අවාරයේ ආ පෙම්වතී . . . .

ගෙවී ගිය දිවි මගේ
දුක් සතුට මතකයන්
සිහිකරන් යළි යළිත්
තනිකමෙන් ඉකි බිඳින
රිදුම් දෙන හදවතට
ගෙනාවේ ඔබයි සිසිලක්
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

දිලෙන නෙතු යුග සුපුල් දෙකොපුල්
මුදාලු නීල් වරලස
රත් පැහැ දෙතොල්
නටවන නිතඹත්
දඟ කරන අතැඟිලිත්
මත්කළා මගේ සිත අද
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

සොඳුරු බව දිවියට
එක්කළේ නුඹයි දිගැසිය
නිහඩ බව බිඳ දිවි පෙත‍ෙ
පැතිරූ මිහිරි හඩ දස අත
රැදෙන නෙතු මානයේ නිතර
පුදන හිත රැදි පෙම සොඳුරු
අවාරයේ ආ පෙම්වති මගේ . . . .
___________________________________________________________________
KB 2020.09.08

අඳුර

අඳුර විටෙක හරිම සුන්දරයි. විශේෂයෙන් කවි ලියන්නන්ට, ඒ වගේම අසම්මත ආදරයක් සොයා යන්නන්ට. එනමුත් අඳුර ඇතැම් විට අතිශයින්ම බියකරු මෙන්ම රුදුරු විය හැක. එයට හේතුවන්නේ බොහෝ දහවලට, එළියට අකමැති නපුරේ බලවේග රාත්‍රියට අවදිවෙන නිසා. අප නිසි පරිදි පාර සොයා නොගතහොත්, අපද ඒ අදුරේ බලවේගයන්හි තවත් එක් ගොදුරක් වනු නොඅනුමානයි.

ඉඟි කරමින් අඳුරට
හිරු කුමරු නික්ම ගිය කළ
දහවලේ නිදි වින්ද තරු කැට
දෙනෙත් ඇර ලොව දකින කල

දහවලේ ඇස් වසා
ලොවෙන් සැඟව සිටි
අඳුරට ලොබ බැදි රුදු සතුන්
අවදිවෙයි බිද හෙලා
උන් වටා ඇති කඩතුර

යොමු කරයි රුදුරු ඇස්
සොයමින් තවත් ගොදුරක්
සරයි ඇස් දසත
විිඳින්නට ලේ රසය දෙතොලට

නොවුනොත් මදක් විමසිලි
විය හැක ඔබත් ගොදුරක්
නොයනු මැන මාවත වූ අඳුරු
සොයන්න එළිය දෙන තරු කැට
බිඳ හෙලන මාවතේ රුදු අඳුර
___________________________________________________________________
KB 2020.07.10

අනුමාපනය

     මේ සිද්ධිය වුනේ බර්ටියා විවෘතයේ ඉගෙන ගන්න කාලේ. බර්ටියා      විවෘතයේ ඉන්න දෙවෙනි අවුරුද්දෙදි ලෙවල් 4 සබ්ජෙක්ට් වලට      රසායන විද්‍යාව කලා. ඒ දවස් වල ලෙවල් 4 වලට රසායන විද්‍යාව      තෝරාගත්තොත් සබ්ජෙක්ට් 4 ක් කරන්න සිද්ධ වුනා. ඒ භෞතික      රසායනය (Physical), කාබනික රසායනය (Organic), අකාබනික      රසායනය (Inorganic) සහ විශ්ලේෂන රසායනය (Analytical)      කියන සබ්ජෙක්ට් හතර (අන්තිම සිංහල වචනය නම් හරිද කියන්න      දන්නේ නෑ). බර්ටියත් මී හරකා වගේ ඔය සබ්ජෙක්ට් 4 ම ගත්තා.      ඒකෙන් බර්ටියට සදාකාලයට රසායන විද්‍යාව එපා වෙලා ගියා. එකක්      ඇරෙන්න අනිත් සබ්ජෙක්ට් තුනම ඇණගත්තා ඒ මදිවට.

     ඒ කතාව පැත්තකින් තියමුකෝ. මේ කියන සිද්ධිය සිද්ධ වුනේ බර්ටියා ඇතුළු සෙට් එක පිසිකල් කෙමෙස්ට්‍රි ප්‍රැක්ටිකල් කරන කොට. ඔය කාලේ කැම්පස් එකේ ලස්සනම ඩෙමෝලා ටික හිටියේ කෙමෙස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. කැම්පස් පාස් අවුට්වෙච්ච ගමන්ම වගේ ආපු සෙට් එකක්. වැඩි වයසක් නෑ. ඔය අතර හිටියා හරිම ලස්සන, සුදු, කොන්ඩේ ක්‍රේල් ඩෙමෝ කෙනෙක්. මුළු කැම්පස් එකේම කොල්ලෝ ඔය මිස්ට ලයින් දාන සයිස් එකේ හිටියේ. එයා පට්ටම ලස්සනයි.

බර්ටියත් ඔය වගේ ඒවා දැක්කහම නිකන් ඉන්නම බෑනේ. බර්ටියා විතරක් නෙවෙයි කැලුමා, ගීතිකයා එහෙමත් ෆුල් ඇලට් එකේ හිටියේ ඔය මිස් ගැන. බර්ටියා ඉතින් ෆුල් ලව් මිස්ට. ඒක පාර්ශවික ලව් එකක් ඉතින්. අපි ඉතින් එයාගේ නම් දන්නේ නැති නිසා එයාට නමකුත් දාලා තිබ්බා ස්විට් මිස් කියලා. දැනටත් ඒ මිස්ගේ නම බර්ටියට මතක නෑ. ස්විට් මිස් කියලා තමයි තාමත් මතකයේ තියෙන්නේ.

පළවෙනි සෙමෙස්ටර් එකේ ඉස්සෙල්ලාම තිබ්බ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක තමයි පිසිකල්. ඔය සබ්ජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් දවස් තුනක් තිබ්බා. ඒ තිබ්බෙත් මේන් ලැබ් එකේ නෙවෙයි වෙන පොඩි ලැබ් එකක. ප්‍රැක්ටිකල් එකට යනකොට අපිට assignment එකකුත් කරගෙන ප්‍රැක්ටිල් එකට රු 200 ක් ද කොහෙද ගෙවලා එකේ රිසිට් එකත් අරගෙන උදේ 9 වෙනකොට ලැබ්එක ගාව ඉන්න ඕන. කෙමෙස්ට්‍රි ඩිපාට්මන්ට් එක තමයි තිබ්බ සැරම ඩිපාට්මන්ට් එක. ලේසියෙන් ළමයෙක්ට චාන්ස් එකක් දෙන්නේ නෑ.

අපේ සෙට් එකේ හිටියේ බර්ටියයි, ගීතිකයයි, කිරියි, මියුරුයි, කැලුමයි, ඇන්ටියි. ඇන්ටි කිවුවට මේකි බර්ටියගේ වයසේ කෙල්ලෙක්. කැම්පස් එකේ ගහලා තිබ්බ කාඩ් එක තමයි ඇන්ටි. අපි සෙට් එක ඉතින් ඕන කරන දේවල් ටිකත් අරගෙන ලැබ් එක අරිනකම් ලැබ් එක ගාවට වෙලා ඉන්නකොට නොසිතු වාසනාවක් කඩාපාත් වුනා. නෑ නෑ. ප්‍රැටිකල් කල්දාලා කියන එක නෙවෙයි. අපේ සුවිට් මිසුත් ලැබ් සෙෂන් එකේ වැඩ ඒ දවස් තුනේ. අම්මේ ඉතින් බර්ටියගේ කට කනේ. ප්‍රැක්ටිකල් කරනවට වඩා මිස් දිහා බලාගෙන ඉන්න එක තමයි ඉතින් ඒ දවස් තුනේ කලේ. එහෙම කරන්න ගිහිල්ලා අමාරුවෙත් වැටුණා. ඒක තමයි අමාරු වුනත් කරපු හොදම ප්‍රැක්ටිකල් එක.

මතක විදිහට දවසකට ප්‍රැක්ටිකල් දෙකක් තිබ්බා. එකක් උදේ වරුවේ අනික හවස් වරුවේ. හැම ප්‍රැක්ටිකල් එකකම පාඨාංක (Readings) අපේ ගෲප් එක බාරව ඉන්න ඩෙමෝට කියලා සයින් කරවා ගන්න ඕන. අපේ සුවිට් මිස් එක්ක තව මිස්ලා දෙන්නෙකුයි තව සර් කෙනෙකුයි තමයි ඩෙමෝල් විදිහට හිටියේ. කොහොම හරි ප්‍රැක්ටිකල් පටන් අරන් වැඩිවෙලාවක් යන්න කලින් අපි අපේ ගෲප් එකේ මිස් එක්ක හිතවත් වුනා. බර්ටියට මතක විදිහට ඒ මිස්ගේ නම අනුරාධා, ජ’පුරේ තමයි උපාධිය කරලා තිබ්බේ.

මේ ඔක්කොම දෙන්නා දෙන්නා කරන ප්‍රැක්ටිකල්. බර්ටියයි යොමෙන්ද්‍රයි තමයි සෙට්වෙලා හිටියේ වැඩේට. පළවෙනි ප්‍රැක්ටිකල් එකේ තිබ්බේ ප්ලාක්ස් එකකුයි උෂ්නත්වමානෙකුයි අරන් උෂ්නත්වේ මනින සීන් එකක්. ඒක යන්තම් 12 විතර වෙනකොට ඉවර කරගත්තා. හවස ප්‍රැක්ටිකල් එකට අපේ සුවිට් මිස් ඇවිල්ලා හිටියා. අම්මෝ ඉතින් බර්ටියට දැනුන සන්තෝසේ. ඒක කියලා නිම කරන්න බෑ.

     දෙවෙනි ප්‍රැක්ටිකල් එකට අපිට අනුමාපන (Titration) වගයක්      කරන්න තිබ්බේ. බර්ටියා හරිම ආසයි ඔය වැඩේ කරන්න. හරියට තිතට      අනුමාපනය කරන්න පුළුවන් හැකියාවක් බර්ටියට තිබ්බා. දැන්නම් ඒවා      අමතක වෙලා ගිහිල්ලා. අවුරුදු 15 කින් විතර අනුමාපනයක් කරලා      නෑ. දැන් ඉතින් අපි අනුමාපන කරනවා. අනුමාපනයේ හරි ප්‍රථිඵලය      ගන්න නම් යාන්තම් පාට වෙනස් වෙනකොටට පාඨාංකය ගන්න ඕන.      එක බිංදුවක් කෙමිකල් එක වැඩිපුර වැටුනොත් පාඨාංකය වෙනස්      වෙනවා. ඕකට අපි කියන්නේ end point එක පනිනවා කියලා. ඕක      හරිම පරිස්සමින් ඉවසිල්ලෙන් බලාගෙන ඉදලා කරන්න ඕන වැඩක්.

     ඔය අස්සේ මිස්ලත් ඇවිල්ලා බලනවා අපි වැඩේ හරියට කරනවාද      කියලා. නැත්නම් අපේ එවුන් බොරු ඒවා දානවනේ. බර්ටියා හිටියේ      මැද පේළියේ. කිරියි මියුරුයි බර්ටියට පිටිපස්සේ පේළියේ. අපේ සුවිට්      මිස් මුන් දෙන්නගේ ප්‍රැක්ටිකල් එක බලන ගමන් බර්ටියව පෙන්නලා කියලා අරයා හරි සුවිට් කියලා. මුන් දෙන්නගෙත් කටවල් හොද නෑනේ. මුන් දෙන්නා අනිත් පැත්තට මිස්ට කියලා, මිස් එයත් මිස් ගැන ඔහොමම කියනවා කියලා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඉතින්.

බර්ටියා දෙවෙනි අනුමාපනය කරන කොට මිස් බර්ටියට ඉස්සරහා පේළියේ ප්‍රැක්ටිකල් එක බලනවා. බර්ටියත් මිස් දිහා බලාගෙන අනුමාපනය කරගෙන යනවා. එක පාරටම බර්ටියගේ කන ගාවින් සද්දයක් ඇහුනා ඕකේ එන්ඩ් පොයින්ට් එක පැනලනේ කියලා. හැරිලා බලනකොට අනුරාධා මිස් බර්ටියා පිටිපස්සේ. ලැජ්ජා සාගරයයි. අනුමාපනයේ එන්ඩ් පොයින්ට් එක පැනලා සෑහෙන දුර ගිහිල්ලා. ලා රෝස පාටට තියෙන්න ඕන solution තද දම් පාට වෙලා. වටේ ඉන්න එවුනුත් බලනවා බර්ටියා දිහා. ඒ මදිවට ඇන්ටිගෙන් බර බරේ මොනවද බර්ටි ඔයා කරන්නේ කියලා. බර්ටියා සුවිට් මිස් දිහා බලාගෙනනේ හිටියේ. බර්ටියට අනුමාපනය අමතක වෙලා ඒ සොදුරු දසුනට. අනුමාපනය විතරක් නෙවෙයි ලෝකේම අමතක වෙනවා බර්ටියට සුවිට් මිස්ව දැක්කහම.

අනේ ඉතින් ඒක අහක දාලා ආපහු solution එකක් හදලා අනුමාපනය පටන් ගත්තා. නෑ නෑ. ඒ පාර අවුලක් නැතුව කරගන්න ලැබුණා. මොකද මිස් බර්ටියගේ පිටිපස්සේ හිටියේ ඒ වෙලාවේ. ඔය ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ මිස්ලා දෙන්නම අපි සෙට් එකත් එකත් පිට්වුනා හොදට. අපේ readings නැති හිස් ෂිට් පවා මිස්ලා දෙන්නා අත්සන් කරලා දුන්නා. සුවිට් මිස් නම් සමහර වෙලාවට අපේ බෙන්ච් එකටත් ඇවිල්ලා වාඩිවෙලා කතා කර කර ඉදලා යනවා. ඒ දෙන්නව නම් බර්ටියට කවදාවත් අමතක වෙන්නේ නෑ. විශේෂයෙන්ම සුවිට් මිස්ව. ඒ ආදරේ තාමත් හිතේ ඉතින්.

KB 2020.11.22

වලි බේරීම

     මේ දවස් වලා බර්ටියා ගෙදරට වෙලා ඉන්නේ. කොරෝනා නිසා      ඉස්කෝල වහලා හින්දා යමක් ලියන්න වෙලාව ඕන තරම් තිබ්බත්      බර්ටියා හොදටම කම්මැලි වෙලා ඉන්නේ. ඒක නිසා පහුගිය ටිකේම      බ්ලොග් එක ලියන්න බැරිවුනා.

     බර්ටියා ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිටපු ගෙදරට අල්ලපු ගෙදර      වත්ත තරමක් ලොකු එකක්. එහේ කට්ටියක් පදිංචිවෙලා හිටියා. ඒ      ගැන වැඩි විස්තර බර්ටියා ලියන්න යන්නේ නෑ. ඔය ගෙදර හිටපු      තාත්තයි ලොකු පුතයි මාසෙකට සැරයක් දෙකක් හොද වලියක්      දාගන්නවා. වලියේ සද්දේ වටේටම ඇහෙනෙවා ඉතින්. වලිය      ලොකුවට නැගලා ගිහින් එක පාරටම නතර වෙනවා. ඒ තාත්තා      පුතාගේ අතින් ගුටි කාපුවහම. නෑ නෑ. වැරදිලා නෙවෙයි ඇත්තටම      වලිය ගොඩාක් වෙලාවට අවසන් වෙන්නේ ඒ විදිහට.

     විශේෂ අවස්තාවලදි අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා තාත්තට      නෙලනවා. එක සැරයක් පුතා තාත්තට හෝස් එකෙනුත් ගහලා තිබ්බා.      ඔන්න ළමයගේ තරම ඉතින්. හැබයි ඒ ගහලා දවස් දෙකක් ගියේ නෑ      පොරට දෙයියන්ගේ ලෙඩ හැදුනා. කොහෙන් හරි ඕවා පලදෙන්නත්      එපැයි ඉතින්.

ඉතින් අර මනුස්සයා මහ හයියෙන් අඩන සද්දේ ඇහෙනවා එහා පැත්තේ ඉන්න අපිටත්. බර්ටියට සමහර දවස් වලට සිත් පහල වෙනවා මේ උද්වේගකර දර්ශනය නරඹන්න. ඒ වෙලාවට බර්ටියයි සමහර විට බර්ටියගේ මල්ලිකාරයයි දෙන්නම ගෙදර පිටිපස්සේ තියෙන වැලි දෙහි පඳුර පැත්තට නිරීක්ෂන චාරිකාවක් දානවා අම්මට හොරෙන්.

වැල් දෙහි පඳුර කටුත් ඇනගෙන තාප්පේ ගාවට රිංග ගත්තහම මේ උද්වේගකර ඇඟ කිලිපොලා යන දර්ශනය ටිකට් නැතුව නැරඹීමේ අවස්තාවක් අපිටත් ලැබෙනවා. එහෙම චාන්ස් ලැබෙන්නේ කලාතුරකින් ඉතින්. අම්මට හරි තාත්තට හරි අහුවුනොත් නැව් ගුටි තමයි කන්න වෙන්නේ.

අපි කවදාවත් මේ වලි බේරන්න ගියේ නෑ. ගෙදර මිනිස්සුන්ට කුලල් කාගන්න ඉඩදීලා අපි හොරෙන් හිල්මට් එකක් දාලා ආතල් එකක් ගත්තා මිසක් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන නෑ කියලයි බර්ටියගේ දෙමව්පියෝ හිතුවේ. මොකද අන්තිමට අපිම නරක මිනිස්සු වෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේ. අනික අහක යන මෝටාර් එකක් අපිට වැදුනොත් එපැයි කියන්නද?

ඔහොම කාලෙයක් ගියාට පස්සේ අපේ ගෙදරට ඉස්සරහා තියෙන ගෙදරට පදිංචියට කට්ටියක් ආවා. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි. මේ ගෙදර අම්මයි තාත්තයි අරහේ වලියන වෙලාවට බොහොම කරුණාවෙන් දුවලා යනවා අර වලි සමතය කරන්න. අර ගෙදර පිරිමියා ගිහිල්ලා ගොඩක් වෙලාවට පුතණ්ඩියව අල්ලගෙන අනම් මනම් කියලා වලිය සමතයකට පත්කරන්න ට්‍රයි එකක් දෙනවා ඉතින්. ගෑණු කෙනත් යනවා හස්බන්ඩා එක්කම වලිය බේරන්න. ඔහොම කීප සැරයක්ම දෙන්නා වලිබේරන්න ගියා ඉතින්.

     ඔන්න එක දවසක් සාර්ථක විදිහට වලියක් පටන් ගත්තා. එදා බර්ටියටත් සාර්ථක විදිහට      වැල් දෙහි පඳුර අස්සට රිංගලා හිල්මට් එක දාන්න අවස්තාවක් ලැබුණා. අම්මෝ වලිය      නැගලා යනවා දැන්. පුතණ්ඩියා තාත්තට සුද්ධ සිංහල වචන කියලා අමතනවා. තාත්තත්      රිටන් එක දෙනවා. මහ ගෑණිත් සෙට් වෙලා පුතාගේ පැත්තට වලිය නැගලා යන අතර තුර      අර මෝඩ ජෝඩුවත් එදා ආවා වලියට සමතයකට පත්කරන්න.

     මොකක් හරි දෙයක් නිසා එදා වලිය වෙනදට වඩා අතිශයින් දරුණු වුනා. එක පාරටම      පුතණ්ඩියා අතට අහුවෙච්ච ජෑම් බෝතලයකින් (නෑ යකෝ එකේ ජෑම් තිබ්බේ නෑ) කෙළලා      අරිනවා තාත්තට. පැයට කිලෝමීටර් 185 විතර වේගෙන් ආවා ජෑම් බෝතලේ වදිනවා දඩාස්      ගාලා ඔළුවේ. කරුමේ කියන්නේ බෝතලේ වදින්නේ අර වලිය බේරන්න ආව ඉස්සරහා      ගෙදර කපල් එකේ ගෑනු මනුස්යගේ. ඔන්න වලි බේරීමේ විපාක ඇස් පනාපිටම පටිසන්      දුන්නා.

     වලිය එතනින්න ඉවර වෙනවා. අර මනුස්සයා ගෑනිවත් අරන් දොස්තර ගාවට යනවා      තුවාලෙට බේත් දාගන්න. මතක විදිහට එච්චරම ලොකු තුවාලයක් වෙන්නේ නෑ. එදායින්      පස්සේ අර ඩබල වලිබේරන්න ආවේ නෑ කවදාවත්ම. අර තාත්තයි පුතයි ඊට පස්සෙත් රණ්ඩු      වුනා ඉතින්.

     අවවාදය - අල්ලපු ගෙදර වලි බලා ආතල් ගත්තාට කමක් නැත. ඔළුවට ආදරේ නම් වලි      බේරීමට යෑමෙන් වලකින්න.

KB 2020.11.18

පෙර දිනෙක සෙනෙහස

ආදරය යනු සියළු මනුෂ්‍යය සිත් තුල ඇතිවන්නා වු එක් සුවිශේෂි හැගිමකි. එයට කුලයක්, ජාතියක්, ආගමක්, වයසක්, දුප්පත් පොහොසත් බවක් බලනොපායි. එනමුදු මවුපියන් හෝ සමාජය හෝ ඒ දෙස බලන්නේ වෙනත් ආකල්පයකින් විය හැක. එම හේතුන් නිසා බොහෝ පෙම්වතුන්ට එක්වීම කෙසේ වෙතත් සිය සිත රැදි ආදරය ප්‍රකාශ කිරීමට තරම්වත් අවස්තාවක් නොලැබේ. සමහරක් විට ඔවුන් වෙන් වෙන් මාවත් ඔස්සේ පියනැගුවත් ජීවිතයේ යම් සංධිස්තානයකදී ඔවුන් යළි මුණ ගැසී නැවතත් ඒ ප්‍රේමය දලුලා වැඩිය හැක. සමාජය මෙවැනි සබදතා වපර ඇසින් බැලුවත් එම පෙම්වතුන්ට එය ගැටලුවක් නොවිය හැක. මෙය එවැනි සටහනක්.

සඳ එළියෙන් එකළු වු මාවතක දෙපිය නගා යමු අපි දෙදෙනා
අදත් පෙර පුරුදු සෙනෙහසින් . . . . .
පෙර දිනෙක වෙන් වුවද මාවත් දෙකක් අද්දර
අහඹුවක් වු හමුවකට මුල පුරා ඇත අප නැවත
ඔබට මා ද මා හට ඔබද හිමි නොවුවත්
එදා බැදි සෙනෙහස අදත් එලෙසින්ම රදයි අප සිත් තුළ
දෙනොදහක් අද්දර අත් පටලන්න වරම් නැති වුවද
ලොවම නිදන මේ පාළු රැයේ දෑත් පටලා ඇවිද යමු අප
අපව වෙන්කළ මේ කුරිරු ලොවෙන් සැඟවී
සිටින විට ඔබ තුරුල්ලේ පෙර ලෙසම සෙනෙහසින්
අමතකයි අහිමි බව අප අපට
___________________________________________________________________
KB 2020.02.06

සිත්තර පටි කතා දෙකක්

     බර්ටියා සිත්තර පටියක් බලන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් කලින් කියලා ඇති. මේකත් ඒ      වාගේ ඇබැද්දියක් තමයි. හැබැයි එක ඇබැද්දියක් වුනේ බර්ටියට නෙවෙයි. බර්ටියගේ යාළුවෝ      සෙට් එකකට. ඉස්සෙල්ලම බර්ටියට වෙච්ච ඇබැද්දිය කියලා ඉන්නම්. මේක සිද්ධවුනේ බර්ටියා      A/L කරන කාලේ. ඒ කියන්නේ 97 – 98 කාල වකවානුවේ.

     බර්ටියා මුලින්ම කෘෂි විද්‍යාවට පන්ති ගියේ ගම්පහ ඉස්පිරිතාලේ කිට්ටුව තිබ්බ හෝල් ක්ලාස්      එකකට. ඒ පන්තිය ඒ දවස් වල කලේ මේ දවස් වල බොහොම ප්‍රසිද්ධ ජීව විද්‍යා දේශකයෙක්. ආ      ඔව් ඔව්. එයා තමයි. මුල් දවස් වල කලේ කෘෂි විද්‍යාව. ඕන නම් අහලා බලන්න. සෙනසුරාදා      උදේ තමයි අපිට පන්තිය තිබ්බේ. මතක විදිහට උදේ 8.00 සිට 10.30 වෙනකම්.

     දවසක් අපිට ආරංචියක් ආවා ඇඟේ වෛරන් 3 එදා ගම්පහ නයෝමි එකේ පෙන්නන්න ගන්නවා      කියලා. අපිටත් ඉතින් ඔය මදෑ. නිවුස් එක අරන් ආවේ ආඳද කොහෙද. අපේ සෙට් එකත් යන්න      කතා වුනත් අන්තිමට සෙට් වුනේ තුන්දෙනයි. බර්ටියයි, ආඳයි, හිපාචියයි. අනිත් එවුන්      සෙට්වුනේ නෑ වැඩේට. උදේ 10.30 ෂෝ එක බලන්න පොඩ්ඩක් වේලාසන යෑමේ      අවශ්‍යතාවයක් ඇති වුනා. පරණ පරිප්පු කාපුවා තියෙන හින්දා බර්ටියා කැමති වුනේ නෑ හරියටම      වෙලාවටම එතනට යන්න.

     අපි ඉතින් සර්ට චිට් එකක් යැව්වා ඉස්කෝලේ මල් පාත්ති වගයක් හදන්න ටීචර් එන්න කිව්වා.      ඒක නිසා 10.00 යන්න අවසර ඉල්ලලා. සර්කාරයා චිට් එක කියවලා මල් පාත්ති දාන්න යන එක      ගැන පොඩි විස්තරයක් කළා. ඒකෙන් වුනේ අපේ රෙදි ගැලවුණ එක. කැම්පස් එකේ බාසාවෙන් මල් පාත්ති දාන්න යනවා කියන්නේ කෙල්ලත් එක්ක කොහෙ හරි රස්තියාදුවක් යන එකට. සර් ඉතින් අපි තුන්දෙනාව පට්ට අපහසුතාවයකට ලක්කලා අර කෙල්ලෝ කොල්ලෝ ගොඩේ.

එහෙම කළයි කියලා අපි ෂෝ එක බලන්න යන එක අත ඇරියද. නෑනේ නෑනේ. අපි තුන්දෙනා ලැජ්ජාව නොට් පොතින් වහගෙන පන්තියෙන් එළියට පැනලා ෆිල්ම් එක බලන්න ගියා. අපි යනකොටත් සෙනඟ. හැබැයි ග්ර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න ගියා වගේ අවුලක් තිබ්බේ නෑ අපිට. අපිත් පෝලිමේ ඉදලා ඕ.ඩී.සී ටිකට් තුනකුත් අරන් ඇතුලට රිංගුවා ෆිලුම බලන්න. 10.30 වෙනකොට කට කපලා සෙනඟ. හොද වෙලාවට එදා වගේ කෑල්ලක් ආවේ නෑ. හැබැයි කපල්ස් දෙක
තුනක්ම හිටියා.

දැන් කට්ටිය ෆිලුම පටන් ගන්නකම් බලන් ඉන්නවා. මෙන්න යකෝ ඕ.ඩී.සී එක දිගේ බැලුමක් එනවා. ඒක බැලුමක් කිවුවට බැලුමක්ම නෙවෙයි. කවුරු හරි ෆිලුම බලන්න ආපු අපතයෙක් කොපුවක් පුම්බලා. නෑ බන් පෑන් කොපුවක් නෙවෙයි. ඒවා පුම්බන්න පුළුවන්යෑ. කොන්ඩම් එකක් දෙයියනේ.

ටිකකින් ෆිලුම පටන් ගත්තා. හපෝ මොලෝ රහක් නැති ෆිල්ම් එකක්. කවුරු මේවා හදනවද කියලා හිතුණා එක් බලනකොට. සුමනා ගෝනමසුයි රන්දි චශිකයි එහාටයි මෙහාටයි කැරකැවෙන සීන් ටිකක් තියෙන්නේ. කිසිම වැඩක් නෑ. සල්ලි දීලා ආපු එකේ ෆිල්ම් එක ඉවර වෙනකම් ඉදලා කුණුහරුපෙන් බැණ බැණ හෝල් එකෙන් එළියට බැස්සා. ඔහොම වුනයි කියලා අපි පාඩමක් ඉගෙන ගත්තද? කොහෙත්ම නෑ. ආයෙත් ඔය වගේ ඒවා බලන්න ගියා වරද්දන්නේ නැතුව.

දෙවෙනි කතාවට මූලික වෙන්නේ බර්ටියගේ යාළුවෝ ටිකක්. මතක විදිහට මේ කතාව කිවුවේ රාජ හංසයා හරි කටු පොලොසා දෙන්නගෙන් එක්කෙනෙක්. මේ සෙට් එක කොළඹ ඉස්කෝලේකට ගියේ. කට්ටිය දවසක් ඉස්කෝලෙන් පැනලා ෆිලුමක් බලන්න ගිහිල්ලා යුනිෆෝම් එක පිටින්ම. අවුලක් නැතුව ඇතුලටත් ගියාලු මුන් නිතර දෙවේලේ යන සෙට් එකක් නිසා. කට්ටිය ගිහිල්ලා කොළඹ තවත් ඉස්කෝලෙකට යන සෙට් එකක් ගාව වාඩිවෙලා ඒ ඉස්කෝලේ වගේ ෆිල්ම් එක පටන් ගන්න කම් බලන් ඉන්නවලු.

     ඔන්න ඉතින් ෆිල්ම් එක පටන් ගත්තා. පටන් අරන් නම් එහෙම දාලා      ටිකක් වෙලා යනකොට කොළඹ මුන් යන ඉස්කෝලේ පෙන්නනවලු      ෆිලුමේ. ඒ සීන් එක යනකොටම මුන් එක්ක ගිය එක ගෝතයෙක්      සද්දෙට කිව්වලු “මචං මචං, අන්න අපේ ඉස්කෝලේ” කියලා. කට්ටියට      ඉතින් ඇදන් එන්න රෙදි නෑලු. ෆිලුම ඉවරවුනාට පස්සේ ෂේප් එකේ      මූණුත් කවර් කරගෙන කට්ටිය එළියට ආවලු අරෑටත් බැණ බැණ.

     ෆිල්ම් ගැන කතා ලියන්න තියෙන්නේ කොල්ලොත් එක්ක ගියොත්      තමයි. කෙල්ල එක්ක ගියොත් එහෙම ෆිල්ම් එක පටන් ගන්නකොට      අකුරු දානවයි ඉවරවෙනකොට අකුරු දානවයි තමයි මතක. මැද      බැලැන්ක්. අන්න එහෙමයි එතකොට වෙන්නේ.

KB 2020.10.08

ලාවා කේක්

     මේ කතාව බර්ටියා අටම්පහියට ලියලා බ්ලොග් එකට දාන්න බැරිවෙච්ච කතාවක්.      මේක වුනේ ගිය අවුරුද්දේ ජූනි මාසේ 22 දා. බර්ටියා වැඩ කරන ජාත්‍යාන්තර      පාසලෙන් සාමාජ සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා. ඒ පිළියන්දල SOS ළමා      ගම්මානයට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ලබා දීම. මේ කතාව නම්      ඒ ගැන නෙමෙයි (ඒ ගැන පස්සේ දවසක කියන්නම් කෝ).

      ඔය කටයුත්ත ඉෂ්ඨ සිද්ධ කරලා එන ගමන් අපේ කට්ටිය කඩවත ප්‍රසිද්ධ රොටි      කඩයකට ගොඩ වැදුණා (මේවා ජාත්‍යාන්තර රොටි හරිද ලංකාවේ ඒවා වගේ      නෙමෙයි). කට්ටිය කිව්වට මහ ගොඩක් හිටියේ හිටියේ නෑ. අපේ කට්ටිය බර්ටියත්      එක්කම පස් දෙනයි. මොකද රටේ ඒ වෙනකොට තිබ්බ ආරක්ෂක තත්වෙත් එක්ක      පස්දෙනෙකුට වඩා පිළියන්දල SOS එකට ඇතුල් වෙන්න අවසර ලැබුණේ නෑ      (බෝම්බ සීන් තමයි ඉතින්). අපි රොටි කඩේ ඇතුලත තිබ්බ මේසෙකින් වාඩි වුනා. පොඩ්ඩ වෙලාවකින් රොටි කඩේ වැඩ කරන ගෑනු ළමයා ආවා මෙනු එකකුත් උස්සගෙන.

අපේ ප්‍රින්සිල්පල් මැඩම් මෙනු එක බලලා එකේ ස්ටොපැෂල් ෆැමිලි පැක් එකක් ගන්න තීරණය කලා. ඉස්සෙල්ලාම අල ද නැත්නම් සුදු ළූනු පාන් ද කියලා තීරණය කරපු තරගෙන් බර්ටියා ඒ කියන්නේ සුදු ළූනු පාන් පරාජයට පත් වුනා. කරන්න දෙයක් නෑ. ඉතුරු ටිකත් ඕඩර් කලා. ඕය ඕඩර් කරපු ෆැමිලි පැක් එකට නොමිලේ හම්බවෙනවා තඩි කොකා බෝතලයකුයි ලාවා කේක් හතරකුයි.

දැන් අපේ සද්දේ රොටි කඩේ දෙක වෙන්න. හරියට දෙක වසරේ සෙට් එකක් කඩේ ගිහිල්ලා වගේ. වැඩිම සද්දේ කාගෙද දන්නවද? අපෝ ඒක කියන්න බෑ. නෑ නෑ මගේ නෙමෙයි. බර්ටියා ඉතින් අහිංසකයානේ. කොහොම හරි අපි කට්ටිය අල තම්බපුවත් කාලා තඩි රොටියකුත් ගිලලා අර කොකා බෝතලේම ඉවර කලාට පස්සේ තමයි ලාවා කේක් ටික හම්බවුනේ. පහක් හිටියට කේක් හතරයි හම්බවුනේ ඉතින්. අපි ඉතින් කොම්බුව ලොප් නොකරගෙන බෙදා හදාගෙන ලාවා කේක් කන්න ගත්තා.

මේ වෙනකොට නම් තව කට්ටිය තව ඇවිල්ලා හිටියා වටේ පිටේ මේස වලට. දැන් කට්ටිය බැරි බැරි ගාතේ ලාවා කේක් කනවා. ඔහොම කේක් කන ගමන් අපේ ප්‍රියදර්ශනී ටීචර් කිව්වා, බලන්න කෝ අනේ මේවා ලාවා කේක් වුනාට එන්නේ චොකලට් රහනේ කියලා. අම්මට සිරි ඒ කියන්නේ ප්‍රියදර්ශනී ටීචර් මීට කලින් ලාවා වල රස ටෙස්ට් කරලා තියෙනවා. ඕක කියලා ඉවර වුනා විතරයි අපේ කටවල් වලින් මහ සද්දෙට පැන්න හිනාව රොටි කඩේ වීදුරුත් දෙදරවලා දැම්මා.

දැන් කට්ටියම බඩවල් අල්ලගෙන කැහැ කැහැ හති දදා හිනා වෙනවා. මේ අවු අස්සේ අපේ රොටි කඩේ ගෑණු ළමයා දුවගෙන ඇවිල්ලා කියනවා මැඩම් හිනාව වුට්ටක් අඩු කරන්න, අනිත් අයට කරදරයි කියලා අපේ හිනාවෙන්. ඔන්න අපිට වෙච්ච දේ ලාවා කේක් කන්න කියලා. යන්තම් කඩවතින් ගුටි නොකා එන්න ආවා ලාවා කේක් කාලා.

KB 2020.10.16

ගුරු වෘත්තියේ අත්දැකීම් 03

     බර්ටියා වෘත්තීයෙන් ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා බර්ටියගේ බ්ලොග් එක      කියවන අය නම් දන්නවා. ජීව විද්‍යාවට අමතරව සාමාන්‍ය විද්‍යාව, තොරතුරු      තාක්ෂනය හා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයනුත් බර්ටියා වැඩ කරන      ජාත්‍යාන්තර පාසලේ උගන්නනවා. අඩු ගානේ පීරියඩ් 30ක් වත් තියෙන්න      ඕනනේ. ඒකයි ඔච්චර විෂයන් ගොඩක්. බර්ටියා වැඩිපුරම කැමති කෙම්බ්‍රිජ්      විභාගය සඳහා ජීව විද්‍යාව උගන්නන්න. බර්ටියාට අද ඕනම පන්තියක් පාලනය      කරගැනීමේ හැකියාව තිබ්බත් බර්ටියා උගන්නන් පටන් ගන්න කාලේ ඒක එහෙම      වුනේ නෑ. අද කියන්න යන්නේ ඒ ගැන විස්තරයක්.

     බර්ටියා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි. ඒත් රස්සාවක්      නැතුව වේලි වේලි ඉන්න කොට ලකියා තමයි ඒ දවස් වල ලකියා උගන්නපු      දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලක උගන්නන්න සෙට් කරලා දුන්නේ. ඒ      උදව්ව බර්ටියට හැමදාටම මතක තියෙනවා. ලකියා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට      කතා කරලා විස්තරය කියලා බර්ටියට කිව්වා ගිහින් ප්‍රින්සිපල්ව හම්බවෙන්න      කියලා. හැබැයි මැඩම් එක්ක කතා නොකර ප්‍රින්සිපල් සර්වම හම්බවෙන්න කියලා      තමයි ලකියා වගේම ශාමිනිත් බර්ටිට උපදෙස් දුන්නේ. ඒ දවස් වල බර්ටියගේ      විවෘතයේ යාලුවෝ 10 විතර එතන වැඩ කළා.

     බර්ටියත් 2007 දෙසැම්බර් මාසේ සෙනසුරාදා දවසක උදේම සහතික ටිකත්      උස්සගෙන දෙමටගොඩ තිබ්බ මේ කියන ජාත්‍යාන්තර පාසලට ගියා. ඒ තට්ටු තුනක ගොඩනැඟිල්ලක්. ගාමන්ට් එකක් ඉස්කෝලයක් කරලා. බර්ටියගේ වෙලාවට ප්‍රින්සිපල් සර්ම හිටියා. පරණ වාසනාවක් තිබිලා බර්ටියට රස්සාව හරි ගියා. මාසෙකට රුපියල් 9,000.00 දෙන්නම් කිවුවා, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් මුකුත් නැතුව. . බර්ටියත් හා කිවුවා කීයක් හරි ලැබෙනවානේ කියලා හිතලා. ජනවාරි මාසේ පළවෙනිදා ස්ටාෆ් මීටින් එකක් තියෙනවා ඒකට එන්න පිනා කිවුවා

බර්ටියත් ඉතින් ජනවාරි මාසේ පළවෙනිදා ගියා ස්ටාෆ් මීටින් එකට ගියා. අපේ කට්ටියෙන් ලකියා, හීරා අයියා, ලාංකි නංගි, ශාමිනී, චාමිනී, චින්තා කට්ටිය හිටියා. අවුරුද්දේ පළවෙනිදා නිසා පිනා හැමෝටම රුපියල් 100 ගානේ බෙදුවා. ඊට පස්සේ හැම ස්ටාෆ් මීටින් එකකම අද දක්වාම අහන බයිලා ටික කිවුවා. ඒ බයිලා සදාකාලිකවම සමානයි ඉතින්. මුළු මැනේජ්මන්ට් එකම පිනයි පිනාගේ වයිෆයි නිසා දැන් වගේ ටොප් මැනේජ්මන්ට් එකෙන් එන වැල් බයිලා නෑ. ඒක නිසා ස්ටාෆ් මීටින් එක වැඩිම වුනොත් පැය භාගයයි. දැන් වගේ වැල් දුවන්නේ නෑ.

බර්ටියට හම්බවුනේ හය, හත, අට, නවය පන්ති වලට විද්‍යාව උගන්නන්න. ඒ ඉස්කෝලේ මුස්ලිම් නිසා මුල් දවස් වල ගෑණු ළමයි පිරිමි ළමයි වෙන්කරලා තිබ්බේ. ඔන්න ඉතින් ගේම. ඒ දවස්වල දැන් වගේ කඩ්ඩත් බෑ. බර්ටියා හරිම අමාරුවෙන්
තමයි ගේම ගහගත්තේ. හරියට අච්චු පොතක් වත් තිබ්බේ නෑ ඉස්කෝලෙන් දීලා. ඉන්ටර්නෙට් එකත් නෑ අද වගේ. ඒ දවස් වල බර්ටියට කොම්පියුටර් එකකුත් තිබ්බේ නෑ.

විෂය කරුණු දැනගෙන හිටියට ඉංශ්‍රිසි දැනුම අඩු නිසා එක දිගටම උගන්නගෙන
යන්න බෑ. සැරෙන් සැරේ පොත බලන්න ඕන වචන මතක කරගන්න. ළමයි අමතර ප්‍රශ්න ඇහුවට උත්තර දී ගන්න බෑ. බර්ටියට හොදට මතකයි නවය වසරේ පන්තියේ (නවය වසරේ ගෑණු ළමයි ඉන්න පන්තිය බර්ටියට තිබ්බේ) ගෑණු ළමයින්ට සිංහලෙන් පාඩම විස්තර කරලා දුන්නා. එක ගෑණු ළමයෙක් හිටියා ඒ ළමයට සිංහලත් බෑ. හිතාගන්නකෝ බර්ටියා වැටිච්ච අමාරුව. ආරම්භය ලැජ්ජා සහගතයි තමයි. ඒත් ඒවා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.

ගෙදර ගිහිල්ලා පහුවදාට කරන්න තිබ්බ පාඩම දහ සැරයක් විතර බලනවා. සමහර වචන වල තේරුම ඉංශ්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙන් බලලා පැන්සලෙන් අච්චු පොතේ ලියාගන්නවා. හරියට සටහනක් දෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. අලුතෙන් දෙයක් දෙන්න වචන දන්නේ නෑ. හරියට ගලපලා ඉංශ්‍රීසි ටික ලියගන්න බෑ. අච්චු පොතේ තිබ්බ සටහනම යන්තම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි දෙන්නේ. අච්චු පොතක් නැති වුනොත් උගන්න ගන්න බෑ. හරිම දුක්බරයි ඉතින් ආරම්භය.

     හතේ පන්තියට උගන්නන්න බර්ටියට අච්චු පොතක් තිබ්බේ නෑ.      පන්තියේ ළමයෙක්ගේ අච්චු පොතකින් තමයි පාඩම කළේ. එක      සැරයක් අමතර පන්තියක් දැම්මා හතේ පන්තියේ විෂය නිර්දේශය      (Syllabus) එක ආවරණය කරගන්න. කරුමේ කියන්නේ එදාම අර      අච්චු පොත තියෙන ළමයා ඉස්කෝලේ ආවේ නෑ. පන්තියටම එක      අච්චු පොතයි තිබ්බේ. බර්ටියට ඉතින් අමතර පන්තිය කැන්සල්      කරන්න සිද්ධ වුනා එදා. මෙන්න ටිකකින් පිනා එනවා බර්ටියව      හොයාගෙන. ඇවිල්ලා බර්ටියට දෝස් මුරයක් දාලා ගියා එහෙම පන්ති      කැන්සල් කරන්න බෑ කියලා.

     ඒ ළමයි පන්ති කියලා ආවහම පන්ති කැන්සල් කලොත් හවස්      වෙනකම් යන්න විදිහක් නැහැයිලු. අපිට වගේ බස් වල ගිහිල්ලා      පුරුද්දක් නෑ ඒ ළමයින්ට. වැඩි හරියක් ළමයි ඉස්කෝලේ ඉන්නේ      ත්‍රී වීල් එකේ. අන්තිම ශෝචනීයයි ඒ දවස් වල තත්වය. කොහොම      හරි පිනා ගිහිල්ලා විද්‍යාව කරන ගෞරි ටීචර්ට කියලා තිබ්බා බර්ටියට      අච්චු පොතක් හොයලා දෙන්න කියලා. පහුවදා ගෞරි ටීචර් අච්චු පොතක් ගෙනල්ලා දුන්නා. යන්තම් අච්චු පොත් ප්‍රශ්නේ විසදිලා බර්ටියට හුස්මක් කටක් ගන්න පුළුවන් වුනා.

පිරිමි ළමයිගේ විනය අන්තිම සවුත්තුයි. පන්තියකට වේවැලක් අරන් යන්නේ නැතුව උගන්නන්න බෑ. අත දිග ඇරලා වේවැල පාවිච්චි කරන්න අපිට අවසර තිබ්බා. පොඩ්ඩක් එහා මෙහා බැලුවොත් වලියක්. බර්ටියට මුල් කාලේ පිරිමි ළමයින්ගේ පන්ති පාලනය කරගන්න බෑ. මාරම සද්දෙයි. අහල පහල පන්ති වල අයත් උගන්නන්නේ අමාරුවෙන්. බර්ටියා දෙතුන් සැරයක්ම බැනුම් අහලා තියෙනවා ප්‍රිනාගෙන් පන්තිය කොන්ට්‍රොල් නෑ කියලා.

එක සැරයක් පොර ස්ටාෆ් මීටින් එකකදිත් ඔය කතාව කියලා බර්ටියව නැති නාස්ති කරලම දැම්මා. එහෙම හිටපු බර්ටියා අද වෙනකොට ක්ලාස් කොන්ට්‍රොලින් වලින් හොදම තැනක ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ අර ලබපු අමිහිරි අත්දැකීම් වල ලද පන්නරය.

මොනවා වුනත් පිනා බර්ටිගේ උගැන්නිල්ලට වචනයක් කිව්වේ නෑ. පොර කිව්වේ බර්ටියා හොදට උගන්නනවා කියලා. පොර සමහර වෙලාවට ඇවිල්ලා උගන්නනවා බලන් ඉන්නවා. පොර කෙළින්ම කියනවා ළමයි අඩුවෙන් ළකුණු ගත්තට කමක් නෑ බර්ටියා උගන්නන විදිහ හොදයි කියලා. ඒ අතින් බර්ටියට යම් වාසනාවක් තිබ්බා.

පිනා නිතරම ලෙසන් ප්ලෑන් ලියන්න කිවුවත් අපි කවුරුවත් ඕවා
ලියන්න උනන්දු වුනේ නෑ. අපිට තිබිම ලොකුම ප්‍රශ්නේ තමයි වෙලාවට පඩි හම්බවෙච්ච නැති එක. දහවෙනිදට තමයි පඩි හම්බ වෙන්න තිබ්බේ. ඒත් ඕක ගන්න සෑහෙන දුකක් විදින්න වුනා. ළමයින්ගෙන් සල්ලි හරියට එකතු වුනේ නැතිවුනහම පඩි හම්බවෙන්න පරක්කුයි. පිනා තව එක එක බිස්නස් කරනවා. ඒවා නිතරම පාඩුයි. කෙළවෙන සීන් තමයි තියෙන්නේ. ඉතින් අපිට පඩි නෑ.

එක සැරයක් පොර මට්ටක්කුලියෙන් ඉඩම් අක්කර දෙකක් අරන් තිබ්බා ඉස්කෝලේ තිබ්බ බිල්ඩින් එක උගස් කරලා. අන්තිමට බලනකොට මට්ටක්කුලියේ ඉඩම ආණ්ඩුවේ එකක්. විකුණපු එකයි පිනාගේ ලෝයර්කාරයයි එකතු වෙලා පොරට ගේමක් දීලා. ඉතින් පඩි ලැබුණේ
නෑ අපිට වෙලාවට.

සමහර මාස වල රුපියල් 5000 විතර ලැබෙනවා. සමහර වෙලාවට චෙක් ලියලා දෙනවා. අපි ඉතින් ඉස්කෝලේ ඇරුණ ගමන් ළඟ තියෙන මහජන බැංකුවට දුවනවා චෙක් එකෙන් සල්ලි ටික ගන්න. පරක්කු වුනොත් එකවුන්ට් එකේ සල්ලි නැතිවෙන්න පුළුවන් නිසා. හැබැයි දැන් බර්ටියා වැඩ කරන ලොකු නමක් තියෙන ඉස්කෝලේ වගේ නෙවෙයි මිනිහා කවදාවත් අපිට හම්බවෙන තුට්ටු දෙකට විද්දේ නෑ එහෙම වුනා කියලා. අන්තිම සතේට සල්ලි බේරුවා පරක්කු වෙලා හරි. දැන් එවා ගැන කතා නොකර ඉමු ඉතින්.

එක ඇවිල්ලා මුස්ලිම් ඉස්කෝලයක්. සිංහල ස්ටාෆ් එක 15ක් විතර හිටියේ මුළු ඉස්කෝලෙටම. පොර සල්ලි හම්බවුනාහම ඉස්සෙල්ලම සල්ලි බේරුවේ සිංහල ස්ටාෆ් එකේ. පොර හැමදාම කියන්නේ සිංහල ටීචර්ස්ලා මුස්ලිම් අයට වඩා හොදට උගන්නනවා කියලා. පොරගේ කටේ හැම ස්ටාෆ් මීටින් එකකම කියන තව දෙයක් තිබ්බා. උගැන්වීම කියන්නේ ශුද්ධ වු රැකියාවක් (Teaching is a Holy Job) කියන එක. ඒක නම් බර්ටියා හැමදාටම පිළිගන්න දෙයක්.

වෙලාවට පඩි ගෙවන්නේ නැති නිසා අපි දෙයියනේ කියලා නිවාඩු ගත්තා. කැම්පස් එකේ විභාග වලට, ප්‍රැක්ටිකල් වලට යන්න, පරක්කු වෙලා ඉස්කෝලේ එන්න අපිට කිසිම කරදරයක් තිබ්බේ නෑ. සමහර වෙලාවට අපි කෝල් එකක්වත් දුන්නේ නෑ. අපෙත් වැරදි තමයි ඒවා. පොර ඉතින් ඒවට බර බරේ දැම්මට අපි ගණන් ගත්තේ නෑ. හැබැයි පොර කවදාවත් බර්ටියට වචනයක්වත් කිව්වේ නෑ නිවාඩු ගැන. බර්ටියා හවස පන්ති දාලා හරි විෂය නිර්දේශය ආවරණය කළා. පොර ඒක ගැන සැටිස්. පොර බර්ටියට කිව්වේ නිවාඩු ගත්තට ඔයා සිලබස් එක පන්ති දාලා කවර් කරන නිසා අවුලක් නෑ කියලා. ඔය නිවාඩු ප්‍රශ්නෙට වැඩිපුරම බැනුම් ඇහුවේ අපේ චින්තා තමයි.

     ඉගැන්වීම ගැන බොහොම දේවල් දැනගත්තේ මේ ඉස්කෝලේ ගෙවුන      අවුරුදු දෙක ඇතුලේ තමයි. අවුරුද්දක් විතර යනකොට ක්ලාස්      කොන්ට්‍රොලින් හදාගෙන සුද්දා වගේ උගන්නන්න බර්ටියාට      හැකියාවක් ලැබුණා. බර්ටියා ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි      වුනා. එක සැරයක් 9 පන්තියේ රොෂානලා අපේ ශාමිනි එක්කද      කොහෙද කියලා තිබ්බා බර්ටියා ඉංශ්‍රීසි කතා කරන්නේ සුද්දෙක් වගේ      කියලා. ඒ වෙනකොට එක සිංහල වචනයක් පාවිච්චි කළේ නෑ බර්ටියා      උගන්නන්න.

     අපිත් එක්ක උගන්නපු හිරා නැත්තම් හිරෝෂ් අයියා බර්ටියට ලොකු      උදව්වක් වුනා උගන්නන වැඩ වලට. බර්ටියා විතරක් නෙවෙයි අනිත්      සෙට් එකත් නොදන්න වචනයක් අහගන්න මොනවා හරි උදව්වක්      ඉල්ලගන්න හිරා ගාවට තමයි දුවගෙන ගියේ. හිරා අපි හැමෝටම උදව්      කලා, උපදෙස් දුන්නා. සමහර වෙලාවට ජීවිතෙත් කියලා දුන්නා. බර්ටි උඹ මෙහෙම කරපන් කියලා කිව්වේ හිරෝෂ් අයියා. ඒ දේවල් හැමදාටම මතකයි.

අද වෙනකොට බර්ටියා ඉන්ටර්විව් එකකට ගියොත් ඕනම තැනකින් පාඩමක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට එකම විනාඩියකවත් පෙර සුදානමක් අවශ්‍ය වෙන්නේ නෑ. එතනට එන්න බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. අද වෙනකොට නම් තත්වය ලේසියි. ඉන්ටර්නෙට් තියෙනවා. ඕන තරම් උගන්නන්න ඕන කරන විඩියෝස් නෝට්ස් හොයා ගන්න පුළුවන්. එක ලොකු වාසියක් වගේම පහසුවක්. කාලය ඉතුරු වීමක්.

ඔන්න ඔහොම දුක්බර, ශෝචනීය ආරම්භයක් තමයි බර්ටියට තිබ්බේ. බර්ටියා අද ඉන්න තත්වෙට ඉන්න ගොඩක් දුක් වින්දා. මහන්සි වුනා. තවත් ඉතින් දුක් කරදරවල නම් අඩුවක් කියලා නෑ. පටන් ගන්න කොට ප්‍රශ්න ඇති වෙනවා. ක්ලාස් එක කොන්ට්‍රොල් කරගන්න බැරිවෙනවා. උගන්නන්න අමාරුයි. සද්දේ වැඩියි. ඒවා අවුලක් කරගන්න එපා. ඒවා හදාගන්න පුළුවන් තමන්ගේ උත්සාහයෙන්. හැබැයි උගන්නන්න පටන් අරන් අවුරුද්දක් ගියාට පස්සෙත් ඒ දේවල් එහෙම්ම නම් අන්න එතන අවුලක් තියෙනවා. එතන තියෙන්නේ ඒ ගුරුවරයගේ වැරැද්දක්. ඒක හදාගන්න බැරි නම් එයා හොද ගුරුවරයෙක් වෙන්නේ නෑ.

අනික කවුරු හරි හිතනවා නම් මේක පැය හයේ රස්සාව. මාස තුනක් නිවාඩු. එක හන්දා උගන්නන එක මාර ලේසියි කියලා, ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා. ඒ පැය හය කවර් කරන්න වෙන මහන්සිය දන්නේ ගුරුවරු විතරයි. අනිත් එක සමහරු හිතනවා උපාධියක් තිබ්බ පළියට උගන්නන්න පුළුවන් කියලා. ඒකත් ලොකු වැරදීමක්. උපාධි නැති මිනිස්සු උපාධි තියෙන අයටත් වඩා හොදින් උගන්නනවා බර්ටියා අනන්තවත් දැකලා තියෙනවා. උගැන්වීම කියන්නේ උපතින්ම ගෙන එන්න ඕන හැකියාවක් (Born Talent) කියලයි බර්ටියා හිතන්නේ. උපාධිය එකට උදව්වක් වෙනවා.

KB 2020.10.12

සුපුන් සරා සඳ

බර්ටියා කාළයක් මීගමුවේ ජාත්‍යාන්තර පාසලක ඉගැන්නුවා. නෑ නෑ දැන් ඉන්න එක නෙවෙයි. බර්ටියට මතක විදිහට 2010 අවුරුද්දේ. ඔය ඉස්කෝලෙට ආවා විද්‍යාව උගන්නන්න අළුත් ගුරුතුමියක්. මේ ගුරුතුමිය ගැන බර්ටියට ආදර සිතක් පහල වුනා. ඇස් වලින් දොඩවපු ප්‍රේමයක් නම් තිබ්බේ නෑ. ඒත් ඒක පාර්ශවික ආදරයක් ඇති වුනා බර්ටියගේ සිතේ. බර්ටියගේ යාළුවෙක් වෙච්ච කල්හාරිට මේ ගැන කිවුවහම කල්හාරි කිව්වේ එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔය හේතුව නිසා බර්ටියගේ ආදරය සදාකාලයටම අප්‍රකාශිත ප්‍රේමයක් බවට පත්වෙලා ගියා.

බර්ටියා ඒ ජාත්‍යාන්තර පාසලෙන් අයින් වෙන්න කලීන් මේ ගුරුතුමී අයින් වෙලා ගියා. දැන්නම් මේ ගුරුතුමිය රජයේ පාසලක උගන්නනවා. කළාතුරින් දවසක බර්ටියා දකිනවා මේ ගුරුතුමී එයාගේ ඉස්කෝලෙට ඇවිදගෙන යනවා. බර්ටියට දැන්නම් ඉස්සර තිබ්බ ආදරණීය හැඟීම් නැතිවෙලා ගිහිල්ලා. මේ බර්ටියා ඒ දවස් වල තිබ්බ ඒ ආදරය වෙනුවෙන් ලියපු නිසදැසක්.

අඳුරු අහස් කුසට පෑයූ
සුපුන් සරා සඳ ඔබය
වියළී ඉරි තැලුණු බිමට
ඇද හැළුණු වැසි දියද ඔබය
ගමන් වෙහෙස නිමා කළ
සුවිසල් තුරු හිසද ඔබය
සුවිසල් තටාකෙක පිපි
එකම සියපතද නුඹය
හඳපානේ වැලි තලාවල
මල් සැලූ අප්සරාවියද ඔබමය
වේදනාවෙන් පිරි මහද
සුවපත් කරනට ගලා ආ
සිහිල් පවන් පොදත්
ඔබමය දයාබරිය
මහද එකළු කළ සඳවතිය
අවසර දෙන්න මට
දිවි ඇති තුරාවටම
ඔබ හා සිනහවන්නට
ඉඩදෙන්න ඔබ හා සැප දුක
එක්ව උසුලන්නට
___________________________________________________________________
KB 2010.06.26

බොනී සහ ක්ලයිඩ්

ලෝක ඉතිහාසය පුරාම විවිධ පුද්ගලයින් විවිධ ආකාරයේ දේවල් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එයින් කොටසක් මිනිසාට හෝ සමාජයට කරන ලද යහපත හේතුකොටගෙනත් තවත් කොටසක් මේ සමාජයට කරන ලද අයහපත හෝ හානිය හේතුවෙනුත් ප්‍රසිද්ධියට පත්ව ලෝක ඉතිහාසය තුල සිය නම් රන් අකුරෙන් හෝ කළු අකුරෙන් ලියවා ගැනීමට සමත්වෙනවා.

ඇමරිකානු ඉතිහාසය තුළ විටින් විට විවිධාකරයේ අපරාධකරුවන් ඉස්මතුවෙනවා. මේ අතරින් අල් කැෆොන් (Al Capone), ජොන් ඩිලින්ජර් (John Dilinger), බේබි ෆේස් නෙල්සන් (“Baby Face” Nelson), මා බේකර් (Ma Baker), මැෂීන් ගන් කෙලී (“Machine Gun” Kelly), බොනී සහ ක්ලයිඩ් (Bonnie & Clyde) මේ අතරින් මතකයේ රැදෙන නම් කිහිපයක්.

මේ නම් අතරින් බර්ටියා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසානය කියපු ඇමරිකාව බියෙන් සලිත කළ දාමරික යුවල ගැනයි. මොවුන් දෙදෙනා හා ඔවුන්ගේ සගයින් එක්ව කරගෙන ගිය මංකොල්ල කෑම් දාමය අවසන්වන්නේ 1934 මැයි මස 23 වෙනිදා සිදුකරන ලද රැක සිට පහර දීමකින්.

     බොනි එලිසබෙත් පාකර් (Bonnie Elizabeth Parker) වර්ෂ 1910 ඇමෙරිකාවේ      ටෙක්සස් ප්‍රාන්තයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනියා ලෙස      මෙළොව එළිය දකිනවා. බොනී දක්ෂ කිවිදියක් බව දන්නේ ඇයව ළගින්ම ඇසුරු      කරන්නන් පමණයි. ඇගේ වයස අවුරුදු හතරේදී ඇගේ පියා මිය යනවා. වයස අවුරුදු      16 ට දින හයකට පෙර ඇය ඇගේ පෙම්වතා වන රෝයි තොර්ටන් (Roy      Thornton) හා විවාහ වුවත් එම විවාහය කෙටි කළකට සීමා වෙනවා. ඔවුන්      කිසිවිටෙකත් දික්කසාද නොවුනත් ඔවුන් කිසිදා යළි මුණ ගැහෙන්නේ නෑ. ඇය මිය      යන මොහොත දක්වාම මේ විවාහයේ මුදුව ඇගේ අතේ දක්නට ලැබෙනවා.

     ක්ලයිඩ් චෙස්නට් බරෝ (Clyde Chestnut Barrow) වර්ෂ 1909 දී ටෙක්සස් වල      දූගී ගොවි පවුලක පස්වන දරුවා ලෙස උපත ලබනවා. මේ ගොවි පවුල 1920 ඩලස්      ප්‍රාන්තයේ පදිංචියට යනවා. ක්ලයිඩ් පළමු වතාවට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ      කූලී මෝටර් රථයක් නිසි වෙලාවට බාර නොදීමේ හේතුව නිසයි. සමහර      අවස්තාවලදි ඔහු නිත්‍යානුකූල රැකියා වල නියැලුනත් බොහෝ විට වාහන සොරකම්      කිරීම, සේප්පු විවෘත කිරීම, කඩ සාප්පු මංකොල්ල කෑම වැන නිතිවිරෝධි ක්‍රියා වල      ඔහු නියැලෙනවා

     මොවුන් දෙදෙනා පළමුවෙන් මුණ ගැහෙන්නේ ටෙක්සස් ප්‍රාන්තයේදී. ඒ 1930      ජනවාරි මාසයේ පස් වනදා (නිවැරදිම වාර්තා නොවේ). එකිනෙකා මුණ ගැහැණු      විටම ප්‍රේමයෙන් බැදුණු මොවුන් දෙදෙනාගේ ප්‍රේම සවාරිය නිමවන්නේ ක්ලයිඩ් රථ වාහන සොරකමකට වරදකරුවීමත් සමඟින්. මෙයට වරදකරු වන ක්ලයිඩ් සිරදඩුවම් ලබනවා.

වරක් බොනී විසින් රහසේ සඟවාගෙන ගිය ගිනි අවියක ආධාරයෙන් ඔහු සිර බාරයෙන් මිදි පලා යෑමට සමත් වුවත් මොවුන් දෙදෙනාම නැවත වරක් නීතියේ රැහැනට අසුවෙනවා. හිර දඩුවම් විහින අතර ක්ලයිඩ් විවිධ ලිංගික අඩත්තෙට්ටම්වලට අපහරණයන්ට ලක්වන අතර වරක් සිය අපයෝජකයාගේ හිසට යකඩ පයිපෙකින් පරදි දී ඔහුව මරාදමනවා. කෙසේ නමුත් මේ පිළිබඳ වගකීම මරණ දඩුවම ලබා සිටි වෙනත් සිරකරුවෙක් බාර ගැනීම නිසා ක්ලයිඩ් මරණ දඩුවමෙන් බේරෙනවා.

1932 පෙබරවාරි මාසයේදී ඇප පිට නිදහස්වන ඔහු සිය අපරාධ රැල්ල ආරම්භ
කරන්නේ ෆුල්ට්ස් (Fults) නම් සහායකයා සමඟ. සිරෙන් නිදහස් වන විට ඔහු අමුතුම පුද්ගලයෙක් බවට පත්ව සිටි බව ඔහුගේ සොයුරිය වන මේරි වරක් පවසනවා. මේ අපරාධ රැල්ලේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙන්නේ ගබඩා සහ ඉන්ධන පිරවුම් හල්. මාස කීපයකට පසුව සිරෙන් නිදහස් වන බොනී සිය පෙම්වතා සමඟ මේ අපරාධ
රැල්ලට එකතු වෙනවා.

1932 අග භාගය වන විට බොනී සහ ක්ලයිඩ් කල්ලිය හා එකතු වන්නේ රෙමන්ඩ් හැමිල්ටන් (Raymond Hamilton) නම් තරුණ තුවක්කුකරුවා. මාස කීපයකට පසුව මෙම කල්ලියෙන් ඔහු ඉවත්වෙනවා. ඒ වෙනුවට ඔවුනට එකතු වන්නේ විලියම් ඩැනියෙල් ජොන්ස් (William Daniel Jones) නම් පුද්ගලයා. පසුව මොවුන් තිදෙනා සමඟ ක්ලයිඩ්ගේ සොහොයුරෙක් හා ඔහුගේ බිරිද (Buck and Blanche Barrow) එක්වීමෙන් පස් දෙනෙක්ගෙන් සමන්විත කල්ලියක් බවට පත්වෙනවා.

මේ කල්ලියේ මංකොල්ලකෑම් හා මිනිමැරුම් වැඩි කලක් නොයාම පොලීසියට හා අනිකුත් නීති රකින් ආයතනවලට හිසරදයක් වන්න පටන් ගන්නවා. මොවුන් විසින් සිදුකරන මේ දරුණු මංකොල්ලකෑම් පුවත්පත් ගණනාවකම ප්‍රධාන සිරස්තල බවට පත්වෙන්නේ බොහොම කෙටි කාලයක් තුලයි. 1933 දී ඇති වන ගැටුමකදී බක් මාරාන්තික තුවාල ලබන අතර බ්ලන්ච් අත් අඩංගුවට පත්වනවා. ඉන් අනතුරව
ජොන්ස් අත් අඩංගුවට පත්වුවත් ක්ලයිඩ් යුවල අල්ලා ගැනීමට නීති නිලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.

     1933 නොවැම්බර් මස 22 ටෙක්සස් හී ෂේරීෆ් කාර්යයාලය මොවුන්      දෙදෙනා අල්ලා ගැනීමට උපක්‍රමක් යෙදුවත් එයත් සාර්ථක වෙන්නේ      නෑ. මෙහිදී ඇතිවන දරුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව මොවුන්      දෙදෙනා පලා යනවා. 1934 ජනවාරි මස 16 වන දින මොවුන් දෙදෙනා      රේමන්ඩ් හැමිල්ටන් ඇතුළු සිරකරුවන් පස්දෙනෙක් මුදාගන්නවා.      මෙහිදී පලායන සිරකරුවන්ට ආරක්ෂාව සපයන්නේ මැෂින්      තුවක්කුවක් අතින් ගත් බොනී විසිනි.

     1934 අප්‍රේල් 01 පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මොවුන් විසින් මරා      දමන අතර අප්‍රේල් මස 4 වෙනිදා පොලිස් කොස්තාපල්වරෙක්      මොවුන්ගේ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලබනවා. මීට අමතරව      මොවුන් විසින් පොලිස් ප්‍රධානියෙක් පැහැරගනු ලබනවා. මේ වන විට      නීති නිලධාරීන් මොවුන් අල්ලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටියත් ඒ සෑම දෙයක් මිදී පැනගැනීමට මෙම කල්ලියට හැකියාව ලැබෙනවා. රටපුරා මොවුන්ගේ ජායාරෑප ප්‍රදර්ශනය කර මොවුන් ගැන ඔත්තු සපයන්නන්ට මුදල් ත්‍යාග පිරිනැමීමමට කටයුතු කරනවා. ඒත් එයින් කිසිදු ප්‍රථිපලයක් ලැබෙන්නේ නෑ.

මොවුන්ගේ ප්‍රහාරකින් මේජර් ජෝ ක්‍රොව්සන් (Major Joe Crowson) මියයෑමෙන් අනතුරුව මෙම කල්ලිය නීතියේ රැහැනට හසුකරගැනීම නීති නිලධාරින් විසින් දැඩි ක්‍රියා මාර්ග වලට එළඹෙනවා. ටෙක්සස් හී නීති නිලධාරින් (The Texas Department of Corrections) විසින් හිටපු ටෙක්සස් රේන්ජර්වරයකු වන කැප්ටන් ෆ්‍රෑන්ක් හැමර් (Captain Francis Augustus Hamer) සහය ලබාගන්නවා. මොහු ඉතාමත් දක්ෂ නිලධාරියකු වන අතර මරණ 53 ඔහුගේ නම යටතේ සඳහන් වෙනවා. කැප්ටන් ෆ්‍රෑන්ක් හැමර් තම සහයකයා ලෙස තෝරා ගන්නේ විශ්‍රාමික ටෙක්සස් රේන්ජර් වරයකු වන බෙන්ජමින් “මැනී” ග්ල්ට් (Benjamin Maney Gault). මේ වන විට මොවුන් සේවය කළ ටෙක්සස් රේන්ජර්ස් නම් නීතී ආයතනය ටෙක්සස් හී නගරාධිපතිවරිය විසින් විසිරවා හැරයි තිබෙන්නේ.

     බොනී සහ ක්ලයිඩ් කල්ලියේ මංකොල්ලකෑම් දාමය හොදින් අධ්‍යනය කරන      ෆ්‍රැන්ක් එහි යම් කිසි රටාවක් හදුනාගන්නවා. මේ රටාව ඔස්සේ දිගටම මොවුන්      ලුහුබදින ෆ්‍රැන්ක් හා මැනී තවත් නීතී නිලධාරීන් හතර දෙනෙක් සමඟ ලුවිසියානා      ප්‍රදේශයේ දුෂ්කර ගම්බද පාරක සැඟව සිට කරන පහරදීමක් සැලැසුම් කරනවා.      මොවුන් දෙදෙනා ටෙක්සස් නීති නිලධාරීන් වු හින්ටොන් (Hinton), ඇල්ක්‍රොන්      (Alcorn) සහ ලුවිසියානා නීති නිලධාරීන් වු හෙන්ඩර්සන් ජොර්ඩන් (Henderson      Jordan) සහ ෆ්‍රෙන්ටිස් මොරේල් ඕක්ලි (Prentiss Morel Oakley) සමඟ මේ පාර      අසල වනයේ සැඟවී සිටිනවා.

     1934 මැයි මස 23 වෙනිදා උදෑසන 9.15 පමණ බොනී සහ ක්ලයිඩ් විසින්      පදවාගෙන යන ෆොර්ඩ් වී8 (Ford V8) වර්ගයේ මෝටර් රථයේ සද්දය මේ සැඟව      සිටින පිරිසගේ කන වැකෙනවා. ඉදිරිපසින් පාර හරස් කර වාහනයක් නවතා      තිබෙන්නේ මොවුන්ගේ පලායාව වැලක්වීමටයි. වාහනයේ අයිතිකරු බොනී සහ      ක්ලයිඩ් හොදින් හදුනන අයෙක්. වාහනයේ කාර්මික දෝෂයක් ඇති බව හගවන      මෙන් හැමර් කලින්ම මේ පුද්ගලයාට උපදෙස් දී තිබුණා.

     හැමර් සිතු ලෙසම බොනී සහ කලයිඩ් මේ උගුලට හසුවෙනවා. වාහනය නවත්වන      අවස්ථාවේ සැඟවී සිටින තැන්වලින් එළියට එන නීති නිලධාරීන් බොනී සහ ක්ලයිඩ්      යුවලට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඔවුන් සතු ගිනි අවිවල වෙඩි උණ්ඩ      ඉවරවන තුරු වට 130 පමණ එක දිගට වෙඩි පහරවල් එල්ල කරනවා. ඕක්ලි තබන වෙඩි පහරක් හිසටම වදින ක්ලයිඩ් ක්ෂණයකින් මියයනවා. ඔවුන් ලැබූ වෙඩි පහරවල් වලින් මොහොමයක් මාරාන්තික එවා වන බවට රජයේ වාර්තා වල සඳහන් වෙනවා.

හින්ටොන්ගේ හා ඇල්ක්‍රොන්ගේ වාර්තාවල සඳහන් වන පරිදි, සෑම නිලධාරියෙක් සතුවම ෂොට් ගන් එකක් ස්වයංක්‍රීය රයිෆලයක් හා පිස්තෝලයක් තිබී ඇත. ඔවුන් වෙඩි තැබීම ආරම්භ කර ඇත්තේ ස්වයංක්‍රීය රයිෆල්වලින්. ෆොඩ් රථය ඔවුන් කිට්ටුවට ඒමටත් පෙර ඒවායේ උණ්ඩ අවසන් වී ඇති අතර ඊළගට වෙඩි තැබීමට පාවිච්චි කරන්නේ ෂොට්ගන්. මේ වන විට මෝටර් රථය දුමින් පිරීගොස් ඇති අතර එය ගිනි ගනීවිදැයි සැකයක් ඔවුන්ට පහලවී තිබුණා. ෂොට්ගන් වල උණ්ඩ ඉවරවීමෙන් අනතුරුව තමන් සතු පිස්තෝල යොදාගෙන ඔවුන් දිගටම මොටර් රථයට පහර දෙනවා. මේ වන විට මෝටර් රථය ඔවුන් පසුකර ගොස් පාරේ ඇති අගලකට වැටී අවසානයි. වාහනය නැවතුණු පසුත් ඔවුන් දිගින් දිගටම එයට වෙඩි තබනවා. ඔවුන්ගේ වචනයෙන්ම පවසතොත් ඔවුන් එහිදී කිසිම අවස්තාවක් ගැනීමට සුදානම් (We weren't taking any chances) වී නෑ.

වාහනය සොදිසි කරන විට එය තුල තිබී සොරකම් කරන ලද ස්වයංක්‍රීය රයිෆල් (automatic rifles), අත් තුවක්කු (handguns), ස්වයංක්‍රීය ෂොට් ගන් (sawed-off semi-automatic shotguns) සමඟ උණ්ඩ වට 7000 පමණද විවිධ ප්‍රාන්ත වල වාහන නොම්බර තහඩු 15 ක් පමණද එහි තිබී ඇත.

මොවුන් දෙදෙනාගේ මරණයේ පුවත බොහෝ ඉක්මනින් නගරය අවට ජනතාව අතර පැතිර ගොස් ඇති අතර මොවුන්ගේ මළ සිරුරු නැරඹිමට දහස්ගණනක ජනතාවක් එම නගරයට එක්රොක්වී තිබෙනවා. මෙම ජනතාව අතරින් බොහෝ දෙනෙක් මොවුන් දෙදෙනාගේ සිරුරින් මතක සටහන් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර සමහරෙක් බොනීගේ ඇදුමේ රෙදි කැබලි මෙන්ම කොණ්ඩ කැබැලිත් කපාගෙන ගොස් තිබෙනවා. තවත් අයෙක් වාහනයේ වීදුරු කැබලි පවා සමරු සටහන් ලෙස එකතු කරගෙන තිබෙනවා.

බොනී සහ ක්ලයිගේ කැමත්ත වුයේ එක ළගම සමාදානයේ සැතපීමට වුවත් බොනීගේ මව මෙයට විරුද්ධ වී තිබෙනවා. බොනීව ප්‍රථමයෙන් මිහිදන් කරන ලද්දේ ෆිෂ්ට්‍රැප් සුසාන භූමියේ (Fishtrap Cemetery) වුවත් 1945 දී ඇයගේ සිරුර ඩලාස් හී නිව් ක්‍රවුන් හිල් සුසාන භූමියේ (New Crown Hill Cemetery) මිහිදන් කෙරෙනවා. මැයි මස 26 දින බොනීගේ අවසන් කටයුතු සිදු කරන ලද අතර එයට 20,000 පමණ පිරිසක් සහභාගී වි තිබෙන අතර සෑම අතින්ම මල් ඇගේ අවසාන ගමන සැරසීමට එවා තිබුණා. එලෙස මල් හා සමරු සටහන් එවු අය අතරින් විශේෂිත පුද්ගලයින් දෙදෙනෙකු ලෙස සටහන් වෙන්නේ ෆ්‍රිටී බොයි ෆ්ලොයිඩ් (Pretty Boy Floyd) හා ජොන් ඩිලින්ජර් (John Dilinger) නම් දාමරිකයින් දෙදෙනයි.

ක්ලයිඩ්ගේ අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ මැයි මස 25 දින සවස් කාලයේ ඩලාස් වල වෙස්ටර්න් හයිට්ස් (Western Heights Cemetery) සුසාන භුමියේ. මෙයට 15,000 පමණ පිරිසක් සහභාගී වී තිබෙනවා. ඔහුව මිහිදන් කර ඇත්තේ ඔහුගේ සොහොයුරෙක් වන මර්වින් අසලින්. ඔවුන් දෙදෙනා අදටත් එකම කළුගල් ස්මාරකයක් හිමිකර ගනිමින් අද දක්වාම එහි නිදනවා. එහි සඳහන් වන්නේ "Gone but not forgotten" ලෙසයි.

වර්ෂ 1935 දී ටෙක්සස් හි නගරාධිපතියගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව ටෙක්සස් රේන්ජර්ස් නීති ආයතනය නැවත වරක් සේවයේ පිහිටුවා තිබෙනවා. මැනී නැවත වරක් එහි රැකියාව ලබා 1947 දෙසැම්බර්බර් මස 14 වන දිය මියයනතෙක්ම එහි ටෙක්සස් රේන්ජර්වරයකු වශයෙන් සේවය කරනවා. ටෙක්සස් රේන්ජන්වරුන් අතර ග්‍රේෂ්ඨයෙක් ලෙස කැප්ටන් ෆ්‍රැන්ක් හැමර් අදටත් සලකනවා. නැවත සේවය එක නොවන ඔහු සිය බිරිද වන ගැලැඩිස් සමඟ නිහඩ ජීවතයක් ගත කරනවා. ඔහු 1955 ජූලි මස 10 වෙනිදා මිය යනවා. මොවුන් දෙදෙනාගෙම සිරුරු මිහිදන් කර ඇත්තේ ඔස්ටින් මතක උද්‍යාන සුසාන භූමියේ (Austin Memorial Park Cemetery).

බොනී සහ ක්ලයිඩ්ගේ ජීවිත කතාව චිත්‍රපට, රූපවාහීනි වෘතාන්ත, සින්දු, වේදිකා නාට්‍ය, පොත් පත් වලටත් පාදක වී තිබෙනවා. 1958 දී මොවුන් දෙදෙනගේ ජීවිත කතාව චිත්‍රපටයක් ලෙස එළි දකිනවා The Bonnie Parker Story ලෙසින්. නැවත 1967 දී Bonnie and Clyde ලෙසින් තවත් චිත්‍රපටයක් එළි දකිනවා. මොවුන් දෙදෙනා පසු පසු හඹා යෑමේ කතා පුවත 2019 වසරෙදි චිත්‍රපටියක් ලෙස එළි දකිනවා The Highwaymen ලෙසින්. එය නම් විශිෂ්ඨ චිත්‍රපටියක්. බලලා නැති කෙනෙක් බලන්න. මේ අවසාන වෙඩි තැබීමේ ජවනිකාව ඉතාමත් තාත්වික ආකාරයට එහි දක්වනවා.

ඡායාරෑප හා තොරතුරු ජාලයෙනි. සමහර නම්වල සිංහල පරිවර්තන නම් එතරම්ම නිවැරදි නැතිව ඇති.

KB 2020.10.08

ඉස්කෝලේ කාලේ මං 5 - ශ්‍රමදානය

     ගොඩ දවසකින් බර්ටියට කතාවක් ලියන්නත් බැරිවුනා බ්ලොග් එකට.      මේ කියන්න යන ශ්‍රමදාන කටයුත්තට තමයි බර්ටියා පළවෙනි පාරට      පොදු වැඩක් එහෙමත් නැත්නම් සමාජ සේවා කටයුත්තක් විදිහට      සහබාගී වුනේ. බර්ටියට මතක විදිහට බර්ටියා එතකොට හිටියේ      ඉස්කෝලේ 10 වසර පන්තියේ. ඒ කියන්නේ 94 අවුරුද්දේ. අපේ      ඉස්කෝලේ ප්‍රථමාධාර කවයේ විසිවෙනි  සංවත්සරය වෙනුවෙන් තමයි      මේ කටයුත්ත ලෑස්ති කරලා තිබ්බේ. අපිට වඩා වැඩිමල් අයියලා      සෙට් එක තමයි මේ ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කරලා තිබ්බේ.      බර්ටියටත් ඉතින් මේකට සහබාගීවීමේ අවස්තාව ලැබුණා ප්‍රථමාධාර      කවයේ සාමාජිකයෙක් විදිහට.

     බර්ටියගේ අතිජාත මිත්‍රයන් වෙන ගමයයි පොකයයි මේ වැඩසටහනට      ආවා කියලා මතකයි. කොමනයි වවුලයි ගැන මතකයක් නෑ. ශ්‍රමදානය කරන්න තෝරගෙන තිබ්බේ ගම්පහ වතුරගම (205) බස් පාරේ බටේ පොල හන්දියේ තිබ්බ ළමා නිවාසයක්. මේ ළමා නිවාසේ හිටපු ළමයි අය සාමාන්‍ය අයට වඩා වෙනස්. ඒ අයට බුද්ධි වර්ධනයේ ගැටළුවක් තිබ්බා. අපි අර කට වහරේ කියන්නේ මන්ද බුද්ධික ළමයි කියලා. බර්ටියා ඒ ලෙවල් කරන කොට තමයි දැන ගත්තේ මේ ළමයි පෙලෙන්නේ ඩවුන්ස් සින්ඩ්‍රෝම් (Down’s syndrome) කියන තත්වයෙන් කියලා. සමහර වෙලාවට මේ තත්වය මොන්ගෝලීයතාවය කියලත් කියනවා. සමහරු කෙටියෙන් මොංගල් ළමයි කියලත් කියනවා.

ඩවුන්ස් සින්ඩ්‍රෝම් කියන්නේ ජාන විකෘතිමය තත්වයක් නිසා ඇති වන ජාන ගත රෝගයක්. ඒකට කිසිම පිළියමක් නෑ. මේ ජාන ගත රෝගයේ වර්ග තුනක් දකින්නට පුළුවන්. බුද්ධිය වර්ධනය වෙන්නේ ගොඩක් හෙමින්. මේ ඇරුණහම හෘද රෝග, ලිංගිකව පරිණත නොවීම, පැතලි නාසය වැනි ලක්ෂණ ගොඩක් දකින්න පුළුවන් මේ දරුවන්ගේ. ඒ ගැන බර්ටියා වැඩිදුර කතා කරන්න යන්නේ නෑ. මේ දෙවල් මොනවා වුනත් මේ දරුවනුත් මිනිස්සු කියන එක මතක තියාගන්න ඕන. බර්ටියා ඇතුළු කට්ටියටම ඒ දවස් වල මේ දේවල් ගැන අවබෝධය තිබ්බේ හරිම අඩුවෙන්.

ඔය මදෑ ඒ ගැන. දැන් ආයේ කතාවට එමු. කොහොම හරි ප්‍රථමාධාර කවයේ අපිට වඩා ජේෂ්ඨ සහෝදරයෝ වන මාලින්ද, මුතුගල, පීරිස්, වැද්දා රණසිංහ, සුරේෂ්, ලලිත් අයියලා එක්ක අපේ සෙට් එකයි අපිට වඩා බාල සෙට් එකකුයි ඒ කියන්නේ ඔක්කොම කට්ටිය 20 විතර මේ වැඩේට සෙට් වුනා. වතුරගම බස් එකේ ඇවිල්ලා බටේපොල හන්දියෙන් බහිනකොට පොකයත් එතනට ඇවිල්ලා හිටියා. මේ වැඩේට අපේ කවය බාර ගුරුතුමා වන ජයසේකර සරුත් සහබාගී වුනා. අපි ගෙට්ටුවෙන් ඇතුලට යනකොට මේ අය එක පාරටම මේ කට්ටිය අපිව වටකරගන්න කොට හිතට බයකුත් ආවේ නැතුවා නෙවෙයි.

අපි එනවා කියලා කලින් දැනුම් දිලා තිබ්බ නිසා එතන හිටපු නිලධාරීතුමත්
එක්ක කතා කරලා අපිට කරන්න තියෙන වැඩකටයුතු ගැන දැනුවත් වෙන එක තමයි මුලින්ම කලේ. මේ වැඩේ කොටස් තුනක් තිබ්බා. එකක් ශ්‍රමදානය. දවල් කෑමෙන් පස්සේ දෙකට විතර පොඩි විවිධ ප්‍රසංගයක්. හවස 5 ට විතර පන්සලට යනවා බෝධි පූජාවකට. ඔය විදිහට තමයි වැඩසටහන තිබ්බේ. අපිට ඇදුම් මාරු කරගන්න කාමරයක් දුන්නා. අපිත් ඉතින් ලෑස්ති වෙලා එළියට බැස්සා ශ්‍රමදානෙට.

ඒ ළමා නිවාසේ තිබ්බේ අක්කර ගාණක පොල් වත්තක. අපිට ඒ වත්ත සුද්ද කරන්න තමයි තිබ්බේ. අපේ උදව්වට ඒ ළමා නිවාසේ ඉන්න ළමයි ටිකත් ආවා. එයාලටත් ඒ වැඩ කරන්න පුරුදු කරලා තිබ්බා. බර්ටියලගේ සෙට් එකට වඩා ඒ ළමයින්ට වැඩ පුළුවන්. අපේ එවුන් රජ හොරුනේ. ඉතින් ඒ ළමයි එක්ක කදේ දාගෙන අපිත් වැඩ කරන්න ගත්තා.

ඔය අතර හිටියා කැපී පෙනෙන චරිත කීපයක්. බර්ටියට එහෙම දෙන්නෙක් ගැන මතකයි. එක්කෙනෙක් හිටියා පොර වාහන පිස්සෙක්. ඇවිදින්නේ නෑ දුවනවා වාහනයක් වගේ. යනකොට එනකොට “බීප්” ගාලා හෝන් පාරක් වදිනවා. ඉස්සෙල්ලාම හොන් පාර වැදුනහම අපි උඩ ගිහිල්ලා බැලුවා මොකක්ද යකෝ මේ කන ගාවින් වැදුනේ කියලා. බලනකොට මේකා. පොර පොල් ගහකින් පොල් ගෙඩියක් වැටුණ ගමන් බීප් ගාලා දුවගෙන යනවා පොල් ගෙඩිය අහුලගන්න. හොදට කතා බහ කරනවා. එහෙම අඩුවක් තියෙනවා කියලත් කියන්න බැරි තරම්. අනිත් කෙනාව මතක තිබ්බේ නම් පොර දාර හස්ත කර්මාන්ත කාරයෙක් නිසා. කොයි වෙලාවේ බැලුවත් කෙළින් කරන් අත් කරත්තේ දක්කනවා.

     කොහොම කොහොම හරි වත්ත සුද්ද කරලා ඉවර කරලා අපි මූණ කට      හෝදගන්න ගියා. ඒ වෙලාවේ තමයි ඇත්තම මන්ද බුද්ධිකයෝ කවුද      කියලා මාට්ටු වුනේ. බිම බැදපු ලොකු සිමෙන්ති ටැංකියකට වතුර      පුරවලා තියෙනවා නාන රෙදි හෝදන වැඩ වලට. ඒකට බාල්දි දාලා      වතුර ගන්න පුළුවන්. නිවාසේ ළමයි ටික බොහොම පිළිවෙළට බාල්දි      වලින් වතුර අරන් නාලා කරලා බොහොම පිළිවෙළට ගියා. ඒවා      ඔක්කොම පැත්තකට වෙලා බලන් හිටපු අපේ එවුන් ජබෝස් ගාලා අර      වතුර ටැංකියට පැන්නා. නිවාසේ බාර කට්ටියට හිතෙන්න ඇති වැරදි      මිනිස්සු තමයි ඒකේ තියන් ඉන්නේ කියලා.

     ඊට පස්සේ අපි දවල්ට කෑවා. අපිට කෑම එහෙන් ලෑස්ති කරලා තිබ්බා.      අපේ එවුන්ටත් කන්නම බෑනේ. බුරිය උල්වෙනකම් කාපු අපේ එවුන්      විවිධ ප්‍රසංගයට ලෑස්ති වුනා. එයාලත් ඒ වැඩේට ලෑස්ති වෙලා හිටියා. සංගීතය, නැටුම් වගේ දේවල් වලට ඒ ළමයි හරිම දක්ෂයි. එයාලා බොහොම ලස්සනට එයාලගේ ගායන වාදන නැටුම් ඉදිරිපත් කලා. අපේ එවුනුත් වැඩ දාන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් වරිගෙත් නහගන්නවා. තබ්බා ගහන්න බැරි සුරේෂයා තබ්ලා ගහන්න ගිහිල්ලා තබ්ලාවේ තිබ්බ බදාම හූරුපු විත්තිය ප්‍රසිද්ධ කතාවක් වෙලා තිබ්බා පහුකාලෙක. පිරිස් අයියා නම් පුරුදු විදිහට බට නලා පාරක් ගැහුවා කියලා මතකයි.

මේ වැඩ සටහන ඉවර වුනාට පස්සේ අපිට තිබ්බේ ඒ ළමයිනුත් එක්ක පන්සල් යන්න. පන්සලට කිලෝමීටරයක් විතර පයින් යන්න ඕන. අපිත් ඉතින් ඒ ළමයිනුත් එක්ක පේළි හැදිලා මල් හඳුන් කූරූ අතුලු අවශ්‍ය දේවල් අරන් පන්සලට යන්න පිටත් වුනා. බර්ටියයි ගමයයි සුරේෂ් අයියයි එක්ක තමයි අර වාහන පිස්සා ආවේ. පොර අපිත් එක්ක මාර විදිහට පිට් වුනා. පොරට පන්සලට එන ගෑණු ළමයෙක් ගැන පොරට සිතක් පහල වෙලා. ඉතින් අපේ ලව් විශාරදයෝ වෙච්ච ගමයයි සුරේෂ් අයියයි පොරට ලව් ලෙටර්ස් ලියන්න උගන්නනවා. සුරේෂ් අයියා තමයි වැඩේ පටන් ගත්තේ. උන් දෙන්නා කියපු විදිහට ලියුම ලියන්නේ මෙහෙම. මගේ සීනී බො‍ලේ. හකුරු පලුව. මම ඔයාට බොක්කෙන්ම ලව්. මම ඔයාට පානුයි ලුකයි කවන්නම්. ඔය පාන් කතාව එකතු කලේ අපේ ගමයා. ඕකට තියෙන්නේම ඔය ජාතියේ මොංගල් අදහස් තමයි. පොරව හරි නම් එහේ තියලා එන්න තිබ්බා. අපරාදේ ඒ දවස් වලා ඕක මතක් නුනේ.

පන්සලට සෑහෙන දුරක් ඇවිදගෙන යන්න තිබ්බා. ගම ඇතුලේ තමයි පන්සල තියෙන්නේ. ඒක බොහොම පරණ ඒ වගේම ලස්සන පන්සලක්. අපි ඉතින් බොහොම සැදැහැවත් උපාසකයෝ වගේ බෝධි පුජාවට සහබාගී වුනා. බෝධි පුජාව ඉවර වෙනකොට හවස 6.30 විතර ඇති.
ආපහු කරුවලේම ළමා නිවාසෙට ගියා කට්ටියම. නිවාසේ ළමයි ටිකටයි වැඩ කරන කට්ටියටයි ආයුබෝවන් කියලා එහෙන් පිටවෙලා එනකොට පොඩි දුකකුත් දැනුනා. ඒ මොකද කියන්න නම් දන්නේ නෑ.
ආයේ දවසක එන්නම් කියලා අපි කට්ටියම පිටත් වෙලා ආවා, ඒ වෙනකොටත් හොදටම අඳුර වැටිලා තිබ්බ නිසා.

ඒ ඇවිල්ලා සෑහෙන වෙලාවක් පාරට වෙලා ඉන්න සිද්ධ වුනා 205 පාරේ මාර කාර්යක්ෂම බස් සේවයක් තිබ්බ නිසා ඒ කාලේ. කොහොම
කොහොම හරි බර්ටියා සහබාගි වෙච්ච පළවෙනි සමාජ සේවා කටයුත්ත ඔහොම ඉවර වුනා. එදා හැදිච්ච ඒ උණ අද දක්වාම තියෙනවා. බර්ටියා මේ ළඟදි පොකයගෙන් ඇහුවා මේ තැන තාම තියෙනවද කියලා. ඒකයි වවුලයි දෙන්නම කිවුවේ තාම ඒ තැන තියෙනවා කියලා. එහෙනම් අදට ඇති. බර්ටියා ගිහින් එන්නම්.

KB 2020.10.04

තනිවු රාධා

රාධා ක්‍රිෂ්ණා ආදර අන්දරය බොහොමත්ම ජනප්‍රිය පෙම් කතාවක්. එය විශාල නිර්මාණ ප්‍රමාණයකට දායකවි තිබෙන ප්‍රේම පුරාවෘත්තයක්. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක් විදිහට ක්‍රිෂ්ණ එහෙමත් නැත්නම් කෘෂ්ණ සලකනවා. හින්දු දෙවිවරු අතරින් වැඩිමනත්ම පුජාවට, ගෞරවයට ලක්වන දෙවියෙක් ලෙස ක්‍රිෂ්න නම් කරන්න පුළුවන්. ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබන්නේද ක්‍රිෂ්න දෙවියන්වමයි. නන්දා මාලිනියන්ගේ යමුනා ගංතෙර ගීතයේ මාතෘකවා වන්නෙත් අපි මේ කතා කරන ක්‍රිෂ්නා.

ශ්‍රී ජයදේව නමැති ඍෂි වරයා රචනා කළ ගීත ගොවින්දයට අනුව රාධා නම් රෑමත් තරුණියත් ක්‍රිෂ්නා නම් ගොපළු තරුණයත් අතර ඇතිවන්නා වු ප්‍රේමය රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තයේ දැක්වෙනවා. මොවුන් දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය කායික ඇසුරක් දක්වාම යන්නකි. ටික කලකින් ක්‍රිෂ්ණ ගෝපිකාවන් සමග ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. මේ ක්‍රිෂ්ණා හා රාධා අතර ඇතිවන ප්‍රේමය තවත් මානයකින් දැකීමකි.

දිවා කාලය සැඟව ගොස් සැදෑවත් එළඹ ඇත
පිරුණු දෑසින් කඳුලැල්
තවමත් සිටිමි මම බලා
සන්තාපයෙන් පෙර මඟ

එක්ව අතැඟිලා පටලා
ඇවිද යන්නට මල් පාවඩ මතින් වෘන්දා වනේ
පෙරුම් පුරමින් බලා සිටියෙමි මම
සතුටින් පිරුණු හදැතිව

පෙම්බස් දොඩමින් විදින්නට ප්‍රේමය
බලා සිටියෙමි නොඉවසිල්ලෙන්
බොහෝ දිනක් මේ රාධා
ඇයිද පමා ඔබ මෙතරම්
ඔබ කොහේ හෝ සැඟවුණිද මා දමා

ගොපළු ලියන්ගේ සුවදේ දැවටි
තවමත් ඔබ කෙළිදොලෙන්ද
යමුනා ගං තෙරේ
සොයමි මම තවමත් ඔබව ක්‍රිෂ්ණා
හද පිරි සෙනෙහසින්
රාධා තවමත් බලා සිටියි පෙර ලෙසම
ඔබ එනතුරා
___________________________________________________________________
KB 2020.09.08

පත්තරේ

බර්ටියා ඉස්කෝලේ යන කාලේ වැඩිය ඉන්ටර්නෙට් තිබුනේ නෑනේ. ඉතින් අපි අහවල් දේ ගැන දැනුම දියුණු කරගන්න පාව්ච්චි කලේ මුද්‍රිත මාධ්‍ය තමයි. දැන් නම් ඒවා හොයාගන්නවත් නෑ බර්ටියා දන්න තරමට. අපි ඉතින් බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන මේවා අරගෙන බොහොම රහසිගත උපක්‍රම පාවිච්චි කරලා ඕවා එකිනෙකා අතර බෙදා හැරියා. ඉස්කොලේ ගෙනිහිල්ලා මාරු කරගන්න එක තමයි අමාරුම වැඩේ වුනේ. එක පාරටම ගෙට්ටුව ගාවදි බෑග් චෙක් කරන වැඩ සටහන් එහෙම තිබ්බා. ඕවායින් බේරිලා බොහොම අමාරුවෙන් තමයි මේ දැනුම දියුණු කරගන්න කාරණා ඉෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන් වුනේ.

බර්ටියා ඉස්සෙල්ලාම මේ පත්තරයක් බැලුවේ බර්ටියා ගණන් වලට ගිය ක්ලාස් එකේදී. බර්ටියට මතක විදිහට සමනද කොහෙද පත්තර පිටු කීපයක් උස්සගෙන ඇවිල්ලා තිබ්බා. ඕක අපේ සෙට් එකේම අතින් අතට මාරුවුනා.

ඒ දවස් වල ඒ කියන්නේ 96 දි විතර ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහා පත්තර විකුණණ කඩයක් තිබ්බා. ඒකේ ඔය නොයකුත් විදියේ අධ්‍යාපනික ප්‍රකාශන තිබ්බා. සීදේවි, නවරස වගේ ඒවා ඒ අතර තිබ්බා කියලා බර්ටියට තාමත් මතකයි.

ඔය අස්සේ ප්‍රියාදරී කියලා එකකුත් ආවා. එකෙන් නම් බොහොම පහළ මට්ටමේ අධ්‍යාපනයක් තමයි ලබා දුන්නේ. ඕක ආවේ 98 විතර. අපි AL කරනවා. අපේ පන්තියේ පිටිපස්සේ පොලිමේ සෙට් එක (බර්ටියා ඇතුලුව) රුපියල් පහ පහ දාලා තමයි ඔය පත්තරේ ගත්තේ. දීප්තියා තමයි පත්තරේ ගේන්නේ. අවසානයට එන්නේ බර්ටියට. බර්ටියා ඕක බලලා පත්තරේ ගිනි තියලා දාන එක තමයි කරන්නේ. අහුවුනොත් එහෙම එම්බාම් නැතිවම බර්ටියව එම්බාම් කරනවා බර්ටියගේ අම්මා.

ගම්පහ පත්තර කඩෙන් බර්ටියා පත්තරයක් ගන්න යන්නේ කල්යල් බලලා. ළඟ පාත ඉදලා කඩේ ගාව කවුරුවත් නැති වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ මදිවට පත්තර කඩේ අයියා ඉන්න වෙලාවක් වෙන්නත් ඕන. අක්කා හිටියොත් ඉල්ලන්න ලැජ්ජයි. ඔහොම පෙරුම් පුරලා වෙලාවක් ආපු ගමන් ටක් ගාලා පැනලා සල්ලි දික්කරන ගමන් අරක දෙන්න කියලා පත්තරේ පෙන්නනවා මිසක් නම් කියලා ඉල්ලන්නේ නෑ. පත්තරේ ලැබුණ ගමන් තුනට හතරට නවලා කලිසමේ සාක්කුවේ දාගන්නවා. ආයේ ගෙදරට යන්කම් එළිය දකින්න හම්බවෙන්නේ නෑ පත්තරේට. එක දවසක් බර්ටියා පත්තරයක් ගන්න යන්නකොට අලුත් පත්තරයක් තියෙනවා පත්තර ලෑල්ලේ. බර්ටියට එකේ නම නම් මතක නෑ. අම්මට හුඩු මේක හොද අලුත් එකක් වෙන්න ඇති කියලා හිතාගෙන අරක දෙන්න කියලා සුපුරුදු විදිහටම පෙන්නවා. කඩේ එකත් වචනයක් නොකියා පත්තරේ දෙනවා. බර්ටියත් ඕක දඩ බඩස් ගාලා නවලා කලිසමේ සාක්කුවේ දාගෙන ගෙදර ගිහිල්ලා ඕක හංගලා, වැඩ කටයුතු ඉවරවෙලා අනිත් අය නිදාගත්තහම පත්තරේ ගත්තා නිදහසේ කියවලා බලන්න.

පත්තරේ අතට අරන් දිග ඇරලා බැලුවහම බර්ටියට හික් ගෑවුනා. ඒක ඇවිල්ලා සංගීතය ගැන තියෙන පත්තරයක්. පත්තරේ පුරහම ස්වර ප්‍රස්තාරයි එක එක සින්දුයි මියුසික් කරන අය ගැන විස්තරයි තමයි තිබ්බේ. බර්ටියාට ආපු ආතල් එක කියලා වැඩක් නෑ. ඔච්චර කොමාන්ඩෝ ගේමක් දීලා ගත්තට වැඩේ හබක්.

මේවා ඉස්කෝලේ ගෙනියන්නේ බර්ටියා මේස් එක අස්සේ ගහගෙන. ඒ කාලේ අපි දිග කලිසමනේ ඇන්දේ ඒක හින්දා අවුලක් නැතුව වැඩේ කරන්න පුළුවන් වුනා. මේස් එක අස්සේ පත්තරේ ගහගෙන උඩ හරයට වෙන්න රබර් පටියක් දානවා. එතකොට මේස් එක පාත්වෙන්නේත් නෑ. පත්තරේ එළියට එන්නෙත් නෑ. පත්තරේ ගෙනියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එක අතුරුදහන්වෙලා යනවා. පත්තර පිටුවක්වත් දකින්න ලැබෙන්නේ නෑ. බර්ටියා බොහොම කලාතුරකින් තමයි මේ පත්තරයක් ඉස්කෝලේ ගෙනිච්චේ. සාමාන්‍යයෙන් බර්ටියා පත්තරේ කියවලා ඉවර වෙච්ච ගමන් ගිනි දෙයියන්ට පූජා කරලා දානවා බහිරව පූජාවක් විදිහට. පොරත් පත්තරේ බලලා යමක් ඉගෙන ගන්නේ නැතෑ ඉතින්. බර්ටියාගේ ඇදේ මෙට්ටෙට යටින් තඩි කාර්පට් එකක් ඇදේ ගානට නවලා දාලා තිබ්බා. ඔයා කාපට් එක අස්සේ තමයි බර්ටියා පත්තර ගෙනාවහම හංගන්නේ. ඒක කවුරුවත් කිසිම වෙලාවක ඇදලා බලන්නේ නැති නිසා ඒක බොහොම ආරක්ෂිත ස්ථානයක්.

දවසක් බර්ටියා අධ්‍යාපන (සීදේවි එකක්) ප්‍රකාශනයක් ගෙනල්ලා කාර්පට් එක අස්සේ හංගලා සෙල්ලම් කරන්න ගියා. එදා බර්ටියෙගේ අම්මා ගෙදර හිටියෙත් නෑ. ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට බර්ටියා අඳුනන අංකල් කෙනෙක් ආවා අත් ට්‍රැක්ටරේකුත් අරගෙන. නෑ නෑ රෑට පදින එකක් නෙමෙයි පාරේ පදින එකක්. ගෙදර වෙන කවුරුවත් නැති නිසා බර්ටියා ගෙදරට ගියා මොකද කියලා බලන්න. යකෝ අංකලයා ඇවිල්ලා තියෙන්නේ කාර්පට් එක අරගෙන යන්න ගෙදර තියෙන පාටියකට සාලෙට දාන්න.

කෙළවෙනවා කියන්නේ ඕවට තමයි. පත්තරේ පිටින් කාර්පට් එක ගෙනියන්න දෙන්න බෑනේ. අනිවා පහුවදාට සාක්කි පිටින් සීදේවි ගෙදර එනවා. ගුටි කන හැටි මැවිලා පේනවා බර්ටියට. අංකලයත් එක්කම කාමරේට ගිහිල්ලා කා(ර්)පට් එක එළියට අදින ගමන් හිමින් සැරේ අත දැම්මා පත්තරේ ගහලා තිබ්බ තැනට. අහුවුනේ නෑ. ඒකත් බර්ටියා අස්සෙම ගහලා. සාක්කි පිටින්ම යවනවට වඩා හොදයි මෙතන චාටර් වෙලා පත්තරේ අතට ගන්න එක හොදයි කියලා තිතරණය කරපු බර්ටියා අංකල්ට පොඩ්ඩක් ඉන්න කියලා කාපට් එක දිග ඇරලා පත්තරේ එළියට ගත්තා.

ඕක දැකපු අංකලයා “මොනවද පුතා මේ බලන්නේ” කියලා ඇහුවා. බර්ටියත් ඉතින් “මගේ එකක් නෙවේ අංකල්. මේක යාළුවෙක්ගේ” කියලා ඉදිරි පාදයෙන් ක්‍රීඩා කරමින් ආරක්ෂිත පහරක් එල්ල කලා. අංකලත් දැක්ක ගමන් අඳුරගන්න පොරත් ඒවා බලනවද කියලා බර්ටියට ඒ වෙලාවේ හිතුණා. ඒත් ඇහුවේ නෑ වැඩේ වකූර් වෙලා තියෙන නිසා. බර්ටියගේ පෙර පිනකට අංකලයා ඔය සිද්ධිය ඇන්ටා එක්ක කියලා තිබ්බේ නෑ. එහෙම වුනා නම් නැව් ගුටි තමයි. බර්ටියා නම් ඒ දවස් දෙක තුන පපුවේ බිත්තර තම්බ තම්බා හිටියේ කොයි වෙලාවේ කන්න වෙයිද කියලා. වාසනාවකට ඒකෙන් ගැලවුනා.

ඔහොම වුනා කියලා ඔය පත්තර බලන එකවත් පත්තරේ කා(ර්)පට් එක යට හංගන එකවත් නතර වුනාද? නැනේ. නෑනේ. එතනම තමයි දිගටම පත්තරේ හැංගුවේ. ඒත් ආයේ කවුරුවත් කාපට් එක ගෙනියන්න නම් ආවේ නෑ බර්ටියගේ වාසනාවට.

දවසක් ඉස්කෝලේදී උදේම ඉස්පිරිතාලේ යන්න වුනා ලෙඩෙක් අරගෙන. පොඩි එකෙක් උදේම පිනුමක් ගහලා තුවාල කරගෙන. බර්ටියයි කොමනයි ප්‍රථමාධාර කවය බාර ලැවෝසියර්ටත් විස්තරේ කියලා ත්‍රී වීල් එකකුත් හොයාගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා පොඩි එකාට මැහුම් තුන හතරකුත් දාගෙන ත්‍රී වීල් එකකම ඉස්කෝලෙට එනකොට පරක්කු වෙලා ආපු එවුන්ගේ බෑග් චෙක් කරනවා. කොමනත් ඔළුව දාලා බලලා විස්තරේ කියලා වීල් එක ඉස්කෝලේ ඇතුලට ගන්නකොටම එක පාරටම පත්තරයක් ආවා.

මළ මඟුලයි අපි දෙන්නටත් උතුර දකුණ මාරු වුනා. බර්ටියා ටක් ගාලා පත්තරේ අරන් සාක්කුවේ දාගත්තා. ප්‍රථාමාධාර කාමරේට ගිහිල්ලා පත්තරෙත් හංගලා පන්තියට යන්න හදනකොට පත්තරේ අයිතිකාරයා ආවා පත්තරේ හොයාගෙන. ඒකා කොමනගේ පන්තියේ එකෙක්. කොමනව දැකලා පත්තරේ වීල් එක ඇතුලට වීසී කරලා සර්ලට අහුවෙන එකෙන් බේරෙන්න. තව පොඩ්ඩනේ අපි දෙන්නත් ගස් යනවා.

පත්තරේ විස්තරේ ඉවරයි ඉතින්. බර්ටියා ගියා එහෙනම්.

KB 2020.09.11

නික්මීම

ගැහැණියක හා පිරිමියෙක් අතර ඇති වන අද්වීතීය බැදීමක් විටෙක ආදරය ලෙස හුවා දැක්විය හැක. දෙදෙනෙකු අතර ආදරය බිදී ගිය විට ඇතිවන්නේ විරහවයි. එය දුකට හේතුවන්නා වු කාරණයක් වන අතර මෙම දුක විටෙක වෛරයකට පවා පෙරලිය හැකිය. ඇතැමෙක් විරහා වේදනාවෙන් මිදීමට මදු විතට යොමු වේ. බර්ටියා තම විරහව අකුරට හැරවුයේ මේ අයුරිනි.

තොල් පෙති අග මිමිණු
කවියක්ම වීය නුඹ මට . . . . .
ඒ කවියේ මිහිරෙන්
මත්ව ගෙව් අල්ප වු කාලය
සොඳුරුයි කිව නොහැකි තරම්
ප්‍රභාෂ්වර වු හැඟුමන්
හදේ කැටි කොට
නික්ම ගියේ නුඹ
අනුන්ගේ බහකටමදැයි
නොසිතේ මට කිසිවිටෙකත්
___________________________________________________________________
KB 2020.09.02

සිරවුණු සුසුම් . . . . . . !

විදී සරණ ළදුන් නැතිනම් ගණිකාවන් දෙස බොහෝ දෙනා බලන්නේ වපර ඇසකින්. ඒත් ඔවුන් බොහොමයක් මේ තත්වයට පත්වීම පිටුපස දුක්මුසු වු කතා පුවතක් දැකිය හැක. බොහොමයක් තම එදා වේල සරි කරගැනීමටත් දුවා දරුවන්ට සිප් සතර කරවීමටත් ලොව පළමු වෘත්තිය ලෙස සැලකෙන මෙය යොදා ගනී. මෙය නම්බුකාරකමට මෙන්ම විනෝදය උදෙසා කරනා ගැහැණුන්ද නැතිවම නොවේ. කෙසේ නමුත් මේ ඔවුන් ගැන කම්පිත ඇසකින් දකින්නට දැරූ උත්සාහයක්,


රතු හැට්ටෙන් වැසුණු ළමැදේ
නෙරා ආ පුන් පියයුරු
දුටුව පිරිමින් මුසපත් කළ රාගය
අඳුරු කුටියක රමණයෙන්
කෙළවර වන අප්‍රමාණ රාත්‍රීන්
නැගෙන කෙදිරිලි හඩ
පරයා නිහඩ බව රාත්‍රියේ

කිසිවෙකුත් දුටුවේද
තැවරුණු වත්සුණු පොදින් සැඟවු වේදනාවන්
කිසිවෙකුට ඇසුණේද
ළමැදේ සිරවුණු සෝ සුසුම් හඩ
කිසිවෙකුට හැගේවිද
රාගයෙන් ඔබ්බට ප්‍රේමයක්
___________________________________________________________________
KB 2020.08.24

බුදු පියාණෙනි . . . . . .

මෝහයේ අඳුරු පට බිද දමා
තුන් ලොවම සඳහම් එළියෙන් ඒකාලෝක කළ
මහා උත්තම පුරුෂයා ඔබයි
බුදු සමිදුණි


ඉමක් නොදැක සසර කතර අතරමන්ව
මෝහයෙන් මුලාව සිටි සතුනට යා යුතු මඟ හෙළිකළ
මහා මුණිවරයාද ඔබමයි
නිදුකාණෙනි

සසර ගින්නෙන් දැවෙනා සියළු ප්‍රාණීන්ගේ
දුක් ගිනි නිවීමට
මේ ධරණි තලය මත ඇද හැළුණු
අමා වැස්සද ඔබයි
මාගේ බුදු පියාණෙනි

කල්පාන්තයක් සසර කතර එක්ව තරණය කළ
යසෝදරාව පමණක් නොව රාහුල පුතුද හැරපියා
සියලු ලෝ සතුන් උදෙසා විමුක්තිය සොයා ගිය
මහා පරිත්‍යාගශීලියා ද ඔබයි
තිලොවග පියාණෙනි

හදේ පිබිදෙන දහසක් සියපත්
තබා මුණි පාමුල බැතින්
දොහොත් මුදුන් තබා නමදිමි
මාගේ සම්බුදු පියාණෙනි
___________________________________________________________________
KB 2020.05.17

සංගණනය

කට්ටියට මතක ඇති 2001 අවුරුද්දෙදි ලංකාවේ ජන හා නිවාස සංගණනයක් තිබ්බා. ඕක තියෙන දවස්වල බර්ටියා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. දවසක් කැම්පස් එකේ නෝටිස් එකක් ගහලා තිබ්බා සංගණනයේ වැඩ වලට තාවකාලික සංගණන නිලධාරීන් බදවා ගන්නවා කියලා. ඒ කරන වැඩ වලට ගාණකුත් දෙනවා කියලා තමයි ඒ නෝටිස් එකේ තිබ්බේ. කීයක් හරි හොයාගන්න වැඩක් නිසා බර්ටියා, බටයා, බඩා, කැලුමා ඇතුළු අපේ සෙට් එකත් ඔය කියන දවසේ ඔය කියන රැස්වීමට සහභාගී වුනා.

බර්ටියට මතක විදිහට මේ රැස්වීම තිබ්බේ යුනියන් එකේ. ඕකට සංගණන දෙපාර්තුමේන්තුවෙන් නිලධාරින් කීප දෙනෙක් ඇවිල්ලා අපිව දැනුවත් කලා. සංගණන නිලධාරීන් විදිහට බදවා ගන්න කට්ටියට වගකීම් කීපයක්ම පැවරෙනවා. පළවෙනි රාජකාරිය සංගණන දිනයට කලින් තමන්ට අයිති ප්‍රදේශයේ ගෙයින් ගෙට ගිහිල්ලා තොරතුරු එකතු කරගන්න තියෙනවා. ඒ වැඩේට දෙනවා තඩි පොතක්. දෙවෙනි රාජකාරිය සංගණන දිනය දවසේ තමන්ට බාර ප්‍රදේශයේ කට්ටිය ගණන් කරන එක. ඊළගට පුරවපු තොරතුරු ටික එකතු කරලා සාරාංශයක් හදන්න ඕන. එකට වෙනම පත්‍රිකාවක් දෙනවා පුරවන්න. අන්තිමට පොතේ තියෙන ගණනුයි පත්‍රිකාවේ දාන එකතුවයි සමාන වෙන්න ඕන. ඔය වැඩ ටික කරනවට බර්ටියට මතක විදිහට රුපියල් 3000 ගාණක් ගෙවුවා. ආබාධිත කවුරු හරි ඉන්නවා නම් එක වෙනම කොළයක සටහන් කරගන්න ඕන. ඒක ආබාධිත පුද්ගලයෙකුට රුපියල් 5 ක් වෙනම ගෙවුවා.

අපිත් ඉතින් ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න මිනිස්සුනේ. මේක කියක් හරි හොයාගන්න හොද චාන්ස් එකක් නිසා අපිත් මේකට සෙට් වුනා. ඒ අස්සේ අපිට ආතල් එකක් ගන්නත් පුළුවන්නේ. ඒ මදිවට වැඩ ඔක්කොම ඉවරවුනාට පස්සේ සහතිකයකුත් දෙනවා කිව්වා. සංගණනය දවසේ කන්න බොන්නත් දෙනවා. අපිට ඔය මදෑ. කොහොමත් විවෘතයේ 30 විතර මේ වැඩේට සෙට්වුනා. ඒ හැමෝම වගේ අපි දන්න කියන කට්ටිය. ඉතින් අපිට ඔය පොත පුරවන්න ඕන කරන විස්තරත් කියලා දීලා, අපේ විස්තර අඩංගු පොඩි ඉල්ලුම් පත්තරයක් වගේ එකකුත් පුරවලා දෙන්න වුනා.

දවස් කීපයකට පස්සේ අපිට අදාල පොත් පත්‍රිකා තියෙන බෑග් එකක් සංගණන ඔෆිස් එකෙන් එවලා තිබ්බා. එකේ බර්ටියා කලින් කිවුව තඩි පොතයි අයිඩෙන්ටි කාඩ් එකක් වගේ එකකුයි තව සංගණය වැඩ වලට ඕන කරන පත්‍රිකා වගයකුයි තිබ්බා. අපි හැමෝටම කණ්ඩායම් නායකයෙක් හිටියා. එයා හරහා තමයි ඕවා බෙදලා දුන්නේ. බර්ටියට මතක විදිහට බර්ටියා හිටපු කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ මහේෂ් අයියා. ඊළඟට අදාල ප්‍රදේශත් වෙන්කරලා දුන්නා. සෙල්ලම් නැතිවෙන්න බර්ටියාගේ කෑල්ලේ ගෙවල් 101 තිබ්බා. අපි ඔක්කොටොම තිබ්බේ නාරාහේන්පිට ඇල්විටිගල තට්ටු නිවාස අවට ප්‍රදේශය තමයි. කොහොම හරි බර්ටියට තමයි වැඩිම ගෙවල් ගාණක් අයිතිවෙලා තිබ්බේ. එකෙත් හැටි කියපන්කෝ.

අර දීපු පොතේ මහ විස්තර ගොඩක් පුරවන්න තිබ්බා සංගණන දවසට කලින්. ඒක ඇවිල්ලා සති දෙකක විතර වැඩක්. ගෙදරක ඉන්න එක්කෙනෙකුට එක තීරුවක් වෙන්වෙලා තිබ්බා ඒ කෙනාගේ විස්තර පුරවන්න. නම, ගම, වයස, රස්සාව ආදී වශයෙන්. ඊළගට ගෙවල් වල විස්තර. ගෙවල් හදලා තියෙන්නේ මොනවා වලින්නද, වහලෙට හෙවිල්ලලා තියෙන්නේ මොනවද, වැසිකිළි තියෙනවද, ගෙදර තමන්ටම අයිතිද නැත්නම් කුළියටද ඉන්නේ වගේ දාහක් විතර විස්තර තිබ්බා පුරවන්න. කොහොම හරි ඔය වැඩේට යන්න වෙලාවක් හදාගන්න බර්ටියාට සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික පුහුණුවටත් පොල්ලක් තියන්න වුනා. අන්තිම අම්බානකට බැනුම් අහලා තමයි බර්ටියාට අන්තිම ප්‍රැක්ටිකල් ගෲප් එකට යන්න වුනේ.

ඔන්න ඉතින් අපි කට්ටිය සංගණන වැඩ පටන් ගත්තා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම වැඩේට බැහැලා හිටියා. කෙල්ලෝ ටික වැඩේට යන වෙලාවට අපෙන් කවුරු හරි කෙල්ලොත් එක්ක ගියා. කොහොමත් අපිට බාර ප්‍රදේශ ටික එක කිට්ටුව තිබ්බේ. ඉතින් අපි ගොඩක් වෙලාවට තව කවුරු එක්ක හරි තමයි වැඩේට බැස්සේ.

බර්ටියට තිබ්බේ නාරාහේන්පිට පැත්ත. ඒක ඇත්තටම දිවියලෝකෙයි අපායයි සාමාන්‍ය ලෝකයයි කියන තුනම අතර වගේ සීන් එකක්. එක පැත්තක තිබ්බා ඇල්විටිගල මහල් නිවාස වල කෑල්ලක්. නාරාහේන්පිට තියෙන ගොල්ෆ් ක්ලබ් එක පිටිපස්සේ තියෙන මුඩුක්කු නිවාස වගේම ඉහල පෙළේ ධනවත්තු (රටේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් මේ අතර හිටියා) ඉන්න හරියකුත් බර්ටියගේ ඒරියල් එකට අයිති වුනා. හැබයි මේ මුඩුක්කු නිවාස අස්සේ ගියාට අපේ කිසිම කෙනෙක්ට වචනෙකින් හරි කරදරයක් සිද්ධවුනේ නෑ. ඒ මිනිස්සු අර හිටිය මහා ධනපතියන්ට වඩා බොහොම ඉහලයි.

බර්ටියා තොරතුරු ගන්න වැඩේට වැඩිපුරම සෙට්වුනේ ගීතිකයා එක්ක. ඊට අමතරව බටයා, බඩා, ජොනා එක්කත් තොරතුරු ගන්න ගියා. අවසාන දවසේ ඇරෙන්න තනියම ගිය වෙලාවක් ඇත්තෙම නෑ මතක විදිහට. අපි වැඩ පටන් ගත්තේ නාරාහේන්පිට තිබ්බ පොඩි පැල්පත් ගෙවල් වලින්. බොහොම අඩු ආදායම් සහිත පවුල් විශාල ගාණක් ඒ අතර ජීවත් වුනා. ඒ මිනිස්සුන්ට හරිම කුතුහලයක් තිබ්බා මේ වැඩේ ගැන. සමහරු හොදටම බය වෙලා තිබ්බා මේ තොරතුරු එකතු කරගන්නේ ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩන්නයි කියලා. අපිට ඉතින් ඒ මිනිස්සුන්ට විස්තර කරලා දෙන්න වුනා සංගණනය කියන්නේ මොකක්ද කියලා.

හැම ගෙදරකම ආයතනකම ඇතුල්වෙන තැන රතු පාට කොළයක් අලවලා තිබ්බා නොම්බරයකුත් එක්ක. ඒක ඊට මාස කීපයකට කලින් ග්‍රාම සේවා නිලධාරියා ඇවිල්ලා අලවපු එකක්. අපිට දීලා තිබ්බා සිතියමේ ඒ නම්බරේ පාවිච්චි කරලා එ කොටසට අදාල ඔක්කොම ගෙවල් ලකුණු කරලා තියෙනවා. ඒ නොම්බරේ තමයි අපි අපේ තොරතුරු ගන්න පොතට ඇතුලත් කරන්න ඕන.

ඒක දවසක් බඩත් එක්ක බර්ටියා ගියා ජොනාගේ එරියා එකේ ගෙදරකට. ඒ ගෙදර හිටියේ බර්ගර් මනුස්සයෙක්. ඒ මනුස්සයට සිංහල කතා කරන්න විතරයි පුළුවන්. කියවන්න බෑ. අපේ අයිඩෙන්ටි කාඩ් එකේ ඉදලා හැමදෙයක්ම සිංහලෙන්. මාර අවුල. පොර බනිනවා බනිනවා ආණ්ඩුවට කිසිම දෙයක් ඉංශ්‍රීසියෙන් නෑ කියලා. අපි ඉතින් මොනවා කරන්නද?

බඩාගේ ඒරියා එකේ තමයි පෝසත්ම මිනිස්සු ටික හිටියේ. ලංකාවේ ප්‍රසිද්ධම රත්තරන් බඩු ව්‍යාපාරිකයෙක්, ප්‍රසිද්ධ අකුරු හතරක ෆොටෝ එහෙම ප්‍රේම් කරන පොරක් එහෙම හිටියා. දෙයියනේ කියලා ඒ එක ගෙදරකින්වත් අපිට වතුර වීදුරුවක් වත් හම්බවුනේ නෑ. ඔන්න ඒ මිනිස්සුන්ගේ හැටි. අර එදා වේල හොයාගන්න බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු තේ එකකින්, බිස්කට් එකකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ අපිට. සමහරු දුවලා ගිහිල්ලා ළග තිබ්බ පෙට්ටි කඩෙකින් බීම බොතලක් අරගෙන එනවා. ඒ මිනිස්සු හරිම සන්තෝසෙන් ඒ දේවල් කලේ. අන්න ඒ වෙලාවට තමයි අපිට හරියටම තේරුනේ කවුද ඇති මිනිස්සු කියලා. සල්ලි බාගේ අතේ නැතත් ඒ මිනිස්සුන්ට හොද හදවතක් තිබ්බා. අර සල්ලි තියෙන මිනිස්සන්ට එහොම හදවත් තිබ්බේ නෑ.

ගොඩක් තරුණ ළමයි අර ගොල්ෆ් පිට්ටනියේ රස්සාවට යනවා. කැඩි වැඩේ කරලා කීයක් හරි හොයාගන්න. ඒ අතර මත් ද්‍රව්‍ය එක්ක දියවෙලා යන ජීවිතත් තිබ්බා. අපි යන අස්සේ වලිත් තිබිච්ච වෙලාවලුත් තිබ්බා. ඒ මරාගන්න අස්සෙත් කවුරු හරි කෙනෙක් ආවා අපිට පරෙස්සමට එක්කගෙන යන්න වලිය අස්සෙන්.

සංගණනය දවසේ සංගණන කටයුතු කරන්න තිබ්බේ රෑ. අපිව වාහනේකින් ගෙනල්ලා දැම්මා අදාල ප්‍රදේශවලට. අපිට එකතු වෙන්න තිබ්බේ නාරාහේන්පිට තිබ්බ ජල සංවර්ධන මණ්ඩලේ (මතක විදිහට) කාර්යාලකට. අපිට 8.30 එතනට එන්න කියලා තිබ්බා කෑම ගන්න. එදා තමයි අපිට තනි තනියම යන්න තිබ්බ දවස. බර්ටියත් හෙමින් සැරේ ගෙයින් ගෙට යමින් තම රාජකාරි කටයුත්ත කරගෙන යන්න පටන් ගත්තා. බොහොමයක් ගෙවල් වලින් තේ එකක් බීම විදුරුවක් දෙන්න හැදුවත් එදා නැවතිලා ඉදලා ඒවා බොන්න වෙලාවක් තිබ්බේ නෑ. අපිට හැකි ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලා උපදෙස් ලැබිලා තිබ්බේ. බර්ටියා වැඩෙන් බාගයක් ඉවර කරලා 8.30 අපේ තාවකාලික කාර්යාලයට ගියා රෑ කෑම ගන්න. ඒ වෙනකොටත් වැඩ ඉවර කරපු ගීතිකයා එතනට ඇවිල්ලා හිටියා. අපි රෑට කාලා ගීතිකයත් එක්කම ඉතුරු වැඩ කරන්න බර්ටියා පිටත් වුනා.කොහොම හරි වටේ ගහලා අලුතින් හදපු ප්ලැට් එකටත් ගිහිල්ලා වැඩ ටික ඉවර කරන්න ඔන්න මෙන්න තිබ්බේ.

තව ගෙවල් 5 විතර තමයි බර්ටියට ඉතුරු වෙලා තිබ්බේ. අන්තිම එක තිබ්බේ බිල්ඩිමක් හදන පොට් එකක්. එතනට ගිහිල්ලා සිකුරිටියගේ විස්තර ටික දාගෙන වෙන කවුද ඉන්නේ කියලා ඇහුවහම මේකා කියපි බිල්ඩින් එක හදන්න ආපු බාස්ලයි ගෝලයොයි දහයක් විතර ඉන්නවා කියලා. කෙලියා නේද තාප්පෙටම. මුන් සෙට් එකේ මූලික විස්තරත් පුරවන්න එපායෑ දැන්. අත ඇරලා බොරු කරන්නත් බෑ. සෙකුරිටියා එක්කම ගිහිල්ලා ඒ සෙට් එකට කතා කරලා විස්තර ටික අරගත්තා. පැය බාගයක් විතර ගියා ඒ වැඩේට. හරියටම එකොලොස් දෙනෙක් හිටියා. සෙක්කත් එක්ක දොළහයි. ඔය අස්සේ කරන්ට් එකත් ගියා. ඔය හරියේ විස්තර පිරෙව්වේ කුප්පි ලාම්පු එළියෙන්. අපේ කෙල්ලෝ කිවුවේ කරන්ට් ගිය වෙලාවේ ඒ මිනිස්සු කුප්පි ලාම්පුව හරි ටෝච් එක හරි අරන් එයාලව එක ගෙදරකින් තවත් ගෙදරකට එක්කන් ගියා කියලා.

ඔන්න යන්තම් ඒ වැඩේ ඉවර කරලා අපේ ඔෆිස් එකට එනකොට ඔෆිස් එක ගෙනිහිල්ලා වෙන තැනකට. වාහනයක් ඇවිල්ලා තිබ්බා අපිව එතනට ගෙනියන්න. අපේ ඉතුරු සෙට් එකතු එනකම් ඉදලා අර වාහනේ නැගලා අපි ගියා නාරාහේන්පිට තිබ්බ ඉස්කෝලෙකට ඉතුරු වැඩ ටික ඉවර කරන්න. එතනට පානුයි තේයි ගෙනල්ලා තිබ්බා. පාන් කාලා තේත් බීලා අපි සමරිය හදන්න පටන්න ගත්තා. ඒක පට්ට ආතල්. අපිට පුරවන්න තිබ්බ සාරාංශ සටහනයි පොතේ තියෙන විස්තර වලිනුයි එන එකතුව සමාන වෙන්නේ නෑ කියහල්ලකෝ. අපේ එවුන් ඉතින් ඕක සමාන කරන්න සමහරුන්ව මරලා දැම්මා, සමහරුන්ව රට ඇරියා වගේ දේවල් කලා ඉතින්. බර්ටියත් තුන් සැරයක් ට්‍රයි කරලා යන්තම් කාවවත් මරන්නේ රට අරින්නේ නැතුව හරියටම බර්ටියගේ වැඩේ ඉවර කලා.

ඊට පස්සේ අනිත් එවුන්ගේ වැඩවලටත් උදව්වක් දීලා බංකුවක් උඩට වෙලා නින්දක් දැම්මා. පහුවදා උදේ අපිට ට්‍රාන්ස්පොර්ට් හම්බවුනා කැම්පස් එකට. එතනින් මූණ කට හොදගෙන් කැන්ටිමෙන් පාන් බාගෙකුත් කාලා බර්ටියා ගෙදර එන්න ආවා. ඊට සතියකට විතර පස්සේ අපිට සල්ලි හබ්බවුනා. රුපියල් තුන්දාස් හාරසිය ගාණක්. එකෙන් බර්ටියා අතේ බදින ඔර්ලෝසුවක් අරන් ඉතුරු ටික බැංකුවට දැම්මා අලුතින් එකවුන්ට් එකක් ඇරලා.

මොනවා වුනත් ඒ තමන්ට අයිති නැති ඉඩම් කෑල්ලක ලෑලි වලින් යන්තම් ගේ කෑල්ලක් අටවගෙන ඉන්න ඒ මිනිස්සුන්ගේ හදවත් හරිම පොහොසත් කියලා බර්ටියා ඇතුළු අපේ කට්ටිය තේරුණා ඒ සති දෙකක් වගේ කාලෙට. අනිත් අය නම් හරිම දුප්පත් ඕන කරන හැමදේම තිබ්බත්. අදටත් ඒ දේ එහෙමම වෙන්න ඇති කියලා බර්ටියා හිතනවා.

KB 2020.08.03