අඳුරේ දඩයම්කරු 23 – රහසිගත හමුව

වැඩි කාලයක් ගත නොකරම රථයේ රියදුරා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිස රහස් හමුව සිදුවන්නා වු ස්ථානයට ගෙනගියා. රාත්‍රි අඳුර පරිසරය ගිල ගනිමින් දසත ගලා යන්නට වුනා. එය ඇත්තටම රහස් හමුවකට කදිම රාත්‍රියක්. අඳුරටම මුවා වු ලෝගන් ඇතුළු පිරිස රහස් හමුව සිදුවන්නාවු නිවසට ඇතුළු වුයේ කිසිවෙකුගේ ඇසකට ලක්නොවෙමින්.

උතුමාණනි, අවසරයි, අසුන්ගන්න. මෙහි ඔබේ මැදුරේ වගේ පහසුකම් නෑ.

මඳ සිනහවක් සිය මුවට නගාගත් සහන්‍යා පවසා සිටියා. එයට සිනහවකින්ම පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එහි වු ආසනයක අසුන් ගනිමින් ඩේවිඩ්ව ඇමතුවා.

මොනවද ඩේවිඩ් ඔබ හොයාගත්තේ?

එයට පිළිතුරුක් නොදුන් ඔහු නයෝමි දෙසට බැල්මක් හෙලුවා. එම බැලුමේ අර්ථය වහා තේරුම්ගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා,

ඩේවිඩ්, මේ නයෝමි ජෙනෙවියර්. ලෝගන්ගේ පැරණි මිතුරියක්. ඇය ගැන සියයට සියක් විශ්වාසය තියන්න පුළුවන්. මාත් සමඟ බෙදාගන්න සෑම දෙයක්ම ඇයත් සමඟත් බෙදාගන්න ඔබලාට පුළුවන්. ඇරත් ඇය බොහෝ දුර බැහැරක සිට මෙහි පැමිණියේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් රැගෙනයි.

මේසේ පැවසු ග්‍රැන්ඩ් මාස්ටර්වරයා නයෝමි තමන්ට එළිදරවු කළ කරුණු ඩේව් ඇතුළු පිරිස ඉදිරියේ දක්වා සිටියා. මේ කරුණු අසා මදක් වේලා නිශ්ශබ්දව බලා සිටි ඩේව් සිය මුව විවර කළා.

මේ කරුණු වලින් සිද්ධවෙන්නේ අප සොයාගත් කරුණු තවත් තහවුරු වෙන එක. ඔබතුමා දුන්නු ලිපි, සටහන් හා අනිකුත් තොරතුරු ඉතා සියුම්ව විශ්ලේෂය කිරීමෙන් අනතුරුව අප සංවිධානයට එරෙහිව ක්‍රියාත්මකවන බලවේගයක් තිබෙන බව මට පෙනී ගියා. නයෝමි ගෙන ආ විස්තරත් එක්ක ඒ කාරණය තවදුරටත් තහවුරු වෙනවා. මම සහන්‍යාව පිටත් කළා පැරීසියේ තියෙන සුප්‍රකට තැබෑරුමක් වෙතට. එය පැරීසියේ ඉන්න මංකොල්ලකරුවන්, කුළී ඝාතකයන් හා වෙනත් නිතී විරෝධි ක්‍රියාවන්වන යෙදෙන්නන් අතර බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්.

     ඔබ ඔය කියන්නේ පැරීසියේ දකුණු පස සෙරීන් නදියට ආසන්නයෙන්      රතියෙන නිල් තරු දෙකේ තැබෑරුම ගැන නේද?

     ඔව් ලෝගන්. ඔබත් ඒ ගැන දන්නවා වගේ. සහන්‍යාට එහිදී කුළී      ඝාතකයන් දෙදෙනෙක් අතර සිදුවන්නා වු කතාබහක් අහම්බෙන් කණ      රවැටිලා තියෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් සඳහන් කරලා තියෙනවා      අප සංවිධානය ගැන. මේ කතාවෙන් මීට වඩා වැඩිදෙයක් ගැන කතා      නොවුනත් මේ කතාව අවසන් කරලා යන්න හදපු කුළී ඝාතකයව      සහන්‍යාට හමුවෙනවා තැබෑරුමට සැතැප්ම කීපයක් එහායින් තියෙන      පාළු පෙදෙසෙදි. කතාවේ ඉතිරි විස්තරය කියන්න මම සහන්‍යාටම අවස්ථාව ලබාදෙන්නම්.

ස්තුතියි ඩේව්. කුළී ඝාතකයා තැබෑරුමෙන් පිට වෙලා යනවාත් සමඟින්ම ඔහුට නොදැනීම මම ඔහුව ලුහුබැදගෙන ගියා උතුමාණනි. තැබෑරුමට එහායින් තියෙන පාළු පෙදෙසෙදී ඔහුටත් නොදැනීම මම ඔහුව කොටු කරගත්තා. මුලින්ම මේ ගැන කිසිම දෙයක් නොදන්නා වග මේ ඝාතකයා පැවසුවත් මම ඔහුගෙන් තොරතුරු ගන්න පාවිච්චි කරපු උපක්‍රම වැඩිවේලාවක් දරාගෙන ඉන්න ඔහුට හැකියාවක් ලැබුණේ නෑ. ඔහු දැනගෙන හිටියේ බොහොම පොඩි තොරතුරු ප්‍රමාණයක්. මගේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු සියල්ලම ගිරවෙක් වගේ වැමෑරුවා.

මොනවද ඔබට දැනගන්න ලැබුණේ සහන්‍යා?

ඇත්තටම ඔහු දැනගෙන හිටියේ ඉතාමත් අල්ප වු තොරතුරු ප්‍රමාණයක්. ඒ දේවල් අපට වැදගත්වන්නේ නෑ එක් දෙයක් හැරෙන්නට. මට සොයාගන්න ලැබුණු වැදගත්ම දෙය තමයි පැරිසීයේ විශේෂ ස්ථානයක හෙට රාත්‍රි දහයට යෙදිලා තියෙන රහසිගත හමුවීමක් ගැන තොරතුරු. මේ පුද්ගලයා කියන විදිහට මේ තමයි ඔවුන්ගේ පැරිස් මූලස්ථානය. ඒ වගේම ඔවුන්ගේ පැරිස් නායකයා මේ හමුවීමට පැමිණෙන බව.

ඔබ මේ ඝාතකයට යන්න දුන්නද?

ඔව් සෙඩ්රික්. මම ප්‍රශ්න කිරීම අවසානයේ ඔහුව ඇරියා අපායටම. මේ ඝාතකයා හවුල් අපෙන් දෙදෙනෙක් මරා දමන්නට. ඒක දැනගත්තහම ඔහුට කිසිම සමාවක් දෙන්න අවශ්‍යතාවයක් ඇතිවුනේ නෑ මට.

සහන්‍යා

උතුමාණෙනි ?

කොහෙද මේ රහස් හමුව තියෙන්නේ?

පැරීසියේ රොසිටා මන්දිරයේ.

මොනවා? ඔබට එය හොදටම විශ්වාසද?

ඔව්. මගේ ප්‍රශ්න කිරීම තුළ කුළී ඝාතකයාට කිසිම බොරුවක් කියන්න කිසිම ඉඩක් නෑ.

මේක මම හිතුවාටත් වඩා ලොකු ක්‍රමණ්ත්‍රනයක්. පැරීසියට සැතැප්ම නවයක් පමණ දකුණු දිගින් “රුන්ගීස්” වල තමයි රොසිටා මන්දිරය පිහිටා තිබෙන්නේ. එය පැරිසීයේ සිටින ලොකුම ධනවතෙකුට අයත් අතහැර
දැමූ මන්දීරයක්. ප්‍රශ්නය තියෙන්නේ එහි අයිතිකරුවා ගැන.

ඒ ඇයි?

ලෝගන් එය අයිති නගරාධිපතිවරයාගේ සහෝදරියට. මට හිතාගන්න බෑ මේ ක්‍රමණ්ත්‍රනය කෙතරම් දුරට ප්‍රංශය ආක්‍රමණය කරලද කියන්න. බැරිවෙලා හරි නගරාධිපතිවරයා මෙයට සම්බන්ධ නම් ඔහු අප ගැන යම්තාක් දුරකට තොරතුරු දන්නවා. මම දන්නේ නෑ නගරාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරිය මේ ක්‍රමණ්ත්‍රනයකට සම්බන්ධද කියන්න. ඒක හරියටම දැනගන්නකම් අපි අනුමාන කරමු ඔවුන් මෙයට සම්බන්ධයි කියලා. ඒක තමයි කරන්න තියෙන හොදම විදිහ.

ඔබ හරි උතුමාණෙනි. අපි එසේ උපකල්පනය කරමු. මොකක්ද අපේ ඊළඟ පියවර?

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගෙන් එසේ අසා සිටියේ මෙතෙක් වේලා සියල්ලම නිශ්ශබ්දවම අසා සිටි ටාරා.

ලෝගන්, ඩේව්, ඔබලා හිතන්නේ මොකක්ද?

සහන්‍යා දැනගත්ත විදිහට මේ රොසිටා මන්දිරය තමයි මේ සංවිධානයේ ප්‍රංශයේ මූලස්ථානය එහෙමත් නැත්නම් රහස් තිප්පොළ වෙන්නේ. අපිට අවශ්‍ය කරන ලියකියවිලි බොහෝ විට මේ ස්ථානයේ තිබෙන්නට පුළුවන්. ඒ වගේම “අඳුරේ දූතයන්” සංවිධානයේ විශේෂ පුද්ගලයන් මේ හමුවට පැමිණෙන්නට පුළුවන්. මේ සංවිධානයේ ප්‍රංශ නායකයා පැමිණෙනවා කියන්නේ මෙම හමුවට සහභාගීවෙන්නේ මේ සංවිධානයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට වඩා ඔවුන්ගේ ලුතිනල්වරුන්වීමට බොහෝ ඉඩකඩක් තියෙනවා. මගේ අදහස නම් අපි මේ හමුව පටන් අරන් සුළු වෙලාවක් ඇතුලත පහරදීලා ඔවුන්ගේ නායකයා අල්ලගන්න ඕන. මෙයට සම්බන්ධ අනිකුත් සාමාජිකයින් මෙතනින් පිටතට නොයන්න අපි වග බලාගත යුතුයි.

ඔබ හරි ලෝගන්. මගේ අදහසත් එයමයි.

එසේ නම් ඔබලා දෙදෙනා මෙම පහර දීම සැලසුම් කරන්න.

උතුමාණෙනි, අපිට මෙම මන්දිරයේ සැලැස්මක් අවශ්‍යයි.

ගැටළුවක් නෑ. රෝසීටා මන්දිරයේ සැලැස්මක් අපේ ලේඛනාගාරයේ තිබ්බා. එහෙමනම් හෙට උදෑසන අටවෙනකොට අපි මෙහිම රැස්වෙමු. එසේ රැස්වෙලා අපේ සැලැස්ම සුදානම් කරමු. අපි දැන් මෙතනින් පිටවිය යුතුයි. හෙට උදෑසන අටවෙනකොට අපි මෙතනට එනවා. හැමෝම විවේක ගන්න. හෙට දිගු දවසක් වෙනවා නොඅනුමානයි.

මෙසේ පැවසූ ග්‍රැන්ඩ් මාස්ටර්වරයා ලෝගන් ඇතුළු පිරිසත් සමඟින් එම ස්ථානයෙන් පිටවී ගියා.

පසුදින උදෑසන අටවන විට මේ පිරිස නැවත වරක් රැස්වුයේ එදින රාත්‍රියට සිදුකිරීමට බලපොරොත්තුවන රහසිගත පහරදීමට අදාලා කරුණු සාකච්චා කරගැනීමටයි. ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා තම ලේඛනාගාරයෙන් රැගෙනවිත් තිබු “රොසිටා” මන්දිරයේ සැලසුම විනාඩි පහළවක් පමණ අධ්‍යනය කළ ලෝගන් හා ඩේවිඩ් තම පහරදීමේ ක්‍රියා පිළිවෙත බොහොම සීරුවෙන් සැලසුම් කරනු ලැබුවා. මේ කාර්යයට ඔවුන් දෙදෙනා පැය දෙකක පමණ කාලයක් මිඩංගු කළා. ඒ අතර තුරු අනෙක් පිරිස තමන්ගේ කාර්යයට අවශ්‍ය කරන අවි ආයුධ හා අනෙකුත් උපකරණ සුදානම් කිරීමට කටයුතු කළා. උදෑසන දහයට පමණ මේ පිරිස රැස්වුයේ ලෝගන්ගේ හා ඩේව්ගේ පහර දිමේ සැලැස්මේ විස්තර දැනගැනීමටයි.

“රොසිටා” මන්දිරය පිහිටා තිබෙන්නේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක්. මේ භූමියට ඇතුල්වීමට ඇත්තේ එක ඇතුල්විමේ දොරටුවක් පමණයි. එය අපට වාසියක් වනවා. ඊළඟට මේ මන්දිරයට ඇතුල්වීමට ප්‍රධාන දොරටු දෙකක් තිබෙනවා. ඒ නිසා අපිට මේ දොරටු දෙකෙන්ම එකවර ඇතුළු වී පහරදීම සිදුකරන්නට වෙනවා. ඒ සඳහා අපිට කණ්ඩායම් දෙකට බෙදෙන්න වෙනවා. මේ ඇතුල්වීමේ දොරටු දකින්නට පුළුවන් මේ ස්ථාන දෙකෙයි.

ඩේවිඩ්, මේසය උඩ දිග හැර තිබු “රොසිටා” මන්දිරයේ සැලැස්ම දක්වමින් පවසා සිටියා.

     පළමු දොරටුව තියෙන්නේ මන්දිරයේ ඉදිරිපසින්. එතනින් අපේ      පළවෙනි කණ්ඩායම, ඒ කියන්නේ මම, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා      සහන්‍යා මන්දිරයට ඇතුල්වෙනවා. දෙවෙනි දොරටුව තියෙන්නේ      මන්දිරයේ වම් පසට වෙන්නට.

     ඩේවිඩ් නැවත වරක් මන්දිරයේ සැලැස්ම දක්වමින් පවසා සිටියා.

     ඒ වම් පස දොරටුවෙන් අපේ දෙවෙනි කණ්ඩායම මන්දිරයට      ඇතුල්වෙනවා. ඒ කණ්ඩායමට අයිති ලෝගන්, නයෝමි හා ටාරා. අපිට      වඩා විනාඩි දෙකක කාලයක් ඔවුනට අවශ්‍ය වෙනවා මන්දිරයේ වම්පස දොරටුවට ළඟා වීමට. එහෙම නේද ලෝගන්?

ඔව්. ඒක හරි. මාළිගයට ඇතුල් වුණු පසුව අපි කෙළින්ම ගමන් කරන්න ඕන මාළිගයේ දෙවන මහලේ තියෙන රැස්වීම් ශාලාවට. අපි උපකල්පනය කරනවා මේ රැස්වීම තියෙන්නේ මේ ශාලාවේ කියලා. බැටිස්ටා, ඔබ සෙඩ්රික් සමඟ මන්දිරය පිහිටි බිමට අතුල්වන දොරටුව අසල රැක සිටිය යුතුයි. ඒ වගේම එම දොරටුවෙන් කිසිවෙක් පිටවී නොයා යුතුයි. ඒක ඉතාමත් වැදගත් කරුණක්. පැහැදිලිද?

පැහැදිලියි.

සෙඩ්රික් මෙන්ම බැටිස්ටාද එයට එකවරම පිළිතුරු දුන්නා. ලෝගන් තමන්ගේ සැලැස්ම දිගටම විස්තර සහිතව හැමදෙනාටම පැහැදිලි කරදෙනු ලැබුවේ ඔවුනට ඒ ගැන කිසිදු ගැටළුවක් ඇති කරගැනීමට කිසිදු ඉඩ කඩක් නොතබමින්.

මතක තියාගන්න. මේක බොහොම නිශ්ශබ්දව කරන මෙහෙයුමක්. හැමවිටම ඒ නිහඩ බව රැකගන්න උත්සාහ කරන්න. අපෙන් පිටවෙන එක වචනයක්, අපේ පයට පෑගී කැඩෙන එක දර කැබැල්ලක් මත අපේ මෙහෙයුමේ සාර්ථක අසාර්ථක බව රැදී තිබෙන්න පුළුවන්. ඒ නිසා හැමවිටම කල්පනාකරීවන්න. කිසිවිටකත් නොසැලකිලිමත් වෙන්න එපා. පැහැදිලිද?

එයට පිළිතුරක් ලැබෙනතෙක් පමා නොවු ලෝගන් සිය පැහැදිලි කිරීම දිගටම කරගෙන යනු ලැබුවා.

මෙය නිහඩ මෙහෙයුමක් නිසා කිසිවෙක් තමන්ගේ ගිනි අවි පාවිච්චි කරන්න එපා. තමන් කැමති නම් තමන්ගේ පිස්තෝල රැගෙන එන්න. ඒත් තුවක්කු ගේන්න එපා. එය අනවශ්‍ය බරක් මෙන්ම කරදරයක්. තමන් කැමති ලෙසකට පිහි, දුනු හා අසිපත් යොදාගන්න පුළුවන්. එය ඔබ කැමති විදිහක්. මේක රාත්‍රියේ කරන මෙහෙයුමක්. ඒ නිසා අඳුරේ තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න. අපි මන්දිරයට සැතැප්ම දෙකක් පමණ දුරකින් අපේ අශ්වයින් නවතා එතැන් සිට පයින් ගමන් කරනවා. මන්දිරය අතහැර දමා ඇති එකක් නිසා එය බොහෝ විට කැලෑ වැදී තියෙන්න පුළුවන්. ඒ නිසා අවට පරිසරය ගැන හැමවිටම විමසිලිමත්ව පසුවන්න. මෙතන කී දෙනෙක් කොයි විදිහට ආරක්ෂාවට යොදා තිබෙනවද ඒ වගේම කී දෙනෙක් මේ රහසිගත සාකච්ඡාවට පැමිණෙනවද කියන කරුණු කිසිම දෙයක් අපි දන්නේ නෑ. ඒක අපිට තියෙන ලොකුම අවාසියක්. ඒත් අපිට කරන්න වෙන දෙයක් නෑ. මේ මෙහෙයුම අපිට ක්‍රියාත්මක කරන්නම සිද්ධවෙනවා වැඩිදෙනක්ගේ යහපත වෙනුවෙන්. පැහැදිලිද?

ඔව්. ඒ ගැන අපිට ගැටලුවක් නෑ ලෝගන්.

එසේ පැවසුවේ ටාරා.

සහන්‍යා ඔබට තව කාර්යයක් පැවරෙනවා.

ඒ මොකක්ද ඩේව්?

ඔත්තු බලන්න. මේ මන්දිරයට යන්න තියෙන්නේ කැළෑ පෙදෙසක් හරහා. ඔබට තියෙන්නේ මේ මඟ යම් තැනක සැඟවී සිට මෙහි යන එන්නන් ගැන දළ අදහසක් ලබාගන්න. එයට ඔබේ හැකියාවන් යොදාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ගල් කුළකින් ආවරණය වෙච්ච ආරක්ෂිත ස්ථානයක්.

ඩේව්, මේසය මත තිබු පැරිස් නගරය හා ඒ අවට ප්‍රදේශයේ සිතියමක වු ස්ථානයකට සිය ඇඟිල්ල තබමින් සහන්‍යාට දක්වා සිටියා.

මෙතන තමයි අපි අශ්ව අපේ අශ්වයන් නවතා යන්න තීරණය කරලා තියෙන්නේ. ඔබ සවස හය පමණ වන විට එතනදී අප හා එකතු වෙන්න. තව එකක් සහන්‍යා.

ඔව් ඩේව්.

ඉක්මන් හදිසි තීරණ ගන්න එපා. ඔබේ පැමිණීම කාටවත් දැන ගැනීමට ඉඩ තියන්න එපා.

හරි.

එහෙනම් දැම්මම පිටත්වන්න.

මොහොතකින් සිය අසු පිටට නැගගත් සහන්‍යා එයින් පිටව ගියා.

ඩේව්, හැමදේම ලෑස්තිද? ඔබලාගේ ආයුධ වල තත්වය කොහොමද?

අවශ්‍ය කරන හැමදෙයක්ම තියෙනවා උතුමාණෙනි.

එහෙම නම් සවස හතරට පමණ මෙතනින් පිටවෙන්න. පැරිස් නුවරය පැය දෙකක පමණ ගමනක් තියෙන්නේ. ඔබලාට සවස හයවෙනකොට අපි කතා කරගත් තැනට එන්න පුළුවන්. අපි ඔබලාව එතනදී හමුවෙන්නම්. ලෝගන් අපි එහෙනම් පිටත් වෙමු.

අනතුරුව තමන් පැමිණි අශ්ව රථයට නැගුණු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිස සිය මන්දිරය වෙතට පිටත්ව ගියා.

මන්දිරයට පැමිණීමෙන් අනතුරුව ලෙනෝරා හා එක්වු ඔවුන් සිය දිවා ආහාරය ගත්තා. එයින් අනතුරව ලෝගන්, නයෝමි සමඟ නව තාක්ෂනික අංශයට වෙත පිටත් වුයේ නයෝමිට අවශ්‍ය කරන ආයුධ කීපයක් ලබා ගැනීම සඳහායි.

ප්‍රධාන දොරටුව ඇරගෙන පරීක්ෂනාගාරයට ඇතුල් වු ලෝගන්ට දක්නට ලැබුණේ ගැඹුරු කල්පනාවක නියුතු වී සිටින කැතලීනායි.

කැතලීනා ..... කැතලීනා

ලෝගන්ගේ හඩත් සමඟ තිගැස්සුණු කැතලීනා ඒ දෙස හැරී බැලුවා.

ලෝගන්, ඔබ මොකද මේ පැත්තේ? කවුද මේ? ඔබේ පෙම්වතියක්ද?

කැතලීනා, මේ මගේ හොදම යෙහෙළියක්. පෙම්වතියක් නම් නෙවෙයි. මේ නයෝමි. නයෝමි මේ කැතලීනා. අපේ නව තාක්ෂණික අංශයේ ප්‍රධානියා. බොහොම දක්ෂ නව නිර්මාණ කරන්නියක්.

නයෝමි, කැතලීනාගේ රෝස පැහැති කම්මුල් සිප ගනිමින් ඇයට ආචාර කර සිටියා.

ඔබව හදුනා ගැනීමට ලැබීම සතුටක් කැතලීනා.

ඔබවත්. ලෝගන්, මොකද මේ පැත්තේ?

කැතලීනා, ඔබ එදා මට දුන්නු වර්ගයේ හරස් දුන්නක් ගන්න පුළුවන්ද නයෝමිගේ පාවිච්චියට?

මොකද මේ හදිස්සියේ? මට මතක විදිහට අපි තවත් එයින් දුනු දෙකක් නිර්මාණය කලා. බලමු ගබඩාවේ.

විශේෂ මෙහෙයුමක් තියෙනවා කැතලීනා. ඒකට පාවිච්චි කරන්න.

හරි ලෝගන්.

ලෝගන් හා නයෝමි කැටුව ආයුධ ගබඩාවට ගිය කැතලීනා එහි වු ලී කබඩයක් විවර කර එහි තිබු හරස් දුන්න දමා තිබු ලී පෙට්ටියක් නයෝමි අතට දුන්නා. එය විවර කළ නයෝමි එහි වු හරස් දුන්න අතට ගත්තා.

මේක බොහොම හුරුබුහුටියිනේ කැතලීනා.

ඒ වගේම ඕක බොහොම භයානකයි නයෝමි. ඔය ඊතල වල සතුරා පහසුවෙන් අඩපණ කළ හැකි මාරාන්තික විසක් අඩංගුයි. ඒ වගේම එයට අවශ්‍ය ප්‍රති විෂ තමයි මේ බෝතලයේ තියෙන්නේ.

කැතලීනා, හරස් දුන්න දමා තිබූ පෙට්ටියේ නොබිදෙන ලෙසට අසුරා තිබූ අවර්ණ දියරයක් සහිත බෝතලයක් දක්වමින් පවසා සිටියා.

ඊතල වලට අත තුවාල කර නොගන්න ප්‍රවේසම් වෙන්න.

ස්තුතියි කැතලීනා ඔබගේ උපකාරයට. අපි දැන් යන්න ඕන. මම නැවත වරක් ඔබව හමුවීමට එන්නම් මේ මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව.

කැතලීනා, අප යා යුතුයි දැන්. තව මොහොතකින් අපි පිටත්වෙනවා. අප පසුව හමුවෙමු.

කැතලීනාට ආචාර කළ ලෝගන් හා නයෝමි එයින් පිටව ගියා. නැවත වරක් සිය සිය අසුනේ අසුන්ගත් කැතලීනා සිය ගැඹුරු කල්පනාවට වැටුණා. ලෝගන් හා නයෝමි මාළිගාව යන විටත් ග්‍රැන්ඩ් මාස්ටර්වරයා හා සෙඩ්රික් සිය ගමනට සුදානම්ව සිටියා. තවත් මොහොතකින් තමන්ගේ ගමන් බෑගය හා අසිපත අතට ගත් ලෝගන්, නයෝමිත් සමඟ අශ්ව රථයට ගොඩවුනා. මොහොතකින් අශ්ව රථය වේගයෙන් පැරීසිය දෙසට ඇදී යන්නට වුයේ සිය ගමනාන්තය දක්වායි. එය සමහරවිට මේ මුළු ලෝකයේම අනාගතය තීරණය කළ එකක් විය හැකිව තිබුණා.
___________________________________________________________________________________

KB 2021.05.31

No comments: