අඳුරේ දඩයම්කරු 18 – දුෂ්කර මඟක

     ලෝගන්ගේ කාමරයට පිවිසි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ප්‍රථමයෙන් දුටුවේ      දින දෙකක් තිස්සේ නිසොල්මන්ව සයනයේ වැතිර සිටින ලෝගන්ව.      අනතුරුව ලෝගන්ගේ සයනය අසලම අසුන්ගෙන ගැඹුරු කල්පනාවක      නියැලී සිටි සිය බිරිඳ ඔහුගේ ඇස ගැටුණා. ඇයගේ කල්පනාවට      බාධාවක් නොකර ඔහු ආපසු පිටවී යෑමට තීරණය කළත් ඔහුගේ      පාවහන්වලින් නිකුත් වූ හඩින් සිය ගැඹුරු කල්පනාවෙන් මිදුණු      ලෙනෝරා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා දෙසට සිය දෑස් යොමු කළා.

     කෙසේද ඔහුගේ තත්වය?

     කියන්න තරම් වෙනසක් නෑ. වරින් වර ඔහුගේ උණ ගතිය ඉහළ      යනවා. නැවතත් යථා තත්වයට පත්වෙනවා. ඔහුගේ තුවාල බොහොම      වේගයෙන් සුවවෙමින් පවතිනවා. ඒත් තාමත් ඔහුට සිහිය නෑ රොබට්.      මට වෙලාවකට හිතෙනවා ඔහුගේ ආත්මය යම් කිසි තැනක හිරවෙලාද      කියලත්. මා ඔහුව ඇදිනගෙන දින කීපයක් පමණයි ගතවුයේ. ඒත් ඔහු      අපේම කෙනෙක් කියා මට දැනෙනවා. මම ඇත්තටම ඔහු ගැන වද      වෙනවා රොබට්. ඔහු නැවත අපි අතරට පැමිණිම සැක සහිතයි රොබට්.

     සිය අසුනින් නැගිට ආ ලෙනෝරා සිය සැමියාගේ පපුවට හිස      තියාගත්තා. ඇගේ දෑසින් ගලා හැලුණු කඳුළුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ පපු පෙදෙස තෙත්වී ගියා. ලෙනෝරාගේ හිස ආදරයෙන් සිපගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇයව සිය පපුවට තවත් තද කරගත්තා.

ඔහු බොහොම ශක්තිමත් කෙනෙක් ලෙනෝරා. ඔහු ලේසියෙන් සටනකින් පරදින කෙනෙක් නෙවෙයි. මේ සටනත් ජයගැනීමෙන් පසු ඔහු නැවත අපි අතරට ඒවී. එතකම් අපිට ඉවසා සිටින්නට වෙනවා.

හිස ඔසවා සිය සැමියා දෙස බැලූ ලෙනෝරා කඳුලැලි අතරින් සිනාවක් සිය මුවට නගාගත්තා.

මම ඉන්නම් ඔහුත් සමඟ ටික වෙලාවක්. ඔබ විවේකයක් ගන්න.

ඕන නෑ රොබට්. මම ඇවිල්ලත් වැඩිවෙලාවක් නෑ. කැතලීනා නිදි වරාගෙන ඔහු ගාව රැදී සිටිනවා. මම බලෙන්ම වගේ ඇයව විවේකයක් ගන්න යැව්වා. මට අපහසුවක් නෑ රොබට්. කෝ සෙඩ්රික්?

ඔහුත් බොහොම විස්සොපයෙන් පසුවෙන්නේ. මම ඔහුට පුහුණු පාසල පැත්තට යන්න කිවුවා. එතකොට ඔහුගේ හිත ටිකක් නිදහස වේවි.

ඔව් ඒක හොදයි.

මමත් පුහුණු පාසලයි, තාක්ෂනික අංශෙටයි ඒ ගිහිල්ලා ඒ වැඩ කටයුතු ගැන බලලා එන්නම්. කැතලීනාත් මෙතනනේ.

හොදයි රොබට්.

නැවත වරක් තම බිරිදගේ හිස සිපගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එතනින් පිටවී ගියා.

ලෝගන්ගේ පිස්තෝලවලින් නැගුණු වෙඩි හදින් සිය නින්ද බිදී ගිය නිකොලස් ඇතුළු පිරිස ක්ෂණයකින් නැගී සිට සිට සිය ආයුධ අතට ගත්තා. ඒත් ඔවුන්ට ඒ අඳුර අතරින් විශේෂ කිසිවක් දැකගැනීමට ලැබුණේ නෑ. අඩුම තරමේ ලෝගන්වත් ඔවුන්ගේ දෑස මානයේ රැදී සිටියේ නෑ. වහා ගිනි මැළයට දර කැබලි කීපයක් එක්කළ නිකොළස් එය හොදින් දැල්වීමට ඉඩ හරිමින් සිය පිස්තෝලය ඉදිරියට එල්ල කළා. ඔහු “ලෝගන්” යනුවෙන් හඩ නැගුවත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

විනාඩියක පමණ කාලයක් නිසොල්මන්ව ගෙවීගියේ කල්පයක් පරිද්දෙනි.

මේ පැත්තට එන්න එළියක් අරගෙන !

ඔවුන් නැවතී සිටි බිමට ඉදිරියෙන් වු පඳුරු සහිත වූ ප්‍රදේශය තුළින් නැගුණු ලෝගන්ගේ කටහඩ ඔවුන් වෙතට ගෙන ආවේ මහත් වූ අස්වැල්ලක්. තමන්ට අවශ්‍ය වුවහොත් දැල්වීමට රැගෙන ඇවිත් තිබූ පන්දමක් ගිනි මැළයට අල්ලා දල්වාගත් නිකොලස් එයත් රැගෙන ලෝගන්ගේ හඩ නැගුණු දෙසට විමසිල්ලෙන් ගමන් කළා. වැඩි දුරක් යන්නට පෙර ඔවුන්ට සිය එක් දණක් බිම ඇණගෙන යමක් පරික්ෂාකරමින් සිටින ලෝගන්ව දක්නට ලැබුණා. ඔවුන් ළඟට එනවිට ඔවුන් දෙස යාන්තමට හැරී බලමින් සිය අත දික්කළ ලෝගන්, නිකොලස්ගෙන් පන්දම ඉල්ලා සිටියා. පන්දම අතට ගත් ඔහු බිම වැතිර තිබූ සිරුර වෙත එල්ල කලේ එය හොදින් නිරීක්ෂනය කිරීමටයි.

බිම දිගින් අඩි දෙක හමාරක් පමණවූ කොළ පැහැති වාමන සිරුරක් වැතිර සිටිනු දක්නට ලැබුණා. එම සිරුරේ හිසෙහි වූ දිගටි කන්පෙති පන්දමේ එළියෙන් පැහැදිලිව දක්නට ලැබුණා.

මේ මොකෙක්ද මේ?

එම හඩ නැගුණේ පුදුමයට පත් වු නයෝමිගෙන්.

ඔය තමයි අර වනාන්තරයේ ඇතුලේ රෑට කඳවුරු බදින්නන් නැවත සොයා ගැනීමට නොලැබීමට හේතුව.

මෙසේ පවසමින් ලෝගන් පන්දමත් රැගෙන නැගී සිටියා. ඔහුගේ දකුණු අතේ ඔහුගේ අසිපත රැදී තිබුණා. එහි තලය දිගේ කොළ පැහැති රුධිරය බිඳු රූරා වැටුණා.

ඒ කිවුවේ?

ලෝගන්ට පෙර සිය හඩ අවදි කළේ නිකොලස්.

මුන්ට තමන් ගොබ්ලින්ලා කියන්නේ. බොහොම මිලේඡ්ඡ වාමන විශේෂයක්. මධ්‍යතන යුගයේ පටන් මොවුන් ගැන වරින් වර සදහන් වෙනවා. ඝන කැලෑවල ජීවත්වෙන්නේ. ඕනම සතෙක් ආහාරයට ගන්නවා. මිනිසුන් පවා ඔවුන්ගෙන් ගැලවී යන්නේ කලාතුරකින්. අතිශයින්ම භයානකයි. කටේ තියෙන උල් දත්, ඇඟිලි වල දක්නට ලැබෙන දිගු නියපොතු දඩයමටමයි හැඩ ගැහිලා තියෙන්නේ. රාත්‍රියට ඇස් හොදින් පේනවා. රතු පැහැති ඇස්. හරිම කපටි සත්ත්ව කොට්ඨාශයක්. නිශාචර විලෝපිකයන්. වනාන්තරයේ රාත්‍රීයට නවාතැන් ගත්ත මිනිසුන් අතුරුදහන්වෙන්න හේතුව පැහැදිලියි දැන්.

ඒ කියන්නේ මුන් ඒ මිනිස්සුන්ව ආහාරයට අරන්ද? ඒත් මම කවදාවත් අහලා නෑ මෙහෙම දෙයක්. මම අනන්තවත් කැලෑ හරහා ගිරි දුර්ග හරහා බොහෝ දෙනෙක්ට මඟපෙන්වලා තියෙනවා. ඒත් මමවත් විලියම්ස්වත් මෙහෙම දෙයක් අහලාවත් දැකලාවත් නෑ කිසිම දවසක.

ඒක නම් ඇත්ත ලෝගන් මහත්තයා. අපි කිසිම දවසක මෙහෙම අත්දැකීමක් විඳලා නෑ.

ඔබ අහලා නැති දේවල් ඕනෑ තරම් තියෙනවා නයෝමි. මම හිතන්නේ මුන් මිනී මස් වලට ඇබ්බැහිවෙලා. දැන් වනාන්තරය ඇතුලේ රෑට කවුරුවත් නවාතැන් ගන්නේ නැති නිසා මුන් තමන්ගේ දඩ බිම් පුළුල් කරලා. මම හිතන්නේ මුන් අපි දල්වපු ගිනි මැලයේ එළිය දකින්න ඇති. අපිට නින්ද යනකම් ඉදලා අපිවත් අල්ලගෙන ආහාරයට ගන්න හිතන්න ඇති. කීදෙනෙක් ආවද ලෝගන්?

හත් දෙනෙක් නිකොලස්. කිසිවෙක්ට පළායන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

කොයි වෙලාවෙද ඔබ මුන් ගැන දැනගත්තේ

ඔබත් සමඟ කතා කරමින් ඉන්නවිට. මට දැණුනා කවුරු හරි මේ අවට සැරි සරන බව. ඒත් මම මේ සිරුර පරීක්ෂා කරනකම් හරියටම දැනගෙන හිටියේ නෑ මේ ගොබ්ලින්ස්ලා කියලා. ඔබ නින්දට ගියාට පස්සේ මම බොහොම සාවධානව ඇහුම්කම් දෙමින් බලා සිටියා නියමිත වෙලාව එනකම්. මේ රාත්‍රීයේ නිහඩ බව ඒකට බොහොම ප්‍රයෝජනවත් වුනා. ඊළඟ මොහොතේ මම වැඩ පටන්ගත්තා. අඳුරේ වුවත් තැබූ වෙඩි පහරවල් හතරම සාර්ථකයි. ඉතුරු හරිය අසිපත බලාගත්තා.

ඔබ කොහොමද දන්නේ මේ ඝන අඳුරේ ඔබ තැබූ වෙඩි පහරවල් හරියටම වැදුණද කියලා? කාටවත් මේ අඳුරේ හරියටම වෙඩි තියන්න පුළුවන්ද?

නයෝමි මැතිණිය, ඔබ ලෝගන් ගැන නොදන්නා නිසයි ඔහොම කතා කරන්නේ. ඔහුගේ ඉලක්කයක් කිසිදාක වරදින්නේ නෑ. ඒ වගේම හෙට උදේට ඔබ මුන්ගේ මළ සිරුරු හෙවුවොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ගොබ්ලින් සිරුරු හතක් දක්නට ලැබේවි.

මේ පිළිතුරත් සමඟම මඟපෙන්වන්නිය පමණක් නොව ඇගේ සහකරුවාද තවදුරටත් පුදුමයට පත් වුණා. නැවත වරක් තමන් රැදී සිටිය ස්ථානයට පැමිණි ඔවුන් නින්දට පිවිසුණා. ලෝගන් සුපුරුදු ලෙසට ආරක්ෂාව සඳහා අවදිව සිටියා. රාත්‍රීය ගතවී ගියේ තවත් කිසිම අනතුරක් හෝ විශේෂ සිදුවීමකට ඉඩක් නොතබමින්.

පැය කීහිපයකට පසු හිරු වනානතරයේ ගස් අතරින් නැගී එන්නට වූයේ නව දවසකට පාර කපමින්. උදෑසන ආහාරය එහිදීම ගත් පිරිස වනාන්තරය හරහා ඉක්මනින්ම ගමන් කරන්නට වුයේ එය අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් ලෙස මේ වන විට වටහාගෙන තිබූ බැවින්ය.

ලෝගන්, ඔබලා දෙදෙනා කොහොමද ගොබ්ලින්ලා ගැන ඔය තරම් තොරතුරු දන්නේ?

සිය අසුන් හෙමින් සැරේ ලෝගන් අසලට ගෙන ආ නයෝමි ලෝගන්ගෙන් විමසා සිටියා.

මේ වගේ අද්භූත දේවල් අපට හුරුපුරුදුයි නයෝමි. මෙවන් අද්භූත, මිනිසාට හානිකර බලවේග හෝ සතුන් විනාශ කිරීම අපගේ කාර්යයයි.

ඒ කියන්නේ තවත් මේ වගේ අද්භූත දේවල් තියෙනවාද?

අනන්තවත්. අපි නොහිතන නොදකින බොහෝ දේවල් අඳුරු තිරපටකින් එහෙමත් නැත්නම් කඩතුරාවකින් වැහිලා තියෙනවා. ඒ ගැන නොදන්න කෙනෙකුට ඒ අඳුරු දේවල් වල ගොදුරක් වෙනවා නොඅනුමායි. එයින් මිනිසුන් ආරක්ෂා කිරීම තමයි අප කරන්නේ.

ඔබ සහ නිකොලස්?

නෑ නයෝමි. අපි තරමක් දුරට විහිදී ගිය සංවිධානයක් “අඳුරේ දඩයක්කරුවන්” නමින් හඳුන්වන. ලෝකයේ රටවල් කිහිපයකම අප පැතිර ගොස් තිබෙනවා. නිකොලස් අප සංවිධානයේ සාමාජිකයෙක්. ඒ වගේම මගේ හොඳ මිතුරෙක්. ඔහු අප සංවිධානයේ ලේඛනාගාරයේ භාරකරු. ඔහු මං වගේ සටන්කරුවෙක් නොවෙයි.

ඔබ මේ “ආලෝකයේ මං පෙතට” යන්නෙත් එවැනි අඳුරු බලවේගයක් සොයාගෙනද?

ඒක තවමත් හරියටම පැහැදිලි නෑ නයෝමි. ඇත්තටම කිවුවොත් අපි යන්නේ සිහිනයක් පසුපස.

සිහිනයක්? අඳුරු කාමරයක සිරකළ රැජිනක් එහෙමත් නැතිනම් දේවතාවියක් සොයාගෙනද ඔබ මේ යන්නේ?

නයෝමිගේ මේ කතාවෙන් තිගැස්සී ගිය ලෝගන් සිය අසු නවතා ඇය දෙස බැලුවා. සිය අසුත් නවතා මොහොතක් ලෝගන් දෙස බලා සිටි නයෝමි නැවතත් කිසිවක් නොකියාම ඉදිරියට ඇඳුනා.

මම කිවුව දේ හරි නේද?

මොහොතකට පසු ඇය ලෝගන්ගෙන් අසා සිටියා.

මමත් එහෙම හීනයක් දකිනවා ලෝගන්. ඒ විස්තරය තමයි මම ඔබෙන් ඇහුවේ. ඇත්තටම මම නැවත වරක් ගමට යන්නට හේතුවත් ඒකයි. ඒකයි මම ඔබලාට මඟ පෙන්වන්නත් ඉදිරිපත් වුනේ. මේක අහම්බයක් වෙන්න බෑ. අප දෙදෙනාම එකම විදිහේ හීනයක් දැකීමත් දෙදෙනාටම යන්න කියන්නේ එකම තැනක් වීමත් කිසිම විටක අහම්බයක් වෙන්න බෑ ලෝගන්.

ඔබ හරි නයෝමි. මේක අහම්බයක්වෙන්න බෑ. මම නිකොලස්ගෙන් අසා දැනගත් පරිදි මේ දේවිතාවිය නැත්නම් මේ රැජිණිය “ජීවිතයේ හා මරණයේ දේවතාවිය” ලෙස හදුන්වන්නේ. ඇය කුමක් හරි දෙයක් නිසා මගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ නිසා තමයි අපි මේ ගමන පිටත් වුනේ.

ඔය විදිහටමයි මටත් හීනේ පෙන්නේ. මම හිතන්නේ ඊයේ රෑ විශේෂයක් වුනා කියලා.

ඔව්. ඊයේ රාත්‍රියේ දැකපු හීනය වෙනදාට වඩා පැහැදිලියි. නිකොලස් නම් කිවුවේ අපි ඇයගේ බල ප්‍රදේශයට කිට්ටුවෙමින් ඉන්න නිසා හීනය වෙනදාට වඩා පැහැදිලි වෙන්න පුළුවන් කියලා. ඒත් මට හිතාගන්න බැරි ඇයට මගෙන් එහෙම නැත්නම් අපෙන් අවශ්‍ය කරන උදව්ව මොකක්ද කියලා.

මේ දේවල් මම කළින් ඔබට කිවුවේ නෑ. ඒ ඔබලා කවුදැයි නොදන්නා නිසා. දැන් මට ඔබලා කෙරෙහි යම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙන නිසා මම ඒ ගැන කියන්නම්. ඔබ දැනටමත් අපේ ජීවිත බේරාගෙන තිබෙන නිසාත් අපි දෙදෙනාම දකින්තේ එකම විදිහේ හීනයක් නිසත් මම මේ ගැන ඔබට කියන්නම්. මේවා මගේ මිත්තණිය කියපු දේවල් තමයි. ඇත්තමද කියන්න මම දන්නේ නෑ. ඒත් මම හිතනවා මේ තොරතුරු ඔබට අවශ්‍යවේවි කියලා.

     මගේ මිත්තණිය කියන විදිහට මේ රැජිනගේ බලය ලැබෙන්නේ ඇය අත දරණ බලගතු      යෂ්ටියෙන් (Scepter). පුරාතණ කටින් කට එන කතා වල කියවෙන විදිහට මේ      යෂ්ටිය රත්තරනින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම එහි ඉහල කෙළවරේ      පැති සයකින් යුත් තාරකාවක් මැද කහ පැහැති බලගතු මැණිකක් රඳවලා තියෙනවලු.      එය තමයි මේ රැජිනගේ බලයේ මූලය වෙන්නේ. මේ යෂ්ටිය ඇගෙන් ලබා ගත්තොත්      එය ඇයට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒ වගේම මේ වරක් ඇයගේ ප්‍රධාන      ආරක්ෂකයාව සිටි අයෙක් ඇයට ද්‍රෝහීවෙලා මේ යෂ්ටිය ඇගෙන් උදුරාගන්න      කැරැල්ලක් ගහලා තියෙනවා. ඒත් ඇගේ ආරක්ෂකයින් විදිහට ඉන්න ඔබලා “සයිරන්”      නමින් හැදින්වු සත්ත්ව කොට්ඨාශයට කැරුල්ල මැඩ පවත්වන්න හැකියාව ලැබිලා      තියෙනවා. ඒ වුනත් ඔවුන්ට මේ කැරලි නායකයාව අල්ලාගන්න ලැබිලා නෑ.

     කවුද මේ කැරළි නායකයා?

     ඔහුව හදුන්වන්නේ ස්ලෑන්ගාර්ඩ් නමින්. පුරාවෘත්ත වල දක්වන විදිහට ඔහුට      මනුෂ්‍යයෙක්ගේ වේශයෙන් වගේම පියාපත් සහිත සර්පයෙක්ගේ වේශයෙන්ද පෙනී      සිටින්න පුළුවන්. එතරම්ම බලසම්පන්න නෑ. ඒත් රැජිනගේ යෂ්ටිය ඔහු අතට ගියොත්      ඔහු ඉතාම බලසම්පන්න වේවි.

     ඔබ තව දුරටත් හිතනවාද මේවා පුරාවෘත්ත පමණක්ම කියා?

     නෑ ලෝගන්. මම ඊයේ රෑ දැකපු දේවල් එක්ක එහෙම හිතන්න බෑ.

මම හිතන්නේ මොකක් හරි දෙයක් නිසා රැජිනගේ බලයේ මූලය ඒ කියන්නේ මේ බලගතු යෂ්ටිය වෙන කෙනෙක්ගේ අතට ගිහින් තියෙනවා. ඒ නිසා ඔබ කියපු ස්ලෑන්ගාර්ඩ් නම් කැරළිකාරයට පුළුවන්වෙලා තියෙනවා ඇයව බලයෙන් පහකරලා හිරකරන්න. මේ දෙයින් මිදෙන්න ඇයට අපේ උදව් අවශ්‍ය ඇති. ඒත් මම දන්නේ අපි කොහොමද ඇයට උදව් කරන්නේ කියලා. ඒ වගේම ඔබේ මීට ඇති සම්බන්ධය මොකක්ද කියලා.

ලෝගන්, මම හිතනවා ඔබ හරි ඇති කියලා.

අපි බලමු අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා. අපි කලබල නොවී ඉදිරියට යමු.

හොඳයි. අද හවස් වෙන කොට අපිට ඩ්‍රාම්මෙන් නගරයට යන්න පුළුවන් වේවි. එහි රාත්‍රිය ගත කර පහුවදා උදේම ගමන පිටත් වෙන්න පුළුවන්.

එහෙම හොදයි.

එදින සවස හතර පමණ විට ඔවුන් කිසිදු උපද්‍රවයකින් තොරව ඩ්‍රාම්මෙන් නගරයට ළඟාවුනා. එහි වු අඳුරු අපිරිසිදු තානායමේ රාත්‍රිය ගත කළ ඔවුන් පසුදින උදෑසනින්ම සිය ගමන පිටත් වුනා. දිනෙන් දින කාලය ගතවී ගියේ ඔවුන්, ඔවුන්ගේ ඉලක්කය කරා බිදෙන් බිද ළගා කරමින්. ගමන පුරාම කාලගුණයෙන් එල්ල වූ කරදර නම් අපමණයි. ඔස්ලෝ හරහා එල්වරුම් වලට පිවිසුණු ඔවුන්ට එහි දින තුනක්ම රැදී සිටින්නට සිදූවුයේ අධික වර්ෂාපතනය නිසයි. සමහර ප්‍රදේශවලදී ඔවුනට බොහොම සෙමින් ගමන් කරන්නට වුයේ මාර්ගයෙහි වූ අබලන් අන්තරාදායක බව නිසාමයි. එල්වරුම් වල සිට සලෙන් වලට පිවිසෙන මාර්ගය කඳු අතරින් වැටී තිබූ පටු ඉතාමත් අන්තරාදායක එකක් වූයේ එහි ඉහළ කඳු මුදුන්වල සිට සමහර අවස්ථාවලදී ඇද හැලෙන පාෂාණ කොටස් නිසයි. වරක් එවැනි පාෂාණ කොටසක් වැදී විලියම්ස් තුවාල ලැබුවත් එය එතරම් බරපතල අනතුරක් වුයේ නෑ. එම මාර්ගය ඔස්සේ රාත්‍රී කාලයේද පන්දම් වල ආධාරයෙන් ඔවුන්ට ගමන් කිරීමට සිදුවුයේ එහි රාත්‍රීය ගත කිරීමට කිසිදු හැකියාවක් නොතිබූ නිසයි. බොහෝ බාධක මධ්‍යයේ දින විසි පහකට පසුව ඔවුන් ඉඩ්රේ නමින් හැදින්වූ කුඩා ගම්මානයට ළඟා වී තිබුණා. එතැන් සිට දින දෙකක පමණ දුරින් “ආලෝකයේ මං පෙත” පිහිටා තිබුණා.

ඉඩ්රේ ඉතාමත් කුඩා ගම්මානයක්. එහි කිසිදු නවාතැන් පොලක් තිබුණේ නෑ. ඒ නිසා ගම්මානයේ කෙළවරක ඔවුන්ට කඳවුරුක් තනා ගැනීමට සිදුවුනා. ගම්මානයෙන් මිලදී ගත් බැටළු මස්, එළවළු හා කුළු බඩු යොදාගෙන නිකොලස් ඉතා අනර්ඝ වු රාත්‍රී ආහාර වේලක් පිළියෙළ කර තිබුණේ ඔවුන්ගේ ගමන් වෙහෙස අවසන් කරන්නට මෙන්. ආහාරය අතර තුරු එයට එක්වූ අක්වවිට් බෝතලය ඔවුන්ගේ ගමන් වෙහෙස අවසන් කරන්නට බලපෑ මහත්වූ ආධාරකයක් වුනා.

නයෝමි මොකක්ද ඔබගේ අදහස අපේ ඉදිරි කටයුතු ගැන?

මෙතැන ඉදන් දවස් දෙකක දුරක් තියෙනවා “ආලෝකයේ මං පෙතට”. ඒ අතර තුර තමයි මගේ ගම පිහිටා තිබෙන්නේ. අපි එහේ නතරවෙලා විවේකයක් අරගෙන “ආලෝකයේ මං පෙතට” ඇතුල්වෙමු. මගේ මිත්තණියගෙන් මේ ගැන තවත් තොරතුරු දැන ගැනීමට හැකියාවක් ලැබෙයි සමහර විට.

මට මතක විදිහට ඔබ කිවුවා ඔබට මේ ගමන පැමිණෙන්නේ ඔබේ ගම්මානය දක්වා පමණයි කියලා.

දැන් කරුණු වෙනස්වෙලා නිකොලස්. මටත් එහි ඇතුල් වීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ ඒ බව දන්නවනේ දැනටමත්.

නිකොලොස් දෙසට හැරී සරදම් සහගත සිනාවක් පාමින් නයෝමි උත්තර දුන්නා.

අපිට අද කරදරයක් නැතුව රාත්‍රිය ගත කරන්නට පුළුවන් වේවි අපි ඉන්නේ ගම්මානය ඇතුලේ නිසා. ඒක නිසා රාත්‍රීයේ නොනිදා මුර කරන්න අවශ්‍ය නෑ. ඒත් කල්පනාවෙන් ඉන්න.

දැල්වෙන ගිනි මැළයට තවත් දර කැබලි කීපයක් එක් කරමින් නයෝමි පවසා සිටියා.

රාත්‍රීය කිසිදු උපද්‍රවයකින් තොරව ගතවී ගිය අතර උදෑසනින්ම ඔවුන් නැවත වරක් ගමනට පිවිසියා. ඉඩ්රේ වල සිට පැරඩිස් දක්වා ගමන බොහොම දුෂ්කර එකක් වුයේ ගමන් කිරීමට පැහැදිලි මාර්ගයක් නොවු බැවින්. නයෝමිගේ පාර මඟ පෙන්වීමට ඇති සුවිශේෂ හැකියාව හොදින් පැහැදිලි කරමින් ඇය ඔවුන් කිසිදු අවස්ථාවක අතර මං නොවී ඔවුන්ව නිසි මාර්ගයේම ඉදිරියට ගමන් කළා.

දින තුනකට පසු දහවල් කාලයේදී කුඩා කඳු ගැටයක් මතට නැගුණු ඔවුන්ට ඈතින් පෙනෙන කුඩා ගම්මානයක් දිස්වුනා.

අර තියෙන්නේ මගේ ගම “පැරඩිස්” එහෙමත් නැත්නම් පාරාදීසිය. අපිට තව පැය තුනකින් පමණ එහි යන්නට පුළුවන්. අපි අද එහේ විවේක ගෙන හෙට උදෑසනින්ම ගමන අරඹමු.

මෙසේ පැවසු නයෝමි, තම අසු සෙමින් එදෙසට මෙහෙයවමින් ඉදිරියට ගියා. ලෝගන් ඇතුළු පිරිස සුපුරුදු ලෙසින් ඇය පිටුපසින් සිය ගමන ආරම්භ කළා.

පැය තුනකට පමණ පසුව ඔවුන් සිවුදෙනා “පැරඩිස්” ගම්මානයට ඇතුල්වීමට ඇති පටු මං පෙතට පිවිසුනා. එතැන් සිට විනාඩි දහයක් පමණ ඉදිරියට ගිය ඔවුන්ට ගම්මානයට ඇතුල්වීමට හැකියාව ලැබුණා. ගමේ වැසියන්ගේ සමාචාරයට ලක්වෙමින් ඉදිරියට ගිය ඔවුන් තරමක් විශාල නිවසක් අසල නැවතුණා.

මේ තමයි මගේ නිවස. බහින්න ලෝගන්. මේ තමයි අදට අපේ ගමනේ නැවතුම් පොළ.

නයෝමි අසු පිටින් බසින විටම ඇයව පිළිගැනීමට මැදිවියේ කාන්තාවක් දිව ආවා. නයෝමිව තදින් වැළදගත් ඇය ඉකි ගසමින් කඳුළු සලන්නට වුනා.

අම්මා . . . . .

පෙරළා ඇයව වැළදගන්නවාත් සමඟින් නයෝමිගේ මුවින් එම හඩ පිටවුනා.

අපි දැනගෙන සිටියා ඔබ අද මෙහි එන බව. ඔබේ මිත්තණිය දවස් ගාණක සිට ඔබ මෙහි එන බව කියා සිටියා. ඇය අද උදෑසනම කිවුවා ඔබ තවත් පිරිසක් එක්ක අද මෙහි පැමිණෙන බව. ඇය කොහොම මේ දේවල් දන්නවද කියලා මට නම් හිතාගන්නවත් බෑ. අවුරුදු හතක්. මෙච්චර කාලයක් ඔබ අපිව බලන්න එන්නේ නැතිව සිටියේ කොහොමද?

නයෝමිගේ මව චෝදනාත්මකව පවසා සිටියා.

නයෝමිගේ මවගේ වදන් ඇසීමෙන් නයෝමි පමණක් නොව ලෝගන් ඇතුළු පිරිසද ඉමහත් පුදුමයට පත්වී සිටියා. මේ වන විට නයෝමිගේ පවුලේ සියළුම දෙනා ඇයව වැළද ගනිමින් උණුසුම් ලෙස ඇයව පිළිගන්නට වුනා. තවත් මොහොතකින් එහි පැමිණියේ නයෝමිගේ මිත්තණියයි.

මගේ රෝස මල. මම දැනගෙන හිටියා ඔබ අද මෙහි එනවා කියලා. මම ඒ බව හැමෝටම කිවුවා.

ලැජ්ජාවෙන් මුහුණු රතුවී ගිය නයෝමි සිය මිත්තණිය වැළඳගත්තා. ඇයගේ උණුසුමේ මොහොතක් ගත කළ ඇය

ආච්චි අම්මා, අම්මා මේ මගේ මිතුරන් පිරිසක්. මේ මගේ සහායකයා විලියම්ස්. මේ නිකොලස්. මේ ඉන්නේ ලෝගන්.

නයෝමි ඔවුන් එකිනෙකා සිය පවුලේ අයට අඳුන්වා දුන්නා. ලෝගන් දෙසට හැරණු නයෝමිගේ මිත්තණිය.

අවසානයේ ගැලවුම්කරුවා මෙහි පැමිණියා සිය කාර්යය උදෙසා. ඔබ “ආලෝකයේ මං පෙත” ඇතුල්වීමට ඔබ සුදානම්ද?

මේ ප්‍රශ්නයෙන් ගල් ගැසී ගිය ලෝගන්ගේ මුවට කිසිදු පිළිතුරුක් නැගුණේ නෑ.

ඔබ එයට සුදානම් බව මම දන්නවා. අපි නිවස ඇතුලට යමු. මම දන්නවා ඔබලා බොහොම වෙහෙස වෙලා ඉන්නේ කියලා. හැමදේම සුදානම්. එන්න.

ලෝගන්ගේ අතින් අල්ලාගත් මිත්තණිය ඔහුත් සමඟම නිවසට ඇතුල්වුනා.
___________________________________________________________________________________

KB 2021.04.01

No comments: