අඳුරේ දඩයම්කරු 14 - පැරීසිය

     බෙන්ජමින්, අපට වහාම කරත්තය ලෑස්ති කරන්න. අපි මේ දැන්ම      පැරීසියට යන්න ඕන.

     පහත මාළයට පැමිණි ලෙනොරා එලෙස අණ කිරිමෙන් අනතුරුව      දඩයක්කරුවා දෙසට හැරුණි.

     ලෝගන්, මම හිතන්නේ මගේ සැමියා ඔබට කිවුවා පැරීසියේ සිදුවු      අස්වාභාවික මරණ කීපයක් ගැන. මේ වන විට ඒ මරණ ගාණ ඉහළ      ගිහිල්ලා. පහුගිය දවස් කීපයකට පස්දෙනෙක් මරලා දාලා. එයින් එක්      අයෙක් අපේ කෙනෙක්.

ඒ කියන්නේ දඩයක්කරුවෙක්?

ඔව් ලෝගන්. මගේ සැමියා ඔබට වහාම පැරිස් නුවරට එන්න කියලා තමයි පණිවිඩය එවලා තියෙන්නේ. අපි දැන්ම පිටත්වුනොත් පැය දෙක හමාරකින් විතර පැරීසියට යන්න පුළුවන් වේවි.

හරි අපි යමු.

;මාත් එනවා.

සෙඩ්රික් කැමති නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක සෙල්ලමක් වෙන්නේ නෑ.

සෙඩ්රික් වෙත දැඩි බැල්මක් හෙලමින් ලෙනෝරා පවසා සිටියා. එවිටම වාගේ සේවකයින් දෙදෙනෙක් කිසියම් ආම්පන්න වගයක් රැගෙන ඔවුන් වෙත පැමිණියා. එයින් එක් අයෙක් ලෙනොරා අමතා,

මැතිණිය, කැතලීනා මැතිණිය මේ ආම්පන්න ටික එවා තිබුණා ලෝගන් මහතාට බාරදෙන්න කියලා.

හරි ඔහොම තියලා යන්න. කැතලීනාත් නියම වෙලාවට ආයුධ ටික එවලා තියෙනවා.

ඒක නම් ඇත්ත. මම මගේ ගමන් මල්ල අරගෙන එන්නම්.

හරි ලෝගන්. තව මොහොතකින් අස්ව රථය සූදානම් අපේ ගමනට.

තවත් විනාඩි කීපයකට පසු ඔවුන් පැරීසිය දක්වා පිටත් වුනා. ලෙනෝරා අස්ව කරත්තයේ රියදුරුට දුන් එකම උපදෙස වුයේ “හැකි ඉක්මනින් පැරීසියේ ගාර්ඩියන් මන්දරයට, කිසිම තැනක නවත්තන්න එපා” යන්නයි.

ඉතා වේගයෙන් රථය ධාවනය කළ එහි රියදුරා පැය දෙකක් ඉක්මවීමටත් මත්තෙන් පැරීසියේ ගාර්ඩියන් මන්දිරයට ළගාවුයේ ඔහුගේ හැකියාව හැමෝටම ප්‍රදර්ශනය කරමින්. ඒ වන විටත් ඔවුන් බලාපොරොත්තුවෙන් ග්‍රැන්ඩ්මාස්ටර්වරයා ගාර්ඩියන් මන්දිරයේ රැදි සිටියේය.

ලෝගන්, මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ දවස් ටිකේම නගරයේ තැන තැන කාව හරි මරලා දාලා තියෙනවා. කවුරු කරනවද කොහොම වෙනවද කියලා කියන්න කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒ මදිවට බොහෝ සිරුරුවල කොටස් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.

ඊයේ රෑ මම මේ ගැන හොයන්න යොදවලා හිටපු අපේ සංවිධානයේ දඩයක්කරුවෙක්වත් මරලා දාලා. හියුගෝ, ඔහුගේ ආත්මය සමාදානයේ සැතපෙන්න ඕන. බොහොම දක්ෂයෙක්. ඔහුගේ මරණය අපිට ලොකු පාඩුවක් ලෝගන්. එන්න අපි ඇතුලට යමු. ඔබලාට මහන්සිත් ඇති. ලෙනෝරා? මම ඔබව නම් බලාපොරොත්තු වුනේ නෑ.

මේ වගේ අවස්තාවක මම ඔබ ළගින් ඉන්න ඕන රොබට්. ඒකයි මම ලෝගන් එක්කම ආවේ.

කමක් නෑ. අපි යමු. නගරාධිපතිවරයා බලා සිටිනවා. ඔහු අපි ගැන දන්නවා. ඔහුත් අපිට උදව් උපකාර සපයන අපිට හිතැති කෙනෙක්.

නගරාධිපතිවරයාගේ නිල නිවස වු ගාර්ඩියන් මන්දිරයේ ඉහල මාළයට
ගිය ග්‍රෑන්ඩ්මාස්ටර්වරයා ලෝගන් ඇතුළු පිරිස නගරාධිපතිවරයාට හදුන්වා දුන්නා.

මට මේක හරිම හිසරදයක් වෙලා තියෙන්නේ රොබට්. නගරයේ වැසියෝ භීතියෙන් භීතියට පත්වෙලා. සමහරු නගරය අත ඇරලා දාලා යන්න හදනවා. මට මේක හරිම කරදරයක් රොබට්. අපි මොකද කරන්නේ රොබට්?

අපි පිළියමක් යොදමු රෆායෙල්. මම ලෝගන්ව ගෙන්නුවෙත් ඒකමයි.

ඔහු ඔබේ සංවිධනයේ කෙනෙක්ද?

ඔව්. ඔහු හැබෑ දක්ෂයෙක් මේ වගේ අද්භූත කාර්යයන්වලට.

ලෝගන් වෙතට සිය අත දිගු කළ නගරාධිපති රෆායෙල් බර්නාඩ්.

හදුනාගැනීම සතුටක් ලෝගන්. ඒත් මීට වඩා හොද අවස්තාවක එහෙම වුනානම් හොදයි කියලා මම හිතනවා.

ඒකට කමක් නෑ. කොයි වගේ තැන්වලද මේ පහරදීම් කරලා තියෙන්නේ?

ගොඩක් වෙලාවට නගරයේ කෙළවරට වෙන්න තමයි. සෙනඟ අඩුවෙන් ගැවසෙන තැන්වල. ඒ නිසා අපිට කිසිම හෝඩුවාවක් දැනගන්න විදිහක් නෑ. පොලීසියත් බයයි මේ දවස් වල ඒ වගේ තැන්වල ගැවසෙන්න.

මට ඔය මැරිච්ච කෙනෙක්ගේ සිරුරක් බලන්න හැකියාවක් තියෙනවද?

ඔබේ වෙලාවට ඊයේ රෑ මැරිච්ච කෙනාගේ සිරුර තියෙනවා මෘත ශරීරාගාරයේ. ඒක වැඩිය විනාශවෙලා නෑ. මම ඔබව එහි රැගෙන යන්න කෙනෙක් එවන්නම්. රොබට් කියපු විදිහට ඔහු ඔබලගේ සංවිධානයේ කෙනක්, යැයි පවසමින් නගරාධිපතිවරයා එහි වූ සීනුවක් නාද කලා.

මොහොතකට පසුව නගරාධිපතිවරයාගේ සේවකයෙක් එහි ඇතුළුව ඔහුට ආචාර කළා.

ඇල්ෆ්‍රඩ් මේ මහත්තයව මෘත ශරීරාගාරයට එක්කන් යන්න. එතන ඉන්න දොස්තර ඇඩම්ස්ට කියන්න මම මේ මහත්තයට මළ සිරුරු බලන්න අවසර දුන්නා කියලා.

අනතුරුව ලෝගන් දෙසට හැරුණු නගරාධිපතිවරයා,

ඇල්ෆ්‍රඩ් ඔබව එක්ක යාවි එතනට.

එයට වචනයක්වක් නොකී දඩයක්කරුවා ඇල්ෆ්‍රඩ් පසු පසින් පිටවී ගියා.

ඔවුන් දෙදෙනා ගාර්ඩියන් මන්දිරය ඉදිරිපිට නවතා තිබූ අස්ව රථයට නගින විටම එහි දිව ආ සෙඩ්රික් රථයට ගොඩවුයේ “ලෝගන්, මාත් එනවා ඔබත් එක්ක” යනුවෙන් පවසමින්.

විනාඩි දහයකට පමණ පැරිස් නගරයේ පොලීසියට ආසන්නව පිහිටා තිබූ මෘත ශරීරාගාරය වෙත ඔවුන් පැමිණියා. නිහඩම ඇල්ෆ්‍රඩ් පසු පස ඇදුණු. එහි සිටිය අයවලුන් නගරාධිපතිවරයාගේ ප්‍රධාන සේවකයා ලෙස ඇල්ෆ්‍රඩ්ව දැන සිටි බැවින් ලෝගන්ට සහ සෙඩ්රික්ට කිසිදු බාධාවකින් තොරව මෘත ශරීරාගාරයේ මළ සිරුරු තබා තිබෙන ශාලාවට පිවිසෙන්න ඉඩ ලැබුණා. ඒ වන විටත් දොස්තර ඇඩම්ස් එහි රැදී සිටියා. එම ශාලාවෙන් ගැලු විවිධ රසායනික ද්‍රව්‍ය වල සුවඳින් ඔවුන්ගේ නාස් පුඩු පිරි ගියා.

දොස්තර මහත්තයා, නගරාධිපතිතුමා ඔබෙන් ඉල්ලීමක් කළා අද උදේ හොයාගත්ත මළ සිරුරු මේ මහත්තයාට පෙන්වන ලෙස.

ආ ඇල්ෆ්‍රඩ් . . . කවුද මේ මහත්තුරු?

අපි නැතිවෙච්ච අපේ මිතුරෙක්ව සොයනවා. අපි දැනගන්න කැමතියි මේ මළ සිරුර ඔහුගෙද කියලා.

දොස්තර මහතා වෙත බොහොම පැහැදිලි ලෙස ප්‍රංශ භාශාවෙන් පිළිතුරු ලබාදුන්නේ සෙඩ්රික්.

ආ . . . . එහෙමද? එහෙම නම් මේ පැත්තෙන් එන්න.

මේසය උඩ තබා තිබු පහනක් අතට දොස්තර මහතා ඒ අසලවු රාක්කයක තබා තිබු මළ සිරුරක් වසා තිබූ රෙද්ද ඉවත් කළා.

මේ තියෙන්නේ ඒ සිරුර තමයි. බලන්න මේ ඔබගේ මිතුරාද කියලා?

දොස්තර මහතාගේ අතේ වු පහන ඉල්ලාගත් ලෝගන් මළ සිරුර වෙත නැඹුරු වුනා. එහි හෘදය වස්තුව ආසන්නයේ ගැඹුරු තුවාලයක් දක්නට ලැබුණා. ඊට අමතරව මළ සිරුරේ යම් පැහැය වෙනස්වීමක් ලෝගන්ට දක්නට ලැබුණා.

දෙවියන්ට ස්තුතිවේවා. මේ අපේ යාළුවා නෙවෙයි දොස්තර මහත්තයා.

මෙතෙක් වෙලා මළ සිරුර දෙස බලා සිටි සෙඩ්රික් පැවසුවා.

මොනවා වෙලාද මේ මනුස්සයා මැරිලා තියෙන්නේ? ඔහු තව දුරටත් විමසා සිටියා.

මේ පපුව ගාව තියෙන තුවාලේ තමයි මේකට හේතුව. හෘදය වස්තුවට දැඩි ලෙස හානියට පත්වෙලා තියෙනවා ඒ නිසා.

මොන වගේ දේකින්ද මෙහෙම තුවාලවෙන්න පුළුවන්?

මටත් තාම හිතාගන්න බෑ. පිහියකින් මෙහෙම විශාල වටකුරු හැඩයේ තුවාලයක් කරන්න බෑ. ඒ මදිවට ඔහුගේ ලේ වලට යම්කිසි විසක් මුසුවෙලා තියෙනවා. හරියටම කිවුවොත් ගෝනුස්සන්ගේ ඇති විසට සමාන විසක්. ඒ මට හිතාගන්න බෑ එච්චර ඒ වගේ විෂ වර්ගයක් නිපදවන්න පුළුවන් සතෙක් ඉන්නවද කියලා. ඔහුගේ ශරීරයේ ඇති විෂ ප්‍රමාණය වගේ විශාල විසක් ඇතුල්වෙන්න බල්ලෙකුටත් වඩා විශාල ගෝනුස්සෙක් වෙන්න ඕන. ඒත් අපි කවුරුත් දන්නවා ඒ වගේ ගෝනුස්සෝ නැහැ කියලා. අඩු ගානේ මේ වෙනකම්වත් හිටියේ නෑ කියලා.

එහෙම නම් ඔබට බොහොම ස්තූතියි දොස්තර මහතාණෙනි. අපි ගිහින් එන්නම්.

දොස්තරවරයාට හිස මඳක් නවා අචාර කළ ඔවුන් මෘත ශරීරාගාරයෙන් පිටවී ආවා. ගාර්ඩියන් මන්දිරයට එනකම් ලෝගන් කිසිම වචනයක් පැවසූවේ නෑ. සෙඩ්රික් දෙවතාවක් පමණ ඒ ගැන විමසා සිටියත් ඔහු එයට පිළිතුරක් දුන්නේ නෑ.

ඔවුන් නැවත ගාර්ඩියන් මන්දිරයට පැමිණෙන විට නගරාධිපතිවරයා, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා සහ ලෙනෝරා මන්දිරයේ පහළ මාළයේ අසුන්ගෙන කතා බහක නිරත වී සිටියා.

මොකක්ද තත්වේ ලෝගන්? ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ලෝගන්ගෙන් විමසා සිටියා.

තත්වය නම් භයානකයි උතුමාණෙනි.

අසලවු අසුනක වාඩිවෙමින් දඩයක්කරුවා පැවසුවා.

මම හිතන්නේ ඔබ මේ අනතුර එහෙම නැත්නම් අඳුරේ බලවේගය මොකක්ද කියලා අඳුනගෙන.

ඔව් ලෙනෝරා. මට මළ සිරුරේ තුවාලය දැක්ක ගමන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගියා. මම එකම එක සැරයක් මේ වගේ තුවාල දැකලා තියෙනවා මගේ ජීවිත කාලයක තුල. ඒ වගේම ශරීරයේ සිදුවී තිබූ පැහැය වෙනස්වීමත් මගේ මතය සනාථ කළා.

ඔබ ශරීරයේ පැහැය වෙනස් වී තිබෙන බවත් දැක්කත් අර අඩු පහන් එළියෙන්?

පුදුමයට පත්වූ සෙඩ්රික් දඩයක්කරුගෙන් විමසා සිටියා.

ඔව්. දොස්තර ඇඩම්ස් කිව්වා ගෝනුසු විස ගැන කරුණු මගේ මතය තව දුරටත් සනාථ කළා.

මොකක්ද ලෝගන් ඔබ කියන්නේ? මට තාමත් පැහැදිලි නෑ.

පැරීසිය මූණ දීලා තියෙන්නේ ඉතාමත් දරුණු අඳුරු සත්ත්වයෙකුගේ ප්‍රහාරයකට. කිසිම සැකයක් නැතුව මට කියන්න පුළුවන් මේ මැන්ටිකෝර් සතෙකුගේ ප්‍රහාරයක් කියලා. සමහර විට එකෙකුට වැඩිය ඉන්නත් පුළුවන්.

මොනවා මැන්ටිකෝර්?

ඔව්, ලෙනෝරා. ඒ ගැන මට කිසිම සැකයක් නෑ.

ඒත් ප්‍රංශයේදි මැන්ටිකෝර් සතුන් ගැන කිසිම සදහනක් වෙන්නේ නෑ. ඒ තියා මේ සතුන් වදවෙලා ගිහිල්ලා කියලා හැමෝම හිතාගෙන ඉන්නේ.

මාත් හිතාගෙන හිටියේ එහෙම තමයි උතුමාණෙනි. ඒත් මේ කරුණු වලින් අපිට පෙනී යනවා ඒක එහෙම නෑ කියලා.

මොනවද ඔබලා මේ කතා කරන්නේ? මට මොනවත්ම තේරෙන්නේ නෑ. මැන්ටිකෝර්? ඒ මොකෙක්ද? මම කවදාවත් අහලා නෑ.

මැන්ටිකෝර් (The manticore or mantichore) සතුන් ගැන ප්‍රථමයෙන්ම සඳහන්වෙන්නේ පර්සියන් ලේඛනවල. මැන්ටිකෝර් කියන නමේ දළ අදහස තමයි මිනී කන්නා නැත්නම් මිනිසුන් කන්නා කියන එක. හතරවෙනි සියවසේදි විතර එක්තරා පර්සියන් රජ කෙනෙක් ඉන්දියාවෙදි මේ සතුන් ඉස්සෙල්ලාම දැක්කා කියලා තමයි පර්සියන් ලේඛන වල තියෙන්නේ.

මේ සතා මොන වගේ එකෙක්ද ලෝගන්?

ලෙනෝරා ලෝගන්ගෙන් විමසා සිටියා.

     මේ සතා සිංහයෙක්ට වඩා ප්‍රමාණයෙන් විශාල එකෙක්. මිනිස් හිසක්      සහ සිංහයෙක්ගේ සිරුරක් තියෙනවා. ඒ මිනිස් මුණ හැමවිටම ඝණ      රැවුලකින් ආවරණය වෙලා තියෙන්නේ. ඇස් නිල් එහෙම නැත්නම් අළු      පැහැති ස්භාවයක් ගන්නවා. සිරුර රතු පැහැයක් ගන්නවා. ඒ වගේම      සිංහයෙකුගේ වලිගය වෙනුවට ගොනුස්සෙක්ගේ වලිගයක් තියෙනවා.      ඒක තමයි මේ සතාගේ තියෙන භයානකම ආයුධය. අන්න ඒ හින්දා      තමයි අර දඩයක්කරුවගේ සිරුරේ හෘදය අසලම විශාල ගැඹුරු      තුවාලයක් වගේම ඔහුගේ ශරීරයේ ගෝනුසු විස තිබුණේ. ඒ විසට      කිසිම කෙනෙක් වැඩි වෙලාවක් ජීවත්වෙන්නේ නෑ. ඒ නැතත් හෘදයට      වෙන හානියෙන් ගොදුර මියයනවා.

     අමතරව තියුණු දත්, පාද වල උල්ව වැඩුණු දැඩි නියපොතු දකින්න      පුළුවන්. ලේඛන වල කියවෙන්නේ අලි ඇතුන් හැර අනිත් ඕනම      සතෙක්ට පහර දෙන්න ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. මොකක්      හරි නොකියවුණු නොලියවුණු හේතුවක් නිසා මේ සතුන් අලි ඇතුන්ට      පහර දෙන්නේ නෑ. ඒ වගේම වවුලෙක්ගේ වගේ විශාල ප්‍රමාණයේ තටු දෙකක් මුන්ට තියෙනවා. කිසිම අපහසුවක් නැතුව මිනිහෙක් අරගෙන ඉගිල්ලෙන්න මුන්ට පුළුවන්. මට හම්බවෙලා තියෙන සත්තු අතරින් අතිශයින්ම භයානක සත්තු ජාතිය වෙන්නේ මැන්ටිකෝර්ලා. පහරදෙන්න කිසිම හේතුවක් අවශ්‍ය නෑ. මැරීම ඔවුන්ගේ විනෝදාංශයක්.

අපි කොහොමද මේ සතාව විනාශ කරන්නේ ලෝගන්?

ඒක නම් ලේසි කටයුත්තක් වෙන්නේ නෑ රෆායෙල්. මා දන්නා තරමට මේ සතා බොහොම වේගවත්. ඒ වගේම ශක්තිමත්. එහෙම නේද ලෝගන්?

ඔව් උතුමාණෙනි. ඒ කරුණු නිවැරදියි. ඒ වගේම බොහොම කපටි සත්ත්වයෙක්. උගුලකට හසුකර ගැනීම ලේසි කාරියක් වෙන්නේ නෑ. ගොඩක් කතා වලා තියෙන්නේ මැන්ටිකෝර්ලව තරුණ අවධියේම විනාශ කරලා දාන්න ඕන කියලා. සාමාන්‍ය ආයුධවලින් ඔවුන් මරන්න බෑ කියලත් කියනවා.

දෙවියනේ ! රොබට් අපි මොකද කරන්නේ?

කලබලවෙන්න එපා. ලෝගන් ගාව තියෙන්නෙත් සාමාන්‍ය ආයුධ නෙවෙයි.

ඒක නම් එහෙම තමයි උතුමාණෙනි. අපිට මේ සතාව විනාශ කරන්නම වෙනවා. මේ සතා මිනිස් මසට අතිශයින්ම කෑදරයි. ඒක හින්දා ඉදිරියටත් අනිවාර්යෙන්ම මු දඩයම් කරනවා. අපි ඊට ඉස්සර වෙන්න ඕන.

ඹබ කවද්ද දඩයම අරඹන්නේ?

මේක ලේසි කටයුත්තක් නෙවෙයි. මට මේ මිනිස් සිරුරු හම්බවෙච්ච තැන් පරික්ෂා කරන්න ඕන. ඒකෙන් මේ සතා ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් වේවි. උගේ ප්‍රමාණය, මොන වගේ වයසකද ඌ ඉන්නේ වගේ කරුණු. අනික එක සතෙකුට වඩා ඉන්නවද කියලත් දැනගන්න ඕන. නැත්නම් අපි, විශේෂයෙන්ම මම ලොකු අමාරුවක වැටෙනවා. ඒ වගේම සතා ගැවසෙන හරිය ගැන අවබෝධයක් ලබාගන්නත් පුළුවන් මට. ඒ වැඩ ටික හෙට දවල් වරුවෙදි ඉවර කරගත්තොත් මට රාත්‍රියට දඩයමේ යන්න පුළුවන්. අන්න ඒක මම තනියම කරන්න ඕන වැඩක්. අවදානම හොදටම වැඩියි.

විස්තර දැනගන්න කටයුත්තෙදි මට ඔබට උදව් කරන්න පුළුවන් ලෝගන්. ඒ සදහා අවශ්‍ය කරන අවසරය මම ලබාදෙන්නම් විශේෂ ලියවිල්ලකින්. එතකොට පොලීසියටවත් බෑ ඔබට කරදර කරන්න. ඒ වගේම මම මේ ගැන පරීක්ෂන කරන පොලිස් නිලධාරියව ඔබේ සහයට ලබාදෙන්නම්. මම හිතනවා ඒක වඩා හොදයි කියලා, මොකද ඔහු මේ හැම මළ සිරුරක් තිබ්ච්ච තැනකටම ගිහින් තියෙන හින්දා. ඔහුටත් මේක හිසරදයක් වෙලා තියෙන්නේ. වෙන මොනවද ලෝගන්?

දැනට නම් එපමණයි නගරාධිපති තුමනි

ඔබලාට මහන්සිත් ඇති මෙතරම් දුර ගමන් කරලා. මම ඔබලාට නවතින්න කාමර සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ප්‍රශ්න ඔක්කොට පැත්තකින් තියලා රාත්‍රී ආහාරය ගන්න යමු.
___________________________________________________________________________________

KB 2021.03.06

No comments: