අඳුරේ දඩයම්කරු 17 - මඟපෙන්වන්නිය

     අදට මෙතනට ඇවිල්ලා දවස් තුනක් වෙනවා. අපිට තාමත් බැරිවුනා මේ      ගමනට මඟ පෙන්වන්නෙක් හොයාගන්න. ආලෝකයේ මං පෙත කියපු      ගමන් එන ඔක්කොම ආපහු හැරිලා යනවා. මට මේ රටේ මිනිස්සුන්ගේ      එඩිතරකම ගැන ප්‍රශ්නයක් තියෙනවා ලෝගන්. අපි දැන් මොකක්ද      කරන්නේ? අපිට ආපහු හැරිලා යන්න වේවිද මෙච්චර දුරක් ආවට      පස්සේ?

     ලාර්වික් නගරයේ අඳුරු තැබෑරුමක කෙලවරක වු මේසයක වු අසුනක      අසුන්ගෙන සිටි නිකොලස්, තමා ඉදිරි පිට සිට දඩයක්කරුවාගෙන් අසා      සිටියා. මෙයට මද සිනාවක් පළකළ දඩයක්කරුවා,

     ඉවසන්න නිකොලස්. අපිට අද හෙටම මඟ පෙන්වන්නෙක් ලැබෙයි,      මට එහෙම දැනෙනවා.

     ඔබගේ සිහිනවලින් අලුත්යමක් කියවෙන්නේ නැද්ද?

නෑ. ඒවා පෙර පරිදිමයි. කිසිම වෙනසක් වෙලා නෑ.

දෙදෙනා මෙසේ සාමිචියේ යෙදි සිටින විට ඔවන් අසලට පැමිණි තැනැත්තියක්

“මේ මහත්වරු දෙන්නාද ආලෝකයේ මං පෙතට යන්න මඟ පෙන්වන්නෙක් සොයන්නේ?”

ඔව්, ඔබ කවුද?

මම නයෝමි. නයෝමි ජෙනෙවියර්. සංචාරක මඟපෙන්වන්නෙක්

ඇය දෙසට හැරුණු නිකොලස්, ඔබ?

ඇයි මම කාන්තාවක් නිසා ඔබ මට බැහැයි කියලා හිතනවද?

එහෙම දෙයක් නෙවෙයි. අපි මෙච්චර දවස් කතා කරපු කිසිම පිරිමියෙක් කැමති නොවුණු භයානකයි කියපු ගමනක් යන්න ඔබ කැමත්තක් දක්වන බව පෙන්වන එක පුදුමයට කරුණක් නොවෙයිද?

මගේ උපන් ගම තියෙන්නේ ආලෝකයේ මං පෙතට කිට්ටුවෙන්. ඒක නිසා ඒ ප්‍රදේශය මට හුරුයි. හැබැයි ආලෝකයේ මං පෙතට ඇතුල්වන ප්‍රදේශයට එනකම් විතරයි මට එන්න පුළුවන්. එතනට ඇතුල්වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.

ලෝගන් ඇයට ඉදිරියෙන් වු ආසනය දක්වා එහි අසුන්ගන්නා ලෙසට සංඥා කළා. ඇය එහි අසුන්ගත් පසුව ඇය වෙතට හැරුණු ඔහු,

මම ලෝගන්. මේ ඉන්නේ මගේ මිත්‍රයා නිකොලස්. අපිට කියන්න, මොනවද ඔබ දන්නේ ආලෝකයේ මං පෙත ගැන?

හඳුනගන්න ලැබීම සතුටක් ලෝගන්. මේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ. අපේ ආච්චි අපි පුංචි කාලේ කියලා තියෙන විදිහට ඒ මං පෙත හරහා ගමන් කරන්න පුළුවන් වෙන්නේ තෝරාගත්ත අයෙක්ට පමණයි. එය කෙළවරවෙන්නේ “සෙලීන්” නම් ජීවිතයට හා මරණයට අධිපති බොහොම බලසම්පන්න දේවතාවියකගේ අඩවියෙන් කියලා තමයි අපේ පුරාවෘත්ත වල දැක්වෙන්නේ. ඇය දේවතාවියක් මෙන්ම රැජිනක් කියලත් පුරාවෘත්ත වල සටහන් වෙනවා. අලෝකයේ මං පෙත කෙළවර විශාල ජාලාශයක් මැද ඇති දූපතක පිහිටා ඇති ඇගේ මන්දිරය ආරක්ෂා කරන්නේ “සයිරන්” (Siren) නමින් හදුන්වන විශේෂ සත්ත්ව කොට්ඨාශයක් කියලා මම අසා තිබෙනවා.

නිකොලස් ඔබ මොනවද දන්නේ මේ “සයිරන්” කියන ජීවීන් ගැන?

ඔවුන් ගැන ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ ශ්‍රීක මිත්‍යා කතාවල. මම හිතන්නේ ඔබ අහලා ඇති ඔඩිසියස් (Odysseus) ගැන?

ඔව්. ඔහු ට්‍රෝයි සටහන සහභාගී වුනු ශ්‍රීක රණ ශූරයෙක්නේ. මම දන්නා කරමට ඔහු ඇකීලියස් හා කරට කර සටන් කරපු රණ ශූරයෙක්.

ඔබ හරි ලෝගන්. ඔඩිසියස් ආපසු ග්‍රීසියට එන ගමනෙදි එක්තරා දූපතකදී ඔහුට මුණ ගැහෙනවා මේ සයිරන් කියන ජීවින් කොට්ඨාශය. ඔවුන්ගේ ගැයුම මිනිසුන් මෝහනයට පත්කරනවා කියලා තමයි හෝමර්ගේ “ඔඩිසි” කියන පොතේ සදහන් වෙන්නේ. මේ විදිහට මෝහනයට පත්කරන මිනිසුන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේ ජීවින් දිය කිඳුරියන්ට සමානයි. ශරීරයේ ඉහළ කොටස මනුෂ්‍යයෙක්ගේ විශේෂයෙන්ම කාන්තවකගේ වගේ. පහල කොටස මාළුවෙක්ගේ වගේ. මේ ජීවින් ජලයෙදි අතිශයින්ම දරුණු ජීවීන් කොට්ඨාශයක්. කියන විදිහට නම් ඔවුන්ට අසීමිත කාය ශක්තියක් තියෙනවා. ගැහැණු හා පිරිමි සතුන් දෙකොට්ඨාශයම ඉන්නවා. ගොඩබිමදී ඔවුන්ට මිනිසුන් ලෙස පෙනී සිටිමේ හැකියාව තියෙනවා. හැබැයි ගොඩබිම ඉන්න පුළුවන් කාල සීමාව සීමිතයි. දක්ෂ, වේගවත් වගේම බිහිසුණු සටන්කරුවන්. ඔවුන්ගේ නායකත්වය හැමවිටම දරන්නේ කාන්තාවක්. පිරිමියෙක්ට නායකත්වය ගන්න බෑ කිසිම අවස්තාවක.

මඟ පෙන්වන්නන් මේ ගමනට බෑ කියන එක සාධාරණයි. මේක කඳු වැටි කෑලෑ නිම්න අතරින් වැටී ඇති භයානක ගමනක්. ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බෑ.

එහෙනම් ඔබ මේ ගමන යන්න හදන්නේ ඇයි?

මට ආපහු ගමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගී තියෙනවා. ඒකයි මම යන්න කැමති. ඔබලාට කවදාද ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය?

හැකි ඉක්මනින්. අපි දැනටමත් පරක්කුයි. කොහොමට ඔබගේ ගාස්තු?

ලෝගන්ට පෙර එයට පිළිතුරු දුන්නේ නිකොලස්.

මගේ ගාස්තුව විදිහට රන් කාසි දෙසීයක් අවශ්‍යයි. ඒ හැර ගමනේ සියළුම වියදම් ඔබලා දරන්න ඕන.

“රන් කාසි දේසියක්?” විශ්මයට පත්වූ හඩකින් නිකොලස් පවසා සිටියා.

ඔව්. ඔබට මඟපෙන්වීමට වෙන කිසිවෙක් ඉදිරිපත්වෙන්නේ නෑ. මම වුනත් මේ ගමන සඳහා ඉදිරිපත් වුනේ එය මගේ ගම ආසන්නට යන නිසයි. ඔබ මේ ගාණ වැඩියි කියලා සිතනවා නම් ඔබට වෙන කෙනෙක් හොයාගන්න පුළුවන්.

මොහොතක් වෙලා කල්පනාවේ ගැලී සිටි ලෝගන් ඊළඟ මොහොතේදී සිය හඩ අවදි කළා.

එකඟයි. කොහොමද මේ ගමන යන්න වෙන්නේ? අශ්වයන් පිටින්ද නැත්නම් අශ්ව රථයකින්ද?

අශ්වයන් පිටේ. අශ්ව රථයකින් යන්න අමාරුයි. හරියට පාරක් නෑ. අතිශයින් දුෂ්කරයි. අශ්වයන් මාරු කරගන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. එතනින් එහාට අමතර අශ්වයින් කීපදෙනෙක් රැගෙන යන එක නුවණට හුරුයි.

ඔබට ගමනට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කරන්න වෙනවා. අපිට මේ ප්‍රදේශය ගැන දැනීමක් නෑ. මේ ඔබගේ ගාස්තුවෙන් බාගයක්. ඉතිරි කොටස අපිව ආලෝකයේ මං පෙතට ඇතුල්වෙන තැනට ගියහම ලබාදෙනවා. ගමන සංවිධානය කරගැනීමට හා අවශ්‍ය කරන ආහාර පාන ඇතුළු දේවල් මිලදී ගැනීමට අවශ්‍ය මුදල්ද මෙහි තියෙනවා.

නයෝමි වෙතට හමින් නිමකළ පසුම්බියක් දික්කරමින් ලෝගන් පවසා සිටියා. එම පසුම්බිය අතට ගත් ඇය එය විවර කර එහි වූ රන් කාසි අත්ලට හලා ගත්තා. මොහොතක් එදෙස බලාසිට නැවත එය පසුම්බියට දමා එහි කට තද කළ ඇය එය සිය කබායේ වු සාක්කුවකට දමා ගත්තා.

     හොදයි. කී දෙනෙක් ඉන්නවද ගමන යන්න?

     අපි දෙන්නා විතරයි. ඔබත් එක්ක තුන්දෙනයි.

     ඔබලා දෙන්නා විතරද මේ ගමන යන්නේ?

     ඔව් ඇයි?

     මම සිතුවාට වඩා ඔබ දෙදෙනා එඩිතරයි. එහෙම නැත්නම් මෝඩයි. කෙසේ වුවත්      හෙට උදේ දහය විතර වෙනකොට ගමන ආරම්භ කරන්න අපිට හැකියාව ලැබෙයි.      හෙට උදේ දහයට මෙතනදීම හමුවෙමු යැයි පැවසූ නයෝමි එතනින් පිටවී ගියා.

     කාලය ගතවී ගියේ බොහොම වේගයෙන්. පසුදින උදෑසන නවයයි තිහ පමණ වන      විට ලෝගන් හා නිකොලස් පෙර දින තමන් නයෝමි මුණ ගැසුණු අඳුරු තැබෑරුමේ      සුපුරුදු ස්ථානයේම අසුන්ගෙන සිටියා. හරියටම උදෑසන දහය වන විට ඔවුන්      හමුවීමට එහි පැමිණියේ නයෝමි.

ගමනට අවශ්‍ය සියළුම කටයුතු සුදානම්. අපිට පිටත් වෙන්න පුළුවන්.

හොදයි. අපි උදේ ආහාරය අවසන් කළ වහාම අපි ගමන පිටත්වෙමු. ඔබත් එකතුවෙන් අප සමඟ උදේ ආහාරයට. මොකක්ද ඔබ තෝරාගත්ත මාර්ගය?

ලෝගන් මේසය මත තබා තිබූ සිතියම දක්වමින් අසා සිටියා.

අපි ගමන පටන්ගන්නේ මෙතනින්. ඇය සිතියමේ ලාර්වික් නගරය දක්වමින් පවසා සිටියා. මෙතන සිට ඩ්‍රාම්මෙන්, ඔස්ලෝ, එල්වරුම්, සලෙන් හරහා ඉඩ්රේ වලට. එතැන් සිට දින දෙකක දුරින් තමයි ආලෝකයේ මං පෙත පිහිටා තිබෙන්නේ. මෙතන මගේ ගම “පැරඩිස්” (Paradis). “එල්වරුම්” තමයි අපිට අශ්වයින් ලබාගන්න පුළුවන් අවසාන ගම්මානය.

කෙතරම් දුරද සම්පූර්ණ ගමනට?

ඔක්කොම බැලුවොත් සැතැප්ම තුන්සිය විස්සක් විතර තියෙනවා. ඒ කියන්නේ මාසයක් විතර යනවා අපිට මේ දුර යන්න. ඒ කිසිම දෙයකින් අපේ ගමන පමා නොවුනොත්.

“මෙහේ තියෙන හොදම මත්පැන් වර්ගය මොකක්ද?” නිකොලස්, නයෝමිගෙන් විමසා සිටියා. එයට “අක්වවිට්” යනුවෙන් මඳ සිනාවකින් පිළිතුරු දුන් නයෝමි, තව දුරටත් ඒ ගැන විස්තර පැවසුවා.

අක්වවිට් (Akvavit) තමයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒ මෙහේ තියෙන හොදම බීම වර්ගය. වොඩ්කා වල රසට යම් තරමකින් සමානයි. ඉතාමත් පැරණි බීමක්. දන්න විදිහට නම් පහලොස්වෙනි ශත වර්ෂයේ ඉදන් එන බීමක්. හදන්න ගන්නේ අර්තාපල් සහ ධාන්‍ය වර්ගයක පැසවීමකින් තමයි මේ බීම වර්ගය හදන්නේ. එයට විශේෂිත වු රසය ලැබෙන්නේ එයට එක් කරන විවිධ ඖෂධීය ගුණ සහිත ශාක හා කුළු බඩු වලින්. අක්වවිට් කියන වචනයේ තේරුම වෙන්නේ “ජීවයේ ජලය” යන්නයි.

ස්තුතියි නයෝමි. ඔබට බොහෝ දේ ගැන ලොකු දැනීමක් තියෙනවා වගෙයි.

එයට කිසිවක් නොපවසා සිනාසුණු නයෝමි, ලෝගන් සමඟින් එතැනින් පිටවී ගියා. තැබැරුමේ අයිතිකරුගෙන් ඉස්තරම් වර්ගයේ අක්වවිට් බෝතල් පහක්ම මිලදී ගත් නිකොලස් විනාඩි කීපයකට පසුව ලෝගන් හා එකතු වුනා. ඔවුන් තිදෙනා ගමන් කළේ අඳුරු තැබෑරුම තිබුණු තැනට ආසන්නයෙන් පිහිටා තිබූ අස්ව ස්තාලයක් වෙතයි. ඔවුන් එතනට ළගාවන විට පෙර දින නයෝමි විසින් වෙන්කර ගත් අසුන් ගමනට ලෑස්ති කර තිබුනේ නයෝමිගේ සහායකයා වන විලියම්ස් විසිනුයි.

     ලෝගන්, නිකොලස් මේ ඉන්නේ මගේ සහායකයා. විලියම්ස්. මම      හිතනවා ඔබලා ආයුධ සන්නද්ධයි කියලා. මම අලුතෙන් ආයුධ ගන්න      කරදර වුනේ නෑ.

     “ඒ ගැන වද වෙන්න එපා යැයි” පවසමින් විලියම්ස්ට අතට අත දී ආචාර      කළ ලෝගන් එතැන වූ කාල වර්ණ අශ්වයෙක් තොරාගත්තා.      අශ්වයාගේ සෑදලයේ රයිෆලය වෙනුවෙන් නිර්මාණය වු ස්ථානයේ එය      රැදවූ ලෝගන් සිය ගමන් බෑගය හා අසිපත කරේ එල්ලා ගෙන අසුපිටට      නැගගත්තා. ඔවුන්ගේ ගමනට අවශ්‍ය කළ ආහාර පාන ඇතුළු වෙනත්      ද්‍රව්‍ය තවත් අශ්වයෙක් පිට රදවා තිබුණා. සිය මත්පැන් බෝතල් පහෙන්      දෙකක් නොබිදෙන ලෙස ඇසිරු නිකොලස් එය සිය ගමන් බෑගයේ දමා ගත් අතර ඉතිරි බෝතල් තුන ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය ඇතුලත් බෑගයක ඇසීරිමෙන් අනතුරුව සිට අසු පිටට නැගුණා. අනතුරුව අසුපිටට නැගුණු නයෝමි ගමනේ පෙරමුණ ගත් අතර ඇය පිටුපසින් ලෝගන් හා නිකොලස්ද අවසානයෙන් විලියම්ස්ද ගමනට පිටත්වුනා. ඔහුගේ අතේ බඩු භාණ්ඩ රදවා තිබූ අශ්වයාගේ කටකලියාවට සම්බන්ධ වු රැහැන රැදී තිබුණා.

මේ ගමන බොහොම දුෂ්කර ගමනක්. ඒ වගේම බොහොම අවදානම් මාර්ගයක තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. මංකොල්ලකරුවන් ඉන්නත් පුළුවන්. ඒ වගේම වෘකයන් වගේ දරුණු වන සතුන්. බොහොම කල්පනාවෙන් ගමන් කරන්න. හැමවිටම මා ගමන් කරන මාර්ගයේ ගමන් කරන්න. අතරමං වෙන්න ලේසියි. ඒ නිසා හැමවිටම කල්පනාවෙන්. කිසිම වෙලාවක කණ්ඩායමෙන් දුරස්වෙන්න එපා. හැම විටම තමන්ගේ ආයුධ සුදානමින් තබාගන්න.

ලෝගන් හා නිකොලස් දෙසට හැරී මෙසේ පැවසූ නයෝමි ගමනේ පෙරමුණ අරගත්තා. ඇය පිටුපසින් නිකොලස් ද ඉන් අනතුරුව විලියම්ස් අවසානයේ ලෝගන්ද ගමන පිටත් වුනා. ගමන අරබා හෝරාවකට පමණ පසුව පිටු පස බැලු ලෝගන්ට ලාර්වික් නගරය ඈතින් දැකගන්න ලැබුණා. වැඩි වේගයකින් ගමනේ නොයෙදුණු ඔවුන් එදින සැන්දෑ කාලය වන විට ලාර්වික් නගරයට සැතැප්ම 40 පමණ දුරකින් පිහිටියා වු කුඩා ගම්මානයකට ළඟා වුනා. එදින රාත්‍රිය ගම්මානයේ කෙළවරක වූ ගසක් යට ගත කළ ඔවුන් සිව්දෙනා පසුදා උදෑසනින්ම ගමන ආරම්භ කළා.

එදින ගමනාරම්භයෙන් පැයකට පමණ පසුව ඔවුන් විශාල ගංඟාවක් අභියසට පැමිණියත් එහි වූ පාලම දින කීහිපයකට පෙර ඇතිවූ ගං වතුරට විනාශ වී ගොස් තිබුණු නිසා ගංඟාවට හරහා ගමන් කිරිමට සුදුසු කිරිමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට ගංඟාවට සමාන්තර බොහෝ දුරක් ගඟ ඉහළට ගමන් කිරීමට සිදුවුනා. අවසානයේ ඉතාමත් අපහසුවෙන් ගඟ තරණය කළ ඔවුන් සිවුදෙනා සවස දෙක පමණ විට විශාල වනාන්තරයක් අභියසට පැමිණියා.

අපි අදට මෙතන නවතිමු. මම හිතාගෙන හිටියේ අද මේ වනාන්තරය පසු කරන්න. පාලම විනාශවී ගොස් තිබුණු නිසා අපේ කාලය බොහෝ වෙලාවක් නාස්ති වුනා.

අපිට තව පැය තුනක පමණ කාලයක් ආලෝකය ඉතිරිව තිබෙනවා. අපිට පුළුවන්නේ වනාන්තරය ඇතුලත කඳවුරක් තනාගන්න.

නිකොලස්, මම කැමතියි දහවල් කාලයේදී වනාන්තර පෙදෙස් පසු කරන්න. එතකොට අපිට තියෙන තර්ජන අඩුයි. රාත්‍රියේ තමයි බොහොමයක් වන සතුන් සිය දඩයම් සොයා යන්නේ. අපිට රාත්‍රියේ දුර දකින්න තියෙන ඉඩ කඩ සීමිතයි. සතුන්ට රාත්‍රියට ඇස් පේනවා. ඒ වගේම සතුන්ට තමන්ගේ ඇස් වලට වඩා දේවල් තියෙනවා පරිසරය දකින්න. විශේෂයෙන්ම ඉව. ඒක නිසා දහවලදී අපේ මේ වනාන්තරය තරණය කරන එක අපේ ආරක්ෂාවට හොදයි. අනික මේ වනාන්තරය රාත්‍රී කාලෙයේදී අද්භූත දේවල් වලට ප්‍රසිද්ධ තැනක්. ඒ නිසා අපි අද මෙතන රාත්‍රිය ගත කරමු.

හොදයි, එහෙම නම් අපි එහෙම කරමු. මම හිතන්නේ අර එහායින් තියෙන ගස් කීපය අපිට හොඳ ආවරණයක් වේවි.

ඔව්. ඒක හරි ලෝගන්. විලියම්ස් ඔබ අශ්වයින් ටික බැද දමා උන්ට කෑමට යමක් දෙන්න. ලෝගන් ඔබට පුළුවන්ද ගිනි මැලය අවුලවන්න? නිකොලස් රාත්‍රී ආහාරය?

මඟ පෙන්වන්නියගෙන් ලත් නියෝග අනුව පැයක් පමණ ගතවන විට ඔවුන්ට රාත්‍රිය ගත කිරීමට තීරණය කළ භූමිය ආරක්ෂිතව සකසා ගැනීමට හැකියාව ලැබුණා. රාත්‍රිය කාලය පුරාවටම ගිනි මැලය නොනිමී පවත්වා ගැනීමට තරම් දර ප්‍රමාණයක් අවටින් එක් රැස් කරගත් නිකොලස් ගේ සහයෝගයෙන් එකතු කරගත් ලෝගන් ගිනි මැලය අවුලවා ගත්තා.

වැඩි වෙලාවක් යන්නට පෙරම අඳුර හමුවේ සිය පරාජය පිළිගත් දිවා එළිය සිය අවසන් එළිය පොදද හකුලාගෙන පසු බැස නොපෙනී ගියා. මොහොතකට පසුව අවට පරිසරයේ වූ ඝන අන්ධකාරය මදකට හෝ බිදීගියේ දඩයක්කරුවා ඇතුළු පිරිස සිටි භූමියේ වූ එළියෙන් පමණයි.

ඇයි ඔබ මේ වනය අද්භූතයි කිවුවේ?

ඒ ගැන බොහොම කටකතා තියෙනවා ලෝගන්. කටකතා වල තියෙන විදිහට මේ වනයේ රාත්‍රියේ නැවතී සිටි කිසිම කෙනෙක් එයින් පිටවී ගොස් නෑ. සමහර අවස්ථාවල දහවල් කාලයේ මේ හරහා ගමන් කරන්නන්ට රාත්‍රියේ එහි නතරවූවන්ගේ බඩු බාහිරාදිය හමුවී තිබෙනවා.
හැබැයි කිසිම මිනිහෙක් හෝ අශ්වයෙක්ගේ හෝඩුවාවක්වත් එහි දක්නට ලැබිලා නෑ. ඒ නිසා මේ වනාන්තරය හරහා ගමන් කරන ඕනෑම කෙනෙක් ඒ කටයුත්ත සඳහා දහවල් කාලය යොදා ගන්නවා. මඟ පෙන්වන්නිය විදිහට මගේ වගකීම ඔබලාව ආරක්ෂිතව ගමන්නාන්තය කරා ඇරලවීම. ඒ නිසා මේ ක්‍රමය හොදයි.

ඔබේ කතාව මම පිළිගන්නවා. මේ වගේ අඳුරු වනයක රාත්‍රි කාලයක නැවතී සිටිමේ වැරැද්දට මගේ ජීවිතයේ තිබ්බ වටිනාම දේ මට නැතිවෙලා ගියා.

මෙසේ පවසා අඳුරු වනාන්තරය දෙස ඇසි පිය නොහෙලා මොහොතක් බලා සිටි ලෝගන් සිය අසිපත එළියට ඇද ගිනි මැලයේ එළියේ ආධාරයෙන් එය මුවහත් කරන්නට ගත්තා. ගිනි මැළයේ එළියෙන් එම අසිපත දිලිසෙන්නට පටන්ගත්තේ ඒ දෙස බලා සිටි මඟපෙන්වන්නිය මෙන්ම විලියම්ස්ද විශ්මයට පත්කරමින්.

ලෝගන්, මොකක්ද ඔය අසිපත? මම මීට කළින් කිසිම දවසක ඔය විදිහේ අසිපතක් දැකලා නෑ.

අසිපත දෙස පුදුමයෙන් බලා සිටි විලියම්ස් දඩයක්කරුවාගෙන් අසා සිටියා.

මේක මගේ මිත්‍රයෙක්ගෙන් මට ලැබුණු තෑග්ගක්. මේක ජපන් ජාතික “සමුරායිවරුන්” පාවිච්චි කරන විශේෂිත වූ අසිපතක්. මේකට කියන්නේ “කටානා” කියලා.

ඇයි ඒක විශේෂ? මඟපෙන්වන්නිය ලෝගන්ගේන් අසා සිටියා.

හේතු කීපයක් හන්දා. මේ අසිපතක් හදන්න අවුරුද්දක් විතර ගතවෙනවා. මේක හදන්න ගන්නේ බොහොම පිරිසිදු යපස් හා අඟුරු මිශ්‍රණයකින් නිර්මාණය කරපු වානේ විශේෂයක්. ජපන් භාෂාවෙන් හදුන්වන්නේ “ටැමහාගෙන්” (Tamahagane) කියලා. එකේ දළ තේරුම ගත්තොත් ආභරණ හදන්න ගන්න වානේ වගේ අදහසක්. ඊට පස්සේ බොහෝ වාරයක් රත් කිරීමෙන්, තැලීමට ලක්කිරීමෙන් මේ අසිපත නිර්මාණය කරනවා. මේ තලයේ දිග අඟල් 27. මිටත් එක්ක ඒක අඟල් 36 විතර වෙනවා. මේ අසිපතේ මිට හදලා තියෙන්නේ ඇත් දළවලින්. ෆීනික්ස් කියනව මනත්කල්පිත කුරුල්ලගේ හිසක හැඩය දිස්වෙන විදිහට තමයි මිට නිර්මාණය කරලා තියෙන්නේ. මගේ යාළුවා කිවුව විදිහට මේකට අවුරුදු දෙසීයක් විතර වයසයි. ඒ වගේම යම් කිසි අද්භූත බලයකුත් මේකේ තියෙනවා.

     ලෝගන්ගේ මේ විස්තරයෙන් පසු අවට පරිසරයම නිහඩ වී ගියා. පරිසරයේ      නිහඩතාවය බිදී ගියේ ගිනි මැලයේ දර කැබලි පුපුරා යෑමෙන් නැගුණු සද්දයෙන්      පමණයි. ඊළඟ මොහොතේ මඟපෙන්වන්නියගේ හඩින් ඒ නිහඩතාවය බිද වැටුණා.

     දැන් අපි නින්දට ගියොත් හොදයි. තුන්දෙනෙක් නිදාගන්න අතරෙදි එක් අයෙක්      ඇහැරිලා ඉදිමු වැඩි ආරක්ෂාවට. පැය දෙක හමාරකින් පමණ අනික් කෙනාට      ඇහැරවන්න. ඇහැරිලා ඉන්න කෙනා අත තමයි අනිත් අයගේ ආරක්ෂාව රදා      පවතින්නනේ. ඒක මතක තියාගන්න. මම ඉස්සර පළමු අවස්තාව ලබාගන්නම්. මම      ඊළඟට ඔබව ඇහැරවන්නම් විලියම්ස්.

     සිය හිස සලා එය පිළිගත් විලියම්ස්, ලෝගන් හා නිකොලස් සමඟ නින්දට වැටුණා.      සිය දිගු කබායෙන් තම සිරුර ආවරණය කරගත් නයෝමි සිය පිස්තෝලය උකුල මත      තබාගෙන අසල වු ගසකට පිට දුන්නේ අන් අයගේ ආරක්ෂාව තමන් වෙත පවරා ගනිමින්. අවට පරිසරය ඝන අන්ධකාරක පමණක් නොව දැඩි නිහඩතාවයකද ගිලී ගොස් තිබුණේ තනිව සිටින්නෙක්ගේ සිතට දැඩි භීතියක් කාන්දු කරමින්. කාලය ගතවී ගියේ ඉතාමත් සෙමින්.

තිගැස්සී ඇහැරුණු දඩයක්කරුවා දුටුවේ තමා දෙස බලා සිටින නිකොලස්.

නැවත වරක් ඔබේ හීනයද?

ඔව්. ඒත් මෙවර එය වඩාත් පැහැදිලියි.

මොනවා?

ඔව් නිකොලස්. දැන් මට ඔබ “සෙලීන්” නමින් හැදින්වූ ජීවයේ හා මරණයේ දේවතාවියගේ සාමාන්‍ය සෞම්‍ය වු ස්වරූපය වෙනදාට වඩා පැහැදිලියි. ඇය බොහොම සුන්දරයි. පේන විදහට ඇයව අඳුරු බිම්ගෙයක සිර කරලා ඉන්නේ. ඇයව බැඳ දමා ඇති දම්වැල් මට දුමාරය අතරින් පැහැදිලිව පේනවා. ඇය ඉන්නේ බොහොම විඩාබරව, බලයෙන් පිරිහිලා.

ලෝගන් මම හිතන්නේ ඔබ ඇයගේ බල ප්‍රදේශයට ටිකෙන් ටික කිට්ටුවෙන කොට මේ දර්ශනයන් තවත් පැහැදිලි වේවි කියලා.

සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඒත් නිකොලස් එතරම් බලවත් දේවතාවියක් සිරකරන්නේ කොහොමද?

ඒකත් වැදගත් ප්‍රශ්නයක් ලෝගන්. සමහර විට අපි කියවු පොත්වල සටහන් නොවු සතුරෙක් ඇයට ඇති. අපි මේ ගැන දන්නේ බොහොම ටිකයිනේ. බලයත් එක්ක පාවාදීම්, සතුරුකම් වගේ බොහෝ දේවල් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට මෙතනත් එහෙම දෙයක් ඇති. සමහරවිට අපේ මඟපෙන්වන්නිය මේ ගැන මීට වඩා විස්තර දන්නවා වෙන්න පුළුවන්. ඇය අපට නොකියන යම්දෙයක් මෙතන තියෙන්නත් පුළුවන් ලෝගන්. අපි බලමු ඇගෙන් දැනගන්න පුළුවන් කියලා.

ඔව්. අපි එහෙම කරමු. මම අවදිව සිටින්නම්. ඔබ දැන් නිදාගන්න.

හොදයි ලෝගන්.

ගිනි මැළයට කිට්ටුව එයට තවත් දර කැබැලි කීපයක් එක් කළ ලෝගන් සිය ඉණෙහි රදවා තිබූ පිස්තෝලවල ආරක්ෂිත අඟුල් මුදාහරිමින් අවට අන්ධකාරයට සිය දෑස් යොමු කරමින් අසල වු දර කොටයක් මත අසුන් ගත්තා. විනාඩි කීපයක් නිසොල්මන්ම අවට පරිසරයට සවන්දුන් ඔහු මොහොතකින් පිස්තෝල දෙක එය අඳුරට එල්ල කරමින් නැගී සිටියා. ඊළඟ මොහොතෙදී දඩයක්කරුවා අතේ වූ පිස්තෝල දෙක එකිනෙකා පරයා කතා කරන්නට ගත්තේ අවට පරිසරය ගිළගත් නිහඩතාවය සුණුවිසුනු කරවමින්. අවට පරිසරයේ නිහඩ බව බිද වැටුණේ වෙඩි හඩින්ම පමණක් නොවේ. එයට හේතුවුයේ ලෝගන්ගේ තැබූ වෙඩි පහරවලින් ඇතිවූ හඩට අනතුරුව මහ හඩින් නැගුණු වේදනාබර විලාපයන්ය.
___________________________________________________________________________________

KB 2021.03.25

No comments: