඟ මොහොතේදි සිය දිවුම නවතා, තමා මෙතෙක් වෙලා ඉණේ      රඳවාගෙන තිබූ පිස්තෝලය අතට ගත් සෙඩ්රික් ආපසු හැරුණා.

     එසේ හැරෙන විටම ඔහු පිටු පසින් ඇසුණු වෙඩි ශබ්දය ඔහුගේ සිතට යම්      ඉස්පාසුවක් ගෙනාවා කිවුවොත් එය බොරුවක් නොවෙයි. තව දුරටත්      සතා තමා පසු පස එළවන්නේ නැති බව දැනුණු ඔහු වෙන්නේ කුමක් දැයි      බලා ගැනීමට මදක් ඉදිරියට ගියා.

     ලෝගන් සිය කඹයෙන් මද්දක් සාදා එය මැන්ටිකෝර් මෘගයාගේ ගෙලට      දමා සිරකර ගැනීමට සමත්වී සිටියා. එහි ඉතිරි කෙළවර ඒ වන විටක්      ගසක බැද තබා තිබුණා. සතාගේ හිසට නිවැරදි ලෙස ඉලක්ක කර ඔහු වෙඩි තබා තිබුණත් එය එතරම් ප්‍රතිථලදායක බවක් පෙනුණේ නෑ. සතා බිහිසුණු ලෙස දගලමින් සිය ගෙළට හිරවී තිබූ කඹය කඩා දැමීමට උත්සාහ කරමින් සිටියා. ඒ අතරම සිය දික්වූ ගෝනුසු දළයක් සහිත වලිගය කරකවමින් නොනවත්වාම ලෝගන්ට පහර දෙන්නට උත්සාහ කරමින් සිටියා. මැන්ටිකෝර් සත්ත්වයාගේ වවුලෙකු වැනි වු විශාල පියාපත් යුගලය ගුවනේ වේගයෙන් සැලෙමින් තිබුණේ කැතලීනා කඹයට මේ සත්ත්වයා තව වැඩිවේලාවක් රදවා ගැනීමට බැරි බවක් දක්වමින්.

මැන්ටිකෝර් සත්ත්වයාගේ දසුනින් සෙඩ්රික් බයින් ත්‍රස්තවී ගියා. ඌ ප්‍රමාණයෙන් ලෝගන් හිතුවාටත් වඩා විශාල වු සත්ත්වයෙක්. සිංහයෙක්ගේ සිරුරට සම්බන්ධ වු රුවුලකින් පිරි ඒ භීෂණාත්මක හිසින් නැගී ආ රාවය සිරුර භීතියෙන් වෙළා දැමුවා. ගෝනුසු දළයක් සහිත් දිගු වළිගය ඒ හීෂණාත්මක බව තව දුරටත් වැඩිකළා. “ලෝගන් කිවුවටත් වඩා මේ සතා බිහිසුණුයිනේ”, සෙඩ්රික් සිතින් තමාටම කියාගත්තා.

සෙඩ්රික් තමන් අසලින් සිටින බව දැක්ක දඩයක්කරුවා සිය රයිෆලය හා පතොරොම් පටිය ඔහු දෙසට විසි කළා.

සතාට දිගටම වෙඩි තියන්න. කල්පනාවෙන්. මට වෙඩි නොවදින්න වග බලාගන්න.

මෙසේ පැවසූ ලෝගන් සිය තමා පැළදි සිටි දිගු කබාය ගලවා පසෙකට දමා සිය බලැති “ඉම්ෆීරියුම්” අසිපත අතට ගත්තා. ලෝගන්ගේ අරමුණ වුයේ මැන්ටිකෝර් සත්ත්වයාගේ ගෝනුසු දළය මඟ හරවා ගනිමින් උගේ සිරුරට නැග ගැනීමයි. එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුයේ මෘගයාගේ ශරීරයට සවිවුණු පියාපත් යුවල වරින් වර මේ මෘගයාව ගුවනට රැගෙන ගිය නිසයි. මේ හේතුවෙන් සෙඩ්රික්ට නිසි පරිදි සතාට ඉලක්කය ගැනීමටත් අසීරු වී තිබුණා.

මෘගයාගේ සිරුරට නැග ගැනීමට නම් සත්ත්වයා වරින් වර පියෑඹීම නතර කළ යුතුයි යන අදහස ක්ෂණයකින් දඩයක්කරුවාගේ සිතට නැගුණා. වේගයෙන් චලනය වන ගෝනුසු දළය වළකමින් ඉදිරියට පිනු ලෝගන් සිය පළමු අසිපත් පහර එල්ල කළේ මෘගයාගේ වම් පසින් ශරීරයට සවි වී තිබූ පියාපතටයි. මොහොතකින් නැඟුණු වේදනාත්මක මර හඩත් සමඟම වම් පස පියාපත මැන්ටිකෝර් සත්ත්වයාගේ සිරුරෙන් වෙන්වී බිමට වැටුණේ ලේ දහරාවක් අවට පරිසරයට විදිමින් එයින් ලෝගන්වත් නහවා දමමින්. මෙයත් සමඟ තව දුරටත් වියරු වැටුණු සත්ත්වයා මහ හඩින් කෑ ගසන්නටත් දඟලන්නටත් වුනා. එය සමාන්‍ය කඹයක් වුවා නම් එය මේ වන විටත් කැඩී බිදී ගොස් අවසන් බව ලෝගන්ට මෙන්ම සෙඩ්රික්ටත් වැටහී ගොස් තිබුණා. ඇත්තටම කැතලීනාගේ නිර්මාණය විශිෂ්ඨ එකක් වුයේ ඒ නිසයි. මේ වන විටත් සෙඩ්රික් තවත් වෙඩි පහරවල් කීපයක්ම එල්ලකර තිබ්බත් ඒවායින් මේ බිහිසුණු මෘගයාව අඩපණ කිරීමේ හැකියාවක් ලැබී තිබුණේ නෑ.

ඊළඟ මොහොතේ වියරුවෙන් දඟලන මෘගයාගේ ශරිර යටින් එහා පසට පැනගත් ලෝගන් උගේ දෙවන පියාපතත් සිඳ දැම්මා. ඊළඟ තප්පරයේදී දඟලන මෘගයාගේ පසු පස පාදයෙන් එල්ල කළ පහරක් වැදුණු ලෝගන් විසිවී ගොස් ඇද වැටුණා. ඔහු නැගිටගන්නටත් පෙර ඔහු හඹා ආ මැන්ටිකෝර් සත්ත්වයාගේ ගෝනුසු දළය ඔහුගේ වම් උරහිසට ඇතුල් වුනේ එහි වු අධි මාත්‍රික විෂ දඩයක්කරුවාගේ සිරුරට ඇතුළු කරමින්. තුවාළ ලැබ දුර්වලව සිටින සත්ත්වයා එම දළය ගලවා ගැනීමට පෙරම එය සිය තුවාල වු අතින් අපහසුවෙන් ග්‍රහණය කරගත් දඩයක්කරුවාගේ ඊළඟ අසිපත් පහර එල්ල වුයේ ගෝනුසු දළයටයි. සිදුණු වල්ගය පසකට විසිකර දැමූ ලෝගන් වහාම නැගී සිටියත් ඒ වන විටත් සත්ත්වයාගේ දළයේ
වූ විෂ ඔහුගේ ශරීරය අඩපණ කරමින් නැගී සිටින්නට වුනා. සිය දර්ශනය බොඳවී යන බවක් දැනුණු දඩයක්කරුවා තමාට තව වැඩි වෙලාවක්
ඉතිරිව නැති බව තේරුම් ගත්තා.

සිය අසිපත කොපුවේ ලාගෙන සිය දුබලතා අමතක කළ ලෝගන් ඊළඟ මොහොතේදී වියරු මෘගයා සිය ගාත් වලින් එල්ල කරන පහරවල් වලකමින් සතාගේ සිරුරට ගොඩවුනේ මහත්වු පරිශ්‍රමයක් දරායි. මැන්ටිකෝර් සත්ත්තයාගේ අධි විෂ මාත්‍රාව ලොග්න්ගේ සිරුර තව දුරටත් අඩපණ කරමින් තිබුණා. මරු විකල්ලෙන් දඟලන සත්ත්වයා ඊළඟ මොහොතේ සිය ගෙළ බැදී කඹය කඩාගෙන දඟලන්නට වූයේ ලෝගන්ට උගේ ගෙළ අසලට ගළාවීම තවත් අපහසු කරමින්.

ඊළඟ තප්පරයේදී මෘගයා තව දුරටත් තමාට වෙඩි තබමින් සිටි සෙඩ්රික් දෙසට හැරුණු මෘගයා වේගයෙන් ඒ දෙසට දිවයන්නට පටන් ගත්තා. සිය බමන සිරුරේ වූ ශක්තිය අපහසුවෙන් එක් තැන් කරගත් දඩයක්කරුවා මෘගයාගේ ගෙළ වෙත අපහසුවෙන් බඩගා ගා ගත්තා. අසිපත කොපුවෙන් මුදා එය සිය සිරුර ඉදිරියෙන් ඉහළට එසවූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා සිය අසිපත මැන්ටිකෝර් මෘගයාගේ හිස පිටුපසින් හිස් කබළ බිදගෙන යන පරිදි මහත් වැරෙන් උගේ හිසට ඇතුල් කළා.

ලෝගන්ගේ අසිපත මෘගයාගේ මොළය සිදුරු කරමින් ලේ විදිමින් උගේ කටින් පිටතට ආවේ මැන්ටිකෝර් සත්ත්වයාට ක්ෂණික මරණයක් ගෙන දෙමින්. මරහඩක් නංවමින් සඳහටම නිසල වූ ඒ බිහිසුණු අද්භූත මෘගයා සෙඩ්රික්ට පියවර කීහිපයක් පසු පසින් ඇද වැටුණා. සිය ශරීරයේ වු ශක්ති පොද ද සිදී ගිය දඩයක්කරුවාද එහිම ඇඳ වැටී නිසල වුණේ ඒ අවට පරිසරය සම්පූර්ණ නිහඩතාවයක ගිල්වමින්.
___________________________________________________________________________________

KB 2021.03.16

No comments: