අඳුරේ දඩයම්කරු 21 – ආගමනය

     දැවෙන චිතකය දෙස සෝබර මුහුණින් තවත් මොහොතක් බලා සිටි      ලෝගන් ආපසු හැරුණා. එළීෂාගේ ආදාහන කටයුතුවලදී ඇයට      ලබාදිය යුතු ඉහළම ගෞරවය ලැබෙන පරිදි සිදුකිරීමට රැජින අණකර      තිබුණු අතර එය බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් යුතුව      සිදුකරනු ලැබුවා. ඇගේ දැවෙන චිතකය දෙස බොහෝ වේලාවක්      බලා සිටි ලෝගන්ගේ සිත දුක්බර හැඟිම් වලින් පිරීගොස් තිබුණා.      එළීෂාගේ පමණක් නොව ශර්මිලාගේ මතකයන්ද ඔහුගේ සිතට වද      දෙමින් තිබුණා. ඔහු තීරණය කළේ තව මොහොතක්වත් මේ දූපතේ රැදී      නොසිටිය යුතු බවයි. එයින් අනතුරුව ඔහු රැජින හමුවීමට ගියේ සිය      තීරණය රැජිනියට දැනුම් දීමේ අරමුණින්. දඩයක්කරුට අවශ්‍ය ඕනෑම      වේලාවක තමන් මුණ ගැසීමේ අවස්ථාව රැජිනිය විසින් ලබාදී තිබුණා.

     ඔහු එසේ යනවිට නයෝමි හා නිකොලස් සමඟ ඉදිරි කටයුතු ගැන කතා      බහක නියුතු වෙමින් සිටියා.

     ලෝගන්, අපි ඔබ ගැන තමයි කතා බස් කරමින් හිටියේ. මම හිතනවා      ඔබ කළයුතු දේ තීරණය කරලා ඇති කියලා. ඔබට සැමදාටම මෙහි      නැවතිය හැකියි, මගේ ආරක්ෂකයා ලෙස.

ස්තූතියි රැජිනියණි. මා ප්‍රංශයට යා යුතුයි. මෙහි මතකයන් මගේ හිත රිදවනවා වරින් වර.

මා එය බලාපොරොත්තු වු දෙයක් නම් නොවෙයි ලෝගන්.

මොහොතකින් රැජින ඉදිරියේ තම එක් දණක් බිම ඇණගත් ලෝගන් තමන් අත තිබූ “ඉන්ෆීරියුම්” අසිපත ඇයට පිළිගන්වා සිටියා. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඇය, ඔහුට නැගී සිටින ලෙස සන් කළා.

ලෝගන්, “ඉන්ෆීරියුම්” අසිපතේ අවසන් හා එකම හිමිකරුවා ඔබයි ලෝගන්. එය ඔබේ ඉදිරි සටන්වලට ප්‍රයෝජනවත් වේවි. මගේ කැදවීමට බොහෝ දුර ගෙවාගෙන ඔබ මෙහි පැමිණියා. කියන්න ඔබට අවශ්‍ය කුමක්ද?

මට කිසිවක් අවශ්‍ය නෑ රැජිනියනි. මම දැන් යා යුතුයි.

ඒත් මම හිතනවා මම ඔබට යමක් දිය යුතුයි කියා. මා මෙතෙක් කල් කිසිවෙකුට ලබා නොදුන් දෙයක් ඔබට ලබා දෙනවා. එයින් ඔබට සදාකාලයටම රුදුරු අඳුරේ බලවේගවලට එරෙහිව සටන් කරන්න හැකියාව ලැබේවි.

මේ කියමනෙන් ලෝගන් පමණක් නොව නයෝමි හා නිකොලස්ද පුදුමයට පත්වුනා.

ජීවිතයේ හා මරණයේ දේවතාවිය සෙලීනා නම් වු මා ඔබට සදාකාලයටම තරුණව සිටීමට වරමක් දෙනවා. ඔබ කිසිදා වයස යන්නේ නෑ. ඔබේ ගෙළ ඔබේ උරහිස් මත රැදී සිටින තාක්කල් ඔබ ජීවත්වේවි.

මෙසේ පැවසූ ඇය තම බල යෂ්ටිය ලෝගන් වෙතට එල්ල කොට එහි ගැබ්වු ශක්තිය ලෝගන් වෙතට යොමුකළා.

යම් දිනෙක මෙම වරය අනවශ්‍ය යැයි කියා සිතුනොත් ඔබ කළයුත්තේ සිහින හරහා මා ඇමතීමයි.

අනතුරුව ඇය නයෝමි දෙසට හැරුණා.

නයෝමි, ඔබවත් මා කැඳවුයේ ලෝගන්ව මෙන්ම සිහිනවලින්. ඔබ මාව ආරක්ෂා කළා අවශ්‍යම මොහොතේදී. ඔබ කැමතිද මගේ ආරක්ෂිකාව හා උපදේශිකාව ලෙස ඉදිරියට කටයුතු කරන්න? එය ඔබේ ඔබේ මුතුන් මිත්තන් විසින් අතහැර දැමු ඔබේ උරුමයයි.

මා එය පිළිගන්නවා රැජිනියනි.

නිකොලස්, ඔබට අවශ්‍ය කුමක්ද?

රැජිනියනි, මා කැමතියි මෙහේ නතරවෙන්න. එයට ඔබගේ අවසරය ලැබේවි කියා සිතනවා.

ඒ ගැන ගැටළුවක් නෑ නිකොලස්. ඔබට සදහටම වුවත් මගේ රාජධානියේ නවතින්න පුළුවන්.

ස්තුතියි ඔබතුමියට.

ලෝගන්, ඒ ආරාධනාව හැමදාටම ඔබට විවෘතයි.

ස්තුතියි රැජිනියනි. එහෙත් මා නැවත යා යුතුයි.

රැජිනට හිස නමා අචාර කොට ලෝගන් පිටවී ගියේ තමන්ගේ ගමනට අවශ්‍ය කටයුතු සුදානම් කරගැනීමටයි. පසුදින උදෑසනම ලෝගන් නැවත වරක් ප්‍රංශයට යෑමට පිටත්වුනා. ආලෝකයේ මං පෙත තරණය කිරිමට රැජින ඔහුට කුඩා භට කණ්ඩායමක් ලබා දී තිබුණා. ඔහු ගමනට සුදානම්ව, තමන්ව රැගෙන යාමට නියමිතව තිබූ යාත්‍රාවට ගොඩවීමට එහි වු කුඩා තොටුපලට පැමිණියා. ඒ වන විටත් නයෝමි හා නිකොලස් එහි පැමිණ සිටියා.

ලෝගන්, මම හිතන්නේ නෑ ඔබව අපට නැවත දැකගැනීමට හැකියාවක් ලැබෙයි කියලා.

ඒක කියන්න දන්නේ නෑ නිකොලස්. සමහරවිට අපි කවදා හෝ කොහෙදී හෝ නැවත වරක් හමුවේවි.

ලෝගන් වැළඳගෙන ආචාර කළ නිකොලස් ඔහු විසින් ලියන ලද සටහන් පොතක් ලෝගන් අතට දුන්නා.

මේක ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා අතට දෙන්න. අපේ ගමනේ සියළුම සටහන්, විස්තර මේකේ තියෙනවා. ඔබේ අමරණීයභාවය ගැන හැර.

අනතුරුව නයෝමි දෙසට හැරුණු ලෝගන්, ඇයවත් වැළදගෙන ආචාර කළා. අනතුරුව තම උරහිස හරහා දමාගෙන සිටි කටානා අසිපත අතට ගත් ඔහු එය නයෝමිගේ අතේ තබා, කිසිවක් නොකියාම තමන් වෙනුවෙන් සූදානම්කර තිබු කුඩා යාත්‍රාවට ගොඩවුනා. මොහොතකින් දියත් වූ යාත්‍රාව උදෑසන මීහිදුම මැද නොපෙනී ගියා.

ඔබ නැවත යා යුතු කාලය හරි. ඔබ අතීත මතකයන් අතර ගතකළ කාලය වුවමනාවටත් වඩා වැඩියි. මේ ඔබ නැවත යා යුතු කාලයයි.

ඈතින් පැහැදිලිව නැවත වරක් ඇසුණු වදන් පෙළට අනුගත විය යුතුව බව ඔහුට සිහිනයකින් මෙන් හැගී ගියා. එහෙත් එය එතරම්ම පහසු කටයුත්තක් නොවන බවද ඔහුද දැනී ගියා. කීපවරක් උත්සාහ කළත් තම ඇසි පිය හැරීමට ඔහුට හැකියාවක් ලැබුණේ නෑ. අනතුරුව තප්පර කිහිපයක විවේකයක් ගත් ඔහු සියළු වෙර වීරිය යොදා නැවත සිය ඇසි පිය හරින්නට උත්සාහ කළා. එවර නම් ඔහුගේ උත්සාහය සාර්ථක වන බවක් පෙනී ගියේ ඇසි පිය අතරින් යම් ආලෝකයක් දැකීමට ඔහුට හැකියාවක් ලැබුණු නිසයි. මොහොතකට අවට පරිසරය අපහැදිලි වී ගියද කෙමෙන් කෙමෙන් එය තවදුරටත් පැහැදිලි වෙන්නට පටන්ගත්තා. අවට පරිසරයේ වූ ආලෝකය ඔහුගේ ඇසට අපසුවක් ගෙන දුන්නද ස්වල්ප වේලාවකින් ඇස එයට හුරුවෙන්නට වුයෙන් පැහැදිලිවම තම අවට නිරීක්ෂනය කිරීමට හැකියාවක් ලැබුණා.

ඔහු පළමුවෙන්ම දුටුවේ තමන් අසලම පුටුවක් තබාගෙන එහි නින්දට වැටී සිටි සුරූපී තරුණියක්. තවත් මොහොතකට පසුව ඔහුට ඇයව හඳුනා ගැනීමට අවකාශ ලැබුණා.

කැතලීනා . . . . කැතලීනා . . . .

තරුණිය මොහොතකින් ඇස් ඇර ඔහු දෙස බැලුවා. ඇගේ ඇස්වලින් දකින්නට ලැබුණේ විශ්මයක්. මොහොතකින් ඇගේ වත මහත් වූ සිනහවකින් පිරී ගියා.

ලෝගන් . . . . .

ඔබ අවදියෙන් . . . . ඔබ ඇත්තටම අවදියෙන්ද? මට හීන පේනවා නොවෙයි නේද?

ඔව් කැතලීනා මම අවදියෙන්. කෙතරම් දිනක් මා මෙසේ සිටියද?

වහාම නැගී සිටි ඇය ලෝගන්ගේ නළලට සිය පිටි අල්ල තබා බැලුවා.

ඔබේ උණ පහව ගිහිල්ලා. මම දන්නේ නෑ ලෝගන්. දින පවා මගේ මතකයෙන් ගිලිහී ගිහිල්ලා. මම හිතන්නේ දින දහයක්. ඔව්, හරියටම දින දහයක් ඔබ මේ ඇදේ වැතිර සිටියා. ඔබ හොදටම උණින් පෙළුනා. මම හිතුවේ නෑ ඔබ නැවත අවදිවේවි කියලා. මම හිතුවේ ඔබ මියයයි කියලා.

මේසේ පැවසූ ඇය නැවත වරක් පුටුවේ වාඩිවී කඳුළු සලන්නට ගත්තා.

බයවෙන්න එපා. මට මැරෙන්නට බෑ. අඩු තරමේ මේ ඊට කාලය නොවෙයි.

ඔබට නම් විහිළු. මොනවද ඔබට මතක?

මැන්ටිකෝර්ගේ හිස් කබළ පලාගෙන යන්න මගේ අසිපත එල්ල කරනවා මතකයි. එපමණයි. ඊට පසු සිදුවූ කිසිවක් මා දන්නේ නෑ. කෝ මගේ අසිපත?

ඊට දවස් දහයකට පසුව තබා ඔබ අවදිවුයේ. මැන්ටිකොර්ගේ විෂ ඔබේ ශරීර ගතව තිබ්බා. එයට විරුද්ධව භාවිතා කරන්න ප්‍රති විෂක් හදන්න අප උත්සාහ කළත් එය සාර්ථකව කරගන්න අපිට හැකියාව ලැබුණේ නෑ. ඔබේ අසිපත ආරක්ෂිතව මෙහි තියෙනවා.

ප්‍රති-විෂ අත ළඟ තිබිලත් ඔබ එය පාවිච්චි කරලා නෑ එහෙනම්.

ප්‍රති-විෂ? අත ළඟ? මොකක්ද ලෝගන් ඒ කතාවේ තේරුම? මා දන්නා තරමින් නම් මැන්ටිකෝර් විෂ මර්දනය කළ හැකි ප්‍රති විෂක් ඇත්තේ නෑ. මා ඒ සඳහා කළ සියළු පරීක්ෂනයන් අසාර්ථක වුනා.

“කුරාරි”. එය මැන්ටිකෝර් විෂට විරුද්ධව ප්‍රති විෂක් ලෙස යොදාගත හැකියි. නව තාක්ෂනික අංශයේ ප්‍රධානිය එය දන්නේ නැද්ද?

ලෝගන්. මම රැයක් දවාලක් කෑමක් නැතුව ඔබ ළගට වෙලා ඉන්නවා. ඔබ දවස් දහයකට පස්සේ නැගිටලා මට සමච්චල් කරනවා. මම පැමිණිලි කරනවා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා.

මොනවද කැතලීනා ඔබ මා සමඟ පැමිණිලි කරන්නේ? කාත් එක්කද ඔබ කතා කරන්නේ?

කාමරයට පැමිණි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ හා ලෙනෝරාගේ ඇස ගැටුණේ මඳ සිනහවක් මුවේ නංවාගත් දඩයක්කරුවාවයි.

ලෝගන්? මේක නම් විශ්වාස කරන්න බැරි තරම් පුදුමයක්.

ක්ෂණයකින් ලෝගන් වෙතට දිව ආ ලෙනෝරා ඔහුව සිප වැළද ගත්තා.

ලෝගන්, අපි හිතුවා ඔබ යළිත් නැගිටින එකක් නෑ කියලා. දවස් දහයක් තිස්සේ ඔබෙන් කිසිදු වෙනසක් දැක්කේ නෑ. ජීවිතයත් මරණයත් අතර දෝලනයවෙමින් සිටියේ. දැන් ඔබ නැගිටිලා සුපුරුදු විදිහට.

ලොනෝරා, ඔබ දැනගෙන හිටියේ නැද්ද මම විශේෂයි කියලා?

ඒ ගැන මම දන්නවා ලෝගන්. ඒත් මේ මොහොත දක්වාම මම එය විශ්වාස කළේ නෑ.

ලෙනෝරා වෙනුවට පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පවසා සිටියා.

මොනවා? එතකොට මීට මොහොතකට පෙර කියූ කතාව ඇත්තක්ද?

මොනවද කැතලීනා ඔබ මේ කියන්නේ?

ලෙනෝරා, මොහොතකට පෙර ලෝගන් කියා සිටියා ඔහුට මිය යා නොහැකි බව.

ඒක එක්තරා විදිහක ඇත්තක්. හැබැයි ඒ ගැන වෙන කිසිවෙක් දැනගත යුතු නෑ.

නැවත වරක් ලෙනෝරාට පෙර කැතලීනාට පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පවසා සිටියා.

ඔබේ තුවාලයේ තත්වය කොහොමද?

මම හිතන්නේ දැන් ඒක සුවවී ඇති.

එහෙම වෙන්නේ කොහොමද ලෝගන්. මම ඊයෙත් ඔබේ තුවාලයට පිරිසිදු කර ඊට අවශ්‍ය ඹෟෂධ යෙදුවනේ.

ඇත්තටම කිවුවොත් මම, මගේම මතකයන් අතරේ අතරමංවෙලා හිටියේ. ජීවත්වෙනවද නොවෙනවද කියන එක ගැන පැහැදිලි තීරණයක් තිබ්බේ නෑ. ඒක බලපාන්න ඇති තුවාල ඉක්මනින් සුවනොවන්න.

අපි බලමු.

එසේ පැවසූ ලොනෝරා, කැතලීනා හා එක්ව ලෝගන්ගේ වම් උරහිසේ මැන්ටිකෝර්ගේ පහරදීමෙන් සිදුවු තුවාලය වෙලා තිබූ වෙළුම් පටි ඉවත්කර බැලුවා. ලෝගන් හැර අනිත් සියල්ලන්ම ඔවුන් දුටු දසුනින් පුදුමයට පත්වුනා. ලෝගන්ගේ උරහිසේ තුවාලයක් තබා තුවාල කැළලක්වත් දක්නට ලැබුණේ නෑ.

ලෝගන්, කොහොමද එහෙම වෙන්නේ?

එය තමයි සෙලීනා රැජිනයගෙන් මා ළඟ ත්‍යාගය. නැත්නම් වරය.

ඔය ප්‍රශ්න ඇහුවා ඇති, ලෝගන්ට කෑමට යමක් ගෙන්න. දැන් දවස් ගාණකින් හරියට කෑමක් නෑනේ ඔහුට.

කැතලීනාගෙන් තවදුරටත් නැගුනු ප්‍රශ්න වළකමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ප්‍රකාශකර සිටියා. ස්නානයකර, ආහාර ගැනීමෙන් අනතුරුව, ඔහු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා කතාවට වැටුණා.

පැරිස් නුවර වාසීන්ට ඔබතුමා මොනවද කිවුවේ?

නගරාධිපතිවරයත් එක්ක එකතුවෙලා අපි කිවුවා ඒක වෘකයෙක්ගේ වැඩක් කියලා. සමහර මිනිස්සු නම් ඒ කතාව පිළිගත්තේ නෑ. ඒත් එකෙන් ඇතිවිය හැකි බොහොමයක් ප්‍රශ්න වළකාගත හැකිවුනා. මැන්ටිකෝර්ගේ සිරුර මම කැතලීනාට ලබාදුන්නා. එය නිදර්ශකයක් ලෙස සංරක්ෂණය කරන්න. ලෝගන්, මගේ අදහසක් තියෙනවා අපි මේ සටන්කරන අද්භූත සතුන්ගේ හා අනිකුත් දෑ එකතු කරලා කෞතුකාගාරයක් නිර්මාණය කරන්න. හැබැයි රහසිගත් එකක්. ඒක අපේ අනාගත සාමාජිකයින්ට වැදගත්වේවි කියලා හිතනවා. පොත්වලින් කියවනවාට වඩා යම් අදහසක් ලබාගන්න ඔවුනට හැකිවේවි එයින්. මැන්ටිකෝර් තමයි එහි පළවෙනි නිදර්ශකය වෙන්නේ.

මේ ගැන කිසිදු අදහසක් පළනොකළ ලෝගන් මඳ සිනහවක් නැගුවා.

මම අර කිවුව කණ්ඩායම මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. මම ඔවුන් වෙනුවෙන් විල්පාන්ට් වලට මදක් දකුණට වෙන්න කැළෑබද ප්‍රදේශයක තියෙන නිවසක් වෙන් කරලා දුන්නා. ඒ කණ්ඩායමේ අවසාන සාමාජිකයා අද රෑ විල්පාන්ට් වලට ළගා වෙනවා. අපිට පුළුවන් හෙට ඔවුන්ව මුණ ගැහෙන්න. මම හිතනවා ඔබට එයට හැකියාවක් තියෙනවා කියලා.

ඒ ගැන කරදරවෙන්න එපා. මම සම්පූර්ණ සුවයෙන් ඉන්නේ. අපි හෙට කොයි වෙලාවටද යන්නේ?

අපි දහයට විතර යමු. මගේ සුපුරුදු අශ්ව රථය මේ ගමනට යොදා නොගෙන වෙනත් නිතර පාවිච්චි නොකරණ රථයක් මෙයට යොදා ගමු. මෙම මුණ ගැසීම් රහසිගතවන තරමට හොදයි. අපි මේ ගැන වැඩිපුර තොරතුරු දැනගන්න තාක්කල් කිසිවෙකු අපිට විශ්වාස කළ නොහැකියි.

ඒක ඇත්ත‍ උතුමාණෙනි. අපි ඒ විදිහට ක්‍රියාත්මක වෙමු.

මොවුන් දෙදෙනාගේ කතා බහ නිමවෙනවාත් සමඟම එහි දිව ආ සෙඩ්රික් ලෝගන්ව වැළඳගත්තා.

ලෝගන්, ඔබ සුවෙන් සිටිනු දැකීම මට ඉමහත් සතුටක්. මම බොහොම කණගාටුවෙන් හිටියේ එදා සටනෙදි ඔබ වෙනුවෙන් යමක් කිරීමට නොහැකිවීම ගැන.

ඒ ගැන හිතන්න එපා. ඔබ කරපු හරිය හොදටම ඇති. මොනවද ඔබ මේ දවස්වල කළේ?

මම ඔහුට කිව්වා සටන් පුහුණු පාසලට ගොස් පුහුණුවීම් කටයුතු කරන්න කියලා. එය සෙඩ්රික්ගේ අනාගත කටයුතුවලටත් හොදයිනේ.

ඒක හරි උතුමාණෙනි.

සෙඩ්රික්, හෙට උදෑසන අපිට එළියට යන්න තියෙනවා. දහය වන විට සුදානමින් සිටින්න.

හොදයි උතුමාණෙනි.

ඉන් අනතුරුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඔවුන්ගෙන් වෙන්වී ගියා. ලෝගන්ගෙන් ප්‍රශ්න රාශීයක් ඇසීමට සෙඩ්රික් සුදානම් වුවත් ‍ලේඛන අංශයේ භාරකරු ‍ජෙරාඩ් ලෝගන්ව සොයා එහි පැමිණි නිසා ඔවුන්ගේ කතාව නැවතීමට සිදුවුනා.

පසුදින දවල් දහයට පමණ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා, ලෝගන් හා ‍සෙඩිරික් කැටුව අසිපතේ මාළිගාවෙන් පිටවී ගියේ විල්පාන්ට්හි කැළෑබද පෙදෙසක පිහිටා තිබූ ස්ථානයකටයි. ඔවුන් ගමන සඳහා යොදාගත්තේද ග්‍රැන්ඩ් මාස්ටර්වරයා තම ගමන් බිමන් සඳහා කලාතුරකින් පමණක් යොදා ගන්නා අශ්ව රථයක්. විනාඩි විස්සක පමණ ගමනකින් පසු ඔවුන් එම ස්ථානයට ළඟාවුනා. එහි වු නිවසද වනයට ආසන්නයේම තිබූ බැවින් එය කිසිවෙකුගේ නෙත ගැටීමෙන් වැළකුණා. අශ්ව රථයෙන් බැසගත් ඔවුන් තිදෙනා එහි ඇතුල්වන විටත් එම කණ්ඩායම අදාළ අනිත් සමාජිකයිනුත් එහි එක් රැස්ව සිටියා. ඔවුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හිස නමා ආචාර කොට ඔහුව බොහොම උණුසුම් විදිහට පිළිගත්තා.

උතුමාණෙනි, මා සිතුවේ නෑ ඔබ අද මෙහි ඒවි කියලා.

නොඑන තැනට තමයි වැඩ කටයුතු යෙදී තිබුණේ. ඒත් ඒක නොසිතු විදිහට වෙනස්වුනා.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ලෝගන් දෙස බලමින් පැවසුවා.

මං හිතන්නේ කට්ටිය මේ වෙනකොට එකිනෙකාව හදුනගෙන ඇති. ඒත් මෙතන අළුත් සාමාජිකයින් දෙදෙනෙක්ම සිටින නිසා එකිනෙකා නිසි පරිදි හදුනාගත්තොත් හොදයි කියලා මම හිතනවා. එහෙම හොදයි නේද?

සියලුදෙනාම තමන්ගේ හිස් සලා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ අදහසට සිය එකඟතාවය පළකළා.

හොදයි මම අතන වාඩිවෙලා ඉන්න ක්වින්ස්ටස්ගෙන්ම පටන් ගන්නම්.

මදක් එහායින් වු අසුනක අසුන්ගෙන සිටි අයෙක් පෙන්වමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පැවසුවා.

ඔය ඉන්නේ ක්වින්ටස් ඩේවිඩ් මැක්ඇලිස්ටර්. කෙටියෙන් ඩේව් කියා හදුන්වනවා. ඔහු තමයි ඔහු පැමිණියේ රෝමයේ සිට. අප සොයාගන්නා කරුණු වැඩිදුර අධ්‍යනයට කරන්නේ ඩේව්. ඒ සඳහා විශේෂිත වු හැකියාවක් තියෙනවා. එහෙම නේද? ඒ විතරක් නෙවෙයි ඔහුට වතිකානුවේ රහස් ලේඛනාගාරයට පවා ඇතුල්වීමට අවසරය තියෙනවා.

තමා පැළඳගෙන සිටි හිස් වැස්ම ගලවා අන් අයට ආචාර කළ ඔහු මඳ සිනාවක් පෑවා.

ඔහුට වම් පැත්තෙන් සිටින්නේ ටාරා මැක්ලේන්. ඇය එංගලන්තයේ සිට පැමිණි දක්ෂ මායාකාරියක්. අඳුරේ නෙවෙයි, අන් අයගේ යහපත වෙනුවෙන් වැඩ කරන සටන්කාරියක්. මගේ දකුණු පැත්තෙන් සිටින්නේ සහන්‍යා චැඩ්වික්. ඇයට ඉන්දියානු සම්භවයක් තියෙනවා. ඇය බොහොම දක්ෂ සටන්කාරියක්. ඒ වගේම ඇයට වෙස් වලාගෙන කටයුතු කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා.

ටාරා හා සහන්‍යා දෙදෙනාම ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිසට ආචාර කර සිටියා.

මෙතන සිටගෙන සිටින හැඩි දැඩි පුද්ගලයා මාක් කැල්වින් බැටිස්ටා. ඔහු දක්ෂ වෙඩිකරුවෙක්. ඒ වගේම ඔහුට භාෂා පහක් චතුර ලෙස ලිවීමේ, කියවීමේ හා කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඔහුත් එංගලන්ත වැසියෙක්.

මේ ඉන්නේ සෙඩ්රික්. ස්කොට්ලන්තයේ සිට පැමිණියේ. දීප්තිමත් අනාගතයක් හිමි තරුණයෙක්. ඔහුත් මේ කාර්යයට එකතුවෙනවා. අවසානයට හොදම දේ තියාගත්තා මම. මේ ඉන්නේ ලෝගන්. අප සංවිධානයේ පැරණි ඒ වගේම පළපුරුදු සටන්කරුවෙක්. ඔහුගේ අවසාන ගොදුර වුනේ පැරීසියට විනකළ මැන්ටිකොර් සත්ත්වයෙක්. ඒ වගේම ඔහු මගේ හොඳ මිත්‍රයෙක් බොහෝ කළක සිටම.

එවිට නම් විශ්මය පළකරන හඩවල් කිහිපයක්ම පිරිස අතරින් පැන නැගුනා.

මටත් ඒ බව ආරංචි වුනා. ඒත් මා ඒ බව විශ්වාස කළේ නෑ. මැන්ටිකෝර් සත්ත්වයෙක් සමඟ සටන් වැදිලා පරාද කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් සිටිය හැකි බව මම විශ්වාශ නොකළ නිසා.

දැන් ඔබට ඒ කතාව විශ්වාස කරන්න වෙනවා ටාරා. එම සටන වෙනකොට මමත් ඒ අසල සිටියා.

සෙඩ්රික්ගේ කතාව හරි ටාරා. ඒ කතාව ඇත්ත. හරි, දැන් හැමොම එකිනෙකාව දන්නවා. මම මෙහෙම කියන්නම්. මම මේ කියන්නට යන කාරණාව තහවුරු කිරීමට මට පැහැදිලි සාක්ෂි නෑ. මට සැකයක් විතරයි තියෙන්නේ. ඔබලාට තියෙන්නේ මං රැගෙන ඇවිත් තියෙන සටහන් පොත් හා වාර්තා විශ්ලේෂනය කර ඒ ගැන නිගමනයකට ඒමට. මම හිතන්නේ ඒක ප්‍රධාන වශයෙන්ම ඩේව්ගේ කාරියක්. මම කියන දේ ඔබලාට පැහැදිලිද?

කාරණය පැහැදිලියි ග්‍රෑන්ඩ් මාස්ටර්තුමනි.

හරි. සෙඩ්රික් කරත්තේ ඇති සටහන් පොත් කිහිපයකුයි වාර්තා කිහිපයකුයි. අන්න ඒ ටික අරගෙන එන්න.

ඒ අතර තුර යම් සිදුවීමක් වුනොත් අපිට ඒ ගැන සොයබලා කටයුතු කරන්නට සිදුවේවි.

ඒ අතර කරත්තයෙන් අවශ්‍ය ලිපි ගොනු, සටහන් පොත් හා වාර්තා රැගෙන ආ සෙඩ්රික් ඒවා මේසය මත තැබුවා.

ස්තුතියි සෙඩ්රික්. මෙතන ඔබට අවශ්‍ය දේවල් තියෙනවා. ඔබට අදම වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්.

මම අදම වැඩ පටන් ගන්නම්.

ඔබලාට අවශ්‍ය නම් නව තාක්ෂනික අංශයට ඇවිල්ලා අළුත් ආයුධ හා වෙනත් උපකරණ ලබාගන්න පුළුවන්. එහෙමනම් අපි පසුව හමුවෙමු. විශේෂ අවශ්‍යතාවයක් වුනොත් මට පණිවිඩකරුවෙක් එවන්න. ලෝගන්, අපි යමු.

කාමරයේ සිටි පිරිසට ආචාර කළ ලෝගන්, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා සෙඩ්රික් සමඟ එතනින් පිටවුනා.
___________________________________________________________________________________

KB 2021.05.22

No comments: